03 November 2010

සබරගමුවේ පුදබිම් - රත්නපුර මහ සමන් දේවාලය



කලින් ලිපි වල මං චාරිකා සටහන් ලිවුවනේ. මේකත් ඒවගේ චාරිකා සටහනක්. මේ සටහනෙන් කියන්න යන්නෙ රත්නපුර නගරයේ මුදුන් මල් කඩක් බදු රත්නපුර මහ සමන් දේවාලය ගැනයි. රත්නපුර නගරය ආසන්නවම පවතින ඓතිහාසික වටිනාකමක් තියෙන පුදබිමක් තමයි සමන් දේවාලය කියන්නේ.

සිරිපාද පුදබිම හැරුනකොට සමන් දෙවියන් වෙනුවෙන් ඇති ප්‍රධානම සිද්ධස්ථානය තමයි මේ රත්නපුර මහා සමන් දේවලය. රත්නපුර නගරය ආසන්නවම වගේ තියෙන හින්දා ඕනම කෙනෙකුට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්. සබරගමුවේ සංචාරය කරන ඔබ නැරබියම යුතු තැනක් තමයි සමන් දේවාලය කියන්නේ. මේ දේවාලය හැදුන විදිහ ගැන ජනප්‍රවාද තියෙනවා. එහෙනම් ඒ ජනප්‍රවාදය අහලම ඉමුකො.


දඹදෙණි යුගයේ රජකම් කරපු දෙවෙනි පරාක්‍රමභාහු එහෙමත් නැත්නම් පණ්ඩිත පරාක්‍රමබාහු (කවි සිළුමිණ වැනි උසස් සිංහල කෘති රචනා කල නිසයි එතුමාට පණ්ඩිත පරාක්‍රමභාහු කියන්නේ) රජතුමාගේ සෙනෙවියෙක් හිටියලු ආර්ය කාමදේව කියලා. දිනක් මේ ආර්ය කාම දේව කියන සෙනෙවියා රත්නපුර ප්‍රදේශයේ මැණික් ගරන්න ආවලු. රත්නපුරේ කියන්නේ සමන් දෙවියන්ගේ අඩවියනේ. ඉතින් මේ සෙනවියායි එයාගේ පිරිසයි සමන් දෙවියන්ට භාරයක් උනාලු. තමන්ට මැණික් හම්බවුනොත් එවකට තිබුන පරන්ගි බලකොටුව උඩ සමන් දෙවියන්ට දේවාලයක් කරවනවා කියලා. ඉතින් එහෙම භාර උන මේ සෙනවියා එයාගේ පිරිසත් එක්ක මැණික් ගරන්න ආවලු. එයාලට කැකිරි ගෙඩියක් තරම් ලොකු මැණිකක් ලැබුනා කියලයි පොත පතේ සදහන් වෙන්නේ.

ඉතින් මේ සෙනවියා සමන් දෙවියන්ට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඒ බලකොටුව, සමන් දෙවියන්ට කැප කරපු දේවාලයක් කලාලු. අදටත් තියෙන්නේ ඒ දේවාලය තමයි.

නමුත් මේ කතාව විසංවාදයකට තුඩු දෙන කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි පරංගි ලංකාවට ආවේ ක්‍රි.ව 1500 ගණන් වල නේ. නමුත් මේ සමන් දෙවොල ඉදි කරලා තියෙන්නේ ක්‍රි.ව 1200 ගණන්වල. ඉතින් මේ දේවාලය පරංගි බල කොටුවක ඉදි කරපු කතාව පිළිගන්න ටිකක් අමාරුයි. අනිත් කරුණ තමයි දේවාලය ඉදිරිපිට තියෙන කැටයම. එමගින් කියවෙන්නේ පෘතුග්‍රීසි බලපෑම් කන්ද උඩරට රාජසිංහ රජතුමාගේ කාලයටත් කලින් ඉදන් යම් තාක් දුරට පැවතුනා කියන එකයි. එහෙම බලනකොට පරංගි බලකොටුවක් උඩ මේ දේවාලය ගොඩ නැංවුවා කියන එකත් පිලි ගන්න වෙනවා. පහලින් තියෙන්නේ දේවාලයේ ඉදිරි බැම්මේ තියෙන පරංගි සෙබලෙක් සිංහලයෙක්ව පාගාගෙන ඉන්න කැටයම.


මේ කැටයම තව මතයකට උරුමකම් කියනවා. ඒ මතය නම් ,මේ කැටයමෙන් කියවෙන්නේ සිංහල හේවායෙක් පරංගි සෙබලෙක්ව පගා ගෙන ඉන්නවා කියලයි. සිංහල සෙබලුන්ගේ වීරත්වය හා ස්වාධීනත්වය මේ කැටයමෙන් පිලිබිඹු වෙනවා කියලයි පුරාවිද්‍යා විද්වතුන්ගේ මතය.

ඉස්සර අපි එහෙ යනකොට දේවාලය භාර බස්නායක නිලමේ විදිහර වැඩ කලේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතායි. දැන් නම් ඉන්න බස්නායක නිලමේ කවුද කියලා දන්නේ නෑ. හැම අවුරුද්දකම ඇසල උත්සවයට අලංකාර පෙරහැරක් යනවා.

කොහොම නමුත් කළු ගං මිටියාවතේ කළු ගඟේම අතු ශාඛාවක් වෙච්ච වේ ගං ඉවුරේ තියෙන මේ පුදබිම රත්නපුර නගරයට එක් කරන්නේ අපූරත්වයක්.

පහල රුපය සමන් දෙවියන් ගේ රුව යැයි මතයක් තියෙනවා.මෙම සමන් දෙවියන්ගේ රුව සහිත චිත්‍රය සමන් දේවාලයේ අදටත් දකින්න ලැබෙනවා.

6 comments:

  1. ජනප්‍රවාද ගැන කියන්න තරම් එච්චර දැනුමක් නම් මට දන්නෙ නෑ.ඒ ගැනත් මම මේ බ්ලොග් එකෙන් තමයි දැන ගත්තෙ.
    ඒත් සමන් දේවාලය පිහිටල තියෙන්නෙ නම් කළු ගං මිටියාවතේ.අනිත් එක තමයි මගේ මතකෙ හැටියට නම් පරංගි ලංකාවට ආවෙ දහසය වන සියවසේ. හරියටම කිව්වොත් ක්‍රි.ව. 1505 දී.

    ReplyDelete
  2. @-VinZ- : ඒක තමයි මල්ලි මං කිවුවේ විසංවාදයක් ඇති වෙන කතාවක් කියලා. ඔයත් දැකලා ඇති අර පින්තුරේ තියෙන කැටයම. ඒක තියෙන්නේ පරංගින්ගේ බලපෑම නිසා කියලා තමයි පුරාවිද්‍යා විද්වතුන්ගේ මතය. පරංගි ලංකාවට ආවේ 1505 උනත් මේ බලපෑම ඊට කලින් වෙච්ච එකක් වෙන්නේ කොහොමද කියලා නම් මාත් දන්නේ නෑ.

    ReplyDelete
  3. සමන් දේවාලේ ඉතිහාසය අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ දවස දක්වා ගමන් කරනවා කියලා මතයක් තියෙනවා.

    දුටුගැමුණු රජතුමා සබරගමුවේ දේවාලයක් ඉදිකලා කියලා කතාවක් තියෙනවා. ඒක සමහර විට සමන් දේවාලය වෙන්නත් පුලුවන්. ආර්ය කාමදේව ඇමති ගොඩනගපු දේවාලය පෘතුගීසි ආක්‍රමණ නිසා විනාශවෙලා තිබුණේ. ඔවුන් එතන ශාන්ත සැල්වදෝර් කියලා පල්ලියක් හදලා තියෙනවා.

    1660 දී විතර තමා II රාජසිංහ රජතුමා එය විනාශ කරලා සමන් දේවාලය නැවත ඉදිකරලා තියෙන්නේ. දැන් දකින්න තියෙන්නේ ඒ සමන් දේවාලය.

    ඒ වගේම රත්නපුර මහ සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වෙන්නේ ශාන්ත වීරසේකර මැතිතුමා.

    තව දෙයක් පහළම දක්වලා තියෙන සමන් දෙවියන්ගේ සිතුවම තියෙන්නේ කැලණීය රජ මහා විහාරයේ පැරනි විහාරයේ මට මතක විදිහට. එතන සමන් දෙවි කියලා නමත් ලියලා තියෙනවා මට මතක විදිහට

    ReplyDelete
  4. @Hasitha : බොහොම ස්තුතියි සහොදරයා මං නොදන්න ගොඩාක් තොරතුරු කිවුවට. සමන් දෙවියන්ගේ රුව සහිත චිත්‍රයක් සමන් දෙවලයෙ තියෙනව කියල නම් දන්නවා. නමුත් ඒ මේ රුපයමද කියල මට එතරම් මතකයක් නෑ. මේ ෆොටෝ එක ගත්තෙත් අන්තර්ජාලයෙන් කෙලින්ම සර්ච් කරලා.

    ReplyDelete
  5. තවත් මම අලුතින් දැනගත්තු විස්තර ටිකක් එකතු කරන්නම් අයියා.

    පෘතුගීසින් 1620 දී වගේ තමා සමන් දේවාලය විනාශ කරලා එතන බලකොටුවක් ඉදිකරන්නේ ඊට වසර 40 කට විතර පස්සේ 1660 දී විතර තමා ඒ බලකොටුව විනාස කරලා II රාජසිංහ රජ්ජුරුවෝ ආයි සමන් දේවාලය හදන්නේ

    ඊළඟ මේ කැටයම ගැන කිව්වොත් මේ කැටයම කරවලා තියෙන්නේ 1591 න් පස්සේ. මේ කැටයමෙන් පෙන්නුම් කරන්නේ පෘතුගීසි ජාතික හමුදා නායකයෙක් පාමුල වැටිලා ඉන්න යාපනයේ පාලකයා.

    කතාව හරියටම කිව්වොත් යාපනයේ පාලකයා පෘතුගීසින්ට එරෙහිව කටයුතු කරපු නිසා පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ ලවා සේනාංකයක් යාපනයට යවලා යාපන රජ්ජුරුවන්ව පරාජයට පත් කරවනවා.

    මේ සිදුවීම තමා මේ කැටයම් කරලා තියෙන්නේ. ඒ කතාව මේ කැටයමට පහළින් පෘතුගීසි භාෂාවෙන් දක්වලා තියෙනවාලු

    ReplyDelete
  6. ආහ් මේ දක්වලා තියෙන සමන් දෙවියන්ගේ සිතුවම කැලණි රාජ මහා විහාරයේ සැතපෙන පිළිමය තියෙන කොටසේ තමා තියෙන්නේ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.