04 June 2018

පෝදා පාහියංගල වන්දනාව

මේ අවුරුද්දේ වෙසක් පෝය දවසයි පොසොන් පෝය දවසයි යෙදිලා තිබුණේ හරි අපූරු විදිහකටයි. වෙසක් පෝය බක් මාසයේත් පොසොන් පෝය වෙසක් මාසයේත් යෙදිලා තිබුණා. ඒ උනාට සමහර දින දර්ශන වල නම් මේ පෝය 'අධි පොසොන්' පෝය විදිහට නම් කරලා තිබුණා. මේ හින්දමද කොහෙද වෙනදට පොසොන් පෝයට තියෙන පෝදා දහම් කාරණා වල අඩුවක් දකින්න පුලුවන්. අපේ පන්සලේ එහෙම මිහිදු පෙරහැර පැවැත්තුනේ නෑ.

හැබැයි එහෙම කියලා නෑ. මේ පෝය දවස දන්සල් වලින් නම් බොහොම සරු සාරයි !

පෝයක් කියන්නේ මට නම් නිවාඩු දවසක් නිසා ගෙදර කම්මැලිකමේ උන්නා. එතකොට තමා මට හිතුනේ කොහේ හරි යන්න ඕන ය කියලා. මගේ රයිගම් රාජධානියේ සංචාරයෙන් කොටසක් යන්න තිබුණා නම් කියලා හිතුනා.

එහෙම කල්පනා කර කර ඉන්නකොට තමයි අපේ උන්දෑ කිව්වේ ඔයා පාහියංගල යන්න ඕන කියලා කිය කියා ඉන්න නිසා එහේ යං කියලා.

"ඒකත් හොද අදහස !" මාත් ඒ තීරණය අනුමත කරලා දෙන්නම උදෙන් ගෙයින් එලියට බැස්සා පාහියංගල යන්න හිතාගෙන.වෙනදා නම් මේ වගේ ගමනක් යනකොට බස් හෝල්ට් ගානෙයි පයිනුයි යන්න සිද්ධ වෙන නිසා මේ වගේ ගමන් යන්න අපේ උන්දෑ එච්චර මනාප නෑ.

දැං තත්වේ වෙනස්. මගේ බයිසි මොටෝව තියෙන නිසා හිතෙන ගමනක් සුටුස් ගාලා ගිහින් එන්ඩ පුලුවන්. එදිනෙදා ගමන් බිමන් යෑම ඒ තරමටම සරල වෙලා.

මං රුක්ගහ තොටුපොල පාරේ ඉදලා කුරුස හන්දියෙන් පානදුරේ හොරණ පාරට හැරෙව්වා. එතන ඉදලා අළුබෝමුල්ල හන්දිය, බොල්ගොඩ හරහා රමුක්කනට ඇවිත් එතනින් බණ්ඩාරගමට ආවා.

බණ්ඩාරගම පහු කරගෙන හොරණ කිට්ටුවට එනකොට පාර අයිනේ බෙලිමල් දන්සලක් දෙනවා. බෙලිමලුයි සීනි හකුරුයි. එතනින් බෙලිමල් එකක් බීලා හොරණට ආවා. හොරණ-අඟුරුවාතොට පාරට බයිසිකලය හරවලා කිලෝ මීටර් තුනක් විතර ඒ පාරේ ආවා. කිලෝමීටර් 3ක් විතර ආවහම බැල්ලපිටිය කියලා හන්දියක් හම්බ වෙනවා.

බැල්ලපිටිය හන්දියෙන් බුලත්සිංහල මතුගම පාරට හරවන්ඩ ඕන.ඊට පස්සේ අපි කදන හන්දියට ආවා. ඒ හරියේ නම් බත් දන්සලක් දෙන්න ලෑස්ති කරලා තියෙන විත්තිය අපි ඈත තියාම දැක්කා. එනගමන් ඒ දන්සල වැඳගෙන එන්ඩ ඕන කියලා හිතේ තියාගෙනම පාරේ ඉදිරියටම ඇදුනා. කදන හන්දියෙන් එහාට්ට පාර හරිම ලස්සනයි පාරේ සමහර තැන් වල එක යායට රබර් වවලා තිබ්බා. සමහර තැන් වල පොඩි පොඩි තේ වතු හිටං තිබුනා. කදන හන්දියෙන් පස්සේ අපිට ඊලඟට හම්බ වෙන්නේ නාරගල කියලා ගමක්.


කළු ගඟේ තිබුණ නහර මතු වෙච්ච ගලක් නිසා මේ ගමට නහර ගල කියලා නම වැටුනා ලූ. නහර මතුවෙච්ච ගලක් කියන්නේ කාලයක් තිස්සේ මේ ගල ඛාදනයට ලක් වෙලා නහර වගේ මතු වෙච්ච නිසාලූ මේ ගලට නහර ගල කියලා කියන්නේ. නහර ගල පස්සේ කාලෙක නාරගල කියලා නම් ලැබුණයි කියලා ලු සදහන් වෙන්නේ.

නහර ගල එහෙම නැත්නම් නාරගල කියන්නේ හරි අපූරු ස්වබාව සෞන්දර්යෙන් අනූන කුඩා ගමක්. බලන බලන අත කොළ පාටින් බබලන හරි අපූරු ගම්මානයක්. අපේ ගමන වැටිලා තියෙන්නෙත් මේ නාරගල ගම හරහා. නාරගල ගමට ඇතුල් වෙන හන්දියේ තියෙනවා කළු ගඟ හරහා ඉදි වෙච්ච නාරගල පාලම. අපි මේ පාලම උඩ ටික වෙලාවක් නතර කරගෙන බොර පාටින් ගලන කළු ගඟ දිහා බලාගෙන හිටියා.ගඟක් දිහා බලාගෙන ඉන්න එකත් එක්තරා අන්දමක භාවනාවක් වගේ.

මේ පාලම ගොඩක් පටු නිසා අපි වැඩි වෙලාවක් පාලම උඩ රැඳුනේ නෑ.නාරගලදී අපිට සවු දන්සලකුත් හම්බ උනා.

නාරගල පහු කලාට පස්සේ ඊලඟට හම්බ වෙන්නේ කොබවක කියලා ගමක්. කොබවක කිව්ව සැනින් මට මතක් වෙන්නේ වසන්ත කුමාර කොබවක මහත්මයාව. එතුමා මේ ගමෙන් බිහි වෙච්ච කලාකරුවෙක්.

කොබවක බෝධිය පහු කරගෙන ටික දුරක් එනකොට එතනත් මොනවාම හරි දන්සලක් දෙන්න ලෑස්ති කරන බව අපිට පෙනිච්ච කාරණාවත්. මේ දන්සලත් අපි "මාර්ක්" කරගෙන ඉදිරියටම ගියා. කොබවක හන්දියෙන් පස්සේ පාර ඇත්තටම ලස්සනයි. හරියට කඳුකරයට ආවා වගේ. වංගු වංගු පාර. පාර දෙපැත්තේ සරුවට වැවුණු කැලෑව. හරි අපූරු දර්ශනයක්.

කොබවකින් පස්සේ අපිට ඈගල් ඔය හන්දිය හම්බ වෙනවා. මෙතැනින් පාර දෙකට බෙදෙනවා. එක පැත්තක් ඉංගිරියටත් අනෙක් පැත්ත බුලත්සිංහල හරහා මතුගමටත් යන ආකාරයට.

වීදිය බණ්ඩාර කුමරුන්ට නොදන්වා ඔහුගේ බිස අසල තිබූ ඔයකට දිය නෑමට ගිය අවස්ථාවකදී කුමරු අසල සිටි අයෙකුගෙන් බිසව කොහිදැයි විමසා සිටියේ ලූ. එවිට ඔහු විසින් "ඈ, ගල් ඔයට" ගිය බව කුමරුන්ට දැන්වූ තැන් පසු කලෙක ඈගල් ඔය බවට සිංහලයට වර නැගුණ බව සදහන් වෙන්. අද එම හන්දිය ඈගල් ඔය හන්දිය නමින් ප්‍රකට ය.

ඈගල් ඔය හන්දියට එනවත් එක්කම අපේ උන්දෑට මොනවාහරි බොන්න ඕන කිය කියා චුරු චුරු ගාන්න පටන් ගත්තා. මොන මලවදයක්ද කියලා හිතින් හිත හිතා මම කඩයක් ලග නවත්තලා කිරි පැකැට් එකක් ගෙනත් දුන්නා. අපේ උන්දෑ ඒක බිව්වට පස්සේ ආයෙම ගමන පටන් ගත්තා.

ඈගල් ඔයෙන් පස්සේ ඊලඟට හම්බ වෙන්න්නේ බුලත්සිංහල ටවුන් එක !

වීදිය බණ්ඩාර කුමරු රජකම් කලේ පැලෑද නැත්නම් පසු කාලීනව පාලින්ද නුවර කියලා හඳුන්වන නගරයේ. මෝල්කාවෙන් කුඩා ගඟ තරණය කරපු වීදිය බණ්ඩාර කුමරු එලි පෙහෙලි කරලා තිබ්බ ගමකට එනවා.

ගමේ හිටපු ගැමියන් ලගට ඇවිත් මේ කුමාරයා "බොලාත් සිංහලදැයි? " කියලා ඇහුවා ලූ. ඇත්තටම කුමාරයාට ඕන කමක් තිබ්බේ මේ ගැමියෝ සිංහලද කියලා දැන ගන්ඩ ලූ. මොකද ඒ වෙනකොට වේයන්ගල්ල, අටළුගම වගේ පැති වල මුස්ලිම් ජනාවාස බිහිවෙලා තිබ්බ නිසා මේ ගැමියෝ ඇත්තටම සිංහල ද කියලා දැනගන්න උන්නාන්සේට ඕන කමක් තිබුණා ලූ.

එදා බොලාත් සිංහලදැයි අහපු ගම්මානය පස්සේ කාලෙක බුලත්සිංහල විදිහට ප්‍රකට උනා ලූ.

බුලත්සිංහල ඔරලෝසු කණුව හරියෙන් වමට තියෙන පාරේ කිලෝමීටර් 7ක් විතර ගියහම අපට පාහියංගල විහාරය පාමුලට ඒගන්ඩ පුලුවන් උනා.

පාහියංගල විහාරය අයිති වෙන්නේ නිග්ගහ ග්‍රාමසේවා වසමටයි.කිලෝමීටර් 41ක් විතර දුර ගෙවාගෙන අන්තිමේදි අපි අපේ ගමනාන්තය කරා ලඟා උනා.

එහෙනම් අපි පාහියංගල විහාරය වැඳ පුදාගන්න ලෑස්ති වෙමු. ඒ විස්තර ටික ඊලඟ ලිපියේ සදහන් කරන්නම්.

මට මේ සේරම විස්තර හොයාගන්න උදවු උනේ ඉන්දික සංජීව විතාන මහත්තයා ලියපු "බුලත්සිංහල විත්ති" කියන පොතෙන්. මේක හරි වටින කියන ඉතිහාස කාරණා තියෙන පොතක්.


එතෙක් ජය හා සතුට.

4 comments:

  1. උඹ විස්තර කරපු විදියට නං මට හිතුනේ කිලෝමීටර් දෙතුනසීයක් ඇවිත් කියලයි. පාර දෙපැත්තේ පින්තුර ගත්තේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. හෙහ්... පුදුම විස්තර කිරිල්ලක් නෙහ්.

      Delete
  2. මතුගම පිබුර ඉදං හොරණට එන පාරත් හරිම ලස්සනයි . හරියට පිටරටක වගේ ....
    අපි එක පාරක් පිබුරේ ඉදන් පිළියන්දල ආව ඔය පාරේ වෙසක් දවසක .... පුදුම දන්සැල් තොගයක් එදා තිබ්බේ ...

    ඔයාගේ මේ කතාවෙන් ඉස්සර මතක් උනා ..

    දෙවෙනි කොටසත් ලියන්න .

    ReplyDelete
    Replies
    1. දවසක ඒ පැත්තෙත් ගිහින් එන්ඩ ඕන. ඔත්තුවට ස්තූතියි !!

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.