29 December 2011

ආවේග

සමාජයත් එක්ක ගැටිලා ජීවත් වෙනකොට කොච්චර නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද. ගොඩක් ප්‍රශ්න කාලයත් එක්කම වගේ විසදිලා යනවා.සමහර ප්‍රශ්න එහෙම ලේසියෙන් විසදිලා යන්නේ නෑ.ඒවා වලට අපිම විසදුම් හොයන්න වෙනවා.

එහෙම ප්‍රශ්න වලට විසදුම් හොයනකොට හිතේ ඉපදෙන ආවේග වලට නැතුව බුද්ධියට ඉඩ දීලා තීරණයක් ගන්න පුලුවන් නම් කොච්චර හොදයිද.ඒත් මෙහෙම හිතුවට අපි සමහර ප්‍රශ්නවලට විසදුම් විදිහට තෝරන තීන්දු තීරණ නිසා ජීවිතයෙනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

මට මෙහෙම හිතුනේ ලඟදි දවසකදී අපේ බැච් එකක හිටපු යාළුවෙක් ගෙල වැල දාගෙන ජීවිතයෙන් සදහටම සමුගත්ත නිසා.ඒකා නමින් සංඛ ලක්මාල් උනාට අපි ඒකාට කිව්වේ 'ටොපියා' කියලා. හැමෝ එක්කම හිනාවෙලා කතා කරන හිත හොද කොල්ලෙක් කියලා කිව්වොත් මම වැරදි නෑ.

ටොපියාට මෙහෙම දෙයක් කරගන්න හේතු උනේ ඒකාගේ අවුරුදු අටක් තිස්සේ තිබුන ආදර සම්බන්ධයක් මූලික කරගෙන ඇත්වෙච්ච ප්‍රශ්නයක් නිසා. මේ සිද්ධිය ආරංචි උන හැමෝම කිව්වේ 'මූ නම් කරගෙන තියෙන්නේ මහ පිස්සු වැඩක් ' ය කියලා.

අපි එහෙම කිව්වත් ඒ වෙලාවේ උගේ හිතේ තිබ්බ ආවේගයට උට ගන්න හිතුන හොදම තීරණය ඒක වෙන්න ඇති. ඒ කොයික උනත් අන්තිමේදි සිද්ධ උනේ ඒකගේ අප්පච්චියි අක්කයි තනි වෙච්ච එක. ඒ වෙලාවේ ඒකාගේ උදව්වට යාළුවෙක්වත් ලඟපාතක හිටියා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා.

'ටොපියෝ උඹට නිවන් සුව ලැබේවා !!! '

ටොපියාගේ මලගමට අනුරාධපුරේ ආපු හැමෝගෙම හිත් වල ඒ ප්‍රාර්තනය තිබ්බා.

24 December 2011

සුබ නත්තලක් වේවා !!!

ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත් බ්ලොග් කියවන ලියන සියළු දෙනාටත් සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවා !!! පහලින් තියෙන්නේ මෙදාපාර නත්තලට මම් හදපු කාඩ් එක. Feliz Navidad Feliz Navidad Feliz Navidad Prospero Año y Felicidad. Merry Christmas Merry Christmas Merry Christmas Prosperous Year and Happiness.

නත්තල් සීතල

පහුගිය අවුරුදු හතරම වගේ දෙසැම්බර් මාසෙම වගේ ගෙවුනේ පේරාදෙණියේ නේවාසිකාගාරයේ. ඒ නිසා නත්තල් සීතල උපරිමයෙන්ම වගේ අත්විඳින්න ලැබුනා.මේ කාලෙට තමා අපිට විභාග ලියන්න වෙන්නේ. සීතලට පාඩම් කිරිල්ල කෙසේ වෙතත් හොදටම නින්ද නම් යනවා. මෙදාපාර නත්තල් සීතල කොළඹටත් හොදින්ම දැනෙනවා කියලා අද ප්‍රවෘත්ති වලටත් කිව්වා. කොළඹ උෂ්නත්වය 25ට අඩුවෙලා නුවර එළියේ උෂ්නත්වේ සෙල්සියස් 5 වෙනකම්ම අඩුවෙලා. මේ සීතලට අපේ පැත්තේ අය නම් කියන්නේ නත්තල් සීතල කියලා. මේ නත්තල් මාසේ නේ !!! නුවර එළියේ මේ දවස්වල පොඩි පොඩි හිම කැට හිටන් වැටෙනවා කියලා ආරංචි උනා. අපිට ඉතින් හිම වැටෙනවා දකින එක අරුමයක් නේ. එක වතාවක් මල්ලිත් එක්ක නුවර එළියේ ඇවිදින්න ගිය ගමනකදි නම් පොඩි පොඩි හිම කැට දැක්කා. ඒවායේ පින්තූරයක් ගන්න නම් බැරි උනා. මෙන්න මට මේල් එකකින් ආපු පින්තූර ටිකක්. (මේ නුවරඑළියේ රේස් කෝස් පිට්ටනියේ දර්ශන ) ප.ලි. - සීතල දවස්වල කරන්න තියෙන හොද වැඩේ තමයි ඉහේ ඉදන් රෙද්දක් පොරවගෙන නිදාගන්න එක. නිදාගන්නවා ඇරෙන්න වෙන සැපතක් මේ මිහිපිට තියෙනවා යෑ. :)

21 December 2011

උද්ඝෝෂණ

කාලෙකට පස්සේ මොනාහරි ලියන්න කියලා බ්ලොග් අඩවියට ගොඩ වැදුනා. රාජකාරි වැඩත් එක්ක ලිපියක් ලියන්න විවේකයක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක්. වෙලාවකට හිතෙනවා අවුරුද්දටම තියෙන්නේ දෙසැම්බර් මාසය විතරයි ද කියලා. ඒ තරමටම වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නැති තරම්. මොනා උනත් වෙලාව තියෙන හැටියකට කියවන්න හිතන් ඉන්නවා. බ්ලොග් ලියන්න කියවන්න ආස හිතුනත් කම්මැලිකම ඊටත් උඩින් !!! :)

ගෙදරට ගොඩ උන හැටියේ අහම්බෙන් වගේ දැක්කේ නුවර ඉදලා පාගමනකින් කොළඹ එන්න හදපු පේරාදෙණි සරසවි ශිෂ්‍යයන්ගේ ගමන ගලහා හන්දියේදිම කෙලවර වෙච්ච සිද්ධියක්. මේ සිද්ධිය අහන්න ලැබුනම මට මතක් උනේ අපිත් ඒ දවස්වල එක එක කාරණා මුල් කරගෙන කොළඹ එනවා උද්ඝෝෂණ (පිකටින් / පිකට්) වලට.

මට වැඩියෙන්ම මතක පිකටින් දෙකක් තියෙනවා.

එකක් තමයි නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉදලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගිය පාගමන. ගමනේ මුළු දුර කිලෝමීටර් 15ක්. පිකටින් එකට ගිහින් එදාම රෑ පේරාදෙනි ආවා. හොස්ටල් එකට එනකොට පාං කියා ගන්න බෑ. ඒ තරමටම මහන්සියි.

අනිත් පිකටින් එක තමයි අරලිය ගහ මන්දිරයට සංදේශයක් අරගෙන යන්න ගියපු ගමන. ඒ ගමන කෙලවර උනේ කදුළු ගෑස් ප්‍රහාරයකින්.ජීවිතේ පළවෙනි වතාවට කඳුළු ගෑස් මොන වගේ ද කියලා දැන ගන්න ලැබුනේ මේ පිකටින් එකෙන්.

අම්මෝ කඳුළු ගෑස් කියන්නේ මහ එපාම කරපු ගෑස් එකක්. ඒක ඇස් වලට ගියාම මාර දැවිල්ලක් තියෙන්නේ. අනිත් එක තමයි කඳුළු ගෑස්වලින් බේරෙන්න මූන තෙමා ගත්තම ඉඳිකටු වලින් අනින්නා වගේ දැවිල්ලක් එනවා.

ඔන්න ඔය පිකටින් දෙක තමයි මට වැඩියෙන්ම මතකයේ තියෙන්නේ.

14 December 2011

ආදරය සහ කාළය

ඔන්න චූටි දුවේ පුතේ එකෝමත් එක කාලෙක අපූරු රටක් තියෙනවා සියළුම මනුස්ස හැඟීම් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන. සතුට, දුක දැනුම, ආදරය වගේ මානුෂික හැඟීම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔහොම කලක් ගත වෙනකොට මේ අය හිටපු එකෝමත් එක රට, ගිලෙන්න යනවා.

මෙහෙම මේ රට ගිලෙන්න යනකොට ආදරය ඇරෙන්න අනිත් හැමෝම බෝට්ටු වල නැඟලා වතුර පාර දිගේ පාවෙවී යනවා. ඉතින් මේ ආදරය, තමන්ගේ උපරිම වෙර වීරිය දානවා කොහොමහරි බේරෙන්න. ඒත් ආදරය, ටිකෙන් ටික දිය පහරේ පහලට ගහගෙන යනවා.

ඉතින් මෙහෙම ගහගෙන යනකොට ආදරය, ධනවත්කම කියන කෙනාගේ බෝට්ටුව ගාවට කිට්ටු වෙනවා.තමන්ව බෝට්ටුව ඇතුලට ගන්න කියලා කිව්වත් මේ ධනවත්කම කැමති නෑ ආදරය බෝට්ටුව ඇතුලට ගන්න. මොකද තමන්ගේ බෝට්ටුව සල්ලි වලින් රත්තරන් මුතු මැණික් වලින් පිරිලා. ඒ නිසා ඉඩක් නෑ.

ඊට පස්සේ ආදරය ආයෙමත් දිය පහරේ පහලට ගහගෙන යනවා.මේ වෙලාවේ කිට්ටු වෙන්නේ ලස්සන බෝට්ටුවක නැඟලා යන ආඩම්බරයාගේ බෝට්ටුව ලඟට. කලින් වතාවේ වගේ මේ වතාවෙත් තමාව බේරගන්න කියලා ඉල්ලුවත් ආඩම්බරයා නෙමෙයි ආදරය දිහා ඇහැක් ඇරලා බැලුවේ.

මේ විදිහට සතුටගේ බෝට්ටුව ලඟටත් දුකගේ බෝට්ටුව ලඟටත් ගහගෙන යනවා. මේ එක්කෙනෙක්වත් ආදරයව බේරගන්න කැමති නෑ.

ආදරයා තමන් ජීවත් වෙන බලාපොරොත්තු අතෑරගන්නවා.ඔහොම තව ටිකක් දිය පහරේ පහලට ගහගෙන යනකොට අහම්බෙන් වගේ වයසක මනුස්සයෙක් ජල පහරේ ගහගෙන ගියපු ආදරයාව බෝට්ටුව ඇතුලට ගන්නවා. ආදරයාත් මේ මනුස්සයා එක්ක ගොඩබිමක් හොයාගෙන යනවා.

මේ දෙන්නා හිටපු බෝට්ටුව ගොඩබිමේ නැවැත්තුවාම අර වයසක මනුස්සයා බැහැලා යනවා. කලබලේට තමන්ට උදවු කලේ කවුද කියලා අහගන්න බැරුව යනවා.

මේ ආදරයා තමන් ලඟ හිටපු දැනුම ගාවට කිට්ටු වෙලා,

"මට අර උදවු කරපු කෙනා කවුද ?"

"ඒ තමා කාළය !!" දැනුම උත්තර දෙනවා.

"ඇයි එයා විතරක් මට උදවු කරන්න ආවේ ?" ආදරයා ආයෙමත් ඇහුවා.

"කාළයට විතරයි ආදරය තේරුම් ගන්න පුලුවන් ! ඒකයි එයා ඔයාට උදවු කලේ !!" දැනුම උත්තර දුන්නා.

ආදරය තේරුම් ගන්න කාළයට ඉඩ දෙන්න !!
-----------------------------------------------------------------------
ප.ලි. - වැඩ කරන අතරතුරේ කියවන්න ලැබුන අපූරු සිතුවිල්ලක් සිංහලයට පරිවර්තනය කලා.

09 December 2011

ඇතා සහ කඹය

දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ඒ ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා තිබ්බේ මේ ජාතියෙම කඹේකින්. ඒ කාලේ නම් කඹේ කඩාගෙන යන්නත් හැදුවා. ඒත් ඌට ඒ කාලේ කඹේ කඩාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඉතින් ඌ ලොකු ඇතෙක් උනත් උට තාම විශ්වාසයි තමන්ට මේ කඹේ කඩාගෙන යන්න බෑ කියලා. ඒ නිසා මුට පුලුවන් උනත් මූ කඹේ කඩාගෙන යන්නේ නෑ." කියලා ඇත්ගොවුවා කිව්වා.

අර මනුස්සයා විස්මය පල කරලා එතනින් යන්න ගියා.

කතාවේ ආදර්ශය - තමන්ට කොයි දේත් බෑ කියලා හිතන්නේ නැතුව තමන්ට තියෙන හැකියාවන් අඳුන ගන්න ඕනා.
-----------------------------------------------------------------------
ප.ලි.- වැඩ කරන අතරේ ලැබුන පොඩි විවේකය අතරතුරේ කියවපු පුංචි කතාවක් සිංහලයට පරිවර්ථනය කළා.

08 December 2011

ආදරය අන්ධයි(ද)

"මචං ආදරේ අන්ධයි නේද බං ?" යාළුවා දිහාට හැරිලා මම් කිව්වා.

"ඈ යකෝ !!! මෙච්චර වෙලා හොදට හිටපු උඹට එකපාරට මොකෑ උනේ ? උඹට ඔල්මාදෙ ද ?" යාළුවා උත්තර දුන්නා.

"එහෙම එකක් නෙමේ බං. අර කෙලවරේ වාඩි වෙලා ඉන්න කපල් එක නහුතෙට තොල් විකා ගන්න එක උන් හිතන්නේ අපට පේන්නේ නෑ කියලා නේ !!"

"කෝ .... බං !!"

"අර පෙම් මුල්ලේ වාඩි වෙලා ඉන්නේ. උඹ ඇස් කටේ දාගෙනද ඉන්නේ ?"

"අඩේ හැබෑමයි නේ බං. උඹට ඉතින් කොහෙං හරි කැරිකිලා ඕවා නම් පේනවා !!!"

වෙනදා වගේම නුගේගොඩ ඉදන් බස් එකේ ඇවිත් ආමර් වීදියෙන් බහිනකොට මට අතීජාත මිත්‍රයෙක් හම්බ උනා. ඌත් එක්ක කදේ වැටිලා ටික වෙලාවකින් අපේ ගමට යන බස් එකට ගොඩ උනා. එතකොට තමයි ඔය කියන ජෝඩුව දැක්කේ.

ඒ වෙලාවේ බස් එක පිරෙන්නම වගේ සෙනඟ හිටියත් අන්තීම සීට් එකේ කෙලවරක වාඩිවෙලා හිටපු ජෝඩුවක් ඔය විදිහට ආදරෙන් අන්ධ වෙලා හිටියා (පවු නේ.) මාත් ඔය සිද්ධිය අහම්බෙන් වගේ දැකලා මං ලඟ හිටපු යාළුවාට පෙන්නුවා.


මේ සිද්ධිය දැක්කම හිතුනේ ඒ කොල්ලයි කෙල්ලයි පුරුදු කාරයෝ දෙන්නෙක් කියලා.

ඔහොම ටික වෙලාවක් යනකොට බස් එකේ හිටගෙන හිටපු එක එකාගේ ඇස් අර ජෝඩුව දිහාවට යොමු උනා. ඒත් උන් දෙන්නට නෙමෙයි ගානක්වත් තිබුනේ.
මේ සිද්ධිය දැකපු සමහර මැදි වයසේ අය නම් "මුන්ට විලි ලැජ්ජ නෑ" කියලා තමන්ට විතරක් ඇහෙන්න බැන ගත්තා.

තවටික වෙලාවක් යනකොට මේ සීන් එක ඉහින් කනින් ආරංචි වෙලා සීට් වල වාඩිවෙලා හිටපු එක එකා චුට්ට චුට්ට ඉස්සිලා ඒ දෙන්නා දිහා බලන්න ගත්තා.
කොටින්ම බස් එකේ හැම එකාගෙම අවධානය ඒ දෙන්නා පැහැර ගත්තා කිව්වොත් මම වැරදි නෑ.

මේ වගේ දේවල් පිටරටවල් වල අරුමයක් නැති උනාට අපට නම් අළුත් දේවල්. AC බස් වල මෙහෙම ඒවා වෙනවා කියලා දැනගෙන උන්නට සාමාන්‍ය බස් වලත් මෙහෙම වෙනවා කියලා මම් දැනගත්තේ අදමයි.

කොහොමහරි මේ දෙන්නා පෑලියගොඩ පහුවෙනකොට බැහැලා ගියා. මේ දෙන්නගෙ නිදහස නේ කියලා හිතලා වෙන්නැති කවුරුවත් මුකුත් කියන්න ගියේ නෑ.
ඊට පස්සේ මමයි අරුයි බස් එකෙන් බහිනකම් දවසේ විස්තර කතා කර කර ගියා.

වෙනදට වාහන තදබදයට අහුවෙලා සෙනඟ අතරේ තෙරපිලා යන ඒකාකාරි අතෘප්තිකර බස් ගමන සුන්දර කලාට මේ දෙන්නට ස්තුතියි කියමු !!!

-------------------------------------------------------------
ප.ලි. - අපේ දිල් අක්කා හිටියා නම් මෙලහකට බැනලා පෝස්ට් එකක් දාලා. ඔන්න මම මේ වැරැද්ද සිද්ධිය සාධාරණිකරණය කළා. :)

06 December 2011

ගුරු පඩුරු

දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී දූගේ උපන්දිනේ ලූ. කේක් කපන්නේ ඉස්කෝලේ ළමයි එක්ක බෙදාගෙන කන්න ලු.

"මොකෑ පුංචිඅම්මේ කේක් පොඩිවට කපන්නේ ?" මම් නිකන් ඉන්න බැරුවට ඇහුවා.

"නැත්නම් කොහොමද කියහන්කෝ කේක් ග්‍රැම් 750ක් කෑලි 40කට කපන්නේ ?" පුංචි අම්මා කිව්වා.

"ඉතින් ඕකට කේක් කිලෝ එකක් විතර ගත්තා නම් ඉවරයි නේ ?"

"කේක් කිලෝ එකක් තමයි ගත්තේ. දෙසිය පනහක විතර කෑල්ලක් කපලා තියාගත්තා ටීචර් ට දෙන්න. මේ තියෙන්නේ ඒක බ්‍රවුන් පේපර් එකක ඔතලා." පුංචි අම්මා එහෙම කියලා බ්‍රවුන් පේපර් එකකින් ලැමිනේට් කරපු කේක් කෑල්ලක් පෙන්නුවා.

"ටීචර්ටත් ලොකු කේක් කෑල්ලක් දෙන්න ඕන් ද ?"

"නැත්නම් !!!! අනිවාර්යෙන්ම ටීචර්ට දෙන්න ඕනා. නැත්නම් විසුමක් වෙන්නේ නෑ. ටීචර් හැමදාම රෙජිස්ටරේ බලලා ලඟ දවසක උපන්දිනේ තියෙන අයගේ පොත් වල ලියනවා කේක් ගේන්න කියලා. "

"ඉතින් කේක් නැතුව එන මොනහරි යැවුවනම් ඉවරයි නේ !!!" මං කිව්වා.

"අපෝ බෑ !!!! කේක්ම ගේන්න කිව්වා. ගියපාර උපන්දිනේට කිට් කැට් 40ක් යැවුවා කියලා. මේපාර කිට් කැට් නම් එවන්න එපාම කියලා පොතේ ලියලා එවලා !!!!"

"එතකොට උපන්දිනේ සමරන්නේ ටීචර්ට කේක් කන්නද ?" මම් ඇහුවා.

"ඉස්සර වගේ නෙමේ ලොක්කෝ !!! දැන් ටීචර්ලාට අනිවාර්යෙන්ම සලකන්න ඕනේ. නැත්නම් ළමයට එක එක වෙනස්කම් කරනවා. ඉස්සර තමයි ටීචර්ලා මුකුත් දුන්නට බාර ගන්නේ නැත්තේ. දැන් එහෙම නෑ. අවුරුද්ද අන්තිමට අම්මලා එකතු වෙලා ටීචර්ට තෑගි එහෙමත් අරන් දෙන්න ඕනේ. එකේ පංතියේ ඉදලා තුන්වෙනි පංතිය වෙනකන් ඉන්නේ එකම ටීචර් හන්දා ටීචර්ව ෂේප් එකේ තියාගන්න ඕනා. !!!!"

------------------------------------------------------
ප.ලි. - අම්මෝ බලාගෙන ගියාම පුදුම ටීචර්ලා තමයි දැන් ඉන්නේ.

03 December 2011

කාර්ය බහුල සතියක්

පහුගිය සතියේ පුදුම වැඩ කන්දරාවක් තිබුනේ. අනිත් එක තමා රස්සාවට ගොඩක්ම අළුත් නිසා දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි කියලා හිතුනා.ඒ නිසා ඒ දේවල් ඉගෙන ගන්නත් කාළය යොදවන්න සිද්ද උනා. කැම්පස් එකේ උගන්නපු සීමාවෙන් එහා දේවල් තමයි වැඩ කරන කොට ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන එකත් නියමයි.

ඒත් සමහර එවුවා තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යන එක තමා අවුල.

ඒ වැඩ අතරෙම හදිස්සියේ නුවරඑළියේ මලගෙදරක යන්න සිද්ධ උනා. අපිත් එක්ක වැඩට ආපු අපේ බැච් එකේ කෙනෙක්ගේ අප්පච්චි තමයි නැති වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ වකුගඩු අමාරුවකින් වේදනා විඳලා අන්තිමේදි ජීවිතය දාලා ගිහින්.

අපිත් එක්ක ඉගෙන ගත්තු අපේ බැච් එකේ කෙනෙක්ගේ නිසා අනිවාර්යෙන්ම යන්න එපැයි. ඒ නිසා අපි ලොක්කට කියලා නිවාඩුවකුත් අනුමත කර ගත්තා. ලොක්කාත් අත දිග ඇරලා 'දවසක්ම' නිවාඩු දුන්නා ගිහින් වර කියලා.

කැම්පස් එකේ හිටපු දවස් වල නම් මලගෙයක් උනාම නයිටක් ගහන එක අනිවාර්යෙන්ම කරනවා. ඒත් දැන් එහෙම නිවාඩුවක් නෑ. ඒ නිසා එක දවසින් ගිහින් අනිත් අතට එන්න හිතන් අපි නුවරඑළි ගියා. AC බස් එකක යන්නම පැය හයක් ගියා. ඔය AC බස් වල ගමන මරු. මරු මරු සීනුත් දැක්කා.(ඒවා පසුවට)

නුවරඑළි ටවුමෙන් බැහැලා ඊට පස්සේ මල් ශාලාවක් හෙවුවා ලොක්කා දීපු සල්ලි වලින් මල් වඩමක් ගන්න. කිව්වට විශ්වාස කරන එකක් නෑ. අච්චර මල් තියෙන නුවර එළියේ එක මල්වඩමක්වත් හොයාගන්න තිබ්බේ නෑ. මල් හොයලා අපි මලා !!!

ඊට පස්සේ මලගෙදර ගියා. ගිහින් අපිට එහේ ඉන්න උනේ විනාඩි විස්සයි. අනෙක් අතට එන්න පිටත් උනා. මොකද පහුවෙනිදා වැඩට එන්න එපැයි.

යන්න පෑ හයයි එන්න පෑ හයයි. ඔක්කොම පැය දොලහක්. !!!! ගෙදර එනකොට පාං කියා ගන්න බෑ.

පහුවෙනිදා වැඩට ආවම මැෂින් එක ඉස්සරහා නින්දත් යනවා. නිදි කඩ කඩ තමා වැඩ කලේ. ඔහොම තමා පහුගිය සතියම ගෙවුනේ.

කට්ටිය බිසී බිසී කියලා කිව්වට බිසී කියන වචනේ තේරුම හරියටම දැන ගත්තේ ගිය සතියේ. ඒ සතියේ බ්ලොග් කියෙව්වෙත් හරි අඩුවෙන්. කියවන්න හිතුනට මහන්සි වැඩියි. :)

26 November 2011

මගේ ජීවිතය

සීතල කුටියක පහස විඳ
කැරකෙන පුටුවක වැතිර හිද
අඟල් දාහතකට මුළු ජීවිතය පුද
තිරයට එපිට ලොවක් තියෙනවද?



----------------------------------------------------------------------
ප.ලි.- මේ දවස්වල මගේ හිතේ තිබුන අදහසක් !!!! පරිගණකය, ජීවිතය කරගෙන ඉන්න එකත් නියම අත්දැකීමක් !!!

ප.ප.ලි. - ඔන්න මේ පින්තූරේ ඉන්නේ මම නම් නෙමේ. මට නම් පරිගණකය ඉස්සරහා නින්ද යන්නෙම නෑ.

23 November 2011

බසයක් තල්ලු කලෙමි

අදත් වෙනදා වගේම වැඩට යන්න බ්ස් හෝල්ට් එකට ආවා.වෙනදට හරියට වෙලාවට එන බස් එක අද ප්‍රමාදයි !!! වෙනදා වෙලාවට වඩා ටික වෙලාවක් පරක්කු වෙලා බස් එක ආවා. අම්මෝ බස් එක කට කපලා සෙනග !!!! කෝමහරි ට්‍රැෆික් එකට එහෙමත් අහුවෙලා ආමර් වීදියට ආවා.

ආමර් වීදියට එනකොට වෙනදා වෙලාවට වඩා පෑ බාගයක් විතර ප්‍රමාද වෙලා.ඊට පස්සේ ආමර් වීදියෙන් නුගේගොඩ දිහාවට යන බස් එකකට ගොඩ උනා. ටික වෙලාවකින් බස් එක පිටත් උනා. මරදාන කිට්ටුවට ගාට ගාට ඇවිත් එක පාරටම ටවර් හෝල් එක ලඟ තුම්මන් හන්දිය මැද්දටම වගේ වෙන්න බස් එක හිට්ටා !!!

ඩ්‍රැයිවර් පුදුම උත්සහයක් අරගත්තා බස් එක ස්ටාර්ට් කරන්න. ම්හු... බස් එක නෙමෙයි එක අඩියක්වත් ඉස්සරහට ගියේ.

අන්තිමේදි කොන්දොස්තර අයියා එක පාරටම "ඔය මහත්තුරු චුට්ටක් ඇවිත් බස් එක තල්ලු කරන්න උදව්වක් දෙන්න !" කියලා කිව්වා.

පිරිමි කට්ටිය එකා එකා මූනත් එක්ක ඇඹුල් කරගෙන බස් එකෙන් බැස්සා. සල්ලි ඉල්ලගෙන ෂේප් එකේ මාරු වෙන්න හිතුනත් කරදරයක් වෙච්ච වෙලාවකට එහෙම ෂේප් වෙන එක හරි මදි නිසා මාත් බස් එක තල්ලු කරන්න උදවු උනා.

උදේ පාන්දරම හිස් බඩම බස් එකක් තල්ලු කරනකොට හරිම සනිපයක් දැනෙන්නේ. පුල් ඩම් එක දාලා තල්ලු කලත් බස් එක එක අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ.

"මෙහෙම හරි යන්නේ නෑ අයියා !!!! ගෑනු කට්ටිය කේක් ගෙඩි වගේ බස් එක ඇතුලේ ඉන්නැද්දි බස් එක තල්ලු කරන්න බෑ. ඒ කට්ටියට බැහැ ගන්න කිව්වා නම් !" කියලා මම් කොන්දා අයියට යෝජනාවක් දැම්මා.

"හරි මල්ලි !"

කියලා කොන්දා අයියත් බස් එකේ ලැගගෙන හිටපු බවලත් උදවියට බහින්න කියලා බස් එක ආයෙමත් තල්ලු කලා.කොහොමහරි තුම්මන් හන්දියෙන් බස් එක අයිනකට තල්ලු කරලා ඉතුරු සල්ලිත් ඉල්ලගෙන බස් හෝල්ට් එකට ආවා. බස් එක තල්ලු කරලා අත් දෙක ගන්න හසරක් නෑ. මොකද ලංකාවේ බස් හෝදනවා කියලා යෑ. දූවිලි විමානේ !!!

ඊට පස්සේ ටවර් හෝල් එක ලඟ බස් හෝල්ට් එකට ආවා.අම්මෝ බස් වල සෙනඟ ! මරදානෙන් බස් එකකට ගොඩ වෙනවයි කියලා කියන්නේ මාරම ගේමක්. යාන්තම් සෙනග චුට්ටක් විතර අඩු බස් එකක් ආවා. මාත් ඒකට ගොඩ උනා.

ඔය සේරමත් වෙලා අන්තිමේදි අට හමාරට විනාඩි පහකට විතර කලින් ඇඟිලි සලකුණු මැසිමට ඇඟිල්ල තියා ගත්තා.ඔන්න ඔහොමයි මම අද බස් එකක් තල්ලු කලේ.

19 November 2011

හැනොයි කුළුණ

අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලයේ දේශනයකදි කියලා දුන්නා. කට්ටිය නම් මේ සෙල්ලම ගැන මෙලහකටත් දන්නවා ඇති.

මෙහෙමයි සෙල්ලම කෙරෙන්නේ.

මේ තියෙන්නේ හැනොයි කුළුණක් (Tower of Hanoi)

තරඟ කොන්දේසි
වම් පැත්තේ තියෙන තැටි සේරම ටික දකුණු පැත්තේ කුළුණට ගිහින් දාන්න ඕනේ. හැබැයි එකවරකට එක තැටියයි කුළුනකට දාන්න පුලුවන් වෙන්නේ. තව එකක් තමා පොඩි තැටියක් උඩ ලොකු තැටියක් වැටෙන්න බෑ.


මේ සෙල්ලම ගොඩාක් පරණ එකක්. ඉන්දියාවේ පන්සලක තියෙනවලු මෙහෙම රත්තරන් තැටි 64ක් තියෙන හැනොයි කුළුනක් !!!! ඒ කුළුණේ වම් පැත්තේ තියෙන තැටි සේරම දකුණු පැත්තේ කුළුණට දාන්න ඕනේ. මෙහෙම තැටි එකින් එක අර මම් උඩ කියපු නීති වලට එකඟව දකුණු පැත්තේ කුළුනට දාලා අන්තිම තැටිය කුළුණට වැටෙනකොට ලෝකය විනාශ වෙනවලු !!

අන්තිම තැටිය කිව්වේ පොඩිම තැටිය !!!!

මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264 -1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!

වම් පැත්තේ තැටි සේරම අනිත් පැත්තට වැටෙනකොට 18,446,744,073,709,551,615 වාර ගානක් අවශ්‍ය වෙනවලු.

ඉතින් හිතාගන්න පුලුවන් නේ සෙල්ලමේ තරම කෝමද කියලා. අපිට කැම්පස් එකේ උගන්නපු දේශකවරයා කිව්ව විදිහට මේ සෙල්ලම කරන්න කම්පියුටර් එකකට බාර දුන්නොත් ලෝඩ් එක වැඩිවෙලා රැම් එක ගිනි ගනී ලූ.

----------------------------------------------------------
ප.ලි. - ගෙදර විවේකිව ඉන්න වෙලාවක සෙල්ලම කරලා බලන්න. තැටි තුන හතරක් ගත්තොත් වැඩේ ගොඩක්ම ලේසියි. මෙන්න තැටි හතරක හැනොයි කුළුණේ සෙල්ලමේ විසදුම !!


(තැටි තුනක් හොයාගන්න බැයි නම් එක එක සයිස් වල පොත් තුනක් හොයාගෙන කරලා බලන්න.)

17 November 2011

අපේ කොරිඩෝව

කාලෙකට කලින් කැම්පස් එකේ ෆොටෝ වගයක් ඕන වෙලා අන්තර්ජාලේ පීරලා හොයන කොට අපූරු පින්තූරයක් හම්බ උනා. ඒ පින්තූරේ තමා ඔය පහලින් තියෙන්නේ. මේ පින්තූරේ තියෙන්නේ අපේ කොරිඩෝව !!! අපේ කියලා කිව්වේ අපේ ඉංජිනේරූ පීඨයේ. කැම්පස් එකේ පින්තූර අන්තර්ජාලේ ගොඩක් හොයාගන්න තිබ්බට මේ කොරිඩෝවේ පින්තූර නම් හොයාගන්න තිබ්බේ නෑ. මේ කොරිඩෝව දැක්කම අපේ රැග් සීසන් එකේ දි අපට කියලා දීපු කතාවක් මතක් උනා. ඒක තමයි මේ කොරිඩෝවේ දෙකෙලවර ගොඩක් අදුනන දෙන්නෙක් හිටියත් එවුන් දෙන්නට එකිනෙකාව අදුන ගන්න බෑයි කියලා කියනවා. හැබැයි මම් මේ කියපු කතාව ඇත්තද කියලා බලලා නෑ.ඇත්ත වෙන්ටෑ. කොරිඩෝවේ දිග හිතාගත්තෑකිනේ. පින්තූරේ ගත්තේ මෙන්න මෙතනින්

15 November 2011

බැංකු පොත

කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන් වෙන්න කියලා බ්ලොග් එකේ පෝස්ට් කරන්න. මේ කතාවේ ගෑනු ළමයා සහ පිරිමි ළමයා අනුපිලිවෙලින් නදීශානි සහ චරිත ලෙස ගනිමු.

කතාව මේකයි.

මේ කතාවේ නදීශානියි චරිතයි කසාද බඳින දවසේ නදීශානිගේ අම්මා නදීශානිට අළුතෙන්ම පටන් ගත්තු බැංකු ගිනුමක් ඩොලර් 1000ක විතර තැන්පතුවක් එක්ක නදීශානිට දෙනවා. මේ බැංකු පොත නදීශානිගේ අතට දෙන ගමන් අම්මා මෙහෙම කියනවා.

"නදීශානි දුවේ, මේ බැංකු පොත අරගෙන තමන්ගේ ඉදිරි ජීවිතේ මතක හිටින දෙයක් සිද්ද උනොත් ඒක මතක් වෙන්න මේ පොතට ගානක් බැර කරන්න. ඒ රූලෙම සිදුවීම මොකද්ද කියලා ලියන්න අමතක කරන්න එපා !!! ඒ සිදුවීම ගොඩක් සුවිශේෂ එකක් නම් පොතට දාන ගාන වැඩි කරන්නත් අමතක කරන්නෙපා."

ඉතින් මේ සේරම තමන්ගේ හිතේ ධාරණය කරගෙන නදීශානි බැංකු පොත අතට ගන්නවා. නදීශානි මේ කතාව තමන්ගේ ස්වාමි පුරුශයා වෙච්චි චරිතටත් කියනවා.

කාලයක් ගත උනා....

ඒ බැංකු පොතේ මෙහෙම සටහන් වගයක් තිබුනා.

පෙබරවාරි 7 - විවාහයෙන් පස්සේ චරිතගේ පළවෙනි උපන්දින සැමරීම. (ඩොලර් 100යි)

මාර්තු 1 - නදීශානිගේ වැටුප් වැඩි වීම. (ඩොලර් 300 යි)

මාර්තු 20 - විනෝද චාරිකාවක් ගියා (ඩොලර් 200යි)

අපේල් 15 - නදීශානිට දරුවෙක් ලැබීමට සිටියි. (ඩොලර් 2000යි)

ජුනි 1 - චරිතට රැකියාවේ උසස්වීමක් ලැබුනා. (ඩොලර් 3000යි)

තව තවත්.......


කාලයක් ගත වෙනකොට මේ දෙන්නා පොඩි දේටත් රණ්ඩු වෙන්න ගහ මරා ගන්න ගත්තා. කොටින්ම මේ දෙන්නට කසාදේ එපා වෙන තරමට මේ රණ්ඩු දුර දිග ගියා.

"අම්මේ මට නම් මේ මනුස්සයා එක්ක තවදුරටත් ඉන්න බෑ. මම් ඉක්මනටම දික්කසාද වෙනවා." දවසක් නදීශානි අම්මට කිව්වා.

"අනිවාර්යෙන්ම. ඒක එච්චර දෙයක් නෙමේ දූ. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් ඔක්කෝටම කලින් අර බැංකු පොතේ තියෙන සල්ලි සේරම වියදම් කරලා ඉන්න.!!!" අම්මා කිව්වා.

දවසක් නදීශානි මේ බැංකු ගිනුමේ තිබ්බ සේරම සල්ලි ගන්න බැංකුවේ පෝලිමේ හිටියා.එයා ඉන්න ගමන් බැංකු පොතේ සටහන් එකින් එක කියවලා බැලුවා. තමන් සතුටින් හිටපු දවස් වල සටහන් එකින් එක නදීශානි කියෙව්වා. මේ සටහන් දැකලා නදීශානිට දුක හිතිලා බැංකු පොතේ සල්ලි ගන්න එක අතෑරලා දාලා යන්න යනවා.

නදීශානි ගෙදර ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයාව බැංකුවට එවුවා මේ පොතේ සල්ලි සේරම ටික ගන්න කියලා. එයත් අර විදිහටම සටහන් ටික කියවලා යන්න යනවා.

ටික දවසක් ගත උනාට පස්සේ බැංකු පොතට තවත් ඩොලර් 5000ක් බැර කරලා තියෙනවා කියලා නදීශානි දකිනවා.

අගෝස්තු 4 - "ඔයා මට මේ අවුරුදු කිහිපය ඇතුලත මට දීපු සතුට වෙනුවෙන් සහා මේ අවුරුදු කිහිපය ඇතුලත මම් ඔයාට කරපු ආදරේ වෙනුවෙන්" (ඩොලර් 5000)


ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) .

-----------------------------------------------------------------------
ප.ලි.- මේ කතාවේ තිබ්බ ඉංග්‍රිසි නම් දෙක, ලිවීමේ පහසුවට සිංහල නම් දෙකක් කරලා ලිව්වා.

13 November 2011

මෝහනය උනෙමි

මේ සිද්ධිය වෙනකොට මම් ඉස්කෝලේ දොලහේ පංතියේ හිටියේ. එක දවසක් අපේ පංතියේ සේරම කට්ටිය එක්කගෙන ගියා වත්තල- මාබෝලේ නගර සභාවේ නගර ශාලාවට. එක්ක ගියේ මොන හේතුවටද කියලා කිව්වේ නෑ.ගියාට පස්සේ නගර ශාලාව දැක්කට පස්සේ තමයි හිතුනේ මොකක් නමුත් දේශනයකට තමා එක්ක ගියේ කියලා.

ඉතින් අපිත් වාඩිවෙලා දේශනෙ පටන් ගන්නකන් හිටියා.ඒක මනෝවිද්‍යා දේශනයක් !!!

මුලින්ම දේශකවරයා ඇවිත් උඩු හිත,යටි හිත,විඥානය, මනෝකාය ගැන සෑහෙන වෙලාවක් කියවගෙන කියවගෙන කියවගෙන ගියා. මට සමහර එවුවා ඇහුවේ නිකන් හීනෙන් කියනවා වගේ. ඒ තරමටම කතාව ටිකක් නීරසයි.

"හරි !!! මම් දැන් ඔයාලව මෝහනය කරන්න යන්නේ !!"

දේශකවරයා එහෙම කිව්වා විතරයි මයේ ඇඟත් හීතල වේගෙන ආවා !!!
මොකද මම් මෝහන වෙච්ච අය ගැන අහලා තිබ්බ කතා හැටියට එහෙම වෙන එක සාධාරණයි.

ඊට පස්සේ තමා වැඩේ !!

අපි ඔක්කෝටම හොදට පුටුවට හේත්තුවෙලා වාඩි වෙන්න කිව්වා. නිෂ්ශබ්ද වෙන්න කියලා ඇස් පියාගන්න කිව්වා. කෝමහරි මාත් ඔහොම ඇස්පියාගෙන හිටියා.

ඊට පස්සේ දේශකවරයා මොනවද මන්දා කියාගෙන කියාගෙන ගියා.

"දැන් ඔබේ සිරුර සැහැල්ලු වෙනවා !!!! ඔබව උඩට ඇඳීගෙන යනවා !! ඔවු ඔබව උඩට ඇදීගෙන යනවා !!!"

දේශකවරයා එහෙම කිව්වා.අම්මෝ එතකොට මාව එකපාරට පුටුවෙන් නැගිටුනා වගේ උනා. ඊට පස්සේ ටික ටික උඩ යන්න ගියා. කෝම හරි අඩි හය හතක් උඩට ගියහම පහල ඔක්කෝම කට්ටිය පුටුවල වාඩිවෙලා ඉන්න හැටි හොදටම පෙනුනා.මට පල්ලෙහා පුටුවක වාවිවෙලා ඉන්න මාවම පෙනුනා. ඊට පස්සේ මම් හොදටෝම බය උනා. මොකද එකපාරට පහලට වැටුනොත් එහෙම...

දැන් ඔහේ ආගිය අතේ පාවෙන්න ගත්තා.මම දන්නෙත් නෑ මම් කොහේ යනවද කියලා.පාවෙන පාවෙන සැරයක් ගානේ බය ටිකෙන් ටික වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.

අන්තිමේදි ආයෙමත් දේශකවරයගේ කට හඬ ඈතකින් වගේ ඇහුනා.ඊට පස්සේ තමා පියවි සිහියට ආවේ. එතකොට මයේ මුලු සරුවාංගෙම දාඩියෙන් පෙඟිලා.

ඔන්න ඕක තමා මම් විඳපු එකම එක මෝහන අත්දැකිම. අම්මෝ ආයෙම නම් මෝහනේ වෙන්න ඕනෙම නෑ !!!

10 November 2011

ලංකාවේ චිත්‍රපටි

කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් තමයි ගාමනි චිත්‍රපටිය බලන්න යන්න ඕනේ කියන එක.මීට කලින් අපේ මලයයි මායි ගිහින් කිං හන්තර්, චැලෙන්ජස් වගේ චිත්‍රපටි බලලා තිබුන නිසා මේ චිත්‍රපටියත් බලන්න ආස හිතුනා.

අද නිවාඩුවේ ගෙදර කට්ටියත් එක්ක චිත්‍රපටිය බැලුවා. පොරි පැකට් එකකුත් කකා තමා බැලුවේ.මොකද චිත්‍රපටියක් බලනකොට අනිවාර්යෙන්ම පොරි කන්න එපැයි !!! නැත්නම් චිත්‍රපටිය බැලුවේ නෑ වගේ නේ.

ඇත්තටම ගාමනි කියන්නේ ලස්සන චිත්‍රපටියක් !!!

මේ වගේ ලස්සන චිත්‍රපටි නිර්මාණය වෙනවනම් තව අවුරුදු කිහිපයක් යනකොට ලෝක සිනමාවත් එක්ක තරඟ කරන්න නැති උනත් ඒ ආසන්නට එන්න පුලුවන් අනාගතයක් ලංකාවේ සිනමාවට තියේවි.

මට මතකයි කාලෙකට උඩදි විකට චිත්‍රපටි හතු පිපෙන්නා වගේ බිහි උනා.කොටින්ම චිත්‍රපටියේ නිෂ්පාදකයා හිලෑ කරපු වඳුරෙක්, අලි පැටියෙක් කොහේදි හරි දැක්කොත් ඌව දාලා චිත්‍රපටියක් කරනවා. ඒක මෙලෝ රහක් නැති චිත්‍රපටියක් !!!

තව චිත්‍රපටි ජාතියක් තමා පටන් ගත්ත වෙලේ ඉදන් මෝඩ විහිලු තියෙන චිත්‍රපටි. එවුවා බලලා කිති කවා ගන්න ඕනේ හිනා යන්න. ඒ චිත්‍රපටි අතර හොද ඒවත් නැතුවම නෙමේ. නමුත් ගොඩක් එවුවා වල තිබ්බේ මෝඩ විහිලුයි දෙපැත්ත කැපෙන කතායි !!!

එවුවා ඉතින් පාඩුවට දුවන එක අහන්නත් දෙයක් යෑ

චිත්‍රපටි කිව්වම අපේ අම්මලා අප්පච්චිලා කියනවා ඒ කාලේ චිත්‍රපටි දැන් ඒවට වඩා හොදයි ලූ. ඒ කාලේ චිත්‍රපටි බලන්න පවුල් පිටින් එනවලු. අනිත් එක තමා රගපෑම් එහෙමත් නියමයි ලු.සිංදු ෆයිට් විහිලු එහෙමත් අඩු නැතිව තියෙනවලු. සිංදුවක් යනකොට කට්ටිය හෝල් එක ඇතුලේ ඉදන් කෑගහලා කියනවලු. ෆයිට් එකක් එහෙම යනකොට විසිල් හිටන් ගහනවලු.

මේ කියපු කතා වලින්ම හිතාගන්න පුලුවන් ඉස්සර කොච්චර හොද ප්‍රේක්ෂකයෝ පිරිසක් හිටියද කියලා.

මට නම් හිතෙන්නේ එකම රැල්ලකට යන චිත්‍රපටි නැතුව බඹර වළල්ල, විදූ, පුරහඳ කළුවර වගේ ලස්සන සිනමා නිර්මාණ බිහිවෙනවා නම් චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ ආයෙමත් සිනමා ශාලාවට අද්ද ගන්න බැරි වෙන එකක් නෑ. !!!

06 November 2011

නියම උදව්ව

කාට උනත් කරදර කාලයක් දුක් විඳින කාලයක් තියෙනවා. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.

නමුත් තවත් සමහර අය උදවු කරන්න එනවා.එහෙම උදවු කරන අයගෙන් එක කොට්ඨාසයක් ඇත්තටම උදවු කරන්න එන අය. එහෙම අය නම් වාසනාවක්.

ඒත් තවත් සමහර අය උදවුවක් කරන්න එන්නේ උදවුවක් බලාගෙන.අර කතාවටත් කියන්නේ 'මීයක් කඩන්නේ අත ලෙව කන්න ද' කියලා.අන්න එහෙම උන්ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ.

කරදරයක වැටිලා ඉන්න එකා උදවුවක් කරන්න එන කෙනා ගැන 100%ක්ම විස්වාස කරන නිසා අනිවාර්යෙන්ම උදව් ගන්නවා.ඊට පස්සේ කරදර කාලේ ඉවර උනාට පස්සේ උදවු කරපු එකා හදන්නේ මූගෙන් තමන්ට කරගන්න පුලුවන් වැඩ කරගන්න.

මේ කතාවම තමයි බඹර වලල්ල චිත්‍රපටියෙත් කියන්නේ.


නමුත් අපේ අම්මා දවසක් මට කියනවා බයිබලයේ තියෙනවාලූ අපි උදවුවක් කරන්න ඕනේ අපට ප්‍රති උදවුවක් කරන්න බැරි කෙනෙක්ට ලූ. එතකොටලු ඒ උදව්ව නියම උදවුවක් වෙන්නේ.

බයිබලයේ තියෙන කතාවත් ඇත්ත තමා. උදවුවක් කරලා උදවුවක් බලාපොරොත්තු වෙන්න හොද නෑ. එතකොට ඒක නියම උදවුවක් වෙන්නේ නෑ.

05 November 2011

ලම්ප්‍රයිස්

දවසක් හවස් වරුවක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම් හිතුවා වගේම ඒ මම් ආදරේ කරපු ගෑනු ළමයාගෙන්. ඒ වෙලාවේ එයා කෑම ගේන්න ටවුමට ගිහින් එනගමන් ලු හිටියේ. මම් ඇහුවා මොනාද කන්න ගත්තේ කියලා. මෙන්න එකපාරටම කියපි 'ලම්ප්‍රයිස්' ගත්තා කියලා.

"මොනවද ලම්ප්‍රයිස් කියලා කියන්නේ ?" මම් දන්නේ නැති කමට ඇහුවා.

"අයියෝ සුදු ඔයා ලම්ප්‍රයිස් කාලා නැද්ද ? ලම්ප්‍රයිස් කියලා කියන්නේ කෙහෙල් කොලේක ඔතපු බත් වලට. කෙහෙල් කොලේට ඉංග්‍රිසියෙන් කියන්නේ ලම්ප් කියලා."

(මෙතන 'සුදූ' කියලා කියලා ආමන්ත්‍රනය කරන්නේ මට)

"ආ.. සමහර දවස්වලට මාත් ගෙදර බත්, කෙහෙල් කොලේ ඔතන් කනවා." මම් පරණ මතකයක් අවදි කලා.

"එහෙම නෙමෙයි සුදූ !!! මේ බත් රසා..යි. මසුයි මාලුයි බිත්තරයි තියෙනවා. ඔයා මේ සෙනසුරාදා මාව හම්බ වෙන්න ආවම අපි දෙන්නා ලම්ප්‍රයිස් කමු."

ගෑනු ළමයගේ පැහැදිලි කිරීමට මගේ කටට කෙලත් ඉනුවා.

"හරි.. එහෙනම් මම් ගානේ අයිස්ක්‍රීම් කමු."

සෙනසුරාදා දවසේ....

එදා අපි දෙන්නා හම්බවෙලා ටිකක් වෙලා කතා කර කර ඉදලා දවල්ට කන්න කියලා කඩේකට ගියා. ඊට පස්සේ එයා කියපු විදිහට ලම්ප්‍රයිස් එකක් ගෙනාවා. අපි දෙන්නා කොනක තිබ්බ මේසයක් ලඟට ගීහින් බත් එක දිගඇරියා. අර කිව්වත් වගේ මසුයි මාලුයි බිත්තරයි ඔක්කොම තියෙනවා. අපි දෙන්නා කන්න පටන් ගත්තා.

"සුදූ !!!"

"ඇයි රත්තරනේ !!! " මම් බත් කටක් කන ගමන් උත්තර දුන්නා.

"මේ බත් එක කන්නේ අපි දෙන්නා විතරයි නේ ?"

"ඔවු. ඇයි ඔයා එහෙම ඇහුවේ ??"

"නෑ... ඔයා කන වේගෙට මම් හිතුවේ මේ බත් එක කන්න තව හය දෙනෙක්වත් ඉන්නවා ඇති කියලා."

අර කිව්වත් වගේ කෑම එකේ රහ වැඩිකමට මගේ කන ඉපීඩ් එකත් වැඩි වෙලා තිබුනේ. ඊට පස්සේ මම් කෑම එක කන වේගේ බාල කරගත්තා. එදා ඒ කෑම එකේ මාරම රහක් තිබ්බේ. වෙනදා කන බත් වයේ යෑ ආදරෙත් එක්ක අනලා කනකොට !!! ආදරෙත් එක්ක කනකොට වහ ටිකක් උනත් එක හුස්මට කාලා දාන්න පුලුවන්.

මට මතක හැටියට එද බත් කාලා අයිස් ක්‍රීම් කෑවේ නැද්ද කොහෙද. :)

"මේ කෑම එකට කීයක් උනාද ?" මම් කාලා ඉවර වෙලා අත හෝදන ගමන් ඇහුවා.

"දෙසීය තිහයි !!"

"අම්බෝ !!! එච්චර ගනන් ද"

"ඔය ඉතින්.... ඔහොම හූල්ලන්න එපා සුදූ. ඔයා හින්දනේ මම් ඒ ගාන වියදම් කලේ. ඉතින් ඒක පාඩුවක් යෑ. අනික අපි දෙන්නා හැමදාම මෙහෙම කනවා යෑ."

එහෙම කියලා එයා ඇස් පුංචි කරලා හිනා උනා. ඇයි කියලා දන්නේ නෑ ඒ හිනාව තාමත් මගේ හිතේ ඇඳිලා තියෙනවා.

අද....

එදා මතයක හිතේ තියාගෙන අදත් මම් ලම්ප්‍රයිස් එකක් ගත්තා. ඒත්.. එදා බත් එකේ තිබ්බ රහ පොඩ්ඩක්වත් මට දැනුනේ නෑ. කන්නත් එච්චරම පිරියක් නෑ.

ඔය බඩගින්නේ ඉන්න ගෑල්ලමයෙක් ඉන්නවනම් මාත් එක්ක මේ බත් එක කන්න ආවට කමක් නෑ.
(ගෑනු ළමයි එකා මත එකා පොරකයි.)

අම්බෝ බලාගෙන ගියාම ගෑල්ලමයි ඔක්කෝම බඩගින්නේ නේ ඉදලා තියෙන්නේ !!!

හා හා කාරි නෑ කාරි නෑ. තම තමන් වෙනදා කන විදිහටම ගෙදරින් කන්න.

මම් මේක තනියම කා ගන්නම් !!!

(අන්තර්ජාලේ පීරලා ලම්ප්‍රයිස් එකක පින්තූරයක් හොයා ගත්තා. මේ තියෙන්නේ ඒක )

02 November 2011

ෆෝබියාව

එතකොට මම් හිටියේ දහතුනේ විතර. උසස් පෙළ ලියන්න මාස තුනකට වඩා තිබ්බේ නෑ. මේක පිරිමි ඉස්කෝලයක් !! ඒ උනාට අපරාදේ කියන්න බෑ අපේ ඉස්කෝලෙය යාර දහයකට විතර මෙහා සහෝදරියන්ගේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි උත්සවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ඉස්කෝලෙට ආරාධනාවක් එවනවාමයි. අනෝන්‍ය සුහදත්වය කියන්නේ මේක වෙන්ටෑ !!!

මට මතක විදිහට අපේ අල්ලපු වැටේ සහෝදරියන්ගේ ඉස්කෝලේ විද්‍යා දිනයක් තියෙනවා කියලා අපිට ආරාධනාවක් ලැබුනා.ඉස්කෝලෙන් අවුට් වෙන්න හිටපු කට්ටිය නිසා මේ චාන්ස් එක අපිට ලැබුනා.

අපිත් ඉතින් එදාට ලස්සනට ලෑස්ති වෙලා උත්සවේට ගියා.මට මතක හැටියට අහල පහල ඉස්කෝල තුන හතරකිනුත් කට්ටිය ඇවිත් හිටියා. උත්සවේ වැඩ කටයුතුත් ලස්සනට යනවා. කොහොමහරි උත්සවේ මැදක් හරියේ තිබ්බා ප්‍රශ්න විචාරක වැඩසටහනක් !!!

ඒකට අපේ ඉස්කෝලෙන් එකෙකුත් යවන්න ඕනේ. අපේ ඉස්කෝලේ කට්ටිය කතාවෙනවා. ඒත් කවුරුත් යන පාටක් නෑ. කෝමහරි 'චින්තක' වගේ නමක් තියෙන කොල්ලෙක්ව ඉස්සරහට තල්ලු කරලා බලෙන්ම වගේ මේ වැඩේට දැම්මා. ඌත් ඉතින් එක එකාට පින් අනුමෝදන් කර කර ස්ටේජ් එකට නැග්ගා.

එක ගෑනු ළමයෙක් ප්‍රශ්න අංක ලියලා දාපු පෙට්ටියක් අරූගේ දිහාවට අල්ලගෙන හිටියා. ඌත් පෙට්ටිය ඇතුලට අත දාලා ප්‍රශ්න අංකයක් ගත්තා.

"මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය !!! ගෑනු ළමයින්ට ඇති බිය කුමන නමකින් හැඳින්වේද ? "

මල @!#$!@~%^&#$

දැන් හොයපන්කෝ ප්‍රශ්නෙට උත්තරේ. කෝමහරි ඌ ටික වෙලාවක් ඔලුව කහ කහ ඉදලා බොරු උත්තරයක් දීලා ෂේප් වෙලා ආවා.

"මේ ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක් ***** විද්‍යාලයේ ඉන්නවනම් අත උස්සන්න !!! "

කට්ටිය එක එක වල් පල් දෙඩෙව්වා මිසක්කා එකෙක් අත ඉස්සුවේ නෑ. ඉස්කෝලේ හිටපු අනිත් කෙල්ලෝ 'හිකි හිකි' ගගා ලේන්සුවෙන් කටත් වහගෙන හිනා වෙනවා. විලි ලැජ්ජාවයි !!

ඔය අතර,

"අම්මාපල්ල !!! මුන්ට අහන්න වෙන ප්‍රශ්න තිබ්බෙම නැද්ද ?"

"අපි කවද්ද බං කෙල්ලෙක්ට බය උනේ !!! අපි බය වෙයි මුන්ට !! පුඃ ඒවා හදේ හරිය !!!"

"මම් හූනා කියන්නා වගේ කියන්නම් මුන් මේ ප්‍රශ්නේ ඇහුවේ අපිව චාටර් කරන්න !!! මුන් ටික අහුවෙයකෝ ඉස්කූල් බස් එකේ !!!"


ඔය වගේ එක එක කතා ඇහෙනවා මිසක් කවුරුවත් උත්තර දෙන පාටක් නෑ.

"නිහඩතාවයෙන් පෙනී යන්නේ ඔවුන්ට මේ ප්‍රශ්නේ අපහසු බවයි. නිවැරදි පිළිතුර ෆාතිනෝ ෆෝබියා !!! "

මට මතක විදිහට හරි උත්තරේ කියපු හැටියේ එකම එක හූ හඩයි !!!
කොහොමහරි ටික දවසක් යනකන්ම SAB (සැකනම් අල්ලලා බලන්න) ඉස්කෝලේ කෙල්ලෝ ටික අහවල් විද්‍යාලයේ කොල්ලන්ව බයිට් කරා කියල ආරංචි උනා. ප්‍රශ්නෙට උත්තර දෙන්න ගිය චින්තක කියන එකා කාලයක් ඉස්කෝලේ පැත්ත පලාතේ ගියේ නෑලූ. !!!

ඔය SAB කියලා කියන්නේ ඒ කෙල්ලෝ බැජ් එක විදිහට සාක්කුවේ ගහගෙන හිටපු අකුරු තුන!

01 November 2011

මලවුන්ගේ මාසය

මේ නොවැම්බර් මාසයයි. ඒ කියන්නේ කතෝලික අය මලවුන් සිහි කරන මාසයයි. ඉතින් මට හිතුනා මේ මාසයේ වැදගත්කම ගැන පොඩි දේවල් ටිකක් කියන්න.

මේ මාසේ පළවෙනිදාට ගොඩක් කතෝලික අය කිරිබත් දාන දෙනවා. තම තමන්ට පුලු පුලුවන් හැටියට කිරිබත් ටිකක් හදාගෙන ඒවා පල්ලියට ගෙනල්ලා යාච්ඥා කරලා ඊට පස්සේ දුප්පත් අයටයි එන එන හැමෝටමයි බෙදලා දෙනවා. ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල නම් මෙදාට කිරිබත් දාන වරදින්නේ නෑ. මොකද අපේ ඉස්කෝලේ තියෙන්නේ පල්ලියේ අල්ලපු වැටේ !!

මට මතකයි අපේ ලොකු අම්මත් එයාගේ නැතිවෙච්ච දරුවෙක් සිහි කරලා කිරිබත් දානයක් දෙනවා. එයා කිරිබතුයි කෙහෙල්ගෙඩියි හකුරුයි එතනින් ගියහම තල කැරළියි ලෑස්ති කරලා පොඩි කට්ටිය එකතු කරලා දානේ දෙනවා.දානෙට වාඩිවෙන හැම ළමයෙක්ටම කිරි වීදුරුවකුත් හදා දෙනවා.

නොවැම්බර් මාසේ දෙවෙනිදා තුන්වෙනිදා වගේ දවසක උදේ කැරකොප්පුවේ (කනත්තේ) පූජාවක් තියනවා. ඒ පූජාව තියන දවසට කලින් තම තමන්ගේ නෑදෑයෝ මිහිදන් කරලා තියෙන තැන සුද්ද කරලා මිනිවලවල් කොත ගහලා හදන්න ඕනා. පූජාවෙන් පස්සේ මිනිවලවල් වලට ආශිර්වාද පැන් ඉහිනවා.

මීට අමතරව කතෝලික අයගේ දිනපතා යාච්ඥා වලට මලවුන් වෙනුවෙන් කියන යාච්ඥාවක් එකතු වෙනවා.

මේ මාසේ සෙනසුරාදා ඉරිදා වගේ දවස් වලට දාන මානත් දෙන්න අමතක කරන්නේ නෑ. අපි ඉන්න හරියේ ගොඩක් කතෝලික අය ඉන්න නිසා එකම දවසට දාන ගෙවල් දෙක තුනක් තියෙනවා. අම්මෝ ඒවයේ මස් ද මාලු ද ආයේ ඉතින් කියලා වැඩක් නෑ. අපිත් අපේ සීයෑ දානේ දෙන්නේ මේ මාසෙමයි. අපේ සීයා නැති උනෙත් මේ මාසේ.

ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අපේ අම්මලා ආච්චි අම්මලා නිතරම වගේ කියන දෙයක් තමා මලවුන්ගේ මාසෙට මිනිවලවල් හේදෙන්න වහිනවා ය කියලා. එහෙම වෙන්නේ මලවුන් නැගිටින්න කියලත් කියනවා.ඒවා නම් ඉතින් වැස්ස නිසා කියන දේවල් වෙන්ටෑ.

මේ මාසේ කතෝලික අය නම් වෙඩින් ගන්නේ නෑ. ඒ උනාට අපේ අම්මා නම් කියන්නේ ඉපදෙන්න මැරෙන්න හොද නම් ආයේ බැන්දම මක්ක වෙනවද කියලා.

අම්මෝ අපේ අම්මා ඒක කිව්වම මගේ හිතෙට දැනෙන සන්තෝසේ !!!
:)

25 October 2011

කොළඹට සේන්දු වීම

මේ සතියේ ඉදලා මට වැඩ පටන් ගත්ත නිසා උදෙම්ම ඇහැරිලා කොළඹ දුවන්න වෙනවා. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා ආයේ ගෙදර දුවනවා.ඉස්සරහට සතියේ දවස් පහම ගෙවන්න වෙන්නේ ඔහොමයි. අපේ ගෙදර ඉදලා මම් වැඩ කරන තැනට යන්න අඩුම තරමේ පෑ දෙකක්වත් යනවා.

ඒ දුර නිසාම නෙමෙයි මගින් මගට වාහන තදබදේට අහුවෙලා කාලේ නාස්ති වෙන හන්දා. ( දුරත් නැත්තෙම නෑ.) වාහන තද බදය නිසා වෙලාවකට සංසාරේ එපා වෙනවා.

රස්සාව පටන් අරන් දවස් දෙක තුනක් උනාට බස් එකෙන් බහින තැන් එහෙම තාම මීටර් නෑ. එක්කෝ මම් බහින තැනට හෝල්ට් දෙකක් කලින් බැහැගන්නවා. එක්කෝ හෝල්ට් එක පහුවෙලා බහිනවා.ඒ කොයික වෙතත් අන්තිමේ වෙන්නේ සෑහෙන දුරක් පයින් යන්න වෙන එක.

අද බස් එකේ එනකොට මට හිතුනේ අපේ ෆැකල්ටියෙන් අවුට් වෙච්ච බැච් එකම වගේ රස්සාවල් වලට කොළඹ එනවා. සමහරු අනුරාධපුර පොලොන්නරු වගේ පිට පලාත් වලින් කැම්පස් ආපු අය. මේ අය කොළඹ රස්සාවල් කරනවනම් අනිවා බෝඩ් වෙන්න සිද්ද වෙනවා.

ඔය වගේ තව තව කැම්පස් වලින් රස්සා කරන්න කොළඹ එනවා. ඒ අයටත් සිද්ද වෙන්නේ බෝඩින් ජීවිත ගත කරන්න.එහෙම බලාගෙන ගියාම කැම්පස් වලින්ම විතරක් අවුරුද්දකට දහදාහක විතර සෙට් එකක් කොළඹ එනවා.

කැම්පස් එකෙත් අවුරුදු හතරක් කට්ට කාලා රස්සාව කරනකොට කොළඹ බෝඩ් වෙලා ඒ කට්ටම ආයේ පාරක් කන්න වෙනවා. බෝඩින් ජීවිත කියන්නේ ආයේ සුර සැප විඳිමක් ඈ.

එහෙම එන එවුන් ටික කාලයක් යනකොට කසාද බැඳලා කොළඹ අවටින් ගෙයක් අරන් ජීවත් වෙනවා. එතකොට වෙන්නේ සදාකාලිකව කොළඹ ජීවත් වෙන්න වෙන එක. ඔහොම බලාගෙන ගියාම අවුරුදු 10ක් විතර යනකොට කොළඹ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැති වෙයි. මං හිතන්නේ දැනටත් එහෙම තමා.

මේ කෝක උනත් අන්තිමේදි වෙන්නේ තමන් උපන් ගමෙන්, අම්මා අප්පච්චිලාගෙන් දුරස් වෙන්න සිද්ද වෙන එක. !! ඒ විතරක් යෑ තමන්ගේ දෙමවුපියන් බලන්න ගමේ යන්න වෙන්නෙත් මාසෙකට හමාරකට එක දවසක්. දෙමවුපියෝ දෙන්නා නැති වෙච්ච දාකට ඒ දුරස් බව තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැති වෙයි.

මොනා කරන්නද ජීවිතේ හැටි තමා !!!!

23 October 2011

නැටුම

රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපිය කියෙව්වම මටත් රැග් කාලේ පොඩි කතාවක් මතක් උනා. ගොඩක් කට්ටිය මේ දවස්වල රැග් කතා ලියන නිසා මාත් ඔන්න ඔහේ එකක් ලියනවා.

ගොඩක් වෙලාවට අපට රැග් එක සෙට් වෙන්නේ හොස්ටල් එකේ කාමර වල. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් ඉන්න නිසා රැග් දෙන්නත් ලේසියි.

මේක නැටුමක් !!!! ආහ් නෑ... නැටුම් වර්ග තුනක් !!!

පලවෙනි එක තමයි පොල් ටැප් ඩාන්ස් එක !!

ගොඩක් වෙලාවට මේ නැටුම පාවිච්චි වෙන්නේ DJ වලට එහෙම. මොකද මේක පොෂ් නැටුමක් !!

මෙහෙමයි ඒක කරන්නේ.අපේ වම් අත ටිකක් උස්සනවා. වැලමිට හරියෙන් ඉස්සුවාම හරි. ඊට පස්සේ ඒ අතින් පොල් වල්ලක පොල් ගෙඩියක් කරකවලා කඩනවා වගේ අත මැණික් කටුව හරියෙන් කරකවනවා.

දැන් දෙවෙනි ස්ටෙප් එක.දකුණු අත පහලට දාලා අපේ ඉන ගාවට උස ටැප් එකක් අරිනවා (හෝ වහනවා) වගේ දකුණු අතේ මැණික් කටුව හරියෙන් අත කරකවනවා.

දැන් අන්තිම ස්ටෙප් එක !!! බිම දාපු සිගරට් කොටයක් තමන්ගේ වම් කකුලෙන් පාගනවා වගේ කකුළේ මැනික් කටුව හරියෙන් පොඩ්ඩක් කරකව කරකවා පාගන්න ඕනා !!! ඔන්න ඔය ස්ටෙප් තුනම එකපාර කලාම තමයි පොල් ටැප් ඩාන්ස් එක හරියට කෙරෙන්නේ. ස්ටෙප් තුනයි !!! වැඩේ හරි ලේසියි !!!

පොල් ටැප් නැටුම කියලා කියන්නේ පොල් ගෙඩියක් කඩන විදිහයි ටැප් එකක් වහන විදිහයි නිරූපණය කරන නිසා.

දෙවෙනි නැටුම තමා සවල් නැටුම !!!

මේක කරන්නේ මෙහෙමයි. තමන්ගේ ඉස්සරහා ලොකු වැලි ගොඩක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. ඊට පස්සේ තමන්ගේ අතේ සවලකුත් තියෙනවා කියලා හිතලා ඒ සවලෙන් වැලි ටික ටික අරගෙන තමන්ගේ උරහිස්සට උඩින් විසි කරන්න ඕනා. තේරුනාද වැඩේ ???

එහෙනම් අන්තිම නැටුම !!! මේක තමයි ඔරු නැටුම !!!

මේක කරන්න පුලුවන් සරමක් ඇඳගෙන ඉන්නකොට විතරයි. සරමේ පහල කෙලවර අත් දෙකෙන් අල්ලගෙන බෝට්ටුවක් විදිහට එක අතක් තමන්ගේ ඉස්සරහට වෙන්නත් අනිත් අත පිටිපස්සට වෙන්නත් සරම අල්ලගන්න ඕනා. දැන් බෝට්ටුව යන විදිහට සරම පද්ද පද්ද නටන්න ඕනා.
(පහල රූපය බලන්න)


යන්තන් නෙට් එක පීරලා එකම එක පින්තූරයක් හොයාගත්තා. මේ නැටුම ගවුම් ඇඳගෙනත් කරන්න පුලුවන් ඇති. බලාගෙන ගියාම මේවා ජන නැටුම් නේ. හික්ස් :)

------------------------------------------------------------------
ප.ලි.- රූ සිරිනි අක්කගේ බ්ලොග් එක කියවන්න යනවා නම් මෙන්න පාර. මෙතනින් ගිහින් කියවන්න. ගොඩක් වටින බ්ලොග් එකක් !!!

21 October 2011

මගේ වේදිකාගමනය

එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.

එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට එක්කන් ගියා.

"පුතාලා අපි ඕගොල්ලන්ව නාට්ටියක චරිත වගයකට ගත්තා. ඔයාලට තියෙන්නේ මේ අක්කලා අයියා කියන විදිහට වැඩ කරන්න !!!" කියලා අපිව එක්කන් ආපු ටීචර් කෙනෙක් කීවා.

ඒ නාට්ටිය කෑලෑවක කතාවක් !!! නම නම් මතක නෑ.

අපි කට්ටියව ගොඩවල් වලට වෙන් කලා. එක කට්ටියක් හාවොයි තව කට්ටියක් මුවොයි උනා. මාත් එක්ක හිටපු කට්ටිය කුරුල්ලෝ !!!!

ඔන්න එදා ඉදන් නාට්ටියේ පුරුදු වීම්. අපිට දෙබස් එහෙම මුකුත් නෑ. මට තිබ්බේ ජවනිකාව ඉවර වෙනකන් තටු ගහන්න. මොකද මම් කුරුල්ලෙක් නේ... ආහ් ... නෑ පුංචිම පුංචි කුරුළු පැටියෙක් !!!. මාත් පන යනකන් තටු ගැහැවුවා.

දවස් දෙකක් තුනක් ඔහොම පුරුදු වීම් යන අතරේ අපිව පුහුණු කරපු ටීචර්ලා අපි දිහා ඈත ඉදන් බලාගෙන හිටියා. එක දවසක් ඔහොම තටු ගගහා ඉන්නකොට එක ටීචර් කෙනෙක් මට තටු ගහන එක නවත්තන්න කියලා පැන පැන හිටපු හාවෙකුවත් නැවැත්තුවා !!!

"ඔය පුතා අද ඉදන් හාවා වෙන්න. මේ පුතා අද ඉදන් කුරුල්ලා වෙන්න" එහෙම කියලා ඒ ටීචර් අපේ චරිත දෙක මාරු කලා.අපේ අම්මා නම් කිව්වේ මම් තටු ගැහැවුවා කැතයි කියලා ටීචර් මාරු කලා කියලා.

කුරුල්ලා වගේ නෙමෙයි හාවා වගේ පනින එක මාරම අමාරුයි. අත් දෙක කන්දෙක වගේ තියාන හොද හුස්මක් අරන් එකපාට්ට පනින්න ඕනා. හාවෙක් වෙලා ටික දවසක් පුහුණුවීම් කරලා පස්සේ අපේ අම්මට කියලා තිබ්බා හා ඇඳුමක් මහන්නෙයි කියලා.

අපේ බාප්පා හා ඇඳුම මහලා ඉවර කලා. ඒ උනාට හාවා කියන්නේ සුදු පුළුන් වගේ බූල් තියෙන සතෙක් නෙව. ඒ නිසා බූල් අලවන්න ඕනා. ඒකට අපේ අප්පච්චි රෑ එළි වෙනකන් බයින්ඩර් ගගා බූල් අලවනවා.

"ඒයි !!! අපේ ලොකු එකා හාවෙක් උනාට වඩා හොදයි කුරුල්ලෙක් උනා නම් !!! එතකොට මේ වදවල් කරන්න ඕනේ නෑ නේ !!!"

අපේ අප්පච්චි බැරිම තැන එහෙමත් කියලා තියෙනවාලූ. අම්මා කියනකන් ඒ වගක් මම් දන්නේ නෑ. උදේ ඇහැරිලා බලනකොට බූල් ගොඩක් තියෙන හා ඇඳුමක්. ලස්සනේ බෑ...

කොහොමහරි එදා මම් නාට්ටියේ අපේ ජවනිකාව ඉවර වෙනකන් හාවෝ පැන්නා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මම වේදිකාවක ඉදිරිපත් කරපු එකම එක ඉදිරිපත් කිරීම.එතනින් එහාට ඉදලා හිටලා තෑග්ගක් ගන්න එක ඇරුනම ස්ටේජ් එකකට නැඟලා නෑ.

18 October 2011

චූටි කවි

අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ

කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ

දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා

කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා

ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි

----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)

කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.

16 October 2011

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා.

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම් ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම් ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදරය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.

----------------------------------------------------------------------
ප.ලි. - මේකත් මට මේල් එකකින් ආපු සංකල්පනාවක්.

ප.ප.ලි - මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!

14 October 2011

ඔච්චරටම මෝඩ ද

දවසේ බ්ලොග් ටික කියවලා නිදාගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටීවි එක දැම්මා. එතකොට ලස්සන වැඩසටහනක් විකාශනය උනා. වැඩසටහනේ 'මොංගල සිහිනය' වගේ නමක් තියෙන එකක්. ඒ වැඩසටහන තරඟයක් !!! තරඟ කරන්නේ බදින්න ඉන්න, වෙඩිම ගන්න සල්ලි නැති කපල් !!! තරඟයෙන් දිනපු ජෝඩුව නොමිලේම බන්දලා දෙනවා. සෝක් වැඩසටහනක් !!!!

මම ටීවී එක දාපු වෙලාවේ එක කපල් එකක් තරඟ කරනවා. එයාලට දීලා තියෙන්නේ ගඩොල් කපන්න!!! එකක් දෙකක් නෙමෙයි ගඩොල් පනහක් කපන්න ඕනා. කොල්ලා මැටි ගොඩට වතුර දානවා. කෙල්ල මැටි ගොඩ උඩ නැගලා මැටි අනනවා. මැටි අනලා ඉවර උනාම කෙල්ල අච්චුව අල්ලගෙන ඉන්නවා. කොල්ලා මැටි දාලා ගඩොල ගානට කපනවා. ආස්.....සාවේ බෑ !!!!

කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ. මම් උන්දෙන්නා ගඩොල් කපන හැටි දිහා නියෝ නියෝ බලාන හිටියා.

ඊට පස්සේ ඊලඟ කපල් එක !!!
උන් දෙන්නට තිබ්බේ ෂූට් කරන තැන ඉදලා පොලොන්නරු ටවුමට බස් එකේ ගිහින් එතන ඉදලා ඉතුරු ටික පයිනුත් ගිහින් මහපරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට යන එක. මුන් දෙන්න කෝමහරි පොලොන්නරු යන සීටීබී එකකට ගොඩ උනා. එතන ඉදලා ඩ්‍රැයිවර් අයියට වදේ !!!

"අයියේ ඉක්මනට යන්කෝ !!" කිය කිය කෙල්ල, ඩ්‍රැයිවර් එක්ක තොදොල් වෙනවා. කොම හරි බස් එකෙන් බැහැගත්තා කියහන්කෝ. කෙල්ලයි කොල්ලයි එතන ඉදලා පරාක්‍රම සමුද්‍රයේ බන්ටෙක දිගේ අඬ අඬ දුවනවා.

කෙල්ල :
" අනේ බබී අපි කෝමහරි දිනන්න ඕනා බබී. අපේ මැරිච්ච ලොකු තාත්තා අපිට ශක්තිය දෙයි බබී "

කොල්ලා :
"හරි රත්තරන් අපි කෝම හරි දිනමු !!!! බයවෙන්නෙපා සුදූ අපි කෝමහරි දිනනවා"

ඔහොම කිය කියා දෙන්නා දුවනවා. මහ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට ආවට පස්සේ දෙන්නා බදාගෙන 'හිටු' කිය කිය උම්මා දීගන්නවා.මට නම් ඒවා පෙනුන් නෑ. කොටු කොටු ටිකක් විතරයි පෙනුනේ. මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ.

හොද වෙලාවට විනාඩි 10ක් යනකොට ප්‍රවෘත්ති විකාශයට වැඩසටහන නැවැත්තුවා. මම් ටීවී එක ඕෆ් කරලා නිකා හිටියා.

දෙන්නට දෙන්නා ආදරේ කරලා හොද වෙඩිමක් අරගෙන කසාද බඳින්න සල්ලි නැත්නම් දෙයියනේ කියලා දෙන්නම නෑදෑයොත් එක්ක කච්චේරියට ගිහින් පොතේ අස්සන් කරලා කසාද බඳින්න. මේ වගේ ජන මාධ්‍ය වලින් ලංකාවේ ඉන්න හැමෝටම ෆන් දෙන්න හදන්නෙපා !!! ඒ වගේම තමන්ගේ ආදරේ, මාධ්‍යයක් ඉස්සරහා හෑල්ලු කරන්නෙපා !!!

තමන් අවුරුදු තුන හතරක් එහෙමත් නැත්නම් ඊට වැඩි කාලයක් ආදරේ කරලා දෙන්න කසාද බඳින මොහොත ලස්සනට ගන්න මොන කෙල්ලත් හීන දකිනවා. කොයි කෙල්ලත් කොල්ලත් ආසයි.ඒත් මෙහෙම මාධ්‍ය වලට පේන්න අඬ අඬ ඒ මාධ්‍ය වල අතකොලු වෙන්න හදන්නෙපා !!!!

"වහ කොහොම කෑවත් මැරෙනවා "

ඒ වගේ තමයි දෙන්නා කසාද බැඳලා එක වහලක් යටට යනෙක එක නම් අන්තීම ප්‍රථිපලය හැටියට වෙන්නේ ඒක කොහොම උනත් මොකෝ !!!

පැනලා ගිහින් කසාද බැන්ඳත්, කච්චේරියට ගිහින් පොතේ ලියලා කසාද බැන්ඳත්, රට්ටුන්ට පේන්න වෙඩිමක් අරගෙන බැන්ඳත් අන්තිමේදි වෙන්නේ දෙන්නා කසාද බැඳලා එක පවුලක් වෙන එක. ඒක තේරුන් ගන්න බැරි තරම් අපේ රටේ මිනිස්සු එච්චරම මෝඩයි ද !!!!

ඔළුව පාවිච්චි කරන්න !!!!

11 October 2011

බණ පදයක්...

පින්වතුනි...

සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමා ලැබෙන ලැබෙන දේවල් ඉතුරු කරන කෙනා. අනිත් කෙනා තමයි ලැබෙන ලැබෙන දේවල් වියදම් කරන කෙනා.

හැමදේම ඉතුරු කරන කෙනාට කොච්චර දුන්නත් මදි. ඉතුරු කරනවා.ඒ වගේම හැමදේම වියදම් කරන කෙනාට කොච්චර ලැබුනත් මදි. ඒ හැමදේම වියදම් කරනවා.ඒ නිසා අපට ලැබෙන දේවල් මධ්‍යස්ථව වියදම් කරන්නත් මධ්‍යස්ථව ඉතුරු කරන්නත් පුරුදු වෙන්නෝන.


--------------------------------------------------------------
ප.ලි.- මේ ලියමන මට කියවන්න ලැබුනේ ෆෝටෝකොපි ගහන්න ගිය තැනක බිත්තියේ අලවලා තිබිලා. කියවන්න හම්බ වෙච්ච වාර ගණන හන්දා මේක මට හොදටම මතකයි

10 October 2011

නිවාඩුවකට ගියෙමි

කැම්පස් එකෙන් අවුට් වෙච්ච දා ඉදන්ම ගෙදර ඉදලා ඉදලා එපා වෙලා හිටියේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා පේරාදෙණි ආවා.වෙන කොහේවත් නෙමෙයි අපේ කැම්පස් එකට ආවේ.

ගෙදර ඉන්න එක තරම් ජොලි වැඩක් නෑ කියලා හිතුනට මට නම් ගෙදර ඉන්න එක එපාම වෙලා තිබ්බේ.ගෙදර ඉන්න එකත් ලේසි නෑ. මොකද උදේ ඉදන් හවස් වෙනකන්ම කලිසම් ම මහන්න එපැයි. ආහ්... කියන්න අමතක උනා. අපේ අම්මා, විකුණන්න කලිසම් මහනවා. අපේ අම්මා මටත් ඔය මැහුම් වැඩ උගන්නලා තියෙන හන්දා මටත් ඇඳුම් මහන්න පුලුවන්. :)

ඇඳුම් මැහිල්ලට වඩා අපේ අම්මා " පුතේ අදවත් නැද්ද රස්සාවක් හරියන පාටක් !!!" කියලා අහන එක එපාම කරපු වැඩක්. ඒක හන්දා මට මේ කම්පියුටර් එක එපා වෙලා තිබ්බේ.

මේ සේරමත් එක්ක ගෙදර ඉන්න බැරි හන්දා මම් පේරාදෙණි ආවා. හොස්ටල් එකේ මල්ලි කෙනෙක්ගේ කාමරේක ගජේට තමයි ඉන්න උනේ. මොකද අපි එනකොට අපේ කාමර බාර දීලා ආපු හන්දා ඉන්න තැනක් නෑ.

ගෙදරින් ඈත් වෙලා ඉන්න එක හරිම නිදහස්. ඔය වගකීම්, බැඳීම් කියන කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. හරිම නිදහස්. මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා කියන්න කවුරුත් නෑ. ජීවිතෙත් මේ වගේ නිදහස්ව ගෙවන්න පුලුවන් නම්..... කොච්චර ශෝක් ද !!!! මට එහෙමත් හිතුනා.

උදෙම්ම ඇහැරිලා මම් හිටපු හොස්ටල් එකෙන් උදේට කාලා කැම්පස් එක වටේ ඇවිදලා දවල් උනාම තවත් කොහේ හරි හොස්ටල් එකක් අල්ලගෙන කෑම කනවා. ආයෙම හවස් අතේ කොහේ හරි රස්තියාදු වෙවී තමයි මේ දවස් ටික ගෙවුනේ. හරිම නිදහස් !!!!

අපේ සමහර විෂයයන් වලට රිසල්සුත් ඇවිල්ලා.මෙදාපාර රිසල්ට් නම් ගොඩක් හොදයි. යන්තන් මගේ ක්ලාස් එක බේරිලා. බැරි වෙලාවකවත් C එකක් ආවොත් ක්ලාස් කුඩු !!! කලින් වතාවල් වල වගේ මෙදාපාර C නම් නෑ.ඒ වගේම තමයි රස්සාවල් වලට අඬපු කාලෙත් ඉවරයි. මට ජොබ් එකක් හරි ගියා.

ඉස්සර වගේ අපේ බැච් එකේ හිටපු ඔක්කොම නම් නෑ. ඒ වෙනුවට ස්ටාෆ් එකේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට නැවතුන කිහිපදෙනෙක් විතරමයි හිටියේ.
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ ඉඳිකට්ටිත් ස්ටාෆ් එකේ ඉන්නවා. මට ඒයැයිවත් හම්බ උනා. ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ !!!

කම්පියුටර්, ඉන්ටර්නෙට් වගේ ඒවයින් ඈත් වෙලා හොද විවේක කාලයක් ගත කලා. තාක්ෂණයත් එක්ක කොහෙද හොද විවේකයක් ගත කරන්නේ !!!

06 October 2011

ලෝක පූජිත ආදර කතා

මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ. ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ. අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ. බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා. ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ. දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න. ඔය පහල පින්තූරේ ඉන්න දෙන්නව අදුනනවද ? ඒ තමයි හිම කුමාරියි එයාගේ කුමාරයායි. පේනවා නේද ඒ දෙන්නා කසාද බැඳලා වෙච්ච දේ ? කවුරුවත් කියන්නේ නෑ එයාලගේ ආදර කතාව ලෝක පූජිතයි කියලා. පොඩි කට්ටියට උනත් සුරංගනා කතාවක් විදිහට හරි කියන්නේ යාලුවෙලා ඉන්න කාලේ වෙනකන් විතරයි. ඊට පස්සේ උන දේවල් කියන්නේ නෑ. එතකොට දැන් කවුරුහරි කියයි "උබ මේ ඊරිසියාවට කියන කතා !!!! එතකොට සාජහාන් රජතුමායි මුම්ටාස් දේවියයි කසාද බැඳලත් ඔය යස අපූරුවට ලෝක පූජිත වෙලා ඉන්නේ !!!" කියලා. කවුද කියන්නේ ඒ දෙන්නා කසාද බැඳලා සතුටින් හිටියයි කියලා. අනිත් එක තමයි ඒ දෙන්නගේ ආදර කතාව ලෝක පූජිත උනේ ටජ් මහල හන්දා. ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු. ඇයි සෑහෙන වියදම් ගියාලු නේ ඔය ටජ් මහල හදන්න.ඉතින් රටවැසියෝ දුකෙන් කන්න නැතුව ඉන්නකොට රටේ රජා කරපු මේ වැඩේ හරිද ? නෑ නේ. අනිත් එක තමයි ඒක හදපු දක්ෂ නිර්මාණකරුවගේ අත් දෙකටත් සොට් එක ලැබුනනේ !!! ------------------------------------------------------------ ප.ලි. - මූ නම් පට්ට කොල්ලෙක් ය මූත් එක්ක ලෝක පූජිත ආදර කතාවක් පටන් ගන්න ඕනේ ය කියලා හිතුන කවුරුහරි ගෑනු ළමයෙක් ඉන්නව නම් තම තමන්ගේ CV එක මේල් කරන්න පුලුවන්. ඒත් හිතන්න එපා මූ වේලි වේලි ඉන්න හන්දා අනිවා තමාව තෝර ගනී කියලා.ඒවා හඳේ හරිද !!!! කතාවටත් කියන්නේ සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් තණකොළ කන්නේ නෑ ය කියලා. අන්න ඒ හන්දා ඉස්සෙල්ලා ටෙක්නිකල් ඉන්ටර්විවු එකක් තියලා පස්සේ හැදියාව බලන්නත් එක්ක HR ඉන්ටර්විවු එහෙකුත් තියනවා. ඒ දෙකෙන්ම තේරෙන අය තමයි ගන්නේ. එහෙම ගත්තත් ඒ කට්ටියටත් මාස 9ක ප්‍රොබේශන් කාලයක් (probation period - පරිවාස කාළයක්) තියෙනවා. දැන් තේරෙනවනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා !!!!

05 October 2011

ලොකාට්

මම් ට්‍රේනින් ඉන්න දවස්වල මම් වැඩ කරපු කම්පැණියේ හැම අවුරුද්දකම වගේ යන ට්‍රිප් එක යන්න ලැබුනා. අපේ වාසනාවට වගේ අපි ට්‍රේනින් ඉන්න දවස්වල තමයි ට්‍රිප් එක යන්න තීරණය කරලා තිබ්බේ. ඒ අවුරුද්දේ අපි ගියේ නුවරඑළියට. දවස් දෙකක ට්‍රිප් එකක්. කෝමහරි පළවෙනි දවසේ හවස් වෙනකොට නුවර එළියට ලඟා උනා. අපිට වෙන් කරලා තිබ්බ හෝටලයේ කාමර වලට ගෙනාපු බෑග් ටික දාලා ඇවිදින් ජර්සි එහෙම ඇඳගෙන පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා.යමින් ගමන් අයිස් කැප් එකක් එහෙම කාරිය අරගෙන ටවුම පැත්තට ගියා. නුවර එළිය ටවුන් එක පුරාම පලතුරු කඩ. නා නාප්‍රකාර පලතුරු. තැන් දෙක තුනකම තිබුනා වෙරලු වගේ හැඩයක් තිබ්බ කහපාට පලතුරු ජාතියක්. කඩේ හිටපු කෙනාගෙන් මේ මොනවද කියලා ඇහුවා.ඒ මනුස්සයා කියපි මේ ලොකාට් කියලා. මෙවුවායේ නම ඉංග්‍රිසියෙන් ලියන්නේ loquat කියලා. ම්හු.... උපන්තේකට අහලා නෑ.කොයිකටත් කියලා මල්ලක් පිරෙන්නම ලොකාට් ගත්තා.
(ඔය තියෙන්නේ ඉදිච්ච ලොකාට් ගෙඩි)
ලොකාට් ගත්තට කන විදිහ දන්නෙත් නෑ. ඒකත් අහ ගත්තේ ඒ මනුස්සයාගෙන්. පොත්ත අයින් කරලා මදේ ලු කන්නේ. අප්පේ..... මාර ඇඹුලයි. නෙල්ලි වගේ. හැබැයි ඉදුනු ගෙඩි නම් එච්චර ඇඹුලක් නෑ. කෝමහරි අපි ගිය සෙට් එකෙන් මම් විතරයි ලොකාට් ගත්තේ. අනිත් එවුන්ට දුන්නත් එක ගෙඩියකට වඩා කෑවේ නෑ. ඒ අර ඇඹුල් ගතිය හන්දා. ඔය ලොකාට් කියන ජාතිය ලංකාවට ආවේණික නෑ. ලොකාට් වල නිජබිම දකුණු චීනය. ඒ රටවල් වල සරත් කාලයේ නැත්නම් ශීත කාලයේ මුල් හරිය වෙනකොට මල් පිපෙන්න පටන් ගන්නවා ලු. ලොකාට් වල මල් සුදු පාටට හුරුයි ලු.ගෙඩි ඉඳෙන්න ගන්නේ සීත කාලයේ අග හරියේ නැත්නම් වසන්තකාලයේ මුල් හරියේලු.
(සුදු පාට ලොකාට් මල්)
ඉතින් මම් ඔච්චර කියන එකේ නුවර එළි ගිය වෙලාවක ලොකාට් කාලම බලන්න.මම නම් ඇට හිටන් ගෙනාවා පැල කරන්න. ඔන්න අපේ යහා නම් පැළ උනා. තාම පොඩි පැල තියෙන්නේ.

03 October 2011

පැන්සලයි මකනයයි

පැන්සල :
මට සමා වෙන්න !!!

මකනය :
ඒ මොකටද ? ඔයා කිසි දෙයක් කළේ නෑනේ !!!

පැන්සල :
මම නිසා ඔයාට තුවාල වෙන හන්දා මට සමාවෙන්න. මම් වැරදීමක් කරන හැම වෙලාවකම ඔයා ඇවිත් ඒක මකලා දානවා. ඒ වැරද්ද නිවැරදි කරන්න ගියහම ඔයාගෙන් කොටසක් ඒකට වැය වෙනවා. එතකොට ඔයාගේ ප්‍රමාණය එන්න එන්නම පුංචි වෙලා යනවා.

මකනය :
ඒක ඇත්ත තමයි !! ඒ උනාට මං ඒක ගනන් ගන්නේ නෑ. මාව හදලා තියෙන්නෙම ඔයා කරන වැරදි මකලා දාන්න නේ. එහෙම උනත් මම දන්නවා දවසක මං නැතිවෙලාම යනවා. එතකොට ඔයා මං වෙනුවට වෙන අළුත් එකක් ගේනවා. ඒ උනාට මං මගේ රාජකාරිය ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ හින්දා කරුණාකරලා කනගාටු වෙන්න එපා. මම් ආස නෑ ඔයා අඬනවා දකින්න !!

ඉහත දෙබසේ...
ළමයි පැන්සල් කියලා හිතුවොත් දෙමවුපියන් මකන වලට උපමා කරන්න පුලුවන්. දෙමවුපියෝ හැම වෙලේම දරුවොත් එක්ක ඉන්නවා එයාලා කරන වැරදි අඩුපාඩු මකලා දාන්න. නමුත්.... කාලයක් යනකොට දරුවෝ තමන්ගේ දෙමවුපියන් ගැන දුක් වෙනවා. ඒගොල්ලෝ කුඩාවෙන (වයසට යන හෝ සමහර වෙලාවට මිය යන) හන්දා.

එහෙම උනත් එයාලා අලුත් මකනයක් (බිරිඳ හෝ සැමියා) ගේනවා. ඒත් දෙමවුපියෝ ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නෑ. තව තවත් සතුටු වෙනවා මිසක්. දෙමවුපියෝ කැමතිත් නෑ එයාලගේ ළමයි එයාලා දිහා බලලා දුක් වෙනවට.

"මම මගේ ජීවිත කාලා පුරාම පැන්සලක් වගේ වෙන්න සිද්ද වෙනවා. ඒත්... මට දුකයි මගේ දෙමවුපියෝ මකනයක් වගේ දවසින් දවස නැති වෙනවා දකින්න."

-----------------------------------------------------------------
ප.ලි. - මේ සිතුවිල්ල මට මේල් එකකින් ආපු එකක්. ගොඩක් වටිනවා කියලා හිතුන නිසා පරිවර්තනය කලා. සමහර වෙලාවට කියවලාත් ඇති. කියවලා නැති එක්කෙනෙක් හරි ඉදීවී කියලා හිතුන නිසා පරිවර්තනය කලා.

01 October 2011

ළමා දිනය

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි.

ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ පොඩි උත්සවයක් තියනවා. නැටුම් ගැයුම් එහෙමත් තියලා ලොකු සර්ගේ එපාම කරපු කතාවකුත් තියෙනවා. ලොකු සර් වෙනදා වගේම ප්‍රේමදාස මහත්තයා ස්ටේජ් එකට නැග්ගා වගේ ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි කතා කරනවා.

උත්සවේ ඉවර උනාම කට්ටියම පංති වලට යනවා. ටීචර් ඇවිත් රෙජිස්ටරේ නම් මාක් කරලා යන්න යනවා. අපි එවෙලේ ඉදන් ඉස්කෝලේ ඇරෙනකන් සෙල්ලම් කරනවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවෙන්නේ.

ඔන්න වෙනදා වගේම රූපවාහිනි ආයතන වලින් ජයටම ළමා දිනය සමරන්න යන්නේ.එක රූපවාහිනි ආයතනයකින් මොකද්ද මන්දා වර්ල්ඩ් එකක උත්සවයක් ලෑස්ති කරලා. මම් හිතුවේ ඇතුල්වීම නොමිලේ වෙන්නැති කියලා. යාන්තමට හින්නිකිතර සයිස් අකුරු වලින් ඇතුල්වීම රු. 100ක් කියලා ගහලා තියෙනවා.

ඒ වගේම තමා සතුටු උයන්වල පැකේජ් වල හිටන් ගානත් අඩු කරලා. වෙනදා වගේම කාර් වලින් එන කම්පියුටර් ගේම් ගහන ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයින් එකට එකතු කරගෙන සතුටු වෙන්නත් පුලුවන්.

ගම් වල ඉන්න ළමයින්ට නම් සතුටු උයන් වල සෙල්ලම් කරන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ආයේ ඉතින් ඒ ළමයින්ට සතුටු උයන් ඕනේ යෑ ඔය ඕන් තරම් තියෙන්නේ වෙල් යායවල්. නිකන් අපරාදේ ජල ක්‍රිඩා කරන්න එක එක ලෝක වලට යන්න ඒ අයට යන්න සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ.

මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ.

26 September 2011

වලේ නාට්ටි

පේරාදෙනියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවනම් 'වල' කියලා කියන්නේ පේරාදෙණි සරසවියට තියෙන එකම එළිමහන් රංග පීඨයට. ඒක හදන්න මුල් වෙලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා නිසයි ඒකට 'එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය' කියලා කියන්නේ.

පිහිටි බිම පාවිච්චි කරගෙන පැනොරාමා තියටර් වර්ගට අදාල වෙන විදිහට 'වල' නිර්මාණය කරලා තියෙනවා.

(පැනරෝමා වර්ගයට අයත් ග්‍රීක රඟමඩලක්)

ගොඩක් වේදිකා නාට්‍ය කලාකරුවන් අතර මතයක් තියෙනවා තමන්ගේ නාට්‍ය සංදර්ශනය වලේ පෙන්නන්න පුලුවන් උනොත් ඒ නාට්‍ය නිර්මාණය සාර්ථක වෙනවයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සරත්චන්ද්‍ර මහත්තයා වගේ කෙනෙක් මුල්වෙලා නිර්මාණය කරපු රඟමඩලක් වීම නිසයි.

වලේ වේදිකාවේ ඉදලා නාට්ටියක් රඟදක්වනකොට හැම නළුවාම අංශක 200ක් ඔලුව උස්සලා දෙබස් කියන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ නළුවන්ගේ මට්ටමේ ඉදලා අංශක 200ක් උඩින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වේදිකාව පැත්තකින් ලොකු රොබරෝසියා ගහක් තියෙන එක. ඒ නිසා ඒ ගහ පැත්තේ වාඩිවෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට වේදිකාව හරි හැටි පේන්නේ නෑ.
(මේ තියෙන්නේ සරත්චන්ද්‍ර එළිමහන්‍ රඟමඩල. වම් පැත්තෙන් තියෙන්නේ මම් කියපු රොබරෝසියා ගහ. ඔය මැද රවුම තමා රඟමඩලේ වේදිකාව)


ඒ හන්දම ඒ පැත්තේ සීට් ටික හැම නාට්‍ය සංදර්ශනකයදිම ඉතුරු වෙනවා.සමහර දවස්වලට වැස්ස හන්දා නාට්ටි සංදර්ශන වලට එන පිරිස අඩු වීමක් ඇරෙන්න අනිත් දවස්වල වල පිරෙන්නම සෙනග ඉන්නවා. එදාට ඉතින් පරක්කුවෙලා ආවොත් වලේ පැත්තකට වෙලා නාට්ටිය ඉවර වෙනකන් හිටගෙන ඉන්න වෙනවා.

අවුරුද්දේ අග හරියට වෙනකොට 'වල සතිය' කියලා වලේ නාට්ටි පෙන්වන සතියක් තියෙනවා. එදාට අහල පහල ගම් වල අය වගේම කැම්පස් වල ඉන්න අපිත් 'වල' බහින්න එනවා. එදාට ඉතින් පාඩම් කරනවා බොරු. වල බහින්න වලට අදින්න අපේ බැච් වල කොල්ලෝ හරියට උත්සහ කරනවා.

මට මතකයි එක වතාවක් වලේ පෙන්නුවා ලූෂන් බුලත්සිංහල මහත්තයාගේ 'තාරාවෝ ඉගිලෙති' නාට්ටිය. එදා නාට්‍යය සංදර්ශනය ඉවර වෙලා බුලත්සිංහල මහත්තයා නළු නිලියෝ හදුන්වලා දුන්නා. එදා රොඩ්නි වර්ණකුල ආදරනීය කලාකරුවගේ අම්මා අන්ත්‍රා වෙලා මිනිය ගෙදෙට්ට ගේන වෙලාවට ලූ මේ නාට්‍ය සංදර්ශනය තිබුන බවත් සදහන් කලා.

එදා ඒ කලාකරුවා කරපු කැපකිරීමට ගරු කිරීමක් විදිහට වලේ නාට්ටි බලපු හැමෝම නැගිටලා අත්පොලසන් දුන්නා.

ඒ වගේම "නියම කලාකරුවෙක් කලා නිර්මාණයකට සහභාගී නොවී ඉදීමට තියෙන එකම සාධාරණ හේතුව තමන්ගේ මිය යාම විතරක්ම ..." බවත් එතුමා සදහන් කලා මට අද වගේම මතකයි.

24 September 2011

අක්කයි මල්ලියි


ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..
කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..
පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..
එනවද යන්න මා එක්කල නොකර අගේ...

ඔය කවියයි පින්තූරයයි ගිම්හානි අක්කා බුකියේ ස්ටේටස් වල දැම්මට පස්සේ මම් ඒ කවිය ලස්සනයි කියලා කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ අක්කයි මමයි අතරේ ඇති උන කවි දෙබස තමයි පහලින් තියෙන්නේ.

හැදින්වීම :
හිටිවන කවි කියුමෙහි උපතින් සමත් වෙතී
ගිම්හානි අක්කව නොදන්න කෙනෙක් නැතී
උඩ කී කවි ඈ ස්ටේටස් වල දමා ඇතී
හිටිවන කවි කීමට මා නිතැතින් පෙලඹ වෙතී

මම :
ලස්සනයි !!

ගිම්හානි අක්කා :
ලස්සන තමයි ඉතින් එනවද යන්න මාදු ගඟේ???


මම :
ආස උනත් පාරුවේ නැඟලා යාම
පෙරලුනොතින් පාරුව ගඟ මැද දීම
ගිලෙනවා සත්තයි අක්කේ දිය පෙවිලාම
මේකට උත්තර දෙනවද මට කවියෙන්ම


ගිම්හානි අක්කා :
මටනම් හැකිය හොඳ හැටියට පීනන්ට..
මල්ලී බය නොවී අක්කා හා එන්ට...
මානේල් මල් ටිකක් හනිකට අර ගන්ට..
ඉක්මන් කර යමු මලේ පන්සල් යන්ට

මම :
අක්කා පීනාවි තනියම ගොඩයන්ට
මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට

ගිම්හානි අක්කා :
මල්ලි ජීවත් වෙන්ට මා මිය යන්නම්.
මට පින් දෙන්ට මා යනවා එහෙනම්

මම :
අක්කා මිය යනවා මට බෑ වාවන්න
දෙන්නම එකට යමු මතු ඉපදෙන්න
ජීවත් වීම දුකක් අඬ අඬ දැනගන්න
අක්කා නැතිව මට බෑ පන්සල් යන්න


ගිම්හානි අක්කා :
අම්මයි , පොඩි මල්ලියි අදරින් රැක ගන්න.
අක්කා යන්නට ගිය බව පවසන්න.
දෙන්නට දෙයක් නැහැ අම්මට මෙන්න.
මානෙල් මල් ටිකක් ගෙනිහින් දෙන්න

මා මියගිය බව බොග් අය්යලට පවසන්න.
සුදු මල් එපා නිවසට ඇවිදින් යන්න.

මම :
මානෙල් මල් වලට බෑ හිත හදලා දෙන්න
අම්මා අඬනකොට බෑ මට ඉවසන් ඉන්න
අක්කේ අම්මා හොයයි හනිකට මෙහෙ එන්න
පමා වෙලා විසුමක් වෙන් නෑ ඔන්න


ගිම්හානි අක්කා :
මගෙ ගුන ඇතොත් සිහිපත්වන්න..
කඳුලක් එපා සුසුමක් පිටකර යන්න

මම :
සුසුමක් පිට කර මේ වාතලය වෙත
ලොකු අක්කා යනවා වෙන් වී ඈත


ගිම්හානි අක්කා :
අද දිනට උයලා නැහැ මම තාම.
යනවා යන්න මා ඔබහට නොකියාම..

මම :
අක්කා එහෙනම් ගිහින් උයලා එන්න
අයියා හොයයි මාව දවාලේ කෑමට ගන්න


------------------------------------------------------------
ප.ලි. -
හිතුනා ලිව්වා ඒ හින්දම ඇත අඩුපාඩූ
අපහැදිලි තැන්, ඇත මගේ අඩු ලුහුඩූ
කියවන ඔබේ අදහස් හිත් පතුලේ වැඩූ
පහලින් කමෙන්ට් කලොත් ඇති වෙනවද පාඩූ

23 September 2011

පංතියෙන් එළියට !!!

දවසක් අපේ ගණිතය කරපු මිස් පාඩමක් කරනවා භාග සංඛ්‍යා සුළු කිරීම් ගැන ඔය සුළුකිරීම් කරනකොට බෙදලා ඉවර වෙලා වැඩි කලත් එකයි වැඩි කරලා බෙදුවත් එකයි. ඉතින් ඕක ටීචර් ළමයින්ට තවත් තේරුම් ගන්න පුලුවන් විදිහට "දැන් ළමා..යි ගහලා බැන්දත් එකයි !!! බැදලා ගැහුවත් එකයි !!!!" කියලා කිව්වා. ඕක අහගෙන හිටපු අන්තීම පේලියේ එකෙක්ට "නෑනේ ටීචර් !!!" කියලා කිව්වා. නෑ..හ් කිය උනා.

පංතියේ එකම හිනා සාගරයක්.......

ඕක කොහොමහරි ගනන් උගන්න උගන්න හිටපු ටීචර්ට ඇහුනා. ටීචර් වහාම ක්‍රියාත්මක වෙලා මූව පන්තියෙන් එලියට දැම්මා. දැන් මේකා මූනත් හත‍රැස් කරගෙන පන්තියේ දොර ගාව ඉන්නවා. මේ සීන් එක බලාගෙන හිටපු මම්, ඔලුව බෑග් එකේ ඔබාගෙන හිනා උනා.

ටීචර් මාව දැකලා "තමුසේ මොකද හිනා වෙන්නේ ? තමුසෙටත් එළියට යන්න ඕනද !!!!" කියලා ඇහුවා. මම් යන්තන් හිනාව කපා ගත්තා.


උගේ වෙලාවට පංතිය ඉස්සරහින් ප්‍රින්සිපල් සර් ගියා. සර් ඇහුවා "තමුසේ වැරද්දක් කරලා නේ පන්තියෙන් එලියට දාලා ඉන්නේ " කියලා. මූත් ඉතින් " ඕ..හ් ඔ.. ඔව් සර් !! " කියලා ගොත ගහගා කිව්වා. එහෙනම් අල්ලනවා අත කියා වේවැලෙන් පාරවල් දෙක තුනක් දීලා සර් ගියා.

ඊට පස්සේ ටික වෙලාවකින් ඔතනින් ගියා උප විදුහල්පති එයත් ඇහුවා අර ප්‍රශ්නෙම මූත් සුපුරුදු පරිදි ගොත ගහහා ඔව් කියලා කිව්වා. සර්රුත් සුපුරුදු පරිදි පාරවල් දෙක තුනක් දුන්නා.

ඊටත් ටික වෙලාවකට පස්සේ ඔතනින් ගියා විද්‍යාව උගන්නපු සර්. සර් රුත් අර ප්‍රශ්නෙම අහලා මූට පාරවල් තුන හතරක් දීලා යන්න ගියා. දැන් මූට පාං කියා ගන්න බැරි තරමට ගුටි කාලා ඉන්නේ. ඕක කොහොමහරි ගණිතය උගන්නපු මිස් දැකලා මිස්ට දුක හිතුනා.

"ඔය ළමයා පංතිය ඇතුලට එනවා !!! ආයේ එහෙම ඕ වගේ වැඩක් කලොත් පංතිය අහලකටවත් ගන්නේ නෑ !!" කියලා පොඩි සැරකුත් දාලා කට කොනකින් හිනාවකුත් දාලා පංතිය ඇතුලට ගත්තා.

ගුරු මණ්ඩලය 100ක් විතර ඉන්න ඉස්කෝලේ ගුරුවරු 45ක් විතර හිටියා. ඒ නිසා එදායින් පස්සේ පංතියෙන් එලියට යන්න උනාම කිසිම එකෙක් පංතියේ දොර ලඟට වෙලා හිටියේ නෑ.
------------------------------------------------------------------

ප.ලි. -
ඔක්කොම කුණු බේරේ වැවට
මේ ලිපියත් මගේ ගිනුමට

21 September 2011

නින්දෙන් ගෙරවීම

කැම්පස් එකේ ඉන්න දවස්වල තනියම පාඩම් කරන්න හැදුවට මට නම් තනියම පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න බෑ. ඒ නිසා කට්ටිය එකට සෙට් වෙලා තමයි පාඩම් කරන්නේ.කාගේ හරි කාමරේකට කට්ටියම එකතු වෙලා රෑ වෙනකන් පාඩම් කරලා ඊට පස්සේ වැටිච්ච වැටිච්ච තැන් වල නිදා ගන්නවා. ආයේ ඉතින් තමන්ගේ කාමරේටම යන්නෝන කියලා හිතෙන්නේ නෑ.

ඔහොම නිදාගන්න කොට තියෙන ලොකුම කරදරේ තමා සමහර එවුන් නින්දෙන් ගොරවන එක. දවසක් ඔහොම පාඩම් කරලා නිදාගන්න කාමරේකට සෙට් උනා. දෙන්නෙක් ඉන්න කාමරේක තවෙකෙක් එනකොට අනිවාර්යෙන් කාමරේ ඇඳන් දෙක එකට ලං කරලා ඉඩ හදා ගන්න ඕනේ. ඔය ඇඳන් දෙක ලං කලාට පස්සේ මැද දාරේට අපි කියන්නේ "සංසාර ගැට්ට" කියලා. ඇඳන් දෙක එක පරතරේට නැති උනාම මැද නිදාගන්නෙක හරිම අමාරු සීන් එකක්. ඔහොම දවසක් මම් පාඩම් කරලා මගේ කාමරේ තිබ්බ පහලම තට්ටුවට යන්න කම්මැලි හිතුනා. මොකද තට්ටු 4ක් බහින්නෙපැයි. ඉතින් එකෙක්ගේ කාමරේක නිදාගන්න සෙට් උනා.මට නින්දා යාගෙනම එනකොට දෙපැත්තේ එවුන් දෙන්නා ගොරවන්න ගත්තා. අම්මෝ එකෙක් ගොරවලා ඉවර වෙනකොට අනෙකා පටන් ගන්නවා. මට ඇහෙන්නේ ගෙරවිල්ල එක දිගටම තියෙනවා වගේ. කොහොමහරි ටික වෙලාවක් බලලා කම්මැලිකම පැත්තකින් තියලා මගේ කාමරේටම ගියා.

මේ කතාව මතක් උනාම මට හිතුනා ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ මොකාද කියලා හොයන්න. නෙට් එකේ සර්ච් කරලා බැලුවම ලෝකයේ වැඩිම සද්දෙන් ගොරවන්නේ ඇලන් මැට් කියන එකා. මේකා කොච්චර හයියෙන් ගොරවනවද කියනවනම් ඩෙසිබල් 112.8 ක තීව්‍රතාවයකින් ගොරවනවා ලූ. ඒක හරියට ජෙට් එංජින් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා වගේ ලු.

මේ ගෙරවිල්ල ගිනස් පොතට ගිය ගෙරවිල්ලක්.මේ මනුස්සයා තමන්ගේ ගෙරවිල්ල ගැන ආඩම්බර වෙනවලු. නමුත් ඒකගේ ගෑනිට උදේට ඇහැරෙනකොට අනිවාර්යෙන්ම කනේ අමාරුවක් හැදෙනවලු. ඒ විතරක් යෑ කවදාවත් රෑට හරිහැටි නිදාගෙන නෑලු.

19 September 2011

නොදැකපු මිතුරෝ

අවුරුද්දට වඩා වැඩි කාලයක් ගොඩක් අයගේ බ්ලොග් කියව කියවා හිටියට ඒ බ්ලොග් ලියන්නේ කවුද කියලා මම් මීට කලින් දැනගෙන හිටියේ නෑ. දැනගන්න උනෙත් නෑ. මොකද ගිය අවුරුද්දේ සංසදයේ ගෙට්ටුව වෙලාවේ මට විභාග තිබ්බා. ඒ නිසා ඒ අවුරුද්දේ ගෙට්ටුව මිස් උනා.

කොහොමහරි මේ අවුරුද්දේ ගෙට්ටුවට කලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ පොත් ප්‍රදර්ශනය බලන්න බ්ලොග් ලියන කට්ටිය එකතු උන වෙලාවේ කට්ටිය අදුන ගන්න තිබ්බ ඒ ආසාවත් ඉෂ්ට උනා. කාලයක් තිස්සේ වචන වලින් විතරක්ම අදුන ගෙන තිබ්බ යාළුකම් හෑබෑවටම දකින්න ලැබුනා.

ආපු ගමන් නම් කාවවත් නමින් දැනගෙන හිටියේ නෑ. කොටින්ම මට කෝල් එකක් දීලා මාව කන්ටෑක් කරගත්ත ගෝල්ඩ් ෆිෂ් අයියව උනත් දැනගෙන හිටියේ නෑ. ආවට පස්සේ මාව දන්න නොදන්න හැමෝ එක්කම කතා කලාට පස්සේ තමා ඒ අයව දැන අදුන ගත්තේ.මට හරියට දැනුනේ මම් කැම්පස් ආපු මුල්ම දවස වගේ. එදත් මට දැනුනේ මේ වගේම හැඟීමක්. මොකද රට වටෙන්ම කට්ටිය ආවට ඒ එක්කෙනෙක්වත් දැකපු එවුන් යෑ.

මෙහෙම කට්ටිය අදුනගන්න වැඩේ නම් මගේ හිතට හොදටම අල්ලලා ගියා. මේ අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම මොන වැඩේ තිබ්බත් සංසදයේ ගෙට්ටුවට එනවා.

17 September 2011

නවකතා

මේ මාසේ සාහිත්‍ය මාසේ නිසා පොත් ගැන මොනවා හරි නොලිව්වොත් ඒක ලොකු අඩුවක්.පොත් කිව්වම මම් ඉස්සර ඉදන්ම ආසයි ඔය පරිවර්තන නවකතා කෙටි කතා එහෙම කියවන්න. නවකතා කිව්වම ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ. පොත කියවලාමයි නවත්තන්නේ.

ඉස්සර මම් උසස් පෙළ කරන්න ආපුම දවස්වලත් ඔය නව කතා කියවන පිස්සුව තිබ්බා. කොච්චර පිස්සුවක් තිබ්බද කියලා කියනවනම් අම්මා ඉස්කෝලෙදි දවල්ට කන්න දෙන සල්ලිත් එකතු කළා නවකතා පොත් ගන්න. මම් ඉස්සර ගොඩක් ආසයි අර කඳුලේ නවකතා කරු කියන ලේඛකයා ලියන පොත් වලට. පොත කියවන්න පටන් ගත්ත වෙලේ ඉදන්ම අඬන්න තියෙන්නේ.

ඒ කෙනා ලියන වැස්සක වගේ නමක් තියෙන පොතට තමා මම් ගොඩක්ම ආස කලේ. ඒකේ පලවෙනිම කොටස මම් ගම්පහ සරසවියෙන් ගෙනාවා. දෙවෙනි කොටස හොයාගන්න තිබ්බෙම නෑ. එතකොට අපේ මල්ලි කුරුදුවත්තේ ඉස්කෝලෙට තේරිච්ච දවස්. ඉතින් අපේ මලයා ඉස්කෝලේ ඇරිලා නුගේගොඩට ගිහින් තමා ඒ පොතේ දෙවෙනි කොටස හොයන් ආවේ. අම්මා මල්ලිට බැන්නත් එක්ක "උබට පිස්සුවක් තියේද !!!" කියලා. අපේ මලයා ඉතින් මාව උගස් තියලා බේරුනා.

දැන් නම් ඒ පොත් දිහා බලන්නත් ආසාවක් නෑ. මට නම් හිතෙන්නෙම් ඒවා මහ බොලඳ නවකතා ය කියලා. ඔය වැස්ස වගේ නමක් තියෙන පොතේ ප්‍රධාන චරිතයට ඉන්න කෙල්ල පොතේ එකතැනක කියනවා "අරහෙම පිරිමි කෙනෙක්ව ලැබෙන්නේ නැත්තන් ඒ වගේ ආදරනීය පිරිමියෙක් එක්ක ටික දවසක් ඉදලා දරුවෙක් හදාගෙන ගමේ ගිහින් ඒ දරුවා හදා ගන්න එක හොදයි !!!!" කියලා කියනවා.

කොහොමද මේ පොත කියවපු කෙල්ලෙක් ඔහොම කිව්වනම් !!! ආදරනිය මනුස්සයෝ පෝලිමක් ඉදීවී. ලඟදි පත්තරේක දැක්කා ඒ පොතේ 9වෙනි කොටසත් එළි දැක්වුවා කියලා. තමන් ආදරේ කරන කෙනෙක්ට එහෙම මේ වගේ පොතක් නම් දෙන්න එපා. එක පොතක් ඉවර වෙන්නේ අනිත් පොතට ආරම්භයක් දීලා. ඒ නිසා පොත් අරන් දීලා විසුමක් වෙන්නේ නැති වෙයි.

මේ කතුවරයා ලියන පොත් වල තියෙන්නේ දෙවිදිහක කතා. එක්කෝ කෙල්ල පෝසත් කොල්ලා දුප්පත් නැත්නම් කොල්ලා පෝසත් කෙල්ල දුප්පත්. අතරින් පතර දෙන්නම එක සමාජ මට්ටමේ කතා තියෙනවා. ඒත් ඒවා බොහොම අඩුවෙන්.

16 September 2011

පාං කතාව

පාං යනු අපේ ගෙදර අයගේ ප්‍රියතම කෑමය. කොච්චර ජනප්‍රියද කියලා කියනවනම් පාං නොගෙනෙන දවසක් නැති තරම්ය. සමහරක් දාට බත් මදිවේයැයි කියා අපේ අම්මා පාං බාගයක් ගෙන එන්නීය. එදාට ඒ පාං බාගේ කන්න මල්ලියි මායි පොර කන්නේය. මල්ලිට කලින් මං පාං බාගේ කන්න ගත්ත දාට "අපේ අම්මා අයියට තමයි වැඩියෙන්ම ආදරේ !!! ඒකනේ අයියට පාං දෙන්නේ !!!!" යැයි මල්ලී දෝස්මුර නගන්නීය. 

 

 පානුයි ආදරෙයි සම්බන්ධ වෙන්නේ කෙසේද කියා මං තවමත් සිතන්නේය. පාං වර්ග ම මහ ගොඩක් තිබේ. එනම්,  

(1) අච්චු පාං - මෙම පාන් වල වැඩිපුරම ඇත්තේ වතුර වේ. තවද මේ පාං කනවිට කිබුලා කිරිමැටි කන අයුරු සිහි කරවයි.මෙම පාන් වර්ගයට අධික ප්‍රත්‍යාස්ථ ගුණ පවති. මෙම වර්ගයේ පාං ගෙඩියක් එක මිටකට ගත හැකිවන ලෙස සංකෝචනය කළ හැකි අතර අතහැරිය විට යලි තිබුන තත්ත්වයටම පත්වීමේ ගුණය පවති. 

(2) තැටි පාං - මෙම පාං වර්ගය පාං තැටියක ගණකමකින් යුක්ත වන අතර කෙලවරකින් අල්ලා සිටින විට කඩා හැලෙක ගුණයක් පෙන්වයි. 

 (3) අයිං පාං - මේ පාන් දර පොලු වැනිය.මෙම පාං ආහාරයට ගැනීම සදහා වෙනම දත් කුට්ටමක් අවශ්‍ය වේ.ඒ තරමටම මේ පාං ජාතිය සවි ශක්තියෙන් ඉහලය. 

 මේවා ප්‍රධානම පාං වර්ග වන අතර එතනින් ගියහම රෝස් පාං, පරලු පාං, ජෑම් පාං, හුන්ඩු පාං, බිත්තර පාං ද පාං කුලයය අයත් උප විෂේශ වේ. පාං වල ඇති විෂේශම ගුණය වන්නේ පවතින ආණ්ඩුවක් උඩු යටිකුරු කිරීමේ හැකියාවය.මහජන ඡන්දෙන් පත්වෙන ඕනම ආණ්ඩුවක් උත්සහ කරන්නේ අඩුම මිලට ජනතාවට පාං ගිල්ලවීමටය. 

කලක් පාං ගෙඩියක මිල රු3.50 විය. දැන් නම් එහෙම පානක් හොයා ගැනීමට නම් කටුගෙට යා යුතුය. එකල පාං කාලක මිල 1.25 විය. රුපියල් 3.50 හතරෙන් බෙදූ විට 1.25 වන්නේ කෙසේද කියා මම් තාම සිතමි. 

ගෙදරින් රුපියක් සොයා ගත හැකි උවත් සත විසි පහක් සොයා ගැනීම අසීරු කටයුත්තකි. එවිට ගෙදර බුදු පානේ, තෙල් වල ගිල්වා ඇති සත විසි පහ මතක් වන්නේ නිතැතින්මය. 

එහෙත් දැන් පාං යනු ත්‍රස්තවාදියෙකි.පාං ආහාරයට ගන්නා තැනත්තා හදුන්වන කෙටි යෙදුම දේශදෝහියා වේ. අනාගත පරපුර වෙනුවෙන් පාං රැක ගැනීම අප සතු යුතුකමකි. 


 

14 September 2011

අලි ගැට පේර බීම

මම පොඩි කාලේ ඉදන්ම ආසම නැති පලතුරක් තමයි අලිගැටපේර කියලා කියන්නේ. ඒ උනාට ගෙදර කට්ටිය ගේන්නේම අලිපේර. එදාට ඉතින් මාරම කේන්තියි. මොකද කට්ටියම මට පෙන්න පෙන්න රහ කර කර තමා ඕක බොන්නේ. වෙලාවකට අපේ තාත්තා මට එයැයිගේ වීදුරුවෙන් මට පොවන්න හදනවා. අම්මෝ මම නම් කට අහලකටවත් ගන්නේ නෑ.

"උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ " තාත්තා හැමදාම මන්තරේ වගේ එහෙම කියනවා.

නමුත් මම් ගොඩ ගියාට පස්සේ මම් ආදරේ කරපු කෙනා ආසම බීමත් අලි පේරම තමා. දවසක් ඒයැයිගේ උපන්දිනේ දාක අපි ෂොපින් ගිහින් එන ගමන් කඩේකට ගොඩ වැදුනා. මෙන්න මෙයා අලි පේර දෙකක් ගන්න හදනවා.මට අප්පිරියාවේ බෑ.

කොහොමහරි එදා නම් අලි පේර එකකුයි මට ෆලූඩා එකකුයි ගත්තා. එදා මම් ෆලූඩා එක බොන අතරේ "මේකෙන් චුට්ටක් බීලා බලන්නකෝ සුදූ !!!!" කියලා කිව්වා. මම් ඉතින් අලිපේර වලට ආස නෑ කියලා කිව්වා.

"අනේ මම් කියන නිසා අදට විතරක් බොන්න.!!!" මාත් අමාරුවෙන් අමාරුවෙන් චුට්ටක් විතර බීවා. අම්මෝ මම් කලින් බීපු ෆලූඩා එකත් එක්කම ඔක්කාරෙට එන්න ආවා. යන්තන් වමනේ යෑම නවත්ත ගත්තා.

කොහොමින් කොහොමහරි මාත් ඒයැයි වගේ අලිපේර බොන්න පුරුදු උනා. මුලදි මුලදි ආසාවක් නැති උනාට පස්සේ ගොඩක් ආස කල බීමක් තමා අලිපේර කියලා කියන්නේ.

නමුත් එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින්. ඒ ආදරේ හිතේ විතරක් ඉතුරු වෙන්න ඒයැයි යන්නම ගිහින්.

අදටත් උඩින් අයිස් ක්‍රීම් දාපු අලිපේර බීම එකක් බොනකොට මට එයාව මතක් වේවි.


12 September 2011

හැදෙන එකා

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒකා පුදුම වසයි. අක්කට නංගිට එහෙම ඉන්න දෙන්නේ නෑ. කොහොමහරි මේකා මේ අවුරුද්දේ ඉස්කෝලේ දම්මා. ඉස්කෝලේ ගියපු මුල් දවස් ටිකේ නම් හොද එකා වගේ හිටියා. දැන් පංතියේ එවුනුත් එක්ක ගහ ගන්නවා කියලා දවස ගානේ ගෙදරට පැමිණිලි එනවා.

ටීචරුත් හැමදාම දඩුවම් කරනවා. ඒත් මූ හැදෙන්නේ නෑ. කොහොමහරි බැරිම තැන ටීචර් මේකාගේ පොතක පොඩි සටහනක් දාලා එවලා තිබ්බා. ඒ සටහන ඒකගේ අම්මට පෙන්නන්න තමයි එවලා තිබ්බේ. ඒ සටහනේ තිබ්බේ මෙහෙමයි.

දගකාරයි !!!!
පාඩමට ඇහුම්කම් නොදේ !!!!
යාළුවන් සමග දබර කිරීමට පෙළඹේ.
ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි !!!


මේක කියෙව්වට පස්සේ මට හිතුනෙම කවදහරි මූ දේසපාලකයෙක් වෙයි කියලා. මොකද ගොඩක් දේසපාලකයන් කරන්නේ දෙපැත්තක් රණ්ඩු කරන්න ඉඩ දීලා නිහඩවම බලාගෙන ඉන්න එකනේ. පොඩි කාලේ ඉදන්ම දේශපාලකයෙක්ගේ ගති ලක්ෂණ තියෙන නිසා ඒ පැත්තට යොමු කරවන එක හොදයි.

මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :)

10 September 2011

අසුබ පෙරනිමිති

අපි ගොඩක් වෙලාවට සුබ කටයුත්තකට ගෙදරින් පිටත් වෙනකොට රාහු කාලය, මරු සිටින දිශාව සුබ වෙලාවල් ඔය එකී මෙකී නොකී දේවල් බලලා එලියට බහින්නේ.එහෙම එලියට බැස්සත් පාරට එනකොට දකින කෙනා අනුව සුබ අසුබ පල තීරණය කරන්න උත්සහ ගන්නවා.

ගෙයින් එලියට බහින කොට හිස් බාල්දියක් අරගෙන වතුර ගන්න එක කෙනෙක් එහෙම දැක්කොත් එදා කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා කියලා හිතනවා. එතකොට ඉතින් කරන්න යන ලේසිම වැඩක් උනත් හරියට කරන්න බෑ. ඇයි කලින්ම හිතලනේ වැඩේ හරි යන්නේ නෑ. ඊට පස්සේ ගෙදර ඇවිත් අර උදෙම්ම දැකපු කෙනාට පලු යන්නම බනිනවා.

ඔය වගේම තමා වඳ ගෑනු කෙනෙක් එහෙමත් නැත්නම් ගමේ ඉන්න අසුබයි කියලා හිතන අස්වහ කටවහ කාරයෝ කියලා ලේබල් ඇලවිච්ච අය දැක්කත් අර කිව්වා වගේම තමයි හිතන්නේ. මට හිතෙන්නේ ඒ අයගෙන් අපට බලපෑමක් නැතුවැති. හැම දේටම වඩා මේ හිත කියලා කියන වස්තුවේ බලපෑම වැඩියි නේ.

අපි සුබයි කියලා හිතුවොත් එදාට දවසම සුබයි අසුබයි කියලා හිතුවොත් එදාට කැඳත් නෑ.

මෙහෙම කිව්වම තමයි මට මතක් උනේ. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා. එයා හැමදාම වැඩට යනකොට එකපාරටම එලියට බහින්නේ නෑ. එයාගේ දුවෙක්ව (දූලා දෙන්නෙක් විතරයි ඉන්නේ.) කියනවා පාරට ගිහින් ආයෙමත් ගෙට එන්නෙයි කියලා. දුව ගෙට එන්න හදනකොට තමයි ඒ අංකල් ගෙදරින් එලියට බහින්නේ. මොකද එයාගේ මතේට අනුව තමන්ගේ දුව ගෙයින් එලියට බහිනකොට දකින එක සුබ කාරණාවක් ලූ.

එක අතකට එහෙම හිතන එකත් හරි දෙමවුපියන්ට තමන්ගේ දරුවෝ වාසනාවක් තමයි. ඔය අල්ල පනල්ලේ වෙන කවුරුහරි දක්කොත් (දුව ඇරෙන්න වෙන එකෙක්) ආයෙම ගෙට ගිහින් ටික වෙලාවකින් එනවා.

දවසක් මම් ඉස්කෝලේ යන්න පාරට එනකොට ඒ අංකල් ගෙයින් එලියට බහින්න හදනවා. එකපරම පාරට එනකොට මාව දැකලා අයෙම ගේ ඇතුලට ගියේ නැතෑ. ඒක දැකලා මට මාර අප්සට් !!!! මොකද මම් ඒ තරමටම අසුබ එකෙක් යෑ. ඔහොම සුබ කාරණා අසුබ කාරණා හිතපු ඒ අංකල්ට තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ගොඩක් දුක් විඳින්න සිද්ද උනා. ලෙඩ වෙලා ඇඳේ එකතැන් වෙලා ඉදලා තමයි නැති උනේ.

මට හිතෙන විදිහට මේ ලෝකේ කවුරුත් වාසනාව කියන දේ අතේ ගුලි කරගෙන එන්නේ නෑ. ඒ නිසා වාසනාව අවාසනාව කියන එක සතුටින් විඳ දරා ගන්න ඕනේ.

08 September 2011

සිසේරියන් බබාලා Vs. ස්බාවික බබාලා

මේ සිද්ධිය උනේ මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. නිවාඩු දවසක පාඩම් කර කර ඉන්න අතරතුර අපිට ඉස්සරහා කාමරේ හිටපු යාලුවෝ දෙන්නත් පාඩම් කරලා අපේ කාමරේට සෙට් උනා. ඒකෙන් මේකෙන් උනේ මම් කර කර හිටපු පාඩම අල වගාවක් වෙච්ච එකයි.

කොහොමහරි ආපු එකේ කතාකරකර හිටියා. කොහොමින් කොහොමහරි කතාව වෙන පැත්තටකට ගිහින් සිසේරියන් ළමයි ගැනයි නෝමල් විදිහට ලැබෙන ළමයි ගැන කතා කරන්න ගත්තා.

"මචං උබ දන්නවද ළමයෙක්ව නෝමල් ලැබෙනකොට අම්මා කෙනෙක් ඒ ළමයට තියෙන ආදරෙයි සිසේරියන් විදිහට ලැබෙන ළමයෙක්ට අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ අතර පොඩි වෙනස්කමක් තියෙනවා කියලා ?" එකෙක් කිව්වා.

"ඒ කිව්වේ ? මට නම් හරියටම තේරුනේ නෑ ?"

"නෑ බං. ස්බාවිකව හම්බවෙන ළමයාට අම්මා දක්වන ආදරේ වැඩියි. සිසේරියන් කරලා ගන්න ළමයට ඒ ආදරේ චුට්ටක් විතර අඩු වෙනවා. ගොඩක්ම නෙමෙයි චුට්ටක් විතර !!!!"

මෙහෙම කිව්වා විතරයි මගේ යාලුවෙක් වෙච්ච දමිත්ට ටිකක් විතර මල පැන්නා. "පල යකෝ යන්න !!!! තොපි අම්මලාගේ ආදරේ හෑල්ලුවට ලක් කරනවා." කියලා එකාසීරුවට බැනගෙන බැනගෙන යන්න ගත්තා.

"නෑ බං මෙහෙම හිතහංකෝ. ස්බාවිකව ළමයෙක් ලැබෙද්දි අම්මා ගොඩක් වේදනාවක් විඳිනවා. ඒ අම්මට ඒ වේදනාව දරාගන්නත් හරි අමාරුයි. ස්බාවදර්මයා මෙහෙම වේදනාවක් අම්මෙකුට දෙන්නේ අම්මගේ ආදරේ ඒ දරුවා කෙරෙහි තියාගන්න." තව එකෙක් පෝර දැම්මා.

"ඔවු එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් සත්තු උනත් පැටවු හම්බ උනාම දාලා යන්න බලනවනේ. ඒ උනාට අම්මා කෙනෙක් ආදරේ නෝමල් ලැබෙන ළමයින්ගෙයි සිසෙරියන් කරලා ලැබෙන ළමයින්ගෙයි කියලා එහෙමට වෙනසක් නැතුවැති !!!!" මං කිව්වා.

කොහොමහරි ඔය තර්කය සෑහෙන වෙලාවක් තිබ්බා. ඒක හන්දම එද දවස පාඩම් කරන්න උනේ නෑ. අපේ යාළුවෝ තර්ක කරන විදිහට නෝමල් ලබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේ සිසේරියන් කරලා ලැබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේට වඩා වැඩියි ලූ. ගොඩක්ම නෙමෙයි. පොඩි ප්‍රමාණයකින් ලූ !!!!

ඔය ආදරයේ තියෙනවයි කියන පොඩි ප්‍රමාණය හන්දා එදා දවසම වැඩක් කරගන්න බැරි උනා.

ඇත්තටම අම්මා කෙනෙක් සිසේරියන් සැත්කමකට පස්සේ ලැබෙන ළමයට වඩා සාමාන්‍ය විදිහට ලැබෙන ළමයට ගොඩක් ආදරේ ද ? මට නම් උත්තරයක් නෑ. දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.


06 September 2011

අදින් ඉවරයි....

පහුගිය දවස් ටිකේම මහන්සි උනේ මගේ අන්තිම විභාගේ ගොඩ දාගන්න. ඔන්න ඒකත් අදින් ඉවරයි. ඒක මතක් වෙනකොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. මොකද පාඩම් කරන එක විභාග කරන එක කියන්නේ එපාම වෙන වැඩක්.වෙන විභාග වගේම අන්තිම විභාගෙත් පුලුවන් උපරිමයෙන් ගොඩ දාගන්න මහන්සි උනා. මගේ අන්තිම සටනට සුබ පතපු හැමදෙනාටම ස්තුතියි. ඒ උනාට වෙනදා වගේ විභාගයක් ඉවර උනාම තියෙන සතුට මේ විභාගේ ඉවර උන දවසේ නෑ. ඒකට හේතුව තමයි මේ විභාගෙන් පස්සේ මගේ අවුරුදු හතරක (4ක් කිව්වට හතරාමාරක් !!!!) විශ්ව විද්‍යාල ජීවිතයත් ඉවර වෙනවා. ඒක ගැන මතක් වෙනකොටත් මාරම දුකයි. අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහින් තව අවුරුදු 4ක් කැම්පස් එකේ ඉගෙන ගත්ත කාලේ වගේ සුන්දර කාලයක් නම් ආයේ එන එකක් නැති වෙයි. දැන් ඉතින් පෑන පැත්තකින් තියන්න කාලේ හරි !!!! කැම්පස් ආපුම අලුත නම් හිතුනේ මේ අවුරුදු හතර ඉක්මනටම ගෙවෙනවනම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද ගෙදරින් පිට ඉදලා හොස්ටල් කෑම කකා ඉගෙන ගන්නවා කියන එක හිතන තරම් සුන්දර එකක් නෙමේ.නමුත් ටික කාලයක් ගතවෙනකොට මේ පරිසරයට ඉබේම වගේ අනුගත උනා. මේ පරිසරයට මේ ගොඩනැගිලි වලට ආදරේ කරන්න ගත්තා. (ගෑනු ළමයින්ටත් ආදරෙයි තමා.) කොටින්ම කාලයක් ගතවෙනකොට පේරාදෙණි හුළඟත් සැපයි කියලා හිතෙන තරම් මේ පරිසරයට මේ කැම්පස් ජීවිතයට ආස කලා. !!! ලෙක්චර්ස් ගියපු ලෙක්චර් වල නිදා ගනිපු එකට පිස්සු කෙලපු මේ වගේ කාලයක් ආයේ නම් එයි කියලා මම නම් හිතන්නේ නෑ. ඒ තරමටම ගෙවිච්ච කාලය සුන්දරයි.අවුරුද්ද මුලදි සදරු මල්ලි කියපු විදිහට අනිත් අවුරුදු වලට වඩා මේ අවුරුද්ද ගොඩක් මතකයේ තියේවි.මොකද ඒ තරමටම පිස්සු වැඩ කලා. වෙනදා වගේම හොස්ටල් එකේ කාමරේ ජනේලේ ඇරපු ගමන් මීදුම් වලාවකින් වැහිච්ච හන්තාන මගේ ඇස් ඉදිරියේ මවපු චිත්‍රය නම් ආයේ අමතක වෙන එකක් නෑ. ඔක්කෝටමත් එක්ක බලාගන්න කියලා මම් ෆොටෝත් ගත්තා. මීදුමෙන් වැහුනට පස්සේ හන්තාන පේන්නේ නැති හන්දා මම් දවල් වෙලාවක තමයි මේ ෆොටෝ ටික ගත්තේ. (ඔය පැත්තකින් පේන්නේ කාමරේ කැඩිච්ච ජනේලේ.) කියන්න නම් ගොඩක් දේවල් තිබුනට මේ පෝස්ට් එක ගොඩක් දිග එකක් වෙන නිසා මම් මේ ලිපිය මෙතනින් නිමා කරනවා. නමදිමු බැති පෙමිනි... පේරාදෙණි සරසවි ජනනි.... අපේ සරසවි ගීතය ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.

05 September 2011

අසල්වැසියෝ

අපේ කරදරයකදි එහෙමත් නැත්නම් දුකකදි අපේ නෑයන්ට කලින් ඇවිදිල්ලා අපට උදව් කරන කට්ටියක් තමයි අපේ අසල්වැසියෝ කියලා කියන්නේ. අසල්වැසියෝ ඉන්න එක වෙලවකට හොදක් උනාට පෙලක් වෙලාවට මාර වදයක් වෙන වෙලාවලුත් තියෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයක් කරලා ගෙදර ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවට,

"පුතා සාමාන්‍ය පෙළ කළා නේ ? කොහොමද ප්‍රතිඵල එහෙම ? " කියලා අහනවා. විභාගේ පාස් වෙලා තිබ්බොත් හොදයි. නැත්නම් ඉතින් ප්‍රශ්න වල ඉවරයක් නෑ. ඇයි ෆේල් උනේ ? මොනවද ෆේල් වෙච්ච විෂයන් ? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනා.

----------------------------------------------------------------
සමහර වෙලාවට අපේ කැම්පස් එකේ නිවාඩුවක් ලැබිලා මම් සති දෙකකට වඩා ගෙදර ඉන්නව දැක්කොත්,

"මොකෝ පුතා මේ දවස්වල ගෙදර ? කැම්පස් වහලද ? අපෝ ලංකාවේ කැම්පස් ගැන නම් කියලා වැඩක් නෑ!!! කොයි වෙලේත් වහලනේ. ඕවට ගියාම නිකන් වයස යන එක විතරයි වෙන්නේ !!!!"

ප්‍රශ්නෙත් අහලා උත්තරත් දීලා ඉවරයි. මට කතා කරන්න ඉඩ තියන්නේ නෑ. මාත් ඔන්න ඔහේ ඕන මඟුලක් කියන්න ඇරලා නිකා ඉන්නවා.

---------------------------------------------------------------
සමහර වෙලාවක ගෙදරක අවුරුදු 28ක විතර ගෑනු ළමයෙක් කසාද නොබැද ඉන්නවා දැක්කොත් අහල පහල එවුන්ගේ කටවල් පොපියනවා.

"දුව දැන් රස්සාවක් කරන එකේ නරකද කසාදයක් ගැනවත් හිතුවොත් ?" කියලා අහනවා.

ඒ වෙලාවට අර කෙල්ලගේ මූන රතු වෙනවා. ලැජ්ජාවෙන් උනත් කියනවා "දැන්ම බඳින්න බෑ ඇන්ටි !!!!" කියලා. බලාගෙන ගියාම ගෙදර අයට වඩා අමාරුවක් තියෙන්නේ අහල පහල එවුන්ට !!!!

කොල්ලෙක්ගෙන් එහෙම ඔය ප්‍රශ්නේ ඇහුවොත් "ඇන්ටි කැමති නම් මම් අද උනත් කැමතියි දුවව බාර ගන්න !!!!" කියලා කියනවා. එතකොට අර ප්‍රශ්නේ අහපු ගෑනි කට වහන් එතනින් රහත් වෙනවා.
---------------------------------------------------------------
අපි හිතමු කසාද බැඳලා අවුරුද්දකටත් වඩා වැඩි බබාලා නැති ගෑනු කෙනෙක් එහෙම දැක්කොත් ඒ ගෑනු කෙනා ඉදලා හමාරයි.

"ඈ... නංගි !!!! ඔයාලා බඳලා අවුරුද්දකටත් වැඩියි නේ!!! මොකෝ තාම සරු පාටක් නැත්තේ ??? " කියලා අහනවා.

ඒ වෙලාවට ඒ ගෑනු කෙනා මාර අපහසුතාවෙකට පත් වෙන්නේ.

"අනේ නෑ අක්කා !!! අපේ එක්කෙනාට ඕවට වෙලාවක් නෑනේ !!! එයා දැන්ම ඕවා ගැන හිතන්නේ නෑ ලූ !!!" කියලා ෂේප් වෙනවා. ඒක ඉතින් අර අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි කියලා දෙන්නම දන්නවා. මොනා කරන්නද ඒ වෙලාවේ කටට එන උත්තරේ දීලා දානවා මිසක් !!!

අපේ ගෙවල් පැත්තේ ඔහොම ගෑනු කෙනෙක්ට ගෙවල් ලග හිටපු කෙනෙක් ඔහොම කිව්වට පස්සේ "ඇඳට බෙඩ් ෂිට් එකක් දාලනේ තියෙන්නේ !!!!" කියලා කිව්වා. මම තාම කල්පනා කරන්නේ මොකක්ද මේ බෙඩ් ෂීට් කතාව කියලා.
----------------------------------------------------------------

එහෙම උනත් අහල පහල අය එක්ක යාප්පුවෙන් ඉන්න එක හොදයි. මොකද නැත්නම් කවුරුහරි ඇවිත් ගෙදර එවුන්ව මරලා දාලා ගියත් අහල පහල එවුන් පැත්ත හැරිලා බලන්නේ නෑ. ඒවගේම තමයි අසල්වැසියෙකුගේ දුකකදී කරදරයකදී අපි උනත් ගිහින් කරන්න පුළුවන් උදව්වක් කරන්න අමතක කරන්නත් හොද නෑ.


ප.ලි. - තාම විභාග ඉවර නෑ. ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් තමයි මේ පබ්ලිෂ් කරන්නේ.

01 September 2011

අපිරිසිදුම කඩ කෑම

ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා.

ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!!

" කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි.

ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප හෝටලේදි හදන්නේ නෑ. පිටින් ගෙනල්ලා විකුණන්නේ. ඉස්සෙල්ලාම ඉඳිආප්ප හදන ගෙදරදි ස්ටීමරෙන් ඉඳි ආප්ප ටික ඇතුල්පතට හරි වට්ටියට හරි හලනවා. ඊට පස්සේ අතින් අල්ලලා එක එක ඉඳිආප්ප තට්ටුවෙන් ගලවලා පිඟානකට හරි පෙට්ටියකට හරි දානවා. ඊට පස්සේ කවුරුහරි එක්කෙනෙක් ඒ ටික ගනන් කරලා පෙට්ටියක අඩුක් කරනවා.

ඉන්පස්සේ ගෙදර කවුරුහරි එකෙක් ගිහින් ඉඳිආප්ප ටික කඩේට දානවා.

"කොලුවෝ මේ ඉඳිආප්ප ටික ගැනලා ගනින් !!!!" කියලා මුදලාලි කිව්වම කොලුවත් ඒ ටික ගැනලා ෂෝකේස් එකක අඩුක් කරනවා.

ඊට පස්සේ ඒ ඉඳිආප්ප ගන්න කඩේට එකෙක් ආවම "මුදලාලි මට ඉඳිආප්ප හැටක් දෙන්න !!!!" කියලා ඉල්ලනවා. එතකොට අර කොලුවා අත්දෙක අර ඇදන් ඉන්න කිලුටු සරමෙන් පිහගෙන ඇවිත් ආයෙම අර ඉඳිආප්ප ටික ගැනලා පාර්සලයක් හදලා දෙනවා.

ඒ ටික ගෙදර ගෙනාවම "මෙන්න ලොකු පුතාට ඉඳිආප්ප 20ක් !!! මෙන්න පොඩි එකාට 20ක් !!!" කියලා ඒ ටික ආයෙම ගැනලා පිඟන් වලට දාල දෙනවා. ඊට පස්සේ කට්ටියම හොදි දාගෙන කනවා !!!!!

කොහොමද වැඩේ !!! කීදෙනෙක් කීපාරක් ගනන් කලාට පස්සෙද අපි ඉඳිආප්ප ටික බඩට යවා ගන්නේ !!!! ඉතින් අපිරිසිදුම කෑම නොවී තියේ යෑ !!!!
----------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මට මතක් උනේ අපේ අම්මා උදේට කන්න කියලා ඉඳිආප්ප ගෙනාපු වෙලාවේ.අද මං ඇහැරෙනකොට පරක්කු උනා.ඒ වෙනකොට මල්ලිට ගෙනාපු පාන් බාගේ මට තියලා මට ගෙනාපු ඉදිආප්ප ටික මල්ලි කාලා !!!!! අම්මෝ ඇති යාන්තන් මං බේරුනා !!!!