දැනට මාස දෙකකට විතර උඩ දි සති අන්තයේ නිවාඩුවකට මම ගෙදර ආපු වෙලාවක සිද්ද වෙච්ච කතාවක්.මේක අපේ අම්මයි මමයි අතරේ ඇති වෙච්ච පොඩි දෙබසක්.
නමුත් මේ කතාවේ අපි හිතට ගත යුතු දෙයක් තියෙනවා කියලා හිතුනා. විභාගයට පාඩම් කරන ගමන් කම්මැලිකමක් හිතිච්ච හන්දා ලියන්න බ්ලොග් එක පැත්තේ ආවා.
'' පුතේ, අද හවස මොනවහරි වැඩක් තියෙනවද ? '' අම්මා ඇහුවා.
'' ම්... එහෙමට නම් වැඩක් නෑ. ඇයි අම්මා එහෙම ඇහුවේ ? '' මම උත්තර දුන්නා.
'' නෑ. පුතා දන්නවද අර *** ගෙදර **** අක්කව ? ''
'' ආහ් ඔව්. ඒ අක්කට බබෙක් ලැබෙන්න නේ ඉන්නේ. ඇයි
ඒ අක්කට ළමයා හම්බ වෙලාද ? '' මමත් ඉතින් නොදන්න ගානට ඇහුවා.
'' ඔව්. ඒයැයිට ළමයා හම්බ උනේ ගිය සතියේ. ආන් දැන් ඒයැයිට වැදුම් ගෙයි සන්නිය හැදිලා ලු. මං හිතුවේ අද පුතත් එක්ක ගිහින් බලලා එන්න කියලා '' අම්මා කිවුවා.
'' මොකක් !!! වැදුම් ගෙයි සන්නිය !!! එහෙනම් අක්කා ගොම්මන් වෙලාවේ නාන්න කියලා ලිඳ ලගට යන්න ඇති. නැත්නම් තෙල් බැදුම් කාලා කොහෙ හරි යන්න ඇති. දැන් අද එහේ තොවිලයක් ද ? '' මං ඇහුවා.
ඇත්තටම මම හිතුවේ ඒ අක්කට යකෙක් වැහිලා එහෙමත් නැත්නම් හොල්මනක් දැකලා බයවෙලා ඉන්නේ කියලා. මොකද මං උපන්තේකට ඔය සන්නිය ගැන අහලා නෑ. මං හිතුවේ දහ අට සන්නියෙන් එකක් කියලා
මං එහෙම කිව්වා විතරයි ' මූට දෙයියන්ගේ හාල් කැවිලද ' වගේ බැල්මකින් මා දිහා බලාගෙන හිටියා.
(දේව දාන වලට වෙන් කරලා තියෙන හාල් වලට තමයි ඉස්සර 'දෙයියන්ගේ හාල් ' කියලා කියන්නේ. දෙයියන්ට වෙන් කරපු ඒ හාල් කාපුවාම පිස්සු හැදෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. )
'' මොන තොවිලයක් ද ? වැදුම් ගෙයි සන්නිය කියන්නේ ගැනු කෙනෙක්ට ළමයෙක් ලැබුනට පස්සේ හැදෙන පිස්සුවට. ඒක මානසික ලෙඩක්. තොවිල් පවිල් කරන්න ඕනේ නෑ. ඒවට බේත් තියෙනවා. ''
'' ඈ ඒ මොකෝ අම්මේ එහෙම බබාලා ලැබුනට පස්සේ පිස්සු හැදෙන්නේ. ''
'' ඔය සමහරුන්ට කුලුදුලේ ළමයා ලැබෙන්න යද්දි විලි රුදාව දරා ගන්න බැරුව ඔහොම වෙනවා. ''
අම්මා කිව්වත් වගේ මම නම් ඒ වෙනකන්ම ඔය ලෙඩේ ගැන අහලා තිබ්බේ නෑ.
'' ඒ කියන්නේ ඒ වේදනාව ගෑනු කෙනෙක්ට දරන්න එච්චරම අමාරුද ? '' මං මෝඩ ප්‍රශ්නයක් ඇහුවා.
'' ඔව් ළමයෙක් හම්බවෙද්දි අම්මා ට ගොඩක් අමාරු වෙනවා.ඒ උනාට අම්මලා එහෙම වද වේදනා විඳලා හදන දරුවෝ ම තමයි අන්තීමට අම්මලා වයසට ගියහම මහලු මඩම් වලට ගෙනිහින් දාන්නේ. '' අම්මා කිව්වා.
අම්මගෙයි මගෙයි දෙබස නම් එතනින් ඉවර උනා. නමුත් අම්මා අන්තිමට කියපු කතාව නම් ඇත්ත කියලා මටත් හිතුනා. ගෑනු කෙනෙක්ට මේ ලෝකේ දරන්න වෙන ලොකුම වේදනාව දරලා හදන දරුවන් අන්තිමේදි තමන් වයසට ගියහම මහලු මඩම් වලට ගෙනිහින් දාන එකනම් ලොකු පාප කර්මයක්.
එහෙම ගෙනිහින් දැම්මත් කවමදාවත් අම්මලා තමන්ගේ පුතාට/දුවට දොස් කියන්නේ නෑ. තව තවත් පුතාට/දුවට හොදක් වෙන්න යන්න කියලයි දෙයියන්ගෙන් උනත් ඉල්ලන්නේ. දරුවෙක් විදිහට අම්මා කෙනෙක්ට කවදාවත් ඒ වගේ පාප කර්මයක් නම් කරන්න එපා. කරන කියන වැඩක් හරි යන එකක් නෑ. ජාති ජාතිත් විඳවන්න සිද්ධ වෙන පවක් !!!
අම්මා කෙනෙක් ගේ ආදර කියන්නේ මහ සාගරය වගෙයි. කවදාවත්
හිදෙන්නේ නෑ තව තවත් වැඩි වෙනවා මිසක් !!!
ප. ලි. - හැන්දෑවේ අපි ඒ අක්කව බලන්න ගියා. අක්කා නම් ඔහේ කියව කියව ඉන්නවා. බලන්න බෑ දුකයි. අපි අක්කගේ චූටි දූ පොඩ්ඩවත් බැලුවා. එයා නම් මේ මුකුත් නොදන්න ගානට ඔහේ නිදාගෙන ඉන්නවා. ඇස්වහක් කටවහක් නෑ දූ පොඩ්ඩ නම් ලස්සනයි.
----------------------------------------------------
වැදුම් ගෙයි සන්නිය ගැන තව දුරටත්....
වැදුම් ගෙයි සන්නිය එහෙමත් නැත්නම් වෛද්‍ය විද්‍යාවෙන් කියනවා නම් postpartum depression or postpartum blues කියලා තමයි හදුන් වන්නේ. මේ ලෙඩේට හේතු වෙන්නේ post traumatic depression එකක් එහෙමත් නැත්නම් යම්කිසි ලොකු සිදුවීමට පස්සේ ඇතිවෙන මානසික අවපාතනය. දරුවෙක් ලැබෙන්න යද්දි අම්මා කෙනෙක්ට ලොකු වේදනාවක් දරන්න වෙනවනේ. අන්න එහෙම වේදනාව උහුලගෙන ඉන්නැද්දි ඒ අම්මාව මානසිකව කඩා වැටෙන්න පුලුවන්.
මේ ලෙඩේ රෝග ලක්ශණ තමයි දරුවා ව ප්‍රතික්ෂේප කිරීම, දරුවාට කිරි දීමට ඇති අකමැත්ත, වෙනදට වඩා ඉක්මනින් කේන්තියන ස්වභාවය හා මානසික අවපාතනය ඇති වීම.
----------------------------------------------------
මේ ලෙඩේ ගැන විස්තර හොයා දුන් තාරකා පිලපිටිය නංගිට මගේ ස්තුතිය. විභාගයට පාඩම් කරන ගමන් ලියන හන්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්
මමත් අහලා තියනවා ඔය හොඳට අහිංසක, සුහදශීලී විදිහට හිටපු සමහර ගෑනු අය බබා ලැබුනයින් පස්සෙ සෑහෙන්න වෙනස් වෙලා තියන අවස්ථාවල්. හරියට නිකන් යක්කුන්ට වගේ කේන්ති යනව කියල මගෙත් එක්ක කතා කරපු කෙනෙක් කිව්ව. ඒ ඔය වැදුම් ගෙයි සන්නිය නිසාම නෙවෙයි, ඊට පස්සෙ ඒ ළමයා බලා ගනිද්දි ඇති වෙන මානසික ආතතිය නිසා වෙන්න ඇති කියල තමයි හිතන්නෙ. දරුවෙක් ලැබුණට පස්සෙ අනික් අය කොච්චර ඒ අම්මාට සහයෝගය දක්වන්වාද කියන එක ඉතා වැදගත්..
ReplyDeleteහොඳ ලිපියක් !!
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.
ReplyDeleteඅවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය
ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
http://sindilanka.blogspot.com
ගොඩක් ළමයින්ට අම්මලා තාත්තලා තමන් වෙනුවෙන් කරන දේවල් වල අගය දැනෙන්නෙ ඒ ළමයත් කවදා හරි අම්මා කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි උන දවසටයි...ඒත් ඒ වෙනකොට ගොඩාක් පරක්කු වැඩි වෙන්න පුලුවන්....
ReplyDeleteඊට කලින් තමන්ගෙ ජීවිතයටත් වඩා ආදරෙන් අම්මටයි තාත්තටයි සලකන්න පුලුවන් නම් ඉන් එහාට කරන්න පුලුවන් තවත් පිනක් නෑ..
ගොඩක් හොඳ පෝස්ට් එකක්.. අර අක්කට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ ගැන මමත් අහල තියෙනව
ReplyDeleteදරුවෙක් ලැබුණාම හැමෝම උනන්දු වෙන්නෙ දරුව ගැන
ආදරේ කරන්නෙ දරුවට
ඒත් ඒ දරුව වැදූ මව ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි.
අපේ පලාතෙ එක අම්ම කෙනෙක් දරුව ලැබිල සති දෙකකින් විතර රාත‍්‍රියේ තමන්ගෙ දරුවත් එක්කම ගෙදර ළිඳට පැනල මැරුණා.
ඒ මනුස්සය හිටපු තත්ත්වය අවබෝධ කරගන්න තරම් බුද්ධියක් තිබුණ කෙනෙක් ඒ පවුලෙ හිටිය නම් ජීවිත දෙකක් බේරගන්න තිබුණ
මමත් "වෑදුගෙයි සන්නිය" කියන නම අහල තිබ්බට ඒක මොකද්ද කියල හරියටම දෑනගන හිටියෙ නෑ.දෑන් තමයි දෑන ගත්තෙ.
ReplyDeleteඑහෙම මානසික ආතතියකට ලක් වෙන්න පුලුවන්.මොකද ලෝකෙ තියන ලොකුම වේදනාව විදින්නෙ අම්ම කෙනෙක් දරුවෙක් බිහිකරද්දි කියනවනෙ.සමහර අයට ඒක දරාගන්න බෑරුව අති.
අහලා තිබුනා ඒත් විස්තර දැනගත්තේ දැන්....
ReplyDeleteස්තූතියි මධුරංග...!!
ඇත්තටම මේ පෝස්ට් එක හරිම වැදගත්. ඒත් මගේ අත්දැකීමත් කියන්න හිතුවා. මට බබා ලැබුනේ සැත්කමකින්. මට ඒ නිසා බබා ලැබෙද්දි වේදනා විඳින්න සිදු වුනේ නැහැ. බබා ගනිද්දිත් දන්න දන්න ගාථා ටික කිය කියා ඉන්න තරම් මානසික පිබිදීමකින් මං හිටියා. ඒ වගේ ම මගේ මහත්තයා, මහත්තයාගේ පවුලේ උදවිය, මගේ අම්මා ඇතුලු මගේ පව්ලේ සැමදෙනා මට ඔවුන්ගේ උපරිමයෙන් සහයෝගය පෑවා. දරුවා ගැන වගේම මං ගැනත් හොඳටම සොයා බැලුවා. ඒත් ඔය කියන තත්ත්වය මටත් ඇතිවුනා. මට දරුවා වදයක් වගේ දැනුනා. කිසිදෙයක් වැඩක් නැහැ කියලා හිතුනා. කළකිරීම උපරිමයට ලංවෙලා තිබුනා. අඬන්න ඕනේ වුනා. මේ ළමයි හැදිල්ල, කසාද බැඳිල්ල, ගෙවල් හැදිල්ල, හැමදේම බොරු වැඩ කියලා හිතුනා. රෑ පැය දෙකින් දෙකට බබාට කිරි දෙන්න, මහත්තයා මාව ඇහැවද්දි මට කේන්ති ගියා. ඒත් මං පෙන්නුවේ නැහැ. එහෙම කේන්ති යෑම නිසා මං ගැන මට ම එපා වුනා. කළකිරීම වැඩිවුනා. මං හොඳ අම්මා කෙනෙක් නෙමෙයි කියලා හිතුනා. ඒ මදිවාට විකාර හීන පේන්න ගත්තා. බබා අතේ හිටියාට තව බබෙක් ගැන කියවන්න වුනා. ඒ කියැව්වේ පැහැදිලි මනසින්. ඒත් ඒක විකාරයක්. බාහිර බලපෑම් අවම තත්ත්ව යටතේත් අම්මා කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්නයි මං මේවා කිව්වේ. බාහිර බලපෑමක් තිබුනා නං මට තිබුනේ රෝහලේ හිටපු කාලය තුලයි. බාබාට කිරි දෙන්න කිය කියා වින්නඹුමාතාවන් ඇවිත් කරපු දේවල් මානසික පීඩාවක් ඇති කලා කිව්වොත් නිවැරදියි. රෝහලේ සිටිද්දි එක දිගට රෑ දෙකක් ඇහරගෙන ඉන්න වුනා. දෙවැනි රෑ මට බබා අතට ගත්තාට දැනුනේ නැහැ. සමහර විට බබා අතින් වැටෙන්නත් ඉඩතිබුනා කියලා දැන් තේරෙනවා. බබා අතේ හිටියාට එයාව මට දනුනේ රෙද්දක් වගේ... තව වෙලාවක කුකුලෙක් අතේ තියන් ඉන්නවා වගේ..... කියන්න, පැහැදිලි කරන්න බැරි තරමේ සංකීර්ණ මනෝ භාවයකින් මම හිටියා කියලා දැන් මට පැහැදිලියි. ඒත් මේ වැදූ ගෙයි සන්නිය කියන තත්ත්වය දැන සිටිනිසාත්, සමීපතයන්ගේ සහයෝගය නිසාත් දරුවාටත් මටත් අනතුරුදායක තත්ත්වයක් ඇති වුනේ නැහැ.
ReplyDelete@ස්වප්නා :
ReplyDeleteබබා ලැබෙන්න කලින් හොදට හිටපු සමහර අය එක පාරටම බබා ලැබුනට පස්සේ කඩා වැටෙනවා. බලන් ඉන්න බෑ ඒ තරමට දුකයි. අදහස් දැක්වීමට ස්තුතියි.
මම මේ කතාව පෝස්ට් එකට දැම්මට පස්සේ අපේ අම්මා මට පොඩි කතාවක් කිව්වා. ඒකත් මේ කොමෙන්ට් එකට දැම්මොත් හොදයි කියලා හිතුනා. ඔය විදිහට ගෑනු අයට බබා ලැබෙන්න යද්දි බෝදිලිමා ගේ සාපය වැටෙනවලු. හැමෝටම නෙමෙයි සමහර අයට. එහෙම වැටෙනම ලු ඔය ලෙඩේ ඇති වෙන්නේ.
ඔය බෝදිලිමා කියන සතා ගිය ආත්මෙක ගෑනු කෙනෙක්ව ඉපදිලා බබා ලැබෙද්දී අමාරු වෙලා මැරිලා තියෙනවා. එහෙම මලාට පස්සේ ඒ අම්මගේ කලලයත් එක්කම වලලලා තියෙනවලු. මැරෙන වෙලාවේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි සමුදාය හින්දා ඊලග ආත්මේ බෝදිලිමෙක් වෙලා ඉපදිලා තියෙනවා. එහෙම ඉපදුන බෝදිලිමා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට බැලුම් හෙලනවලු.
ඒ නිසා ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මලාව ගර්භනී කාලයේ හොදට පරිස්සම් කරගන්න ඕනෙලු. ආගමික පැත්තට යොමු කරවන්නත් ඕනෙ ලු.
අපේ පැත්තේ නම් ළමයෙක් ලැබෙන්න ගිහින් හරි ගර්භනී කාලයේදි යම්හෙයකින් අම්මා මලොත් කළලය වෙනමත් අම්මව වෙනමත් වලලනවා. ඒ අර සාපය ඇත්තක් කියලා විශ්වාස කරන අය ඉන්න හන්දා. සමහර විට ඒක ඇත්තක් වෙන්නත් පුලුවන් මොකද ඕවා පැරැන්නන්ගේ විශ්වාස නේ.
@තාරා :
ReplyDeleteඒ කතාව නම් ඇත්ත. අම්මලා අප්පච්චිලා අපිව හදන්න ගන්න වෙහෙස මහන්සිය අපට තවම දැනෙන්නේ නෑ. එහෙමෙ දැනෙන්නේ කවදාහරි අපිත් ඔය තත්වය ට වැටුනම නේ. අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි.
අම්මලා අපිවෙනුවෙන් කොච්චර දේවල් කලත් එයා වෙනුවෙන් අපි කරන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලන්න ඕන කාලයක් මේක......
ReplyDeleteඅක්කට ඉක්මනට සනීප වෙන්න කියල පතනව.
@සින්ඩි ලංකා :
ReplyDeleteබොහොම ස්තුතියි. මමත් එහෙනම් මේල් එකක් එවන්නම්.
@hansakinkini :
ඒකනම් ඇත්ත. මෙතනදී දරුවට වගේම ලොකු සැලකිල්ලක් අම්මට දක්වන්න ඕනේ. මොකද අම්මා ලොකු වේදනාවක් විඳලානේ දරුවා බිහි කරන්නේ. අම්මගේ මානසිකත්වය හදන එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. එහෙම නැතුව දරුවව හුරතල් කර කර දරුවා ගැන හිත හිතා ඉන්නවා අමතරව.
@නදී :
ඔව් අම්මා කෙනෙක් දරන වේදනාව මේ ලෝකෙ කිසිම කෙනෙක් දරන්නෙ නම් නෑ. ඒක ඒ තරම් අමාරුයි. වෙලාවකට හිතෙනවා ස්වභාවදර්මයා ඇයි එහෙම මනුස්සයන්ව මැව්වේ කියලත්.
එහෙම අමාරු වෙලා ලමයා ලැබෙන්නේ දරුවා කෙරේ ආදරය වැඩි වර්ධනය කරලා තියන්න ද කියලා දන්නෙ නෑ. මොකද අපි අසීරුවෙන් ලබා ගන්න දෙයකට දක්වන ආදරය ලෙසියෙන් ලබා ගන්න දේකට දක්වන ආදරයට වඩා වැඩියි නේ.
@සෝරෝ :
බොහොම ස්තුතියි සහෝදරයා අදහස් දැක්වීමට. මේ ලෙඩේ දැන් ගොඩක් දුරට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. නමුත් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. නමුත් ඔය ලෙඩේ සමහර රෝග ලක්ශන නම් ගොඩක් වෙලාවට දකින්න පුලුවන්.
@RanDil :
බොහොම ස්තුතියි අක්කේ අදහස් දැක්වීමට. ඒ අතින් අක්කා ගොඩක් වාසනාවන්තයි. අක්කට හොද නෑදෑ පිරිසක් ඉන්න හන්දා. අක්කා ළමයා ලැබෙද්දි දන්න සියලුම ගාථා කිය කිය ඉන්න තරම් මානසික මට්ටමක හිටියා නම් අක්කට ලැබුන ළමයා දෙමව්පියන්ට සලකන ගොඩක් දහමටබර දරුවෙක් වෙයි.
මොකද මම අහලා තියෙනවා ගර්භනී කාලයේදි අම්මාගේ හැසිරීම් රටාව දරුවට දැනෙනවා කියලා. ඇත්තටම දරුවෙක් කියන්නේ ලොකු සම්පතක්.
අක්කටයි අක්කගේ පවුලේ සියලු දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!!!
@කේෂාන් De சில்வா :
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලි අදහස් දැක්වීමට. ඔයාගෙ කතාව නම් ඇත්ත. අම්මලා අපි වෙනුවෙන් වෙන වෙහෙස මහන්සියට, අපි එයාලට චූටි හරි සැනසීමක් දෙනවනම් ඒක එයාලට මහමෙරකටත් වඩා වටිනවා.
එයාට ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රාර්තනා කරනව.
ReplyDelete@Hishan Melanga :
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා අදහස් දැක්වීමට. ඔයාලගේ සුබ පැතුම් ඒ අක්කට එකතු කලාටත් ගොඩක්ම ස්තුතියි.
මමත් ඔයාගේ අසල් වැසියට ඉක්මන් සුවය පතනවා .! මටත් මේ ගැන දැනුයි ටිකක් වැටහුනේ . අම්ම ගැන කියද්දීනම් .මම අම්බානෙට සංවේදී වෙනවා . මොකෝ ඉතිං මට ඉන්නේ එච්චරයිනේ . දෙමවුපියන්ව මහලු මඩම් වලට ගිහිං දාන්න කවුරුහරි හිතාගෙන ඉන්නවද එයා මේක දැක්කොත් ඒ අදහස නැතිකරගන්නවා සිකුරුයි ..
ReplyDeleteජය වේවා !!
@හිස් අහස :
ReplyDeleteඅම්මා ගැන කියද්දි හිස් අහස විතරක් නෙමෙයි මමත් ගොඩක් සංවේදී වෙනවා. ලෙඩේ ගැන හොදට මතක තියා ගන්න ඉදිරියේදී ඕන වෙයි.
මම නම් පතන්නේ හතුරෙකුටවත් ඔහොම වෙන්න එපා කියලා.
මමත් ඔය දේ ගැන අහල්ල තිබුන,නමුත් හරියටම විස්තරයක් දැනගෙන හිටියේ නැහැ..
ReplyDeleteසමහර දරුවෝ අම්මලට කරන කියන දේවල් විශ්වාස කරන්නත් බැහැ..
@කැන්ඩි... :
ReplyDeleteබොහොම ස්තුතියි අදහස් දැක්වීමට. ඒක නම් ඇත්ත සහෝ. ඒවනම් ආනන්තරීය පාප කර්ම. ඒවා අනිවා මේ ආත්මෙදිම පල දෙයි
අම්මෝ! බය හිතෙනවනේ. මට ළමයි හදන්න දැන් බෑ වගේ.
ReplyDelete@ජනනි :
ReplyDeleteබය වෙන්න දෙයක් නෑ අක්කා. මේ ලෙඩේ සුලබ ම නෑ. ඉදලා හිටලා කෙනෙක්ට තමයි හැදෙන්නේ. හොද මානසික තත්වෙකින් හිටියොත් ලෙඩේ හැදෙන්නේ නෑ. දරුවෙක් කියන්නේ සම්පතක්. ඒ සම්පත ලබා ගන්න චුට්ටක් දුක් වින්දම මක් වෙනවද ?
වැදූ ගෙයි සන්නිය කියන එක අහලා තිබුනට විස්තර හරියටම දැන ගත්තෙ මේ ලිපියෙන් තමා ......
ReplyDelete@පන්සල් හංදිය :
ReplyDeleteමමත් දැන ගත්තේ අපේ අම්මා කිව්වට පස්සේ තමයි. වැඩි දුර විස්තර හොයා ගත්තේ මෙඩිකල් ෆැකල්ටියේ යාලුවෙකුගෙන්.
වැදු ගෙයි සන්නිය සිරාවට මම ඇහුවේත් අදයි බං... කොටින්ම කියන්නේ "කොටහලු මංගල්ලය" කියන වචනෙ ඇහුවෙත් මේ ලඟකදි.අපි ඔක දන්නේ වෙන නමකින් නොවැ...
ReplyDeleteකිව්වත් වගේ මේ ලොකේ තියන අමාරුම දුක තමයි මචෝ ප්‍රසූති වේදනාව... එහෙව් දුකක් විඳලත් අන්තිමට ඒ අම්මව මහලු මඩමකට ගිහිල්ලා දාන්න තරම් ළමයින්ට පුලුවන්න්නම් ඊට වඩා තිරිසන් කමක් වෙන නැහැ නේද බං......??
@අපරාජිතයා :::: Aparajithaya :
ReplyDeleteඅම්මලා විඳින්නේ ලොකු දුකක්. එහෙව් එකේ මෙහෙම මහලු මඩම් වලට දාන එක නම් කරන්න පුලුවන් ලොකු පවක් !!!