27 June 2011

කොන්දොස්තර මහත්තයෙක්

පහුගිය සෙනසුරාදා දවසේ කිරිබත්ගොඩ ඉදලා රාගමට යන්න ඕනකමක් තිබ්බා.කිරිබත්ගොඩ ඉදලා රාගමට යන 900/1 කියලා බස් එකක් තියෙනවා. ඒක ලංගම බස් එකක්. මේ පාරට තියෙන්නේ බස් දෙකක් විතරයි. ඒ බස් දෙකම ලංගමයෙන් දාපු ඒවා. මමත් බස් එකට ගොඩ උනා. කොහොමහරි ටික වෙලාවකින් බස් එක පිටත් උනා.

මේ බස් ගමන හරිම සුන්දරයි. ගමක් මැද්දෙන් වෙල් යායක් මැද්දෙන් හරි සුන්දරව යන ගමනක්. කොහොමහරි වෙල පහුකරලා ටික දුරක් යද්දි අපට ඈතින් පේනවා ත්‍රී වීල් එකක් ප්‍රධාන පාරෙන් විසික් වෙලා තියෙනවා.ටිකෙන් ටික ලඟට යද්දි තමයි සීන් එක හරියටම දැක්කේ. ත්‍රිවිල් එක එහෙමත් නැත්නම් වීල් එක පපඩමක් වගේ වෙලා. පාරෙන් විසික් වෙලා.

වීල් එක තිබ්බ තැනට පොඩ්ඩක් එහාට්ට වෙන්න ඒ වීල් එකේ ආපු ගෑනු කෙනා (අවුරුදු 25ක 27ක කෙල්ලෙක්) නැගිටගන්න බැරුව අඬනවා. අහල පහල කට්ටිය වට වෙලා මැජික් වගේ බලාගෙන ඉන්නවා. බලපු හැටියෙන්ම තේරුනා කෙල්ලගේ කකුල තමා ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. අච්චර වේදනාවෙන් කෑ ගහනවා උනත් කවුරුත් උනන්දු උනේ නෑ මේ කෙනාව ඉස්පිරිතාලෙට ගෙනියන්න. අපි ආපු බස් එකත් මේ ලඟම නවැත්තුවා. කොන්දොස්තර අයියා බැහැලා ගියා

"යකෝ මේ ගිනි මද්දහනේ මේ ගෑනු කෙනාව මෙතන තියාගෙන ඉන්නේ !!! ඉස්පිරිතාලෙටවත් අරගෙන යන්න උබලට ඕනකමක් නැද්ද ?" කියලා කොන්දොස්තර අයියා ඇහුවා. මුන්ගේ කටවල් වලට ස්ටේපර් කටු ගහලා වගේ එකෙක්වත් කතාවක් නෑ.

"ආ....කවුද දන්නේ නෑනේ අයියේ. ඒ හින්දා එහෙම එක්කන් යන්න බෑ...නේ. " මැදි වයසේ ගෑනු කෙනෙක් දිව රෝල් කරලා හුරතල් වෙවී කිව්වා.

කොන්දොස්තර අයියගේ කේන්තියේ රතු කට්ට පැනලා.

"ඈ බොල <ටීක්> <ටීක්>.... උබලට තේරෙන්නේ නැද්ද කවුරු උනත් මනුස්සයෙක් බව !!!!. මල්ලි, පොඩ්ඩක් අල්ලහන් මේ කෙල්ලව බස් එකට දාගන්න. අපි හරි ඉස්පිරිතාලෙට ගිහින් දාන්නම් !!!" කියලා කියනවත් එක්කම වගේ අහල පහල සෙට් එක එකතු වෙලා වාහනයකට දාලා රාගම ඉස්පිරිතාලෙට අරන් යන්න පොරොන්දු උනා.

ඇයි යකෝ ඒ ලෙඩාව මෙච්චර වෙලා තියාගෙන හිටියේ කැවුම් කන්න යෑ. පණ ඇද ඇද හිටපු කෙනෙක් නම් මෙලහකටත් පණ ගිහින්.ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැන් හරි බයයි මේ කේස් වලට අත දාන්න. මොකද ඒ අයටත් පොලිසි ගානේ යන්න වෙනවා. මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. එහෙම මිනිස්සු අතර මෙහෙම හොද අයත් ඉන්නවා කියන එක සතුටට කාරණාවක්.

කොහොමහරි ලෙඩාව අරන් යන් පොරොන්දුව ඒ මිනිස්සු දීපු හන්දා බස් එක පිටත් උනා. බස් එකේ සාමන්‍ය ගමන් කාළයට වඩා විනාඩි 15ක් විතර බස් එක ප්‍රමාද උනා. බස් එක රාගම පාරට දැම්මට පස්සේ රාගම පාර අයිනේ තිබ්බ පොලිස් මුරපොළටත් මේ අනතුර දැනුම් දීගෙනම ගියා.

ලංකාවේ පොලිසියේ හැටි දන්නවනේ. දඩ කොළයක් ලිය ලියා හිටපු එකත් පැත්තකට දාලා අනතුර සිද්ධ වෙච්ච තැනට යන්න හිටියා....ලු. ගියේ (නෑ)......ලු. පාරේ වාහන නවත්තලා දඩ ගහනවා වගේ යෑ මේ වගේ ඒවා. ඒ වගේ අනතුරු වලට යන්නම එපැයි.

22 June 2011

මගේ හිත

නවතින්නයි කියුවත් හිටිවනම
හැමතනම දුවන,
නොහඬා ඉන්නයි මා කීවත්
තොරක් නැතුවම දුකට හඬන
මතුපිටින්ම සිනහාවූවත්
මා ලඟට වී කදුලු සලන
පුදුමයි මේ
මගේ සිත
කවදාවත් සිනා නොවෙන

---------------------------------------------------------------------------------------
ප.ලි. - සගරාවක පල කිරීම සදහා ලියන ලද නිසදැසකි.

20 June 2011

පොඩි හාමුදුරුවන්ට මොකද උනේ ?

මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න හන්දා පොසොන් පෝය දවසේ පන්සල් ගියා.ඇත්තටම පන්සල් ගියා නෙමෙයි දන්සල් වැදගෙන එනකොට දුර වැඩි හන්දා ශෝට්කට් එකකට පන්සල් වත්තෙන් පැනගෙන ආවා. කැම්පස් එකේ විභාග සෙට් වෙන හන්දා අවුරුදු හතරක්ම මට වෙසක් පොසොන් එකට හරියට දන්සලකටවත් යන්න ලැබුනේ නෑ. ඒකටත් එක්ක මෙදාපාර වැන්දා.

පන්සල් වත්තට ඇතුල් වෙනකොට පේන්න තියෙන්නේ හද එලියට සුදුපාටින් බැබලෙන චෛත්‍යය රාජයා.මේ චෛත්‍ය හදන්න දැනට ඉන්න කඩිගමුවේ වජිරනන්ද අපේ නායක හාමුදුරුවෝ පුදුම සේවයක් කරලා තියෙන්නේ. අපි දන්න කියන කාලේ ඉදන්ම පන්සලට චෛත්‍යයක අඩුවක් තිබුනා. කලින් හිටපු නායක හාමුදුරුවනුත් ලොකු උත්සහයක යෙදුනා පන්සලේ මේ අඩුව පුරවන්න. නමුත් ඒ නායක හාමුදුරුවෝ අපවත් වෙච්චි නිසා ඒක කරන්න උනේ නෑ. අන්තිමේදි පන්සලට නායක හාමුදුවෝ කෙනෙකුත් නැති උනා.ඊට පස්සේ පන්සලේ හිටපු පොඩි නමක් උපසම්පදා කර්මයෙහි පිහිටවලා නායක හාමුදුවන්ගේ තනතුරට පත් කලා.කඩිගමුවේ වජිරනන්ද කියන්නේ අන්න එහෙම උපසම්පදා කරවපු පොඩි හාමුදුරුවෝ.

මේ චෛත්‍යයේ බුදු හාමුදුවන්ගේ සර්වඥ ධාතු නිදන් කරවලා තියෙනවා. රන් ආලේපිත කරපු කරඩුවක නෙලුම් මල් පෙත්තක උඩ තැන්පත් කරවලා තමයි තිබ්බේ. චෛත්‍යයේ ධාතු තැන්පත් කරන්න කලින් ඒවා මහජන ප්‍රදර්ශනයට තියලා තිබ්බා.ඉතාම කුඩා ප්‍රමාණයක් තිබ්බ හන්දා බුදු හාමුදුරුවන්ගේ කුමන ධාතුවද කියලා නම් හොයන්න බෑ. කොහොම උනත් ජීවමාන බුදුන් දකින්න පින් කරලා නැති උනත් උන්වහන්සේගේ සර්වඥ ධාතු සියැසින් දකින්න මං පින් කරලා තියෙනවා.

චෛත්‍යයේ හැදුවා වගේම උන්වහන්සේගේ අතින් කරපු අනිත් වැඩේ තමයි අලුත් බුදු මැදුරේ වැඩ නිම කරපු එක. මේ බුදු මැදුරේ අත්තිවාරම විතරක් ගොඩ නංවලා අවුරුදු 10කටත් වඩා වැඩියි. මේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් විමෙන්ම තමයි මේ බුදු මැදුරේ වැඩ ඉවර කරලා තියෙන්නේ.

අච්චර සේවයක් කරපු පොඩි හාමුදුරුවන්ට වැඩි කාළයක් පන්සලේ රැදෙන්න උනේ නෑ. පොඩි හාමුදුරුවන්ව ආදර සම්බන්ධයකට පටලවලා ඒ හාමුදුරුවන්ට ගමෙන් යන්න වැඩ සලස්වන්න ගමේ දායක සභාව කටයුතු කරලා තිබුනා. මේවා නම් මහම මහා පව් වැඩ !!!

අපි බෞද්ධයෝම අපිට අපහාස කරගන්නවා. මම් පොඩි කාලේ ඉදන්ම දන්න විදිහට මේ හාමුදුරුවෝ බොහොම සිල්වත් හාමුදුරු නමක්. ඕනම ගමක ඉන්නවනේ 'ඇම්ම' තියෙන කෙල්ලෝ. අන්න ඒ එකියක් එක්ක කතා කළා කියලා තමයි මේ පොඩි නමට මේ අපහාසය විදින්න උනේ. බෞද්ධ සාසනේ බේරගන්න ඕන නම් මේ වගේ එවුන්ව දර කෑල්ලක් කඩාගන්න උනත් පන්සල් වත්ත පැත්තට එන්න දෙන්න හොද නෑ.

16 June 2011

නැන්දා ගැන උපන් තරහින් ලියමි.

මට මේ කතාව ලියන්න හිතුනේ මෑතකදි සිදුවෙච්ච සිදුවීමක් මුල් කරගෙනයි. ඒ සිදුවීමේදි නැන්දා ක්‍රියා කරපු ආකාරය අම්මා කෙනෙක් විදිහට කොහෙත්ම අනුමත කරන්න නම් බෑ. මම මේ සිදුවීම බ්ලොග් ලිපියක ලියන්නේ ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. වැඩි කතා ඕනැන්නේ නෑ. කෙලින්ම මාතෘකාවට එමු.

දැනට සති දෙක තුනකට උඩදි නැන්දගේ පොඩි දූ අසනීප උනා. ඒ නංගිට උන හැදුනා. ඒත් එක්කම බඩේ අමාරුවකුත් හැදිලා කෑම ටිකක්වත් කන්න බැරි තරමට ලෙඩ උනා.කන කෑම ටික උනත් වමනේ දානවා. ඒ නිසාම මේ උන හින්දා ඒ නගා ගේ ඇග ගොඩක්ම දුර්වල උනා. අපේ නැන්දා කළේ දවස් දෙකක් විතර ගෙදර තිබ්බ පැනඩෝල් පිරිටන් එහෙම දීලා තුන් වෙනි දවසේ පුද්ගලික ඩිස්පැන්සරියකින් බේත් අරන් දුන්නා.

බේත් ගන්න ගියාට පස්සේ ලේ පරික්ෂාවක් කරන්න ඕනේ කියලා ඒ දොස්තර තීරණය කළා. ඊට පස්සේ අපේ නැන්දා පුද්ගලික රසායනාගාරයකින් ලේ පරික්ශා කරවලා අදාල වාර්ථාව ඒ දොස්තරට දුන්නා. ලේ වල කිසිම වරදක් නෑ කියලා කිව්ව නිසා දොස්තර දුන්න බේත් ටික දිදී ගෙදර තියාගෙන හිටියා.

කොහොමහරි දවස් පහක් යද්දිත් උන අඩු නෑ. නංගි බලාගෙන ඉන්නද්දි කෙට්ටු වෙනවා.ඇඟේ තැනින් තැන ලපත් තිබුනා. මම නැන්දට කිවා දවස් තුනකට වඩා උන තියෙනවනම් ඉස්ප්‍රිතාලේ නවත්වන්න ඕනේ කියලා. එතකොට නැන්දා කිව්වේ "මෙහෙම බේත් කරනවා. තව දවස් දෙකකින් විතර අඩු වෙයි. අනික මේ දවස්වල රාගම ඉස්පිරිතාලේ ඇඳනුත් නෑ." කියලා. නැන්දා මෙහෙම කිව්වට මට හිතුනේ කඩේ වහලා දාන්න වෙන හින්දා තමයි මෙහෙම කිව්වේ කියලා. හයවෙනි දවස වෙද්දිත් අඩු නැති හන්දා ආයෙම පුද්ගලික තැනකින් ලේ පරික්ශා කෙරෙව්වා. ඒ දොස්තරම කිව්වේ ලේ වල කිසිම වරදක් නෑ කියලා.

මේ වෙද්දි ඒ දොස්තර ඉස්පිරිතාලේ එක්කන් යන්න කියලවත් කියලා නෑ. මමත් නැන්දට කියලා කියලා බැරිම තැන ගෙදර අයත් කිව්වා රාගම අරන් යන් කියලා. ඒත් නැන්දා කැමති උනේ නෑ. අන්තිමට ගෙදර කට්ටිය මේ ළමයව ඉස්පිරිතාලේ අරන් යන්න ලෑස්ති වෙද්දි තමයි නැන්දා උනත් කැමති උනේ. ගිය ගමන්ම ඉස්පිරිතාලේ නැවත්තුවා. දොස්තරවරු වටවෙලා පරික්ෂා කලාට පස්සේ ඩෙංගු උන කියලා අදුනගත්තා. ඒ වෙද්දි ඩෙංගු උන, රක්තපාත තත්ත්වයට හැරිලා තිබ්බේ.

දොස්තරවරු කිව්වේ තව දවසක් පමා උනා නම් ජීවිතය ගැන අදහස අතෑරගන්න වෙනවා කියලා. එතකොට තමයි නැන්දගේ ඇස් ඇරුනේ. මනුස්සයෙක්ට යමක් පිලිගන්න මෙච්චර ලොකු දෙයක් වෙන්නම ඕනද ? අනික අම්මා කෙනෙක් උනාම තමන්ගේ ළමයා ගැන හොයන්නේ මෙහෙමද ? තමන්ගේ ළමයට මොනාහරි උනාම උපයපු දේවල් වලින් වැඩක් තියේ ද ? අපිට මෙහෙම හිතුනට ඇයි අපේ නැන්දට මෙහෙම හිතුනේ නැත්තේ කියන එක තාම මට ප්‍රශ්ණයක්.

දෙයියනේ කියලා ඒ නංගිට සුව උනා.ඊයේ නංගිව ගෙදර ගෙනල්ලා තියෙන්නේ. දැන් නම් නැන්දා කියන්නේ පොඩි ලෙඩක් තිබ්බත් ඉස්පිරිතාලේ අරන් යනවා කියලා. නමුත් කතාවට කියනවනේ ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ දවස් 14යි කියලා. ඒ නිසා අපට පස්සෙන් ඉදන් ආයෙම මොනාහරි උනාම මේ සිද්ධිය මතක් කරන්න වෙයිද මන්දා ......

-----------------------------------------------------
ප.ලි. - මේ දවස්වල ඩෙංගු උන පැතිරෙන හන්දා දවස් දෙකකට වඩා උන තියෙනවනම් ලගම තියෙන රෝහලකින් බෙහෙත් ගන්න. ඒත් එක්කම ගෙවත්ත පිරිසිදුව තියාගන්නත් අමතක කරන්න එපා.
මට්ටකුණ්ඩලි කතාවස්තුව කියවන්න මෙතන ක්ලික් කරන්න

ප.ප.ලි- අපේ මාමා යකා ය. ඕකා අපි කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැත. මාමා, නැන්දාට වඩා අන්තය. මේ හැමදේම නැන්දාට කිව්වේ ඒ නිසා ය. මේ සිද්ධිය වෙද්දි මාමා ත්‍රිකුණාමලේ ගොසින්ය....

14 June 2011

එක එක පලාත් වල අවසන් චාරිත්‍ර

අවසන් චාරිත්‍ර ඒ කියන්නේ කෙනෙක් මලාම ඒ පුද්ගලයාට අවසන් ගෞරවය දක්වන විදිහ පලාතෙන් පලාතට වෙනස් වෙනවා. හැමදේම නෙමෙයි සමහර දේවල් ටිකක්. අන්න ඒ දේවල් ටිකක් ලියන්න කියලා පොඩි අදහසක් ඇති උනා. හැම පලාතකම වගේ එහෙම චාරිත්‍ර දන්නේ නෑ.

සාමාන්‍යයෙන් බෞද්ධ අය මිනියක් භූමදාන කරනවට වඩා කෙරෙන්නේ සොහොන් කරන එක. එහෙමත් නැත්නම් සොහොනකට දාලා ගිනි අවුලවන එක. මම දෙවනි වසරේ ඉන්නැද්දි රුවන්වැල්ල පැත්තේ යාලුවෙක් ගේ අම්මාගේ මලගමට ගියා.යාලුවාගේ අම්මාගේ මිනියත් සොහොන් කලා. මිනිය සොහොනකට දාලා එකවරම ගිනි අවුලවන්නේ නෑ. බෑනලා දෙන්නෙක් ලොකු මන්න දෙකක් (පිහි දෙකක්) අරගෙන සොහොන වටේ කරකැවෙනවා. එහෙම කැරකෙද්දි ගමේ වැඩිහිටියෙක් "කාගෙද මේ දෙනේ කොටන්නේ ?" කියලා අහනවා.

ඊට පස්සේ බෑනලා දෙන්නා "නැන්දම්මාගේ දෙනේ කොටන්නේ " කියලා කියනවා. ඔහොම කිව්වට පස්සේ අර මන්නෙන් සොහොන් කොතේ කණුවකට කොටනවා.මෙහෙම දෙතුන් පාරක් කියලා දෙතුන් පාරක් සොහොන් කොතේ කනුවට මන්නෙන් කෙටුවට පස්සේ තමා පන්දම අරන් වට තුනක් යන්නේ.ඊට පස්සේ තමා සොහොන අවුලුවන්නේ.

ගොඩක් පලාත් වලට එහෙම සොහොනට ගිනි ඇවුලුවාට පස්සේ රෑ සොහොන මුර කරන්න ඕනේ. මොකද සමහරු භූමි පාලු ඇති කරන්න මිනි අලු පාවිච්චි කරනවා. ඒ නිසා සොහොනේ අලු ටික ගන්න වෙලාව එනකන්ම මුර කරනවා.ඒකට පොඩි ඈයෝ ගන්නේ නෑ. වැඩිහිටියෝ උනත් ඔත්තේ ගානක් ඉන්නෙත් නෑ.

අපේ සීයලාගේ කාලේ මිනියක් සොහොනට අරන් යද්දි සතයේ දෙකේ කාසි යන මගට විසි කරනවා. ඒ කාලේ සමහර කොල්ලෝ බලාගෙන ඉන්නවලු මිනිය සොහොනට අරන් යනකන්. මොකද අර සතේ දෙකේ ඒවා ටික එකතු කර ගන්න පුලුවන් නේ. ඒ කාලේ සතේ දෙකේ ඒවා ගොඩක්ම වටිනවා ලු. අපේ අප්පච්චිලාගේ කාලේ එහෙම සල්ලි විසි කලේ නෑ ලු. පොරි වගේ දේවල් ලු දම්මේ.

දැන් නම් එහෙම නෑ.දැන් මිනිය සොහොනට අරන් යද්දි වැලි කූඩ තුන හතරක් විතර අරගෙන ගිහින් යන මග හලනවා. ඒ කරන්නේ මිනිය අරන් යද්දි මිනිය ගෙනියන අයට පහසු වෙන්න ලු.ඕක අපේ ගමේ බොරලු පාරට ගැලපුනාට හන්දියේ කාපට් පාරට නම් ගැලපෙන්නේ නෑ.කාපට් පාරට වැලි ඉහපුවාම හදිස්සියකට වාහනයක් එකපාරට නවත්ත ගන්න බෑ. බ්‍රේක් අහන්නේ නෑ. ඊට පස්සේ මලගම වෙන්නේ වාහන වල යන එවුන්ගේ.

කුරුනෑගල පැත්තේ මල ගෙදරක මිනිය කනත්තේ වලදාලා මිනි වල වටේට වතුර කළ තුනක් ඉහලා මඩ කරනවා.ඒ කරන්නේ මැරිච්ච කෙනාගේ හොල්මන ආයෙම එන එක වලක්වන්න ලු.පැරැන්නන්ගේ විස්වාසනේ ඒ හින්දා අහක දාන්නත් බෑ.

එකපාරක් පුත්තලම් පැත්තේ මල ගෙදරකට ගියාම මිනිය ගෙයින් එලියට ගත්ත හැටියේ එකෙක් කනේ වැලි ගෑවෙන ගානට පුට් සයිකලේකින් වල කපන තැනට යනවා.අරූ ආවට පස්සේ තමා එතන ඉන්න සෙට් එක, මිනි වල කපන්න පටන් ගන්නේ. එහෙම කරන්නේ කලින්ම වල කපලා තිබ්බම වැලි වැටිලා වල වැහෙන හින්දා ලු. ඒක නම් චාරිත්‍රයක් නෙමේ. ප්‍රදේශය හැටියට කරන දෙයක්.

කතෝලික අයගේ මලගමකදී මිනිය ගෙනෙන්නේ පල්ලියේ කනත්තට.එහෙම අරගෙන එද්දි මිනියට ඉස්සරහින් කුරුස ඒ වගේම ඉටිපන්දම් අරගෙන කට්ටියක් යනවා. ඊට පස්සේ සීනුවක් නාද කරගෙන යන කෙනෙක් යනවා. මිනියක් කනත්තට අරගෙන යනවා කියන එක අවට අයට දැනුම් දෙන්නලු එහෙම කරන්නේ. ඔය සීනූ, කුරුස එහෙම පල්ලියෙන් ලැබෙනවා. ඒවා අරන් යන්න මලගෙදර කෙනෙක් පල්ලියට එනවා. මටත් එකම එක පාරක් පල්ලියට එන්න සිද්ධ උනා ඔය කුරුස ටික අරගෙන එන්න. මම පොඩි එකා හන්දා සීනුව තමා ගත්තේ. පල්ලියේ ඉදලා එන මග සීනුව ගගහා ඇවිත් අහල පහල එවුන් මට ' හුප් පද ' කියලා බැනලා තිබුනා.

පස්සේ අපේ අම්මගෙන් ඇහුවා මිනිස්සු එහෙම බැනලා තිබ්බේ ඇයි කියලා.එහෙම පල්ලියේ ඉදන් සීනු ගගහා ආවම භූතයෝ ප්‍රේතයෝ ඒ සීනු හඩට වැටිලා ඒ පස්සෙන් එනවලු. ඒක නිසාලු එහෙම සීනූ ගහන්නේ නැත්තේ. මිනිය ගෙදරින් අරගෙන යද්දි සීනුව ගැහුවට කමක් නෑ ලු. එතකොට භූතයෝ ටික කනත්තටනේ යන්නේ.

අපේ පැත්තෙ තරුණ කෙනෙක් (කසාද බැදපු නැති) නැති උනාම එයාව මනමාලයෙක්ට වගේ අන්දවනවා. එයාගේ මිනිය ගෙනියද්දි රතිඤ්ඤා හිටන් පත්තු කරනවා. ළමේක් ලබෙන්න ඉන්න ගෑනු කෙනෙක් මලොත් කළලය වෙනමත් ගෑනු කෙනාව වෙනමත් වලදානවා. එහෙම කරන හේතුව මම එක ලිපියක ස්වප්නා අක්කාට කමෙන්ට් එකක් විදිහට දැම්මා.කැමති නම් මෙතන ක්ලික් කරලා ඒක කියවන්න.

ඔය වගේ ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

-----------------------------------------------------------
ප.ලි. - යාන්තන් කතෝලික කෙනෙක්ගේ මිනියක් කනත්තට අරගෙන යන පින්තූරයක් ලැබුනා. මේ පින්තූරේ ඉස්සරහින්ම යන්නේ මම කිව්ව කුරුස අරගෙන යන අය. ඒ අය අරගෙන යන කණුවල තියෙන්නේ කුරුස. සමහර ඒවා වල ඉටිපන්දම් හයි කරලත් තියෙනවා.

13 June 2011

ආදරයයි ආගමයි

පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයෙක්ට, ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයෙක් ට ආදර කරන්න යද්දි මුලින්ම හිත යන්නේ ඒ ගෑනු ළමයාගේ හෝ පිරිමි ළමයාගේ ලස්සන කඩවසම් බවට එහෙමත් නැත්නම් කතා කරන හිනාවෙන විදිහට.ඒක සාධාරණයි. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නේ. ඊට පස්සේ තමයි යාලු උනාට පස්සේ තමයි හිතන පතන විදිහට ඒ අදාල කෙනාගේ අදහස් වලට ආස කරන්නේ. මම දන්න විදිහට කවදාවත්ම යාලු වෙන්න කලින් ආගම මොකද්ද ඔයාගේ ජාතිය මොකද්ද කියලා අහන්නේ නෑ.

මට මෙහෙම කියන්න හිතුනේ. කාලයකට උඩදී අපේ අල්ලපු ගෙදර පදිංචියට ආපූ දෙන්නෙක් හින්දා. මේ දෙන්නාගෙන් ගෑනු කෙනා බෞද්ධ. පිරිමි කෙනා මුස්ලිම්. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවට පිරිමි කෙනාගේ ගෙදරින් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මොකද දෙන්නා ආගම් දෙකක නිසා. මේ හින්දා මේ අය තීරණය කරලා තියෙනවා ගෙදරින් පැනලා ගිහින් කසාද බැදලා ජීවත් වෙන්න.

කොහොමහරි මේ අය පැනලා ගිහින් කසාද බැදලා කුලියට ගෙයක් අරන් පදිංචියට ගිහින් තියෙනවා. නමුත් මේ අය පදිංචි උනේ කොහේද කියලා පිරිමි කෙනාගේ දෙමව්පියන්ට කියලා නෑ. මොකද ඒ අය ඇවිත් ගෑනු කෙනාට කරදර කරයි කියලා. අපි දන්න විදිහට දෙන්නා ගොඩක් සතුටින් හිටියා. කවදාවත් බැනගන්නේ ගහමරා ගත්තේ නෑ. ගමනක් බිමනක් උනත් යද්දි හරි සතුටින් කුරුල්ලයි කිරිල්ලියි වගේ තමා යනේ. බලන් ඉන්නත් සන්තෝෂයි.

මේ අයගේ සතුට වැඩි කාලයක් රැදුනේ නෑ. කොල්ලගේ ගෙදර අයට, මේ අය ඉන්න තැන ආරංචි උනා.කොල්ලගේ නෑදෑයෝ සේරම වගේ ඇවිත් මේ කෙල්ලට බනින්න ගත්තා. කෙල්ලට නොසෑහෙන්න ගැහුවා.

"තොට මෙච්චර සිංහල එවුන් ඉන්නැද්දි මුස්ලිම් එකක්ම ඕනේ උනාද !!!"

වගේ ඒවා කිය කියා හොදටම බැනලා කොල්ලව ගෙදර අරන් ගියා. කෙල්ල තනි උනා. ඊට පස්සේ කෙල්ල තමන්ගේ ගෙදර යන්න ඇති. එතනින් එහාට නම් මොනාද උනේ කියලා දන්නේ නෑ.

ඇයි මිනිස්සු මෙච්චර දරුණු. ආගමක් තියෙන්න ඕන මිනිස්සුන්ව යහමගට ගන්න මිසක් සතුටින් ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න නෙමෙයි. බොරුවට ආගම ජාතිය ඇගේ එල්ලගෙන කෑගහන්නේ නැතුව ඒ අයට ජීවිතේ ගොඩ නගා ගන්න දුන්නා නම් ඉවරයි නේ.

සමහර කතෝලික අය බෞද්ධ අයව කසාද බදිනවා. බෞද්ධ අයත් ඒ වගේ පිට ආගම් වල අයව කසාද බදිනවා. මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. දෙන්නගේ අදහස්
ගැලපෙනවනම් දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න පුලුවන් නම් එච්චරයි නේ. ඔය ජාති ආගම් කුල මල අපි එද්දි අරගෙන් ආවෙත් නෑ. යද්දි ගෙනියන්නේත් නෑ. ඉන්නකන් මොකද මේ වගේ දේවල් වලට නහින්න හදන්නේ.

පුද්ගලිකව මම නම් ආසයි ජාති දෙකක ආගම් දෙකක අය කසාද බදිනවට. එතකොට නොදන්න ආගම් ගැන දැනගන්නත් පුලුවන්. අනිත් ආගම් වලට ගරු කරන්නත් ඒ අයගේ ආගමික උත්සව වලට සහභාගි වෙන්නත් පුලුවන්.

08 June 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ශණ ප්‍රශ්න (IQ)

මේ දවස්වල ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ කොළඹ කොහේ හරි තියෙන කම්පනි එකක. ඒ තරමටම මේ දවස්වල මට ඉන්ටර්විව් තියෙනවා. ගොඩක්ම ඉන්ටර්විව් වලට ගියාට තාම එකක්වත් හරි ගියේ නම් නෑ. ගොඩක් තැන්වල ඉන්ටර්විව් වලට ගියාම ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න දෙනවා. එහෙම දෙන ප්‍රශ්න පත්තර වල ඉගෙන ගත්ත දේවල් වලට අමතරව බුද්ධි පරීක්ෂණ (IQ) ප්‍රශ්නත් තියෙනවා.

මුලින්ම ඔහොම ප්‍රශ්නයක් මට අහන්න ලැබුනේ ට්‍රේනින් එකක් හදා ගන්න ඉන්ටර්විව් ගියපු දවස්වල.ඒක දොඩම් ගැන ප්‍රශ්නයක්.ඒක ලියන්න තිබ්බ එකක් නෙමේ. කෙලින්ම උත්තර දෙන්නයි තිබ්බේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් හොද හැටියටම නා ගත්තා. කැමති කට්ටිය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා ඒ ප්‍රශ්නය කියවන්න.

ඔහොම මගේ යාලුවෙක්ටත් ඔය වගේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒක බැක්ටීරියා ප්‍රශ්නයක්. මේකයි ප්‍රශ්නය. එක දීසියක බැක්ටීරියාවක් තියෙනවා. ඒ බැක්ටීරියාව දීසියෙන් ගන්න වර්ගඵලය හැම දවසකම දෙගුන වෙනවාලු.ඒ කියන්නේ අද සෙන්ටිමීටර් එකක වර්ගඵලයක් තියෙන බැක්ටීරියාවක් තිබ්බොත් හෙට බලද්දි ඒක සෙන්ටිමීටර් දෙකක් වෙලා.මේ බැක්ටීරියවෙන් මුලු දීසියම වැහෙන්න දවස් තිහක් ගත වෙනවලු. දිසියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගත වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. දන්න කට්ටිය ඉන්නවනම් උත්තරේ පහලින් කමෙන්ට් කරන්න.

ලගදි මට ප්‍රශ්නයක් හම්බ උනා ඒක නම් ඒ ප්‍රශ්නේ හදපු එකාගේ පුද්ගලික ප්‍රශ්නයක්.

මේකයි ප්‍රශ්නේ.
එක්තරා රටක ගෑනු කෙනෙක් බැදලා ළමයි හදනවලු. පුතෙක් ලැබුනොත් ආයේ ළමයි හදන්නේ නැති ලු. බැරි වෙලාවකවත් දුවෙක් ලැබුනොත් ආයෙම ළමයෙක් හදනවලු. දෙවෙනි එකා කොල්ලෙක් (පුතෙක්) උනොත් ආයේ ළමයි හදන්නේ නැහැල්ලු. බැරිවෙලාවත් ඒකා කෙල්ලෙක් (දුවෙක්) උනොත් ආයේ ළමයෙක් හදනවලු. ඔහොම කොල්ලෙක් (පුතෙක්)ලැබෙනකන් ළමයි හදනවලු. ඒ ගෑනු කෙනාගේ දුවලාට පුතාලගේ අනුපාතය තමයි අහලා තිබ්බේ.

මට නම් ඒකට උත්තර දෙන්න බැරි උනා. දත්ත ප්‍රමාණවත් නෑ. අඩුමගානේ ගෑනු කෙනාගේ වයසවත් තිබ්බා නම් උත්තර දෙන්න තිබ්බා. මේකේ උත්තරේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඒක ලොකු පිනක්.

මගේ යාලුවෙක්ට හම්බ වෙච්චි ප්‍රශ්න තුනක් මම ඒ දවස්වල පෝස්ට් වල දැම්මා.

(1.) ගණිත ගැටලුවක් !!!! - 1වන කොටස
(2.) ගණිත ගැටලුවක් !!!! - 2වන කොටස
(3.) ගණිත ගැටලුවක් !!!! - 3වන කොටස

07 June 2011

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.

මේ දවස්වල නිතරම වගේ කොළඹ යන්න වෙනවා. හිටපු ගමන් ඉන්ටර්විව් වලට එන්න කියනවා.මාත් පාඩම් කරගෙන යනවා. ගියාම අහපු නැති අලුත් දෙයක් ඉගෙන ගෙන එනවා. ආයෙම ඊලග ඉන්ටර්විව් එකට ලෑස්ති වෙනවා. කලින් එකේ බැරි උන දේවල් පාඩම් කරන් යනවා. ඒකෙදිත් අහපු නැති එකක් අහගෙන එනවා. ඒකත් පාඩම් කරගෙන ආයෙම යනවා.

වෙලාවකට එපාම වෙන වැඩක් තමයි මේ ඉන්ටර්විව් කෙරිල්ල. අපේ අම්මා කියන්නේ ඉස්සර නම් ඔහොම ඉන්ටර්විව් නෑ ලු. දැන් නම් එහෙම නෑ.විභාගයකුත් තියලා ඒක පාස් උනාම තමා ඉන්ටර්විව් එකට එන්න කියලා කියන්නේ. ඒක ගොඩ දාගත්තම HR කියලා ඉන්ටර්විව් එකකට මුහුන දෙන්න ඕනේ. ඒකත් පාස් උනාමයි ජොබ් එක හම්බ වෙන්නේ. වැඩ කෝටියයි.

ලගදි ගියා කොල්ලුපිටියේ කම්පැනි එකක ඉන්ටර්විව් එකකට. ගිහින් එන ගමන් පානදුරේ බස් එකක එල්ලුනා කොටුවට එන්න. වැඩිය සෙනගත් හිටියේ නෑ.බස් එකට නැගපු ගමන් හම්බවෙච්චි පලමුවෙනිම සීට් එකේ වාඩි උනා. මගේ වාසනාව තමා. එහා පැත්තේ ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා.

මමත් ටිකක් ඇගපතින් තරබාරුයි හින්දා සීට් එකේ වැඩි කොටසක මම වාඩි වෙලා හිටියේ.කෙල්ල හින්නිකිතර සීට් කෑල්ලක් වාඩි වෙලා හිටියෙ. හිරවෙලා වගේ හිටපු හන්දා දෙන්නම් හරිම අමාරුවෙන් වගේ තමයි හිටියේ. මටත් මේ ගෑනු ළමයත් එක්ක කතා කරන්න ආසාවක් ආවා. නමුත් ටිකක් විතර බයයි කෙල්ල මං ගැන වැරදියට හිතයි කියලා

කොහොමහරි බස් එක කොටුවට ආවා. කට්ටිය කොටුව ස්ටේශන් එක හරියෙන් බැහැගත්තා. ඉතුරු ටිකදෙනා බෝ ගහ හන්දියෙන් බැහැගත්තා. දැන් බස් එකේ මමයි ඒ ගෑනු ළමයයි විතරයි. මමත් සීට් එකෙන් නැගිටලා බස් එකේ දොර ලගට ආවා. ඒත් එක්කම් ගෑනු ළමයත් නැගිටලා ආවා. මාත් එක්ක හිනා උනා. මාත් ටිකක් විතර හිනා උනා. දැන් නම් කතා කරනවාමයි කියලා හිතාගෙන ඉන්නැද්දි එකපාරටම දැක්කා කෙල්ලගේ අතේ ෆෝන් එක තියාගෙනම ඉන්නවා.

ඒත් එක්කම මතක් උනා ගෝල්ඩ් ෆිශ් දාපු බ්ලොග් පෝස්ට් එකක තියෙනවා හිත ගිය ඇත්ති ගොඩ ගිහින්ද නැද්ද කියලා හොයාගන්න ක්‍රම ටික. ඒකේ මෙහෙම එකක් තිබ්බා

ඔයාලගේ චිත්තස්කන්ධය පැහැරගත් කෙල්ල බස් එකේදී බහින්න කිට්ටුවෙලා ෆෝන් එක අදිනව නම් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඒ සමහරවිට තමන්ව එක්ක ගෙන යන්න එන්න කියලා බැඳපු මයිනට හරි.....
(උපුටා ගැනීම ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් අඩවියෙන්)


ඒ නිසා වැඩිය එලවන්න ගියෙ නෑ. ඒත් මේ කෙල්ලත් ගේම අත අරින්නෙම නෑ. ආයෙම වතාවක් මගේ දිහා බලලා හිනා උනා. මේ වෙද්දි බස් එක ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා.කෙල්ලට බහින්න ඉඩ දීලා මම ඊලගට බස් එකෙන් බැහැ ගත්තා. බැහලා යද්දිත් කෙල්ල තව පාරක් මගේ දිහා බැලුවා.

මාත් ටිකක් පස්සෙන් වැටිලා වගේ ගියා. කෙල්ල ආයෙම "මෝඩයෙක් !!!" කියන හැගීමකින් බලලා බස් එකක නැගලා යන්න ගියා. මමත් එතන රැදෙන්නේ නැතුව ආවා. ඊට පස්සේ මේ කතාව මගේ යාලුවෙක්ට කිව්වා.

යාලුවා කිව්වේ මෙහෙම දෙයක්.

"උබ නම් මෝඩයෙක් තමා. නැත්නම් ඔච්චර බලලා අඩු ගානේ ෆෝන් නම්බර් එකවත් දීලා එන්න තිබ්බා උබට"

--------------------------------------
ප.ලි. - ගෝල්ඩ් ෆිෂ් ගේ තියරි හැමතැනටම අදාල නෑ කියලා මට හිතුනා. ඒ නිසා ඒ තියරි පාවිච්චි කරනවනම් පොඩ්ඩක් පරිස්සමින් පාවිච්චි කරන්න.
ගෝල්ඩ් ෆිෂ්ගේ තියරි බ්ලොග් ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.
(උපුටා ගැනීමට අවසර දීම පිලිබදව ගෝල්ඩ් ෆිෂ් ට මගේ ස්තුතිය.)

06 June 2011

නොනිමි බලාපොරොත්තුව

"අද ගියේ වැඩේට මොකද පුතේ උනේ ?"

"විභාගයක් තිබ්බා. ඊට පස්සේ තමා ඉන්ටර්විව් එක තිබ්බේ. වෙනදා වගේම පසුව දන්වන්නම් කියලා කිව්වා"

"කොහොමද විභාගේ ලේසිද ? මේකවත් හරියන පාටක් තියෙනවද ?"

"විභාගේ නම් වරදක් නෑ. ඒත්.... ඉන්ටර්විව් එක තමයි ප්‍රශ්නේ. හැමදාම වගේ මෙදාපාරත් අහපු නැති ප්‍රශ්න ගොඩාක් ඇහුවා."

"ඉතින් උත්තර දී ගන්න බැරි උනාද ?"

"ම්... ඔව්. සමහර ඒවා අහලවත් තිබුනේ නෑ. මේ වැඩේ එපා වෙනවා අම්මේ. හැමදාම කොළඹ යනවා විතරයි. කිසිම වැඩක් වෙන්නේ නෑ."


"ඔහොම තමයි. ගනන් ගන්න එපා. මොකක්හරි, හරි යයි."

"බලමුකෝ.... "

ඉගෙන ගන්න එක අමාරු වැඩක් කියලා හිතුනට අමාරුම වැඩේ තමයි රස්සාවක් හොයන එක.සමහර තැන් වල අවුරුදු දෙක තුනක පලපුරුද්ද ඉල්ලනවා. ඒවා කොහෙන් හොයන්නද තාම රස්සාවක් නැති කොට. වෙලාවකට හිතෙනවා බයෝ කලා නම් ඉවරයි කියලා. එතකොට රස්සාව ඉන්සුවරන්ස් කලා වගේ. අවුට් වෙද්දි රස්සාවකුත් දෙනවා.

"මොනා ද ලොකු පුතේ කල්පනා කරන්නේ ???"

"නෑ මම කල්පනා කළේ එක අතකට දැන්ම රස්සාවක් නැති එකත් හොදා."

"ඒ මොකෝ..."

"නැත්නම් රස්සාවක් තිබ්බා නම් අම්මා මට බදින්න කියලා බල කරනවනේ. මෙහෙම නිදහස්."

"ලොකු පුතේ.... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉදින්. බැන්දා කියලා නිදහස නැති වෙනවා යෑ."

පසුව......

"අම්මේ මෙන්න තව ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා ඊ මේල් එකක් ආවා මේ දැන්....."
-----------------------------------------------------
ප.ලි. - හුග දවසකින් දෙබසක් ලිව්වේ නැති හින්දා ලියන්න හිතුනේ. සල්ලි මත ජීවිතයක් ගොඩ නැගීම කියලා ලිව්ව දෙබස වගේ නම් ලස්සන නැතුව ඇති.

04 June 2011

අම්මා නිසා පුතා මාට්ටු

චිත්‍රා ඇන්ටිලෑ පවුල කියලා කියන්නේ අපේ ගමේ ඉන්න දුප්පත්කමේ අන්තයට වැටිලා ඒ අන්තයෙන්ම ගොඩ එන්න දගලන පවුලක්.ඒයැයිලෑ පවුලේ පස්දෙනයි. අම්මයි (චිත්‍රා ඇන්ටි), තාත්තයි, පුතාලා දෙන්නයි, එකම එක දුවයි. ඒ අංකල්ගේ රස්සාව තමයි පිටකොටුවේ මැනිං මාර්කට් එකේ එලවලු විකුනන එක. එයාලගේ දුවත් සාමාන්‍ය පෙළ කරපු දා ඉදන්ම රස්සාවක් කරනවා.ලොකු පුතාත් කාලයක් රස්සාවක් කලා දැන් නම් ඒකෙනුත් අයින් වෙලා ඉන්නේ.පොඩි එකා තාම ඉස්කෝලේ යනවා.

මේ අයට ජීවත් වෙන්න එයාලටම කියලා ඉඩමක් නෑ. කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ගෙනියන අධි බලැති විදුලි කණුවකට වෙන් කරලා තිබ්බ බිම් කඩක පොඩියට ගෙයක් අටවගෙන තමයි ජීවත් වෙන්නේ. නැතිබැරි කමට එහෙම ඉන්න හන්දා ගමේ මිනිස්සුවත් විදුලිබල මණ්ඩලයෙ අයවත් මේ අයට වචනයක්වත් කියන්නේ නෑ.එතනින් යන්න කියලා කියලත් නෑ. නමුත් මේ අය ඉන්නේ ලොකු අවදානමක බව නම් කියලා තියෙනවා.


එහෙම ජීවත් වෙන මේ පවුලේ ලොකු එකා ටිකක් නාහෙට අහන්නේ නැති එකෙක්. කොටින්ම යාලුවොත් එක්ක එකතු වෙලා ගංජා ගහන, සූදු කෙලින ගෙදරටත් රටටත් බරක් වෙවී ජීවත් වෙන එකෙක්.ඔය මොන කුප්ප වැඩේ කලත් තමන්ගේ අම්මා මේකාට දොසක් කියන්නේ නෑ.කොටින්ම මේකා කඩේට ගිහින් සිගරට් ණයට ඉල්ලලා ඒක දුන්නේ නෑ කියලා කඩේ මුදලාලි කාරයාටත් ගහලා ආපු එකෙක්.

කොහොමහරි මේ අණ්ඩපාලයා දවසක් ගෙදර ඉන්නැද්දි එහා පැත්තේ වත්තට පැනලා. ඒ ගෙදර අල්මාරිය ඇරලා තිබ්බ දේවල් හොරකම් කරගෙන යන්න හදලා. ඒක ඒ ගෙදර හිටපු වයසක් උන්දෑ දැකලා. නමුත් ඒ ගෑනු කෙනා ගොඩක් වයස නිසා කෙනා කවුද කියලා අදුනගෙන නෑ.මේ හොරාව දැකපු ගමන් යටිගිරියෙන් කෑ ගහලා. ඒ ගෑනු කෙනා කෑ ගහපු පාර අරූ ඒ ගෑනු කෙනාවත් තල්ලු කරලා දාලා දුවලා ගිහින් ගෙදර හංගිලා. කොහොමහරි මූ කලබලේට දුවපු නිසා සෙරෙප්පු දෙක අර ගේ මිදුලේ දාලා ගිහින්.

ඒ ගෑනු කෙනාගේ කෑගැහිල්ලට ගමේ එවුන් ඒ ගෙදෙට්ට එකතු වෙලා.කට්ටිය හොරා කවුරු වෙන්න පුලුවන්ද කිය කිය කතා වෙනවලු. ඒත් එක්කම හොරාට බැරි වෙලා දාලා ගිය සෙරෙප්පු දෙකත් සාක්කියට තියාගෙන ඉන්නව ලු.මූත් නිකන් නිදාගෙන නැගිට්ට එකා වගේ හිරි ඇර ඇර එනවලු, මොකෝ මේ සද්දේ කියලා බලන්න. මේ අල්ල පනල්ලේ චිත්‍රා ඇන්ටි (අරූගේ අම්මා) සමෘද්ධි රැස්වීම ඉවර වෙලා ගෙදර එනවලු. සද්දේ නිසා ඒ ඇන්ටිත් ගිහින් බලන්න.

ඒ ගෙදරට ගොඩ වෙද්දිම "හා....නේ මේ අපේ ලොකු පුතාගේ සෙරෙප්පු දෙක නේ.බැරිවෙලා මෙතන දාලා ගිහින් නේ." කියලා අර ඇන්ටි කිව්වා විතරයි අරූට කර කියා ගන්න දෙයක් නැති වෙලා. ලොවෙත් නැති වෙන්න දිව්වලු. දිව්වට වැඩක් නෑ මේ වෙද්දි පොලිසියටත් කියලා තිබ්බේ.

කොහොමහරි පස්සේ ආරංචි උනා අරූව පොලිසි ගෙනිච්චා කියලා.අරූගේ අම්මා අරහෙම කිව්වේ නැත්නම් හොරා මොකාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ ලු. ඒකෙන් මේකෙන් උනේ ඒ මිනිස්සුන්ට තවත් කරදරයක් එකතු උන එක විතරයි. අර වයසක් ගෑනි මලා නම් මිනිමැරුම් චෝදනාවටත් අරූට හිරේ යන්න වෙනවා.උගේ වාසනාවට එහෙම උනේ නෑ.

03 June 2011

නොසැලකිල්ලට, ජීවිතයක් බිලි දෙමුද

අපේ අයියා අද උදෙන්ම කොළඹ ගියා ඉන්ටවිව් එකකට කියලා. යන්න කලින් මම බ්ලොගර් එකට ලොග් වෙලා යන්න කියලා කිව්වා. මටත් පොඩි කතාවක් දාන්න ඕන නිසයි එහෙම කිව්වේ. මම මේ දවස්වල රාගම ශික්ෂණ රෝහලේ සායනික පුහුණුවක ඉන්නේ. මම මේ දවස්වල ඉන්නේ මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක. ඊයේ මේ වාට්ටුවට ලෙඩෙක් ගෙනාවා.

මේ ලෙඩාට හැදිලා තියෙන්නේ ජලභීතිකාව. මට මේ ලෙඩාගේ රෝහ නිධානයක් ගන්න සිද්ධ උන හන්දා ලෙඩාත් එක්ක ආපු ගෑනු කෙනාගෙන් මේ ගැන ඇහුවා. මේ ලෙඩා අවුරුදු 50ක විතර තාත්තා කෙනෙක්. මේ මනුස්සයාව දවසක් අල්ලපු ගෙදර බල්ලා කකුල හපලා තියෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා බල්ලගේ අයිතිකාරයන්ට මේ ගැන කියලා. ඒ අය කියලා තියෙන්නේ බල්ලව එන්නත් කරලා තියෙන හන්දා බය වෙන්න දෙයක් නෑ කියලා.

මේ මනුස්සයාත් ඒ අය කියපු දේ අහලා කකුල නිකන් සබන් වතුරෙන් හේදුවාලු. ඊට පස්සේ ඒක ගනන් ගන්නේ නැතුව තමන්ගේ වැඩ කරගෙන ගියාලු. තමන්ට එන්නත් කරගන්න තරම් ඕන කමක් උවමනාවක් තිබිලා නෑ.මාස තුනකට පස්සේ මේ මනුස්සයා වතුරට බයක් තියෙනවා කියලා ගෙදර කට්ටියට තේරුනා ලූ. කෑම කාලා වතුර බොන්නේ නෑ ලූ. වතුර කියන නම ඇහුනත් නිකන් ශොක් එක වගේ වෙලා බය වෙනවලු.

ඊට පස්සේ තමයි ගෙදර අය මේ මනුස්සයාව රාගම රෝහලට ගෙනත් තියෙන්නේ.මේ මනුස්සයාට වතුර ටිකක් පොවන්නම බෑ. කොටින්ම කාඩ්බෝඩ් එකකින් පවන් සලනකොට ඇගම ගැස්සිලා යනවා. දැක්කම දුක හිතෙනවා. මේ කෙනා තව දවස් දෙකකට වඩා ජීවත් වෙන එකක් නෑ. මේ කෙනාව අංගොඩ උන රෝහලට අරන් යන්න කටයුතු සලස්වලා තියෙන්නේ.

ජලභීතිකාව රෝගින්ට බේත් නෑ.හැදෙන්න කලින් එන්නත් කරගන්න එක විතරයි තියෙන්නේ. හැදුනට පස්සේ කරන්න දෙයක් නෑ. නිකන් දෙන එන්නත් ටික විද ගත්තනම් මේ කිසිම දෙයක් නෑ. ඒකට සැලකිල්ලක් නැතිව දැන් දුක් විදිනවා. බල්ලෙක් කාපු හැටියෙම ලගම තියෙන රෝහලකින් එන්නත් කරගන්න.ගියපු හැටියෙන්ම එක එන්නතක් බල්ලා කාපු තැනටයි ඇගට එකකුයි විදිනවා. ඊට පස්සේ සතියකින් සති දෙකකින් මාසෙකින් එන්නත් කරගන්න ඕනේ. මේ සේරම එන්නත් නොමිලේම කරගන්න පුලුවන්.

මම මේ දේ කියන්න හිතුවේ අපි නොසලකන පොඩි දෙයකින් උනත් ලොකු විනාසයක් කරන්න පුලුවන්. ඒ නිසා චුට්ටක් මේ දේ ගැනත් හිතන්න.

ලිපිය අවසන් කරන්න කලින් අංගොඩ උන රෝහල ගැනත් කියන්නම්.මේ රෝහලට ගේන්නේ හොද කරන්න බැරි සමාජයට බෝවෙනවා කියලා හිතෙන ලෙඩ්ඩු.මේ අය මෙහෙට ගෙනාවට ඒ අයගේ ලෙඩේට බෙහෙත් කිරීමක් සිදු කරන්නේ නෑ. මේ අය මැරෙනකන්ම මේ රෝහලේ ඉන්න ඕනේ. තමන් ආදරය කරන අයගෙන් වෙන්වෙලා මේ වගේ රෝහලක ඇදක ඉන්න එක කොච්චර නම් දුකක් ද ???

ලිව්වේ....
මධුසංක (මධුරංග ගේ මල්ලි)

-----------------------------------------------
ප.ලි. - බල්ලෙක් හපා කෑවම කරන්න තියෙන හොදම දේ අදාල ස්ථානය සබන් වතුරෙන් හෝදලා ලගම තියෙන රෝහලකින් එන්නත් කරගන්න එකයි.

01 June 2011

සුභ උපන්දිනයක් වේවා !!!!

වෙනදා වගේ නෙමෙයි අද මටයි මගේ බ්ලොග් අඩවියටයි විශේෂ දවසක්. ඒ තමයි මගෙයි මගේ බ්ලොග් එකෙයි උපන්දිනය අද වගේ දවසක යෙදී තිබීම. මීට අවුරුද්දකට උඩ දී රත්ගමයාගේ බ්ලොග් එක කියවලා මගේම බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුනා. මමත් බ්ලොගර් වල රෙජිස්ටර් වෙලා බ්ලොග් අඩවියක් හදා ගත්තට මොකෝ ලියන්න ඕන කරන දේවල් මොනාද කියලා මට හිතුනෙම නෑ. ඒ නිසා මම කලේ මට ඉගෙන ගන්න ලැබෙන දේවල් ඉංග්‍රිසියෙන් පෝස්ට් වල ලියන්න ගත්ත එකයි. කොටින්ම ටෙක්නිකල් බ්ලොග් එක ලියන්න ගත්තා.

කාලයක් යද්දි මටම තේරුනා ඉංගිරිසි වලින් ලියන එක මීටත් වඩා අමාරුයි කියලා. ඒ නිසා මම බ්ලොග් ලියන වැඩේ තාවකාලිකව අතැරලා දැම්මා. අන්තිමේදි දන්න දන්න අයගෙන් අහලා කොහොමහරි ටෙක්නිකල් බ්ලොග් එක සිංහල බ්ලොග් එකක් කර ගත්තා. මේ වෙනකොට මම ට්‍රේනින් ගිහින් හිටියේ. දවසගානේ බ්ලොග් පෝස්ට් දැම්මට ඒක කියවන්න කමෙන්ට් කරන්න කවුරුවත්ම ආවෙ නෑ. කොටින්ම මගේ බ්ලොග් එක ෆලො කරන්න කවුරුවත්ම හිටියේ නෑ.

මෙහෙම බ්ලොග් ලිය ලියා ඉන්නකොට යාලුවෙක්ගේ මර්ගයෙන් සින්ඩි කියලා ජාතියක් දැනගෙන ඒවා වල මගේ බ්ලොග් අඩවිය රෙජිස්ටර් කලා. ඒත් කියවන අය අඩුවෙන් තමයි හිටියේ. යන්තන් ෆලෝවර්ස් ලා එක්කෙනා දෙන්නා නම් වැඩි උනා.ඊට පස්සේ මම කලේ අනිත් අය බ්ලොග් ලිව්වම ඒ බ්ලොග් ලිපි කියවන්න ගත්තා. එයාලාට කමෙන්ට් කරන්න එයාලගේ බ්ලොග් ෆලෝ කරන්න ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික මම අද මේ ඉන්න තත්වෙට වර්ධනය උනා.

මේ සේරම එක දවසකින් උනදේවල් නෙමෙයි. ඒකට මට මාස ගණනාවක් ගියා. කොහොමහරි ටිකෙන් ටික මම බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ව අදුන ගත්තා. දවසගානේ එයාලගේ පෝස්ට් කියවලා කමෙන්ට් කරද්දි එයාලත් මගේ යාලුවන් වෙලා කමෙන්ට් කරන්න ගත්තා. මම මෙ අද ඉන්න තත්වෙට එන්න ඔයාලා ගොඩක් මට උදව් උනා.

අද මට ගොඩක් සතුටු දවසක්. මම මගේ උපන්දින වලට කරපු හොදම නුවණක්කාරම වැඩේ තමයි බ්ලොග් අඩවියක් පටන් ගත්තු එක.ඒකෙන් මම මාරම පොහොසතෙක් උනා. මගේ වටේ ඉන්න සහෝදර සහෝදරියෝ පිරිසක් ඇති උනා. ලොකු මිතුරු පිරිසක් හම්බකරගත්තා !!!!!

ඒ හින්දම මගේ උපන්දිනයට සුබ පතන්න ආපු යාලුවන්ට කේක් සංග්‍රහයක් සූදානම් කලා.යන්න කලින් මගේ උපන්දින කේක් කෑල්ලක් කාලාම යන්න කියලා ආරාධනා කරනවා.ඉහලින් තියෙන්නේ කේක් එක. කෑල්ල කෑල්ල කපාගෙන කෑවනම්.....

රජයේ අවවාදයයි - අපේ අම්මා කේක් එක සරසන්න ගහපු අල්පෙනිති ටික බේරගෙන කන්න.නැත්නම් පිටගැස්මට ඉන්ජෙක්ශන් ගහන්න වෙයි.

බ්ලොග් එකේ උපන්දිනයට කේක් නම් ලැබුනා.දැන් කට්ටිය හොයයි කෝ මගේ උපන්දින කේක් එක කියලා. ඔය කේක් එකේම අනිත්පැත්තේ 24 කියලා ගහලා ඇති. කෙක් දෙකක් හදන්න ලොකු වියදමක් දරන්න වෙන හින්දා අපේ අම්මා එකම කේක් එකේ අංක 1යි අංක 24යි අයිසින් වලින් ගහලා දුන්නා. :)