
මේ දවස්ටිකේ අනිත් අය ලියපු බ්ලොග් සටහන් කියව කියවා හිටියා මිසක් මුකුත් ලියන්න කියලා දෙයක් තිබුනේ නෑ. පහුගිය දවස් ටිකේ විභාගයට පාඩම් කරලා විභාගේ ලියලා ඉවර වෙලා මාසෙකට විතර පස්සේ සති අන්තයේ ගෙදර ගිහින් එන්න කියලා ගියා.දවල්ට කැන්ටිමෙන් දවල්ට කාලා බෑග් එකත් අරගෙන පේරාදෙණි ස්ටේශන් එකට ආවා. ආවට පස්සේ තමයි හිතුනේ ආපු මෝඩකම කියලා. උඩරට මැණිකේ කෝච්චිය පැය දෙකක් ප්රමාදයි කියලා නිවේදනය කලා.
ඊට පස්සේ මුළු දුම්රිය දෙපාර්තුමේන්තුවම මතක් කර කර ආයේ පාරට එන්න හදනකොටම ස්ටේශන් එකේ එක පැත්තක මිනිස්සු ගොඩක් වටවෙලා හිටියා. මමත් පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා. අපොයි...... ගෑනු කෙනෙක්, නුවර ඉදලා ආපු කෝච්චියට පැනලා දිවි නහගෙන.සංසරේ එපා උනා. මිනියක් කියලා ගන්න දෙයක් නෑ. මේ මිනිස්සු මොකට දිවි නහ ගන්න හදනවද මංදා. ඒ ගෑනු කෙනා නුවර ඉස්පිරිතාලේ ඇටන්ඩන්ට් කෙනෙක් ලු.
ප්රශ්න කියන දේ මනුස්ස කාටත් පොදු දෙයක්. එහෙව් එකේ රේල් පීලී අතර ජීවිතය තියලා ඒ ප්රශ්න විසදගන්න හදන එක නම් මහම මහ මෝඩ කමක්. මොන ප්රශ්නේ තිබ්බත් ඒවා විසදගෙන ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. ඒ ඇරෙන්න මෙහෙම දේවල් කරගන්න හිතන්නවත් හොද නෑ. මේකෙන් වෙන්නේ තියෙන ප්රශ්න විසදෙන එකට වඩා තව තවත් ප්රශ්න දිග්ගැස්සෙන එක.
එහෙම හිත හිත පාරට ආවා.
පැය භාගයක් විතර පාරට වෙලා බලාගෙන ඉදලා අන්තිමේ දි වැලිමඩ බස් එකක් ආවා. මමත් ඉක්මනට ඒකට ගොඩ උනා. මොකද ඒකේ ගියොත් ඉක්මනට යාගන්න පුලුවන් නේ.බස් එකට නැග්ග ගමන්ම සීට් එකක් ලැබුනා. ඒකේ වාඩි වෙලා නින්දකුත් දාගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් ටිකට් ගන්න කියලා කෑගහන්න පටන් ගත්තා. මමත් බහින්න ඕන තැන කියලා ටිකට් එකක් දෙන්න කිව්වා. එක පාරටම රුපියල් එකසිය හතලිස් අටක ටිකට් එකක් ලියලා දුන්නේ නැතෑ.
ටිකට් එක අතට ගත්ත ගමන් මට තරු පෙනුනා. මොකද මගේ සන්තකේටම තිබුනේ රුපියල් එකසිය දහයයි. වෙනදට ඔය දුරම මම රුපියල් සියයකින් යන හන්දා මම හිතුවේ කොන්දා අයියට ගාන වැරදිලා කියලා.
පස්සෙ මම ගාන වැරදියි නේද අයියේ කියලා අහපු ගමන් මේකා කියපි " මේක සෙමියක් ඒ නිසයි ඔය ගාන ගන්නේ" කියලා පස්සෙ තමයි කරපු මෝඩකම තේරුනේ. බස් එකට නගින්න කලින් සෙමියක්ද නෝමල් එකක්ද කියලා බලන්නේ නැතුවනේ ගොඩ වෙලා තියෙන්නේ.මම මගින් බැහැලා යන්න හදද්දි ටිකට් එක ලියලා හින්දා බහින්න දුන්නෙත් නෑ. බැනුම් ගොඩක් අහගෙනම ගේ ලගින්ම බැහැ ගත්තා.ගෙදර යනවා කියන එකත් හිතන තරම් ලේසි නෑ කියලා එදා මට හිතුනා.
ගෙදර ගියාමත් අර කෝච්චියට පැනලා දිවි නහ ගත්ත නුවර හොස්පිට්ල් එකේ ඇටන්ඩන්ට් ව මතක් වෙලා ඇගේ හී ගඩු පිපෙන්න ගත්තා. ඉස්සර පංති යනකාලේත් ඔහොම දේවල් දැකලා තිබුනට මේ සිද්ධියෙන් මට මාරම කම්පනයක් තිබ්බේ. ඔයවගේ මට මතක තව සිද්ධියක් මම උසස්පෙල කරන කාලේත් උනා. ඒකනම් සිද්ධ උනේ රේල් ගේට්ටුව වහලා තියෙද්දී හදිස්සියට රේල් පාර මාරු වෙන්න ගියපු වෙලාවක. එක විනාඩියක් ඇතුලත ඒ මනුස්සයාගේ ජීවිතය නැති උනා. ඒ වගේම ඒ මනුස්සයාගේ දරුවන්ට තාත්තෙක් නැති උනා. මේ පෝස්ට් එක කියවන ඔයාලාත් කවදාවත් හදිස්සියට මේවගේ දේවල් කරන්න යන්න එපා. විනාඩියක ප්රමාදයක් වලක්වාගන්න ගිහින් ඒ මනුස්සයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ උනා.
ප.ලි. - ගොඩ දවසකට පස්සේ ඇවිත් එපාමකරපු පෝස්ට් එකක් දැම්මයි කියලා දොස් කියන්න එහෙම එපා හොදේ.