28 February 2011

සොයුර ඔබට නිවන් සුව අත්වේවා !!!!



ලස්සනම ලස්සන අනාගතයකට ....
පැතුම් මල් පොදි බැඳන්...
මතකයි නුඹ...
අපි එක්ක පිය මැන්නා.
මේ සරසවි බිමට

ඉතින් ආදර සොයුර,
ඒ සිහින් ඉටුවන්න....
නැත තවත් බෝ දිනක්
ඒත් ...
මුසුවුනා ඒ සිහින මේ වාතලයට
තනියම නම් නොවෙයි,
නුඹවත් අපෙන් උදුරගෙන

නුඹේ හඩ නුඹේ සිනහව....
කවදානම් යලි අහන්නද ?
ඉතින් මා සොයුර
පතන්නම් නුඹට
මතු සසරේදීවත් ....
අත් නොවන්නට මෙවන් ඉරණමක්....
නුඹට නිවන් සුව.....

ප. ලි.- රසික රොහාන් අපේ ම මිතුරෙක් අපේම සොයුරෙක්.
අපිත් එක්ක අපේ දුකේදි එක්ව හැඩු අපේ කරදරයකදී අප අසලම සිට අපව දිරිමත් කල අපේම සොයුරෙක් මෙලෙස අප හැරදා යාවි යැයි කෙදිනකවත් අපට නොසිතුනි. එහෙත් දැන් ඔහු අපෙන් සමුගෙන ඇත.

නාත්තන්ඩිය දම්මිස්සරයෙන් අකුරු කර දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන ඉංජිනේරු පීඨයට පැමිණියේ ඔහුගේත් දෙමව්පියන්ගේත් හෙට දවසේ අරුනලු දකිනු රිසියෙනි. එහෙත් ඒ සියලු බලාපොරොත්තු බොද කර අපගේද දෙමව්පියන්ගේද නෙතට කදුලක් එකතු කර ඔහු මෙලෙස අප හැරදා යාවි යැයි හීනෙකින්වත් අපට නොසිතුනි.

ආදරනීය රසික රොහාන් සොයුර ඔබට නිවන් සුව අත්වේවයි පතන්නෙමු !!!!

25 February 2011

ඇත්තම කතාවක් !!!!


මට හිතුනා, මම අත්දැකපු එක සත්‍ය සිදුවීමක් බ්ලොග් එකේ ලිව්වොත් හොදයි කියලා. සිද්ධිය කියන්නේ ඒකෙන් අපිට ගන්න දෙයක් තියෙන හන්දා.

සිද්ධිය මේකයි. අපේ මල්ලිගේ හොදම යාලුවාගේ ආච්චි නැති උනා (අන්ත්‍රා උනා). ඉතින් මමයි අපේ මල්ලීයි ආරංචිය ලැබුන වහාම ගියා. මොකද කෙනෙකුගේ සතුටකදී හිටියේ නැති උනත් දුකකදී අනිවාර්යයෙන් යන එක යුතුකමක් හන්දා.

. ගියාට පස්සේ එයාලගේ ගෙදර වැඩ පල ටිකට උදව්වක් දීලා එදා රෑ එහේ නැවතිලා හිටියා. මල්ලියි මමයි හිතන් හිටියේ එලි වෙනකන් තේ යි පානු යි බිස්කටුයි එන කට්ටියට අල්ලන්න වෙයි කියලා. ඒ හින්දම කෝකටත් කියලා සූදානම් පිට හිටියේ.

නමුත් නෑදෑ කට්ටියයි මල්ලිගේ යාලුවෝ ටිකයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඇවිත් හිටියේ නෑ. අපි හිතන් හිටියේ පලවෙනි දවස හින්දා සෙනග එනවා අඩු ඇති කියලා. නමුත් දෙවෙනි තුන්වෙනි දවසෙත් ඔය විදිහමයි. වැඩි කට්ටියක් නෑ. අහල පහල අය ටිකක් ඇවිත් යනවා කවුරුවත් රෑ නයිට ගහන්න ඉන්නේ නෑ.

ඊට පස්සේ මම අපේ මල්ලිට කිව්වේ අපේ පැත්තේ මල ගෙයක් උනා නම් පාර පිරෙන්නත් මිනිස්සු ඉන්නවා. දාම් බෝඩ් කැරම් බෝඩ් කාඩ් පැක් ඇති වෙන්න තියෙනවා. තේ හදලම පන යනවා කියලා

කොහොමහරි දවස් තුනකින් අති උත්සවාකාරයෙන් දේහය භූමදාන කලා. දවස දෙක ගෙවිලා ගිහින් හත් දොහේ දානෙත් තියෙන දවස් ලඟට ආවා. මමයි මල්ලීයි දානෙට කලින් දවසේ බණට යන්න කියලා ආවා. යාලුවාගේ අප්පච්චි තවත් පුටු ගොඩක් ගෙනත් ඒක බාගන්න බලන් ඉන්නවා.

" අයියේ බලහන්කෝ. තවත් පුටු ගේන්නේ, දානේ උයලා පුටු වලට තියන්නද දන්නෙ නෑ. ''

මල්ලිගේ කතාව ඇත්ත. මලගමට ආපු නැති අය දානෙට ඒවි යෑ. මලයා කිව්වත් වගේ දානෙට ආපු කට්ටිය ගොඩක්ම අඩු උනා. ආපු අයට කන්න දීලා. අහල පහල ගෙවල් වලටත් කෑම යවලා. ඉතුරුවා විසි කරන්නත් උනා ලු.

පස්සේ තමයි ආරංචි උනේ මේ අය සල්ලි මත්තෙම නැහුනු සල්ලි විතරක්ම හම්බ කරගන්න හදපු අය කියලා. ඒ කියන්නේ අහල පහල කෙනෙක් එක්කවත් වැඩිය ඇයි හොදයියක් තිබිලා නෑ ලු. ඒකලු ඒ තරම් කට්ටියක් මලගමට නාවේ. කොටින්ම මෙයාලා බොරු මාන්නෙන් පිම්බිලා හිටපු අය.

ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕන බව ඇත්ත. නමුත් සල්ලිත් එක්කම මිනිස්සුත් හම්බ කරන්න දැන ගන්න ඕනේ. දොස්තරවරුන්ට කොයි තරම් මිනිස්සු කන්දරාවක් හම්බ කර ගන්න පුලුවන්ද ? නමුත් මේගොල්ලෝ එහෙම නෑ. කොහොම උනත් අපි දැන්ගන්න ඕනේ කවදාහරි අපේ දුකකදි අපේ නෑදෑයන්ට කලින් අපේ උදව්වට එන්නේ අපේම අසල් වැසියෝ කියලා.

ඒ නිසා අඩුම තරමේ ඒ අය එක්කවත් හොදින් ඉන්න දැන ගන්න ඕනේ. එදා ඒ අහල පහල උදවිය ඇවිල්ලා ගියේ මේගොල්ලෝ ලඟ නැති, එයාලා ලඟ තිබ්බ මනුස්සකම හන්දා ලු.

මොනා උනා එයාලගේ ආච්චිට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!

ප.ලි.- සල්ලි වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා එදා මේ අයට හිතෙන්න ඇති කියලා මට හිතෙනවා.මේ ලිපිය මල්ලිගේ ඒ යාලුවා ගැන මට තරහට ලියපු දෙයක් නොවන අතර මේ වගේ දේකින් හරි අපිට පාඩමක් ඉගෙන ගන්න ලැබෙනවා නම් හොදයි කියලා හිතුන නිසයි ලියන්න ගත්තේ.

21 February 2011

රථ වාහන සංගණනයකට ගිය දා


පහුගිය දවස්වල අපේ සිවිල් ඉන්ජීනේරු දෙපාර්තුමේන්තුව පොඩි සංගණනයක් කෙරුවා නුවර නගරය අවට වාහන ගමනාගමනය පිලිබදව. දවසකට නුවරට එන යන වාහන නිසා නගරාසන්නයේ වාහන තදබදය අවම කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒකට අපේ බැච් එකේ එවුන් පොඩි පොඩි ගෘප් වලට බෙදලා නුවරට ඇතුල් වෙන්න පුලුවන් හැම පාරක් ලඟම දාලා තිබ්බා.


'' මචං මදුරංගයා, පොඩි වැඩක් තියෙනවා. දවසකට රුපියල් දාහක් දෙනවා. උබට එන්න පුලුවන්ද ? '' එක කණ්ඩායමක එකෙක් ඇහුවා.

'' රුපියල් දාහක් !!!! අඩෝ කෝස් එක දාලා හරි එන්නම් !!! කවද්ද කොතනටද කොහේටද එන්න ඕනේ ? ''

'' හෙට උදේ පහට හොස්ටල් එක ලඟ බස් හෝල්ට් එක ගාවට වරෙන්. මං එහෙනම් යනවා උබ උදේම වරෙන් ''


අරූ ගියාට පස්සෙ තමයි මතක් උනේ මොකක්ද මට කරන්න තියෙන වැඩේ කියලා අහන්න බැරි උනා නේ කියලා. මට ඉතින් දාහක් දෙනවා කිව්වම ලවක් දෙවක් නැති උනා. මොකද දාහක් තියෙන කොට සතියක් කන්න පුලුවන් සල්ලිනේ. කොහොමහරි උදේ පහ වෙද්දි කිව්ව තැනට ආවා. උදේ පට්ට සීතලේ ගැහි ගැහී ඉන්නැද්දී අරූ වෑන් එකෙන් තව සෙට් එකක් දාගෙන ආවා. මටත් නගින්න කිව්වට පස්සේ මමත් වාහනේට ගොඩ උනා. වාහනේදි තමයි කරන්න තියෙන වැඩේ අහ ගත්තේ.

''මචං උඹටයි දනාටයි කරන්න තියෙන්නේ. නුවරට ඇතුල් වෙන බස් වල විස්තර මේ කොලේ ලියන එක. ''

(1) නෝමල්/සෙමි/ලක්සරි/ඉන්ටර්සිටි
(2) බස් එකේ සීට් ගණන (සීට් ගනින්න බසය නැවත්වීම තහනම් )
(3) බස් එකෙ ඉන්න මගීන් ගනන (මගීන්ව බිමටබැස්සවීම තහනම්. )
(4) රූට් නම්බර් එක

ඔන්න ඔයවගේ ඒවා තමයි පුරවන්න තියෙන්නේ. වැඩේ කියන්නේ එක බස් එකක්වත් මිස් කරන්න බෑ. පැය කාලෙන් කාලට කොලයක් මාරු කරන්න ඕනේ. කන්න නවත්වන්න බෑ. තේ බොන්න නවත්වන්නත් බෑ. හැම කොලේම වෙලාව/පරීක්ශකගේ නම/තමන් ඉන්න ස්ථානය ඔය වගෙ එවත් පුරවන්න ඕනේ.

'' දැන් මචං අපි කීයෙ ඉදන් ඕවා ලියන්න ඕනෙද? ''

''හරියටම හයට පටන් අරන් රෑ අට වෙනකන් ඉන්න ඕනේ. උඹලට ලොකු කුඩයකුයි පුටු දෙකකුයි දෙනවා. දවල් කෑම ලඟ කඩේකින් කාපං. කෑම වලට සල්ලි දෙන්නේත් නෑ. ''

'' මචං මඩු වලිගයක් හරි දෙකේ දෙකේ රීප්ප කෑල්ලක් හරි තියෙනවද ? වෙලාවේ හැටියට හනස්සක් උනත් අවුලක් නෑ. ''

''නෑ බං.ඇයි ඒ ? ''

'' නෑ මගේ මේ කොන්දේ අමාරුවක් තියෙනවා ඒක අඩුකරගන්න කියලා. වැඩිය ඕන් නෑ මචං දෑත බදලා කොන්දට දෙපාරක් ගැහුවනං සුවර් එකටම හොද වෙනවා. ''


දැනුයි ගොනාට වගේ කරපු ගොංකමේ බරපතලකම දැනුනේ. මොනා කරන්නද කලින්ම ඔක්කොම අහලා හිටියනං ඉවරයි .කොහොමහරි මාවයි දනාවයි වැටුනේ නුවර තියෙන උසස් කියලා කියන පහත් බාලිකාවක් ලඟට (ඔව් ඔව් ඒක තමයි. නුවර ඉන්න පොශ් කෙල්ලෝ යන එක තමයි. ) මමයි දනායි කුඩේ අටවගෙන පුටු දෙකේ වාඩිවෙලා බස් ගනිනවා. හිටපු ප්ලේස් එක පට්ට. නුවර ඉන්න ලස්සනම කෙල්ලො පේලියට ඉස්කෝලෙට යනවා. යන ගමන් අපි දිහා බලලා අහක බලා ගන්නවා. අපි සිම් විකුණන එවුන් කියලා හිතුවද දන්නෙ නෑ.

බස් ටිකත් වැල නොකැඩී යනවා. ඈතින් සෙමියක් ( සෙමි ලක්සරියක්) එනවා. ඒත් එක්කම ලස්සන කෙල්ලෙක් පෙජරෝ එකෙන් බැහැලා ආවා. මං බස් එක දිහා බලාගෙනම,

''මචං සෙමි ලක්සරියක් එනවා !!!! '' කියලා කිව්වා.

'' නෑ බං ඕක සෙමියක් නෙමෙයි . ඉන්ටර්සිටියක් බං '' කියලා අර නංගි බබා දිහා බලාගෙනම අරූ කිව්වේ නැතෑ.

ඒ නංගි හිතලා තියෙන්නේ එයාට කිව්වා කියලා.

කෙල්ල හැරෙන් තැපෑලෙන්ම ගියා තාත්තා ලගට.තාත්තත් නුවර පට්ටම පොරක්. ඇවිල්ලා අපේ එකාගේ ෂර්ට් එකෙ කොලර් එකෙන් ඇල්ලුවේ නැතෑ. යන්තන් අතේ තිබ්බ කොල ටිකයි අයිඩි එකයි පෙන්නලා ෂේප් උනා. නැත්නම් එදා මදි නොකියන්න දෙන්නටම කන්න තිබ්බා.

කොහොමහරි හැන්දෑවේ කියපු විදිහට ගාන ලැබුනා. ඒවුනාට හවස් වෙද්දී පාං කියා ගන්න බෑ.

13 February 2011

පෙම්වතුන්ගේ දිනය දා..


පෙබරවාරි දහ හතර කියන්නේ ආදරය කරන අයට විෂේශ දිනයක්. ඒ එයාලගේ දවස එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දවස. කාලයක් මටත් ඔය දිනය මාරම විෂේශ දිනයක් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න දිනයක් වෙලා තිබ්බා.

ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනය දා මටත් පොඩි බ්ලොග් සටහනක් දාන්න හිතුනා. එතකොට තමයි පහලින් ලියලා තියෙන කවි පෙල මතක් උනේ. ඊට පස්සෙ මුලු පර්ස් එකම අවුස්සලා සමහර මැහුම් එහෙම ගලවලා තමයි ඔය පුංචිම පුංචි කවි කොල කෑල්ල හොයා ගත්තේ. කවි කොල ටික තාමත් තියෙනවා වගේ ඒ ආදරයත් හිතේ කොනක තාමත් තියෙනවා.

ඒ ආදරය නම් කවමදාවත් මගේ හිතින් අයින් කරන්න බැරි වෙයි. ඒ තරමටම මම ඒ පුංචි කෙල්ලට තාමත් ආදරෙයි. හරියට සදරු මල්ලිගෙයි පුංචි සුරංගනාවිගෙයි ආදර කතාව වගේ. ඔන්න එහෙනම් කවි ටික පහලින් පෝස්ට් කරනවා.

නිෂාන්තයේ දිලෙනා
පුංචි තනි තරුවකට
තනිකම මකන්නට පෑයූ
සදවතිය මමම ද ?

දිනෙන් දින ගෙවෙනා දිවියට
අරුතක් එක් කරන්නට
නිහඩවම වෙර දරන
පෙම්වතිය මමම ද ?

ගිලන් සිත සනසවා
කඳුලු පිස දමන්නට
මාහටම උරුම වූ
පෙම්වතා ඔබම ද ?

මේක කවි කොලයක් කිව්වට නිකන් සිංහල ප්‍රශ්න පත්තරයක් වගේ. මොනා කරන්නද ඒ පුංචි කෙල්ල කවි ලියන්න දන්නෙ ඔහොම තමයි.

මේ ආදර කතාව ගැන වැඩිය ලියන්න යන්නේ නෑ. එතකොට එකලස් කරන් හිටපු හිත ආයෙම පෑරෙන්න පුලුවන්.
එහෙනම් ගිහින් එන්නම.ලෝක වාසි සියලුම අදරවන්තයින්ට ආදරවන්තියන්ට සුබම සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!!

අත්හදා බැලීමක්....


සාමාන්‍ය පෙල කරන කාලය කියන්නේ ගොඩක් වෙලාවට සුන්දරම කාලයක්. ඒ වගේම තමයි විවිධ විවිධ දේවල් අත්හදා බලන්නත් පෙලඹවෙන කාලයක්. ඒ වගේමයි ආදරය වැනි සුන්දර හැගීම් හිතට ඉස් ඉස්සෙල්ලම එන්නෙත් මේ කාලයේදියි.(නැ නෑ මේක ආදර කතාවක් නෙමෙයි.) මොනා කරන්නද හෝමෝන වල බලපෑම නේ.

ඒ දවස්වල අපෙ පැත්තේ කොල්ලෝ මත් වෙන්න කියලා කැස්සට බොන බෙහෙතක් පාවිච්චි කරලා තිබ්බා. මටත් ඉස්සර හෙනම උනක් තිබ්බේ ඔය පැනිය බීලා බලන්න. මත් වෙන්නම නෙමෙයි ඕකෙන් වෙන බලපෑම මොකද්ද කියලා බලන්න.

අනික ඉතින් අරක්කු වලට වැඩිය ඕක ආර්ථිකව ලාබදායි, කැස්සට බොන එකක් හින්දා සෞඛ්‍යයට හිතකරයි, ඕනම ෆාමසියකින් ගන්න පුලුවන් හින්දා වැඩේ ගොඩක්ම ලේසියි. ඔය වගේ වාසි හාෆ් ශීට් එකක් පිරෙන්නම තිබ්බා.

කොහොමහරි මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ෆාමසියකට ගිහින් පැණිය අරන් ආවා. ගෙනාපු හැටියෙම එකෙක් ඒකෙන් භාගයක් විතර කටේ හලා ගත්තා. අනිත් එකා ඉතුරු ටිකෙනුත් භාගයක් කටේ හලාගත්තා. අන්තිමේදී මට ලැබෙද්දි අඩිය වැහෙන තරමට පොඩ්ඩක් විතරයි තිබ්බේ. මොනා කරන්නද ඒක බීලා අන්තිමේ බෝතලේට වතුර ටිකකුත් දාගෙන ඒකත් බිව්වා. අම්මෝ පුදුම රසක් නේ......

කොහොමින් කොහොමහරි හිස් බෝතලේ කැලේට විසි කරලා පංතියට ආවා. එදා කොහොමහරි ගුරුවරු අඩු දවසක්. ඒ හින්දා පිරියඩ් ගොඩක් ඔහේ ඉන්න පුලුවන් උනා. මම ඩෙස්ක් එකට ඔලුව තියාගෙන නිදාගෙන හිටියා. කොහොමහරි දන්නෙම නැතුව පැයක් විතර නින්ද ගිහින්.

වතුර ටිකක් බොන්න යන්න ඕනේ කියලා නැගිටලා එක පාරක් අඩිය තිබ්බා. අඩේ මෙන්න මං පාවෙනවා. මගේ ගුරුත්වාකර්ශනය සෑහෙන්න අඩු වෙලා. හඳේ යනවා වගේ. ඊට පස්සේ ටිකක් දිව්වා. මොන දිවිලිද ....? මෙන්න පාවෙවී යනවා. මට දැන් හෙනම බයයි ඇවි දින්න. ඇයි ඉතින් අඩියක් තියපු ගමන් අඩි හයක් උඩ යනවනේ. ටික වෙලාවක් යද්දි තවත් ගුරුත්වාකර්ශනය අඩුවෙලා. දැන් ඇවිදිනකොට හඳේ හාවා අතින් ඇල්ලෙන සයිස්. ඔහෙ හිටු වල් හාවා...... !!!! තෝව අද මම කනවා යකෝ.... !!!

ඔය එක්කම මාත් එක්ක පැනිය ගහපු අනිත් එකා ඔලුව හොල්ලන්නෙත් නැතුව ඇවිදිනවා.

"මචං මොකද බං උබ ඇවිදිද්දි ඔලුව හොල්ලන්නෙවත් නැත්තේ ?මොකක් හරි බෙල්ලේ අමාරුවක් ද ? ''

" නෑ යකෝ. මගේ කන ගාව හෙලිකොප්ටර් එකක් කැරකෙනවා. වැඩිය ඔලුව හෙල්ලුවොත් ෆෑන් එකේ පෙත්තට බෙල්ල ගහලා යයි. මම මේ බලාගෙන ඉන්නේ හෙලිකොප්ටර් එක ගුවන් ගත වෙනකන් ඔලුව අහකට ගන්න. ''

'' උඹට පිස්සුද යකෝ !!! හඳේ කොහෙද හෙලිකොප්ටර් ? උඹ ඔය රොකට් එකකට රැවටිලා තියෙන්නේ. ඔහොම්මම ඔලුව හොල්ලන්නේ නැතුව ටික වෙලාවක් ඉදපන් නැත්නම් රොකට් එකේ දුමට උබේ ඔලුව පිච්චෙයි. ''


ඊට පස්සෙ මමයි අනිත් එකායි ගියා වැඩියෙන් පානය කරපු එකාව හොයාගෙන. වෙනදට උගේ පංතියට යන්න විනාඩියක්වත් යන්නෙ නැති මට අද පැය කාලක් විතර ගියා. ඇයි ඉතින් පාවී පාවි යන්න එපැයි. ඒ යද්දි අරූ කාටද මන්දා ගහනවා. අපිත් බැලුවා කාටද මූ නෙලන්නෙ කියලා. ම්....හු... ඉස්සරහා මොකෙක්වත් නෑ.

" මචෝ උඹ ඔය කාටද ගහන්නේ ? ''

"උඹට පේන්නේ නැද්ද යකෝ මං මේ මාරයාත් එක්ක හෙනම ගේමක ඉන්නේ ? මූ හදන්නේ මාව ගෙනියන්නමයි. ''

'' පොඩ්ඩක් ඔහොම හිටපන්. මාත් උබට උදව් කරන්නම්. වල් පරයා.... තෝ හඳටත් ආවද යකෝ අපේ යාලුවාව ගෙනියන්න ? උබට මම අද...... !!!!!!! ''


ඔහොම කියලා මම පුටුවක් උස්සගෙන මාරයාට නෙලන්න සෙට් උනා.අපේ හෙලිකොප්ටර් කොල්ලත් වැඩේට එන්ටර් උනා.ඒ වෙනකොට උගේ හෙලිකොප්ටර් එක ගුවන් ගත වෙලාලු තිබ්බේ. ඔහොම ගේම යද්දි පන්තියේ අනිත් උන දැනගෙන ලු හිටියේ මුන් තුන්දෙනා මොනාහරි බීලා හිටියේ කියලා. ඊට පස්සෙ අපිව වාඩි කරවලා බොන්න තේත් ගෙනත් දුන්නා. කොහොමහරි ඉස්කෝලේ ඇරෙන වෙලාවට යන්තන් පියවි සිහියට එමින් තිබුනේ. ඒ නිසා ගෙදර යන්න අවුලක් උනේ නෑ.

ප. ලි. - එදායින් පස්සේ මගේ පැනි උන හොද උනා. මේ ලිපිය කියවන ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් අත්හදා බලන්න යන්න එපා. මාරම භයානකයි. මගේ මෝඩකමට මම ඔය දේවල් පාවිච්චි කලාට ඔයාලා ඕවට රැවටෙන්න එපා. ඕවට ඇබ්බැහි උනොත් ගැලවීමක් නෑ. මේ කතාව ලියන්නේ කියවලා අමාරුවෙන් හරි හිනාවෙන්න මිසක් මේවගේ දේවල් වලට ඔයාලව යොමු කරවන්න නෙමෙයි.

12 February 2011

එක දවසක් දා...


දිනේශ් අයියා ආදර කතා දාන හන්දා මටත් ඔය වගේ කතාවක් දාන්න හිතුනා. හැබැයි දිනේශ් අයියා වගේ ගොඩ ගිය ඒවා නම් ගොඩක්ම අඩුයි. වැඩිපුරම තියෙන්නේ ඇන ගත්ත කතා. හැබැයි මේ කතාව තමයි මගේ හිතේ වැඩිපුරම මතක තිබ්බ ආදර කතාව.

මම පලමු වසරේ හිටපු දවස්වල යාලුවෝ දෙන්නෙකුත් සෙට් කරගෙන ගියා මාතලේ පැත්තේ පොඩි සංචාරයකට. මුලින්ම අලු විහාරේ වැදගෙන ඊට පස්සෙ එතනින් බස් එකක නැගලා දඹුල්ල රජ මහ විහාරයට ආවා. කොහොමහරි දඹුලු විහාරේ වැඳ පුදාගෙන මහන්සියටත් එක්ක කියලා පඩිපෙලේ වාඩි උනා.

ඔය අල්ල පනල්ලේ, ඔය ලඟින්ම ගෑනු ළමයි තුන්දෙනෙක් ගියා. මාරම ලස්සනයි. ඒ කාලේ අපිට මල් ගවුමක් දැක්කහමත් ඉන්න බැරි බොහොම නපුරු කාලයක් උදාවෙලා තිබුනේ.ආයේ හිත හිත හිටියේ අර ගෑනු ළමයි තුන්දෙනාගෙන් නිවන් යන්න කියලා පස්සෙන් පැන්නුවා.

කොහොමහරි ඒ තුන්දෙනා මල් ගන්න කියලා නැවතුනා. මමත් සාක්කුවෙන් පෑන අරගෙන රට වටේ ඇවිදලා පොඩි කොල කෑල්ලක් හෙව්වා ෆෝන් නම්බර් එක ලියන්න. මගේ වාසනාවට පොල් කොලයක්වත් හම්බ උනේ නෑ. ඉන්නම බැරි තැන පර්ස් එක ඇරලා බැලුවා කොල කෑල්ලක් තියෙනවද කියලා. පන්ති කාඩ් එක ඇරෙන්න වෙන කිසිම කොල කෑල්ලක් නැ. කරන්න දෙයක් නෑ වෙලාවේ හැටියට දෙපාරක් නොහිතා පංති කාඩ් එක පිටිපස්සේ ෆෝන් නම්බර් එක ලිව්වා.

ලියලා ඉවරවෙලා ඒ නංගිට පේන්නම ඒ කාඩ් එක බිම දාලා යන්න ගියා.

පන්සලේ වැඩි වෙලාවක් හිටියොත් නාලන්දේ යන්න බැරි වෙන නිසා අපි පංසල ලඟින්ම බස් එකකට ගොඩ උනා. නාලන්දෙන් බැස්සා විතරයි මට ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් ආවා. කතා කරලා බැලුවම අර නංගි. මමත් ඉතින් විස්තර එහෙම අහලා බැලුවා.

එයාලත් දඹුල්ල පැත්තේලු ඉන්නේ. එයාලට හෑන්ඩ් ෆෝන් නැහැලු. බූත් එකකට සල්ලි දාලලු කතා කරන්නෙ කියලා කිව්වා. මමත් එයා අහන දේට උත්තරයක් දීගෙන හිටියා.වැඩි කාලයක් යන්න හම්බ උනේ නෑ. ඒ නංගි මං ගැන ගෙදර අයටත් කියලා. දවසක් ඒයැයිලගේ අම්මා මට කතා කලා.

'' පුතා ගැන දූ මට කියලා තිබුනා. පුතාව දකින්නත් ආසයි. දවසක මේ යහා එන්න. '' කියලා කිව්වා.නුවර ඉදලා දඹුල්ලට ගිහින් එනවා කියන්නේ මට රුපියල් පන්සියයක් විතර යන වැඩක්. ඒ කාලේ මහපොලත් නැති නිසා බොහොම අමරුවෙන් තමයි ජීවත් උනේ. ඒ නිසා මං ඒ බව එයැයිලගේ අම්මට කිව්වා.

'' පුතා එහෙනම් පුලුවන් වෙලාවක එන්නකෝ '' කියලා කිව්වා. මමත් හා කියලා හිටියා. එයාලගේ ගෙදර ඇඩ්රස් එකත් මට ඒ වෙනකොට දීලා තිබුනා. ඒ නිසා මම ලියුම් ලියන්න ගත්තා.

ඔහොම යද්දි දවසක් එයාලගේ අම්මා කිව්වා එයාලගේ ගෙවල් සුලි සුළඟක් ඇවිත් කඩාගෙන වැටුනා කියලා. මට දුකත් හිතුනා. එතකොටයි දැන් ගත්තේ එයාලා ගොඩක්ම දුප්පත් කියලා. එහෙම උනත් ඒ නංගිට මගේ හිතේ තිබ්බ ආදරය බිංදුවක්වත් අඩු කලේ නෑ. කවදහරි ඒ නංගිව කසාද බැදලා එයාලගේ පවුල ගොඩ ගන්න මට පුලුවන් කියලා හිතුනා.

අපේ අම්මටත් මම ඒ නංගි ගැන කිව්වා. අම්මගෙන් කිසිම විරුද්ධත්වයක් තිබ්බේ නෑ. මොකද බලාගෙන ගියාම එයාලගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ කියලා හිතුන හින්දමද දන්නෙ නෑ.

කාලයක් යද්දි ඒ නංගි ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. වැඩිය කතා කරන්නෙත් නෑ. ලියපු ලියුම් වලට උත්තර ලැබුනෙත් නෑ. මම නංගිගේ අම්මගෙන් ඇහුවම කිව්වේ ඒ නංගි ගෙවල් ලඟ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. අම්මලා කොච්චර කිව්වත් එයා කනකට ගන්නේ නෑ කියලා. මමත් තුන් පාරක්ම ඇහුවා ඔයා ඇයි මට මෙහෙම දෙයක් කලේ කියලා.

ඒ හැම වෙලාවකම එයා මාව මග ඇරියා. මමත් ඕනවට වඩා නැමෙන්න ගියේ නෑ.

'' උඹට මාව එකපාරක් එපා නම් මට සිය වාරයක් එපා කියලා '' හිත හදා ගත්තා. ඕනම දෙයක් තුන්පාරකට වඩා ඉල්ලන්න හොද නෑ. එතකොට අපි බාල්දු වෙනවා. පස්සේ ආරංචි උනා ඒ නංගි ඒ කොල්ලත් එක්ක පැනලා ගියා කියලා. ඇති යාන්තං මං බේරුනා.

ඔන්න ඕකයි දිනේශ් අයියේ අමාත්‍යයංශයේ තත්වේ !!!

07 February 2011

මූට මෙහෙම වෙලා මදි...


මේ දවස් ටිකේ කතා කියව කියවා හිටියා මිසක් කතාවක් ලියන්න හිතුනේ නෑ. අද ඒකටත් එක්කම කියලා කතාවක් දාන්න ඕනේ කියලා හිතුනා. මේක කතාවක් කියලා කිව්වට මොකද, මේක මෙහෙ වෙච්ච පොඩි සීන් එකක්.

මේකට මුහුන පෑවේ අපේම ෆැකල්ටියේ මල්ලි කෙනෙක්. සිද්ධිය මේකයි.

දවසක් හැන්දෑවේ අපේ ෆැකල්ටියේ මල්ලි කෙනෙක් යාලුවෙක් හම්බවෙන්න යන්න කියලා ගියාලූ. ගමන වැටිලා තිබ්බේ ගර්ල්ස් හොස්ටල් එකක් හරහා. ( නෑ නෑ ඒ මල්ලි ගියේ ගෑනු ළමයෙක් හම්බවෙන්න නෙමෙයි ) ඒ වෙලාවේ හැටියට වටින් ගොඩින් කලුවර වැටීගෙන එන වෙලාවලු.

වෙලාවේ හැටියට මල්ලිත් කාලක් ක්‍රියා කරලා ලු හිටියේ. ඒ නිසා යකෙකුට උනත් කුඩුවෙන්න දෙනවා කියලා හිතලා වැනි වැනි ගිහින් තියෙන්නේ. මල්ලිට ඈතින් පේනවලු කව්ද මන්දා කොල්ලෙක් ෂෝටක් දාගෙන කාර් එකට හේත්තු වෙලා ඉන්නවා. මේ වෙලාවේ අපේ මලයා මොරාල් පිටම ඇහුවලු.

" කවුද ඩෝ කැම්පස් එක ඇතුලේ ෂෝට් ගහගෙන ඇවිදින එකා !!!! ''

'' ඇයි යකෝ තොපිට විතරද කැම්පස් එක අයිති !!! අපිට එන්න බැරිද !!!! '' සෝට දාගෙන හිටපු ඒකාත් ගේම කෝල් කරනවලූ.

"@#$@$^%#$ " අපේ මලයට හෙනම මල ලු. කොහොමහරි මේ බහින් බස් වීම දුරදිග ගිහින් අරූ ඒ මල්ලිට ඇතිවෙන්නම නෙලලා තියෙනවා. කොහොමහරි අපේ මලයගෙත් වෙරි හිදුනලු. ඒ මල්ලි ලගම තිබ්බ පිරිමි නේවාසිකාගාරයට ගිහින් සේනාව රැස් කරගෙන අරූට නෙලන්න එනවලු. ඇවිත් පාරවල් හත අටක් වදින කොට ආපු කාරණය කටින් වැමෑරුවා.

පස්සේ උගේ කටින්ම කියවුනා අහිංසකියක්ව බිලි ගන්න ආපු පාහරයෙක් කියලා. ඒ කියන්නේ ගර්ල්ස් හොස්ටල් එකේ කෙල්ලෙක්ව උස්සන්න ආපු එකෙක් කියලා. කට්ටිය හිතලා තියෙනවා මූව ආරක්ශක අංශයට භාර දුන්නොත් හොදයි කියලා. ඒ උනත් කාගේ හරි බලවතෙක්ගේ නමක් කියලා මූ ගැලවෙයි කියලා හිතිච්ච හින්දා ලගම තිබ්බ පිරිමි නේවාසිකාගාරයකට එක්කගෙන ගියා.

සිංහලයන්ගේ හොද පුරුද්දක් තියෙනවා තමන්ගේ ගෙදරට එහෙමත් නැත්නම් ඉන්න තැනට කවුරුහරි ආපුවාම හොදට සලකන්න. ඉතින් අරූවත් ඒ හොස්ටල් එකට එක්කගෙන ගිහින් එලි වෙනකන්ම සැලකුවාලූ. කොහොමහරි මේ කතාව එදා ඒ හොස්ටල් එකේ ඔක්කෝටම වගේ ආරංචි වෙලා ඒ අය තෑගිත් අරං ආවලූ අරූට සලකන්න.

සමහරු පාඩම් කරන ගමන් පැයෙන් පැයට ඇවිත් අරූට පාරවල් දෙක තුනක් දීලා යනවලු.
බැරි වෙලාවත් අරූට නින්ද ගියොත් කියලා හිතපු අය පැය බාගෙන් බාගෙට Refresh කලා ලු.
වෙනදට දවල් වෙනකන් නිදන් ඉන්න එවුනුත් උදේම ඇහැරිලා අරූට උදේ ආහාරයත් දෙන්න සලස්වලා තියෙනවා කියලත් ආරංචි උනා.

මම මේ කතාව බ්ලොග් කරන්නේ කියවලා හිනා වෙන්න විතරක්ම නෙමෙයි. ආදරනීය අක්කේ නංගියේ, පාරේ තොටේ යනකොට මේවගේ එවුන් අනන්තවත් දකින්න ලැබෙයි. මුන්ගේ තියෙන සල්ලි බලේටවත් යාන වාහන වලටවත් රැවටිලා ජීවිනේ වරද්ද ගන්න එපා. එදා ඒ මල්ලි දෙවි කෙනෙක් වගේ හිටපු හන්දා වෙන්න ගිය ලොකු විනාසයක් වලක්වා ගත්තා. හැමදාම බේරගන්න මේවගේ අය එන්නේ නෑ. ඒ නිසා පරිස්සම් වෙන්න.

අහිංසක දෙමව්පියන්ගේ ප්‍රාර්තනා මේ වගේ මේ වගේ එවුන් ඉදිරියේ බොද කරලා දාන්න එපා !!!!!!!

ජීවිතේ එක පාරක් වරද්ද ගත්තාම ඒක නිවැරදි කරගන්න බෑ. ඒ වැරද්ද හින්දා මුලු ජීවිතයම විඳවන්න වෙයි. මට ඔයාලට උපදෙස් දෙන්න තරම් වයසින් මුහුකුරා ගිහින් නෑ. ඒ උනත් මම මේ කියන දේත් චුට්ටක් හිතලා බලන්න. සමහරවිට ඔයාලගේ මුලු ජීවිතේටම මේ දේ වැදගත් වෙයි.

ප. ලි. - මේ පෝස්ට් එකට මට කමෙන්ට් නැතත් කමක් නෑ. ඔයාලා මේ කතාව ආදර්ශයට ගත්තා නම් මට ඒ හොදටෝම ඇති.

03 February 2011

ආදරනීය ගුරුතුමා !!!!


අද මම කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉන්නැද්දී මට ටිකක් ඈතින් මම දන්න කියන කෙනෙක් ඉන්නවා දැක්කා. මම ත් එයා ගාවට කිට්ටු කරලා බැලුවා. බැලින්නම් අපේ ඉස්කෝලේ අපට සිංහල උගන්වපු ප්‍රසන්න රණසිංහ සර් !!!

මට සර්ව දැක්ක ගමන් එකපාරටම මගේ අත කෙලින්ම ගියේ මගේ කම්මුල ලගට. සර්රුත් ඒක දැකලද මංදා යාන්තමට වගේ හිනා උනා. මම සර් ලඟට ගිහින්, ස්ටේසමේ උනත් කමක් නෑ කියලා දණගහලා වැන්දා.

දැන් කට්ටියම බලනවා ඇති එකපාරටම සර්ව දැක්ක ගමන් මගේ අත කම්මුල ගාවට ගියේ ඇයි කියලා. මෙකයි අතීත කතාව !!! (එහෙනම් කට්ටියම මමයි සර්රුයි ඉන්න රූපරාමුව ටිකක් බොද කර ගන්න. අතීත කතාවක් කියන්නයි යන්නේ )

මම ඉස්කෝලේ දහය වසරේ ඉන්නකොට අපේ ගෙවල් පැත්තේ මාත් එක්කම වගේ ඉස්කෝලේ ගිය නංගි බබෙක් ගැන පොඩි ආදරයක් ඇති උනා.ඉස්සර ඒවා ආදරය කියලා හිතුනට දැන් හිතෙනවා ඒවා මහ බොරු වැඩ කියලා. කොහොම කොහොමහරි මම මගේ අදහස ලියුමකින් කියනවා කියලා හිතලා කොටු රූල් පොතකින් කොලයක් කඩාගෙන ලියුමක් ලිව්වා.

ඉස්සර ඉතින් අන්තර්ජාලේ එස් එම් එස් , දුරකතන ඇමතුම් තිබ්බේ නෑනේ. ලියුම ලියලා කොහොම කොහොම හරි මගේ පුරුශ ශක්තිය අතට අරන් ඒ ලියුම ඒ නංගිගේ අතටම දුන්නා. නංගිත් හැමදාම කතා කරකර ඉස්කෝලේ යන අයියනේ කියලා ලියුම බාර ගත්තා.

ලියුම අරගෙන පැය බාගයක් යන්න හම්බුනේ නෑ. මට රිප්ලයි එක ආවා ප්‍රසන්න සර් හම්බවෙන්න එන්න කිව්වා කියලා. මමත් ඉතින් මරන්න ගෙන යන හරකා වගේ. (වගේ මොකො!!!! නැත්නම් ඔහොම දේවල් ඔය කාලේ කරයි යෑ ) සර් ලඟට ගියා. මම සර් ලඟට යනකොට, සර් මගේ ලියුමට පිලිතුරු ලිපියක් ලිය ලියා හිටියේ.

සර් මාව දැක්කට පස්සේ බොහොම කරුනාවෙන් '' තෝ මොකද යකෝ මගේ පංතියේ ඉන්න පොඩි කෙල්ලන්ට ලියුම් දෙන්නේ '' කියලා ඇහුවා.

මමත් '' සර් ඒ නංගි පොඩි නෑ '' කියලා කට ගන්න හම්බුනේ නෑ.සර් මගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන වම් කම්මුලට උම්මා දෙකක් දුන්නා. ඒ වෙලාවේ සර්ගේ පීතෘ සෙනෙහස උපරිමයෙන්ම මම අත්වින්ඳා.

''සර් මේ කම්මුලටත් උම්මා දෙකක් දෙන්නකෝ '' කියලා ඉල්ලන්නත් හදලා එක්කෝ ඕනේ නෑ කියලා හිතිච්ච හන්දා.ආයෙ පන්තියට ආවා.

කොහොමහරි ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යද්දි මගේ වම් පැත්තේ කම්මුල සර්ගේ පිය සෙනෙහසේ ප්‍රථම හාද්ද හින්දා ඉදිමිලා තිබ්බේ. කොහොමහරි මම ගේ ලඟටම ආවයි කියමුකෝ.

'' මොකද ලොකු පුතේ වම් කම්මුල ඉදිමිලා. හිටින්න මම අලි හක්ක ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා අරන් එන්නම් '' කියලා අපේ අම්ම කිව්වේ නැතෑ. මට අලි හක්ක කන්න තරම් කේන්තියි.

'' අම්මේ අයියට දෙහි ඇඹුල් ඕනේ නෑ. දෙහි ඇබුල් ඇතුව හම්බ උනා. '' කියලා මල්ලි කාමරේ ඉදන් කෑ ගැහුවේ නැතෑ. අම්මත් දැන ගත්තා මොකක් හරි දෙයක් හින්දා මම ගුටිකාලා කියලා. ඒනිසා අම්මා ඒ ගැන හාර හාර ඇවිස්සුවේ නෑ. කොහොමහරි දවස් දෙකක් විතර යනකන් ඉදිමුම තිබ්බා. ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනේ මේක තමයි මගේ ගොඩ යෑමේ පලමු ප්‍රයත්නය කියලා.මාස දෙකක් යනකන් සිංහල පීරියඩ් එක වෙනකොට මම හිටියේ පෝක් සමුද සංධියෙනුත් එහා ඩෙල්ෆ්ට් දූපත් වල.

මං කැම්පස් තේරුනා කියලා සර්ට කියන්න දවසක ඉස්කෝලේ යද්දි ආයෙත් ඔය සිද්ධිය මතක් කරලා එදා සර් එහෙම මට ගැහුවේ කුලි වැඩ කරලා අපිට උගන්වන අපේ අප්පච්චිගේ බලාපොරොත්තු මං නැති කරලා දායි කියන බයටලු. සර් දැනගෙන ඉදලා තියෙනවා අපේ අප්පච්චි කරන රස්සාව මොකද්ද කියලා. සර් මට එහෙම දඩුවම් කලත් මං තුන් හිතකින්වත් සර් ට වෛර කරන්නෙ නෑ.

සර් එදා ගැහුවෙ නැත්නම් මං අර නංගිත් එක්ක යාලුවෙලා අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන ගොඩක් කල්. එහෙනම් මධුරංග, ඉන්ජිනේරුවෙක් වෙන එක සැබෑ නොවන හිනයක් වෙලා ගොඩක් කල්. මම තවමත් සර්ට කට පුරා ස්තුති කරනවා එදා දඩුවම් කරපු එකට. ඉස්සර සර් හරි දරුනුයි කියලා හිතුනට දැන් නම් මගේ හොදම යාලුවා වගේ .මේ වගේ ආදරනීය ගුරුවරයෙක් ලබන්න මම ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියෙනවා ඇති.

ප්‍රසන්න සර්ට දලදා සමිදු පිහිට පතමින් මේ ලිපිය නිමා කරනවා !!!!

--------------මේ පිටුව මෙතනින් නමන්න---------------------
ප. ලි.- පස්සේ දවසක් ආරංච් උනා සර්ට මං ගැන ඔත්තුව දීලා තිබුනේ මල්ලි යාලුවෙලා හිටපු ගෑනු ළමයා කියලා. නැත්නම් අර නංගි මට කැමැත්තෙන් හිටියා කියලාත් ආරංචි උනා. කොටින්ම අපි දෙන්නව බිඳවලා තියෙන්නේ මල්ලිගේ කෑල්ල !!!

හැබැයි ආයෙත් ඇහුවොත් නම් ඒ නංගි කැමතියි කියලා කියයි. නමුත් මට දැන් ඒ නංගි මගේම නංගි කෙනෙක් ගානයි. පාරෙදි දැක්කත් හිනා වෙලා කට පුරා නංගියේ කියලා කතා කරනවා.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අලි හක්ක කියන්නේ කම්මුල් වල අමාරු හැදුනාම ගාන බේතක්.ඒක අලියෙක්ගේ හකු අස්ථියමද කියලා කියන්න දන්නෙ නෑ.නමුත් පැත්තේ හැටියට අලි, හක්ක ගලවලා තියලා මැරෙනවද දන්නෑ. සමහර වෙලාවට කම්මුල්ගාය හැදිච්ච අයටත් ඔය අලි හක්ක උරච්චි කරලා ගානවා