08 February 2017

ලංකාවේ පාලම් - 3 වෙනි කොටස

ලංකාවේ පාලම් ගැන මම ලියපු ලිපි මාලාවේ තුන්වැන්න තමයි අද ලියන්න තියෙන්නේ. දෙවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

කලින් කියපු පාලම් වලට අමතර ගංගාවල් හරහා එල්ලෙන පාලම් නිර්මාණය වෙලා තියෙනවා. පේරාදෙණිය උද්භිද උද්ග්‍යානයේ ඒ වගේ පාලමක් තියෙනවා. ඒ මහවැලි ගඟ හරහා ඉදිවෙච්ච සංගිලි පාලම. පහලින් තියෙන්නේ පේරාදෙණියේ සංගිලි පාලමේ පින්තූරයක්.

ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල දුම් රිය ස්ථානයට මෙහායින් තියෙන වලකුඹුර දුම්රිය ස්ථානය අසලත් එල්ලෙන පාලමක් මෑත කාළයේ ඉදි කරලා තියෙනවා.

මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මා ඔය හරහායි. පහලින් තියෙන්නේ වලකුඹුර එල්ලෙන පාලමේ පින්තූරයක්.

මීට අමතරව ගංගාරාමේත්, මාතර පරවි දූපතට යන පාරෙත් සංගිලි පාලම් දකින්න පුලුවන්.

රේල් පාර හරහාත් විවිධාකාර පාලම් ඉදි වෙලා තියෙනවා. ඒ පාලම් වලින් මම ආසම කරන පාලම තමයි පේරාදෙණිය දුම්රිය පාලම. මේ පාලම ඉදිවෙලා තියෙන්නේ මහවලි ගඟ හරහා. පේරාදෙණියේ හිටපු දවස්වල අපි මේ පාළමට කිව්වේ යකා පාලම කියලා.

ලංකාවේ පාලම් - 2 වෙනි කොටස

පාලම් ගැන ලියපු ලිපි මාලාවේ දෙවැන්න තමයි දැන් ලියන්න යන්නේ. පළමුවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති කාළයේ ඉංග්‍රීසි ජාතිකයෝ විවිධ ආර්‍ථික බෝග වැව්වා. ඒ අතර කෝපි, තේ විශේෂ තැනක් ගන්නවා. මොවුන් නිශ්පාදනය කරපු තේ, කොළඹට ගේන්න රේල් පාරවල් ඉදි කලා.මේ රේල් පාර නිසා සමහර සුදු මහත්තුරුන්ගේ තේ වතු දෙකඩ උනා.

මේ දෙකඩ වීම නිසා අස්සයා පිට නැගලා තේ වත්ත වටේම ගියපු වතු පරීක්ෂක සුදු මහත්තුරු හරි අසීරු තාවයකට පත් උනා. රේල් පාර හින්දා වත්තේ එහා කෙළවරේ ඉදලා මෙහා කෙළවරට එකපාර යන්න බැරි වෙනවා. මොකද  සමහර රේල් පාරවල් වත්තේ බිම් මට්ටමේ ඉදලා අඩි කීපයක් පහතිනුයි තියෙන්නේ.

එතකොට අස්සයාව එක පැත්තක නවත්තලා ඇවිත් පයින්ම තේ වත්තේ අනිත් කෙළවරට යන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. මේ නිසා ඒගොල්ලෝ රේල් පාරට ඉහලින් කුඩා ප්‍රමාණයේ පාලම් ඉදි කලා. ඒ පාලම් පස්සේ කාලෙක අස්ස පාලම් කියලා හැඳින්නුවා.

ලංකාවේ පාලම් - 1 වෙනි කොටස

ලංකාවේ තියෙන සැතපුම් කණු ගැන ලිව්වට පස්සේ මට හිතුනා පාලම් ගැනත් පොඩිවට මොනාහරි ලිව්වොත් හොඳයි කියලා. ඉතිං අද ලිපිය වෙන් වෙන්නේ ලංකාවේ එදාමෙදාතුර තිබ්බ පාලම් වෙනුවෙන්.

ගොඩක් වෙලාවට පාලමක් ඉදිවෙන්නේ ගඟක් හරහා හෝ දොළ පාරක් හරහා. ඊට අමතරව පාරක් හරහාත් පාලම් ඉදිවෙන අවස්ථා තියෙනවා.  ඒදණ්ඩක් කියන්නේ පාලමක ප්‍රාථමික අවධිය විදිහට හඳුන්වන්න පුලුවන්. පොඩි දිය පහරක් හරහා  පුවක් කොටයක් හරි පොල් කොටයක් හරි හරහට දාලා එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුරට  යන්න පුලුවන් වෙන විදිහට තමා ඒදණ්ඩක් නිර්මාණය වෙන්නේ.

ඒදණ්ඩකින් එහා මෙහා යනකොට සමබරතාවය ඉතාම වැදගත්. පොඩ්ඩක් හරි එහා මෙහා පැද්දුනොත් කෙලින්ම වතුරට වැටෙන්නේ. ඒ නිසාමද මංදා "පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්ඩ බෑ" කියලා කියමන අපි අතරට ආවේ.
පළල් ඉවුරු ආශ්‍රිත ගංගා හරහා ඒ දඩු නිර්මාණය වෙන්නේ හරි අඩුවෙන්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ සමබරතාවය රැකගෙන ගඟ තරණය කිරීමට ඇති අපහසුව වෙන්ඩ ඕන. ඒ නිසාම ඒදඩු ගොඩක්ම නිර්මාණය වෙන්නේ කුඹුරු ආශ්‍රිතව.

ලී දඩු වලට අමතර කලු ගලින්ද නිර්මාණය වෙච්ච ඒදඩු තියෙනවා. මේ ලිපියේ ඒ වගේ ගල් ඒදණ්ඩක් ගැන සදහන් වෙනවා. මීට අමතරව මට මතක් වෙන්නේ පහළ කරගහමුණ ගල් ඒදණ්ඩ රජමහා විහාරය. ඒ පන්සල ආශ්‍රිතවත් ගල් ඒදණ්ඩක් ඒ දවස්වල තිබුණයි කියලා සදහන් වෙනවා.

වාහනයක් යන්ඩ පුලුවන් දොළ පාරක් ගලාගෙන යනවා නම් ඒ දියපහරේ ගලා යාමට බාධා නොවන විදිහට බෝක්කුවක් තුළින් දිය පහර ගලායාමට සලස්වනවා. මේකත් පාලමක ප්‍රාථමික අවධියක් විදිහට හදුන්වන්න පුලුවන්.

පහලින් තියෙන්නේ පාර හරහා ඉදි කර තිබෙන බෝක්කුවක පින්තූරයක්. මේ බෝක්කුව මට දකින්න හම්බ උනේ සීතාවක තෙත්බිම් උද්‍යානයේදී. බෝක්කු නම් අනන්තවත් දැකලා තිබුනට ඒවෑ පින්තූර නම් මා ලඟ තිබුනේ නෑ.
සමහර පොඩි දිය පහරවල් පායන කාළයේදී හිදී යනවා. ආයෙම වැස්ස කාලේදී මතු වෙනවා. ඒ වගේ දිය පහරක් පාර හරහා ගියොත් ඒ පාර හරහා සපත්තු පාලමක් ඉදි කිරීම සිදු වෙනවා. වැස්ස කාළයේදි සපත්තු පාලම ජලයෙන් යට වීම සිද්ද වෙනවා. එතකොට පාරේ ගමන් කරන වාහන දිය පහර හරහා යා යුතු වෙනවා.

07 February 2017

ලංකාවේ සැතපුම් කණු

යම්කිසි  බරක්, යම්කිසි දුරක් හෝ යම්කිසි කාළයක් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම සදහා  මිනුම් ඒකකයක් ඈත  අතීතයේ පටන්ම මිනිසුන්ට උවමනා කර තිබුණි. ඒ සදහා කලින් කලට ඔවුන් විවිධ මිනුම් ඒකකයන් නොයෙකුත් රාශීන් මැනීම සදහා භාවිතා කර තිබුණි.

එකල ලාංකිකයෝ තම තමන්ගේ එදිනෙදා ගමන් බිමන් ගියේ පයින් හෝ ගොනුන් බැඳි ගැල් වලය. තමන් ගමන පටන් ගත් තැනෙහි සිට ගමනාන්තය දක්වා කොපමණ දුරක් ඇත්දැයි තවෙකෙකුට පැවසීම සදහා ඔවුන්ට මූලික ඒකකයක අවශ්‍ය තාවය පැන නැගිණි.

මේ සදහා ඔවුන් විවිධ වූ රාශීන් භාවිතයට ගත්හ.

එක තැනක සිට තබන ලද හූවක් ඈතින් සිටින අයෙකුට ඇසිය හැකි උපරිම දුර ඔවූහු "හූවක දුර" යැයි භාවිතයට ගත්  අතර හොඳින් ඇදුනු දුන්නකින් නිකුත්වන හීයක් ගමන් කරන උපරිම දුර "හීයක දුර" යැයි ද ඔවුන් හැඳින් වූහ.

එකල පිරිමින් බර උසුලන විට සරම කෙටිකර ගැට ගසා ගනී. මෙය කැහැපට ගැසිම නම් වේ. කැහැපට ගසාගත් තැනෙහි සිට එය ලිහෙන දුර එසේත් නැත්නම් ඉණ බැඳි පිලි ලිහෙන දුර "පිල්ලුම" ලෙස ද ඔවුන් භාවිතයට ගත්හ.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමග මෙම  ප්‍රාදේශීය ඒකකයන් කෙමෙන් කෙමෙන් මෙට්‍රික් ඒකක වලට හැරෙන්න විය. බ්‍රිතාන්‍යන් දුර මැනීම සදහා භාවිතා කළේ සැතපුම නම් වූ ඒකකයකි. එය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී මයිල් (mile) නම් වේ.

03 February 2017

සයිටම් හා අපි

සයිටම් වගේ ආයතන හතු පිපෙන්නා වාගේ එක දවසකින් දෙකකින් කරලියට ආපු අයතන නෙමෙයි. ඔය ආයතන කරලියට එන්න අවුරුදු ගානක් තිස්සේ අත යටින් කාටත් හොරා පිඹුරුපත් සකස් උනා. ඒවා වලට ඒ ඒ කාළ වලදී තිබ්බ ආණ්ඩු වල සහයෝගයත් හම්බ උනා.

ඒ නැතුව මෙහෙම ආයතන රට ඇතුලට බලෙන්ම ආවේ නෑ..

ඔය ගැන අන්තරේත්, ඒ ඒ කාළ වලදි හිටපු විශ්ව විද්‍යාල සිසුනුත් ඒ ඒ විශ්ව විද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් වලිනුත් කතා උනා.

කතා වෙලා නිකන් හිටියේ නෑ.. රටේ මිනිස්සු දැනුවත් කරන්න, ඒ අයගේ මතය දැනගන්න විවිධ ශිෂ්‍ය ව්‍යාපාර දියත් කලා.

එක වතාවක් අපි ජපුරේ ඉදලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනකන් පා ගමනේ ආවා.  ඒ එන ගමනේ දී සමහරු දේශපාලන පක්ෂ වලට කඩේ යනවයි කියලා ලේබල් අලවන්න උත්සහ කළා. තවත් සමහරු  අපි පාරවල් බ්ලොක් කරගෙන පිස්සු වැඩ කරනවයි කියලා දොස් කියන්න ගත්තා.

වෙද සිසුන්ට ජල ප්‍රහාර

ඊයේ දවසේ කොළඹදී විශ්ව විද්‍යාල සිසුන් පවත්වපු උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයකුයි එල්ල කලා. ඒ උශ්ඝෝෂණය, ඒකෙනුත් නවත්තන්න බැරි වෙච්ච නිසා බැටන් පොලු ප්‍රහාරයකුත් එල්ල කළා. පස්සේ පස්සේ කීපදෙනෙක්වත් අත් අඩංගුවට ගත්තා කියලා ප්‍රවෘත්ති වලටත් කිව්වා.

කාළයකට ඉහතදී මාත් ඔහොම උශ්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. ඒකත් ඔය වාගේම නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සිද්ධියකට කොළඹ ආපු වෙලාවක.

මුලින්ම කියන්න තියෙන්නේ මේ සිද්ධිය මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. කොයි ආණ්ඩුවෙනුත් මේ වගේ ශිෂ්‍ය මර්ධනය කිරීම් පැවැත්වුනා. ඒක මේ ආණ්ඩුවෙත් එහෙමයි. ගිය ආණ්ඩුවෙත් එහෙමයි. සමහරු මේ වගේ සිදුවීම් වලිනුත් වාසි ගන්න උත්සහ කරනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම නෑ. මෙහෙම පහර දීම් කලේ නෑ. මේ ආණ්ඩුව මෙහෙමයි අරෙහෙමයි වගේ නානාප්‍රකාර කතා අටෝරාසියක් කියනවා. ඒ ඒගොල්ලන්ගේ දේශපාලනික වාසියට මිස කිසිම ශිෂ්‍යයෙක් කෙරෙහි උපන් සෙනෙහසකින්වත් කරුණාවක් නිසාවත් නෙමේ.

මේ සිදුවීම් වලට මැදිවෙච්ච සිසු පරපුර ගැන හිතෙනකොට ලොකු දුකක් ඇති වෙනවා. මොකද ඒ අයටත් තිබ්බා නිස්කාරනේ අවු කාස්ටකේ මහ පාරවල් දිගේ කෑ ගගහා ඇවිත් පොලිසියෙන් ගුටි කන්නේ නැතුව හොස්ටල් එකට වෙලා ඉදලා පාඩම් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න.

මෙහෙම කෑ ගහන්නේ එයාලගෙ අයිතිවාසිකමක් නිසාම නෙමේ. ඒ අය නම් කොහොමහරි අවුරුදු හතර ඉවර උනහම දොස්තරවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා එළියට ඒවි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ උපාධිය ගැන නෙමේ.

02 February 2017

අපූරු පාර්ටියක්

හැරී පොටර් කතා මාලාවේ ද ප්‍රිසිනර් ඔෆ් ඇස්කර්බාන් (අස්කර්බාන් හි සිරකරුවා) කතාවේ හ'මයිනි කාළය හරහා ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ උපකරණයක් භාවිතා කරනවා. මේ උපකරණයට එයාලා කියන්නේ ටයිම් ටර්නර් කියලා.

හ'මයිනි මේ උපකරණය පාවිච්චි කරන්නේ එක වතාවකට පන්ති දෙකකට සහභාගි වෙන්ඩ.

අපිටත් බැරිද හමයිනි වගේ කාළයේ ආපස්සට ගිහින් අපි ආස කරන දෙයක් බලලා එන්න. එහෙම නැත්නම් අපේ ළමා කාළයට අපිටම බලල එන්න. එහෙමමත් නැත්නම් අතීතයේ අපෙන් වෙච්ච වැරැද්දක් නිවැරදි කරලා එන්න ?

මේ ගැන ගොඩක් විද්‍යාඥයෝ විවිධ විවිධ පර්යේෂණ සිද්ද කලා. නමුත් අද වෙනකොටත් ඔවුන්ට කාළ තරණය කරන්න හම්බ වෙලා නෑ.. ඒකට නොයෙක් විදිහේ බාධා සිද්ධ වෙනවා.

ඒවා විද්‍යාඥයින් හදුන්වන්නේ පැරඩොක්ස් කියලා. නොයෙක් විදිහේ පැරඩොක්ස් රාශියක්ම මේ වෙනකොටත් තියෙනවා. ඒවා ගැන පසුවට කියන්නම්.

මේ කාළ තරණය ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ඔක්ස්පර්ඩ් සරසවියේ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහත්තයා අපූරු පර්යේෂණයක් සිදුකලා.

පරියේෂණයක් කියලා කිව්වට මේක පාර්ටියක් !

නමුත් මේ පාර්ටියට කවුරුවත් මේ වෙනකොට ඇවිත් නෑ.. ඒ ඇයි ?

හෝකින් මහත්තයා මේ පාර්ටිය සුදානම් කළේ ඔයාලා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. එහෙනම් කාට ද ?

වෙද නළාවේ අරගලය

මේ දවස්වල මුහුණු පොත පුරා අරගලයක මුහුණුවරක් ගන්නවා. ඒකට හේතු පාදක වෙන්නේ 187/2016 දරණ නඩු අංකයෙන් හැදින්වෙන නඩුවේදී ලැබුණු තීරණයට විරෝදය පෑමක් විදිහට.

තවත් සරලව කියනවා නම් මල්ශානි සූරියාරච්චිට එදිරිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නඩුව. කවුරුත් දන්න පරිදි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය, රටේ අනෙකුත් වෛද්‍ය උපාධි මෙන්ම ලියපදිංචි විය යුතු යැයි සදහන් නඩුව ගැනයි මේ දිනවල කාගේ කාගෙත් කතා බහ යොමු වෙලා තියෙන්නේ.

මේ සිද්ධිය පිළිබඳව මම දරණ මතය වෙන්නේ නිසි ප්‍රමිතියකට නැති මෙවැනි උපාධි නීතිගත කිරීම සුදුසු නෑයි කියන එක. මොකද වෛද්‍ය වෘත්තිය කියන්නේ ඕනෑම රටක අංක එකට පවතින වෘත්තියක්. ඉතින් එහෙව් වෘත්තියකට සුදුසුකම් නැති අය යනවයි කියන්නේ ඒ වෘත්තියේ ගෞරවය එහෙම් පිටින්ම නැති වෙලා යනවා වගේ වැඩක්.

ගෞරවය නං කමක් නෑයි කියලා පොඩි වෙලාවකට හිතමු. වෛද්‍යවරු කියන්නේ මිනිස් ජීවිතත් එක්ක කටයුතු කරන පිරිසක්. එහෙම අසරණ ජීවිතත් එක්ක වැඩ කරන පිරිසකගේ ප්‍රමිතිය ඉතාමත් ඉහල තත්වයක පවතින්ඩ ඕන කියලයි මම හිතන්නේ.