05 December 2017

තාත්තගේ ලයිසොං ගැනිල්ල

අපේ තාත්තගේ හිතේ කාලයක ඉදලා බයිසිකල් හීනයක් තිබුනයි කියලා මම කලින් දාක කියලා තියෙනවා නෙහ්. උන්දෑ බයිසිකලයක් ගත්තට මොකෝ බයිසිකලේ පදින්ඩ ලයිසමත් ගන්ඩ එපෑ.

ඔන්න ඕක තමා අමාරුම කාරිය !

ඒක ගොඩ දාගත්තා නම් හරි. ඉතින් ඔය කාරිය කරන්ඩ කියලා බාර දුන්නේ කඩවත පැත්තේ තියෙන නමගිය ලර්නර්ස් එකකට. ඒකේ නම මම කියන්ඩ යන්නේ නෑ. ඒක හරි නෑ නෙහ්. ඉතින් අපේ තාත්තත් ගිහින් ඕකේ රෙජිස්ටර් උනාය කියලා කියමුකෝ.

දවසක් ගම්පහ කච්චේරියට උදෙන්ම එන්ඩෙයි කියලා තිබුනා. එදාම මෙඩිකල් එහෙම අරගෙන කච්චේරියට ගිහින් විභාගේට දින දාගත්තා. සාමාන්‍යයෙන් විභාගයට දෙන්නේ සතියක දෙහෙක වගේ කාලයක් නිසා අපේ තාත්තට සති දෙකක්ම හම්බ උනා.

උන්දෑ එදා ඉදන්ම පාඩං කරන්ඩ ගත්තා. පාඩං කරනවයි කියලා කිව්වට ටික වෙලාවක් ප්‍රශ්න පත්තරේ දිහා බලාගෙන කියවලා එහෙම්ම ටික වෙලාවක් පුටුව උඩ නිදාගන්නවා. ආයෙම හීනෙකින් බය උනා වගේ නැගිටලා ටිකක් පාඩං කරනවා. ඔහොම දෙතුන් පාරක් පාඩම් කරලා තමා ඔරිමජිනල් නින්දට යන්නේ.

අපිට වගේ නෙමේ වැඩ කරලා එන මහන්සියයි වයසත් එක්කම එන කම්මැලිගතියයි එකතු උනහම වෙන්ඩෑ ඔහොම වෙන්නේ. මාත් ගෙදර ගිය වෙලාවට තාත්තා පාඩම් කරපු ඒවයින් ප්‍රශ්න අහනවා. එතකොට පාඩම් කරපුවා මතකෙට එන්නේ නැතෑ..



මෙහෙම පාඩම් කරවීම තමා අමාරුම වැඩේ. මම එකම ප්‍රශ්නේ දෙපාර තුන්පාර කටපාඩං කරවන නිසා තාත්තා ටිකක් අමනාපෙන් තමා මගෙත්තෙක්ක පාඩං කලේ.

සමහර වෙලාවට....

"උඹ යන දිහෑක පලයං... මං මට ඕන විදිහට පාඩං කරගන්නං

කියලා අහගන්ඩ වෙන වෙලාවලුත් නැතුවම වෙමේ. ඒත් ඉතිං එහෙම කියලා තාත්තට උදව් කරන එක අතාරින්ඩ පුලුවනෑ... නෙහ්. !

තත්පරයෙන් තත්පරේ ගෙවිලා විනාඩියක් ගත උනා. විනාඩියෙන් විනාඩිය පැයත්, පැයෙන් පැය ගත වෙලා දිනත් ගෙවුනා. දිනෙන් දින ගෙවිලා විභාගය තියෙන දිනයත් උදා උනා.

කියන්ඩ ලැජ්ජ වෙන්ඩෝන නෑ. අපේ තාත්තා සාමාන්‍ය පෙළ වෙනකන්වත් ඉගෙන ගත්තු කෙනෙක් නෙමේ හින්දා මේ විභාගය සාමාන්‍ය පෙළ කරනවා වගේ ලොකු බරක් උන්දෑ හිස මත තිබ්බයි කියලා මම කිව්වොත් ඒක බොරුවක් නෙමේ.

ඔන්න විභාග ශාලාවටත් ගිහින් ප්‍රශ්න පත්තරේත් අතට ගත්තයි කියමු. එක අතකින් ප්‍රශ්න පත්තරේ. අනිත් අතින් උත්තර පත්තරේ. අවුරුදු විසි තිස් ගානකට පස්සේ ලියන විභාගයක් නිසා අපේ තාත්තට ලොකු බයක් තිබුනා. කොහොමින් කොහොමහරි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක් කියවලා ඒක උත්තර පත්තරයේ සලකුණු කරනකොටම එක කොටුවක් මග ඇරුනා.

ඔන්න ඔය සිද්ධිය නිසා තාත්තා පලවෙනි පාර විභාගය අසමත් උනා.

ඒත් අපේ තාත්තා ගේම අතෑරියේ නෑ. දෙවන පාරටත් දින දාගෙන ආවා. දෙවෙනිපාර කොටු ටික මග හලාගෙන ගියේ නෑ. දෙවෙනි පාර කණ්ණාඩි කුට්ටම දාලා ගිහින්.කණ්ණාඩි කුට්ටම නැතුව කොහොමද ප්‍රශ්න ටික බලාගන්නේ කියන සිතුවිල්ල උන්දෑ ඔලුව ඇතුලේ දෝංකාර දිදී තිබුණා. ඇත්තටම අපේ තාත්තට ප්‍රශ්න පත්තරේ බලන්ඩ කණ්ණාඩි කුට්ටම ඕනමයි කියලා නියමයක් නෑ. අකුරු ලොකු කරලා බලන්ඩ පුලුවන් නිසයි කණ්ණාඩි ඕන කියලා හිතන්නේ.

 ඒ නිසා ඒ බයෙන්ම විභාගයට වාඩිවෙලා දෙවෙනි පාරත් විභාගේ ඇණ ගත්තා.

ඔන්න දැන් මායි අපේ අම්මයි හේතු දෙකක් දන්නවා. හේතු ??

ඔවු...ඔවු.. තාත්තා විභාගේ ෆේල් වෙන හේතු දෙකක් !

එකක්... උත්තර පත්තරේ කොටු මග හැරලා සලකුණු කිරීම. අනිත් එක... කණ්ණාඩි කුට්ටම නැතුව විභාගයට මුහුණ දීම.

තුන්වෙනි වතාවේ ඔය දෙක දූරින් භූත වෙලා යන්ඩ කියලා ගෙදරදිම කොටු කොලයක් දීලා ප්‍රැක්ටිස් කරවන්ඩ මායි අපේ අම්මයි මහන්සි උනා. මතක් කරලම කණ්ණාඩි කුට්ටම බෑග් එකට කලින් දවසේ ඉදලම දාලා දුන්නා.

තුන්වෙනි පාරටත් දින දාගෙන ආවයි කියමුකෝ...

ඔන්න තුන්වෙනි විභාග දිනයත් ආවා. ඇප්ලිකේශන් දාලා තුන් වතාවයි ලිඛිත විභාගය ලියන්ඩ දෙන්නේ. තුන් පාරම ෆේල් උනොත් ආයෙම ඇප්ලිකේශන් දාලා මුළ ඉදලම එන්ඩ ඕන. ඒක ලයිසන් ගන්න ඕන කෙනෙක් දන්න දෙයක්.

තාත්තගේ "බය" එකතුවට තව බයක් එකතු උනා. ඒ බය තමා තුන්වෙනි වතාවෙන් පස්සේ ආයෙම මුළ ඉදලා ඇප්ලිකේශන් දාලා විභාගයට දින දාගන්ඩ ඕන කියන බය. ඒකත් එක හේතුවක්..

වෙනදා තාත්තා ගෙදර ඉදලා ගම්පහ ගියේ බස් එකේ. ඔන්න මෙදාපාර උන්දැට ආසාවක් ආවා බයිසිකලයෙන් කඩවතට ගිහින් වැඩපොළේ බයිසිකලේ දාලා කඩවතින් ගම්පහ බස් එකට එන්ඩ. ඒ නිසා එයා බයිසිකලයේ නැගලා කඩවතට එන්ඩ පිටත් උනා.

ඔය දවසේ මාත් ඩ්‍රැයිවිං විභාගයට දින දාගන්ඩ කච්චේරි ආපු දවසක්. ඒ නිසා තාත්තට කලිං මම කච්චේරියේ රථවාහංන අංශය ඉස්සරහට වෙලා කල් මර මර හිටියා. මොකද රාජ්‍ය ආයතනයක් නිසා වැඩ පටං ගන්නේ අටයි තිහට. ඒකත් ජාතික ගීයයි ජයමංගල ගාථා ටිකයි ගායනා කළාට පස්සේ. ඒ නිසා කොයිතරම් ඉක්මනින් ගියත් වැඩක් නෑ වෙලාව හරියනකං වැඩක් කරගන්ඩම වෙන්නේ නෑ.

මම ඉන්නවා ඉන්නවා...ඉන්නවා..ඉන්නවා... ඒත් තාත්තා නෑ... මම බැරිම තැන තාත්තට කෝල් එකක් ගත්තා. තාත්තා කලබලේට ෆෝන් එක ගෙදර දාලා ගිහිං !

කෝල් කරලා ටික වෙලාවකට පස්සේ අපේ තාත්තා දිවිල්ලකටත් නැති ඇවිදීමකටත් අයිති නැති අතරමැදි වේගයකින් ආවා. ඒ විතරක් යෑ.. තුම්මුනිං දාඩිය වගුරගෙන මං හිටපු දිහෑවට ආවා.

තාත්තගේ ගමනයි දේහ ලක්ෂණයි බලපුවහම මට හිතාගත්තෑකි මොකක් නමුත් ලොකු පසුබිම් කතාවක් තියෙනවයි කියලා..

"මොකෝ තාත්තේ මෙච්චර පරක්කු උනේ ?" මම ඇහුවා.

"මාර වැඩේනේ කොල්ලෝ උනේ." අපේ තාත්තත් ආපු ගැම්මෙං ම උත්තර දුන්නා.

"මොකෝ උනේ ?"

"කඩවතදී පොලිසියෙන් ඇල්ලුවා නෙ. බයිසිකලය පොලිසියේ දාලා යන්න උනා." කියලා තාත්තා ටැප් එක තිබ්බ දිහෑට දුවගෙන ගිහින් බවුසරේට ඩීසල් ගහන්නා වාගේ වතුර බීගෙන බීගෙන බීගෙන ගියා.

සංතානම් මෑණියනේ... !!

මෙදාපාරත් විභාගේ ඉවරයි. මගේ හිත ඇතුලෙන් හිතුනත් මම ඒක තාත්තට ඇඟෙව්වේ නෑ. මොකුත් නොවෙච්ච ගානට තාත්තව උනන්දු කරවලා යැව්වා. ඒ යැව්වත්... තාත්තගේ හිතෑතුලේ පොළිසියෙන් අල්ලපු සිද්ධිය හොල්මන් කර කර තිබ්බා කියලා ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන නෑ නේ.

තාත්තා විභාගේ ලියන අතරතුරේදී මම සයිකලය පොලිසියෙන් ගන්න විදිහක් ගැන හිත හිතා හිටියේ. ඒකට පොඩි නූල් සුත්තරයක් අපේ මල්ලි දාලා සයිකලේ ගෙදර ගෙන්න ගන්ඩ පුලුවන් උනා.

තුන්වෙනි වතාවටත් විභාගේ ඇණ ගත්තා කියලා මම අමුතුවෙන් කියන්ඩ ඕන නෑ නේ..

ඔන්න දැං මායි අපේ අම්මයි හේතු හතරක් දන්නවා.

පළවෙනි එක... කොටු පටලැවීම.
දෙවෙනි එක.. කණ්ණාඩි කුට්ටම.
තුන්වෙනි එක... ඇප්ලිකේශන් එකකින් විභාගය ලියන්ඩ දෙන්නේ තුන්වතාවක් කියන බය.
හතරවෙනි එක... පොලිසියට මාට්ටුවෙලා සයිකලේ අත්ඩංගුවට පත් වීම.

පිට පිට තුන් වතාවක්ම විභාග ඇණ ගත්තු නිසා තාත්තා මානසිකව වැටිලා හිටියේ. මේ නිසා කලින් වතාවට වඩා ටිකක් වැඩි කාළයක් ගත්තා අළුතෙන් ඇප්ක්ලිකේශන් දාන්න.

තාත්තට වඩා තාත්තව උනන්දු කරවපු පිටිපස්සේ ඉදලා තාත්තව ඉස්සරහට තල්ලු කරපු අපිත් මානසිකව වැටිලා දනහිස් තුවාල කරගෙන උන්නේ.

ඒ නිස මෙතනින් එහාට්ට කතාව වෙන ලිපියක කියන්නම්.

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.