01 June 2017

මගේ උපන්දින තෑග්ග

අද මගේ උපන්දිනේ. ගිය වතාවේ නම් අපේ උන්දෑ මට අරන් දුන්නේ හොරොව්පොතානේ පලවෙනි ඩියාරෝ කියලා පොතක්. ඒ වතාවේ අපේ උන්දෑට ලොකු රස්සාවක් තිබ්බේ නෑ. ඒ නිසා මට එක පොතක් විතරක් අරන් දුන්නා. මේ වතාවේ අපේ උන්දෑ කොළඹ ලොකු කන්තෝරුවක රස්සාවක් කරන නිසා පොත් කිහිපයක් අරන් දුන්නා.

මුලින්ම අපේ උන්දෑ හිතාගෙන උන්නේ මගේ උපන්දිනේට කේක් එකක් ගෙනත් පොඩි පහේ පාර්ටියක් දානවා ය කියලා. නමුත් මගේ බලවත් පෙරැත්තය උඩ පාර්ටිය අවලංගු කර ගත්තා.

පාර්ටියේ කේක් ගෙනල්ලා කාලා බීලා ඉවර වෙනවා. ඒ වගේ යෑ පොතක් ගෙනල්ලා දුන්නා නම් ඒ පොත ජීවිතේ තියෙන තුරාවටම තියාගෙන ඉන්නවා නෙව. අනික මං වගේ පොත් පිස්සෙක්ට පොතක් ඇරෙන්න වෙන දෙයක් වටීවි යෑ.

මෙදාපාර අපේ උන්දෑ මට ගෙනත් දුන්නේ කේ. ජී. කරුණාතිලක මහත්තයා පරිවර්ථනය කරපු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාව.