05 August 2017

මාදු ගඟේ බෝට්ටු සවාරිය -2

මමත් මගේ කාර්යාල සගයෝ ටිකත් එක්ක මාදු ගඟේ බෝට්ටු සවාරියක් ආවා මතක ඇතිනේ. ඒ යන ගමන් මාදු ගඟ කියන්නේ රැම්සා තෙත් බිමක් ය කියලා මම තවත් තැනක කිව්වා මතක ඇති නෙහ්.

අන්න ඒ තුන්වෙනි රැම්සා තෙත් බිමේ පොඩි බෝට්ටු සවාරියක් යන්නයි අපි සූදානම. මාදු ගඟේ මේ වෙනකොට දූපත් පහලොවක් විතර තියෙනවා. ඒ ටික මතක් කලොත් කොත්දූව, දක්දූව, මාදූව, මෙ‍මා දූව, හොන්දූව, දිමිදූව, නයි දූව, මුවන් දූව,සත පහේ දූව, මේරල දූව, ගල්මන් දූව, කටුදූව, මදදූව, ගෝනදූව හා තිනිය දූව.

මේ දූපත් වලින් කොත් දූව තමයි මාදු ගඟේ තියෙන ලොකුම දූපත. සත පහේ දූව කියලා  කියන්නේ මාදු ගඟේ පොඩිම දූපත.

කොත් දුවේ තියෙන විශේෂත්වය තමයි පන්සලක් පිහිටා තිබීම. ඒ දූපතට ඒ නම ලැබිලා තියෙන්නෙත් ඒ නිසාම වෙන්ඩ ඕන.

01 May 2017

බෝවෙල දෙවියෝ

අද ලෝක කම්කරු දිනය සමරන මැයි පළවෙනිදාවක්. ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්නට අනෙකුත් ආයතන වල නිවාඩු දිනයක් විදිහට අනුමත වෙච්ච දිනයක් අද. අපේ ආයතනයටත් අද නිවාඩු දිනයක් උනත් මම වැඩ කරන සේවාදායකයා අද ලංකාවට එන නිසා මට අද නිවාඩුව ගන්ඩ උනේ නෑ.

ඒ නිසා මම අද වැඩට එන්ඩ උදෙම්ම ගෙදරින් පිටත් වෙලා පොඩි පන්සල ලඟ බස් නැවතුමට ආවා. ඇවිදින් පෑ කාලක් යනකොටත් බස් එක ආවේ නෑ..

"අද මැයි පළවෙනිදා හින්දා බස් අඩු ඇති. අපි ඉස්කෝලේ හන්දියට පයින් ගිහිං එතනින් නිවුඩාව බස් එහෙකවත් යං" අපේ තාත්තා යෝජනා කලා.

වරු ගනං මෙතන බලං ඉන්නෙකේ තේරුමක් නැති හන්දා මං  තාත්තගේ යෝජනාවට කැමැත්ත පළ කරලා ඉස්කෝලේ හන්දියට ආවා.


ඉස්කෝලේ හන්දියට ඇවිල්ලත් ටික වෙලාවක් යනකන්ම බස් එකක් ආවේ නෑ.  ඒ වෙනකොටත් බස් එකක් ආවේ නැති හන්දා බඩට මොනාහරි දාගෙනම එනවයි කියලා හිතලා මම ඒ ලඟ කඩේකට ගොඩ උනා.

ඒ කඩේ තිබ්බේ බනිස් ජාතිම විතරයි. මායි අපේ තාත්තයි මාලු බනිස් දෙකක් ගත්තා. කඩේ මුදලාලි ඒ බනිස් දෙක සිලි සිලි බෑග් එහෙක දාලා දෙන්න හැදුවා.

මම ඔය පොලිතින් වලට අකමැති හන්දා "බෑග් ඕන නෑ... අපට පත්තර කොලේක ඔතලා දෙන්න කියලා" ඉල්ලීමක් කලා.

මුදලාලිත් අතට ගත්තු සිලි සිලි බෑග් එක මේසේ උඩින් තියලා බනිස් දෙකක් ෂෝකේස් එකෙන් අරන් කොලේක ඔතලා දුන්නා. මම බනිස් වල ගාන ගෙවලා බෑග් එකට දාගත්තා.

ඉන් ටික වෙලාවකට පස්සේ නිවුඩාව බස් එකක් ආවා. අපි දෙන්නා ඒ බස් එකට ගොඩවෙලා පානදුරේට එන්ඩ පිටත් උනා. ඒ එන අතරමග බනිස් කෑවා.

ඊට පස්සේ මාලු බනිස් ඔතලා තිබ්බ කෝලේ ඒ පැත්ත මේ පැත්ත පෙරරලා බලනකොට අපූරු ජනප්‍රවාද කතාවක් තිබ්බා. මාත් ඔය ජනප්‍රවාද කතා ජන කතාවලට ආස කෙනෙක් නිසා මට ඒ පත්තර කෑල්ල රන් පතක් වාගේ වටිනවා කියලා ආයේ කියන්ඩ ඕනෑ නෑ නෙහ්.

මේ කතාව ලියලා තියෙන්නේ සඳරුවන් ලොකුහේවා කියලා මහත්තයෙක්.

ඒ කතාව තමා අද ලිපියේ මාතෘකාව. මං මෙච්චර වෙලාවක් පඳුර වටේ තල තලා උන්නෙත් ඔය කතාව කියන්ඩ. එහෙනං කතාව අහගම්මු.

23 April 2017

මම සහ මගේ නැකත

අද 2017 වසරේ අප්‍රේල් 23 වෙනිදා !

මගේ ජීවිත කතා පොතේ අලුත්ම පිටුවක් පෙරලපු දවසක්.

තවත් සරලවම කියනවා නම් මගේම මහන්සියෙන් මගේ වියදමෙන්ම ඉදිකරපු මගේම ගෙයි පදිංචියට ගිය දවස අද.

අද උදේ තමයි අළුත් ගෙයි පදිංචියට ගියේ.

මම ගේ හදන්න පටන් ගත්තේ 2016 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා. ගොඩක් අය සුබ වෙලාවල් බලලා, බහිරව පූජා තියලා ගෙපැල කපන්න පටන් ගත්තත් මම ඒ කිසිම දෙයක් කලේ නෑ..

මගේ ආදරණීය රූමා (දනා) ඇඳලා දීපු ප්ලෑනට තමා මං ගේ හැදුවේ. ගෙයි වාස්තු දෝස එහෙම බලලා නෑ මේ වෙනකන්. බලන්න අදහසකුත් නෑ. මම දනාට කිව්වේ "මචං මට කාමර තුනකුයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි තියෙන තනි තට්ටුවේ ගෙයක ප්ලෑනක් ඇඳලා දීපං" කියලා විතරයි.

මම හිතුවටත් වඩා ලස්සනට ඒකා මට ඒ වැඩේ කරලා දුන්නා.

12 April 2017

මහ ගල්ගමුවේ ජුසේ වාස් සිද්ධස්ථානය

ලංකාවේ වෙසෙන කිතුණු බැතිමතුන් 2017 වසර එනම් මේ වසර නම් කරලා තියෙන්නේ "ජුසේ වාස් වසර" විදිහටයි.

1995 වසරේ ජනවාරි 16 වෙනි දින දෙවන ජුවාම් පාවුල් පාප් වහන්සේ විසින් ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසොවන ලදී. භාග්‍යවරය කියන්නේ සන්තුවරයෙක් ලෙස පත්වීමේ අතරමැදි අවස්ථාවක්.

ඉන්න් වරස 20කට පස්සේ එනම් 2015 වසරේ ජනවාරි 14 වෙනි දින උන්නාන්සේව ලංකාවේ එකම සාන්තුවරයා විදිහට සාන්තුවරයට ඔසොවන ලදී.

ඒ වගේම එතුමාගේ මංගල්‍යය දිනය විදිහට ජනවාරි 16 වෙනි දින ප්‍රකාශයට පත්කිරීමත් පාප්තුමාගේ මැදිහත් වීම මත සිදු කරන ලදී.

එතුම සිය ධර්මදුත කාර්යය වෙනුවෙන් 1687 අවුරුද්දේ ලංකාවේ මන්නාරම් ප්‍රදේශයට පැමිණි බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

මන්නාරමේ සිට යාපනයටත් පසු කලෙක උන්නාන්සේ ගල්ගමුව ප්‍රදේශයේත් සංචාරය කරමින්, කිතු දහම දේශනා කරමින් ගමන් කරනවා. ඒ ආ ගමනේදී වරක් ගල්ගමුව ප්‍රදේශයට එතුමා පැමිණෙනවා.

16 March 2017

අදත් වහිනවා හරි හරියට

ඔහොම පොඩියක් ඉන්න
දන්නවද.....
දැනෙන වද....
මතකයට ගෙනෙනවද...
එදා වැටුනා හරි හරියට
හිරිපොදද...කුඩේ යටටම
අදත් වහිනවා හරි හරියට
නුඹත් තෙමෙනවා මහ වැස්සට
නොකිව්වත් දුක් දොම්නස් මැද
කුඩයක් වත් නැ හිස් මුදුන මත....
හිරි පොදට ගුලිවෙන්න
තව තවත් ලං වෙන්න
උස් ගසක් තෙමි තෙමී ඇත
කදු මුදුන මත හුදකලාවක....

 ----------------------------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

06 March 2017

තෙත් බිම් සදහා වූ රැම්සාර් සම්මුතිය

එක් පසෙකින් ඇල්බස් කඳු වැටියත් අනෙක් පසින් කැස්පියන් මුහුදු තීරයටත් මැදිවූ වූ ඉරානයේ රැම්සාර් කියන නගරයට විවිධ රටවල ජාතින් 18ක්,  1971 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 2වෙනි දින රැස් උනා. ඒ එක් සුවිශේෂි සම්මුතියකට එළෙබීම සදහා.

ඔවුන් එදා ඒ සම්මුතිය හැඳින් වූයේ රැම්සාර් සම්මුතිය යනුවෙනි. ඒ සම්මුතියේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ විවිධ රටවල පවතින තෙත් බිම් පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමයි. එදා ජාතීන් 18කගේ එකමුතුවෙන් ඇරඹී රැම්සා සම්මුතිය අද වන විට රටවල් 169ක ක්‍රියාත්මක වෙමින් පවතී.

කිසියම් වගුරු බිමක් රැම්සා තෙත්බිමක් ලෙස රැම්සා සම්මුතියෙන් පිළිගැනීම සදහා නිර්ණායක කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

මූලික වශයෙන් රැම්සාර් සම්මුතියෙන් වගුරු බිම් කොටස් තුනකට වෙන් කෙරෙනවා.

1. සමුද්‍රික/ වෙරලාසන්න තෙත් බිම්
2. රට තුළ පිහිටි තෙත් බිම්
3. මිනිසා විසින් නිර්මාණය කරන තෙත් බිම්

මාදු ගඟේ බෝට්ටු සවාරිය

ගෙවුනු සති අන්තයේදී මාත් මා සේවය කරන කාර්යාලයේ කට්ටියකුත් එක්ක පොඩි සංචාරයක යෙදුනා. අපි සංචාරය කලේ රටේ දකුණු පළාතේ පිහිටි ගංගාවක් ආශ්‍රිත ජලජ පරිසර පද්ධතියක් බලන්න. සරලව කිව්වොත් අපි ගියේ මාදු ගඟේ බෝට්ටු සවාරියක්... !

මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා කාගේ කාගේත් හිත්වල මාස දෙකකට වඩා වැඩි කාළයක් තිබුනත් චාරිකාව යන්න දවසක් යොදාගන්න ලේසි පහසු උනේ නෑ. ඒකට මූලිකම හේතුව එක එක්කෙනාට තම තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු යෙදී තිබීම කිව්වොත් මම නිවැරදියි.

කොහොමින් කොහොමහරි මාස දෙකකට වඩා වැඩි කාලයකට පස්සේ අපි කට්ටිය මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්ඩ ආවා. මම උදෙම්ම පානදුරෙන් ගාල්ල බස් එහෙක නැගලා කළුතර ආවා. අපේ අනෙක් සගයෝ ටික එන කෝච්චිය, කොළඹින් පටන් ගත්තට පස්සේ නවත්තන්නේ දකුණු කළුතර නිසා පානදුරේ උන්නු අපිට දකුණු කළුතරට යන්ඩ සිද්ධ උනා.

මායි ජනකයි පානදුරේ ඉදලා දකුණු කළුතරට ආවා. ඒ එනකොට උදේ හය විතර උනා. අනෙක් යාළුවෝ එන කෝච්චිය කළුතරට එන්නේ හයයි පනහට විතර. එතකන් අපි දෙන්නට දුම්රිය නැවතුම්පොලේ කල් මරන්න සිද්ධ උනා.

04 March 2017

වටිනාකම

සිලි..සිලියට..
හරි හරියට...
ඇස ගැටෙනා හැමදාකම
හෙවනැල්ලක
වටිනාකම....

ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

08 February 2017

ලංකාවේ පාලම් - 3 වෙනි කොටස

ලංකාවේ පාලම් ගැන මම ලියපු ලිපි මාලාවේ තුන්වැන්න තමයි අද ලියන්න තියෙන්නේ. දෙවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

කලින් කියපු පාලම් වලට අමතර ගංගාවල් හරහා එල්ලෙන පාලම් නිර්මාණය වෙලා තියෙනවා. පේරාදෙණිය උද්භිද උද්ග්‍යානයේ ඒ වගේ පාලමක් තියෙනවා. ඒ මහවැලි ගඟ හරහා ඉදිවෙච්ච සංගිලි පාලම. පහලින් තියෙන්නේ පේරාදෙණියේ සංගිලි පාලමේ පින්තූරයක්.

ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල දුම් රිය ස්ථානයට මෙහායින් තියෙන වලකුඹුර දුම්රිය ස්ථානය අසලත් එල්ලෙන පාලමක් මෑත කාළයේ ඉදි කරලා තියෙනවා.

මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මා ඔය හරහායි. පහලින් තියෙන්නේ වලකුඹුර එල්ලෙන පාලමේ පින්තූරයක්.

මීට අමතරව ගංගාරාමේත්, මාතර පරවි දූපතට යන පාරෙත් සංගිලි පාලම් දකින්න පුලුවන්.

රේල් පාර හරහාත් විවිධාකාර පාලම් ඉදි වෙලා තියෙනවා. ඒ පාලම් වලින් මම ආසම කරන පාලම තමයි පේරාදෙණිය දුම්රිය පාලම. මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මහවලි ගඟ හරහා. පේරාදෙණියේ හිටපු දවස්වල අපි මේ පාළමට කිව්වේ යකා පාලම කියලා.

ලංකාවේ පාලම් - 2 වෙනි කොටස

පාලම් ගැන ලියපු ලිපි මාලාවේ දෙවැන්න තමයි දැන් ලියන්න යන්නේ. පළමුවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති කාළයේ ඉංග්‍රීසි ජාතිකයෝ විවිධ ආර්‍ථික බෝග වැව්වා. ඒ අතර කෝපි, තේ විශේෂ තැනක් ගන්නවා. මොවුන් නිශ්පාදනය කරපු තේ, කොළඹට ගේන්න රේල් පාරවල් ඉදි කලා.මේ රේල් පාර නිසා සමහර සුදු මහත්තුරුන්ගේ තේ වතු දෙකඩ උනා.

මේ දෙකඩ වීම නිසා අස්සයා පිට නැගලා තේ වත්ත වටේම ගියපු වතු පරීක්ෂක සුදු මහත්තුරු හරි අසීරු තාවයකට පත් උනා. රේල් පාර හින්දා වත්තේ එහා කෙළවරේ ඉදලා මෙහා කෙළවරට එකපාර යන්න බැරි වෙනවා. මොකද  සමහර රේල් පාරවල් වත්තේ බිම් මට්ටමේ ඉදලා අඩි කීපයක් පහතිනුයි තියෙන්නේ.

එතකොට අස්සයාව එක පැත්තක නවත්තලා ඇවිත් පයින්ම තේ වත්තේ අනිත් කෙළවරට යන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. මේ නිසා ඒගොල්ලෝ රේල් පාරට ඉහලින් කුඩා ප්‍රමාණයේ පාලම් ඉදි කලා. ඒ පාලම් පස්සේ කාලෙක අස්ස පාලම් කියලා හැඳින්නුවා.

ලංකාවේ පාලම් - 1 වෙනි කොටස

ලංකාවේ තියෙන සැතපුම් කණු ගැන ලිව්වට පස්සේ මට හිතුනා පාලම් ගැනත් පොඩිවට මොනාහරි ලිව්වොත් හොඳයි කියලා. ඉතිං අද ලිපිය වෙන් වෙන්නේ ලංකාවේ එදාමෙදාතුර තිබ්බ පාලම් වෙනුවෙන්.

ගොඩක් වෙලාවට පාලමක් ඉදිවෙන්නේ ගඟක් හරහා හෝ දොළ පාරක් හරහා. ඊට අමතරව පාරක් හරහාත් පාලම් ඉදිවෙන අවස්ථා තියෙනවා.  ඒදණ්ඩක් කියන්නේ පාලමක ප්‍රාථමික අවධිය විදිහට හඳුන්වන්න පුලුවන්. පොඩි දිය පහරක් හරහා  පුවක් කොටයක් හරි පොල් කොටයක් හරි හරහට දාලා එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුරට  යන්න පුලුවන් වෙන විදිහට තමා ඒදණ්ඩක් නිර්මාණය වෙන්නේ.

ඒදණ්ඩකින් එහා මෙහා යනකොට සමබරතාවය ඉතාම වැදගත්. පොඩ්ඩක් හරි එහා මෙහා පැද්දුනොත් කෙලින්ම වතුරට වැටෙන්නේ. ඒ නිසාමද මංදා "පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්ඩ බෑ" කියලා කියමන අපි අතරට ආවේ.
පළල් ඉවුරු ආශ්‍රිත ගංගා හරහා ඒ දඩු නිර්මාණය වෙන්නේ හරි අඩුවෙන්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ සමබරතාවය රැකගෙන ගඟ තරණය කිරීමට ඇති අපහසුව වෙන්ඩ ඕන. ඒ නිසාම ඒදඩු ගොඩක්ම නිර්මාණය වෙන්නේ කුඹුරු ආශ්‍රිතව.

ලී දඩු වලට අමතර කලු ගලින්ද නිර්මාණය වෙච්ච ඒදඩු තියෙනවා. මේ ලිපියේ ඒ වගේ ගල් ඒදණ්ඩක් ගැන සදහන් වෙනවා. මීට අමතරව මට මතක් වෙන්නේ පහළ කරගහමුණ ගල් ඒදණ්ඩ රජමහා විහාරය. ඒ පන්සල ආශ්‍රිතවත් ගල් ඒදණ්ඩක් ඒ දවස්වල තිබුණයි කියලා සදහන් වෙනවා.

වාහනයක් යන්ඩ පුලුවන් දොළ පාරක් ගලාගෙන යනවා නම් ඒ දියපහරේ ගලා යාමට බාධා නොවන විදිහට බෝක්කුවක් තුළින් දිය පහර ගලායාමට සලස්වනවා. මේකත් පාලමක ප්‍රාථමික අවධියක් විදිහට හදුන්වන්න පුලුවන්.

පහලින් තියෙන්නේ පාර හරහා ඉදි කර තිබෙන බෝක්කුවක පින්තූරයක්. මේ බෝක්කුව මට දකින්න හම්බ උනේ සීතාවක තෙත්බිම් උද්‍යානයේදී. බෝක්කු නම් අනන්තවත් දැකලා තිබුනට ඒවෑ පින්තූර නම් මා ලඟ තිබුනේ නෑ.
සමහර පොඩි දිය පහරවල් පායන කාළයේදී හිදී යනවා. ආයෙම වැස්ස කාලේදී මතු වෙනවා. ඒ වගේ දිය පහරක් පාර හරහා ගියොත් ඒ පාර හරහා සපත්තු පාලමක් ඉදි කිරීම සිදු වෙනවා. වැස්ස කාළයේදි සපත්තු පාලම ජලයෙන් යට වීම සිද්ද වෙනවා. එතකොට පාරේ ගමන් කරන වාහන දිය පහර හරහා යා යුතු වෙනවා.

07 February 2017

ලංකාවේ සැතපුම් කණු

යම්කිසි  බරක්, යම්කිසි දුරක් හෝ යම්කිසි කාළයක් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම සදහා  මිනුම් ඒකකයක් ඈත  අතීතයේ පටන්ම මිනිසුන්ට උවමනා කර තිබුණි. ඒ සදහා කලින් කලට ඔවුන් විවිධ මිනුම් ඒකකයන් නොයෙකුත් රාශීන් මැනීම සදහා භාවිතා කර තිබුණි.

එකල ලාංකිකයෝ තම තමන්ගේ එදිනෙදා ගමන් බිමන් ගියේ පයින් හෝ ගොනුන් බැඳි ගැල් වලය. තමන් ගමන පටන් ගත් තැනෙහි සිට ගමනාන්තය දක්වා කොපමණ දුරක් ඇත්දැයි තවෙකෙකුට පැවසීම සදහා ඔවුන්ට මූලික ඒකකයක අවශ්‍ය තාවය පැන නැගිණි.

මේ සදහා ඔවුන් විවිධ වූ රාශීන් භාවිතයට ගත්හ.

එක තැනක සිට තබන ලද හූවක් ඈතින් සිටින අයෙකුට ඇසිය හැකි උපරිම දුර ඔවූහු "හූවක දුර" යැයි භාවිතයට ගත්  අතර හොඳින් ඇදුනු දුන්නකින් නිකුත්වන හීයක් ගමන් කරන උපරිම දුර "හීයක දුර" යැයි ද ඔවුන් හැඳින් වූහ.

එකල පිරිමින් බර උසුලන විට සරම කෙටිකර ගැට ගසා ගනී. මෙය කැහැපට ගැසිම නම් වේ. කැහැපට ගසාගත් තැනෙහි සිට එය ලිහෙන දුර එසේත් නැත්නම් ඉණ බැඳි පිලි ලිහෙන දුර "පිල්ලුම" ලෙස ද ඔවුන් භාවිතයට ගත්හ.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමග මෙම  ප්‍රාදේශීය ඒකකයන් කෙමෙන් කෙමෙන් මෙට්‍රික් ඒකක වලට හැරෙන්න විය. බ්‍රිතාන්‍යන් දුර මැනීම සදහා භාවිතා කළේ සැතපුම නම් වූ ඒකකයකි. එය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී මයිල් (mile) නම් වේ.

03 February 2017

සයිටම් හා අපි

සයිටම් වගේ ආයතන හතු පිපෙන්නා වාගේ එක දවසකින් දෙකකින් කරලියට ආපු අයතන නෙමෙයි. ඔය ආයතන කරලියට එන්න අවුරුදු ගානක් තිස්සේ අත යටින් කාටත් හොරා පිඹුරුපත් සකස් උනා. ඒවා වලට ඒ ඒ කාළ වලදී තිබ්බ ආණ්ඩු වල සහයෝගයත් හම්බ උනා.

ඒ නැතුව මෙහෙම ආයතන රට ඇතුලට බලෙන්ම ආවේ නෑ..

ඔය ගැන අන්තරේත්, ඒ ඒ කාළ වලදි හිටපු විශ්ව විද්‍යාල සිසුනුත් ඒ ඒ විශ්ව විද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් වලිනුත් කතා උනා.

කතා වෙලා නිකන් හිටියේ නෑ.. රටේ මිනිස්සු දැනුවත් කරන්න, ඒ අයගේ මතය දැනගන්න විවිධ ශිෂ්‍ය ව්‍යාපාර දියත් කලා.

එක වතාවක් අපි ජපුරේ ඉදලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනකන් පා ගමනේ ආවා.  ඒ එන ගමනේ දී සමහරු දේශපාලන පක්ෂ වලට කඩේ යනවයි කියලා ලේබල් අලවන්න උත්සහ කළා. තවත් සමහරු  අපි පාරවල් බ්ලොක් කරගෙන පිස්සු වැඩ කරනවයි කියලා දොස් කියන්න ගත්තා.

වෙද සිසුන්ට ජල ප්‍රහාර

ඊයේ දවසේ කොළඹදී විශ්ව විද්‍යාල සිසුන් පවත්වපු උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයකුයි එල්ල කලා. ඒ උශ්ඝෝෂණය, ඒකෙනුත් නවත්තන්න බැරි වෙච්ච නිසා බැටන් පොලු ප්‍රහාරයකුත් එල්ල කළා. පස්සේ පස්සේ කීපදෙනෙක්වත් අත් අඩංගුවට ගත්තා කියලා ප්‍රවෘත්ති වලටත් කිව්වා.

කාළයකට ඉහතදී මාත් ඔහොම උශ්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. ඒකත් ඔය වාගේම නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සිද්ධියකට කොළඹ ආපු වෙලාවක.

මුලින්ම කියන්න තියෙන්නේ මේ සිද්ධිය මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. කොයි ආණ්ඩුවෙනුත් මේ වගේ ශිෂ්‍ය මර්ධනය කිරීම් පැවැත්වුනා. ඒක මේ ආණ්ඩුවෙත් එහෙමයි. ගිය ආණ්ඩුවෙත් එහෙමයි. සමහරු මේ වගේ සිදුවීම් වලිනුත් වාසි ගන්න උත්සහ කරනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම නෑ. මෙහෙම පහර දීම් කලේ නෑ. මේ ආණ්ඩුව මෙහෙමයි අරෙහෙමයි වගේ නානාප්‍රකාර කතා අටෝරාසියක් කියනවා. ඒ ඒගොල්ලන්ගේ දේශපාලනික වාසියට මිස කිසිම ශිෂ්‍යයෙක් කෙරෙහි උපන් සෙනෙහසකින්වත් කරුණාවක් නිසාවත් නෙමේ.

මේ සිදුවීම් වලට මැදිවෙච්ච සිසු පරපුර ගැන හිතෙනකොට ලොකු දුකක් ඇති වෙනවා. මොකද ඒ අයටත් තිබ්බා නිස්කාරනේ අවු කාස්ටකේ මහ පාරවල් දිගේ කෑ ගගහා ඇවිත් පොලිසියෙන් ගුටි කන්නේ නැතුව හොස්ටල් එකට වෙලා ඉදලා පාඩම් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න.

මෙහෙම කෑ ගහන්නේ එයාලගෙ අයිතිවාසිකමක් නිසාම නෙමේ. ඒ අය නම් කොහොමහරි අවුරුදු හතර ඉවර උනහම දොස්තරවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා එළියට ඒවි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ උපාධිය ගැන නෙමේ.

02 February 2017

අපූරු පාර්ටියක්

හැරී පොටර් කතා මාලාවේ ද ප්‍රිසිනර් ඔෆ් ඇස්කර්බාන් (අස්කර්බාන් හි සිරකරුවා) කතාවේ හ'මයිනි කාළය හරහා ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ උපකරණයක් භාවිතා කරනවා. මේ උපකරණයට එයාලා කියන්නේ ටයිම් ටර්නර් කියලා.

හ'මයිනි මේ උපකරණය පාවිච්චි කරන්නේ එක වතාවකට පන්ති දෙකකට සහභාගි වෙන්ඩ.

අපිටත් බැරිද හමයිනි වගේ කාළයේ ආපස්සට ගිහින් අපි ආස කරන දෙයක් බලලා එන්න. එහෙම නැත්නම් අපේ ළමා කාළයට අපිටම බලල එන්න. එහෙමමත් නැත්නම් අතීතයේ අපෙන් වෙච්ච වැරැද්දක් නිවැරදි කරලා එන්න ?

මේ ගැන ගොඩක් විද්‍යාඥයෝ විවිධ විවිධ පර්යේෂණ සිද්ද කලා. නමුත් අද වෙනකොටත් ඔවුන්ට කාළ තරණය කරන්න හම්බ වෙලා නෑ.. ඒකට නොයෙක් විදිහේ බාධා සිද්ධ වෙනවා.

ඒවා විද්‍යාඥයින් හදුන්වන්නේ පැරඩොක්ස් කියලා. නොයෙක් විදිහේ පැරඩොක්ස් රාශියක්ම මේ වෙනකොටත් තියෙනවා. ඒවා ගැන පසුවට කියන්නම්.

මේ කාළ තරණය ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ඔක්ස්පර්ඩ් සරසවියේ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහත්තයා අපූරු පර්යේෂණයක් සිදුකලා.

පරියේෂණයක් කියලා කිව්වට මේක පාර්ටියක් !

නමුත් මේ පාර්ටියට කවුරුවත් මේ වෙනකොට ඇවිත් නෑ.. ඒ ඇයි ?

හෝකින් මහත්තයා මේ පාර්ටිය සුදානම් කළේ ඔයාලා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. එහෙනම් කාට ද ?

වෙද නළාවේ අරගලය

මේ දවස්වල මුහුණු පොත පුරා අරගලයක මුහුණුවරක් ගන්නවා. ඒකට හේතු පාදක වෙන්නේ 187/2016 දරණ නඩු අංකයෙන් හැදින්වෙන නඩුවේදී ලැබුණු තීරණයට විරෝදය පෑමක් විදිහට.

තවත් සරලව කියනවා නම් මල්ශානි සූරියාරච්චිට එදිරිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නඩුව. කවුරුත් දන්න පරිදි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය, රටේ අනෙකුත් වෛද්‍ය උපාධි මෙන්ම ලියපදිංචි විය යුතු යැයි සදහන් නඩුව ගැනයි මේ දිනවල කාගේ කාගෙත් කතා බහ යොමු වෙලා තියෙන්නේ.

මේ සිද්ධිය පිළිබඳව මම දරණ මතය වෙන්නේ නිසි ප්‍රමිතියකට නැති මෙවැනි උපාධි නීතිගත කිරීම සුදුසු නෑයි කියන එක. මොකද වෛද්‍ය වෘත්තිය කියන්නේ ඕනෑම රටක අංක එකට පවතින වෘත්තියක්. ඉතින් එහෙව් වෘත්තියකට සුදුසුකම් නැති අය යනවයි කියන්නේ ඒ වෘත්තියේ ගෞරවය එහෙම් පිටින්ම නැති වෙලා යනවා වගේ වැඩක්.

ගෞරවය නං කමක් නෑයි කියලා පොඩි වෙලාවකට හිතමු. වෛද්‍යවරු කියන්නේ මිනිස් ජීවිතත් එක්ක කටයුතු කරන පිරිසක්. එහෙම අසරණ ජීවිතත් එක්ක වැඩ කරන පිරිසකගේ ප්‍රමිතිය ඉතාමත් ඉහල තත්වයක පවතින්ඩ ඕන කියලයි මම හිතන්නේ.

31 January 2017

මලින් බරවී

වැලත් එතුනේ....
මලින් බරවී.....
තවත් හැඩවී....
මතින් මත්වී....
බමන බඹරුන්ට
අත වනන්නට.....!



---------------------------------------------------------------

ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.

28 January 2017

නුඹ හිමිකරු

රළට සොඳුරු
වෙරල කොනක
හිත හිරකෙරු
ඇසට නොදුරු
විරල මලක
නුඹ හැඩකෙරු
හදට නපුරු
කදුල ඇසක
තව හිරකෙරු
හිතට අඳුරු
නොකල රැයක
නුඹ හිමිකරු....


--------------------------------------------------------------
දනාගේ කවි සංකල්පනාවක්.

26 January 2017

හෙටත් හිනහියන්

අදත් මග බැලුවා
පෙර පරිදි සැදෑවක
නුඹත් මුනගැහුන
මට අහිමි වෙලාවක
ගියත් නොකියාම
හිත කියන දිහාවක
හෙටත් හිනහියන්
මල් පිපුණු තටාකෙක.....


දනාගේ කවි සිතුවිල්ලක්.

21 January 2017

සංසර්ගයෙන් පසුව එන ආදරණීය නිදිමත

අද ලියන්න යන්නේ මට කාලෙක ඉදන් හිතේ තිබ්බ ප්‍රශ්නයක් ගැන. මම ඒ ප්‍රශ්නෙට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ.

ගොඩක් 18+ චිත්‍රපටි වල නළු නිලි දෙන්නගේ "මහ කාරිය" ඉවර උනාට පස්සේ අනිවාර්යෙන්ම දෙන්නා එකට නිදාගෙන ඉන්න දර්ශනයක් පෙන්වනවාමයි. මට තිබ්බ ප්‍රශ්නේ තමා ඇයි එහෙම දෙන්නා නිදාගෙන ඉන්නේ කියලා. ඒ දවස්වල 18+ චිත්‍රපටියක් (තනිකරම පෝර්න් නෙමේ.) බලනකොට විතරයි ඒ ප්‍රශ්නේ තිබ්බේ..

බැන්දට පස්සේ නම් ඒ ප්‍රශ්නේ තදින්ම දැනෙන්න ගත්තා. ආයේ ඉතින් අහන්ඩෙපා ඇයි ඒ කියලා.. බැඳපු එවුන් දන්නවා ඇති ඒ මොකෑ කියලා. ගොඩක් වෙලාවට "මහ කාරිය" ඉවර උනාට පස්සේ කෙටි හෝ නින්දක් යන එකට මොකක් හරි හේතුවක් ඇති.

ඒක හොයලා බලන්ඩෝන.... ඔන්න ඕකයි අද ලිපියට මාතෘකාව...

ටංට ටෑං.... !!!!!

17 January 2017

නිමක් නැති ලොවක්

දනා, පල්ලෙහා තියෙන පින්තූරේ මූනු පොතේ පළ කලායින් පස්සේ මගේ ඉල්ලීමට ඒ පින්තූරෙට කවියක් ලියන්න කිව්වා. ඒ ලියපු කවිය තමයි අද ලිපියට මාතෘකාව උනේ.

කවිය රසවිඳලා හොඳ නරක කියන්න. :)
මේ පින්තූරේ පිළිබඳව ඔබේ කවි නිර්මාණ, අදහසක් උනත් පහලින් ලියා තබන්න කිසිම තහනමක් නෑ..

14 January 2017

මැත් ටයිප්

පන්ති කරන්න ආපු මුල්ම දවස්වල මට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි ටියුට් (නිබන්ධන ) ටික හදාගන්න එක. ඒ ඒ පාඩමට අදාල ඒ ඒ නිබන්ධනය අදාල සතියේම හදලා දෙන්න එපෑ..

නිබන්ධන හදන්න ගණන් ටික පොත් වලිනුයි අන්තර්ජාලය පීරලායි හොයාගත්තා කියමු. ඔය ගණන් වල තියෙන එක එක සමීකරණ භාග සංඛ්‍යා එහෙම ටයිප් කරන්න ලොකු ගේමක් දෙන්න උනා.

කොච්චර ලස්සනට ටයිප් කලත් අදාල සමීකරණ ටික ලස්සනට එන්නේ නෑ. ලිනක්ස් වල තියෙනවා LaTeX කියලා පැකේජ් එකක්. අන්න ඒකෙන් නම් ඔය ඕනම සමීකරණයක් ලස්සනට ගහන්ඩ පුලුවන්. ඒත් ඉතින් ඒක කරදර වැඩියි.

13 January 2017

තව ටිකක් ලං වෙන්න

තව ටිකක් දුර යන්න
සුලගක්ව දැවටෙන්න
අද නැතත් හෙට එන්න
නුබ ටිකක් දැක ගන්න

තව ටිකක් නොපෙනෙන්න
ඈතටම ගෙන යන්න....
මට ටිකක් නිදියන්න
තව ටිකක් ලං වෙන්න....

ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.

12 January 2017

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය - 2 වන කොටස

ලිපියේ පලමු කොටසට මෙතැනින් යන්න.

අද කතාව එතන් සිට...

මායාකරුවන් අතර පවතින මේ කුළ භේදය හොග්වර්ට්ස් පාසල තුළද ඇතිබව හොග්වර්ට්ස් පාසල් භාරකාරීත්වය දනී. හොග්වර්ට්ස් පාසලේ මුල්ගුරුවරයා වන මහාචාර්ය ඩම්බල්ඩෝර් ද සිතන්නේ මායාවන් කිරීමේ හැකියාව මිසා ඔවුන්ගේ කුළය පාසලට අනවශ්‍ය බවයි.

ඔහු සමවිටම සිතන්නේ කුලහීන කුළවත් සියල්ලන්ම මායා පාසලේ එකට අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. ඔහු ඒ වෙනුවෙන් අරගලයක් කරයි. නමුත් මේ අරගලය ඔහුට තනිවම කළ නොහැකි බව කතුවරිය දනී.

වියපත් තැනැත්තෙක්ට ලොකු අරගලයක් තනිවම කළ නොහැකි බව කතුවරිය හොඳාකාරවම දන්නා නිසා  ඈ මේ අරගලයේ ප්‍රධානම අවිය ලෙස හැරී පොටර් ව යොදා ගනී.

තාරුණය තුළ ඇති විප්ලවීය අදහස්, විප්ලවකාරී හැසිරීම් හා නිර්භීතබව නො අඩුවම ඇති හැරී පොටර්ව මෙතැන් සිට ඈ  යොදා ගනු ලබන්නේ විප්ලවයේ නියමුවා ලෙසට ය.

නමුත් හැරී පොටර් ව මෙම විප්ලවයේ නියමුවා ලෙස යොදා ගැනීමට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ වෙන දෙයකි. ඒ හේතුව නම් මෙසේ ය.

මෙම කතා මාලාව තුළ අපිට රූපිකව දිස්වන හතුරා වොල්ඩර්මෝට් ය. නමුත් ඔහු රූපික හතුරෙක්ම පමණි. නියම හතුරා වන්නේ කුළ භේදය වේ. මන්දයත් වොල්ඩර්මෝට් ට වුවද අවශ්‍ය වන්නේ කුළහීනයින් හොග්වර්ට්ස් වලින් හා මායාකරුවන්ගේ ලෝකයෙන් අතුගා දැමිමයි.

ඔහු මායා බලයෙන් පරිපූර්ණ අයෙකි. බොහෝ දෙනා ඔහුගේ නමවත් කීමට මැලි වේ. ඒ ඔහු කෙරෙහි පවතින ප්‍රාණ හා සමාන බිය නිසා ය. නම කීමටවත් බියවන අයෙකු හා අරගල කර ඔහුව පරාජයට පත් කිරීමට නම් ඔහු කෙරෙහි වෛරයක් ඇති, අරගලය මගදී දමා නො යන අයෙක්ව මේ සදහා යෙදිය යුතු වේ.

ඔහු හා වෛරයක් හෝ පවතින අයෙකු ලෙස කතුවරිය දකින්නේ තරුණ වයසේ පසුවන හැරි පොටර් වය. !

හැරී පොටර් තුළින් මා දකින කුළ භේදයේ අරගලය

ජේ.කේ. රොව්ලින්ග් විසින් රචිත හැරි පොටර්  කතා මාලාව ඔබ කියවා හෝ චිත්‍රපටි මාලාව ඔබ විසින් නරඹා ඇතුවාට සැක නැත. ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ නොමද ආදරයට පත් හැරි පොටර් කතා මාලාවට ඔබද කැමති බව මා දන්නා කරුණකි.

මේ කතා මාලාව  මා කියවන්නේ දෙවන වරට ය. පළමුවර කියවීමෙන් මා විඳි ආකර්ෂණීය  බව රස වින්දනය,  දෙවන වතාවටත් කියවීමට මා පෙළඹූ බව කීම අතිශයෝක්තියක් නොවේ.

පළමු වරට කියැවීමෙන් මා නොදුටු අපූර්ව පැති කිහිපයක් මෙවරදී මා දුටුවෙමි. ඒ සියල්ලම එකිනෙක ඔබ හමුවට ගෙන ඒම සදහා මේ ලිපිය සිතක සංකල්පනාවට ලියා තැබීමට සිතුනි.

හැරී පොටර් කතා මාලාවෙන් ඔබ හමුවට එන මායාලෝකයේ පවුල් සියල්ල කොටස් තුනකට වෙන් වේ. එනම්,

1. පවිත්‍ර ලේ (Pure Blood) - තම පියාත් මවත් යන දෙදෙනාම මායාකාර පවුල් වලින් පැවත එන අයවලුන්

2. අර්ධ ලේ (Half Blood) - තම මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් මායාකර පවුලකින් පැවතෙන අයවලුන් ය. මායාකරුවන් නොවන අය ඔවුන් හඳුන්වන්නේ මගල්ස්වරුන් (Muggles) ලෙස ය.

3. කුණු ලේ (Mud Blood) - මවත් පියාත් යන දෙදෙනාගෙන් කිසිවෙකු මායාකාර පවුලකින් පැවත නො එන්නන්ගේ දරුවන් හැදින් වූයේ මේ නමිනි. එනම් තම මවත් පියාත් යන දෙදෙනාම මගල්ස්වරුන් වේ.

10 January 2017

හිරු තනිවෙලා

දැන් වගේ නෙමේ අපි පොඩි කාලේ ටෙලි නාට්ටියක් ගියේ රෑ අටේ ප්‍රවෘත්ති වලින් පස්සේ. අටහමාරට... මායි අපේ මලයයි ඇරුනහම අපේ අම්මයි තාත්තයි සීයලා ආච්චිලා කෑම කෑවේ අටහමාරේ නාට්ටිය බලන ගමන්.(අපි දෙන්නා නං හත වෙද්දිම කෑම කනවා.) පස්සේ පස්සේ හතහාමාරටත් නාට්ටියක් විකාශනය වෙන්ඩ ගත්තා.

ඒ වගේම තමයි ඉස්සර නාට්ටි, දැන් තියෙන මෙගා නාට්ටි වගේ නෙමේ. සතියට එක පාරයි. සම්පූර්ණම නාට්ටිය මාස 5ක් 6ක් ඇතුලත ඉවරයි. උපරිම ඕන නම් කොටස් තිහක් තියේවි.

ඒ කාලේ නාට්ටි වලින් මම ගොඩක් ආසයි හර්බට් රංජිත් පීරිස් මහත්මයාගේ නාට්ටි බලන්ඩ. මොකද ඒවෑ විහිලු කෑලි එහෙම පිරෙන්ඩ තියෙනවා.

හර්බට් රංජිත් පීරිස් මහත්මයාගේ නාට්ටි වලින් ගොඩක්ම ප්‍රසිද්ධ වෙච්ච නාට්ටියක් තමා හිරුට මුවාවෙන් කියලා කියන්නේ. ඒ නාට්ටිය, ගොඩක් කට්ටිය හැදින්නුවේ ඉඳි ආප්ප නාට්ටිය කියලා. මතක විදිහට ඒ කතාවේ අම්මා ඉඳි ආප්ප තම්බන නිසා වෙන්ඩ ඕන.

ඒ කතාවේ කමල් අද්දරාඅරච්චිගේ වැඩේම චක බ්ලාස් සෙල්ලම් කරන එක ! චක බ්ලාස් කිව්වේ ... චෙකර් බ්ලාස්ට් කියන ක්‍රීඩාවට :)

පේලේ - පුරාවෘත්තයක උපත

පේලේ කියන්නේ පොඩි කාලේ ඉදන්ම පාපන්දු ක්‍රීඩාවට බොහොම ආස කරපු දරුවෙක්. ඔහුට ඒ ආභාෂය ලැබෙන්නේ තමන්ගේ පියාගෙන්. පියාත් කලක් පාපන්දු ක්‍රිඩකයෙ වෙලා හිටියා.

1950 අවුරුද්දේ පාපන්දු ලෝක කුසලානය තරඟාවලියේදී බ්‍රසීලය, උරුගුවේ රාජ්‍යයට එරෙහිව ක්‍රීඩා කරනවා. ඒ තරඟයෙන් බ්‍රසීලය අන්ත පරාජයට ලක් වෙනවා. එදා ප්ලේ හිතාගන්නවා ඔහුත් කවදාහරි තමන්ගේ රට දිනවලා රටට කීර්තියක් ගෙනෙන ක්‍රීඩකයෙක් වෙනවයි කියලා.

විවිධ බාධක මැද්දේ ඔහු පුහුණුවීම් සිදු කරනවා. දිනක් එක් තරඟයකදී ඔහුගේ ක්‍රීඩා විලාශය දුටු පුහුණුකරුවෙක් ඔහුව නගරයේ පාපන්දු සමාජයකට යොමු කරනවා. එතනදී ඔහු තමන්ගේම ආරකින් ක්‍රීඩා කරනවා.

රන්මුදු ඇල්ල

සීතාවක තෙත්බිම් උද්‍යානය බලලා ඉවර වෙලා අපි දවාලට කෑමත් අරගෙන පාරට ආවා. ඒ රන්මුදු ඇල්ල බලන්න. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම ඉසව්ව විදිහට මම හදුන්වන්නේ අවිස්සාවේල්ල පැත්ත. කොංක්‍රීට් ගොඩනැගිලි අතර හිරවෙච්ච ජීවිත ගත කරන අපට ගහ කොළ එක්ක ස්වබාවධර්මයේ සුන්දරත්වය විඳින්න කියාපුම ලඟපාතම පිහිටි නගරය තමයි අවිස්සාවේල්ල.

වාසනාවටම වගේ උද්‍යානයෙන් එලියට එනකොටම වගේ අපිට බස් එකක් හම්බ උනා. අපි ඒකට ගොඩ වෙලා රන්මුදු ඇල්ල ගාවට යන හන්දියෙන් බැහැගත්තා.

මෙතන ඉදලා ටික දුරක් ඔය පාරේ පයින් යන්ඩෝන.

යනගමන් කියන්ඩ ඕන සීතාවක කිව්වහම මට ඊලඟට මතක් වෙන්නේ මායාදුන්නේ රජතුමාව. ඉස්සරම කෝට්ටේ හිටපු විජයබාහු රජතුමාව එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා මරලා රාජ්‍යය පැහැර ගත්තා නෙව. ඊට පස්සේ දරුවෝ තුන් දෙනාම තුන් පැත්තක පාලනය බාර ගත්තා. ඔය සිද්ධිය තමා විජයබා කොල්ලයේදි අපි ඉගෙන ගන්නේ.

මේ දරුවෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමා මායාදුන්නේ කියලා කියන්නේ. එයා තමයි සීතාවක පාලනය කලේ.

තවේකක් තමා අපේ අම්මගෙ වාසගමත් "මායාදුන්න." අපේ සීයට ඉතින් ඊට වඩා දෙයක් නෑ. උන්දැගේ වැඩේම මායාදුන්න කිය කිය වංශේ කබල් ගානවා.

උන්දෑ වෙලාවකට කියනවා "අපි මායාදුන්නේ යකෝ !" කියල.

ඒ වගේ වෙලාවකට නම් මම "ඔවු ඉතිං තාත්තව මරලා රජකම ගත්තු එවුන් නෙහ්." කියලා කියනවා.

එතකොට උන්දෑ වයින් කලා වාගේ මට බැනගෙන බැනගෙන යනවා ! මාත් උන්දැව ආයේ කේන්ති ගස්සවනව.. උන්දෑ ආයේ බනිනවා ! අනේ පවු... උන්දෑ මීට අවුරුදු තුනකට විතර උඩදි නැති උනා නෙහ්. :(

සීතාවක තෙත් බිම් උයනට ගිය ගමන

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 25 වෙනිදා අපිට අපේ කන්තෝරුවෙන් නිවාඩුවක් ලැබුනා. ඒ නිවාඩු දවසේ කොහේ හරි යමු කියලා මාත්තෙක්ක එකට වැඩ කරන අපේ සගයෝ ටික කලින් කතිකා කරගෙන තිබුනා. මේ සැරේ කතා කරගෙන තිබ්බේ කොහේ හරි ළඟ පාතකට ගිහින් එමුයි කියලා.

මුලින්ම කතා උනේ මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා. ඒ දවස්වල සෑහෙන්න වැස්ස නිසා ඒ ගමන කල් දාන්න සිද්ද උනා. ඒ වෙනුවට අපි සීතාවක පැත්තට හැරුනා.

සීතාවක කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේම කොටසක් නිසාත් එක දවසේ චාරිකාවකට සුදුසුම පළාතක් වීම නිසාත් කට්ටියම එක පයින් ගමනට කැමති උනා.

අපේ කට්ටිය කතා කරගෙන තිබුනේ සීතාවක තෙත් බිම් උද්‍යානයට ගිහින් ඒක බලලා හවස් අතේ රන්මුදු ඇල්ලෙන් නාලා එන්ඩ කියලා.

සීතාවක තෙත් බිම් ද්‍යානය 2008 අවුරුද්දේ ජන සතු කෙරුණු , ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන දාමයට අළුතින්ම එක්වුන පුරුකක් කිව්වොත් මම නිවැරදියි. මෙම උද්‍යානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද්දක්.

තවම මේ උද්‍යාණයේ පළමු අදියර විතරයි අවසන් වෙලා තියෙන්නේ. දෙවන අදියරේ වැඩ තවමත් කෙරීගෙන යනවා.

හරි... ඒවයින් කමක් නෑ..අපි චාරිකා සටහන දිහෑට හැරෙමුකෝ.... !

එදා උදේ අපේ කට්ටිය කොටුව දුම්රිය පොලට උදේ 6 වෙනකොට එන්න කතා කරගෙන තිබුනේ. මායි අපේ උන්දැයි උදේ රැයින්ම ඇහැරිලා ගෙදර ඉදන් හොරණ පාරට පයින්ම ආවා. ඒ ඇවිත් හොරණ බස් එකක නැගලා පානදුරට ඇවිත් එතනින් කොළඹට ආවා.

ඒ එනකොට පෑ කාලක් විතර පමා වෙලා තිබුනේ. කට්ටියම ඇවිත් තිබුනා.

අපේ සේරම කට්ටිය රත්නපුරේ බස් එහෙක නැගලා පුවක්පිටිය හන්දියෙන් බැහැගත්තා. පුවක්පිටිය හන්දියේ ඉදලා සීතාවක තෙත්බිම් උද්‍යානය බලන්ඩ යන්ඩ වෙනම බස් එහෙක නගින්ඩෝන.

පුවක්පිටිය හන්දියේ ඉදලා අවිස්සාවේල්ල- පාදුක්ක, අවිස්සාවේල්ල- ලබුගම, අවිස්සවේල්ල - තුම්මෝදර වගේ බස් වලින් සීතාවකට එන්ඩ පුලුවන්.

05 January 2017

ආදරණීය කතාවක්

ඉස්සර අපි කැම්පස් එකේ ඉන්නකොට මොකක් හරි අමාරු ඇසයිමන්ට් එකක් හරි අමාරු ප්‍රෝග්‍රෑම් එකක් හරි දුන්නහම ඒක උත්සහ කරලා කරලා බැරිම තැන කරන්නේ කවුරු හරි ලියපු එකක් ඉල්ලගෙන ඒක වෙනස් කරලා අපි ලිව්වා වාගේ බාර දෙන එක.

එහෙම බාර දෙන ඒවා සමහරදාට අදාල පරීක්ෂකවරයාට අහු වෙලාත් තියෙනවා. එහෙම අහු උනොත් ඒ පරීක්ෂකවරයා අපට එන්ඩ කියලා පණිවිඩයක් දැන්වීම් පුවරුවේ දානවා.

එතකොට අපි ගිහින් ඒ කෙනාව හම්බ වෙලා උන්දෑ කියව එව්වා අහගෙන ඉදලා එනවා. ආයේ ඉතින් අතටම අහු උනාට පස්සේ නෑහ් බෑහ් කියලා කියන්ඩ යෑ..

හැමදාම මේ වගේ කතා අහගන්න බැරි නිසා අපි කරන්නේ කොහොමහරි මහන්සියෙන් වැඩේ ගොඩ දාන එක. එතකොට අපේ හිතටත් සතුටුයි, පරීක්ෂකවරයාගේ බැනුම් අහන්ඩත් ඕන නෑ...

01 January 2017

සුබ නව වසරක් වේවා

ඔබ සැමට ලැබුවා වු නව වසර සාමය සතුට පිරී ඉතිරී යන සුබ නව වසරක් වේවායි පතන්නෙමි.