31 January 2015

ගැටුමකදී

පිංවත්නි,

ඔබ යමෙකුගේ දොසක් ඔහුට පවසන්නේ නම්, ඒ අවස්ථාවෙහි ඔබ ඇතුළතින් කරුණු පහකින් යුක්තව සිටිය යුතු වන්නෙහිය. එනම්,

1. මම සුදුසු කාලයෙහි කතා කරමි. නුසුදුසු කාලයෙහි නොවේ.

2. මම සැබෑවක් කතා කරමි. නොසැබෑවක් නොවේ.

27 January 2015

ඇන්ඩ්‍රෝමීඩා

බටහිර රතු මුහුදත් ගිණිකොන මධ්‍යධරණී මුහුදත් අතර ලස්සන රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ රජකම් කලේ සිපියුස් කියලා රජ කෙනෙක්. ඒ රජතුමාට කැසියෝපියා කියලා දේවියකුත් හිටියා. මේ දෙන්නා සතුටින් කාලය ගත කලා. ඒ කාලයේදි කැසියෝපියා දේවිය ලස්සන දූ කුමාරියක් බිහි කලා. ඒ දූ කුමාරිගේ නම තමයි ඇන්ඩ්‍රෝමිඩා කියන්නේ.

මේ ඇන්ඩ්‍රෝමීඩා කුමරිය ගොඩාක් ලස්සන කුමාරිකාවක්. කුමාරිකාවගේ ලස්සන ගැන එතුමියගේ අන්ඩ්‍රෝමීඩාගේ ලස්සන මව් දේවිය සෑහෙන ආඩම්බරයෙන් උන්නේ. හැම වෙලේම ඇන්ඩ්‍රෝමීඩාගේ ලස්සන ගැන පුරසාරම් දෙඩෙව්වා.

21 January 2015

බීලා ද ?

උදේ හවා බොරැල්ල ටවුන් එක හරහා වැඩට යන අතරේදි බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවේ හින්දි චිත්‍රපටියක් ගැන ලොකු කටවුට් එකක් ගහලා තිබුනා. ඒ කටවුට් එකේ හිටියේ අමිර් කානුයි අනුශ්කා ශර්මායි. අමීර් කාන් ටිකක් විතර අමුතු ඇක්සන් එකකින් උන්නු නිසා මටත් පොඩි ආසාවක් ආවා චිත්‍රපටිය බලන්ඩ.

හෝල් එකට ගිහිං නෙමේ... චිත්‍රපටිය හොයාගෙන බලන්ඩ. ආයේ හිංදි, ඉංග්‍රිසි චිත්‍රපටි බලන්ඩ හෝල් ගානේ යන්ඩ ඕන යෑ.

චිත්‍රපටියේ නම තමයි පී.කේ.. ! ඒකේ සිංහල තේරුම 'බීලද' කියන එක. !

මම අපේ කන්තෝරුවේ ඉන්න අයගෙන් අහලා බැලුවා මේ චිත්‍රපටියේ කොපියක් තියෙනවාද කියලා. යන්තන් එක්කෙනෙක් ගාව මේ චිත්‍රපටියේ කොපියක් තිබුනා. මම ඒක ඉල්ලගෙන  සිංහල උපසිරැස ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා..

19 January 2015

ලක් දසුනේ මගේ පලමු ලිපිය

මට මේ සතිය උදා උනේ කාර්ය බහුල සති අන්තයකට පස්සේ. ඒකට මූලිකම හේතුව පංති වැඩයි පරිවර්තන වැඩයි නිසා. ඒ දෙක නං කමන් නෑ කියමුකෝ. අපේ උන්දෑ හදිසියේ අසනීප උනා නෙව. උන්දැට හදිස්සියේම උනක් හැදුනා.

ඒ නිසා ඒ ගැනත් හොයලා බලන්ඩ කාලය මිඩංගු කරන්ඩ සිද්ධ උනා. ඒ නිසා ගෙදරින් පිට කොහාට්ටවත් යන්ඩ උනේ නෑ.. ගෙදරින් පිට කියලා කිව්වේ කොහේ හරි නටබුන් ස්ථානයක් එහෙම නැත්තං කන්දක් නගින්ඩ, දිය ඇල්ලක් බලන්ඩ යන ජාතියේ වැඩක නිරත වෙන්ඩ උනේම නෑ..

16 January 2015

දියලුම සුන්දරත්වයට වශී වුනෙමි

අපේ මොණරාගල චාරිකාවේ තුන්වෙනි දවස උදා උනා. ඒ දවස වෙන් කරලා තිබුනේ දියලුම ඇල්ල බලන්ඩ යන්ඩ. සුපුරුදු පරිදි මායි අපේ අප්පොච්චායි උදෙම්ම මොණරාගලින් පිටත් උනා.

මොණරාගලින් මාර්ග අංක 322 මොණරාගල-වැල්ලවාය බස් එක අල්ලගෙන අපි වැල්ලවාය ටවුමට ආවා. වැල්ලවායෙන් බෙරගල හරහා බණ්ඩාරවෙල බස් එකකට ගොඩ උනා. ඒ බස් එක පැයකට කිට්ටු කාළයකදි අපිව දියලුම ඇල්ල ගාවට ගෙනාවා. මොණරාගල ඉදලා දියලුම ඇල්ල ගාවට කිලෝමීටර් 50ක්ට ආසන්න දුරක් එන්න ඕන. පෑ දෙකක දෙකහමාරක විතර ගමනක්... !

දියළුම ඇල්ල, වැල්ලවාය-බෙරගල ප්‍රධාන පාර (A4 ප්‍රධාන මහා මාර්ගය) ලඟින්ම තියෙන නිසා පහසුවෙන්ම බලන්ඩ එන්ඩ පුලුවන්. අනික බස් වලින් හිඟයකුත් නෑ.

අපි ඇල්ල ගාවින් බැස්සා මගේ ජීවිතේ මම දැකපු දිය ඇලි වලින් ලස්සනම දිය ඇල්ලක් කියලා හඳුන්වන්න පුලුවන්. ඉහල ඉඳලා පහලට වැටෙන දිය කඳ පහල ගල් තලාවට වැදිලා දුමක් වගේ විසිරෙනවා. ඇස් ඉදිරියේ අපූරු දර්ශනයක් මවන්නේ.. :)

14 January 2015

ඔක්කම්පිටියෙන් දෙමට මල් විහාරෙට

මාලිගාවිල බුදු පිළිමයයි දඹේගොඩ බෝධිසත්ව පිළිමයයි වැඳපුදා ගත්තට පස්සේ මායි අපේ තාත්තයි ඔක්කම්පිටිය ටවුමට ආවා. එහෙන් දවාලට කෑවට පස්සේ අපි දෙන්නා පයින්ම ඔක්කම්පිටිය කුඹුක්කන පාරේ ටික දුරක් කුඹුක්කන පැත්තට ආවා.

13 January 2015

පාප්තුමාගේ ලංකාගමනය

අද ජනවාරි 13 වෙනිදා... !

අද දවස ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවට ගොඩක් වටින දවසක් වේවි. ඒකට මූලිකවම හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ලංකාගමනය. අද උදේ 9.45ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් එතුමා පිටත්වෙන බවයි ජනමාධ්‍ය වලින් දැනගන්න ලැබුනේ.

එතුමාගේ ලංකාගමනයේ එක් අරමුණක් තමයි භ්‍යාග්‍යවත් ජුසේවාස් පියතුමාව ශුද්ධවරයට ඔසවන එක. ශුද්ධවරයට ඔසොවනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්ඩ ඕන නං පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්ඩ. මාත් ශුද්ධවරයට ඔසොවන ක්‍රියාවලිය ගැන හරියටම දැනගත්තේ හරීගේ මේ එක පෝස්ට් එකෙන්..

ශුද්ධවරයට ඔසොවනවා කියන්නේ මොකද්ද ?

ගිහින් කියවලා බලන්ඩ.

12 January 2015

මාලිගාවිල සහ දඹේගොඩ

මොණර ගල නැග්ගට පස්සේ අපි එහෙම්මම නේවාසිකාගාරේට ආවා. සෑහෙන මහන්සියක් දැනුනේ... ඔන්න ඊට පස්සේ හවස 6ට 7ට වගේ ලොකු වැස්සක් පටන් ගත්තා.ඒ වැස්ස එකා සීරුවටම පාන්දර වෙනකන්ම වැස්සා. මම හිතුවේ පහුවෙනිදට  අපිට එලියට බැහැ ගන්ඩවත් බැරි විදිහට වහීවි කියලා.

ඒත් එහෙම උනේ නෑ..

උදේ හොඳට පායලා තිබුනා. අපි නේවාසිකාගාරයෙන් එලියට ඇවිදින් මොණරාගල ටවුමට ආවා. එතනින් උදේ කෑම අරගෙන එහෙම්ම ම මොණරාගල - මාලිගාවිල (මාර්ග අංක 236) බස් එකකට ගොඩ උනා.

මොණරාගල > කුඹුක්කන > ඔක්කම්පිටිය > මාලිගාවිල

ඔය රූට් එකෙයි බස් එක යන්නේ. අපි උදේ දහය විතර වෙනකොට මාලිගාවිල බස් නැවතුමට ආවා. එතන ඉදලා මාලිගාවිල බුදු පිළිමය ගාවට පයින්ම ආවා.

මාලිගාවිල බුදු පිළිමය ගැන යමක් කියනවා නම් දැනට ලංකාවේ තියෙන හිටි පිළිම වලින් තුන්වෙනි තැනට උසම බුදු පිළිමයයි. එය උසින් අඩි 37ක් පමණ වෙනවා.

ක්‍රි.ව. 640ත් 700ත් අතර රජකම් කරපු දප්පුල රජතුමාගේ නිර්මාණයක් බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ. මේ පිළිමය හුණුගල් විශේෂයකින් නිර්මාණය කරන ලද්දකි. මාලිගාවිල පිළිමය 1951 වසරේදි සොයා ගන්නා විට බිමට පතිත වී තිබිලා තියෙන්නේ.  1974 අවුරුද්දෙදි මේ පිළිමය ඔසවන්න ගත්ත උත්සහය වැරදිලා කොටස් කිහිපයකට කැඩිලා තියෙනවා.

09 January 2015

නව ජනාධිපතිවරයෙක්- යහ පාලනයක්

පහුගිය ටිකේ ඡන්දේ ඡන්දේ කිය කියා හිටියා. ඕං දැන් ඒකත් ඉවරයි. කොහොමින් කොහොමහරි මෛත්‍රිපාල මහත්මයා නව විධායක ජනාධිපතිවරයා විදිහට තේරී පත් උනා.

හරි ඒවයිං කාරි නෑ...කොහොමහරි මහින්ද ජනාධිපතිවරයාගේ පාලනය පරාද කලැයි කියමු. තාම මෙතුමට ඡන්දේ දීපු ජනතාව දිනුවේ නෑ.. ඒ ජයග්‍රහණය තමා හැබෑ ජයග්‍රහණය වෙන්නේ. ඒ ජයග්‍රහණය ලබන තෙක් ජනතාව දෑස් දල්වා බලා සිටී.

ඒ නිසාම නව ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා තමන්ව මේ තත්වෙට ගේන්න තම වටිනා ඡන්දය ප්‍රකාශ කරපු මහජනතාවට ඒ ජයග්‍රහණය අත්පත් කර දීමට..

මැතිවරණ ප්‍රථිපල වලට පසු...

හප්පා ඡන්දෙත් ඉවර උනා... !

සෑහෙන උණුසුමකින් මේ ඡන්දේ පැවැත්වුනා කිව්වොත් හරි. මම නම් ඊයේ හවස ඉදන්ම විමසිල්ලෙන් හිටියේ මොකද වෙන්නේ කියලා දැනගන්ඩ.


මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් සමුගැනීම හැරුනුකොට මට නම් වෙන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ මෛත්‍රී දිනාවිය කියලා. මොකද කරට කර සටනක් පැවැත්වුනේ.

මේ ඡන්දයේදි මෛත්‍රිපාල මහත්මයාට වාසියකට තිබුනේ උතුරු නැගෙනහිර, ඌව, මහනුවර වගේ පලාත් වල ඡන්ද ප්‍රමාණයන්. මේ වගේ දිස්ත්‍රික්ක වල සෑහෙන ඡන්ද ප්‍රතිශතයක් මෛත්‍රීපාල මහත්මයා අත්පත් කරගෙන තිබුනා.

ඡන්ද ප්‍රථිපල අසමින්...

මම නම් ඊයේ ඉදන්ම රේඩියෝව කන තියාගත්ත ගමන් ඉන්නේ. මම දන්න මැතිවරණ ඉතිහාසෙම මේ තරම් උණුසුම් මැතිවරණයක් දැක්කේ නැති තරම්.ප්‍රථිපලයෙන් ප්‍රථිපලයට තත්වේ උණුසුම් වෙනවා.

මේ වෙනකොට (උදේ 9.30 වෙනකොට ) මෛත්‍රීපාල මහත්තයා ඉදිරියෙන් ඉන්නවා. ඉදිරි ප්‍රථිපල වලදි මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

මේ වෙනකොට යාපනය, මඩකලපුව, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ටික මෛත්‍රිපාල මහත්මයා දිනාගෙන තියෙනවා. මහින්ද මහත්මයා ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක දෙක දිනාගෙන තියෙනවා. මම ඔය කිව්වේ දිස්ත්‍රික්ක ප්‍රථිපල පිට වෙලා තියෙන ඒවා විතරයි.

අනිත් ඒවා නම් කොහොම වේද මන්දා....  

08 January 2015

කෙටිකාලීන ජනාධිපති පදවිය

වරු නිවාඩුව ඉතුරු කරගන්ඩ ඕන හන්දම මම අද උදහැනෙක්කෙම ඡන්ද පොලට ගියා. මම ඡන්ද පොලට යනකොට ඡන්දෙ පටන් ගන්ඩ හිතලාවත් නෑ. ඒ නිසා මට ටික වෙලාවක් බලන් ඉන්ඩ සිද්ධ උනා.

හරියටම හත විතර වෙනකොට ඡන්දේ පටන් ගත්තා. මම ඉස්ස ඉස්සෙල්ලම වගේ ඡන්දේ ලකුණු කලා.ඊට පස්සේ බස් හෝල්ට් එකට දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ස්ටේශමට ආවා. ඒ එනකොට හතහමාරේ කෝච්චිය ගිහින් තිබුනේ නෑ.

ඒකේ නැගලා කොළඹට ඇවිත් එතනින් බස් එකට දුවලා නුගේගොඩට යාන්තන් අටයි තිස් හතර වෙනකොට ඒ ගත්තා.

විනාඩි හතරක ප්‍රමාදයක් විතරයි සිද්ධ උනේ !

07 January 2015

මැතිවරණයට මගේ සූදානම

ඡන්දෙට නිවාඩු හම්බ වෙච්ච නිසා අද අපේ කන්තෝරුවේ බාගෙට බාගයක්ම වැඩට ඇවිත් නෑ. මම ඉන්නේ කිලෝමීටර් 40 අතරේ හන්දා මට හම්බ වෙලා තියෙන්නේ වරුවක ඡන්ද නිවාඩුවක් විතරයි.

මම උදෙම්ම ඡන්දේ දාලා ඇවිත් හවස වරු නිවාඩුව දාලා ගෙදර යන්ඩ හිතාගෙන ඉන්නේ. එතකොට ආයේ ඉතින් හවස් වරුවේ ඉදලම ඡන්දේ අහන්ඩ සූදාන වෙලා ඉන්ඩ පුලුවන් නෙව.

ඡන්දේ අහන්ඩ සූදානම් වෙනවා කියන්නෙත් ලේසි පාසු දෙයක් යෑ. අවුරුද්දක් ආවා වගේ කෑම බීම එහෙම ලෑස්ති කරගෙන ඉන්න එපෑ....

05 January 2015

මොණර ගල ගවේෂණය

පළවෙනි දවසේ අපිට යන්ඩ ඕන කරලා තිබුනේ මොණරාගල රජමහා විහාරයට. එකටම තමා මයුරගිරි ලෙන් විහාරය කියලත් කියන්නේ.. මොණරාගල නගරයේ ඉදලා විහිදෙන කඳු පන්තියේ එක කන්දක් මතයි මේ විහාරය පිහිටලා තියෙන්නේ.

මේ විහාරය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ පොලොන්නරු යුගයේදී එවකට අට දහස් රට පාළනය කරපු සුගලා දේවිය දළදා වහන්සේට පුද සත්කාර කිරීමට ඉදි කරපු දළදා මාලිගාව නිසා. මේ දළදා මාලිගාවේ නටබුන් අද දකින්න තිබෙනවා.

ඒ වගේම තමා දේවානම්පිය තිස්ස රජතුමාගේ කාළයේ මිහිදු හාමුදුරුවන්ගෙන් දහම් අසා රහත් භාවයට පත් වෙච්ච මයුරපාද අමරුප්පොල රහතන් වහන්සේ පන්සියයක් පමණ රහතන් වහන්සේලා සමග මේ විහාරයේ ලෙන් වල බවුන් වසමින් වාසය කරපු බවට ජනප්‍රවාදත් තියෙනවාලු.

කොයි හැටි වෙතත් ලස්සන පරිසර පද්ධතියක පිහිටලා තිබෙන විහාරයක්.

මායි අපේ තාත්තයි නේවාසිකාගාරයෙන් පිටත් වෙලා කඩේකින් උදේ කෑම ගත්තා. ඊට පස්සේ මොණරාගල පොතුවිල් පාරේ පොතුවිල් පැත්තට ගමන පටන් ගත්තා.

03 January 2015

මොණරාගල ගමන

මම නත්තල් නිවාඩුවට අපේ මලයාට පත්වීම ලැබිච්ච මොණරාගල දිස්ත්‍රික් රෝහලට ගියා මතක ඇතිනේ. මේ ගමන ගියේ මායි අපේ තාත්තයි විතරයි. අපේ නෝනට මෙච්චර දුරක් ඇවිත් නවතින්න අමාරු නිසා එයා වේලසනම එන්නේ නෑයි කියලා කිව්වා.

ඒ නිසා මායි අපේ තාත්තයි  ගමන සැලසුම් කලා මොණරාගල ගිහින් අපේ මල්ලිට නවාතැන් හම්බ වෙච්ච නේවාසිකාගාරේම නවතින්න. එතකොට නවාතැන් ප්‍රශ්නෙත් ඉවරයි නෙව.

අපි දෙන්නා සැලසුම් කරගත්තු විදිහට ගිය මාසේ විසි හතරවෙනිදා උදෙන්ම ගෙදරින් පිටත්වෙලා කඩුවෙලට ආවා. කඩුවෙලින් මොණරාගල බස් එකක නගින්නයි අපේ බලාපොරොත්තුව තිබ්බේ.

02 January 2015

ටිකිරි කතා අංක 01: කපටි පර්සි

ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක රටක පර්සි කියලා කපටි මනුස්සයෙක් හිටියා. මේ රටේ දුප්පත් ගම්මානෙකට හොරුන් රැලක් ගෙන් සැහෙන කරදර තිබුනා. කපටි පර්සි දිනක් මේ ගම මැදින් ගමනක් යද්දී මේ ගමේ මිනිසුන් සමඟ කතා කළා.කතා කරද්දී මේ මිනිසුන් ගේ ප්‍රශ්නය ගැන දැන ගත්තා. මෙහෙම කතා කර කර ඉද්දි මිනිස්සු ඇහුවා "ඔබට පුලුවන්ද අපිට උදව් කරන්න ?" කියා. පර්සි ගත් කටටම "ඔව් පුළුවන් හැබැයි මට ගමේ නායකයා වෙන්න ඕනේ නවාතැන් ඕනේ හොඳට කන්න බොන්න ඕනේ" කියලා උත්තර දුන්නා. ගමේ මිනිස්සුත් වැඩේට කැමති වෙලා පර්සිව ගමේ ගෙදරක නවත්තගෙන හොඳට කන්න බොන්න දීල සාත්තු සප්පායම් කළා.

පර්සි වැඩේ බාර ගත්තට මොකද හොරු රැල එලවන විදියක් ගැන හරි අදහසක් මුලින් තිබුනේ නෑ. ඔන්න ඉතිං දවසක් හොරු රැල පර්සි නැවතිලා හිටපු ගෙදරට පැන්නා. පර්සි මේ ගෙදර හිටපු ශක්තිමත් තරුණයෝ එක්ක එකතුවෙලා හොරු එක්ක සටන් කළා. පර්සි තොර තෝංචියක් නැතුව "ගහපල්ලා ගහපල්ලා!!!" කියලා කෑ ගහන්න පටන් ගත්තා.මේ ගාල ගෝට්ටිය ඇහුණාම ගමේ මිනිස්සුත් ඔක්කොම කැති පොලු අරගෙන උදව්වට ආව. වෙනදා නොතිබුණු ජවයකින් මිනිස්සු ඔක්කොම එකා වගේ සටන් කරද්දී හොරු ටික බයේ සී සී කඩ දිව්වා.

01 January 2015

සුබ නව වසරක් වේවා !

එක අවුරුද්දක් ගෙවිලා ගිහින් තව අවුරුද්දක් නොදැනිම උදා උනා. කාලයත් මාර ඉක්මනින් ගත වෙනවා. ඒත්තෙක්කම අපිත් අපිටම නොදැනි වයසට යනවා.

මේ අවුරුද්දේ මගේ හිතේ පැලපදියම් වෙලා තියෙන ලොකුම හීනේ තමා මගේම කියලා ගෙයකට ගොඩ වදින්න. ඒ වෙනුවෙනුයි මම මේ අවුරුද්ද කැප කරලා තියෙන්නේ. ගිය අවුරුද්ද ගැන සලකලා බලනකොට මගේ ජීවිතයේ වෙනසක් වෙච්ච අවුරුද්දක්.