26 January 2012

හෙම්බිරිස්සාව

මනුස්සයෙක්ට හැදෙන්න පුලුවන් සුලභම අමාරුම ලෙඩේ මොකද්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි. මට නම් හිතෙන්නේ මනුස්සයෙක්ට සුලභවම හැදෙන්න පුලුවන් අමාරුම ලෙඩේ හෙම්බිරිස්සාව කියලා.

හෙම්බිරිස්සාව පොඩි ලෙඩක් උනාම හැදුනට පස්සේ පුදුම අමාරුයි. හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂන විදිහට නාහෙන් හොටු ගැලීම ! විඩින් විඩේ කිවිසුම් යාම ! ඒ මදිවට උගුරේ අමාරුව හැදිලා කෙල ටිකක්වත් ගිල ගන්ඩ බැරුව යාම ! හදුන්වන්න පුලුවන්.

අපේ මලයා කියන විදිහට හෙම්බිරිස්සාව හැදෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසයක් නිසාලු. ඒ වෛරයසට තියෙන්නේ විඩින් විඩේ වෙනස් වෙන RNA ව්‍යුහයක් නිසා ඒ වෛරයසයේ සැකැස්ම ස්ථාවර නෑලු. ඒ නිසා අනිත් ලෙඩ වගේ පොඩි කාලෙම ඉන්ජෙක්ෂන් එකක් දීලා නවත්ත ගන්න බෑලූ.

අනිත් ලෙඩ ඒ කියන්නේ කක්කල් කැස්ස, ගලපටලය, පෝලියෝ වගේ ලෙඩ පොඩි කාලෙන්ම කරන එක බේතකින් මුළු ජීවිත කාලයම ආරක්ෂා වෙලා ඉන්න පුලුවන්.එහෙම වෙන්නේ ඒ රෝග පතුරවන රෝග කාරකයට තියෙන්නේ DNA වගේ ස්ථාවර ව්‍යුහයක් නිසා ලූ!!

අපේ මලයා හෙම්බිරිස්සාව ගැන ඔය වගේ සෑහෙන දේවල් ටිකක් කියාගෙන ගියා.ඒවයින් මට මතක ඔච්චරයි.
ඒකා කියන විදිහට හෙම්බිරිස්සාවක් හැදුනම විටමින් C එකක් හරි එහෙමත් නැත්නම් සිට්‍රිසින් එකක් බොන එක හොදයි ලූ !

ඒ උනාට මට නම් කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම හෙම්බිරිස්සාව කම්මුතුයි ! අනිත් එක ඉංග්‍රිසි බේත් වගේ යෑ අපේ සිංහල බේත් ! ඇඟටත් ගුණයි ! අතුරු ආබාධත් අඩුයි !

22 January 2012

නිලාවැලි ගමන

හැම අවුරුද්දකම වගේ අපේ පීඨයෙන් දුෂ්කර පලාත්වල සාමාන්‍ය පෙල කරන නංගිලා මල්ලිලාට අරුණැල්ල කියලා සාමාන්‍ය පෙල සම්මන්ත්‍රණ මාලාවක් කරනවා. එක අවුරුද්දක අපේ අරුණල්ල වැඩසටහන් මාලාවේ සමාරම්භක දේශනය තිබ්බේ කන්තලේ පැත්තේ තියෙන බොහොම දුෂ්කර පාසලක !

අපිත් උදේ රැයින් ඇහැරිලා පීඨයේ බස් එකෙන් කන්තලේ ආවා.උදෙම්ම පිටත් උනාට කන්තලේට එනකොට 11 විතර වෙලා. ඊට පස්සේ අපිව පිලිගන්න පොඩිවට පෙරහැරකුත් සූදානම් කරලා තිබුනා. අපිත් ඔය පෙරහර දිගේ ගිහින් උත්සව ශාලාවට ආවා.

ඒ අයට පුලුවන් උපරිමයෙන් ලස්සන උත්සවයක් ලැහැස්ති කරලා තිබුනා. එක මල්ලි කෙනෙක් (පුතෙක් කියලා කිව්වොත් තමා හරි) 'ලස්සනට පැන මඩ කඩිති' ගීතයත් ගායනා කලා.

උත්සවය ඉවර වෙලා දවල් කෑමත් ගමේ කට්ටිය එකතු වෙලා ලැහැස්ති කරලා තිබ්බා. අපි ඒ සංග්‍රහයත් බුක්ති වින්ඳා. ගම්බද මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන ආයේ කතා කරන්න දෙයක් තියේ යෑ. ඒවා උපරිමයි !

"මෙච්චර දුරක් ආපු එකේ ත්‍රිකුණාමලේටත් ගිහින්ම එමු !" අපිත් එක්ක ආපු ජනක විජේකුලසූරිය සර් කිව්වා.

සර් එහෙම කිව්වම අපි කොහොමද අකමැති වෙන්නේ. අපිත් එක පයින්ම වැඩේට කැමති උනා. ආයේ ඉතින් අතින් පයින් යන එකක් යෑ. ඇරත් කිලෝමීටර් 20යිනේ යන්න තියෙන්නේ.

මුලින්ම ගියේ නිලාවැලි මුහුදු වෙරල බලන්න.ඇත්තටම ලංකාවේ තියෙන ලස්සනම මූදු වෙරලවල් වලින් එකක් තමයි නිලාවැලිය කියන්නේ. මූද එච්චර ගැඹුරුත් නැති නිසා සෑහෙන දුරක් මූද පැත්තට ගියෑකි. අනිත් එක තමයි සැරට රැල්ල ගහන නිසා දිය මත ලිස්සන වැඩේට නම් මරු.

වතුර ටික දැක්ක හැටියෙම අපේ යුනියන් එකේ සභාපති අයියා ඇඳන් හිටපු ඇඳුම් ටික විසික් කරලා දාලා වතුරට පැන්නා. අපි නාගන්න ඇඳුම් ගෙනාවේ නැති නිසා රැලි පාග පාග හිටියා.

දන්නවනේ මූදක් ලස්සන ඉර බහිනකොට කියලා. මාත් ඉර, ඈත ක්ෂිතිජයෙන් බැහැලා යනකම් බලන් හිටියා.

මොන !!! ක්ෂිතිජයෙන් බැහැපු ඉරක් නෑ. !!!! එක පාරට කළුවර උනා.

පස්සේ තමා මතක් උනේ මම් ඉන්නේ නැගෙනහිර වෙරලෙයි කියලා !!! :)

ඊට පස්සේ කෝනෙශ්වරම් කෝවිලත් බලාගෙන ආයෙමත් නුවර ආවා.

19 January 2012

ඩොල්බි, ඒ මොනවද බං ?

විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නැද්දි අපේ පරිගණක සංගමයට අරමුදල් රැස් කරගන්න චිත්‍රපටි උළෙලක් සංවිධානය කලා. අපේ බැච් එකේ හැමෝම වගේ මේ වැඩේට මුල් වෙලා කටයුතු කලා. කට්ටියම කතා උනේ චිත්‍රපටිවලට ඩොල්බි ශබ්ද පද්ධතියක් ගේන්න ඕනෙයි කියලා.

ඩොල්බි ??? ආයෙමත් නොදන්න දෙයක් ඇහුවා. වචනේ අහලා තිබුනට තේරුම දැනන් හිටියේ නෑ.වෙනදා වගේම මගේ ඔලුව උඩ ප්‍රශ්නාර්ථයක් මැවුනා.

චිත්‍රපටි උළෙලේ පලවෙනි දවසත් උදා උනා කියමුකෝ. එදා හවස දේශන ඉවර වෙච්ච හැටියෙම චිත්‍රපටි පෙන්නන්න සූදානම් කරලා තිබ්බ අපේ කලාගාරය පැත්තට දිවුවා මොකද්ද මේ ඩොල්බි කියලා බලන්න.

"මචං මොනවද මේ ඩොල්බි කියන්නේ ??" බෆල් ටිකට වයර් අමුන අමුන හිටපු හාවාගෙන් ඇහුවා.

"ඩොල්බි කියලා කියන්නෙ මචං ෆිල්ම් එකේ අපට ඇහෙන ශබ්දය චැනල් හයකට(right front, center, left front, rear right, rear left) එහෙමත් නැත්නම් කොටස් හයකට වෙන් කරලා ප්‍රේක්ෂකයාට අහන්න සලවන්න පුලුවන් ක්‍රමයක් !! "

"ඉතින් ඒකේ තියෙන වාසිය මොකද්ද බං ?"

"මෙහෙමනේ බං. එතකොට ලඟ ඉදලා ඇහෙන ශබ්ද ලඟ ඉදලා එන විදිහටත් දුර ඉදලා ඇහෙන ශබ්ද දුර ඉදලා ඇහෙන විදිහටත් අහන්න පුලුවන්. උබ හිතපන් කාර් එකක් තිරයේ වම් පැත්තේ ඉදන් දකුණෙ පැත්තට ගියා කියලා. මේ සවුන්ඩ් සිස්ටම් එක නිසා ෆිල්ම් එක බලන එකාටත් හිතෙන්නේ කාර් එක තිරය හරහා ගියා කියලා.ඒක හරියට ෆිල්ම් එක ෂූට් කරන තැන ඉදන් ෆිල්ම් එක බැලුවා වගේ ෆීලින් එකක් එනවා ! "

අපේ හාවගේ සරල පැහැදිලි කිරීම නිසා නොදැනගෙන හිටපු දෙයක් දැනගන්න පුලුවන් උනා. ඕනම දෙයක් නොදැනගෙන ඉන්නවට වඩා චුට්ටක් හරි දැනගෙන ඉන්න එක වටිනවා.එදා තිබ්බ චිත්‍රපටිය එක බලනකොට ඒකා කියපු කතාව ඇත්ත කියලා හිතුනා.

පස්සේ දවසක මට වර්චුවල් බාබර් ෂොප් කියලා ඕඩියෝ එකක් ලැබුනා. ඒකත් මේ වගේ සවුන්ඩ් සිස්ටම් එකකට හදපු එකක්. ඒක ඩොල්බි වගේ චැනල් 6කට කඩලා නෑ. හෙඩ් සෙට් එකෙන් අහන්න පුලුවන් විදිහට චැනල් දෙකකට වෙන් කරලා හදපු එකක්. අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන අහලා බලන්න.

මතක ඇතුව හෙඩ් සෙට් එකකින් අහන්න. නැත්නම් අහලත් වැඩක් නෑ.

14 January 2012

සියඹලා අච්චාරු

මම කලින් දාක ලියපු අලියා ගිලපු දිවුල් කතාවේ කමෙන්ට් වලට රිප්ලයි කරන කොට අපි ඒ දවස්වල කාපු අපූරු කෑමක් මතක් උනා. අපි කියලා කිව්වේ මායි මයේ මලයයි !

ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එන පාර අයිනේ වත්තක තිබ්බා ලොකු සීනි සියඹලා ගහක්.ඒක සෑහෙන විශාල ගහක්. ඒකේ සියඹලා කරල් සෑහෙන්න තියෙනවා. අවුරුද්ද පුරාම එක වගේ සියඹලා තියෙන ගහක් !

මායි අපේ මලයයි පාරේ තියෙන ගල්, මුල්, ටින් කෑලි වලට පයින් ගගහා ඇවිත් මේ සියඹලා ගහ යටට එනවා. ගහ යට වට දෙක තුනක් කැරකිලා සියඹලා ටිකක් අහුලගෙන ගෙදර අරන් යනවා.

ගෙදර ගිහින් මූන හෝදගෙන දවල් කෑම කාලා ඉවර වෙලා සියඹලා අච්චාරු දාන්න සෙට් වෙනවා. මුලින්ම අහුලගෙන ආපු සියඹලා ටික පොතු ඇරලා දිසියකට දානවා. සියඹලා හෝදන්න ඕනේ නෑ. පොත්ත කන්නේ නෑ නෙව.

ඒ සියඹලා දීසියට ලුණු කුඩු ටිකක් දාල ඒකට සීනි චුට්ටකුත් ඉහිනවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිහිකුත් දානවා.හොදට අත හෝදගෙන සියඹලා ටික හොදට පොඩි වෙන්නම අනනවා.

ඊට පස්සේ දෙන්නත් එක්ක 'හෑස් හූස් ' ගගා කනවා.මිරිසුයි ලුණුයි සීනියි සියඹලා ටිකයි හොදට පොඩි වෙන්න ඇනුනම පුදුම රහක් තියෙන්නේ.

මේ ලිපිය ලියන වෙලාවෙත් මගේ කටට කෙල උනනවා.හැබැයි කඩෙන් ගෙනාපු සියඹලා වලින් නම් එච්චර රහක් ගන්න බෑ.
සියඹලා අච්චාරු කාපු නැති කෙනෙක් ඉන්නවා නම් සියඹලා හම්බ වෙච්ච වෙලාවක හදලා බලන්න.( සියඹලා අච්චාරු කාපු නැති අය ඉන්නවා කියලා නම් හිතන්න අමාරුයි.)

හැබැයි පහුවෙනිදට ගෙදර ටොයිලැට් එක බදු අරගෙන වගේ ඉන්න පුලුවන්. ඒ කාලේ නම් මල්ලියි මායි තට්ටු මාරු ක්‍රමේට ටොයිලැට් දුවනවා.

"උබලා දෙන්නා නම් නිවුන්නු දෙන්නෙක් ! අයියට යන්න ඕන උනාම මල්ලිටත් බර තද වෙනවා !"
මේ වෙලාවට අපේ අම්මාගේ කටින් පිටවෙන වචන ටික තමයි ඔය. හික්ස් :)

11 January 2012

මී වසංගතේ

ලඟකදී ඉදන් අපේ ගෙදර මීයෝ වගයක් බෝවෙලා මල කරදරේ ! පොතුයි ඇඳුම් කනවා මදිවට අල්මාරියේ දොර හිටන් මේ මීයෝ කොනහනවා. ඒ නිසා මේ දවස්වල මී වසංගතෙන් බේරෙන්න අපේ ගෙදර කට්ටිය එක එක ක්‍රම අත්හදා බලනවා.

රෑ දෙගොඩහරි ජාමෙට 'සර සර' ගාලා සද්දයක් ඇහුනම ගෙදර කවුරුහරි ඇවිත් ලයිට් දාලා සද්දේ ආවේ කොහෙන්ද කියලා බලනවා.සද්දේ ආවේ කොහෙන්ද කියලා හොයන එක කෙසේ වෙතත් යසට නිදාගෙන ඉන්න මගේ නින්ද නම් කැඩෙනවා. රෑ මැද නින්ද කැඩෙනවා කියන්නේ මහ එපාම කරපු වැඩක් ! ආයේ මුල ඉදන්ම නිදා ගන්න එපැයි !

ඒ හින්දා මී වසංගතේ නැති කරන්න මට පුදුම ඕන කමක් තිබ්බේ.

මී කතුරු වලින් මීයෝ මරණ එක ලේසි ක්‍රමයක් උනාට අපේ අම්මා උදේට උයන්න ඇහැරුනාම නිදිමරගාතේ මී කතුර පාගගෙන දුක් විඳින නිසා ඒ ක්‍රමය වැඩිය පාවිච්චි කරන්නේ නෑ. ඒ වෙනුවට මී පාසානම් පාවිච්චි කරන එක කාගෙත් පොදු සම්මතය උනා.

ඔහොම මී පාසානම් හොයාගෙන හොයාගෙන යනකොට රාගම ටවුමෙන් අපූරු මීපාසානම් ජාතියක් හම්බ උනා. මේ මීපාසානම් ජාතියත් අනිත් මීපාසානම් වගේ කෑම වලට අනලා තියන්න ඕනා. යම් විදිහකින් මේ මීපාසානම් මීයෙක්ට කැවුනොත් ඒක කැවිච්ච මීයා වේලිලා මැරෙනවා ! කොහොමද වැඩේ !

ඒක විකුණන මනුස්සයාත් විකුනන්නේ කාටවත් ඇහෙන නෑහෙන ගානට "මීයා වේලිලා මැරෙයි ! මීයා වේලිලා මැරෙයි !" කියලා. පුල් පවර් එකක් තියෙන මී පාසානම් ජාතියක් !

අද තමා මේ මීපාසානම් ජාතියේ මංගල අත්හදා බැලීම කරන්නේ. ඒ නිසාම මීපාසනම් තැබිල්ල පොඩ්ඩකට නවත්තලා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න කියලා ආවා. :)

එහෙනම් මම් යනවා !!!

10 January 2012

ඔවුවා අලි ගිලපු දිවුල්

දිවුල් ගස් ගොඩක් වෙලාවට හැදෙන්නේ ශුෂ්ක පරිසරවල. ඒ නිසා දිවුල් කියන පලතුර අපේ පැතිවලට වඩා ඈත පලාත්වල සුලභ පලතුරක් ! මම් පොඩි කාලේ අපේ නෑදෑ ගෙවල්වල ගියහම මලු පිරෙන්න දිවුල් අරගෙන එනවා.

දිවුල් ගස් යට ඉදන් දිවුල් අහුලන එක පොලෙන් දිවුල් ගේනවට වඩා ජොලි වැඩක්. අනිත් එක තමයි පොලේ තියෙන කාබයිට් ගහලා ඉඳවපු දිවුල් වගේ යෑ. ගහේම ඉදිලා වැටෙන දිවුල් මාරම රහයි !

සමහර වෙලාවට මම් අහුලන දිවුල්, පුහු ගෙඩි ! පුහු කිව්වේ ඇතුලේ මුකුත් නෑ ! එවුවා අලි ගිලපු දිවුල් ලු !
'අලියෝ දිවුල් ගිල්ලම බඩේ රස්නෙට දිවුල් ගෙඩිය පුහු වෙනවා' සමහර වැඩිහිටියෝ මට එහෙමත් කියලා දුන්නා.

අලි කියන්නේ මහ පුදුම සතෙක් නෙව.උන්ට දිවුල් ගෙඩියේ කටුව බිඳින්නේ නැතුව දිවුල් කන්නත් පුලුවන් නේ කියලා මට ඒ දවස්වල හිතුනා.

නමුත් අපේ ඉස්කෝලේ පුස්තකාලේ තිබ්බ කතා පොතක් කියවනකොට ඒකේ තිබ්බ කතාවක් නිසා මම් එච්චර කාලයක් හිතන් හිටපු දේ බොරුයි කියලා ඔප්පු උනා.

කතාව මේකයි.

අලි ඇත්තුත් දිවුල් කන්න ආසයි ලූ. නමුත් උන් දිවුල්, ගෙඩිය පිටින්ම ගිලින්නේ නෑ ලූ.උන් දිවුල් වල ඇඹුල් රහත් එක්ක එන කිරි රහට ආසයි ලූ. ඒ නිසා දිවුල් ගෙඩියේ කටුව පොඩි වෙන්නම හපලා ගිලිනවා ලූ. ඔහොම දිවුල් කන්න ආපු වෙලාවට දිවුල් ගහ යටදි අලි බෙටි දැම්මහම ඒ අලි බෙට්ට උඩට වැටෙන දිවුල් ගෙඩියට අලි බෙට්ටෙන්ම හැදෙන කෝදුරුවෝ වගේ පුංචි සත්තු වහනවා.

ඒ පුංචි සත්තු දිවුල් කටුව විදගෙන ගිහින් දිවුල් මද කනවලු. සමහර පුංචි සත්තු දාන බිත්තර වලින් හැදෙන පණුවෝ වගේ සත්තු දිවුල් මද කන නිසා ලූ දිවුල් ගෙඩිය පුස්සක් වෙන්නේ !

ඔන්න ඔහොමයි ඒ පොතේ තිබ්බේ.ඒ කතාවේ පොඩි ඇත්තකුත් ඇති !

ඔය කොයික වෙතත් බත් කාපු වෙලාවක සීනී යහමින් දාපු දිවුල් කිරි වීදුරුවක් තියෙනවනම්......

04 January 2012

ගූගල් සර්ච්

අන්තර්ජාලෙන් යමක් හොයනකොට සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කලාම ගොඩක්ම ලේසියෙන් අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.එහෙම අන්තර්ජාල සෙවුම් යන්තර අතරේ ගූගල් සෙවුම් යන්තරේ මාරම ජනප්‍රියයි.අනිත් එවුවා ගූගල් තරම් ජනප්‍රිය නෑ. ඒ හින්දමයි නෙට් එකෙන් මොනවාහරි හොයනවා වෙනුවට 'ගූගල් කරලා බලනවා' කියලා කියන්නේ. 

ඉස්සර නම් ගූගල් සෙවුම් යන්තරෙන් මොනවාහරි හොයනකොට අවශ්‍ය දේ ටයිප් කරලා එන්ටර් ක්ලික් කරන්න ඕනේ. නමුත් දැන් එහෙම ඕනේ නෑ අවශ්‍ය දේ ටයිප් කරගෙන යනකොටම සර්ච් රිසල්ට් ටික පහලින් වැටෙනවා. ලිනක්ස් වල ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එකක් රිමූව් (remove) කරන්න මාත් ගූගල් කලා. මට අවශ්‍ය දේ ටයිප් කරන්න හදනකොටම මට එහා පැත්තේ හිටපු එකාගේ කම්පියුටරේ අවුලක් කියලා මට පොඩ්ඩක් බලන්න කිව්වා. 

මාත් උගේ පැත්තට හැරිලා කතා කරන ගමන් ටයිප් කරන්න ගත්තා. (පලපුරුද්ද නිසා මොනාහරි ටයිප් කරන කොට කී බෝඩ් එක දිහා බලන්න ඕනේ නෑ.) ඒ වෙනකොට මම how to remove කියලා ටයිප් කලා විතරමයි. ඉතුරු ටික ටයිප් කරන්න කලින් මොකද්ද අවුල කියලා බලන්න මාත් පුටුව ඇදගෙන ඌ හිටපු මේසේට කිට්ටු උනා. "උබ ඕවත් සර්ච් කරනවද බං !" අපිත් එක්ක වැඩකරපු අයියා කෙනෙක් එහෙම කියාගෙන මට චාටර් හිනාවකුත් දාගෙන ගියා. මම ටාර් ගාලා මයේ මොනිටරේ දිහා බැලුවා. ගූගල් සර්ච් රිසල්ට් ටික දැක්කම මට පොලව පලාගෙන යන්න හිතුනා. 

එක පෙලට වීඩියෝ තොගයක් රිසල්ට් වල තිබ්බා. මට ආපු සර්ච් රිසල්ට් ටික බලන්න ඕනේ නම් ගූගල් සයිට් එකට ගිහින් how to remove කියලා ටයිප් කරන්න. එන්ටර් කරන්න ඕනේ නෑ. මාත් එන්ටර් ක්ලික් කලේ නෑ.

 

 -------------------------------------------------------------------- 

ප.ලි. - ඔය විදිහට how to use කියලා ටයිප් කලාමත් සිරා රිසල්ට් ටිකක් එනවා කියලා මට එහා පැත්තේ හිටපු එකා කිව්වා. ප.ප.ලි.- රටින් රටට සර්ච් රිසල්ට් වෙනස් වෙනවා කියපු නිසා මේ තියෙන්නේ මට ආපු රිසල්ට් ටික 


 

02 January 2012

කාවඩි බයිලා

වැඩ ඇරුනට පස්සේ හවස හයයි විස්සට ආමර් වීදියෙන් ගමට යන බස් එක අල්ලගන්න මම මාර ම ගේමක් දෙන්නේ. ඒ වෙන මොකක්වත් හින්දා නෙමේ. ඒ බස් එකේ පැතලි තිර ටීවී එකක් තියෙනවා. ටීවී එකේ හැමදාම ඒ වෙලාවට සංගීත වීඩියෝ සීඩී එකක් දාගෙන යනවා.

ගෙදර යනකන් ඕකේ සිංදු ටික අහගෙන යන්න පුලුවන් නිසා ගමන් මහන්සියක් දැනෙන්නෙත් නෑ. කාලයක් තිස්සේ ඉදන් ඔය බස් එකේ යන නිසා වීසීඩී එකේ සිංදු අනුපිළිවෙලයි ගායකයෝ ස්ටේජ් එකට නගින අනුපිලිවෙලයි මට කටපාඩම් !

අදත් වෙනදා වගේම බස් එකේ ඉස්සරහා දොරින් නැගලා ටීවී එක කිට්ටුවෙන්ම හිටියා.වෙනදා දාපු සීඩී එක වෙනුවට අළුත්ම සංගීත වීඩියෝ එකක් ! සන්ෆ්ලවර්ස්ලා සෙල්ලම් කලේ ! සුපිරි සංගීතයක් !

ඔහොම සිංදු අහගෙන යනකොට හැඳල හංදිය පහුවෙනකොටම වගේ නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැග්ගා ! මම ආසම ගායකයා ! කනට මී පැණි වක්කරනවා වගේ හයේ අටේ සිංදු ටිකක් පටන් ගත්තා.නිහාල් නෙල්සන්ගේ සිංදු වලට සංෆ්ලවර්ස් සංගීතය කියලා කියන්නේ මීකිරියි කිතුල් පැණියි වගේ. පුදුම සුසංයෝගයක් !

මට නම් නිහාල් නෙල්සන් ස්ටේජ් එකේ මොන සිංදුව කිව්වත් වැඩක් නෑ කාවඩි බයිලා සිංදුව කිව්වේ නැත්නම්. කාවඩි බයිලා සිංදුවේ මැද්දක සිංදුව නවත්තලා විනාඩි පහක් විතර එක දිගට ඩ්‍රම්ස් වාදනයක් යනවා. මම ඒක අහන්න තමා ගොඩක්ම ආස.

පොඩි කාලෙත් ඔය සිංදුව යනකොට නනා හිටියත් වතුර බේරි බේරි හරි කමක් නෑ සාලේ මැද්දේ හිටගෙන ඔය සිංදුව ඉවරවෙනකන්ම අහලා යන්නේ.ඒ තරමට මම ඔය සිංදුවට ආසයි.ඒ මතකයත් අද අළුත් උනා.

කොහොමහරි සන්ෆ්ලවර්ස් ඩ්‍රම්ස් වාදකයා නියමෙටම කාවඩිය ගැහුවා.කාවඩිය ඉවර වෙලා ආයෙම සිංදුවට එනකොට විසිල් පාරක් වදින්න ගිහින් යන්තන් අත, කටට යන එක නවත්ත ගත්තා.

කාවඩි බයිලා සිංදුවෙන් පස්සේ නිහාල් නෙල්සන් ස්ටේජ් එකෙන් බැහැලා ගියා. මට ඇඬෙන්න වගේ ආවා. ඒ වෙන මොහොකටවත් නෙමේ. ඒ වෙනකොට මම බහින තැන පහුවෙලා හෝල්ට් දෙකකුත් ගිහින්. අන්තිමේදි ඩ්‍රැයිවර්ට කියලා බස් එක මගින් නවත්තලා බැහැගත්තා.

ඊට පස්සේ පහුවෙච්ච හෝල්ට් දෙක පයින්ම ගියා. වෙනදා වෙලාවට වඩා පරක්කු වෙච්ච නිසා අපේ අම්මා වැට ගාවට ඇවිත් මම් එනකන් පාර දිහා බලාගෙන හිටියා.

"මොකද ලොක්කෝ අද වෙනදට වඩා පරක්කු ?"

"දන්නේ නැද්ද අම්මේ කොළඹදි ට්‍රැෆික් එකට අහු උනා." මම එහෙම කියාගෙන ගෙට ගොඩ උනා.

ඔන්න ඕකයි අළුත් අවුරුද්දේ වැඩට ගියපු පළවෙනිම දවසේ උනේ.

දශක කිහිපයක් ගීතයෙන් ප්‍රේක්ෂක සිත් සතන් සුවපත් කළ නිහාල් නෙල්සන් කළාකරුවාට දීර්ඝායුෂ පතන්නෙමු.

01 January 2012

නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් !

අවුරුද්දකුත් ගෙවිලා තවත් අවුරුද්දක් උදාවෙලා. ගිය අවුරුද්දේ නම් මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි විශ්ව විද්‍යාල ජීවිතයේ අන්තිම අවුරුද්දේ අධ්‍යයන කටයුතු හොදින් කරගෙන හොද පංති සාමාර්ථයකුත් එක්ක විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා එනවයි කියන එක. සෑහෙන විෂයන් ගණනක් කරලා කොහොමහරි ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරගත්තා.

ගිය අවුරුද්දේ තිබ්බ අනිත් බලාපොරොත්තුව තමා ඉක්මනටම රස්සාවක් හොයාගෙන ගෙදර කඩාවැටිච්ච ආර්ථිකය යලි නඟා සිටුවන්න ඕන කියන එක. ඔන්න ඒකත් හරි ගියා.දැන් අපේ අප්පච්චිට ආයෙමත් පොහොර සංස්ථාවේ පොහොර මිටි කර ගහගෙන නහින්න ඕනේ නෑ. ලොකු එකා රස්සාවක් කරනවා නේ !! :)

මේ අවුරුද්ද මට විශේෂ වෙන්නේ මේ අවුරුද්දේ මුල හරියෙදි තමයි මම අර කළුපාට උපාධි ලෝගුව දාගන්න තියෙන්නේ. අපේ අම්මැයි අප්පච්ච්ලෑගෙයි පවුල් වල පලවෙනිම උපාධිධාරියා බිහි වෙන්නේ මේ අවුරුද්දේ.

දැන්ම හිටන් කට්ටිය උපාධි උත්සවයට එන්න ලක ලෑස්ති වෙනවා.දැනටමත් බස් එකක යන තරමට කට්ටිය සෙට් වෙලා තියෙන්නේ.

තව දුරටත් පරිගණක ජාලකරණය පිළිබඳව ඉගෙන ගන්න තියෙන අදහසත් මෙ අවුරුද්දේ ඉෂ්ඨ කරගන්න හිතාගෙන ඉන්නේ.

ඒ වගේම මේ අවුරුද්දේ මැදක් හරිය වෙනකොට මගේ රස්සාවත් ස්ථිර වෙනවා. ඒක හිතට ලොකු ශක්තියක්.

මේ සේරම දෙවල් එක්ක ජීවිතය දවසින් දවස අළුත් වේවි. ඒ මොක උනත් ජීවිතයට අළුත් අළුත් වටිනාකම්, අළුත් අළුත් අත්දැකීම් එකතු කරගෙන පරණ වැරදි අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න ලොකු උත්සහයක යෙදෙන්නත් මේ අවුරුද්දේ අමතක කරන්නේ නෑ.

එහෙනම් ගිහින් එන්නම්,
ගෙවුන වසර පුරාවටම මාත් එක්ක රැඳී හිටපු හැමෝටම ස්තුතියි.

සියළු දෙනාට කිරියෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා !!!