08 September 2012

කබලෑව දෙවියෝ

මාර කම්මැලි හවස්වරුවක් !

අම්මයි මල්ලියි හවස් අතේ ගමනක් ගිහින්. වෙද මහත්තයාගේ වැඩකට ගියපු අප්පච්චිත් දැන්ම එන පාටක් නෑ...  ගෙදර මං විතරක් තනියම.. කරන්ඩ කිසිම දෙයක් නෑ. ටීවි එකක් කියලා තිබ්බට එකේත් හරි හමන් දෙයක් බලන්ඩ නැති හන්දා ටීවි බලන ඒ අතෑරලා දාලා ගොඩක් කල් !

ප්ලේන්ටියක් හදාගෙන පුටුවට වෙලා කල්පනා කර කර ඉන්නකොට අපේ අම්මා යන්ඩ කලින් කලිසම් දහයක සාක්කු මහලා තියන්ඩ කියපු ගිය විත්තිය මතක් උනා. මැසිමත් ඔන් කරගෙන අමාරුවෙන් එක කලිසමක සාක්කු ටික මහගත්තා. ඊට පස්සේ අනිත් එක අතට ගත්තා. කලිසම හරෝ හරෝ සාක්කු මහන එක තරම් එපා කරපු වැඩක් වෙන නෑ...  මොකද අනිත් මැෂින් වගේ නෙමෙයි ජුකි මැෂින් ! ඒවා මාර ස්පීඩ්. කන්ටෝල් කර ගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ ඕනා !
ඔන්න අනිත් මැසින් වල නම් අස් දෙක පියාගෙන උනත් මහතෑකි...ජුකිය අළුත් හන්දද මන්ද තාම කන්ටෝල් කරගන්ඩ අමාරුයි.

දෙවෙනි කලිසම මහගෙන යනකොට ඉඳිකට්ටත් ඇඟිල්ලේ ඇනුනා. !

ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මැසිමත් ඕෆ් කරලා ලේ ගලන ඇඟිල්ලත් කටේ තියාගෙන තේ බීපු කෝප්පේ හෝදන්ඩ ගියා. කෝප්පය හෝදනකොට අපේ අම්මා බත් ඔතන්ඩ ගෙනාපු පරණ පත්තර ටික දැක්කා. ඒකෙන් එක පත්තරයක් තෝරගෙන සාලයේ පුටුවක් උඩට පැනලා තව පුටුවක් කකුල් දෙකට තියාගෙන පත්තරේ පෙරලන්න ගත්තා.

මේක ජෝතීර්ෂ‍ය පත්තරයක් ! ඒ පත්තරේ ලස්සන කතාවක් තිබ්බා !

ඒ කතාව තමා, 

අතීතයේ ඉන්දියාවේ එක ප්‍රදේශයක යක්ෂ වසංගත උවදුරක් ඇති වෙනවා. ඒ වසංගතය නවත්වන්ඩ තෙලිඟු රටෙන් කට්ටඩියෙක් ගෙන්වනවා. මේ කට්ටඬියා, වසංගතයට හේතු වෙච්ච යකාව අල්ලලා යන්ත්‍ර මන්ත්‍ර තියෙන පුස්කොළ පොතක හිර කරනවා ! පස්සේ ඒ පුස්කොළ පොත ලංකාවේ මාතර පැත්තට ගේනවා. පස්සේ පස්සේ ඔය කතාව කට්ටියට අමතක වෙලා යනවා.

එක්වා දහසකි සකරජ වරු                   සේ
දෙසීය අසූ හතරකි බක්                    මාසේ
පුර පසලොස්වක ගුරුදින                 දවසේ 
රැගෙන මෙපොත මෙපුරට ගොඩ  බැස්සේ

දවසක් කුරුණෑගල පැත්තේ දීගල්ල ගමේ හිටපු මනුස්සයෙක් පයින්ම මාතර වෙනකන් වන්දනාවේ යන්ඩ පිටත් වෙනවා. මේ මනුස්සයා මාතර පැත්තේ තිබ්බ ගැමි ගේක රෑ නවාතැන් ගන්නවා. නවාතැන් ගත්ත මගියට මේ ගෙදර මිනිස්සු කවදාවත් නොලිහන පොරොන්දුව පිට පුස්කොළ පොතක් තෑගි දෙනවා.

මේ මනුස්සයත් තෑගි ලැබිච්ච පුස්කොළ පොතත් අරගෙන තමන්ගේ ගමරට බලා පිටත් වෙනවා. ඊට පස්සේ ඒ පුස්කොළ පොත සුදු රෙද්දකින් ඔතලා තමන්ගේ පෙට්ටගමේ තැන්පත් කරනවා. ඔන්න ටික දවසකට පස්සේ දෙඩම්පාමුල ගමේ මනුස්සයෙක් මේ පුස්කොල පොත හොරකම් කරලා ඒ පුස්කොළ පොත දිග අරිනවා.

එතකොටම පොතේ හිර වෙලා හිටපු යකා එළියට පනිනවා !!!

එළියට පැනපු මේ යකා  ගමේ මිනිස්සුන්ට කරදර කරන්ඩ ගන්නවා. කොහොමින් කොහොමහරි කබලෑව ගමේ හිටපු කට්ටඬියෙක් නවගුණ මන්ත්‍රය ලක්ෂවාරයක් නූල් හත්පොටකට මතුරලා මේ යකාගේ බෙල්ලේ බඳිනවා. එතකොට මිනිස්සුන්ට කරදර කරපු මේ යකා, මනුස්සයන්ට සේවය කරන්ඩ ගන්නවා !!!

කබලෑව ගමේ කට්ටඬියා විසින් මෙල්ල කරපු මේ යකාව, 'කබලෑව දෙවියන්' කියලා දේවත්වයෙන් අදහන්ඩත් මේ මිනිස්සු පෙලඹෙනවා !!

 වතුපිටි යාන වාහන හරකබාන ආරක්ෂා කරලා දෙන්ඩත් රෝග වසංගත දුරු කරලා දෙන්ඩත් විවහා සාර්ථක කරලා දෙන්ඩත් දරුපල ප්‍රමාදය නැති කරලා දරු සම්පත් ලබා දෙන්ඩත් කායික මානසික පීඩා දුරු කිරීම යන කරුණු කාරණා වලට කබලෑව දෙවියන්ට පුද පූජා පවත්වන්ඩ මේ ගැමියෝ අමතක කරන්නේ නෑ.. !

ඔන්න ඕකයි කතාව !
පෝස්ට් එක දැනටම සෑහෙන්ඩ දිග වෙලා මම් ලියපු ලොකුම පෝස්ට් එක මේකද කොහෙද !

එහෙනම් ගිහින් එන්නම්....
සුබ රාත්‍රියක් වේවා !

59 දෙනෙක් අදහස් පලකලා .:

Harshani Nawarathna said...

අපේ ගෙවල් තියෙන පැත්ත භාර දෙවියො හැටියට සලකන්නේ කබලෑ දෙවියෝ. ඒ පැත්තේ අය කබලෑ මුත්තා කියලා තමයි කියන්නේ.

හරී said...

මම දන්න කතාව ඕක නෙමෙයි... කෙටියෙන් කියන්නම්..

ලංකාවෙ රජ කරපු ..... රජ්ජුරුවොන්ගෙ (නම මතක නැත) අවශ්‍යතාවයකට (ඒකත් මතක නෑ බන්) යකෙක්ව ඉන්දියාවෙන් ආනයනය කරනවා. ඒ යකාව ගෙන්වන්නේ පොතකට හිරකරලා කටු ගහලා.. පොත සහිත නැව ගොඩවාය වරායට ආපු බව ආරංචි වෙච්ච රජ්ජුරුවෝ රාජපුරුශයන්ව යවනවා පොත ගේන්ට.. උන් කරන්නෙ මේක දිගඇරලා බලනවා.. යකා පැනලා ගිහින් කබලෑවෙ පැත්තෙ ගහකට අරක් ගන්නවා...

ඉන්පස්සෙ වටේ පිටේ මිනිස්සුන්ව ලෙඩ කරවනවා..සත්තු මරනවා.. විශේෂයෙන් පිරිමි දරුවන්ව මරනවා.. හේතුව තමයි ලොකුවෙලා කට්ටඬියෙක් වෙලා යකා මෙල්ල කරයි කියන බය.. ඒත් එක්තරා යහපත් පුරුෂයෙක්ගෙ ඇසුරට වැටෙන යකා පස්සෙ මිනිස්සුන්ට උදව් කරන්න ගන්නවා..

ඉන්පස්සෙ තමයි කැබලෑ දෙවියන් එහෙම නැත්නම් ගම්භාර දෙවියන් කියලා හඳුන්වන්නෙ..

'කැබලෑ දෙවියෝ' කියලා පොතක් තියෙනවාලු.. හොයාගෙන බලන්ඩ..

"පෝස්ට් එක දැනටම සෑහෙන්ඩ දිග වෙලා" ලියපන්කො කම්මැලි නැතුව..

Pramudi said...

අපේ පැත්ත බාර අයියනායක දෙවියන් ට.

Charmi said...

අපේ පැත්ත නං භද්‍රකාලිඅම්මාට :)

හරී said...

පෝස්ටුවට ස්තුතියි!

ළිහිණි said...

දවසක් කුලියාපිටියේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. එයාලගෙ ගේ ලඟම තිබ්බා දේවාලයක්. එතැන බෝඩ් එකේනම් තිබ්බේ " කැබලෑ දේවාලය "කියලා. අම්මෝ එතැනින් යද්දී මම දැක්ක උන්නු සෙනඟ ගොඩ... බාර හාර වෙන්න ඇවිත්. එතැන හුඟාක් හාසකම් තියෙන තැනක් කියලා යාලුවාගේ අම්මා කිව්වා.

දිනුක said...

කවුද දන්නෑ ඕක යකාගේ කරේ බැන්දේ.හරියට බළලගේ කරේ සීනුව බැන්දා වගේනෙ

malmi said...

මේ ඒක නෙවෙයි දරු පල නැති අයට ඒ සම්පතත් දුන්නම ඇත්තටම දරුවාගේ තාත්තා??????

පෝස්ටුව හොදයි. දිග උනාම බොට මොකෝ අපි කියවනවා නම්!!!!!!

සුදා මල්ලි said...

හ්ම්ම්ම් එල පොස්ට් එකක්නේ.
කවුද අර නවගුණ වල බෙල්ලේ එල්ලුවේ...
යකා දෙයියා වෙලානේ..

පොත් ගුල්ලා said...

අපිට නං ඉන්නේ රාවණා ගේ මලයා, විභීෂණ දෙයියෝ.

මඩයා said...

අපි නම් සමන් දෙයියන්ගේ අඩවියේ...හැබැයි කතරගම දෙයියන්ගේ පිහිටත් පතනවා අපේ පැත්තේ මිනිස්සු...
අදයි මුලින්ම ආවේ මේ පැත්තේ :)

Hasitha said...

කබලෑ ද ? කැබලෑ ද ? දෙවියන්ගේ නම් හරියටම ? අනික් ඒ නමින් තියෙන ගම තියෙන්නේ කොහේද ?

Alexander Cage said...

අපේ පැත්ත භාර මොන දෙවියන්ටද දන්නේ නෑ..

අර කියන්නා වගේ පෝස්ට් දිග වුනාම මොකෝ බොල.. අපි නේ කියවන්නේ..

සයුරි said...

maara kathawakne...

තරියා අබේ said...

අපේනං ඉන්නවා එල දෙවියෙක්...
නම ඇහුවම බය හිතෙනවා..
එයා තමා විභීෂණ!!!!!!!!

හිරුහිමාවී said...

යකා:::::;;දෙවියා??
ඕ..ඕ..
යක්කු ඔක්කොම ඔහොම වෙනවනම් මරු අනේ :) :)

Dinesh said...

අදමයි මෙහෙම කතාවක් ඇහුවේ..

Podi Kumarihami said...

මම හිතාගෙන හිටියේ දෙවියන් වෙන්නේ මිනිසුන් කියලා බලනකොට දෙවියන් වෙන්ට යක්කුන්ටත් පුලුවන්නේ. ලස්සන කතාව මධු.

මෙයාට තේ හදන්ටත් පුලුවන්ද? :D

prasanna86k said...

අපේ ගමට යන පාරේ තමා ඔය දේවලේ තියෙන්නේ....

අවතාර් said...

කබලෑ දේවාලය ඇත්තටම ලස්සනයි ඒ වගේම තමා සෑහෙන දෙනෙක් පිහිට පතාගෙන යනවා.හැබැයි ඔය දේවල් වල ඕනෑවට වඩා එල්ලුනොත් විනාසයි

sAm (සෑම්) said...

මෙවන් යකෙක් ජනපති කළයුතු !

ඉන්ද්‍රජිත් said...

නියම පෝස්ට් එක පලමු වතාවට ඔය කතාව ඇහුවෙ...

A.Wickz said...

මම මේ කතාව අහල තිබුණේ නැහැ.බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට.ජය!!!

රෙහානි said...

අදමයි ඇහුවේ ..ස්තුතියි..

අඩවි රජ said...

අපි නං අයියනායක දෙයියන්ගේ අඩවියෙ ද කොහෙද :)

මේක මොන දිගක්ද ඈ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හිරු said...

අර කලිසම සාක්කු මහපු කතාව කිව්වේ ඇත්තටමද නැත්තම් මේ රස කරන්න දාපු තුනපහ ටිකක් ද..?
මේ කතාව නම් අහලා තිබුන් නෑ...ඔය කොයිකත් එකපාරක් ඇහුවම හිතේ හිටිනවා මොකද මන්දා.....?
හපොයි මෙහෙමත් කම්මැලියෙක්.......

රූ.... said...

ඉදිකට්ට ඇඟිල්ලෙ ඇනුන නිසා Sleeping Beauty වගේ නින්ද ගිහිල්ලද දන්නෑ..
කොහොම වුනත් අපූරු කතාව..

මධුරංග said...

@Harshani Nawarathna :
ඔයාලෑ පැත්තේ තියෙන දේවාලයක් තමා ඕක.. කමෙන්ට් එකට ස්තුතියි හර්ශනී !!!

@හරී :
ඔහොම කොට කොට ඉන්ඩ කම්මැලි හිතෙනවා බොල.. එතකොට ඉතින් දමල ගහලා නිකා ඉන්නවා.
මේ කතාවේ උබ අහපු විදිහත් කමෙන්ට් කරපු එකට ගොඩක් ස්තුතියි !!
උබේ කතවෙයි මගේ කතාවෙයි හරි වැරැද්ද මොකද්ද කියලා කියන්ඩ තේරෙන්නේ නම් නෑ.. මාත් මේක පත්තරෙන් නෙව කියෙව්වේ. :)

@Pramudi :
අයියනායක දෙවියන්ගේ අඩවියේ කෙනෙක්.. මරු මරු :)

මධුරංග said...

@Charmi :
එහෙනම් චර්මි, මැරවින් අංකල්ගෙන් පරිස්සම් වෙලා ඉන්ඩ...ඒකා කාලි අම්මත් එක්ක වෛරයෙන් නෙව ඉන්නේ :)

@හරී :
අර මක්කටද ස්තුතියි කර ගන්නේ ? ඕන් නෑ බං.. අපි අපි යාළුවෝ නෙව !!

@ළිහිණි :
ඔහොම කිව්වම මටත් හිතුනා කිසිම ප්‍රශ්නයක් නැතත් අර සෙනග ගොඩට එකතු වෙලා හාස්කම් ටික බලාගන්ඩ !

මධුරංග said...

@දිනුක :
ඒක කරලා තියෙන්නෙත් ඒ කට්ටඬියාම තමා.. අම්බෝ මේ මතක් වෙද්දිත් මයිල් ගසුත් ඉලිප්පිලා !!!

@malmi :
මටත් කතාව ටයිප් කරගෙන යනකොට ඕක හිතුනා.ඊට පස්සේ හිනා වෙලා ටයිප් කලා. හික්ස් :)
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් !
කියවන උන්දලාට ලේසියක් කරන්ඩනේ හිතුවේ !

@සුදා මල්ලි :
අර කට්ටඬියාම තමා එල්ලලා තියෙන්නේ !
යකා දෙයියා වෙලා ! දෙයිය පල් වෙලා !
(මට වස් වදීද මන්දා )
හික්ස් :)

මධුරංග said...

@පොත් ගුල්ලා :
ඒ කියන්නේ කැළණියේ නේද ?
මරු නේ.. :)

@මඩයා :
සමන් දෙවියන්ගේ අඩවියේ කියලා අහන්නත් ආසයි..සිරිපාදෙත් මතක් උනා අනේ වාසනාවන්..
මලයව මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !

@Hasitha :
ඔය ප්‍රශ්න දෙකටම උත්තර දෙන්ඩ දන්නේ නෑ මලේ...
පත්තරේ තිබ්බ කතාවක් නෙහ්.. මම් හොයලා බලන්නම්. කුලියාපිටිය පැත්තේ වෙන්ඩ ඕනා.:)

මධුරංග said...

@Alexander Cage :
හොයලා බලන්ඩ තියෙන්නේ.. කවුරුහරි දෙවි කෙනෙක් ඇති.. තිස්තුන් කෝටියක් ඉන්නවා නෙහ් !

@සයුරි :
මාර නෑ මාර නෑ..
අද මොකෑ කඩ්ඩෙන් ?

@තරියා අබේ :
ඇයි අපෙත් ඒ දෙවියොම තමා !!!

මධුරංග said...

@හිරුහිමාවී :
එහෙම වෙන්නේ නෑ දරුවෝ...
සමහර යක්කු, යක්කුම තමා !

@Dinesh :
මාත් පත්තරෙන් කියවනකන් ඕක දන්නේ නෑ !

@Podi Kumarihami :
ඇයි දෙයියනේ යක්කුන්ට දෙයියෝ වෙන්ඩ බෑ ද.. හික්ස් :)
ඔවුවොවු මට තේත් හදන්ඩ පුලුවන්.. ආහ්.. ඇයි රහට කිරි තේත් හදනවා මම්.. ඔයාටත් හදලා දෙන්ඩ ද ?:)

ඔයාගේ කමෙන්ට් පට්ට ! මම් සෑහෙන්ඩ එන්ජෝයි කරනවා ඔයාගේ කමෙන්ට් !!!

මධුරංග said...

@prasanna86k :
ආහ්... එහෙනම් වෙලාවකට යන්ඩ බැරුව යෑ.. :)

@අවතාර් :
ඒක හරි. සමහරු පොඩි දේටත් දේවාල ගානේ දුවනවා නෙව !

@sAm (සෑම්):
ඇයි දැන් ඉන්න යකා මදිදෑ..

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
මාත් පලවෙනි වතාවටයි ඇහුවේ !

@A.Wickz :
කියවලා කමෙන්ට් කලාටත් ගොඩක් ස්තුතියි !

@රෙහානි :
ඇයි මාත් ඇහුවේ අදමනේ.. ආහ් නෑ.. ඊයේ !

මධුරංග said...

@අඩවි රජ :
ඇයි දෙයියනේ මේක සෑහෙන්ඩ දිග පෝස්ට් එකක් නෙහ් !
ඔන්න මලයා ප්‍රමුදිත් අයියනායක දෙයියන්ගේ අඩවියේ !

@හිරු :
අපෝ අතින් දාපු එකක් නෙමේ හිරු.. අපේ අම්මා විකුණන්ඩ කලිසම් මහනවා.අතින්දාපු එකක් නම් තමන්ගේ දෙයක් වගේ ලියන්ඩ බෑ හලෝ.. ! ඔය ජුකිය ගත්තේ ලඟදි. කලින් මහ මහ හිටියේ සිංගර් මැෂිමකින් !

වැඩිය ඕනැන්නේ නෑ හිරු... අපේ අම්මා ගාමන්ට් එකක වැඩ කරපු කෙනෙක් !

කතා මතක හිටින්නේ එක්කෝ ඔයාගේ හිත හිස් ඇති. එහෙම නැත්නම් හිත ලොකු ඇති..
මට හිතෙන්නේ නම් හැමදෙයක්ම දරාගන්ඩ පුලුවන් විදිහේ ලොකු හිතක් ඇති ඔහේට ! :)

අම්බෝ කමෙන්ට් එකත් දිග වෙලා !

@රූ.... :
අපෝ ඔය ඉඳිකට්ට ඇනෙන සීන් නම් එපා වෙනවා. අපේ අම්මා දවසක් ඉඳිකට්ට ඇනගෙන ඇඟිල්ල එහා පැත්තෙනුත් මතු වෙලා !

හරී said...

@ හසිත,

දේවාලෙ තියෙන්නෙ කුලියාපිටියෙ..

ඒ ගමේ නමත් කබලෑව.. දේවාලෙත් ඉතින් කබලෑ දේවාලෙ.. මේ දෙවියන්ටම තමා ගම්භාර සිද්ධ සූනියම් දේවතාවා කියන්නෙ.. අවතාර ගොඩාක් තියෙනවා.. ඒ වගේම ව්‍යාඝ්‍ර දේවතාවා, ඔඩ්ඩියා, ඔඩ්ඩි මස්සිනා, ඔඩ්ඩිස කියන නම් වලිනුත් හැඳින්වෙනවා..

@ මධුරංග,

මට මතක හැටියට ගම්භාර දෙවි යාදින්නෙත් තියෙන්නෙ මම කියපු කතාව තමයි.. හොයලා බලපුවාම ඔය කතාවයි මම කියපු කතාවයි ඇර තවත් එව්වා තියෙනවා..

මධුරංග said...

@හරී :
ගොඩක් වෙලාවට ඔහොම කතාව ක් තිබ්බම පලාතෙන් පලාතට වෙනස් වෙච්ච එක එක සංස්කරණ තියෙනවා.

araliya said...

lassana kathawak. :)

දයානන්ද රත්නායක said...

සමහර වෙලාවට කවුරු කිව්වත් මොකක් හරි එපා කියලා අපිට ඕක ඇරලා බලනකල් ඉවසිල්ලක් නෑ. ඒ අතින් ඒක හොරකම් කරපු කෙනා ඒක දැනගෙන හිටියෙ නැ ඒනිසා අමාරුවේ වැටුණා.

කබලෑ දෙවියන් ගැන මමනම් අහල නෑ.

සිරාගෙ කාමරේ said...

මේ දෙවියා අපේ ඉසව්ව ගැන බලන්නෙ නැද්ද ?

Chanaka Aruna Munasinghe said...

විශාලා මහනුවර තුන්බිය දුරු කරන්න රතන් සූත්‍රය සජ්ජායනා කරපු කතාව අහල තියෙනවද ?

පැතුම් [සිතුම් පැතුම්] said...

මෙහෙම දෙවියෙක් ගැන ඇහුවමයි. ලංකාදීප පත්තරේ කැබලිත්ත කියල දේවාලයක් ගැන විස්තරයක් යනවා නේද ? එකෙයි මේකෙයි සම්බන්ධයක් තියද ? එක එක ගම් වලට වෙන් වුනු දෙවිවරු ඉන්නවා. අපේ පැත්තේ පත්තිනි දෙවියෝ තමයි අදහන්නේ

රාජ් said...

//නවාතැන් ගත්ත මගියට මේ ගෙදර මිනිස්සු කවදාවත් නොලිහන පොරොන්දුව පිට පුස්කොළ පොතක් තෑගි දෙනවා//
පුදුම තෑග්ගක්නේ!

Nipuna Senanayake said...

අනේ අපේ යක්කු ටිකත් දෙවියො වෙනවනම්.... අපේ ලෝකෙ කොච්චර ලස්සන වෙයි ද... නේ.... මටත් ආසයි කියන්න සුදු බණ්ඩාර දෙවියන් කියල..ඒත තාම යකා නෙව

හිරු said...

මධූ මට දීපු උත්තරේ ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතුනා...
ඉතිං මේකත් කියන්න හිතුනා...

ඊයෙ පෙරේදා කර්ට්න් වගයක් මහන්න ගිය වෙලාවේ අපේ මහත්තයා හොදට මහන්න පටන් ගත්තම මම පුදුම උනා... ඊටත් වඩා පුදුම උනා ජුකී මැෂිමෙන් හොදට මහන්න පුළුවන් කිව්වාම.. පස්සෙ ඇහුවම කියනවා.... “ ඇයි ඉස්සර කැනපි මහන්න උනානේ සෞදියෙදි.. ඒවා මැහුවේ ජුකී වලින් තමයි“ කියලා... මේ ඇත්තමයි කියන්නෙ මට පොලව පලාගෙන යන්න හිතුනා.. මට මහන්න බෑනේ... අම්මගේ මැෂින් එක හැමදාම ලෙඩ දෙන හින්දා මම නම් කොහොමත් ඔය වැඩේට ආස නෑ....

මොන විදියකින් හරි අපි යමක් ඉගෙන ගත්තොත් ජීවිතේ එකපාරක් හරි අපිට ඒවා ප්‍රයෝජනවත් වෙනවා.. ඉගෙන ගන්න දේ හරි වටිනවා... ඒවා ගැන ලැජ්ජ වෙන්න දෙයක් නෑ.... අපි පොතේ ගුරාලා.. අපි දන්නේ පොත් වලින් ඉගෙන ගත්ත දේවල්.. ඒත් ඔයාලා, අපේ මහත්තයලා ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්න අය.... ඒ පාඩම් මගේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන පාඩම් වලට වඩා ගොඩක් වටිනවා.....

මධුරංග said...

@araliya :
ස්තුතියි අරලියා !

@දයානන්ද රත්නායක :
කුතුහලය නිසා සමහර වෙලාවට අපි කරන දේවල් වලින් අපිම අමාරුවේ වැටෙනවා නෙව.. :)
මාත් පත්තරෙන් කියවනකන් අහගෙන ඉදලා නෑ..

@සිරාගෙ කාමරේ :
නෑ නෑ.. අපේ ඉසව්වට මේයැයි නෙමේ ! :)

@Chanaka Aruna Munasinghe :
අහ් ඒක අහලා තියෙනවා. ඒක ආයෙමත් සන්නි බලන්ඩ ගිය වෙලේ මතක් උනා. මේ ඒ ලිපියට යන පාර

Il mondo di una povera pazza said...

මම හිතාගෙන හිටියේ කබලෑවා කියන්නේ සතෙක් කියලා. (අර ලොකු කොර පොතු තියෙන අහිංසක සතා) ඒ නමින් දෙවියෙක් ඉන්නවා කියලා ඇහුවමයි.

මම හිතන්නේ මට නම් දෙවියෙක් නෑ වෙන්න ඕනේ එතකොට.

මධුරංග said...

@පැතුම් [සිතුම් පැතුම්] :
මට මතක විදිහට එහෙම සම්බන්ධයක් නෑ මලේ.. ඒ වෙන කෙනෙක්.. මේ වෙන කෙනෙක් !

@රාජ් :
පුදුම තෑග්ගක් නේන්නම් :)

@Nipuna Senanayake :
සුදු බණ්ඩාර දෙවියෝ ???
ඒ කොහෙද මලේ ඒ.. මම අහලත් නෑ නෙව.. :)

@හිරු :
ඒක හරි හිරු. අපේ අම්මා හැමවිටම කියන්නේ ඉගෙන ගන්න දෙයක් අහක යන්නේ නෑ. කවදාහරි ඕන වෙනවයි කියලා. උන්දෑ කියන්නෙම අනාගතේ අපිට කොහොම ජීවත් වෙන්ඩ වෙයිද දන්නේ නෑ . ඒ නිසා පුලු පුලුවන් හැමදෙයක්ම ඉගෙන ගෙන ඉන්න එක ගොඩක් හොඳයි කියලා.

ඔය ජුකී මැෂිම මගේ ජීවිතේට පොඩි කාලේ ඉදන් බද්ද වෙලා තියෙන දෙයක්. ඒ නිසා මගේ ලොකුම උත්සහය තමා ඒකෙන් වැඩ කරන්ඩ ඉගෙන ගන්න එක..ඇයි කියලා නම් අහන්ඩ එපා. ඒ අපේ කරදර කාලේ !!

මට නම් දුර මහගෙන යන්ඩ පුලුවන් උනාට ලඟ ලඟ නවත්ත නවත්ත මහන්ඩ බෑ.. ටිකක් විතර මැහුම් පිට පනිනවා. ඒකයි කන්ට්‍රෝල් නෑ කිව්වේ..

අපොයි මහත්තයා දන්නවා නම් ඉගෙන ගන්න එක අමාරු නෑ නෙව. චුට්ටක් කියලා දෙන්ඩ කිව්වම ආදරෙන් කියලා දේවි නෙහ්. ආදරයෙන් දෙයක් කියලා දුන්නම ඒක ඉක්මනින්ම මතක හිටිනවා නෙව.. :)

කොහොමද ඔයාට මැශිම ලඟින් වාඩිවෙන්ඩ කියල පිටිපස්සේ ඉඳන් මෙහෙම මහන්ඩ මෙහම කරන්ඩ කියලා උගන්නනකොට... :)

මධුරංග said...

@Il mondo di una povera pazza :
අයියෝ රංගි.. ඒ කබලෑවා නෙමෙයි කබල්ලෑවා. ඌට තමා කොරපොතු තියෙන්නේ.
මට හිතෙන විදිහට මිනිස්සුන්ට ලේසියෙන්ම දෙවියෙක් වෙන්ඩ පුලුවන් කියල.

තරුවා said...

මේ...යක්කු එපා හරිය...

තාරා said...

බුදු අම්මෝ මට පෝස්ට් ගොඩක් මගෑරිලා... පස්සෙ නිවීහැනහිල්ලෙ සේරම කියවන්නම්... ඔන්න ඔහොම දැනගන්න දේවල් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න එක නම් හොඳ වැඩක් තමයි. පොස්ට් දිග උනාට කමක් නෑ.. අපිනෙ කියවන්නෙ... හි හි...

මධූ said...

කතාව නම් මමත් අදමයි ඇහුවෙ. හරි ලස්සනයි. ගොඩක් ස්තුතියි.

ලහිරු said...

අපේ පැත්ත බාර මොන දෙයියන්ටද ඇත්තටම ඈ....

සිතුවිලි සිතූ said...

කතාව ලස්සනයි. අදමයි ඇහුවෙ. :)

දුකා said...

කබලෑ දෙවියන් ගැන අදලා තිබ්බට පුරාවෘත්තය දැන ගත්තේ අදයි . . බොහෝම ස්තූතියි මල්ලී . ..

Anonymous said...

මේ පෝස්ට් එක කොහෙද හෆ්ෆා දිග?? ශෝක් කතාව... :D අපූරුයි!!! මම ආසයි මෙහෙම කතා කියවන්න.... හැබැයි මම අද තමා ඇහුවෙ දෙවියන් ගැන.. ස්තූතියි අයියාට!!

-හිතුවක්කාරී(හිතූ)-

අනූ said...

ඔක්කොමත් හරි චිනී අයියට මහන්න පුළුවන් කියපු ගමන් මම හැරුණා....

Hasitha said...

@ හරී

ස්තුතියි අයියණ්ඩි :)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.