20 January 2013

ආච්චිව මරන්ඩද යකෝ යන්නේ...

මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.

මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ පෙන්නුවා ? මොකෑ කට්ටියට අමතක වෙන්නේ නෙහ්. :)

ඔන්න ඔය දවස්වල මං දන්න කියන පවුලක අයියෙකුයි මල්ලියෙකුයි හිටියා.උන් දෙන්නා කටත් බලියන් ඒ දවස්වල ඔය කතාව බැළුවා. මේ දෙන්නෑ ආච්චි අම්මා ඒ දවස්වල ලෙඩ ගානේ හිටියේ. යන්ඩ එන්ඩ බෑ.හැමදේම උන්දැට අතට පයට කරලා දෙන්ඩෝන.

දවසක් මුන් දෙන්නා රොබින් හූඩ් බලනකොට ආච්චි මොකද්ද මන්දා එහෙකට කතා කරනවා. කතා කරනවා කිව්වට බෙරිහන් දෙනවා. ඒ දවසේ මුන්ගේ අම්මත් කොහෙද මන්දා ගිහින්.  ආච්චි ලතෝනි තිබ්බත් මුන් දෙන්නා ටීවි එක ඉස්සරහින් නැගිටින්න ලෑස්ති නෑ.

 "මල්ලි පොඩ්ඩක් බලහන්කෝ ආච්චි කෑගහනවා !" අයියා කිව්වා.

"ඇයි උබ මටම කියන්නේ. උබ ගිහින් බලහන්කෝ." එහෙම කිව්වේ මලයා.

"ඇයි.ඒ උබේ ආච්චි නෙමේද ?"

"මගේ ආච්චි විතරක් යෑ. උබෙත් ආච්චි නේ." මලය යන පාටක් නෑ.

"උබ ගියේ නැත්තං මං අම්මා ආපුවාම කියනවා උබ ආච්චිව බැළුවේ නෑ කියලා. හරි ද ?"

"හරි හරි ඇඩ් එකක් ගියහම යන්නං යකෝ." කතාවට වශී වෙලා හිටපු මලයා කිව්වා.

ඉතින් ඊට පස්සේ කතාවේ මැදක් හරියට යනකොට කිව්වත් වගේම ඇඩ් පෝලිමක් යන්න පටන් ගත්තා.එතකොට  මලයත් පුටුවෙන් නැගිටලා ආච්චි ගාවට ගියා. මූ ආච්චි ගවට ගිහින් ටික වෙලාවකට පස්සේ ආයෙම ටීවි බලන්ඩ ආවා.ආච්චිට නින්ද ගිහින්ද කොහෙද කිසිම සද්දයක් නෑ.දැන් නන් ඉතින් කරදරයක් නැතුව රොබින් හූඩ් බලතෑකි කියලා හිතලා දෙන්නම ආයේ ටීවි බලන්ඩ ගත්තා.

 "මලේ, ආච්චි මොහොකටද බං කතා කලේ ?" අර අයියා කාරයා මලයගෙන් ඇහුවා.

"කවුද බං දන්නේ. ආච්චි හැමදේටම කෑගහන එකනේ වැඩේ." මලයා උත්තර දුන්නා.

"ඉතින් උබ ගියාට පස්සේ ආච්චිට නින්ද ගියාද ? කිසි සද්දයක් නෑ නේ යකෝ !" ආයෙම අයියා ඇහුවා.

"ආච්චි නිදාගත්තේ නෑ බං"

"එහෙනං සද්දයක්වත් නැත්තේ ?"

"හෙහෙහෙහෙ.... ආච්චි කොහේ කෑ ගහන්ඩ ද මං උන්දෑ කටේ කොලගුලියක් හිරකරලනේ ආවේ !" මලයා හිනා වෙවීම කිව්වා.

"හුටා ! තෝ ආච්චිව මරන්ඩද යකෝ යන්නේ ! අම්මා ආවොත් විසුමක් වෙන්නෑ. !" කියලා කියපු අයියා කාරයා ආච්චි ගාවට ගිහින් උන්දෑ කටේ හිර වෙලා තිබ්බ කොළගුලිය එලියට ඇදලා දැම්මා.

අන්තිමේදි හවස් අතේ අර අයියගෙයි මලයගෙයි අම්මා ආවට පස්සේ ආච්චිව කොල හිර කරලා මරන්ඩ ගියපු කතාව ආච්චිම අම්මටත්තෙක්ක කියලා තිබුනා. ඒ නිසා ඒ කොල්ලෝ දෙන්නට නොසෑහෙන්න ගුටි කන්න උනා කියලා තමයි ඇසින් දුටු ආරංචි මාර්ග කියලා තිබ්බේ.

ඉතුරු ටිකත් කියවන්න...

01 January 2013

සුබ නව වසරක් වේවා !



සියළුදෙනාට වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!
ඉතුරු ටිකත් කියවන්න...

29 December 2012

උගුරැස්ස සාස්තරේ

මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා.

 පින්තූරය ගූගල්ගෙනි.

ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ 10ක් විතර උනත් ගෙඩි එන්ඩ පටන් අරන් තිබ්බේ මීට අවුරුදු දෙහෙකට විතර උඩදි. ඒ අපේ මල්ලි කරපු කෙමක් හන්දා. ඒ කෙම මොකද්ද කියලා මලයගෙන්ම අහලා බලමු.

"මලයෝ උබ මොකද්ද බං කටු ලොවි ගහට කරපු කෙම ?" මම් ඇහැව්වා.

"මේකයි කෙම ! උදේ පාන්දරම කතා නොකර කටු ලොවි ගහේ කඳේ  කටු ටික ඉහල ඉදලා පහලට රහින්න (කපන්න) ඕන. "

"ඊට පස්සේ " මම ඇහැව්වා.

"ඊට පස්සේ ඒ කටු ටික පාරකට හරි මිනිස්සුන්ට පෑගෙන හරියකට ගිහින් දාන්න ඕනා."

"යකෝ උබ කියන්නේ යකාගේ කතා නේ. එතකොට මිනිස්සුන්ගෙන් බැනුං අහන්ඩ එපැයි !" මම කිව්වා.

"අන්න හරි. අයියට තේරුනා. ඒ කටු පෑගිච්ච එකා අම්මා මෝ කියලා බැන්නහම තමා ගහේ ගෙඩි හැදෙන්නේ. කොටින්ම කටු ලොවි ගහේ පලවෙනි මුරේ ගෙඩි හැදුනේ එහෙමයි."

"ඉතින් උබ කොහාට්ටද ඔය කටු ගෙනිහින් දැම්මේ ?" මම ආයෙම ඇහැව්වා.

"කටු ටික පාරට දාන්න බැරි නිසා මම වත්ත පල්ලෙහාට දැම්මා

"ඉතින් කාටද ඒ කටු පෑගිලා තියෙන්නේ ?" මම ආයෙම ප්‍රශ්නයක් නැගුවා.

"අපේ තාත්තා උදේ දත් මැද මැද වත්ත පල්ලෙහාට්ට යනකොට ඒ කටු පෑගිලා නොසෑහෙන්න බැන්නා. ඒ නිසයි ගෙඩි ආවේ"

ඔන්න ඕක තමා අපේ මලයා කටු ලොවි ගහට (උගුරැස්ස) කරපු කෙම.කිව්වත් වගේ දැන් නම් ගහේ නොසෑහෙන්න ගෙඩි හැදෙනවා. :)
මේ කතාව ලියාගෙන යනකොට මට මතක් උනේ අපේ මලයා වත්තේ තිබ්බ ගෙඩි හැදිච්ච නැති අඹ ගහකට කරපු කෙමක්.

ඒකත් මේ පහලින්ම ලියන්නම්. ඒ කෙම තමා,

උදේට උදේට ලොකු පොල් පිත්තක් අරගෙන  , ඒ පොල් පිත්තෙන් අඹ ගහේ කඳට හත් වතාවක් ගහන්න ඕනා. එහෙම සතියක් දෙකක් කරන කොට ගහේ ගෙඩි හැදෙනවා.

ඔය කෙම කලා විතරක් නෙමේ ඌ ඒක විද්‍යාත්මකව පැහැදිලිත් කලා.

"මෙහෙමයි අයියේ, දවසගානේ ගහට පොල් පිත්තෙන් තඩිබානකොට ගහ හිතනවා තමන්ගේ පැවැත්මට තර්ජනයක් ඇවිල්ලා කියලා. ඒ නිසා ඉක්මනින්ම වර්ගයා බෝ කරන්න උත්සහ කරනවා.ඒ නිසයි ඉක්මනින්ම ගෙඩි හට ගන්නේ."

ඔන්න ඕන තමා උගේ පැහැදිලි කිරිම.

ඉතුරු ටිකත් කියවන්න...

24 December 2012

සුබ නත්තලක් වේවා !

පහුගිය දවස් ටිකේම සෑහෙන්න කොම්පීතරෙන් ඈත් වෙලා ජීවත් උනේ. ඒ නිසා බ්ලොග් එකේ කිසිම ලිපියක් ලියන්න උනේ නෑ. නොලිව්වට මොකෝ මම බ්ලොග් කියවන එක නම් අතෑරලා නෑ. පුලු පුලුවන් වෙලාවට කට්ටියගේ බ්ලොග් වලට ගොඩ වැදිලා පෝස්ට් ටික කියෝලා කමෙන්ට් එහෙමත් දැම්මා.

ඔන්න අද නම් මුකුත් ලියන්න කියලා අදහසක් නෑ. 

අද මම මගේ බ්ලොග් අඩවියට ගොඩ උනේ සුබ පතන්ඩ. ඔන්න එහෙනම් මගේ සුබ පැතුම් පණිවිඩය !

ලෝ වැසි සියල්ලන්ට සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !

ප.ලි. - ආයේ පුලුවන් වෙච්ච වෙලාවකට බ්ලොග් අඩවියේ මොනවහරි ලියන්න එන්නම්.

ඉතුරු ටිකත් කියවන්න...

05 December 2012

පොතක් අහමු.

ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්‍රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.

ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් වල ඇති එකම අවාසිය තමයි ඇස් රිදෙනකන් කොම්පීතරයක් ඉස්සරහට වෙලා කියවන්න සිද්ධ වෙන එක.ඊට අමතරව ඕන ඕන වෙලාවට කියවන්නත් බෑ. මොකද ඒ හැම වෙලාවකම කොම්පීතරේ ඔන් කරන්න එපැයි.

දැන් නම් මෘදු පිටපත් විදිහට ප්‍රකාශනයට පත් වෙච්ච පොත් වලට අමතරව ඕඩියෝ පොතුත් තියෙනවා. ගුවන් විදුලි නාට්ටියක් අහන විදිහට පැත්තකට වෙලා ඔහේ පාඩුවේ පොත අහන්න පුලුවන්. තාක්ෂණයත් එක්කම පොත් කියවිල්ලත් කොච්චර සරල වෙලාද ?

මේ ටිකේ වැඩපොලේදි කරන්න තියෙන වැඩ අඩු නිසා මම අන්තර්ජාලේ පීරලා හෙවුවා ෂර්ලොක් හෝම්ස් ඕඩියෝ පොත් ටිකක්. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට ෂර්ලොක් හෝම්ස් සිංහල නාට්ටි කොටස් කිහිපයක් හම්බ උනා.

ටික කාලයකට ඉහතදී සිරස ගුවන් විදුලියේ ඉරිදා 9.30ට සිරස රඟ මඩලෙන් විකාශනය වෙච්ච කොටස් කිහිපයක්. සිරස රඟ මඩල වැඩසටහන තාම විකාශනය වෙනවද කියලා නම් දන්නේ නෑ.

පහතින් තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික. කැමති අය ඉන්නවා නම් බාගෙන අහලා බලන්න. :)

සබ්මැරීනයේ සැනසුම

අවසන් ගැටළුව

 අතුරුදහන් වූ ක්‍රීඩකයා

 ලිපිකරුගේ අභිරහස

රහස් ගිවිසුම 

අතීත අභිරහස

සම්භාවනීය ප්‍රේමවන්තයා 

ඔන්න ඔය ටික තමා හම්බ උනේ. මීට අමතරව පහතින් තියෙන ෂර්ලොක් හෝම්ස් නාට්ටි වල කොටසුත් හම්බ උනා. නමුත් ඒවෑ ඉතුරු කොටස් ටික නෑ.

The Cardboard Box දෙවෙනි කොටස නෑ..



ඉතුරු ටිකත් කියවන්න...