14 December 2016

නිමක් නැති අහසේ

නිමක් නැති අහසේ
රුවක් ඇත රහසේ
අදත් නුඹ රිසිසේ
පායපන් පුන් සඳසේ....

රෑ මැඳිරි එලි අතරේ
මල් සුවද දසත පැතිරේ
මට ලගම ඇති පඳුරේ
හින හියන් නුඹ සොඳුරේ...

ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

13 December 2016

ලංකාවේ ලොකුම නත්තල් ගහ

ලංකාවේ ලොකුම නත්තල් ගහක් හදන්න යනවා කියලා පහුගිය දවස් ටිකේම කතා උනා. ඊට පස්සේ කාදිනල් තුමා මැදිහත් වෙලා ඒ නත්තල් ගහ හදන වැඩේ නතර උනා. ඒ සල්ලි දුප්පතුන් අතරේ බෙදා දෙන්නයි කියලා.

නමුත් සමහරු නම් මේකට කැමති උනේ නෑ.

ඒ අය කිව්වේ මේ නත්තල් ගහ නිසා ඒක බලන්න එන අයට කඩල විකුණන අයිස් ක්‍රීම් විකුණන මිනිස්සුන්ට එයාලගේ ආදායම් මාර්ගය අහිමි වෙනවලු. ඒ වගේම ත්‍රීවිල් මල්ලිලාගේ ආදායමටත් තට්ටු වෙනවලු. ඔය වගේ නානාප්‍රකාර දේවල් පහුගිය දවස් ටිකේම ඇහුනා.

ඔන්න මේ ළඟදි බස් එකේ ගෝල්ෆේස් පාරෙන් යනකොට තමා දැක්කේ ආයේ නත්තල් ගහ හදනවයි කියලා.

පස්සේ පස්සේ බලනකොට තමා දනගත්තේ අගමැතිතුමා මැදිහත් වෙලා කාදිනල් තුමාගෙන් අවසර අරගෙන කියලා... අනේ කාලේ වනේ වාසේ.. !

මේක බාගෙට හදලා ඉවර උනාට පස්සේ නැතුව කලින් කිව්වා නම් සල්ලි වියදම්  වෙන්නේ නැතුව වැඩේ නවත්ත ගන්න තිබ්බා. අනික වැඩේ බාගෙට කරගෙන එනකොට නවත්තනවට වඩා හොඳයි ඉතුරු ටිකත් හදලා ඉවර කරන එක !

අනේ මන්දා.... !

පරාවර්තන

අද පෝය දවසේ ගෙදරට වෙලා කම්මැලිකමේ උන්නා. එතකොට තමා මතක් උනේ කලින් දවසේ පෙන් එකට දාගෙන ආපු සිංහල චිත්‍රපටියක් තියෙනවා නේද කියලා. කම්මලිකම යන්නත්ත්තෙක්ක ඒක දාගෙන බලනකොට අපේ උන්දැත් සෙට් උනා ඒක බලන්ඩ.

දෙන්නත් එක්ක චිත්‍රපටිය බැලුවා.

කතාවේ නම තමයි "පරාවර්තන"!

කාලයකට උඩදී තිරගත වෙච්ච කතාවක්. මට ඊයේ පෙරේදා තමයි චිත්‍රපටිය හම්බ උනේ.

ගොඩක් සම්භාව්‍ය කතාවක් නොවුනට මේක කම්මැලිකමක් නැතුව බලන්ඩ පුලුවන් කතාවක්.

07 December 2016

අද එතැයි හෙට එතැයි

මද නළයි
සුව දැනෙයි
මට බයයි
නුඹ හඩයි.....

අද එතැයි
හෙට එතැයි
මග බලයි
කලබලයි....

හිත පිරෙයි
කළු වරයි
සිසිලසයි
වැහි පොදයි....


ප. ලි. - කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

05 December 2016

පළවෙනි සිතුවිල්ලයි අන්තිම සිතුවිල්ලයි

රෑ නින්දට යනවිට සිතට එන අන්තිම සිතුවිල්ලත් උදේ අවදි වන විට සිතට එන පළමු සිතුවිල්ලත්  ඔබේ ජීවිතයේ දුක හෝ සතුට තීරණය කරයි.

ඔය කියමන මම කොහේදී හරි කියවලා තියෙනවා. ඒ කියමන නම් සහතික ඇත්ත. මට නම් අනන්ත වාර හිතිලා තියෙනවා ඔය කියමන ඇත්තයි කියලා.

සතුට කෙසේ වෙතත් මොකක් හරි හිතේ ප්‍රශ්නයක් තියෙන දවස් වල නම් රෑ නිදා ගන්න යනකොටයි උදේ ඇහැරෙනකොටයි හිතෙන්නෙම ඒ ප්‍රශ්නයමයි.

ඒක අපේ හිතේ ස්වභාවය වෙන්ඩ ඇති.

04 December 2016

මං කැමතිම ලේඛකයා

මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ. ඒ දවස්වල මායි අපේ මල්ලියි හරි හරියට පොත් කියෙව්වා.

කියවපු පොත් වලින් ගොඩක් පොත්, පරිවර්තන !

ඒ පරිවර්තන වලිනුත් වැඩි හරියක් පරිවර්තනය කරලා තිබුණේ කේ. ජී. කරුණාතිලක මහත්මයා. එතුමාගේ පරිවර්තන කාර්යය ගැන නම් කියලා වැඩක් නෑ.. !

හැම පොතකම වාගේ තියෙන්නේ "අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය" කියලා.

ඔය දවස්වල අපේ මල්ලිලෑ පංතියේ හිටියා චතුරිකා කියලා ගෑල්ලමේක්. එයත් අපි එක්කම වාගේ හරි හරියට පොත් කියෙව්වා. එය ළඟ තිබ්බා "බඹරවිලේ හොල්මන" කියලා පොතක්.

ඒක ලියලා තිබුණේ භද්‍රජී මහින්ද ජයතිලක කියලා මහත්මයෙක්.

පොතේ නමයි කතුවරයාගේ නමයි ටිකක් කටට හුරු මදී. ඒත් ඒ පොත කියවන්න මොකද්දෝ පෙළඹවීමක් මගේ හිතෑතුලෙන් ආපු නිසා මම චතුරිකාගෙන් පොත ඉල්ලගත්තා.

ගෙදර ආපු හැටියෙම වාගේ පොත කියවන්න ගත්තා. අම්මෝ පොත ඉවර වෙනකන් කියවලා මිසක් නතර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම ඒ පොතේ ගලා යෑම මරු.

අනික හැම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයටම මොකක් හරි කුතුහලයක් ඉතුරු වෙනවා. ඒ නිසා එක හුස්මටම පොත කියෙව්වා.

මම පොත කියවලා ඉවර වෙච්ච ගමන් මල්ලිත් ඒ පොත කියෙව්වා. ඔන්න ඔහොම තමා මගේ ජනප්‍රියතම ලේඛකයාව හම්බ උනේ.

03 December 2016

යාළුවෝ

කතාවට නං කියන්නේ "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී" කියලා කිව්වට එහෙම යාළුවෝ හම්බ වෙන්නේ අතලොස්සයි. අපරාදේ කියන්ඩ බෑ ඒ අතලොස්ස නම් ඉහටත් උඩින්. සැපේදි වගේම දුකේදිත් ඉන්නවා.

හැබැයි ඉතින් වැඩිමනත් ඉන්නේ අපිටත් නොදැනි අපේ සාක්කුවටත් විදලා මාරු වෙන එවුං !

යාළුවෝ කියන ජාතිය කොච්ච්රවත් උන්නට සමහර යාළුවෝ නං හිටියත් වැඩක් නෑ. උන්ට යාළුවෝ කියනවට වඩා හොඳයි වෙන නමක් කිව්වා නං. ඒ තරමටම එපා කරපු එවුං.

මං මෙහෙම කියන්නේ අපේ සමහර යාළුවෝ ඉන්නවා උන් ඉඳලා ඉදලා කතා කලොත් අනිවාර්යෙන්ම මොකක් නමුත් උදව්වක් බලාපොරොත්තුවෙන් කතා කරන්නේ කියලා  ඉහිං කනිං තේරුම් ගන්ඩ පුලුවන්. ඒ වගේ යාළුවෙක් ඉදලා ඉදලා එකපාරට කතා කරන නිසා ඉල්ල ගන්ඩ ඉන්න උදව්ව කෙලින්ම අහන්ඩත් බෑ බෑ වගේ ඉන්නවා.

ඊට පස්සේ රටේ නැති වර්ණනාවක් දාලා සෑහෙන බටර් ගොඩක් ගාලා ආපු කාරණාවට බහිනවා. ඒ විතරක් යෑ මුන් ඉඳලා ඉඳලා ඉල්ලන උදව්වත් එසේ මෙසේ එකක් නෙමේ. එක්කෝ බරපතල උදව්වක් එහෙමත් නැත්නං බෙල්ල ගහලා යන වැඩක් !

ඒ හන්දා ඒ වගේ එවුන් කතා කරන වෙලාවට ෆෝන් එක කට් කරලා නිකා ඉන්න එක කොයිකටත් හොඳයි.. මේ මම ඉන්නේ !
අන්න ඒවගේ ඉන්ඩ තියෙන්නේ.... :)

බස් වර්ජනය හා අද

දෙසැම්බර් දෙවෙනිදා පටන් ගත්තු බස් වර්ජනය තවමත් හරිහැටි නතර වෙලා නෑ වාගේ. පාරට බැස්සහම වෙනදා දුවන පුද්ගලික බස් දකින්න ලැබෙන්නේ නැති එකෙන්ම ඒ බව තේරුම් ගන්න පුලුවන්.

පුද්ගලික බස් අඩු උනාට ඒ අඩුව යාන්තමින් හරි පුරවන්න ලංගම බස් සේවක සංගමය ලොකු වෙහෙසක් දරනවා. පානදුර ඩිපෝවට අයිති දුර ගමන් සේවා බසුත් කෙටි දුර ධාවනයේ යොදවලා තියෙන්නේ.

ඒ කියන්නේ දුර ගමන් සේවාව නැවතිලා කියන එක නෙමේ. දුර ගමන් සේවා වාර දෙකක් අතර පවතින කාල පරතරය අතරතුර කෙටි දුර ධාවනයකුත් සිදු කරනවා.

හඳුන්කූරු වෙළෙන්දා හා විනෝද සමය

පහුගිය සතියේ ඉරිදා දවසක මායි අපේ තාත්තයි කොළඹ එන්න පානදුරෙන් කෝච්චියට ගොඩ උනා. පානදුරේ ඉදලා මරදාන දක්වා යන මන්දගාමී දුම්රියකටයි අපි ගොඩ උනේ.

ඔන්න ටික වෙලාවකට පස්සේ හඳුන් කූරු විකුණන මනුස්සයෙක් ගොඩ උනා. වෙන මනුස්සයෝ වගේ නෙමේ. මේ මනුස්සයා හඳුන් කූරු විකුණන ගමන් පොඩි පොඩි විනෝද කතා එහෙමත් කියනවා.

සරලව කියනවා නම් ජොලි පොරක් !

මේ මනුස්සයා කියපු එක කතාවක් බ්ලොගයේ අමුණන්න හිතුවා. මෙන්න මේකයි කතාව.

දැන් වගේ නෙමේ, ඒ කාලේ ටැක්සි එහෙම හිඟයි. ඔන්න දවසක් තුන් දෙනෙක් පාරට වෙලා ඉන්නවා ටැක්සියක් එනකන්. ටික වෙලාවකින් ටැක්සියක් ආවා. මේ තුන් දෙනා ටැක්සියට ගොඩ උනා.

ටික වෙලාවකින් ටැක්සි රියදුරාට ඇහෙනවා ලූ.

"මූගේ බෙල්ලට පිහියෙන් ඇනපන් !" කියලා.

තවත් ටික වෙලාවකින්,

"මූ මැරුනේ නැත්තන් බෙල්ල මිරිකපන් !" කියලා.

ඊටත් ටික වෙලාවකට පස්සේ අනිත් එකා කියනවා ලූ,

"අපි මූගේ සල්ලි හොරකම් කරමු. " කියලා.

ගුරුත්වාකර්ශණය හා උස

පහුගිය ටිකේම මම විම්පි කිඩ් පොත් ටික කියෙව්වා මතක ඇතිනේ. ඉතින් ඒ කතා මාලාවේ එක පොතක ග්‍රෙග් ගේ අයියා, ඒ කියන්නේ රොඩ්‍රික් පොඩි පරීක්ෂණයක් කරනවා.

ඒ පරීක්ෂණය කරන්නේ එයාගේ විද්‍යා විෂයේ එක ව්‍යාපෘතියකට.

ඒ පරීක්ෂණය තමා ගුරුත්වාකර්ශණයක් නැති අවකාශයක දී සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උස වැඩිවීමක් සිද්ධ වෙනවයි කියලා.

02 December 2016

රැළි නගන

රැළි නගන...
රළ අතර...
පෙණ නගින...
රළු වෙරල....

නුඹේ පයට පැගෙන්න...
රළ මතම ඇවිදින්න..
නිදහසක් විදගන්න...
නුඹේ සිනහ මට දෙන...





ප. ලි. - දනාගෙන් පින්තූරයට කවියක් විශේෂාංගය

බස් වර්ජනය

අද මුළු ලංකාවටම බලපාන විදිහේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ වර්ජනයක්. දන්න සිංහලෙන් තේරෙන විදිහට කිව්වොත් බස් ස්ට්‍රයික් එකක්.

මුලින්ම නම් තිබ්බේ බස් හා දුම්රිය වැඩ වර්ජනයක් කියලා. නමුත් දුම්රිය වර්ජනය තාවකාලිකවම නැවතිලා බස් රථ වර්ජනයක් සිද්ධ උනා.

ඒ නිසාම මටත් වැඩට යන්න සිද්ධ උනේ නෑ. මාත් නිවාඩුවක් දාලා ගෙදර නැවතුනා.

මේ බස් වර්ජනයට හේතු වෙච්ච කාරණය තමා මහාමාර්ග වැරදි 7කට ලබා දීපු අවම දඩය රු. 25,000ක් කිරීම.

මහාමාර්ග වැරදි හත මෙහෙමයි,

1. බීමත්ව රිය පැදවීම
2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
4. අධික වේගය
5. වම් පසින් වාහන පසුකර යාම
6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම


ඔන්න ඔය වැරදි හතට තමයි අවම දඩ මුදල රු. 25,000ක් කලේ. මේක අසාධාරණයි කියලා තමා බස් හිමියෝ වැඩ වරන්නේ.