24 December 2017

සුබ නත්තලක් වේවා

ලක්වැසි සහ ලෝ වැසි සියළුම කිතුණු බැතිමතුන්ට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවා... !!


ප. ලි. - මේ නත්තල අනිත් නත්තල් වලට වඩා මට ටිකක් විතර සුවිශේෂ නත්තලක්. ඒකට හේතුව තමයි අළුත් ගෙදරදී මම සමරන පළවෙනිම නත්තල මේ නත්තල වීම තමයි මට තියෙන සුවිශේෂීම කාරණාව.

05 December 2017

තාත්තගේ ලයිසොං ගැනිල්ල - 2 කොටස

තාත්තා පිට පිටම තුන් පාරක් රියදුරු ලිඛිත විභාගය ඇණගත්තු නිසා ලයිසං ගැනිල්ල ගැන සෑහෙන්ඩ කලකිරිලා උන්නේ. මේ දවස්වල තාත්තගේ මූහුණ කරත්ත රෝදයකට අහු වෙච්ච කජු ලෙල්ලක් වාගේ ඥාළු වෙලා තිබ්බේ. අපිටත් සෑහෙන දුකයි මේ වෙච්ච දේට. ඒත් අපි තාත්තව තව තවත් දිරිමත් කලා.

ආයෙම ඇප්ලිකේශන් දාන්න වෙනදට වඩා ටිකක් වැඩි කාලයක් ගත්තා. මොකද මානසිකව වැටිච්ච කෙනාගේ හිත හරියන්ඩත් ටික කාලයක් ඕන කරනවා නෙව.

හතරවෙනි වතාවට විභාගය ලියන දිනය ආවයි කියමු. මෙදා සැරේ කලින්ම කණ්ණාඩි දෙක බෑග් එකට දාලා තිබ්බා. ඒ නිසා දෙවෙනි හේතුව නැති කළා.

අළුතින් ඇප්ලිකේශන් දාපු නිසා අළුතින් අවස්ථා තුනක් හම්බ වෙනවා. මේ නිසා තුන්වෙනි හේතුවත් නැති වෙලා තියෙනවා.

මෙදාපාර අපි බයිසිකළයේ කඩවතට යන්ඩ දුන්නේ නෑ. ඒ නිසා හතරවෙනි හේතුවත් ඉබේම නිශේධනය වෙලා තිබ්බා.

හැබැයි අපිට පළවෙනි හේතුව නැති කරන්ඩ අමතක වෙලා තිබුනා. මමවත් මගේ ඉහේ ඉන්න උකුණාවත් හිතුවේ නෑ හතරවෙනි වතාවට ඇණගන්ඩ හේතුව කොටු පටලැවීම වේවි කියලා.

කරුමෙක මහත !

තාත්තගේ ලයිසොං ගැනිල්ල

අපේ තාත්තගේ හිතේ කාලයක ඉදලා බයිසිකල් හීනයක් තිබුනයි කියලා මම කලින් දාක කියලා තියෙනවා නෙහ්. උන්දෑ බයිසිකලයක් ගත්තට මොකෝ බයිසිකලේ පදින්ඩ ලයිසමත් ගන්ඩ එපෑ.

ඔන්න ඕක තමා අමාරුම කාරිය !

ඒක ගොඩ දාගත්තා නම් හරි. ඉතින් ඔය කාරිය කරන්ඩ කියලා බාර දුන්නේ කඩවත පැත්තේ තියෙන නමගිය ලර්නර්ස් එකකට. ඒකේ නම මම කියන්ඩ යන්නේ නෑ. ඒක හරි නෑ නෙහ්. ඉතින් අපේ තාත්තත් ගිහින් ඕකේ රෙජිස්ටර් උනාය කියලා කියමුකෝ.

දවසක් ගම්පහ කච්චේරියට උදෙන්ම එන්ඩෙයි කියලා තිබුනා. එදාම මෙඩිකල් එහෙම අරගෙන කච්චේරියට ගිහින් විභාගේට දින දාගත්තා. සාමාන්‍යයෙන් විභාගයට දෙන්නේ සතියක දෙහෙක වගේ කාලයක් නිසා අපේ තාත්තට සති දෙකක්ම හම්බ උනා.

උන්දෑ එදා ඉදන්ම පාඩං කරන්ඩ ගත්තා. පාඩං කරනවයි කියලා කිව්වට ටික වෙලාවක් ප්‍රශ්න පත්තරේ දිහා බලාගෙන කියවලා එහෙම්ම ටික වෙලාවක් පුටුව උඩ නිදාගන්නවා. ආයෙම හීනෙකින් බය උනා වගේ නැගිටලා ටිකක් පාඩං කරනවා. ඔහොම දෙතුන් පාරක් පාඩම් කරලා තමා ඔරිමජිනල් නින්දට යන්නේ.

අපිට වගේ නෙමේ වැඩ කරලා එන මහන්සියයි වයසත් එක්කම එන කම්මැලිගතියයි එකතු උනහම වෙන්ඩෑ ඔහොම වෙන්නේ. මාත් ගෙදර ගිය වෙලාවට තාත්තා පාඩම් කරපු ඒවයින් ප්‍රශ්න අහනවා. එතකොට පාඩම් කරපුවා මතකෙට එන්නේ නැතෑ..

04 December 2017

ධර්මයුද්ධය

කාලෙකට පස්සේ සිංහල චිත්තරපටියක් බලන්ඩ හම්බ උනා. මේක සිංහල කියලා කිව්වට ඉන්දියාවේ චිත්‍රපටියක සිංහල අනුවාදය කියලා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. ඉන්දීය සිනමාවේ භාෂා කිහිපයකින් මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙනවා.

දැං නං ඉතිං කතාවේ නම ඉබේම මතකෙට ඇවිත් ඇති. ඔව්... මේ කියන්නෙ ධර්මයුද්ධය ගැන තමයි. මේ කතාව මුල ඉදලා අග වෙනකන්ම කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් විදිහේ කතාවක්.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.

මේ කතාව ගෙතිලා තියෙන්නේ මනුදම්පුරයේ ජීවත් වෙන පවුලක් වටා. හරිශ්චන්ද්‍රගේ පවුල කියලා මම ඒ පවුල නම් කරන්නම්. හරිස්චන්ද්‍රගේ පවුලේ ඉන්නේ හරිශ්චන්ද්‍රයි එයාගෙ නෝනායි දූලා දෙන්නයි.

මේ සේරමදෙනා සතුටින් සාමයෙන් ඒ වගේම ඉතාම ආදරෙන් ජීවත් වෙනවා. කොටින්ම හරිශ්චන්ද්‍රට නෑයෙක් කියලා ඉන්නේ මේ පවුලේ කට්ටිය විතරයි. හරිශ්චන්ද්‍ර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පික්චර් පිස්සෙක් !