1. හැටන් - නල්ලතන්නිය මාර්ගය
2. රත්නපුර - පලාබද්දල මාර්ගය
3. කුරුවිට - එරත්න මාර්ගය
4. සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය
5. දැරණියගල උඩමාලිබොඩ මාර්ගය
6. දෙහෙනකන්ද මාර්ගය යනුවෙන් නම් කර හැක. මා ඉහත සදහන් කල පළමුවෙනි හා දෙවෙනි මාර්ග දෙක ප්‍රධාන මාර්ග දෙක වේ.
බොහෝ වන්දනාකරුවන් දෙවෙනි මාර්ගය එනම් හැටන් නල්ලතන්නිය මාර්ගය භාවිතා කරන්නේ ගමන් පහසුව සදහා ය. දැනට බොහෝ වන්දනාකරුවන් අතර හැටන් නල්ලතන්නිය මාර්ගය ජනප්‍රිමය මාර්ගය වන්නේ අඩුම කාළයකදී සිරිපා කරුණා කිරීමට හැකි නිසාවෙනි.
මේ නිසාම මාර්ගය දෙපස කඩවල් රාශියක් දැක ගත හැකි වන්නේ මේ මාර්ගයේ ඇති 'ජනප්‍රිය' බව නිසාම විය යුතු ය. මේ ජනප්‍රිය බව නිසාම සමනල අඩවි පරිසර දූෂණය වැඩියෙන්ම සිදුවන මාර්ගයත් මෙය බව පහන් සංවේගයෙන් යුතුව උවද පැවසිය යුතු ය. විටෙක මේ මාර්ගය වෙලෙන්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
මේ ගමන් මාර්ගයේ ඇති ජනප්‍රිය බව නිසාම දිවා රෑ බස් සේවා ක්‍රියාත්මක වෙමින් වන්දනාකරුවන් නල්ලතන්නියට ගෙන් ඒම සිදුවේ. දිවා රාත්‍රි බස් සේවාව නිසාම බොහෝමයක් වන්දනාකරුවන් ඉර සේවය දැකබලා ගැනීම ඉලක්ක කර ගනිමින් රාත්‍රී කාළය සිරිපා කරුණා කිරීමට යොදා ගනී.
රාත්‍රී කාළය පුරාම සිරිපා කරුණා කරන බැතිමත්තු ආපසු තම තමන්ගේ ප්‍රවාහන සේවාව වෙත එන්නේ වටින් ගොඩින් එලිය වැටෙන යාමයේ ය. මේ නිසාම වන්දනාකරුවන් බොහෝ සෙයින් නිදිබරව විඩාපත්ව සිටී. මේ විඩාබර නිද්‍රාකරණය නිසා ඔවුන්ට සිරිපා පද්මය හැරෙන්නට සිරිපා අඩවි පරිසරයේ සිත් පින්වන මනහර බව මගහැරේ.
දහවල් කාළයේ සිරිපා කරුණ කරන අතලොස්සක් දෙනා මේ පරිසර චමත්කාරයෙන් උද්දාමයට පත් වනේ. මා මේ ලිපිය ලියන්නට වස්තු බීජය කරගත්ති අතලොස්සක් දෙනා විඳින ඒ සුන්දරත්වය සියල්ලන්ට දැක බලා සැනසෙන්නට ය.
හැටන් නල්ලතන්නිය මාර්ගය වැටී ඇත්තේ මනහර තේ වතු යායක් මැදිනි. ඈත කඳු පන්තීන් පුරා විහිදෙන තේ වතු වන්දනාකරුවන්ගේ නෙත් මානයේ අපූරු දසුන් මවයි. හපුගස්තැන්න, මාවුස්සාකලේ හා මරේ වතු යායන් අප ගමන් ගත් සිරිපා ගමන් මඟෙහි අපට මුන ගැහෙන තේ වතු සමූහය අතර වේ.
මේ තේවතු නිසා අපේ ගමන සුන්දර වුවත් තේ වතු වල වැඩෙහි යෙදෙන කම්කරුවන්ගේ හා තේ දල්ලට ජීවිතය දිය කර හරින දළු නෙලන්නියන්ගේ ජීවිත අප හිතන තරම් සුන්දර නොවේ. එයත් අප යන ගමන් මගේ හිතේ තබාගත යුතු කටුක සත්‍යයකි.
පැරැන්නන් අතර ඉහත කියමන ප්‍රකට ය. මගේ මතය නම් ඉහත කියමනට පරිසර රසවින්දනයත් එකතු වී "අලි බැලිල්ලයි බලි බැලිල්ලයි පරිසරය රසවිදීමයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ" විය යුතු ය. ඒ තරමටම පරිසරය, රසවිඳිය හැකි සුන්දර විෂය පථයකි.
කෙමෙන් කෙමෙන් අප ගමන් කල වෑන් රිය නෝටන් බ්‍රිජ් ජලාශය අසලට ලඟාවූයේ වෙනම රටකට දේශ සීමාවක් අසලට ලඟා වූ සේ ය. නෝටන් බ්‍රිජ් ජලාශය හරහා වැටී තිබූ පාළම කිසියම් සමන්තර විශ්වයකට ඇතුළු වන තාරකා දොරටුවක් සේ මට දිස් විය. එය එතරම් අපූරු චමත්කාර දර්ශනයක් විය. නෝට්න් බ්‍රිජ් පාලම පසු කර ටික දුරක් ගමන් කරන විට කුඩා වහලක් මගින් ආරක්ෂා කරන කිසියම් වාහනයක ටයරයක් අපි දුටිමු.
මේ ටයරය නිකන්ම නිකන් ටයරයක් නොවේ. මෙය නෝටන් බ්‍රිජ් පොලිස් ස්ථානයට අයිති ස්මරණීය ටයරයකි. මේ ටයරය 1974 වර්ෂයේ දෙසැම්බර් 4වන දා සප්තකන්‍යා කඳුවැටියේ හැපී විනාශ වූ මාර්ටිනි ගුවන් සේවයට අයත් DC-8 ගුවන් යානයේ ටයරයකි.
මේ ගුවන් යානය එදින මක්කම බලා ගමන් ගනිමින් තිබියදී මීදුම් අධික බව නිසාම අනපේෂිත ලෙස සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී විනාශ විය. මෙහි ගමන් ගත් සියළුම දෙනා මිය ගිය අතර පසු කලෙකදී බොහෝ පරිශ්‍රමයක් දලා මේ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගන්නා ලදී.
හද කම්පා කරන ගුවන් අනතුරේ දැනට ජීවමාන සාක්ෂිය දෙස සුලු මොහොතක් බල අපි අපේ ගමන පිටත් වූවෙමු. වංගු වංගු පාරේ අපි තව තවත් ඉදිරියටම ඇදුනෙමු. මීලඟට අපේ නෙත් සිත් පැහැර ගත්තේ පාරේ දකුණු පසින් ඈතින් කඩා හැලෙන දිය ඇල්ලක් ය.
දිය ඇල්ලක් දෙස යමින් ගමන් නිරීක්ෂණය කිරීම යලටත් නැති මහටත් නැති වැඩක් නිසාවෙන් අපි සුළු මොහොතකට අප ගමන් ගත් වෑන් රිය නැවැත්තුවෙමු. පාරේ අයිනට කර නවත්වන ලද වෑන් රියෙන් බැසගත් අප ඈතින් පෙනෙන දිය ඇල්ලේ සුන්දරත්වය වින්දෙමු. මේ දිය ඇල්ල නමින් ලක්ෂපාන ඇල්ල ය. දිය ඇල්ලක සුන්දරත්වය හිඳින්ම විඳිය හැක්කේ දිය ඇල්ල පාමුලට ගිය විටය. නමුත් දිය ඇල්ල පාමුල වෙත යාමට හැකි දුරකින් නොසිටි නිසාවෙන් අපි දුර සිට සුන්දරත්වය වින්දෙමු.
දිය ඇල්ලේ සුන්දරත්වය විඳිමින් අපි මදක් අපේ නෙත් ඉහලට එසවූවෙමි. කඳු සතකින් යුතු කඳු පන්තියක් අපෙ දර්ශන පථයට හසු විය. මේ නම් කලින් මා සඳහන් කල ගුවන් යානය ගැටුනු කන්‍යාවියන් සත් දෙනා විය යුතු ය. මේ කඳු වැටියට සප්ත කන්‍යා යැයි නම් ලැබීමට හේතු වී ඇත්තේ මිනිස් මානයෙන් ඉවත්ව නොයිඳුල් වන ගහණයෙන් වැසී තිබීම විය යුතු බව මට සිතුනි.
අද වනවිට මේ කන්‍යාවියන් සත්දෙනා මිනිස් පා පහස ලබන්නියන් බවට පරිවර්තනය වී ඇත. මේ නිසා මතු යම් දිනක අපි අද දකින කන්‍යාවියන්ගේ සුන්දරත්වයට හානි වේදෝ යි අනියත බියක් මා තුළ පැන නොනැගුනාම නොවේ.
ලක්ෂපාන ඇල්ලටත් සුන්දර කන්‍යාවියන් සත් දෙනාටත් සමු දී අපි නැවතත් තේ වතු මැදින් ගමන් ඇරඹූවෙමු. නෙත් සිත් බදනා තේ වතු මැදින් ගමන් ගන්නා අපේ ගමන ඇත්තටම සුන්දර ගමනකි.
අප තවදුරක් ගමන් කිරීමෙන් පසු මං සංදියකට අවතීර්ණ වුනෙමු. මේ සන්ධියේ එක් අපූරු දෙයක් දැක ගත හැක. එනම්, බිංදුව යැයි සඳහන් සැතපුම් කණුවකි. මේ ගැන මා ඉහත ලිපියක සඳහන් කලා ඔබට මතක ඇති.
තව තවත් අපි ඉදිරියට ඇදුනෙමු. ඒ යන ගමනෙදී දකුණු පසින් මෝහිනී ඇල්ල දුටුවෙමු. දිය ඇල්ලක සුන්දරත්වය තීරණය වන නිර්ණායකය වන්නේ ඒ ඇල්ල පහතට හෙලන ජල පහර අඩු වැඩි වීම මත ය. අප සිරිපා කරුණා කරන්නේ සිරිපා අඩවියට වැසි නොවැටුනු කාළයක නිසා මෝහිනී ඇල්ල සිදී ගොස් තිබුණි.
මේ නිසා දිය සිඳුන දිය ඇල්ලක් ලඟ කාලය කා දැමීමේ අදහසක් අප කා තුලත් නොතිබුණු නිසා අපේ ගමනාන්තය වන සිරිපා ගිරි පාමුල වෙතට ආවෙමු.
පරිසරය හා ඒකාත්මික වූ සුන්දර ගමනය අවසානය මෙසේ සනිටුහන් කරමි. මින් පසු අපේ වෑයම වන්නේ සිරිපා කරුණා කිරීම නිසාවෙන් අනිත් ලිපිය මා සිරිපා කරුණාව ගැන ලියන්නට ඉටා ගනිමි.
එතෙක් ජය හා සතුට.... !
අපුරුයි. සිරිපා කරුණාවේදි විඳින පරිසර සුන්දරත්වය ගමන් වෙහෙස පලවා හරින එකම සාධකයයි.
ReplyDelete++++++++++++++++
ReplyDelete