07 December 2016

අද එතැයි හෙට එතැයි

මද නළයි
සුව දැනෙයි
මට බයයි
නුඹ හඩයි.....

අද එතැයි
හෙට එතැයි
මග බලයි
කලබලයි....

හිත පිරෙයි
කළු වරයි
සිසිලසයි
වැහි පොදයි....


ප. ලි. - කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

05 December 2016

පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි

රෑ නින්දට යනවිට සිතට එන අන්තිම සිතුවිල්ලත් උදේ අවදි වන විට සිතට එන පළමු සිතුවිල්ලත්  ඔබේ ජීවිතයේ දුක හෝ සතුට තීරණය කරයි.

ඔය කියමන මම කොහේදී හරි කියවලා තියෙනවා. ඒ කියමන නම් සහතික ඇත්ත. මට නම් අනන්ත වාර හිතිලා තියෙනවා ඔය කියමන ඇත්තයි කියලා.

සතුට කෙසේ වෙතත් මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තියෙන දවස් වල නම් රෑ නිදා ගන්න යනකොටයි උදේ ඇහැරෙනකොටයි හිතෙන්නෙම ඒ ප්‍රශ්නයමයි.

ඒක අපේ හිතේ ස්වභාවය වෙන්ඩ ඇති.

04 December 2016

මං කැමතිම ලේඛකයා

මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ. ඒ දවස්වල මායි අපේ මල්ලියි හරි හරියට පොත් කියෙව්වා.

කියවපු පොත් වලින් ගොඩක් පොත්, පරිවර්තන !

ඒ පරිවර්තන වලිනුත් වැඩි හරියක් පරිවර්තනය කරලා තිබුණේ කේ. ජී. කරුණාතිලක මහත්මයා. එතුමාගේ පරිවර්තන කාර්යය ගැන නම් කියලා වැඩක් නෑ.. !

හැම පොතකම වාගේ තියෙන්නේ "අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය" කියලා.

ඔය දවස්වල අපේ මල්ලිලෑ පංතියේ හිටියා චතුරිකා කියලා ගෑල්ලමේක්. එයත් අපි එක්කම වාගේ හරි හරියට පොත් කියෙව්වා. එය ළඟ තිබ්බා "බඹරවිලේ හොල්මන" කියලා පොතක්.

ඒක ලියලා තිබුණේ භද්‍රජී මහින්ද ජයතිලක කියලා මහත්මයෙක්.

පොතේ නමයි කතුවරයාගේ නමයි ටිකක් කටට හුරු මදී. ඒත් ඒ පොත කියවන්න මොකද්දෝ පෙළඹවීමක් මගේ හිතෑතුලෙන් ආපු නිසා මම චතුරිකාගෙන් පොත ඉල්ලගත්තා.

ගෙදර ආපු හැටියෙම වාගේ පොත කියවන්න ගත්තා. අම්මෝ පොත ඉවර වෙනකන් කියවලා මිසක් නතර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම ඒ පොතේ ගලා යෑම මරු.

අනික හැම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයටම මොකක් හරි කුතුහලයක් ඉතුරු වෙනවා. ඒ නිසා එක හුස්මටම පොත කියෙව්වා.

මම පොත කියවලා ඉවර වෙච්ච ගමන් මල්ලිත් ඒ පොත කියෙව්වා. ඔන්න ඔහොම තමා මගේ ජනප්‍රියතම ලේඛකයාව හම්බ උනේ.

03 December 2016

යාළුවෝ

කතාවට නං කියන්නේ "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී" කියලා කිව්වට එහෙම යාළුවෝ හම්බ වෙන්නේ අතලොස්සයි. අපරාදේ කියන්ඩ බෑ ඒ අතලොස්ස නම් ඉහටත් උඩින්. සැපේදි වගේම දුකේදිත් ඉන්නවා.

හැබැයි ඉතින් වැඩිමනත් ඉන්නේ අපිටත් නොදැනි අපේ සාක්කුවටත් විදලා මාරු වෙන එවුං !

යාළුවෝ කියන ජාතිය කොච්ච්රවත් උන්නට සමහර යාළුවෝ නං හිටියත් වැඩක් නෑ. උන්ට යාළුවෝ කියනවට වඩා හොඳයි වෙන නමක් කිව්වා නං. ඒ තරමටම එපා කරපු එවුං.

මං මෙහෙම කියන්නේ අපේ සමහර යාළුවෝ ඉන්නවා උන් ඉඳලා ඉදලා කතා කලොත් අනිවාර්යෙන්ම මොකක් නමුත් උදව්වක් බලාපොරොත්තුවෙන් කතා කරන්නේ කියලා  ඉහිං කනිං තේරුම් ගන්ඩ පුලුවන්. ඒ වගේ යාළුවෙක් ඉදලා ඉදලා එකපාරට කතා කරන නිසා ඉල්ල ගන්ඩ ඉන්න උදව්ව කෙලින්ම අහන්ඩත් බෑ බෑ වගේ ඉන්නවා.

ඊට පස්සේ රටේ නැති වර්ණනාවක් දාලා සෑහෙන බටර් ගොඩක් ගාලා ආපු කාරණාවට බහිනවා. ඒ විතරක් යෑ මුන් ඉඳලා ඉඳලා ඉල්ලන උදව්වත් එසේ මෙසේ එකක් නෙමේ. එක්කෝ බරපතල උදව්වක් එහෙමත් නැත්නං බෙල්ල ගහලා යන වැඩක් !

ඒ හන්දා ඒ වගේ එවුන් කතා කරන වෙලාවට ෆෝන් එක කට් කරලා නිකා ඉන්න එක කොයිකටත් හොඳයි.. මේ මම ඉන්නේ !
අන්න ඒවගේ ඉන්ඩ තියෙන්නේ.... :)

බස් වර්ජනය හා අද

දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්.

පුද්ගලික බස් අඩු උනාට ඒ අඩුව යාන්තමින් හරි පුරවන්න ලංගම බස් සේවක සංගමය ලොකු වෙහෙසක් දරනවා. පානදුර ඩිපෝවට අයිති දුර ගමන් සේවා බසුත් කෙටි දුර ධාවනයේ යොදවලා තියෙන්නේ.

ඒ කියන්නේ දුර ගමන් සේවාව නැවතිලා කියන එක නෙමේ. දුර ගමන් සේවා වාර දෙකක් අතර පවතින කාල පරතරය අතරතුර කෙටි දුර ධාවනයකුත් සිදු කරනවා.