28 April 2019

පහන්තුඩාව ඇල්ල

අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.

බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට යන පාර සදහන් කරලා. ඒ නිසා පාර වරදින්නේ නම් නෑ.


27 April 2019

උඩ දියළුම ඇල්ල

එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.

මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ බස් එහෙක නැගලා බදුල්ල කිට්ටු වෙනක්කොට උදේ පහ හය වගේ වෙලාවට බහින්න පුලුවන්. එතකොට මුළු දවසම වගේ ඉතුරුයි.

මෙදාපාර අපි යන්න හිතාගෙන හිටියේ උඩ දියළුමයි පහන්තුඩාව ඇල්ලයි ඇඩිසම් බංගලාවයි. එකිනෙකට වෙනස්ම පැති තුනක්.

මේ ගමන යන්න අපේ ඔපිස් එකෙන් මමයි තව එක්කෙනෙකුයි වෙනම අපේ තව යාළුවෝ දෙන්නෙකුයි එකතු උනා. ඊට අමතරව මගේ ආදරණීය බිරින්දෑත් එකතු උනා. ඔක්කොම කට්ටිය පහයි.

අපේ උන්දෑ මේ වාගේ ගමන් වලට ආසයි. ඒත් එයාට වැඩිය කටු කන්න බෑ. කොටින්ම ටිකක් වැඩියෙන් දුරක් ඇවිදින්න අමාරුයි. ටික වෙලාවක් යද්දි කුණු කුණු ගානවා. ඒ වගේම කඳු වල ඇවිදින්න එහෙම අමාරුයි.

මේ ගමන කොහොමහරි යනවමයි කියලා හිතලා තමා අපි එක්ක ආවේ.

23 April 2019

රෙමූණ වැව හා ආඳ දොළ

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.

හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.

මම සුපුරුදු පරිදි ගියේ,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ

කියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්.

20 April 2019

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.

එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.


අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි.

17 April 2019

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්.

උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.

ඒක සෙල්ලිපියක්.

මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ දියගම කියන ගමේ.

මම ගෙදරින් පිටත්වෙලා,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ > කෙසෙල්හේනාව > දොඹගොඩ > ගල්පාත > දියගම

පාර ඔස්සේ දියගමට ආවා.

15 April 2019

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.

දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.

අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.

මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි.

14 April 2019

සුබ නව වසරක් වේවා

අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.


එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !!

13 April 2019

පාළම් පාරුව අද නැත

හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය.

ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.

තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර පිනා යන සුවඳින් මා කුසගිනි අවුලවයි. මාත් මා ආදරණීය බිරින්දෑත් උපන් කතෝලිකයින් වූ නිසා ම සිංහල වුවත් අවුරුදු සමරන්නේ නැත. විටෙක අප උපන් සිංහලයින් වූවත් අනෙක් සිංහලයින් හා සමානවම අවුරුදු සමරන්නේ නැත්තේ ඇයි දැයි මගෙන්ම අසා ගනිමි.

එය මට ම උත්තර නැති ප්‍රශ්නයකි.කුඩා කළ මා අම්මාගෙන් මේ බව ඇසූ විට අම්මාගේ පිළිතුර වූයේ,

"අපි ඉතින් නත්තල් සමරනවනේ පුතේ" යන්නයි.

ඒ පිළිතුර මා ඉස් මුදුනින් ම පිළිගෙන සිටියා මිසක මා එතැනින් එහාට ප්‍රශ්න ඇසීමට නොගියෙමි. මේ නිසාම තවමත් ප්‍රශ්නය එලෙසම පවතී.

අවුරුදු සමරන්නේ නැති වුවත් මා උදේ සිටන ම ගෙවල් දොරවල් අස්පස් කිරිමේ කටයුතු වල නියැළී සිටියෙමි.