වැඩ ගොඩක් තිබුන නිසා හුග දවසකින් බ්ලොග් එකක් දැම්මේ නෑ. අද පොඩි විවේකයක් ලැබුන නිසා පොඩි කතාවක් දාන්න කියලා හිතුනා. මේ දවස් ටිකේම කලේ බ්ලොග් කියවපු එක අද තමයි ලියන්න කියලා ඉස්පාසුවක් ලැබුනේ. මේ කතාව සමහරවිට ඔයාලා අහලත් ඇති. අහපු නැති අයත් ඇති කියලා හිතුන නිසයි මේ කතාව ලියන්නේ.
දැන් මං කියන්න යන්නේ ජනප්‍රවාදයේ එන කතාවක්. මේක මේ අල වර්ගයක නම හැදුන හැටි හා සම්බන්ධ ජනප්‍රවාදයක් . එහෙනම් හොදින් අහගන්නකෝ. මේ අල වර්ගය තමයි '' නගා මැරූ අල '' කියන්නේ.
මේ අල වර්ගය නම් කෑම ගන්නේ නෑ. මේ අල වල යම්කිසි විශ ගතියක් තියෙනවලු. ( මං "ලු" කියල කියන්නේ මේ අල වර්ගය උපන්තේකට දැකලා නෑ . කතාව විතරයි දන්නේ. )
ඔන්න දවසක් අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි (කුමාරයෙකුයි එයාගේ නංගියි ඉන්න මේ කතාවෙම තව සංස්කරණයක් තියෙනවා ) එයාලගේ දෙමවුපියන් නැති උනාට පස්සේ එයාලගේ නෑදෑයන්ගේ ගෙදර යන්න පිටත් උනාලු. මොකද නංගිට ආරක්ෂාවත් නැහැනේ දෙමව්පියන් නැති උනාම.
මේ ගමන වැටිලා තිබුනේ කැලෑවක් මැදින්ලූ. ගමන බොහෝම දුශ්කර එකක් ලු. ඉතින් මේ අය ගමනේ ටික දුරක් ගියාට පස්සේ ගිමන් හරින්න ඕනේ උනා. කොහොමහරි ගහක් යටට ආවට පස්සෙ අයියා තමාගෙ ඉනේ තිබ්බ පිහිය බිමට අත ඇරලා ගහක් යටින් හාන්සි උනා. අයියා පිහිය අතෑරපු පාරට ඒ පිහියේ තුඩ පොලවේ ඇනිලා තිබ්බලු. ( කුමාරයා ඉන්න කතාවේ කුමාරයාගේ කඩුව පොලවේ ඇන්නලු කියලයි තියෙන්නේ ) ඊට පස්සේ අයියා ගහ යටින් ඇල උනාම මහන්සියට අයියට දන්නෙම නැතිව නින්ද ගියා.
නංගි බුලත් විටක් කන්න කියලා මල්ලෙන් බුලතුයි පුවකුයි අරගෙන පුවක් ගෙඩිය සුද්ද කරන්න අර පොලවේ ඇනිලා තිබ්බ පිහිය ගත්තලු. ඒ පිහියෙන් පුවක් ගෙඩිය සුද්ද කරලා බුලත් විට කෑවයි කියමුකෝ . කෑවට පස්සේ නංගිට ලොකූ මත් ගතියක් දැනෙන්න ගත්තා .
ඒ වගේම නංගිට අයියා ගැන ආදරයක් ඇති උනාලු (සහෝදරකමක් එක්ක එන ආදරයක් නෙමෙයි . ස්වාමිපුරුශයයි බිරිදයි අතරේ තියෙන ආදරයක්. ) ඒ කියන්නේ නංගිට අර අයියත් එක්ක එකතු වෙන්න ඕනේ වගේ හැගීමක් දැනුනලු . ඉතින් මේ නංගි, අයියට පෙම් බස් කියවනවලු. ඒ වගෙම මේ යෝජනාවත් අයියට කිව්වලු. අයියට මේක අහපු ගමන් කේන්ති ගියා.
මොකද සහෝදර සහෝදරියෝ අතරේ ඔයවගේ සම්බන්ධකම් නැහැනේ. අයියට කේන්ති ගිය පාර අර පිහියෙන්ම නංගිට ඇනලා, නංගිව මැරුවා . ඊට පස්සේ මේ අයියා අහල පහල ගමකින් මිනිස්සු ටිකක් එක්ක ඇවිත් නංගිගේ මිනිය පෙන්නුවලු. පෙන්නලා මේ සිද්ධියත් කිව්වලු. ඊට පස්සෙ එතන හිටිය ගැමියෙක් කිව්වලු. නංගි ඔහොම හැසිරුන එක සාධාරණයි. ඕක සිද්ද උනේ පිහිය ඇනිල තිබ්බ තැන පොලොව යට තිබ්බ අල වර්ගයක් හින්දයි කියලා.
ඉතින් මේ අයියටත් කාරනාව තේරුනා . එතකොට වෙන්න තිබ්බ සේරම වෙලා ඉවරයි. ඊට පස්සෙ ඔය අල වර්ගයට ''නගා මැරූ අල '' කියල කිව්වලු. ඔය අල වර්ගය ගැන දන්න ගැමියෝ අදත් ඉන්නවා. ඇත්තටම මේ අල වර්ගයට ඔයවගේ හැගීම් ඇති කිරීමේ ශක්තියක් තියෙනවා ලු. ඔය වගේ සිංහල වෙද්දු අමුක්කරා කියලා අල වර්ගයක් බෙහෙත් වලට ගන්නවා. ඒ අල වර්ගයටත් ඔය හැකියාවම තියෙනවා කියලා මං පොතක දැක්කා.