29 December 2014

වීදුරුව බිමින් තියන්න

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය. සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

 “මේක කොච්චර විතර බර ඇද්ද?

 “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

 “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.” මහාචාර්යය වරයා නැවතත් විමසීය.

 “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

25 December 2014

සුබ නත්තලක් වේවා !

ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත්,
ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,
සාමය සතුට සපිරි
සුබ නත්තලක් වේවා !

24 December 2014

නිවාඩුවකට මොණරාගල යමි

අපේ මලයා පත්වීමක් අරගෙන මොණරාගල ගියායින් පස්සේ මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා මොණරාගල පැත්තේ කරක් ගහලා එන්න. ඔන්න ඒ ආසාව ඉශ්ට වෙන්ඩයි යන්නේ. මායි අපේ අප්පොච්චායි මේ නත්තල් නිවාඩුවට මොණරාගල ගිහින් එන්ඩ යන්නේ.

මම සතියක් තිස්සේ ප්ලෑන් කලා මොණරාගල බලන්ඩ ඕන තැන් ටිකක්.

පළවෙනි දවසේ
මොණරාගලින් බුත්තලට ඇවිදින් මාලිගාවිල බුදු පිළිමය වැදපුදාගෙන එහෙම්ම දෙමටමල් විහාරෙත් බලාකියාගෙන එන්ඩ හිතන් ඉන්නවා.

23 December 2014

ඩ්‍රැගන් ෆෘට් මලක්

අපේ තාත්තා හරි ආසයි වගා කරන්ඩ. ඒ නිසා අපේ ගේ පැත්තකින් තියෙන පොඩි ඉඩෙත් තාත්තා වගා කරනවා. වගා කරන එක වගේම තමා අපේ පැත්තේ හැදෙන්නේ නැති එළවලු පලතුරු ජාතිත් ගෙවත්තේ වවලා බලන්න උන්දෑ හරිම මනාපයි.

ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා ! ගෙඩිත් ආවා !

සර් වී ආ ලිවින් ටුගෙදර්

මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.

උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න නිසා කිව්වොත් මම හරි. ඒ අයියා අපට වඩා අවුරුදු දෙකක් සීනියර් බැච් එකක හිටියේ. එයාලෑ ගෙවල් තිබුනෙත් පොලොන්නරුවේ !

ඒ නිසයි මට ඒ අයියාව මතක් උනේ !

මම කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්න දවස්වල අපට හරිම අමාරු වෙච්ච විෂයක් තමයි තර්මෝඩයිනමික්ස් කියන්නේ. සිංහලෙන් කියනවා නම් තාපගති විද්‍යාව !

22 December 2014

කෝට්ටේ නටබුන් සොයා - 5වන කොටස

තලවතුගොඩ පාරේ දිගටම ගියහම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පිට්ටනිය හම්බ වෙනවා. ඒත්තෙක්කම තියෙන තුම්මන්හන්දියෙන් හැරිලා මම ටික දුරක් ගියා. ඒ පාර කෙලවර වෙන්නේ බැද්දගාන කනත්තත් එක්ක තියෙන තුම්මං හන්දියකින්. එතන තමා බැද්දගාන පාර.

මම හිරිපොද වැස්සෙම  බැද්දගාන පාරේ කිලෝමීටරයක් විතර ඇවිදගෙන ආවා. එතකොට බෝධියක් මැදිකරගත්තු තුම්මංහදියක් හම්බ උනා. එතැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු බෝඩ් ලෑල්ලක් තියෙනවා. මම ඒ පාරට හැරිලා ටික දුරක් ගියා.

එතනින් තමා වෙහෙරකන්ද පාරට හැරෙන්නේ. වෙහෙරකන්ද පාර ඉවර වෙන්නේ වෙහෙරකන්ද පන්සලෙන්. පන්සල නම් පස්සේ කාලෙක හදලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. පංසල තිබ්බ භූමියේම තමයි වෙහෙරකන්ද නටබුන් තියෙන්නෙත්.

21 December 2014

කෝට්ටේ නටබුන් සොයා - 4වන කොටස

මේ සති අන්තයේ සෙනසුරාද දවසේ ගෙදර ඉන්න කම්මැලිකමක් හිතුනා. ඒ නිසාම පොඩ්ඩක් කොහාට හරි ඇවිදලා එන්න ඕන කියන අදහස හිතට තදින්ම දැනුන නිසා මගේ ගමන් මල්ලට කැමරාවත් ඔබාගෙන කෝට්ටේ පැත්තට එන්ඩ ගෙදරින් පිටත් උනා. කොහේ හරි දුරකට යන්න නම් වෙලාව මදි නිසා කෝට්ටේ පැත්තේ ඉතුරු නටබුන් ටික බලාකියාගෙන එන්ඩ තමා ගෙදරින් පිට වෙලා ආවේ.

කෝට්ටේ නටබුන් වලින් මට බලන්ඩ කියලා ඉතුරු උනේ අලකේශ්වර මාලිගයේ නටබුන් ටිකයි බැද්දගාන වෙහෙරකන්ද නටබුන් ටිකයි විතරයි.

මම ගෙදරින් පිටත් වෙලා කිරිබත්ගොඩට ඇවිදින් 154 කිරිබත්ගොඩ අඟුලාන බස් එකකට නැග්ගා. බොරැල්ලට ටිකට් අරගෙන බොරැල්ල හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ 153 බොරැල්ල නවරෝහල බස් එකක නැගලා බංගලා හන්දියට ආවා. එතැන ඉදලා පයින්ම දේවාල පාරට ආවා.

20 December 2014

ජංගල්, හින්දි ද ? ඉංග්‍රීසි ද ?

දවසක් අපේ කන්තෝරුවේ මගෙත්තෙක්ක එකට වැඩ කරන එකෙක්,

"උබලා දන්නවද.. ජංගල් කියන්නේ හින්දි වචනයක් කියලා" කිව්වා.

ඒකා එහෙම කිව්වට අපි හැමෝම වාගේ ඒ කතාව එකසැරේටම පිළිගන්න කමති උනේ නෑ. ඒකට හේතුව අපි පොඩි කාලේ ඉදලම අහලා තියෙන්නේ ජංහල් කියන්නේ ඉංග්‍රීසි වචනයක් ය කියලා.

J - u - n - g - l - e (ජංගල්)

"පිස්සුද බං ඒක ඉංග්‍රීසි වචනයක් !" තවේකෙක් කිව්වා.

"නෑ ඒක හින්දි වචනයක්. හින්දි භාෂාවේ කැලෑවට කියන්නේ ජංගල් කියලා. මම ඉස්සර හින්දි චිත්‍රපටිවලත් කැලෑවට ජංගල් කියලා කියනවා අහලා තියෙනවා." අරූත් ගේම අතෑරියේ නෑ. දිගටම පැහැදිලි කලා.

19 December 2014

කොරියන් නාට්ටි පිස්සුව

කාලෙන් කාලෙට ගෑල්ලමයින්ටත් එක එක පිස්සු හැදෙනවා නෙව. එක කාලයක් ආවා කොන්ඩේ ස්ට්‍රේස් කරලා ඉරටු කූරු වාගේ කරගෙන ඉන්න. ඊට පස්සේ ආවා ජිම්නාස්ටික් කලිසම් ඇඳගෙන පාරේ බැහැලා යන්ඩ.

තවත් වතාවක තිබ්බ පිස්සුවක් තමා එක කනකට එක කරාබුවකට වඩා දාන්ඩ. ඒ නිසාම කන පුරාම හිල් කරගෙන කරබු තුන හතර දාන ගෑල්ලමයිනුත් හිටියා.

ඕං දැන් අළුත්ම පිස්සුවක් ඇවිල්ලා.... !

ඒ තමා කොරියන් කතා පිස්සුවක්.. ඒකට මුල පිරුවේ ජාතික රූපවාහිනියේ ගියපු සුජාත දියණි කතා මාලාවයි අභීත දියණි කතා මාලාවයි !

15 December 2014

ලංකාතිලක විහාර වන්දනාව

අපේ ගෙදර කොම්පීතරේ තියෙන පින්තූර ගොන්න දිහා නිකමට බලාගෙන යනකොට මම ගියපු චාරිකා වලින් එක චාරිකාවක පින්තූර ටිකක් බලන්න හම්බ උනා. මේ ගැනත් කෙටි සටහනක් දැම්මේ නැත්නම් මගේ චාරිකා එකතුවට කරන අඩුපාඩුවක් වෙනවා.

මේ සටහන වෙන් වෙන්නේ ඒ අඩුපාඩුව පිරවෙන්න.

කාලෙකට කලින් මතක ඇතිනේ මම බෝගම්බර සිපිරිගෙය බලන්න ගියා කියලා. බෝගම්බර හිරගෙය බලන්න උදෙම්ම නුවර ගියාට මොකෝ ඒ වෙනකොටත් සෑහෙන සෙනග කන්දරාවක් පෝලිම් ගැහිලා උන්නා.

ඒ වෙලාවේ අවුවත් එක්ක පෝලිමේ ඉන්න බැරි නිසා හවස් වෙලා බෝගම්බර එන අදහසින් අපි දෙන්නා බස් එකක නැගලා ලංකාතිලක පැත්තට එන්න තීරණය කලා. අපි දෙන්නා කියලා කිව්වේ මායි අපේ කැම්පස් එකේ මලයෙකුයි.

වැඩි ගානට ෆාමසි බෙහෙත්

ලංකාව වගේ රටකට ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. එහෙම නැති උනහම වෙන්නේ එකම ඖෂධීය වටිනාකම තියෙන ඖෂධ වලට වැඩි මුදලක් ගෙවීමට සිදුවීමයි. තව දෙයක් තමා බාල වර්ගයේ ඖෂධ රෝගීන්ට ලැබීමත් සිදු වෙනවා.

පහුගිය දවසක මටත් එවැනිම සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ උනා. පහුගිය සතියේ මට හෙම්බිරිස්සාවක් හැදිලා අපේ මලයගේ අනුදැනුම උඩ ෆාමසියෙන් සිට්‍රිසින් කාඩ් එකක් ගත්තා. ඒ කාඩ් එකේ සිට්‍රිසින් මිලිග්‍රෑම් 10යේ පෙති දහයක් තියෙනවා. ගාන රුපියල් දහයයි. එක පෙත්තක ගාන රුපියලක් වගේ වෙන්නේ.

මම ඒකෙන් කාඩ් එකක් අරන් ආවා. ගෙදර කට්ටියත් ඒ අයට ඕන වෙච්ච වෙලාවල් වල මේ කාඩ් එකෙන් පෙති බීලා තිබුනා. ඒ නිසා බෙහෙත් කාඩ් එක කලින්ම ඉවර උනා.

මම ආයෙම වෙන ෆාමසියකට ගිහින් ඒ බෙහෙතම මල්ලි ලියලා දීපු තුන්ඩුව දීලා බෙහෙත් ටික ඉල්ලුවා. සිට්‍රිසින් කාඩ් එකක් දීලා රුපියල් 100ක් දෙන්න කියලා කිව්වා. මම එක පාරම ඩිම් උනා. ඇයි යකෝ එදා රුපියල් දහයට කාඩ් එකක්ම ගත්තු බේත අද රුපියල් 100ක් වෙලා තියෙන්නේ. :O

12 December 2014

ගූගල් සිංහල-ඉංග්‍රීසි පරිවර්තන සේවය

වෙනදා අපි එක එක භාෂාවෙන් තියෙන දේවල් ඉංග්‍රීසියට හරවලා ඒවායේ තේරුම දැන ගත්තා. ඔන්න අද ඉදන් අපිට ඉංග්‍රීසියෙන් තියෙන දේවල් සිංහලෙනුත් සිංහලෙන් තියෙන දෙයක් ඉංග්‍රීයෙනුත් දැනගන්න දේවල් උදාවෙලා තියෙනවා.

මේ සේවය තාම පරීක්ෂණත්මක තත්වයේ තියෙන්නේ. මේක තව තවත් වැඩිදියුණු වෙන්න ඕන. ඉදිරියේදි තවත් දියුණු වෙලා ඒවි. මේ සේවය ගැන කෙටි සටහනක් තියන්න ඕන කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ. මොකද මේක සිංහල කියවන ලියන අපේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මේ සේවය වෙනුවෙන් කැපවීම් කරපු අයට ගොඩක් ස්තූතිවන්ත වෙන්ඩ ඕන.

11 December 2014

බ්ලොග් අඩවියේ සීමාවන්

අපි කාලාන්තරයක් තිස්සේ බ්ලොග් ලිව්වට බ්ලොග් වල සීමාවන් දැනගෙන ඉදලා නෑ නෙව. මට අද බ්ලොග් වල සීමාවන් තියෙන ලිපියක් කියවන්න හම්බ උනා. ඒ ලිපියේ තිබ්බ බ්ලොග් සීමාවන් ටික මම පහලින් ලියලා දැම්මා.

බ්ලොග් අඩවි ප්‍රමාණය
එක ජීමේල් ගිණුමකට උපරිම බ්ලොග් අඩවි 100ක් පවත්වාගෙන යා හැකිය.

10 December 2014

කෝපි සහ කෝප්පය

එක්තරා විශ්ව විද්‍යාලයක ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් පැවැත්වුනා ලු. තේරෙන විදිහට කියනවා නං ගෙට් ටුගෙදර් එකක් තිබ්බා ලු. මේ ගෙට්ටුවට එක එක බැච් වලින් අවුට් වෙච්ච අය වගේම සරසවියේ ඉන්න මහාචාර්යවරුත් ආවාලු.

මේ කට්ටිය එක එක දේවල් ගැන කතා කර කර හිටියාලු. පස්සේ පස්සේ මේ අයගේ කතා කලේ තම තමන්ගේ ජොබ් වල තියෙන ස්ට්‍රෙස් එක ගැනයි තමන්ට ජොබ් එකේ පැවරිලා තියෙන වැඩ ගැනයි ලූ.

මේ කතාව අහගෙන උන්නු මහාචාර්යවරයෙක් කුස්සියට ගිහින් ලොකු කෝපි ජෝග්ගුවකුයි විවිධ විවිධ කෝප්ප ගොඩකුයි ගෙනාවාලු. මේ කෝප්ප වලින් සමහරක් පෝසිලේන් කෝප්පලු. සමහරක් වීදුරු කෝප්පලු. සමහර ඒවා ප්ලාස්ටික් කෝප්පලු.

මේ මහාචාර්යවරයා කට්ටිය ඉස්සරහා මේසයක් තියලා කෝප්ප ටික ඒ මේසේ උඩ තිබ්බාලු. ඊට පස්සේ ඒ කෝප්ප වලට කෝපි වත්කලා ලූ.

09 December 2014

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

මට කාලෙකට පස්සේ ලස්සන ගීතයක් අහන්ඩ ලැබුනා. මීට කලින් මේ ගීය අහලා තිබ්බට හිතට වදින විදිහට මේ ගීතය ඇහුවේ අද. මේ ගීය අහන්ඩ මූලික පසුබිම හැදුනේ අපේ අම්මා මට දවසක් දීපු දුරකතන ඇමතුමක් නිසා. අපේ මලයා මීට සති දෙහෙකට විතර උඩදි පත්වීමක් ලැබිලා මොණරාගල ගිහින්. ඒ නිසා ගෙදර හිටියේ මායි අපේ නෝනයි අම්මයි තාත්තයි විතරයි.

මායි අපේ නෝනයි  සතියකට අපේ ගෙද‍රින් පිටවෙලා එයාලගේ ගෙදර ආවා. එතකොට ගෙදර ඉතිරි උනේ අපේ අම්මයි තාත්තයි විතරයි. තාත්තාටත් දවසක් වැඩපොලේ නයිට් එකක් කරන්ඩ ලැබිලා අම්මා විතරක් ගෙයි තනියම ඉන්ඩ සිද්ධ වෙච්ච දවසක අපේ අම්මා මට කෝල් එකක් දුන්නා.

එතකොට තමා අපේ අම්මා මේ ගීය මතක් කලේ... ! ගීයේ පද මාලාව කියවලාම ඉමුකෝ.. !

08 December 2014

ලංගම බස් සේවය

පුද්ගලික බස් එක්ක සංසංදනය කරලා බලනකොට ලංගම බස් වලින් ඉටු වෙන සේවය ගැන සුළුකොට තකන්න බෑ. ලංගම බස් තියෙන්නේ සුළු ප්‍රමාණයක් උනාට ඒ ටිකෙන් සෑහෙන සේවයක් සිද්ධ වෙනවා. කොටින්ම කට කපලා සෙනග පුරෝගෙනත් කොට කොටා යන පුද්ගලික බස් වලට වඩා ලංගම බස් එකක යනේක දාහෙන් සම්පතක්. පුද්ගලික බස් තරම් ලංගම බස් කොට කොටා යන්නේ නෑ. ඒ වගේම ගානට වෙලාවට අදාල නැවතුමට යනවා. ප්‍රමාද වෙන්නෙත් එහෙමත් වෙලාවකට.

ඒ විතරක් යෑ.. ඉන්න හිටින්ඩ බැරි තරමටම සෙනග පුරවගන්ඩ බස් හෝල්ට් වල සෑහෙන වෙලාවක් නවත්තගෙන ඉන්නෙත් නෑ.ඉන්න ටික දෙනා හරි දාගෙන යනවා. ඊටත් වඩා මම ලංගමයට ආස කරන්නේ උදේ ඔෆිස් ටයිම් එකට තියෙන ලංගම බස් සේවයට.ඒක නං සුපිරි !

04 December 2014

පහේ කාසි බෑ

ඉස්සර වගේ නෙමේ දැං නං හිඟන්නෝ රුපියල් දෙකේ ඒවා රුපියල් පහේ කාසි බාර ගන්නේ නෑ. ඉස්සර නම් රුපියලක් දුන්නත් පිං සිද්ධ වෙච්චාවේ ! කියලා අරගෙන යනවා. ඒත් දැන් එහෙම බෑ.. හිඟන්නෙක්ට දිය යුතු අවම මුදලක් ඒ අය විසින්ම තීරණය කරගෙන තියෙනවා.

ඒ ගානට වඩා අඩුවෙන් හම්බ උනොත් විසික් කරලා යනවා එක්කෝ දීපු කෙනාටම ආයේ දීල යනවා. ඒ වගේ සිද්ධියක් මම වත්තල ටවුමෙදි දැක්කා.

මනුස්සයෙක් පාරේ අයිනේ සයිකලේ නවත්තගෙන තව කවුද මන්දා එනකන් බලාගෙන හිටියා.මම හිටියේ ඒ බයිසිකල්කාරයාට ටිකක් එහාට වෙන්ඩ.    ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ හිඟන ගෑනු කෙනෙක් අර මනුස්සයා ගාවට ආවා. ඇවිත් "මහත්තයා කෑම ටිකක් ගන්ඩ කීයක් හරි දෙන්න" කියලා ඉල්ලුවා.

03 December 2014

ආච්චිගේ මරණය හා අමුතු චාරිත්‍ර

මට මේ සතිය උදා උනේ කණගාටුදායක ආරංචියක් අහන්න ලැබීමත් එක්ක. මට වඩා මේ ආරංචියට දුක් උනේ අපේ නෝන. ඒ අපේ නෝනාව පොඩි කාලේ බලාකියා ගත්තු ආච්චි අම්මා අන්ත්‍රා වීමේ කනගාටුදායක ආරංචිය නිසා.

මේ ආරංචිය ඇහුවට පස්සේ මායි අපේ එක්කෙනායි එයාලගේ ගෙදර ගියා ආච්චි අම්මගේ අවමංගල්ලෙට සහභාගි වෙන්ඩ. ඒ ගිහිං අපි දෙන්නා ඒ කටයුතු වලට උදව් උනා. කාලයක් තිස්සේ ලෙඩ වෙලා හිටපු එක තමා මරණෙට හේතු වෙලා තිබුනේ.

ගමේ අය අසල්වැසියෝ ඒ වගේම නෑදෑ හිත්‍රමිත්‍රාදීන් අවමංගල්ලෙට සහභාගි වෙලා ගියා. ඔහොම ආපු ගියපු අය අතරේ එක්කෙනෙක් මිනිය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා පෙට්ටියට වඩා මිනිය ගොඩක් කොටයි. ඒ නිසා කකුල් තියෙන හරියට බිත්තර දෙකක් තියන්ඩ කියලා කිව්වා.

30 November 2014

මාරවිල කුරුස පල්ලියට ගිය ගමන

මේ සති අන්තයේ සෙනසුරාද දවසේ අපේ නෝනා කැමැත්තෙන් උන්නේ මාරවිල කුරුස පල්ලියට ගිහින් එන්ඩ. ඉතින් එයාගේ ආසාව හන්දා මායි අපේ එක්කෙනායි උදෙන්ම ගෙදරින් පිටත් උනා.

අපි දෙන්නා උදේ අටට විතර වත්තලට ආවා. වත්තලින් මීගමු පාරේ යන හලාවත කොළඹ බස් එකක් අල්ල ගත්තා. බස් එක පෑ දෙකක් විතර අරගෙන මාරවිලට ආවා.

කුරුස පල්ලිය ගැන කියනවා නම් ඒ පල්ලිය තියෙන්නේ මාරවිල. පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැහැලා ටික දුරක් හලාවත පැත්තට ඇවිදගෙන ආවහම මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පාරෙන් කිලෝමීටර් එකහමාරක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකෙ ගියොත් රුපියල් සීයයක් විතර ගන්නවා.

29 November 2014

රස්සාව ලැබෙනකන් ගේට්ටුව ළඟ

දවසක් අපේ සීයා මට කියපු කතාවක් මතක් උනා. ඒක කතාවක් කිව්වට මහ ලොකු කතාවක් නෙමේ. මනුස්සයෙක්ට රස්සාවක් ලැබුනු විදිහක්. සීයා කියපු විදිහට ඒ මනුස්සයා ජීවත් උනේ සීයලෑ ගමට අල්ලපු ගමේ ලූ.

ඒ මනුස්සයා එක වතාවක් කොහෙදෝ මන්දා තැනක රස්සාවකට සම්මුඛ පරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයාට සුදුසුකම් තිබිලා තිබ්බත් ඒ වෙනකොට පුරප්පාඩු පිරවිලා තියෙන නිසා රස්සාවක් ලැබිලා නෑලු.

සීයා කියපු විදිහට ඒ කාලේ ඉන්ටර්විවු තියලා ඒ මොහොතෙම වගේ කියනවලු රස්සාවට එන්ඩ ඕන දවසත්. දැං නං කියන්නේ පස්සේ දන්වන්නම් කියලා නෙහ්. ඒ වගේම තමා ඉන්ටර්විවු තියලා පුරප්පාඩු වලට කට්ටිය තේරුනහම ඉතුරු කට්ටියව හරවලා යවනවලු.

ඉතිං මේ මනුස්සයා එදා අප්සැට් එකේම හැරිලා ආවලු.ඒ එන ගමන් මේ මනුස්සයා හිතා ගත්තාලු මම කොහොමහරි එතන රස්සාවට යනවමයි කියලා.

ඊට පස්සේ මොකද දන්නවද ඒ මනුස්සයා කරලා තියෙන්නේ ?

28 November 2014

අන්තර්ජාලය වේගය හා අප්ලෝඩ් කිරීම

අපට අද උදේ ඉදලා සෑහෙන වෙලාවක් යනකන් අන්තර්ජාල පහසුකම තිබුනේ නෑ. වෙබ් අඩවියක් උනත් ලෝඩ් වෙන්ඩ සෑහෙන වෙලාවක් ගත්තා. ඊයේ හවසත් ටිකක් ස්පීඩ් අඩු ගතියක් තිබ්බා. ඒත් හවස නිසා ඒක ඒ හැටි ගානක් උනේ නෑ.

අද නං උදේ හිටන්ම අන්තර්ජාලය නෑ... !

එපා වෙනවා. මොකුත් හොයන්ඩ වෙන්නෙත් නෑ ඒ වගේම අන්තර්ජාලය සම්බන්ධ වෙන කිසිම වැඩක යෙදෙන්ඩ බෑ. ඒ නිසා අපට දීලා තිබ්බ අධ්‍යාපන වීඩියෝ වගයක් බැලුවා.

අන්තර්ජාල වේගය ගැන මතක් උනහම මට අපේ එක්කෙනෙක්ට ගහපු මඩක් මතක් උනා. මේක ඇත්තටම මඩක්. කොහද මම දන්න විදිහට මේකා මේ වාගේ වැඩක් කරයි කියලා හිතන්ඩ බෑ.

මේකයි වැඩේ.

27 November 2014

හිස්තැන පුරවන්න

හවසට මං අපේ කන්තෝරුවේ ඉදලා ගෙදෙට්ට බස් එකේ යනවා නං පෑ දෙකාමාරක් විතර ගත වෙනවා.ඒ තරමටම පාරේ ට්‍රැෆික්. ඒ නිසාම මම තීරණය කලා දවසක් දෙකක් කෝච්චියේ ගිහිං බලන්ඩ.පෑ දෙකහමාරට වඩා අඩු කාළයකින් මට ගෙදෙට්ට යාගන්ඩ පුලුවන් උනා නං මම දිගටම හවසට කෝච්චියේ ගෙදර යනවයි කියලා.

(කට්ටිය දැං කියයි මම කසාද බැන්දට පස්සේ ඉක්මනින් ගෙදර යාගන්ඩ හොයනවයි කියලා. ඉක්මනින් ගෙදර යන්ඩ ඕන කියන තීරණය ගත්තේ බඳින්ඩ කලින් ඈ.. :) )

අපේ කන්තෝරුවේ ඉන්නවා ඒ දවස්වල ඉදලම කෝච්චියෙන් වැඩට එන අය. ඒ උන්දලා කෝච්චියෙ සිද්ධ වෙච්ච රස කතා එක එක සිදුවීම් අපිත්තෙක්ක බෙදා හදා ගන්නවා. අපිත් ඉතිං කරන වැඩේ නවත්තලා ඒ කතා අහගෙන ඉන්නවා. :)

26 November 2014

පින්තූර ගැනිල්ල

මීට කලින් මහියංගනය ගැන ලියපු ලිපිය ලියනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි ඒ දවස්වල කැමරාවකින් පින්තූරයක් ගන්න එකත් මාර ගෙමක් කියන එක. ඒ දවස්වල කිව්වේ වැඩි ඈතක නෙමේ අනූ ගණන් වල.

ඒ දවස්වල දැන් වගේ ඩිජිටල් කැමරා තිබුනේ නෑ. තියෙන්ඩත් ඇති.. ඒ හැටි ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. හැමදේටම තිබුනේ ෆිල්ම් රෝලක් දාපු කැමරා. ඒ කැමරාවට ෆිල්ම් රෝල හරියාකාරව දාගන්න ඕන. ඊට පස්සේ ෆොටෝ එකෙන් ෆොටෝ එකට ෆිල්ම් රෝලේ එක කට්ටක් පන්නන්ඩ ඕන. එහෙම නැත්තං කලින් ගහපු ෆොටෝ ෆ්‍රේම් එකේම දෙවෙනි පාරත් ෆොටෝ එක වදිනවා.

25 November 2014

සිතින් මහියංගනේ සැරිසැරුවෙමි

අද උදේ බස් එකේ යනකොට මට අපූරු සිංදුවක් අහන්ඩ හම්බ උනා. බස් වල රේඩියෝ එකේ දාන සිංදු ගොඩක් වෙලාවට කැමැත්තෙන් අහනවාට වඩා බලෙන් අහන්ඩ සලස්වලා නෙහ් තියෙන්නේ.ගොඩක් වෙලාවට බස්වල රේඩියෝ එකේ යන සිංදුවලින් වැඩිහරියක්ම තියෙන්නේ නාහෙන් අඬන ඒවා. පැයක් දෙකක් බස්සෙකේ වාඩිවෙලා එලියට බහිනකොට නාහෙන් ඇඬිලි අහලා හොඳටම හෙම්බත් වෙලා.

ඔය නානාප්‍රකාර සිංදු අතරේ මට එක සිංදුවක් අහන්ඩ ලැබුනා. ඒ සිංදුව තමා පහලින් දාලා තියෙන්නේ.

කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ


මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ

ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ

කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා

කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා

24 November 2014

මලයගේ පත්වීම සහ මගේ හීනය

මේ ටිකේ මාර කාළගුණයක් තියෙන්නේ. උදේට ඝන සැරේට මීදුම. හවසට මොරසූරන වැස්ස. ඔය කාළගුණ විපර්යාස දෙක මැද්දෙන් තමා අපි දවසේ වැඩකටයුතු කරන්නේ. මේ කාළගුණ විපරියාස දෙකම මං වගේ පීනස් කාරයින්ට වහ කදුරු වාගේ. ඇයි වදේ උදේ හිටන් රෑට නින්දට යනකන් ලේන්සුව අතේ තියාන ඉන්ඩ එපෑ..

ඔය සීතල කාළගුණ විපරියාස මැද්දේ ලංකාව උණුසුම් වෙලා යන දේශපාලන උණුසුමකුත් නැතුවම නෙමේ. හැබැයි ඉතිං ඔය කොයි කවුරු දින්නත් අන්තිමේදි ආපහු හැරිලා බලනකොට ඡන්දදායකයා පරාද වෙලා. දේශපාලන වේදිකා වලදි තිබ්බ ගහ බැන ගැනිලි ඡන්දය ඉවර වෙනවත්තෙක්කම නැවතිලා දෙගොල්ලෝ සතුටින් රට කරගෙන යනවා.

23 November 2014

කෝට්ටේ නටබුන් සොයා - 3වන කොටස

මතකනේ මමයි අපේ එක්කෙනායි කෝට්ටේ රාජධානියේ ඇවිද්දා කියලා. අද ඒ ගමනේ තුන්වෙනි ලිපිය ලියන්නයි යන්නේ. එක අතකට මේ ලිපි සෙට් එකම එක ලිපියක ලිව්වා නං හොඳයි කියලත් හිතෙනවා.ඒත් ඉතිං කම්මැලිකම ලොකුයි නෙ
ව.කලින් ලියපු කෝට්ටේ ලිපි දෙක කියවන්ඩ ලැබුනේ නැත්තං මෙන්න මෙතනින් ගිහින් ලිපි දෙක කියවන්ඩ.

කෝට්ටේ පළමු ලිපිය | කෝට්ටේ දෙවන ලිපිය

කෝට්ටේ කෞතුකාගාරයේ වැඩට හිටපු කෙනාගෙන් අහගත්තු තොරතුරු අනුව අපි දෙන්නා පිටකෝට්ටේ-රාජගිරිය පාරේ රාජගිරිය පැත්තට පල්ලම් බැස්සා. ටික දුරක් යනකොට දකුණත පැත්තේ තිබ්බ කොටුබැම්ම පාරට හැරුණා. ඒ කෝට්ටේ කොටුබැම්ම ඒ කියන්නේ කෝට්ටේ රාජධානියේ බැම්මේ නටබුන් බලන්ඩ.කොටුබැම්ම පාරේ ටික දුරක් යනකොට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු බෝඩ් එක දකින්ඩ පුලුවන්.

21 November 2014

එපා වීම

කෝට්ටේ ගැන ලියන්ඩ තියෙන අන්තිම ලිපියට ඕන කරන කරුණු ටිකක් හොය හොයා ඉන්නකොට තමා මේ ටිකේ මම දකින දේවල් ගැන පොඩ්ඩක් ලියන්ඩ හිතුනේ. මම දකින දේ කියන්නේ මම මේ ටිකේ වැඩියෙන්ම දකින දේ... මම විතරක් නං නෙමේ රටේ මහජනතාව මේ දවස්වල වැඩිපුරම දකින්නේ පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම.

මුලින්ම මෙහෙමයි. අපි කියවන්ඩ කියලා පත්තරයක් ගත්තත්, මොනාහරි බලන්ඩ කියලා රූපවාහිනිය දැම්මත් වැඩිපුරම දකින්නේ මහින්ද මාමගේ හොඳ විතරමයි. මාමා බලයට ආපු දා ඉදලා මේ වෙනකන් කරපු හොඳ වැඩමයි පෙන්නන්නේ. උදේ හිටන් හවස් වෙනකන් මේවා දැකලා දැකලා ඔලුවත් කුරුවල් වෙනවා.

මේං බලන්ඩ  උදාහරණ. මූණුපොතේ ෂෙයාර් කරලා තිබ්බ එකකින් තමයි මේ පින්තූරේ ගත්තේ.

ඒ විතරක් නං මදෑ කියමුකෝ. ජීවත් වෙන්ඩ කරන රස්සාවට යන්ඩ පාරට බැස්සත් පතරංග සයිස් බෝඩ් වල මහින්ද මාමා හදපු දේවල් ගැන කියලා තියෙනවා. හදපු දේවල් විතරක් නෙමේ ඉදිරියට හදන්න යන දේවල් ගැනත් කියලා දාපු බෝඩ් දකින්ඩ පුලුවන්.

පාරේ අඩි දහයෙන් දහයට මේ ජාතියේ බෝඩ් පුරෝලා. ඒ විතරක් නං නෙමේ බිත්තිවලයි ලයිට් කණු වලයි පෝස්ටර් පුරෝලා.

මේ විසූක දස්සන බලාගෙන ඉක්මනින් වැඩට යා ගන්ඩ ලංගම බස් එකකට ගොඩ උනා. පුද්ගලික බස් වලට වඩා ලංගම බස් ඉක්මනින් යන නිසයි ලංගමයකට ගොඩ උනේ. ලංගම බස් එකකට නැගලා වාඩි උනා විතරයි මම දැක්කේ අහවල් අයවැයෙන් අහවල් එක අඩු කරපු නිසා ස්තූතියි කියලා අලවපු පෝස්ටරයක්.

සංසාරේ එපා වෙනවා අප්පා... ටික දවසකට ලංකාවෙන් පිට වෙලා ඉන්න තියෙනවා නම් ඒකත් සැපක්. මොකද ඉතින් එකම දේ හැම වෙලාවෙම දකිනකොටයි අහනකොටයි පුදුම එපා වීමක් තියෙන්නේ.

එක වෙලාවකට හිතෙනවා ඔය තියෙනවයි කියන මෙව්වා එක ඉක්මනින්ම තියලා ඉවර කරනවා නං හොඳයි කියලා.

18 November 2014

නටන වතුරේ ගෙම්බාගේ සිංඩ්‍රෝමය

ගෙම්බෙක් අල්ලා ජල භාජනයකට දමන්න.ඉන්පසු ජලය සෙමින් රත් කරන්න. ජලය රත් වීමට සාපේක්ෂව ගෙම්බා ද සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. තව දුරටත් ජලය රත් කරන විට ඌත් ඊට සාපේක්ෂව සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගනී. කෙමෙන් කෙමෙන් ජලය නටන උෂ්ණත්වය කරා එනවිට ගෙම්බාට තව දුරටත් සිය ශරීර උෂ්ණත්වය ඉහල දැමිය නොහැක.

එසේම ඌට රත් වූ ජල භාජනයෙන් පැන යාමට ද නොහැකිය. එසේ වන්නේ ඌ සිය ශරීර උෂ්ණත්වය ඉහල දමා ගැනීමට ශක්තිය වැය කල නිසාවෙනි.

ඔබ සිතන පරිදි ගෙම්බාට මිය යාමට සිදු වූයේ කුමක් නිසා ද ?

බොහෝ දෙනෙකුගේ පිළිතුර ජල භාජනය යන්නයි.

එහෙත් එය නිවැරදි පිළිතුර නොවේ. ගෙම්බාට මිය යාමට සිදු වූයේ අවශ්‍ය විටෙකදී තීරණ ගැනීමට තිබූ නොහැකියාවයි. අපි හැමෝටම අප ඉන්නා තැන අනුව අප ඇසුරු කරන මිනිසුන් අනුව වෙනස් වීමට සිදු වේ.

ඒ ඒ තත්වයන් වලට හුරු වීම හෝ ඒ ඒ තත්වයන් වලට මුහුන දීමට සිදුවේ.එසේම ඒ ඒ තත්වයන් වලදී අපිට අවශ්‍ය කරන තීරණය ගැනීමට අප අමතක නොකල යුතු ය.

අදාල තීරණය ගැනීමට සුදුසු අවස්ථාවේදි අදාල තීරණය ගැනීමට මතක තබා ගත යුතු ය.

---------------------------------------------------------------------
මේක මට ඊ මේල් එකකින් ආපු කතාවක්. වටියි කියලා හිතුන නිසා ටික වෙලාවක් අරගෙන සිංහලයට පරිවර්තනය කලා. මේ ඊ මේල් පණිවිඩයේ මාතෘකාව තිබුනේ THE BOILING FROG SYNDROME කියලා. මම ඒක එහෙම්මම සිංහලයට දැම්මා. :)

13 November 2014

අපේ මලයා සහා ගමේ පළවෙනි දොස්තර

අද මම වැඩට ගියේ නෑ.. අද නිවාඩුවක් දැම්මා. ඒ වෙන මොහොකටවත් නෙමේ. අපේ මලයගේ උපාධිප්‍රදානෝත්සවය යෙදිලා තියෙන්නේ අද.

ඒ නිසා අපි කට්ටියම උදෙන්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගියා. අපේ මලයා ලෑස්ති කරලා තිබුන වෑන් එකේ තමයි කට්ටියම ගියේ.

ශාලාවට ඇතුල් වෙන්න අවසරපත් දෙකක් විතරයි තිබුනේ. මායි අපේ උන්දැයි කලින් ඉදලම හිතාගෙන උන්නා අම්මලා උත්සවේට ගිහිං එනකන් අපි දෙන්නා එලියෙන් ඉන්නවයි කියලා. ඒත් අපි දෙන්නටත් අවසරපත් දෙකක් ලැබුන නිසා එලියට වෙලා ඉන්ඩ උනේ නෑ.අපි දෙන්නත් උපාධි ශාලාවට ගියා.

මේ උපාධි උත්සවේ කොටස් දෙකකට තිබුනේ. පලවෙනි කොටස වෛද්‍ය පීඨයේ අයටයි ශාස්ත්‍ර පීඨයේ අයටයි උපාධි දුන්නා. ඉතිරි පීඨ වල අයට උපාධි දෙන්නේ ඊලඟ කොටසට.

අපේ මලයා කැළණිය සරසවියේ වෛද්‍ය විද්‍යා උපාධිධාරියෙක්.ඒ වගේම තමයි අපේ මලයා තමා අපේ ගමෙන් බිහිවෙච්ච පළවෙනිම වෛද්‍යවරයා.

ඒ කොයි වෙතත් අපේ ගෙදර අයට අද සෑහෙන සතුටු දවසක්. විශේෂයෙන්ම මට සෑහෙන සතුටු දවසක්. මොකද මට කියලා කුරණි වලින් මනින තරම් සහෝදරයෝ ඉන්න එකක් යෑ.. ඒ නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුනු දවසක් අද. ඒ නිසාමයි මේ බ්ලොග් සටහනත් ලියා තියන්ඩ හිතුවේ.

අපේ මලයා මොන උපාධිය ගත්තත් මට නම් තාම දැනෙන්නේ එදා වගේම මාත් එක්ක රණ්ඩු වෙච්ච මාත්තෙක්ක හිනා වෙච්ච මාත්තෙක්ක බැනගත්තු එකාමයි කියලා.

ඔය පහලින් තියෙන පින්තූරේ ඉන්නේ අපේ මලයා.පේනවනේ හෙන ගැම්මෙන් ඉන්නේ කියලා... පුඃ :)
උදේ ඉදලා එහාට්ට මෙහාට්ට දුවලා හරිම මහන්සියි. ඒත් ඉතින් අදම පොඩි සටහනක් බ්ලොග් එකේ දාලම ඉන්නවා. එහෙනං මං යනෝ.. ජය වේවා !

12 November 2014

පරිගණක ඉංජිනේරුවෝ

මට අද වැඩ කරගෙන යන වෙලාවේ නිකමට වාගේ හිතුනේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම මිනිස්සු පුදුම දේවල් ගොඩක් හිතාගෙන ඉන්නේ කියලා. කොටින්ම මිනිස්සු හිතන්නේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම පරිගණකයේ ඇණයක් ඇණයක් ගානේ ඉදලා දන්න කෙනෙක් ය කියලා.

ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඕන කෙනෙක්ගේ ඔලුවට එක පාරටම එන්නේ පාලම් හදන ගොඩනැගිලි හදන කෙනෙක් කියලා.එතකොට ඕන කෙනෙක් මුලින්ම අහන්නේ "කොහේ බිල්ඩිමක්ද/පාරක්ද/පාලමක් ද හදන්නේ" කියලා. පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම චුට්ටක් විතර කල්පනා කරලා අහන්නේ "කොම්පියුටරයක් හදන්න පුලුවන්ද ?" කියලා. කම්පියුටරයක් හදනවා කියන්නේ එක එක කෑලි ගෙනත් එකලස් කරලා හදන එක නෙමේ. IC කෑල්ලේ පාස්සලා හදන්ඩ පුලුවන්ද කියලා. එහෙම කරන්න පුලුවන් නං අළුත් කම්පියුටර් වර්ගයක් හදලා විකුණ ගන්ඩ බැරුව යෑ. :)

තව එකක් තමා පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඔපිස් ගිහින් කරන්ඩ ඕන වැඩ මොනවද කියලා අහනවා. සොෆ්ට්වෙයාර් හදනවයි කියලා උත්තර දුන්නහම ඊලඟට අහන්නේ "ෆොටෝෂොප් වගේ මයික්‍රොසොෆ්ට් ඔපිස් වගේ සොෆ්ට්වෙයාර් හදන්න පුලුවන්ද?" කියලා. කණ්ඩායමක් එකතු වෙලා ඒ ජාතියේ ඒවා හදන්ඩ බැරි කමක් නෑ. ඒත් මිනිස්සු හිතන්නේ ඒ වගේ එකක් තනියම හදන්ඩ පුලුවන් ඇති කියලා.

හොඳම වැඩේ තමා කාගේ හරි කොම්පියුටරේක මොකක් හරි අවුලක් ආවොත් ඒකට ක්ෂණික උත්තරයකුත් බලාපොරොත්තු වෙනවා. හරි හමන් උත්තරයක් දෙන්න බැරි උනොත් ඒ අය හිතන්නේ එච්චර වැඩ බෑයි කියලා.

ඔය වගේ වැඩක් මට හම්බ උනොත් මම කරන්නේ එක එක ටෙක්නිකල් වචන ගොඩාක් දාලා ලොකු උත්තරයක් දෙනවා. ඒක අනිවාර්යෙන්ම තේරුම් ගන්ඩ බෑ කියලා හිතුනහම ඒ අය සද්ද නොකර ඉන්නවා.ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වැඩක් නං ඉක්මනින් කරලා දානවා එහෙමත් අමාරු වැඩක් නං පස්සේ හිමිහිට දන්න කෙනෙක්ගෙන් අහලා, එහෙම නැත්නම් ගූගල් වලින් හොයලා ඒ කොම්පියුටරේ හදලා දානවා.

එතකොට දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් නෑ නෙහ්.. අනික අපි කියලා හැම ප්‍රශ්නෙටම උත්තරේ කට පාඩං කරගෙන ඉන්ඩ කියලා යෑ...හික්ස් :)

11 November 2014

දහතුන

බටහිර ජාතින්ගේ විශ්වාසයට අනුව දහතුන අසුබ අංකයකි. මෙයට හේතුව කිතු දහම හා බැඳී පවතී. ජේසු තුමන් සිය ගෝලයන් සමග සහභාගී වූ අන්තිම රාත්‍රී භෝජනයට පැමිණි සංඛ්‍යාව දහතුනකි.

ඒ ජේසු තුමා හා ගෝලයන් දොලස එකතු වීමෙනි. මේ රාත්‍රී බෝජන සංග්‍රහයෙන් පසුව ජේසු තුමාව ජුදාස් නම් සිය ගෝලයා විසින් පාවා දුන් නිසා ඔවුන් දහතුන යන සංඛ්‍යාව අසුබ ඉලක්කමක් යැයි සලකති.

මේ නිසාම ඔවුන් සුබ කාරණාවලදි දහතුන භාවිතා කරන්නේ නැත. අංක තහඩුවට දහතුන යෙදෙන වාහන මිලදී ගැනීමටද ඔවුන් මැලි වේ. එසේම සමහර සුපිරි පංතියේ හෝටල් වල දහතුන් වෙනි කාමරයක් පවා දකින්නට නොලැබේ.

වර්ෂයක කිසියම් මාසයක දහතුන් වෙනි දිනය සිකුරාදා දිනයක යෙදේ නම් එය දහතුන ඉලක්කමේ අසුබබව තවත් වැඩි කරන්නකි. ඒ නිසා එදින සුබ කටයුතු ඇරඹීමෙන් වැලකීමට ඔවුන් වග බලා ගනී.

නෝර්වේජියානු පුරාවෘත්තයකට අනුව දෙවිවරු දොලහක් සහභාගී වූ උත්සවයකට තවත් ආරාධනා නොකල දෙවි කෙනෙක් පැමිණ උත්සවය සංවිධානය කල දෙවිවරුන් සේරම මරා දැමූ බව සඳහන් ය. මේ නිසා ඔවුන් ද දහතුන අසුබ ඉලක්කමක් යැයි සිතති.

මීට අමතරව දහතුන අසුබ ඇයි කීමට කාරණා බොහෝමයක් බටහිර ජාතීන් අතරේ පවතී.

----------------------------------------------------------------------
ප.ලි. - කාලයක් ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් සුද්ද බුද්ද කරලා සම්පූර්ණ කලා. කෝට්ටේ රාජධානිය ගැන ලියන්න තිබ්බ ඉතුරු ලිපිය ඉක්මනින්ම ලියන්නම්.

10 November 2014

කෝට්ටේ නටබුන් සොයා - 2වන කොටස

කෝට්ටේ රජමහා විහාරය වැදපුදාගෙන අපි දෙන්නා ප්‍රධාන පාරට ආවා. ප්‍රධාන පාර කිව්වේ මාර්ග අංක 168 කොටහේන නුගේගොඩ බස් පාරට. එක පැත්තකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරය දකින්න පුලුවන්. ඉරිදා දවසක් නිසා දහම් පාසලක් පැවැත්වෙන බවක් දකින්න තිබුනා.

අපි එතනින් පල්ලම් බැස්සා. එක පැත්තකින් කෝට්ටේ ප්‍රදේශයේ ජනප්‍රිය පාස දෙකක් වෙච්ච ආනන්ද ශාස්ත්‍රාලයත් ශා. තෝමස් විද්‍යාලයත් දකින්න තියෙනවා. අපි තවත් ඉදිරියටම, ඒ කියන්නේ පිටකෝට්ටේ හන්දිය පැත්තට ඇවිදගෙන ආවා.

එතකොටම තමයි අපි දැක්කේ පිටකෝට්ටේ ගල් අම්බලම.

එතන ටිකක් නැවතිලා පින්තූර කිහිපයකුත් ගත්තා. මේ ගල් අම්බලම 19 වෙනි ශත වර්ෂයේ හදපු එකක්. මේ ගල් අම්බලම කලින් තිබුනේ පාර මැදක් වෙන්ඩ ලු. පාර පලල් කිරීමේ කටයුතු නිසා ගල් අම්බලම එතනින් ගලවලා ඊට ටිකක් එහායින් ඒ තිබුන විදිහටම සවි කලා ලූ.

මේ වෙනකොට ගල් අම්බලම එක එක මිනිසුන්ගේ නවාතැන්පොලක් වෙලා ඉවරයි. ඒ වගේම ඒ ගල් අම්බලම විවිධ අවස්ථාවන් වලදී කඩයක් විදිහටත් පාවිච්චි කරන බවක් පෙනුනා. කෝට්ටේ රාජධානිය කියලා කිව්වට මහ ලොකු පුරාවස්තු නැති එකේ මේ ටිකවත් මීට වඩා සංරක්ෂණය කලා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.

හරි... වැඩි කතා ඕනැන්නේ නෑ.. අපි පින්තූර ටිකක් බලලා ඉම්මු.

ඔය පහලින් තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහලා තියෙන පුවරුව.

ඒකේ තියෙන විස්තරත් කියවලා මම ගල් අම්බලමේ පැති පෙනුමේ පින්තූර කිහිපයක් ගත්තා.පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූර වලින් එකක්.
මේ අම්බලමට ගල් අම්බලම කියන්නේ ගල් කණු පාවිච්චි කරලා තියෙන නිසා වෙන්ඩ ඕන. අම්බලමේ වටේ බලලා ඊට පස්සේ අම්බලම ඇතුලට ගොඩ උනා. මම කැමරාවක් අතේ තියාගෙන අම්බලම ඇතුලට ආපු නිසා ඒක ඇතුලේ හිටපු අය ටිකක් කලබල උනා. ඒ අය ටිකක් එලියට ගියා.මම හිතන්නේ මෙතන පදිංචි වෙලා ඉන්න අය වෙන්ඩ ඕන.

කට්ටියක් පදිංචි වෙලා ඉන්න බවක් නම් පෙනෙන්ඩ තියෙනවා.
 වහලේ ලන්තෑරුමකුත් එල්ලලා තියෙන්නේ.මම අම්බලමේ කැණිමඩලේ පින්තූරයකුත් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
අම්බලම බලලා ඉවර වෙලා මමයි අපේ එක්කෙනායි පාර මාරු උනා. අපේ ඊලඟ නැවතුම උනේ කෝට්ටේ තියෙන කෞතුකාගාරය. ඒක බලන්ඩ යන්ඩ බස් එකට එන්ඩ ඕන නිසයි පාර මාරු උනේ.පාර මාරු උනාට පස්සේ මම ආයෙම පාරේ එහා පැත්තට පේන ගල් අම්බලමේ පින්තූරයක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
පිටකෝට්ටේ හන්දියේ ඉදලා මාර්ග අංක 163 විදේශ සේවා- දෙහිවල බස් එකේ හරි 168 නුගේගොඩ කොටහේන බස් එකේ හරි නැගලා බංගලා හන්දියට ටිකට් ගත්තා.විනාඩි දහයකුන් පහලොවකින් විතර බංගලා හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ තව ටිකක් බස් එක ගියපු දිහෑවට ඇවිදගෙන ගියා.එතකොට පාරේ දකුණු පැත්තේ තිබ්බ කෞතුකාගාරයට ගොඩ උනා.
 පහලින් තියෙන්නේ ඒ කෞතුකාගාරයේ පින්තූරයක්. මේ පින්තූරේ ගත්තේ පුරාවිද්‍යා වෙබ් අඩවියෙන්.

කෞතුකාගාරේට ගොඩ උනහම ඒක බාරව හිටපු කෙනෙක් පොතක් දුන්නා නම ගම විස්තර ලියන්ඩ. පැමිණීම සටහන් කරන්ඩ වෙන්ටෑ.. අපිට කලින් තව එක්කෙනෙක් එදා ඇවිදින් තිබුනා. අපිට කෞතුකාගරේ බලන්ඩ කියලා එක එක කුටි වල ලයිට් දාලා දුන්නා. මේ කෞතුකාගාරයට ටිකට් ගන්ඩ ඕන නෑ..නමුත් අපිට පින්තූර ගන්ඩ ලැබුනේ නෑ.. ඒකට අවසර නෑලූ.පින්තූර ගන්ඩ ඕන නං පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ගන්ඩ ඕනලු.

මේ කෞතුකාගාරේ කෝට්ටේ යුගයේ තිබ්බ පිගන් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ඒ වගේම පෘතුග්‍රීසි හේවායන්ගේ හිසකෙස් එහෙම තිබුනා.ඊට අමතරව නටබුන් වලින් හොයාගත්තු කොටසුත් තිබුනා.කෝට්ටේ සිංහයා කියලා විරුදාවලිය ලබපු ඊ.ඩබ්. පෙරේරාගේ විවිධ දේවල් එකතුවක් තිබුනා. ඒ කෞතුකාගාරය පවත්වන ස්ථානය ඊ.ඩබ්. පෙරේරාගේ නිවසලූ.

 මෙතනින් එහාට්ට කෝට්ටේ රාජධානියේ බලන්ඩ තියෙන දේවල් ගැන විස්තරයක් කෞතුකාගාරයේ හිටපු කෙනාගෙන් අහගන්ඩ ලැබුනා.උන්දෑ දීපු ඔත්තුව ඔස්සේ අපි දෙන්නා එතනින් එහාට්ට ගමන ඇරඹුවා...

 ඒ ටික ඊලඟ ලිපියෙන්......

09 November 2014

කෝට්ටේ රාජධානියේ නටබුන් සොයා ගිය ගමන

අද ඉරිදා දවසක්... මට නම් නිවාඩු දවසක්... ඒත් මගේ චූටි ටිචර්ට නිවාඩු නෑ.. එයාට අමතර පංතියක් කරන්ඩ තියෙන දවසක්.. ඒ නිසාම මටත් එයා එක්කම නුගේගොඩට එන්ඩ සිද්ධ උනා... එයාව පංතියට දාලා මම නුගේගොඩ ලර්නර්ස් එකකට ගියා. ඒකේන්වත් ලයිසන් එක ගන්ඩ කතා කරගන්ඩ.

ලර්නර්ස් එකේ වැඩ ටික ඉවර වෙලා මම නුගේගොඩ පාර්ක් එකට වෙලා උන්නා අපේ එක්කෙනා පංතිය ඉවර කරලා එනකන්..එයා උදේ එකොලහට විතර පංතිය ඉවර කලා. ඊට පස්සේ මායි එයයි නුගේගොඩ බස් නැවතුම්පොලෙන් 168 නුගේගොඩ- කොටහේන බස් එකට නැග්ගා කෝට්ටේ යන්ඩ.

බස් එකේ වාඩිවෙලා ටික වෙලාවක් ඉන්නකොට බස් එක පිටත් උනා. මම පිටකෝට්ටේ හන්දියට ටිකට් ගත්තා. විනාඩි විස්සක් විතර යනකොට පිටකෝට්ටේ හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ අපි දෙන්නා කෝට්ටේ රජමහා විහාරයට ගියා.

ඉරිදා දවසක් උනත් අපි ගියේ දවල් වෙලාවක නිසා පන්සලේ කවුරුවත් උන්නේ නෑ..

කෝට්ටේ රජමහා විහාරය ගැන කියනවා නං මේ රජමහා විහාරය කරවලා තියෙන්නේ කෝට්ටේ රජකම් කරපු හයවෙනි පරාක්‍රමබාහු රජතුමා.  හයවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි කෝට්ටේ රාජ්‍යධානියට හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමා. මේ රජතුමා අවුරුදු 53ක් රජකම් කලා කියලා තමයි සඳහන් වෙන්නේ.

ඒවයින් කාරි නෑ.. අපි එහෙනං කෝට්ටේ රජමහා විහාරෙට ගොඩ වෙමු.ප්‍රධාන පාරේ ඉදලා බලනකොට විහාරේ ප්‍රධාන දොරටුව පේන විදිහ තමා ඔය පහලින් තියෙන පින්තූරෙන් පේන්නේ..

ප්‍රධාන දොරටුව වහලයි තිබුනේ.අපි ඊට එහායින් තිබුන ගෙට්ටුවෙනුයි විහාරෙට ඇතුල් උනේ. ඒ හරියටම එනකොට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු පුවරුවකුත් තිබුනා.
ඒ පුවරුවත් පහු කරගෙන එනකොට විහාර බිමේ තියෙන ගොඩනැගිලි ටික පේන විදිහ තමා පහල තියෙන පින්තූරෙන් පේන්නේ. ඒකත් බලලා ඉම්මුකෝ..
ඊට පස්සේ අපි දෙන්නා සෙරෙප්පු ගලවලා විහාර මළුවට ගොඩ උනා. විහාර මළුව කිට්ටුව ලොකු නා ගහක් තියෙනවා. ඒ නිසා සෑහෙන සිසිලසක් තියෙනවා.ඒ වගේම නා ගහේ කොළ සිලි සිලි ගාලා සෙලවෙන අපූරු හඩත් ඇහෙනවා. අවේලාවේ ආපු නිසාමද කොහෙද විහාර ගෙයි අගුළු දාලයි තිබුනේ.

කොයික උනත් කමන් නෑ කියලා විහාරගෙයි වටේ ටිකක් සක්මන් කරලා පින්තූර කෑල්ලක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරයක්.. !
ඒත්තෙක්කම වාගේ පැත්තකින් ඝාණ්ඨාර කුළුණත් තිබුනා.
තවත් පැත්තකින් සුදට සුදේ බැබලෙන චෛත්‍යය දකින්න පුලුවන්. චෛත්‍යය දිහෑ ටික වෙලාවක් එකා සීරුවම බලා ඉදලා පින්තූරයක් ගත්තා.
තව දෙයක් තමයි කෝට්ටේ රජමහා විහාරයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඒ සදහා තෙමහල් දළදා මන්දිරයක් තිබුනාය කියලා සඳහන් වෙනවා. මේ තෙමහල් දළදා මන්දිරය ගැන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචනා කරපු සැළලිහිණි සංදේශයේ එක කවියකත් සඳහන් වෙනවා.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැදී
ලද මුනිදා දම්කද පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී

-සැළලිහිණි සංදේශය-

අද තියෙන දළදා මන්දිරය ඒ දවස්වා ඉදි කරපු එක නෙමේ වෙන්ඩ ඕන. මේ දළදා මන්දිරය මෑතකදි ඉදි කරපු තෙමහල් මන්දිරයක් වෙන්ඩ ඕන කියලා මට හිතෙනවා.... :)
මේ පහලින් තියෙන්නේ ඒ දළදා මන්දිරයේ පින්තූරයක්.
රජමහා විහාරේ බලලා ආපහු පිටකෝට්ටේ හන්දියට එන්ඩ පල්ලම් බහිනකොට ඉරත් මුදුන් වෙලා. හරිම රස්නෙයි... ඒ වගේම මාර විදිහට දහඩිය දානවා. ඒත් ඉතිං කමන් නෑ කියලා අපි ඉතුරු ටිකත් බලන්ඩ පිටකෝට්ටේ හන්දියට ආවා.

ඊලඟට අපි ගියේ පිටකෝට්ටේ ගල් අම්බලම බලන්ඩ..... ඒක ඊලඟ ලිපියෙන් ලියන්නම්... දැන් නිදිමතයි... :)

------------------------------------------------------------------------
ප.ලි. - කෝට්ටේ රජමහා විහාරය ගැන ඉතිහාස කරුණු මම ලියන්ඩ යන්නේ නෑ..ඉතිහාස කරුණු තවත් දැනගන්ඩ ඕන නං බුත්සරණ පත්තරේ තිබ්බ මේ ලිපිය කියවන්ඩ.ඒ නැත්නං මවුබිම පත්තරේ තියෙන මේ ලිපිය කියවන්ඩ.

08 November 2014

වලල්ලාවිට ගමන සහ මගේ සංකල්පනාව

එදා පොසොං පෝය දවසක්... මං උදේ වරුවක තිබ්බ සරුවත් දන්සලක් වඳින්න ගෙදරින් එලියට අඩිය තිබ්බා. එතකොටම,

"අයියේ උබත් එනවනං නැගහං ලොරියට !" පාරේ නවත්තලා තිබ්බ ලොරියේ තට්ටුවේ ඉදන් මල්ලි කෑගැහුවා.

"උබ කොහේද මේ යන්නේ ?"

මුගේ යාළුවෝ රෑනත් හිටපු හන්දා මං ඉවෙං වගේ දැනගත්තා මේ නම් කොහේ හරි ට්‍රිප් එකක් යන වැඩක් තමා කියලා. මං සරුවත් දන්සලට යන ගමන අතෑරලා ලොරියට ගොඩ උනා. ලොරියට නගින ගමන්,

"අම්මේ මාත් මූ එක්ක යනෝ !!!!!" කියලා අම්මට දැනුම් දුන්නා.

යන ගමන් තමයි දැනගත්තේ කොහේද මුං යන්නේ කියලා. මුං යන්නේ ආරණ්‍යයක් වඳින්ඩ. වලල්ලාවිට පැත්තේ !

මුලින්ම අපි කළුතර බෝධිය වැඳගත්තා.ඊට පස්සේ කළුතරින් අතුරු පාරකට ලොරිය හරවලා වලල්ලාවිට ආවා. වලල්ලාවිට එන්ඩ කලින්දවල් එකත් පහුවෙලා. බඩේ පණුවෝ කෑ ගහන්ඩත් අරගෙන. තව දුරටත් උන්ට වද දෙන්නේ නැතුව ලඟපාත තිබුන දන්සලකින් නූඩ්ලස් කෑවා.

ආරණ්‍යය තිබුන පාර ගාවට එනකොට ඉරත් හැරිලා හවස් වේගෙන ආවා. 

ඊට පස්සේ කැලෑවක් මැද්දෙන් තිබ්බ පාරක පයින්ම ගමන පටන් ගත්තා. වටපිටාවේ ලස්සන බල බල ආපු නිසා එච්චර මහන්සියක් දැනුන් නෑ... මහන්සියක් දැනුනා නං දැනුනේ ගල් පඩි ටික නැග්ගහම. ඒ ටිකත් ආවහම තමා ආරණ්‍යයයේ ධර්ම ශාලාව තියෙන්නේ.

දාඩිය නිවෙන්ඩත් එක්ක ධර්ම ශාලාවේ පිල උඩ වාඩි උනා. එතකොට මොනවද ලියපු කොළයක් බිත්තියක අමුණලා තියෙනවා. ඒ කොළ කෑල්ලේ ලියලා තිඋනේ ගාථාවක්... ඔය පහලින් තියෙන්නේ ඒක.

දීඝා ජාගරතෝ රත්තී,
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ,
සද්ධම්ම අවිජානතං

නිදිවරන්නාට රැය දිග ය.

ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.
සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ බාලයාට සසර දිග ය.

 අපි ආපු ගමනේ මහන්සිය නිවෙන්න ධර්ම ශාලාවේ පිලේ වාඩි වෙලා ඉන්නැද්දි  කියවපු නිසාද මන්දා මං මේ ගාථා පාඨයට සෑහෙන මනපයි. ඒ නිසාමයි බ්ලොග් එකේ දකුණු පැත්තෙ මේ ගාථාව ලියලා එල්ලුවේ... !!!

හැබැයි තාම මේ ගාථාවෙන් කියන දේ පිලිපදින්න ගිහිං නං නෑ.. :)

ඊට පස්සේ මහන්සි නිවෙනකන් ඉදලා හොඳ හැටි නා ගත්තා. මං ඇදුං ගෙනත් තිබ්බේ නැති හන්දා එකෙක් නානකං ඉදලා උගේ කලිසම ඉල්ලන් ඒක ඇඳං නෑවා. නාල ගොඩ වෙනකොට ආයෙම බඩගිනියි. වෙලාව හොඳ කමට දන් ඉතුරු වෙලා තිබ්බා. ඒවත් වළඳලා ගෙවල් වලට එන්ඩ පිටත් උනා.

එමින් ගමන සරුවතුයි, කෝපියි, බෙලිමලුයි... ඔය වගේ නානාප්‍රකාර දේවල් බිබී ආවා. නියම දවසක් එදා !!!!
කැමරාවක් තිබ්බේ නැති නිසා පින්තූර කෑල්ලක් එල්ලන්ඩ බැරි උනා.කවදහරි ආයෙම ගියපු දවසක පින්තූර දාන්න හිතාගෙන කතාව මෙහෙම ලියලා දානවා. :)

07 November 2014

මොන පොල් බෑය ද

කාලෙකට කලින් ලියලා පල කරන්න බැරි වෙච්ච ලිපියක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා මට හිතුනා ඒක ටිකක් සුද්ද බුද්ද කරලා පල කලා නං හොඳයි කියලා. මේක මේ මම පත්තරේක දැක්ක පොඩි තීරු ලිපියකින් උපුටා ගත්තු කෑල්ලක්. එහෙනං කියවලා බලමුකෝ.

වෙනදා වගේම අදත් බස් එකේ පෑ තුනක් විතර ගත කරලා ගෙදර ආවා. ඇවිදින් ඇදුම් මාරු කරලා ඇඟපතකාරිය හෝදගෙන උනු උනු ප්ලේන්ටියකුත් හදාගත්තා. ප්ලේන්ටිය බොන ගමන් සාලේ ස්ටූල් එක උඩ තිබ්බ අම්මා බලන සිරිකත පත්තරේ දැකලා තේක පැත්තකින් තියලා පත්තරේ බලන්ඩ ගත්තා.

පත්තරේ මුල ඉදන් අගටම තියෙන්නේ  එක එක කෑම ජාති හදන හැටි මේකප් දාන එවුවා මෙව්වා ඇඳුම් මෝස්තර එහෙම.කියවන්ඩ කියලා එහෙමට දෙයක් ඇත්තෙම නෑ... බවලත් උදවියගෙම පත්තරයක් නෙව.

ඔහොම පත්තරේ පෙරල පෙරල ඉන්නකොට එක ලිපියක් මගේ ඇහැ ගැටුනා.

ඒ ලිපියේ තිබ්බේ මේකයි,


පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. ගෑනු පොල් බෑය ඉස්සෙල්ලහම ගාන්ඩ හොඳ නෑලූ.
(ඇහි තුනක් තියෙන පැත්ත ගෑනු බෑය වන අතර අනෙක් බෑය පිරිමි බෑය වේ. )

එහෙම ඉස්සෙල්ලාම ගෑනු පොල් බෑය ගෑවොත් ගෙදර ස්වාමිපුරුෂයාට හොඳ නෑලූ.

ඔන්න ඔය කතාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මත් කාටදෝ මන්දා කියනවා ඇහිලා තියෙනවා.
මොකද හිතෙන්නේ ඒක ඇත්තක් ද ?

නෑ.. ඒක මිත්‍යාවක් ලූ. !!!

එහෙම දෙයක් නෑලූ.පොල් ගෙඩිය බින්දහම ඉස්සෙල්ලම ගෑනු බෑය ගාන එක හොඳයි කියලා තම පත්තරේ ඒ ලිපියේ තිබ්බේ. ඒකට හේතු විදිහට දීලා තියෙන්නේ ගෑනු බෑයේ ඇහි තුනක් තියෙන නිසා ඉක්මනින්ම නරක් වෙන්ඩ පුලුවන් ලූ. ඒ නිසා ඒක මුලින්ම ගාලා ඉවර කරන එක හොඳයි ලූ.

මට ඒ ලිපිය කියෙව්වහම හිතුනේ අපි අතර මෙන්න මේ වගේ බැහැර කළ යුතු මිත්‍යාවන් කොච්චරක් නම් කියලා තියෙනවද ? 

05 November 2014

මෝස් ගණකය

මීට මාස කිහිපයකට විතර උඩදි අපේ කන්තෝරුවේ වැඩ කරන කමල් අයියා ලැප්ටොප් එකෙන් සර්කීට් එකක රූපයක් බලාගෙන ඉන්නවා. මාත් ටික වෙලාවක් ඒ සර්කීට් එක දිහා බලාගෙන ඉදලා "මොකද්ද කමල් අයියා ඔය සර්කිට් එක ?" කියලා ඇහැව්වා.

කමල් අයියා ගැන කියනවා නං අවුරුදු 54ක් වයස අවුරුදු තිහක විතර පරිගණක ක්ෂේත්‍රයේ පලපුරුද්ද තියෙන ප්‍රවීනයෙක්. ඒ වගේම විවිධ විවිධ දේ අත්හදා බැලීම් කරලා බලන්න ආස කරන ගතින් වයස උනත් හිතින් තරුණ මනුස්සයෙක්.

ඉතින් මුන්දෑ මට ඒ සර්කීට් එක ටිකක් විස්තර කලා.

ඒක මෝස් ගණකයේ සර්කීට් එකලු.මෝස් ගණකය කියන්නේ මීට සෑහෙන අවුරුදු ගාණකට කලින් ටෙලිග්‍රාප් පණිවිඩ යවන්ඩ භාවිතා කරපු උපකරණයකට. මේ වෙනකොට දුරකතන හොයාගෙන තිබිලා නෑ.. මේ ගණකයේ තියෙන්නේ එක බොත්තමයි.ඒක තද කිරීමෙනුයි විවිධ විවිධ සංඥා නිකුත් කරන්නේ.

පහලින් තියෙන්නේ මෝස් ගණකයේ රූපයක්.

මේ උපකරණයෙන් පණිවිඩ යවන්නේ මෙහෙමයි.අපි උදාහරණයකට  ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර යවන්න ඕන කියලා හිතමු. A අකුර යවන්න ඕන නං අදාල උපකරණයේ බොත්තම එක පාරක් ඔබලා තව පාරක් දීර්ඝ එබීමක් සිදු කරන්ඩ ඕන. තවත් සරලව කියනවා නම් ඉංග්‍රීසි හෝඩියේ A අකුරට අදාල මෝස් කෝඩ් එක බීප් බීඊඊඊඊඊප්ප්ප්ප්ප් !

ඔය වාගේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගානට මෝස් කෝඩ් ගොඩක් තියෙනවා. පහලින් තියෙන්නේ ඒ එක් එක්  අකුරට අදාල මෝඩ් කෝඩ් ටික.

ඉංග්‍රීසි හෝඩියේ B අකුර ටයිප් කරනවා නම් කෙටි එබීම් තුනයි දීර්ඝ එබීම් එකයි. ඒ කියන්නේ බීඊඊඊඊඊඊඊප්ප්ප්ප්ප් එකයි බීප් තුනයි. බීඊඊඊඊඊප්ප්ප් බීප් බීප් බීප්

පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ එක වචනයක් යවන්න කොච්චර වාර ගණනක් මෝස් ගණකයේ බොත්තම ඔබන්ඩ ඕනද කියලා. ඒ කාලෙට අනුව ටෙලිග්‍රාප් පණිවිඩයක් යවන එකත් ලේසි නෑ. මේ මෝස් කෝඩ් ක්‍රමය ලෝකයට හඳුන්වලා දුන්නේ සැමුවෙල් මෝස් කියන ඇමරිකන් ජාතික විද්‍යාඥයා. මේ මෝස් ගණකයේ තියෙන අවාසිය තමයි මේකෙන් පණිවිඩ යවන්න පුලුවන් ස්ථාන දෙකක් අතරේ විතරයි.

මීට මාස ගණනාවකට කලින් කමල් අයියා පහදලා දීපු මෝස් ගණකයේ සර්කීට් එක ආයෙම මගේ මතකයට ආවේ පහේ පංතියේ ඉංග්‍රීසි පොතේ තිබ්බ පාඩමක් නිසා. මට මතක විදිහට පහේ ඉංග්‍රීසි අච්චු පොතේ තොරතුරු සන්නිවේදනය ගැන පාඩමක් තියෙනවා. ඒකේ සදහන් වෙනවා ඔය මෝස් කෝඩ් ක්‍රමය ගැන. මම ඒ පාඩම උගන්නනකොට මේ මෝස් කෝඩ් කතාවත් සරලව පැහැදිලි කලා.

පස්සේ දවසක අපේ කමල් අයියා මෝස් කෝඩ් ගණකයක් හැදුවයි කියලා කිව්වා. ඒ ගණකය මට ගෙනත් පෙන්නනවා කියලත් කිව්වා. ඒත් මේ වෙනකන් තාම ඒ මෝස් කෝඩ් ගණකය ගෙනාවේ නෑ... :)

අන්තර්ජාලය චුට්ටක් පීරලා බැලුවා නං මෝස් කෝඩ් (Morse Code) ගැන ලිපි ගොඩාක් හොයා ගත්තෑකි.  එහෙනං අදට මං නවතිනවා. ෂා.... හෙට පෝය නිවාඩුවකුත් තියෙනවා නෙව.. :)

04 November 2014

ලක්ෂ දෙකක හිට්ස්

ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.

මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.

කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ මම ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූතියි.

මොකෝ ඉතින් ඒ අය නැත්නම් මේ තරම් හිට් ගානක් ලේසියකට ගන්ඩ පුලුවන් කියලා යෑ.. ඒ වගේම තමා මගේ බ්ලොගය පස්සෙන් පන්නන අය 551ක් වෙලා තියෙනවා.

ඒ වගේම තම පුලු පුලුවන් විදිහට අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් දිගටම ලියන්ඩ තමා මගේ බලාපොරොත්තුව.

එහෙනං සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.

කවදාහරි මතක් වෙන්ඩ කියලා ලක්ශ දෙකේ හිට් කවුන්ටරේ පොඩි පින්තූර කෑල්ලකුත් පහලින් එල්ලනවා.


එහෙනං මං ගියාවේ... අද පල කරන්ඩ කියලා හිතාගෙන ලිය ලියා හිටපු ලිපිය හෙට හරි අනිද්දා හරි දාන්නම්.
සියලු දෙනාට ජය වේවා !

03 November 2014

දත් බුරුසුව සහ සම්මුඛ පරීක්ෂණය

හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා අද බ්ලොග් අඩවිය පැත්තේ ආවා. පහුගිය ටිකේ වැඩ කටයුතු නිසා ලිපි ලිවීම අතපසු වෙලා තිබුනේ. ඒකටත්තෙක්ක අද ලියන්ඩ බැරි යෑ.. :)

මීට සති කීපයකට කලින් සෙනසුරාදා දවසක මායි අපේ උන්දැයි නුගේගොඩ ටවුමට ආවා. ඒ ආවේ අපේ උන්දැට ඉස්කෝලෙක ගුරු පත්වීමකට තිබ්බ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්ඩ.

ඒ ඉස්කෝලේ පුද්ගලික අංශයට අයිති ඉස්කෝලයක්. අපේ උන්දෑ ඉල්ලලා තිබුනේ ඉංග්‍රීසි ගුරු තනතුර. ඒකේ සම්මුඛ පරීක්ෂණය තමා එදා තිබුනේ.

මායි අපේ උන්දැයි එන්ඩ කියලා තිබුන වෙලාවටම ඉස්කෝලේ ගාවට ගියා. අපි දෙන්නා ඉස්කෝලේ පිලිගැනීමේ අංශයේ තිබුනු පුටුවල වාඩි වෙලා අපේ වෙලාව එනකන් උන්නා.

අපේ එක්කෙනාගේ වාරේ ආවහම එයා නැගිටලා ගිහින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා.පිලිගැනීමේ අංශයේ පුටුවල වාඩි වෙලා ඉන්න කෙනෙක්ට සම්මුඛ පරීක්ෂණයේ අහන ප්‍රශ්න සේරම ලාවට ලාවට වාගේ ඇහෙනවා. ඒ තරමටම පිලිගැනීමේ අංශයට ලඟ තැනකයි සම්මුඛ පරීක්ෂණය සිදු කෙරුනේ. මමත් කන ටියුන් කරගෙන උන්නා මොනවද ඒ සම්මුඛ පරීක්ෂණයේ අහන්නේ  කියලා දැනගන්ඩ.

ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ එක එක ප්‍රශ්න ඇහුවා. ඒ අතරේ මගේ හිතේ රැදිච්ච එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ තමා,

ඉංග්‍රීසි භාෂාවෙන්  දතට කියන්නේ 'ටූත්' (tooth) කියලා.දත් වලට කියන්නේ 'ටීත්' (teeth) කියලා. නමුත් දත් ගොඩක් මදින දත් බුරුසුවට ඉංග්‍රීසියෙන් කියන්නේ 'ටූත්බ්‍රෂ්' (tooth brush) කියලා. ඉංග්‍රීසියෙන් දත් බුරුසුවට ටීත් බ්‍රශ් නොකියා ටූත් බ්‍රශ් කියන එකට හේතුව මොකද්ද කියලයි සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු කෙනා ඇහුවේ.

අපේ උන්දැට මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ගැට ගහගන්ඩ බැරි වෙලා තිබුනා. බොරු කියන්ඩ ඕන යෑ මම නම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දන්නේ නෑ.. අපි දෙන්නම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු එකාට බැන බැන බස් එකේ ගෙදර ආවා.

පස්සේ ගෙදර ඇවිත් අන්තර්ජාලය පීරනකොට යාන්තන් සරල උත්තරයක් හම්බ උනා.  මේ සංසිද්ධියට හේතු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන සංයුක්ත නාම පද ලූ (Compound Noun). සංයුක්ත නාම පද කියන්නේ නාම පද දෙකක් එකතුවෙලා හැදෙන තනි නාම පදේකට.

එහෙම නාම පද දෙකක් එකතු වෙලා හැදෙන තනි නාම පදයක මුල් නාම පදය ඒක වචනයෙන් (singular) තියන්න ඕන ලූ. ඒ තනි වචනයෙන් තියන නාම පදය නාම විශේෂණයක් බවට පත් වෙනවාලූ.

උදාහරණෙකට

tooth brush යන සංයුක්ත නාම පදයේ tooth කියන්නේ නාම විශේෂණයලූ. ඒ නිසා ඒ පදය ඒක වචන වෙන්න ඕන ලූ. ඔය වගේමයි බිත්තර ගොඩක් අසුරන බිත්තර පෙට්ටියකට ඉංග්‍රීසියෙන් කියන්නේ egg carton කියලා. මේ වචනයේ egg කියන්නේ නාම විශේෂණය ලූ. ඒ නිසා ඒක වචන වෙන්ඩ ඕන ලූ.

ඔය නීතිය නිසා දත් බුරුසුවට ටීත්බ්‍රශ් (teeth brush) කියලාත් බිත්තර පෙට්ටියට එග්ස් කාර්ටන් (Eggs carton) කියලාත් උච්ඡාරණය කරන්ඩ බෑ....

අපේ උන්දැගේ සම්මුඛ පරීක්ෂණයෙන් මාත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් තව දුරටත් මේ ප්‍රශ්නය බේරුමක් කරලා දෙන්ඩ..
  එහෙනං මං ගියාවේ.... !!!

18 October 2014

ජීවන ගමනේ තවත් එක් සංධිස්ථානයක්

අද දවස මගේ ජීවිතයේ වෙනසක් ඇති කරපු දවසක්. ඒකට මූලිකම හේතුව වෙන්නේ මගේ විවාහය සිද්ධ වෙන්නේ අද වීමයි.  මගේ විවාහය සිදු වෙන්නේ මොරටුව විල්ලෝරාවත්ත කාර්ලෝ බ්‍රෝමියෝ දේවස්ථානයේදි.

උදේ 8ට තමයි දේව මෙහෙය පැවැත්වෙන්නේ.

03 October 2014

පුංචි කාලේ අහපු ගීයක්

පහුගිය මාසේටම ලියන්න උනේ එකම එක ලිපියක් විතරයි. ඒ තරමටම අපේ ඔපීසියේ වැඩ තිබුනා. අලුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්න සිද්ධ වෙච්ච නිසා ඒ කාලය ඉගෙනීමේ කටයුතු වලට වැය කරන්න සිද්ධ උනා.

දැන් ආයෙම පොඩි විවේකයක් ලැබුනා. ඒ නිසා මොනවා හරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා මේ පැත්තට ගොඩ උනා.

ඒති ඉතිං ලියනවයි කිව්වට ලියන්නත් මොනවහරි දෙයක් තියෙන්න එපා ය. ඔහොම හිත හිත ඉන්නකොට තමයි ගොසිප් අඩවියක තිබා මෙන්න මේ ලිපිය දැක්කේ.

මතකද අපි පොඩි දවස්වල ගායනා කරපු මොනවද මුත්තේ මොකද අරන්නේ ගීය.... ? මුලින්ම ඒ ගීයේ පද ටික මතක් කරගෙන ඉමුකෝ.. මෙන්න එහෙනම් මේ ගීයේ පද මාලාව.



ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
            මොකටද ඔබ ඔය බිම හාරන්නේ
සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
         අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
           එක අඹයක්වත් කන්න ලැබේවිද
සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි
         යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
            කරන්න හැකිදේ නොම තේරෙයි මට
සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
        හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල
           ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල
         ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ඒ දවස්වල අපි හරි ආසාවෙන් ගායනා කලා මතක ඇති නේ. ඒ ගීයේ පද මාලාව හරිම සරලයි. ඒ වගේම ගායනා කරන්න්නත් ලේසිම තාලයක් තියෙන්නේ. ඒ වගේම මේ ගීය ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ගේය පද රචනයක්.

පොලොව හාරමින් ඉන්න මුත්තව දකින්න මුනුපුරා මුත්තා ඉන්න දිහාවට යනවා. ගිහින් අහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගලා යන සංවාදය තම මේ ගීයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.

මේ ගීය සරල උනාට ඒ ගීය තුලින් ඉදිරිපත් කරන අදහස සුලුපටු නෑ..

තමන්ට කවදාවත් මේ අඹ පැලයෙන් අඹ කන්න ලැබෙන්නේ නෑ කියලා හිතලා අඹ පැලය නොහිටවා උන්නා නම් කවදාවත් අනාගත පරපුරට අඹ ගහක් ලැබෙන්නේ නෑ.. නමුත් මුත්තා තමන්ට නොලැබුනත් අනාගතය බාර ගන්න එන කවුරු හරි මේ ගහෙන් ප්‍රයෝජන ගනියි කියලා හිතලා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ ගීයෙන් ඉදිරිපත් කරන අදහසත් මේකමයි.. තමන්ට නොලැබුනත් තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ඉටු කරන්න කියන පුංචි ඉල්ලීම මේ ගීය පුරාම තියෙනවා.

කාලෙකට පස්සේ මේ ගීයේ වචන ටික ඇහුවත් ඒ දවස්වල විඳපු රසයම තාම මේ ගීයේ ඉතුරු වෙලා තියෙනවා. යුතුකම් ගැන කියවෙන මේ අපූරු ගීය ඔයාලත් පොඩි දවස්වල අහලා ඇති...

එහෙනම් මම ගියාවේ. වෙලාව තියෙන හැටියකට ලියන්න කියවන්න එන්නම්. ජය වේවා !!

15 September 2014

උලමගේ රාත්‍රිය

මේ සැප්තැම්බර් මාසය... වෙනත් විදිහකට කියනවා නම් සාහිත්‍යය මාසයයි.

සාහිත්‍යය මාසය වෙලත් පොතක් ගැන ලිපියක් ලියවුනේ නැත්තං ඒක ලොකු අඩුවක් කියලා හිතුන නිසා අද ලිපිය පොත් වලට වෙන් කලා.පොත් කියලා බහු වචනයෙන් කිව්වට මම අද ලියන්න යන්නේ එක පොතක් ගැන.

පොත තමයි භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයාගේ උලමාගේ රාත්‍රිය. මේ පොත විතරක් නෙමේ එතුමා ලියපු අනිත් භීෂණ නව කතා ටික මම කාලයක් තිස්සේ හොය හොයා හිටියේ.

ඒ පොත් සෙට් එකෙම පිටපත් සේරම අලෙවි වෙලා අවසන් නිසා කොහෙන්වත් හොයාගන්න බැරි උනා. ඉතින් මම භද්‍රජි මහත්මයාට ඊ මේල් පණිවිඩයක් යවලා ඇහුවා මේ පොත් සෙට් එක ආයේ මුද්‍රණය කරන්නේ නැද්ද කියලා.

මගේ ඊමේල් පණිවුඩයට එතුමා ප්‍රතිචාර දක්වලාත් තිබුනා. ඒ ප්‍රතිචාරයේ තිබුනේ ඒ පොත් සෙට් එකම නැවත මුද්‍රණය කරන්ඩ අදහසක් තියෙනවාය. ඒත් ඒක ළඟදි කරන්න පුලුවන් වේද දන්නේ නෑයි කියලා. අයේ ඉතින් මොනා කරන්නද... කවදාහරි ඒ ටික හොයාගන්ඩ පුලුවන් වෙයි කියලා හිතාගෙන උන්නා.

භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයා ගැන යමක් කියනවා නම් එතුමා විවිධ ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා පෙන්නපු පුද්ගලයෙක්.. චිත්‍ර කළාව, සංගීතය වගේම ලේඛන කළාව වගේ විවිධ කුසලතා ගණනාවක් තියෙන පුද්ගලයෙක්. කොටින්ම රටට පහල වෙච්ච සම්පත්ධාරි පුද්ගලයෙක්.

භද්‍රජි මහත්මයාව මම මුලින්ම හදුනාගත්තේ ඉස්කෝලේ යන දවස්වල කියවපු බඹරවිලේ හොල්මන කියන පොතෙන්. ඒක එතුමා සදහන් කරන විදිහට භීෂණ නවකතාවක්. අපේ වචනයෙන් කියනවා නම් භය හිතෙන කතාවක්.

මේ කතාව ලියලා තියෙන රටාව නිසා එක හුස්මටම පොත ඉවර වෙනකන්ම කියවන්න හිතෙනවා. ඒ වගේම ලොකු කුතුහලයකින් කියවගෙන යන්න හිතෙන විදිහේ කතාවක්. මේ කතාව කියෙව්වට පස්සේ මට එතුමා ලියපු අනිත් භීෂණ නවකතා ටික හොයගෙන කියවන්න තරම් ආසාවක් ඇති උනා. ඒ නිසා මමයි අපේ මලයයි ඒ පොත් ටික හොය හොයාගෙන කියෙව්ව.

ඒ දවස්වල මේ පොත් ටික කියවපු ආසාවටම තමා මම මේ පොත් ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා හෙව්වේ.

ඕං ඒ ආසාව ආයේ ඉශ්ඨ වෙන ලකුණු පහල වෙලා තියෙන්නේ.

ඒ දවස්වල අපි ආසාවෙන් කියවපු භද්‍රජිගේ භීෂණ නවකතා සේරම ටික ආයේ මුද්‍රණය කරන්න අරගෙන තියෙන්නේ. ඒ ටික මුද්‍රණය කරන වගකීම බාරගෙන තියෙන්නේ චාමිකර ජයශංඛ කරුණාරත්න.

මේ වෙනකොට ඒ පොත් සෙට් එකෙන් උලමගේ රාත්‍රිය කියන පොත විතරයි මුද්‍රණය වෙලා තියෙන්නේ. අනිත් පොත් ටික ඊලඟ අවුරුද්දේ ජනවාරි වෙනකොට මුද්‍රණයෙන් එලි දකීවි. පහලින් තියෙන්නේ උලමගේ රාත්‍රිය නවකතාවේ අලුත්ම මුද්‍රණයේ පිටකවරය.

මම වගේ භද්‍රජි පාඨකයින්ට ඒක සතුටට කාරණයක් වේවි !

මෙදාපාර නිකුත් වෙච්ච උලමගේ රාත්‍රිය කියන පොත මම මෙදාපාර පොත් ප්‍රදර්ශනයේ නිම්සා ප්‍රකාශකයන්ගෙන් ගත්තා. ගෙදර ආපු ගමන්ම කියවන්න ගත්තේ ඒ පොත. පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලයි අනිත් පොත් දිහා බැලුවේ..

ඊලඟ ලිපියෙන් කියන්නම්කෝ මම ගත්තු පොත් මොනවද කියලා.

29 August 2014

අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ...

පහුගිය ටිකේ අපේ කන්තෝරුවේ වැඩ ටිකකට හිර වෙලා උන්නු නිසා බ්ලොග් අවකාශය පැත්තේ එන්න උනේ නෑ.. ඒ නිසා පරණ බ්ලොග් ලිපි ටික කියවන්නත් උනේ නෑ.. අද ඒ ලිපි ටික කියවගෙන යන්න හිතාගෙන ඉන්නේ.

පහුගිය ටිකේ වැඩ කටයුතු වලට මහන්සි උන නිසාමද මන්දා ලියන්ඩ දේවල් හිතට එන්නෙත් නෑ..

මේ අගෝස්තු මාසේ... වෙන අවුරුදු වල වගේ නෙමේ මේ අවුරුද්දේ අගෝස්තු මසය උදා උනේ මගේ ජීවිතයේ පොඩි වෙනසකුත්තෙක්ක.

ඒ තමා මගේ විවහා ගිවිස ගැනීම සිද්ධ උනෙත් මේ මාසේ දෙවෙනිදා (සෙනසුරාදා)

ලොකු උත්සවයක් නැතුව බොහොම චාමෙට තමා මේක සිද්ධ කලේ..වෙඩිමටයි විවහා ගිවිස ගැනීමටයි ලොකු වියදම් දෙකක් දරණ එක අපරාදේ නිසයි මෙහෙම චාමෙට ගත්තේ. අපේ ගෙදරින් අපි හතර දෙනයි අපේ අම්මගෙයි තාත්තගෙනුයි නෑදෑයෝ හතරදෙනෙකුයි තමා මේ උත්සවේට ගියේ. ඒ ගොල්ලන්ගෙනුත් මේ වගේම ටිකදෙනයි ඇවිල්ලා තිබුනේ.

කතෝලික ක්‍රමයට බඳින නිසා පල්ලියේදිමයි මේ කටයුතු සිද්ධ උනේ.පල්ලියේ කටයුතු ඉවර වෙලා අපේ උන්දෑගේ ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුනා.



දවක් කෑම ඉවර උනායින් පස්සේ ඉදිරියේදි කරන්න ඕන කටයුතු ගැන කතාබහ කලා. ඊට පස්සේ අපේ මාමා ස්තූති කතාවක් කලා.

මං ගැනයි මගේ පවුල් පසුබිම ගැනයි මගේ ගතිගුණ ගැන වගේ දේවල් තමා කතාවෙන් කිව්වේ. අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මා එච්චර පැහැදුනේ නෑ.. නමුත් මාමණ්ඩි නම් බොහොම කැමති උනා මේ කතාවට.

අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මගේ හිතේ තිබ්බ නොසතුට, විවහා ගිවිස ගැනීමෙන් පස්සේ සෑහෙන දවසක් යනකන් තිබුනා.

මට නං තාම හිතා ගන්න බෑ ඇයි ඒ කතාව එයාට එච්චර නොරිස්සුවේ කියලා.ඒවයින් කාරි නෑ.. කොහොමහරි මේ කටයුතු ටික අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙච්ච එකම මදෑ..

ඔන්න ඔය විදිහට තමා මගේ අතට මුද්දක් වැටුනේ... ඉතින් මේ සිදුවීම කාට නැතත් මට වටින නිසයි පස්සේ කාලෙක බලන්න පෝස්ට් එකකට ඇතුලත් කලේ..

ඔය පල්ලෙහා පින්තූරේ ඉන්නේ අපි කට්ටියම. වමේ ඉදන් ගත්තහම අපේ තාත්තා, මම, මගේ එක්කෙනා, අපේ අම්මා, මල්ලි !!

22 August 2014

අයිස් බාල්දි අභියෝගය

පහුගිය දවස්වල මූනුපොත පුරාම වගේ දකින්න හම්බ උනේ වාරියපොළ ගෑල්ලමේක් තමන්ට විහිලු කරපු කොල්ලෙක්ට අතුල් පහර දෙන වීඩියෝව. ඒ වීඩියෝ පටය සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කලාට පස්සේ එක එක මති මතාන්තර අදහස් වලින් මුනු පොත පිරී ගිහින් තිබුනා.

තාමත් ඒ සිද්ධියේ උනුසුම ගිහින් නැතුවා වගේ ඒ ගැන කතා කරන අයත් මූනුපොතේ ඉන්නවා.දැන් නම් ඇත්තටම මේ සිද්ධිය අහලා අහලම එපා වෙලා තියෙන්නේ.

මේ අල්ල පනල්ලේ තමයි අයිස් බාල්දි අභියෝගය ලෝකේ පුරාම ජනප්‍රිය වේගෙන ආවේ.

මුලින්ම තරඟයේ නීති රිති මතක් කරගෙන ඉමුකෝ...

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

පිස්සු නේ ?

ඔවු ඇත්තටම පිස්සු වැඩක්...!

මේ පිස්සු වැඩේට මූලිකවම හේතුව උනේ ALS සංගමයේ අරමුදල් තර කරගන්න. සංගමය මූලිකම අරමුණ වෙන්නේ Amyotrophic Lateral Sclerosis කියන රෝගී තත්වයෙන් ලොව පුරා ජීවත් වෙන මිනිස්සුන්ව බේර ගන්න ඕන කරන පර්යේෂණ වලට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න.

ALS කියන රෝගී තත්වයෙන් මූලිකම හානිය සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතියටලු. ස්නයු පද්ධතියට හානි උනාට පස්සේ සදාකාලික අංශබාග තත්වයට ගොදුරු වීමක් සිදු වෙනවා. මේ රෝගී තත්වයට ගොදුරු වෙච්ච කෙනෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු දෙකේ ඉදලා පහ දක්වා අඩු වෙනවලු. ඒ වගේම මේ වෙනවිටත් මේ රෝගී තත්වය නිට්ටාවට සුව කරන්න බෙහෙත් හොයාගෙන නෑලු.

දැනට මේ රෝගීන්ට දෙන බෙහෙත් වලින් කරන්නේ රෝගය උග්‍ර වීමේ සීග්‍රතාව අඩු කරන එකලු. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග අත්හදා බලමින් ඉන්නවා කියලයි ALS සංගමය කියන්නේ.

මේ නිසයි ALS සංගමය මේ රෝගය ගැන පර්යේෂණ සිදු කරන්නේ. ඒ පර්යේෂණ වලින් පස්සේ මේ රෝගය නිට්ටාවට සුව කරන්න පුලුවන් වෙන විදිහේ ඖෂධයක් සොයා ගන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙන්න මේකයි අයිස් බකට් අභියෝගයේ අරමුණ !!!

ලංකාවේ ඉරාජ් වීරරත්න, මල්ශා කුමාරණතුංග එහෙමත් මේ අභියෝගයට මුහුණ දුන්නා....ඉදිරියේදි තවත් අයත් මේ අභියෝගයට මුහුණ දේවි කියලා හිතනවා ... :)

එහෙනං මං ගියාවේ !!! ජය වේවා !

17 August 2014

පුංචි බයිබලයක්

අද නිවාඩු දවසේ ගෙදර ඉන්න කම්මැලි නිසා මම අපේ ලොකු නංගිලෑ දිහාට්ට ටිකක් ගොඩ උනා. ලොකු නංගි කියන්නේ අපේ නැන්දෑ ලොකු දුව. එයා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ පෙලට වාඩි වෙනවා. ඒ නිසා පාඩමක් දෙකක් කියාදෙන්නත් පුලුවන්නේ කියලා හිතලයි ඒ පැත්තේ ගියේ.

ගිය හැටියේ නඟා මට තේකක් එහෙම හදා දුන්නා. මම ඒයැයිගේ පාඩම් වැඩ ගැන අහලා උපදෙස් ටිකක් එහෙම දීලා අමාරුයි කියලා කියපු ගණන් ටිහිකුත් කියලා දුන්නා.

ඒ ටික කියලා දීලා නිවාඩු පාඩුවේ ඉන්නකොට තමා මම මේ චූටි බයිබලේ දැක්කේ...

මේ ජාතියේ චූටි බයිබලයක් මම දැක්ක පලවෙනි වතාව මේක. එහෙනං බයිබලේ බලලා ඉමුකෝ..

ඕං ඕක තමා බයිබලේ...ඇඟිලි පුරුක් දෙහෙකට වඩා දිග නෑ..
මේක කීටැග් බයිබලයක්...ලස්සන කේස් එකකුත් තියෙනවා..
පිටු 168ක් තියෙනවා...ඒ උනාට මේකේ අකුරක්වත් අපේ පියවි ඇහැට බලාගන්ඩ බෑ.. එක අතකට මෙහෙම පොතක් ප්‍රින්ට් කරපු එකත් අපරාදේ කියලා හිතෙනවා.ඇයි ඉතිං පොතක් නං ඒක කියවගන්න පුලුවන් වෙන්ඩ එපෑ..
එහෙනං මං ගියාවේ..

14 August 2014

යාළුවෙක් හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටිකක්

මේ ටිකේ මම ලිපි ලියාගෙන යන රටාවට පොඩි විරාමයක් තියලා අපේ යාළුවෙක්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා. මේ ලිපියෙන් පස්සේ අයෙම පරණ ලිපි සෙට් එක නවත්තපු තැනින් පටන් ගන්නවා.

කැළුම් මේශාන්ත ප්‍රනාන්දු

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරපු කොල්ලෙක්. ඒ වගේම හැබැම දක්ශයෙක්.. කැලුම් ගැන තව දුරටත් කියනවා නම් මීගමුවේ ජීවත්වෙන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් සරසවි වරම් ලබලා පේරදෙණියට ආපු කොල්ලෙක්.

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ හිටපු දවස්වලත් එක එක මෘදුකාංග නිර්මාණයේ යෙදුනු කෙනෙක් තමයි කැලුම් කියන්නේ. කැලුම් ඒ දවස්වලත් දුරකතන වැනි ජංගම උපාංග වලට මෘදුකාංග නිර්මාණය ගැන සෑහෙන උනන්දුවකින් හිටියා.

ඒ නිසාම ඔහු ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ මෘදුකාංග නිර්මාණය කරන්න පෙළඹුනා. අද ලිපියෙන් ඔහු අතින් නිර්මාණය වෙච්ච මෘදුකාංග තුනක් දෙන්නයි මේ සූදානම.

මේ මෘදුකාංග තුනම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ඕන කරන ලයිව් වොල්පේපර් මෘදුකාංග... !

ඔයාලත් බාගත කරගෙන පාවිච්චි කරලා බලන්ඩකෝ !

01. Sunflower Live Wallpaper

02. Natural Leaf S4 Live Wallpaper

03. Natural Lake S5 Live Wallpaper

ඔය උඩ තියෙන සබැඳි වලට ගිහින් ඒවා පාවිච්චි කරලා බලන්ඩකෝ..
එහෙනම් මම ගියාවේ...

ඊලඟ ලිපියෙන් බිලින්ග්ස් ක්‍රමය ගැන ලියන්නම්.... එතෙක් ජය හා සතුට ! 

12 August 2014

පෝය පංති

කලින් ලිපියේ දි මම කිව්වා නෙහ් අපි දෙගොල්ලෝ දිස්ත්‍රික්ක දෙකක නිසා රෙජිස්ටාර්ලා අතරේ පෝරම් කොළ හුවමාරු කලා කියලා.ඔය පෝරම් කොළ හුවමාරුවෙන් පස්සේ රෝස පාට කොළ දෙකක් දෙන්නටම දෙනවා.අන්න ඒ කොළ දෙක ගන්ඩ ඕන.

ඒ කොළ දෙකයි පෝය පංති ගිහින් ලැබෙන සහතිකයේ පිටපතයි ෆාදර්ට දෙන්ඩ ඕන. එතකොට තමා ෆාදර් කසාදය ලියාපදිංචි කරන්නේ. ඒ ලියාපදිංචිය කරන්නේ විවහා පූජාවෙන් පස්සේ.

මොකද්ද මේ පෝය පංති කියන්නේ ? මොනවද ඒකෙන් කෙරෙන්නේ..? අද ලිපිය ඒ ගැන ලියන්න කියලා හිතුනා.

පෝය පංති කියලා කටට හුරුවට කිව්වට මේ පංතියේ හරිම නම වෙන්නේ "විවහා අපේක්ෂක සමුළුව" කියන එක...ඉස්සර ඉදලා පංතිය තියලා තියෙන්නේ පෝය දවසේ.. කාටත් නිවාඩු දවසක් නෙහ්... ඒ නිසයි මිනිස්සු කටට හුරුවට පෝය පංති කියලා කියන්නේ.

දැන් නම් පෝයට විතරක් නෙමේ හැම ඉරිදාවකම එක එක තැන් වල මේ පෝය පංති පැවැත්වෙනවා... මමයි අපේ උන්දැයි ගියේ මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාම ශාලාවේ තිබ්බ පංතියට.. මේක මොරටුවේ තියෙන ගෑල්ලමයින්ගේ ඉස්කෝලයක් ! මූදු වෙරල ගාව තියෙන ලස්සන ස්කෝලයක් !

හරි ඒවයින් වැඩක් නෑ..

මේ පෝය පංතියෙන් කෙරෙන්නේ විවහා වෙන්න ඉන්න දෙන්නට ඉදිරි ජීවිතය ගෙනියන්න ඕන කරන උපදෙස් දෙන එක...

පෝය පංතියට සහභාගි වෙන්න කලින් විවහා පූජාව තියෙන පල්ලියේ ෆාදර්ගෙන් ලියුමක් ගන්ඩ ඕන. ඒ ලියුමේ තියෙන දුරකතන අංක වලට කතා කරලා පංතියට දිනයක් දාගන්ඩ ඕන. මම දාගත්තේ අගෝස්තු 10වෙනිදා...(පෝය දවසේ). දිනයක් දාගෙන ෆෝරමය පුරවලා ඒ පංතිය තියෙන දවසේ උදේට ගේන්ඩ ඕන.

පංතියට එනකොට බයිබලයක්, සටහන් පොතක්,පෑනක්,දවල් කෑම, ජාතික හැදුනුම්පත එහෙම ගෙනියන්න ඕන.පංතිය තියෙන්නේ උදේ 8.30 ඉදලා හවස 5.30 වෙනකන්. මට මුලදි හිතුනේ ඔච්චර වෙලා වාඩි වෙලා ඉන්න එක සෑහෙන අමාරු වෙයි කියලා. ඒත් ඉතිං මොනා කරන්නද කට්ට කාගෙන හරි ඉන්නවා කියලා හිත හදාගත්තා.

අපි දෙන්නා උදේ අටහාමාර වෙනකොට ඉස්කෝලේ ඇතුලට ආවා... ඒ වෙනකොටත් අපි දෙන්නා වගේ බඳින්න යන ජෝඩු කිහිපයකුත් ඇවිත් උන්නා. උදේ නමය වෙනකොට දේශන ශාලාවේ වාඩි වෙන්න කිව්වා. මේ සම්පූර්ණ පංතියට ජෝඩු 20ක් ඇවිත් උන්නා.

පංතිය දේශන හතරක් තියෙනවා. උදේ දෙකයි... දවල් කෑමෙන් පස්සේ දෙකයි. ඒ හැම දේශනයකටම ආවේ දේශකයායි එයාගේ නෝනයි.. ජෝඩුවක් තමා දේශනය කලේ.

දේශන 01- කතෝලික විවාහයේ බයිබලීය පැතිකඩ
ඔය වගේ නමක් තමා දේශනයේ තිබ්බේ. මේකෙන් කෙරෙන්නේ විවහා ජීවිතයට ඕන කරන ආගමික පසුබිම පැහැදිලි කරලා දෙන එක. බයිබල් පාඨයක් කියවලා තේරුම් කරවන එක තමා මේකෙන් කෙරුනේ.. මට නං ශෝක් එකට නින්ද ගියා.

දේශන 02 - කතෝලික විවාහයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ
මේ දේශනය නං මරු.... මේකෙන් කෙරෙන්නේ දෙන්නගේ මානසික මට්ටම තේරුම් ගන්නේ කොහොමද දෙන්නා අතරේ ගැටුමක් ඇති උනහම ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද වගේ මානසික පැත්තෙන් මතුවෙන දේවල් ගැන කියලා දුන්නා.

දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා ලස්සනට දේශනය කලා.ඒ අයට ආපු ගැටුම්, ඒවා නිරාකරණය කලේ කොහොමද වගේ දේවලුත් මේ දේශනයෙන් කිව්වා.

දේශන 03 - කතෝලික විවාහයේ කායික පැතිකඩ
මේකේ නම් තනිකරම කියවෙන්නේ ලිංගික ජීවිතය ගැන.කොහොමද විරුද්ධ ලිංගිකයාව තේරුම් ගන්නේ. එයාගේ ඕනෑ එපාකම් පිරිමහන්නේ කොහොමද ස්වබාවික උපත්පාලනය වගේ දේවල් සරලව විස්තර කලා. තව ගබ්සාව ගැනත් ලොකු විස්තරයක් කලා.

මෙතනදිත් සාමාන්‍ය ජීවිතයේ එයාලා මූන දීපු ගැටලු උදාහරණෙට අරගෙන විස්තර කලා..

මේ දේශනයේදි මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමා කතෝලික සභාව කෘතිම උපත් පාලන අනුමත කරන්නේ නැත්තේ ඇයි කියලා.කෘතිම උපත් පාලනය කියන්නේ කොන්ඩම්, ලූප්, සැත්කම්, එන්නත්, පෙති වගේ දේවල්... !!

ඒ වෙනුවට එයාලා (කතෝලික සභාව) හදුන්වා දෙන්නේ බිලින්ග්ස් ක්‍රමය ලූ.. ! ඒ ගැන පසුවට කියන්නම්.

දේශනය 04 -කතෝලික විවාහයේ සමාජීය පැතිකඩ
මේ දේශනයෙන් කරන්නේ විවහාපත් යුවලකගේ ජීවිත වලට තුන්වෙනි පාර්ශ්වයකගේ බලපෑම ගැන.නැන්දම්මා ලේලි ගැටුම් ගැන එහෙමත් මේ දේශනයෙන් විස්තර කලා. ඒ වගේම තමා දෙන්නගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් යාලු මිත්‍රාදින් නිසා විවහා ජීවිතය තුල සිදු වෙන්න පුල්වන් බලපෑමත් විස්තර කලා.

ඔය ටික තමා පෝය පංතියෙන් කලේ. දේශන හතරම ඉවර වෙලා හවස අපිට සහතික පත් දුන්නා. ඒ සහතිකය දෙන්නේ පෝය පංතියට සහභාගි උනා කියලා ඔප්පු කරන්න. මේ ජාතියේ දේශන තියලා දැනුවත් කිරීම් කරන එක නම් හොඳ වැඩක්..

සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුන දේශන මාලාවක්. දේශනයෙන් දේශනයට විවේක කාලයක් දෙන නිසා කම්මැලිකමක් හිතුනේ නෑ...

අපි දෙන්නා දේශන ඉවර වෙලා මොරටුව ස්ටේශන් එකට ආවා.එයා බස් එහෙක නැගලා ගෙදර ගියා. මම මොරටුවෙන් කොළඹ කෝච්චියක එල්ලුනා !

ඔන්න ඔහොමයි ඒ දවස ගෙවුනේ !

11 August 2014

කතෝලික විවහා ලියාපදිංචිය

මේ දවස්වල මම කරන වැඩ වලින් රස්සාවට මූලික තැන දුන්නට පස්සේ ඊලඟට මහන්සි වෙන්නේ මගේ වෙඩිමේ වැඩ කටයුතු වලට. මගේ හිතේ තියෙන ආකාරයට වැඩ කටයුතු කරගන්න මට නිදහස හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියළුම වැඩ වෙන්නේ මගේ හිතේ තියෙන ආකාරයට.

ඒක ගැන නෙමේ අද ලිපියෙන් ලියන්ඩ හිතුවේ....

අද ලිපියෙන් කියන්නේ කතෝලික අයගේ විවාහයක් ලියාපදිංචි වෙන ක්‍රියාවලිය ගැන.

කතෝලික අයගේ විවාහය ලියාපදිංචි වෙන්නේ විවහා පූජාව දවසේ දි. ඒ දවසට කලින් කරන්න ඕන ක්‍රියාපටිපාටියක් තියෙනවා. අන්න ඒක අකුරටම පිලිපදින්ඩ ඕන. ඒ ක්‍රියාපටිපාටිය ගැන තමා මම අද කියන්න යන්නේ... !

මායි අපේ මාමයි (මාමණ්ඩි නෙමේ..අපේ මාමා) දවසක් උදේ විවාහ රෙජිස්ටාර් හම්බ වෙන්ඩ ගියා.රෙජිස්ටාර් තැනගේ කන්තෝරුවට ගිහින් අපේ මාම කිව්වා,

"අපේ පුතා පල්ලියෙන් බඳින්ඩ යන්නේ. ඒකට ඕන කරන පෝර්ම් කොළ දෙන්ඩ...." කියලා.

එතකොට රෙජිස්ටාර්, මට සීල් ගහපු විවාහ දැනුම් දීමේ පෝරම් කොළයෙන් පිටපත් දෙකක් දුන්නා. සීල් කරපු පෝරම් කොළ දෙක දෙන ගමන්,

"පුතා මේ ෆෝර්ම් කොළ දෙකෙන් මුල විස්තර ටික විතරක් පුරවලා අරගෙන එන්න. අත්සන් කරන්ඩ එපා.... පෝර්ම් බාර දෙන්ඩ එන දවසට සාක්කිකාරයෝ දෙන්නෙක්වත් එක්කං එන්ඩ.. " කියල කිව්වා.

"කසාදෙට අස්සං කරන සාක්කිකාරයෝ දෙන්නවද එක්කං එන්ඩ ඕන ?" දන්නේ නැති නිසා මම ඇහැව්වා.

"නෑ පුතා.. ඒ අය ඕනැන්නේ නෑ.. අම්මයි තාත්තයි උනත් කමන් නෑ.. එක්කං එන්න. නිකන් දැනුම් දීමට සාක්කියේ අත්සන් කරන්ඩ විතරය් ඕන.." කියලා රෙජිස්ටාර් කිව්වා.

"මතක ඇතුව දෙන්නගේ උප්පැන්න කොපි දෙහෙකුයි ජාතික හැදුනුම්පතේ කොපි දෙහෙකුයි ගේන්ඩ..." කියලත් කිව්වා.

අපි තවත් එක එක දේවල් කතා වෙවී උන්නා. ඒ කතා කරන ගමන්....

"පුතා කවද්ද කසාද බඳින්නේ ?" කියලා රෙජිස්ටාර් ඇහුවා.

"ඔක්තෝම්බර් xx වෙනිදා..." මම උත්තර දුන්නා.

"එහෙනං කල් ඇති. මට පෝර්ම් බාර දීලා මාස තුනක් යන්ඩ කලින් විවාහය සිද්ධ වෙන්ඩ ඕන.. එහෙම නැත්නම් පෝර්ම් අවලංගු වෙනවා." රෙජිස්ටාර් කිව්වා.

"කොහොමත් තව මාස දෙකකින් බඳින නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.." මම කිව්වා.

"මනමාලි කොහේ කෙනෙක් ද ?" රෙජිස්ටාර් ඇහැව්වා.

"එයා මොරටුවේ !"

"එහෙනං ඔය දෙන්නා වසම් දෙකකට අයිති වෙන්නේ.එයාටත් කියන්න එයාලගේ රෙජිස්ටාර් ලඟට ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා."

මම හා කිව්වා !

"එහෙනං පුතා මේ පෝර්ම් දෙකත් පුරවලා උප්පැන්න කොපි දෙකයි අයිඩී කාඩ් කොපි දෙකයි අරගෙන එන්නකෝ.. එන්න කලිං මගේ නම්බරෙකට කෝල් එකක් දෙන්ඩ" කියල උන්දෑ මට කාඩ් එකක් දුන්නා.

අපි ඊට පස්සේ ගෙදර එන්න හැරුනා.

"මතකැතුව මුද්දර ගාස්තු රු. 500කුත් ගේන්ඩ.." කියලා රෙජිස්ටාර් කිව්වා. අපි හා කියාගෙන ආවා.

පෝර්ම් අරගෙන සතියකට පස්සේ ඒවා පිරෙව්වා. ඊට පස්සේ  සාක්කි කාරයෝ දෙන්නෙකුත්තෙක්ක මම රෙජිස්ටාර් ලඟට ගියා. මගේ සාක්කිකරයෝ උනේ අපේ මලයයි බාප්පයි. අපි පෝර්ම් බාර දුන්නා.

ඊට පස්සේ රෙජිස්ටාර් තව පෝරම් කොළයක් අරගෙන එයා පුරවලා සීල් කරලා අත්සන් කරලා සහතික කලා. ඒ කොළය මට දෙන ගමන්,

"පුතා මේ කොළය මනමාලිගේ රෙජිස්ටාර්ට දෙන්ඩ...ඒ රෙජිස්ටාරුත් මට දෙන්ඩ කියලා මේ ජාතියේම කොළයක් දේවි...ඒ කොළය අරගෙන මට ගෙනත් දෙන්ඩ..." කියලා කිව්වා.

ඔය විදිහට අපේ එක්කෙනාත් එයලගේ රෙජිස්ටාර් ලඟට ගිහින් පෝර්ම් පුරවලා සාක්කිකාරයෝ අත්සන් කරලා තිබුනා. එයාලගේ රෙජිස්ටාරුත් කොළයක් දීලා තිබුනා අපේ රෙජිස්ටාර්ට දෙන්ඩ කියලා.අපි ඒ කොළ දෙක මාරු කරගෙන එක් එක් රෙජිස්ටාර්ට දුන්නා.

ඒ ෆෝරම් දෙක දුන්නට පස්සේ,

"පුතා සති දෙකකින් එන්ඩ.. එතකොට මම රෝසපාට කොළයක් දෙන්නම්. ඒක ගන්න... මං දෙන ජාතියේම රෝස පාට කොළයක් මනමාලිගේ රෙජිස්ටාරුත් දෙයි.. ඒකත් අරගෙන කොළ දෙකම පල්ලියේ පාදර්ට දෙන්ඩ...." කියලා රෙජිස්ටාර් කිව්වා.

ඔය රෝස පාට කොළ දෙක ගන්ඩ තමා ලොකු ක්‍රියාපටිපාටියක් ගියේ. දෙන්නා එකම වසමේ නම් ඔය කියන රෝසපාට කොළය එකම දවසින් ගත්තෑකි. අනික රෙජිස්ටාර්ලා දෙන්නෙක් ගාවට යන්ඩ ඕනත් නෑ..

මමයි අපේ උන්දැයි ඔය කියන රෝසපාට කොළ දෙක ගත්තා. නමුත් ඒවා දැන්ම බාර දෙන්ඩ බෑ... ඒකට හේතුව වෙන්නේ අපි දෙන්නා පෝය පංති ගිහින් ඒ ලැබෙන සහතිකයේ පිටපතත් ගන්ඩ ඕන නිසා... !

පෝය පංති ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.... 

07 August 2014

නෝවාගේ නැව

මේ අවුරුද්දේ මාර්තු මාසේ 10වෙනිදා නෝවා කියලා ඉංග්‍රීසි චිත්තරපටියක් නිකුත් උනා. ඔන්න දැන් ඒ චිත්තරපටියෙම කොපියක් අන්තර්ජාලයෙන්ම බාගත කරගෙන බලන්ඩ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වෙලා මාස කිහිපයකින් බලන්ඩ තියෙන එකත් මරු වැඩේ.. !

 ඒවයින් කාරි නෑ... චිත්‍රපටිය බලන්ඩ තියෙනවා නෙව.

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුම කාළයේ ජීවත් වෙච්ච නෝවා කියන මනුස්සයෙක් ගැන. නෝවාගේ කාළයේදි මිනිස්සු විවිධ දුරාචාර වලට අකටයුතුකම් වලට යොමු වෙලා බොහොම අධර්මිශ්ඨ ජීවිතයක් ගත කලා.

මේ මිනිස්සුන්ගේ අධර්මිශ්ඨ වැඩ නිසා දෙවියන් වහන්සේ කෝප වෙලයි උන්නේ. මේ නිසාම මේ මිනිස්සුන්ව මහපොලොවෙන් අතුගාලා දාන්න ගංවතුරක් එවන්න දෙවියන් වහන්සේ තීරණය කරලා තිබ්බා. මිනිස්සු කොච්චර අධාර්මිකව ජීවත් උනත් නෝවාගේ පවුලේ අය ධාර්මික ජීවිතයක් ගත කල නිසා ඒ අයව ගංවතුරෙන් මරණයට පත් කරන්නේ නෑ කියන මතයේ තමයි දෙවියන් වහන්සේ උන්නේ.

ඒ නිසා දෙවියන් වහන්සේ නෝවාට කතා කරලා ලොකු නැවක් හදන්ඩ කියලා අණ කරනවා.ඒ නැවට සෑම වර්ගයකම සත්තුන් දෙන්නා බැගින් දාන්න කියලත් අණ කරනවා. මොකද ජල ගැල්මට පස්සෙත් ආයේ මිහිපිය ජීවින් ජීවත් වෙන්ඩ එපැයි.

නෝවාට කියපු විදිහට නව හදලා සත්තුත් දැම්මා.ඊට පස්සේ ලොකු ගංවතුරක් ඇවිදින් අනිත් මිනිස්සුන්ව ගහගෙන යනවා. නෝවා ඇතුලු පිරිස උන්නු නැව පාවෙලා ගිහින් අරරත් කන්ද මුදුනේ නතර වෙනවා.

ඊට ටික දවසකට පස්සේ නෝවා පරවියෙක් යවලා බලනවා ඌ ආපහු එයිද කියලාමොකද පරවියාට ගොඩ බාන්න තැනක් නැත්නම් ඌ ආපහු හිටපු තැනටම එන්න එපැයි...ඔහොම යවපු පරෙවියා ආපහු එන්නේ නෑ.. ඒ කියන්නේ ගංවතුර බැහැලා ගිහින්...

ඔන්න ඕනයි නෝවගේ කතාව.

ඔය කතාව කිව්වට පස්සේ අපේ කන්තෝරුවේ එක්කෙනෙක් වාද කලා ඔය නැවේ කතාවට සාක්කි නෑයි කියලා. අනිත් කෙනා වාද කලා නෑ එහෙම නෑ... සාක්කි තියෙනවාය කියල. තාමත් ඒ වාදේ දිගටම යනවා.

ඊට පස්සේ සාක්කි හොයාගෙන යනකොට යන්තන් එක සබැඳියක් හම්බ උනා.

පහලින් තියෙන්නේ ඒ සබැඳිය !

ඒකට ගිහින් පින්තූරු ටික බලලා එන්නකො. එහෙනං මම ගියාවේ.!!

06 August 2014

පොශ් කෑම කඩ වන්දනාව

අගෝස්තු මාසයත් පටන් අරගෙන දවස් කීපයකුත් ගත උනත් තාම මුකුත් ලියන්න උනේ නෑ..එක එක වැඩ නිසා ලියන එකයි බ්ල්ලොග් කියවන එකයි දවසින් දවස කල් ගත වෙනවා. අද වැඩ ටිකක් අඩු දවසේ මොනවහරි ලියන්න ඕන කියලා හිතුනා.

පහුගිය දවසක  මමයි අපේ උන්දැයි ඔය ස්ටූඩියෝ එකේ වැඩකට බම්බලපිටි පැත්තට ගියා. ස්ටූඩියෝ වැඩේ ඉවර උනාට පස්සේ අපේ එක්කෙනාට ඕන උනා එම්සී එකට ගොඩ වෙන්ඩ...මුකුත් ගන්ඩ නෙමේ.. නිකන් බලලා එන්න.

හරි යමුයි කියලා.. අපි දෙන්නම එම්සී එකට ගොඩ උනා කියමුකෝ... !

එම් සී එකේ රවුමක් ඇවිදලා වින්ඩෝ ෂොපින් පාරක් දාගෙන යන ගමන් "අපි මෙහේ ෆුඩ් කෝට් එකෙන් දවල්ට කමුද?" කියලා ඇහුවා. ඒ වෙලාවෙම වාගේ මට හිතුනා ලොකු ගානක් යන වැඩක් නේද කියලා... පොඩි අකමැත්තක් මගේ මූනෙන් පෙනුන නිසාමද මන්දා අපේ උන්දෑ එකපාරමු කිව්වා "ලොකු ගානක් යන්නේ නෑ" යි කියලා.

"හරි එහෙනං යමුකෝ !!!"

මාත් එකඟතාවය පල කලා. දෙන්නම ෆුඩ් කෝට් එකේ කෑම කඩවල කෑම දිහා බලාගෙන රවුමක් ගියා.ඊට පස්සේ පැත්තකට ගිහින් කන්නේ මොනවද කියලා හිත හිත උන්නා.එතකොටම අපේ උන්දෑ කිව්වා අපි අර කඩෙන් ලම්ප්‍රයිස් කමුය් කියලා.

මාත් හා කිව්වා.

හා කියලා එයාම ලම්ප්‍රයිස් දෙකක් ඕඩර් කලා. ගාන හත්සිය හතලිහක් උනා. ගානේ හැටියට එකක් තුන්සිය හැත්තෑවක් විතර වෙනවා. බුරිය උල් වෙනකන් කන්ඩ පුලුවන් වෙයි කියලා හිත හිත බත් එක බෙදනකන් උන්නා.

ඇතුල්පතකට කොට්ටං කොළ දෙකක් දාලා ඒ කොට්ටං කොළ උඩට බත් බෙදලා තිබුනා. හිතපු තරං මහ ගොඩක් නෙමේ.... හොදි බෙදන දීසියකින් එකක් වගේ ප්‍රමාණයක් !!!

බත් දෙක දැකපු අපි දෙන්නගේ මූනු අඳුරු උනා !

දැන් මොනවා කරන්ඩ ද... බත් දෙක අරගෙන පැත්තකට ගිහින් හිමි හිමිහිට කන්න පටන් ගත්තා.කන ගමන් කතා උනෙත් කෑම එක හෙන පාඩුයි නේද කියලා.

ඒ වගේම මම එක දෙයක් ඉගෙන ගත්තා. පොශ් විදිහට කන එකයි බඩගින්නට බඩ පිරෙන්න කන එකයි කියන්නේ එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් ය කියලා. කාලා ඉවර වෙලා අපේ එක්කෙනාත් කිය කිය ආවා ආයේ නං මෙහේ කෑම කඩ වලින් කන්නේ නෑය කියලා. 

කෑමෙන් පස්සේ අපේ උන්දැවගෙදර යන්න බස් එකට දාලා ඊට පස්සේ මම පොඩි හෝටලයකින් ශෝටීස් කෑවා. එතකොට තමා යන්තන් බඩ පිරුනේ...!

එං ඔහොම තමා එදා පොශ් කෑම කඩ වන්දනාව අවසන් උනේ !!!!

25 July 2014

ෆේස්බුක් වයිරස් එකක්

කාලෙකට පස්සේ මොනවහරි ලියන්න කියල අද තමයි ටිකක් විවේඅයක් ලැබුනේ. විවේකය මදි කමට ලොකුම හේතුව උනේ මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක. ඒ භාෂාව ඉගෙන ගන්න කාලය ගත උනා වාගෙම ඒ භාෂාව පාවිච්චි කරලා එක එක වැඩ කෑලි දාන්නත් සිද්ධ උනා

ඒකට තමා වැඩිමනක්ම කාළය ගත උනේ. උදේ හිටන් හවස් වෙනකන්ම ඒ මත්තේ නැහුනට පස්සේ ගෙදර ගිහින් ආයේ කතාවක් කොටන්ඩ කම්මැලියි.

ලියන්ඩ කියලා හිතේ තියාගෙන ඉන්න ඒවත් ලියන්ඩ උනේ නෑ..හරි ඒවයින් කාරි නෑ.. ඔන්න අද තමා ඒ පහුගිය වැඩ ටික අඩු වෙලා ඉස්පාසුවක් ලැබුනේ. අද ඉදලා දිගටම බ්ලොග් ලිපි කියවන්න එනවා.

අද වැඩ ටික ඉවර වෙලා මූනුපොතට ලොග් උනාම මෙන්න මගේ වීඩියෝ එකක් ගැන කියවෙන ලින්ක් එකක් චැට් මැසේජ් එකකින් ආවා. පල්ලෙහා තියෙන්නේ ඒ චැට් මැසේජ් එකේ පින්තූරයක් !

චැට් එකෙන් කියවුනේ  නරක වීඩියෝ එකක් තියෙනවා ය ඒක මගේද කියලා අහලා තිබ්බා. මම ලින්ක් එක ක්ලික් කරන්නේ නැතුව චැට් එක ආපු එකාගෙන ඒ ගැන ඇහුවා. එතකොට තමා උන්දෑ කිව්වේ ඒකාටත් මේ ජාතියෙම මැසේජ් එකක් ඇවිත් ඒක ක්ලික් කලහම තමා මෙහෙම චැට් යන්නේ කියලා.

ඒක වයිරස් එකක් කියලත් කිව්වා.

ඒ නිසා මේ වාගේ ලින්ක් එක වතාවෙම ක්ලික් කරන්න යන්ඩ එපා. මේ වයිරස් එකෙන් කෙරෙන කාර්යය මොකද්ද කියල නං දන්නේ නෑ.. ඒ උනාට වයිරස් එකක් නෙහ්..... !

දවස් ගානකට පස්සේ ආපු හැටියෙම ලියන්ඩ උනේ වයිරස් එකක් ගැන...හික්ස් :)
මම එහෙනං ගිහිං එන්නං ! ජය සතුට !

02 July 2014

නැතිවුන රොබරෝසියා ගහ

අද උදේ මූනු පොතට ගොඩ වෙනකොට දැක්කේ අපේ පේරාදෙණිය තිප්පොලේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පිඨය මැද තිබ්බ රොබොරෝසියා ගහ කපලා දාපු (හෝ කඩා වැටුනු) පින්තූර ටික. මේ පින්තූර ටික ගොඩක් දෙනා අතරේ හුවමාරු වෙලා තිබ්බා.
පහලින් තියෙන්නේ ඒ පින්තූරේ... !

මහාචාර්ය එදිරිවීර සරත්චන‍්ද්‍ර එලිමහන් රංග පීඨය එහෙම නැත්නම් කෙටියන්ම කියනවා නම් "වල" මැද තිබුනු ඔය රොබරෝසියා ගහ නාට්ටි බලපු අපිට ඒ දවස්වල ලොකු කරදරයක් වෙලා තිබුන කාලයක් තිබ්බා.

මොකද ඔය ගහ නිසා වලේ පැත්තක උන්නු කට්ටියකට හරියාකාරව නාට්ටි බලාගන්ඩ බැරි උනා. ඒ නිසා ඒ හරියේ තිබ්බ ආසන ටිකේ කවුරුවත් වාඩි වෙන්ඩ හිතුවේ නෑ. කවුරු හරි වාඩිඋනත් වාඩි උනේ වෙන තැනක් ඇත්තෙම නැත්නම් විතරයි.

ඒ නිසා වල මැද්දේ තිබුනු ඔය ගහ ගැන අපි යම්තාක් නොසතුටකින් උන්නේ. සමහර දාට නාට්ටි බලන්ඩ ආපුවහම ඔය ගහ තිබ්බේ නැත්නම් හොඳයි කියලා හිතුන දවසුත් නැතුවම නෙමේ.

නාට්ටි පෙන්වන දවස්වලට ඔය ගහ සෑහෙන කරදරයක් උනාට පේරාදෙණි සරසවියට වසන්තය උදාවෙන කාලයට මේ ගහ නිසා වලට අමුතුම ලස්සනක් එකතු කරනවා. මේ ලස්සන නිසාම දම් පාට මල් වැටුනු පේරාදෙණි සරසවි වල ලඟ මොහොතක් ඉන්ඩ අපි අමතක කරන්නේ නෑ.. ඒක ඒ තරමටම ලස්සනයි !!

අර කතාවටත් කියන්නා වාගේ අපට ඕනම දේක අගේ දැන්නේ අපි ලඟ ඒ දේ නැත්නම් හරි අපෙන් ඒ දේ නැති උනහම කියලා කියනවා නෙහ්.

විශ්ව විද්‍යාලයේ ලස්සන කරන්ඩ කොච්චරවත් රොබරෝසියා ගස් තිබුනට අද කට්ටිය මේ ගහ ගැනම කතා කරන්නේ මේ ගහ අද අපිට නැති වෙච්ච නිසා.

මේ ගහෙන් අපිට එක දෙයක් ඉගෙන ගත්තෑකි... ඒ තමයි ලෝකේ තියෙන හැම සුන්දර දේකම පටන් ගැන්මක් වාගේම අවසානයකුත් තියෙනවයි කියන එක. අද මේ ගහේ අවසානය ගැන දුක්වෙන අපිට ටික දවසකින් මේ ගහ තිබුනද කියලාවත් මතක නැති වේවි...

උදේ ඔය පින්තූරේ දැක්කට පස්සේ මට හිතුන දේවල් ටික ඔහේ අපිලිවෙලට ලියා දැම්මා. අද ඉදලාවත් පරණ බ්ලොග් ලිපි ටික කියවන්ඩ ඕන. මේ ටිකේ වැඩ වලට එහාට්ට මෙහාට්ට දුව දුව ඉන්න්න නිසා බ්ලොග් ලිපි කියවන්න උනෙත් නෑ..

28 June 2014

අපි ගැරඬි වගේ වෙලිලා ඉමු.

අද නිවාඩු දවසේ දවාලට කාලා චුට්ටක් ඇහැ පියවගන්ඩ ගියා විතරයි අපේ අම්මා ගේ දෙවනත් වෙන්ඩ කෑ ගහන්ඩ ගත්තා. අම්මා එකවතාවෙම කෑ ගහන්නේ මොකෑ කියලා බලන්ඩ මාත් ඒ පැත්තට දිව්වා.

බැලින්නම් ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නවා. ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා. අන්න ඒ වගේ ගැරඬි දෙන්නා වෙලිලා උන්නා.

මම උන් දෙන්නා දිහෑ ටික වෙලාවක් බලාගෙන ඉදලා ටාර් ගාලා කාමරේට දුවලා කැමරාවට බැටරි දමාගෙන ආවා. ඇවිත් සට සට ගාලා පින්තූරු කෑලි දෙක තුනක් ගත්තා. ආයේ ඉතින් කවදා කියලා දකින්ඩ හම්බ වෙන දර්ශනයක් ද...
ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූර කෑලි ටික.. පින්තූර ටික බලලා ඉමුකෝ..

අපි අම්මා විතරක් නෙමේ අහල පහල අයත් මේ දර්ශනේ බලන්ඩ ඇවිත් උන්නා. සමහරු නම් කීවේ ගැරඬි පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි මෙව්වා වෙන දර්ශනයක් කියලා.

තවත් සමහරු කිව්වේ පිරිමි ගැරඬි දෙන්නෙක් වලියක් දාගෙන කියලා.

හැබැයි ඔය අතරේ අපේ ගෙවල් ගාව හිටපු අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා.

ඔය වාගේ ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන්ඩ ඕනලූ. එතකොට ගැරඬි දෙන්නා ලැජ්ජාවට යන්ඩ යනවලු. හැබැයි එහෙම යන්ඩ ගියත් ඒ ගෙදර අයට සල්ලි වලින් අඩුවක් වෙන්නේ නෑලු.

ගැරඬි දෙන්නෙක් මෙහෙම වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන එකෙන් සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා මට තාම හිතාගන්ඩ බෑ..

ඔය දර්ශනය බලාගෙන උන්නු අය කිව්වේ ඔය ගැරඬි දෙන්නා ගෙට ඒවිය ඒ හන්දා බූමිතෙල් ටිකක් දාන්ඩය කියලා. මම නම් ඒ වාගේ පවුකාර දේවල් කරන්ඩ ගියේ නෑ..

ඔය වගේ දේවල් වලට අකුල් හෙලුවහම ලබන ආත්මේ කම් සැප අහිමි වෙනවාය කියලා කතාවකුත් තියෙනවා නෙව. ඔවු ඔවු බලු පූට්ටු වලට ගල් ගැහුවා වාගේ තමා.. :)

එහෙනං අදට කතාව ඉවරයි. ඊලඟ ලිපියෙන් හමු වෙමු !

18 June 2014

හංසයෝ

දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා  අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.

ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.

හංසයා  ගැන තියෙන ජනප්‍රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. හිංදු සාහිත්‍යයේලු එහෙම තියෙන්නේ.

හරි.... අපි ආයෙම අර කතාවට  එමු.

උඩ තියෙන පින්තූරේ කියන විදිහට හංසයෝ ජීවිත කාලය පුරාම ඉන්නේ එකම එක සහකාරයෙක් එක්ක විතරමයි ලූ. බැරි වෙලාවකවත් තමන්ගේ සහකාරයා මලොත් ඒ හංසයා සෑහෙන කාලයක් වැලපෙනවලු.

මේ නිසාම වැඩිකල් යන්න මත්තෙන් අනිත් හංසයාත් මියෑදෙනවා ලු. කමදාකවත් තවත් හංසයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. එහෙම සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ලූ.

මෙන්න මේ කතාව විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන කතාවක් ලූ.

ඒ වගේම තමා හංසයන්ගේ පිහාටු වල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑලු. ඒකට හේතුව වෙන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.

ඔය කිසිම දෙයක් ගෑවෙන්නේ නැති කතාව නිසා හිංදු සාහිත්‍යයේ හංසයාව සලකන්නේ පිරිසිඳු බවේ සංකේතය කියලා ලු.  හිංදු සාහිත්‍යයේ එහෙම හඳුන්වන එකේ වරැද්දක් නෑ නේ ? :)

ඔය වගේ නානාප්‍රකාර කතා ටිකක් හංසයා ගැන කියවන්න හම්බ උනා. සිංහලයට පරිවර්තනය කරන්න කම්මැලියි. කැමති කෙනෙක් ඉන්නවා නං පහල සබැඳි වලින් කියවන්ඩ.

1. හංසයෝ...
2. හංසයෝ.. 

ගූගල් කලා නම් තව තව ලිපි ගොඩාක් හොයාගත්තෑකි.

එහෙනං මං ගියාවේ.. !

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක්‌ ලයට ලංවුනා


(අපි පොඩි දවස්වල ගාර්මන්ට් ගෑල්ලමයි අතර ගොඩක් ප්‍රසිද්ධ සිංදුවක්ලු ඕක.. )

13 June 2014

මගේ දන්සැල් වන්දනාව

ගණිත ගැටලුව දැම්මට පස්සේ එක ලිපියක්වත් ලියන්ඩ හම්බ උනේ නෑ. ඒකට මූලිකවම හේතුව උනේ වෙලාව මදිකම. කන්තෝරුවේ කරන්ඩ තිඋනු වැඩ ගොඩක් තිබ්බ නිසා බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලටයි දෙකටම තිත තියන්ඩ උනා.

පොසොන් පෝයටවත් මොනවාහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් උදෙ හිටන්ම දන්සල් වලට දුව දුවා හිටියා මිසක්කා අකුරක් කොටන්ඩ බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..

ඔය දන්සල් දිවිල්ලෙදි මට අපේ ගමේදී අපූරු දන්සල් දෙකක් හම්බ උනා. එක දන්සැලක් තමයි කොණ්ඩේ කපන දන්සැලක්.

ඒ දන්සලේ කරන්නේ උදේ හිටන් හවස් වෙනකන්ම දන්සැලට එන අයගේ කොණ්ඩෙයි රැවුලයි කපලා දෙන එක. මාත් කොණ්ඩේ කපාගන්ඩ පෝලිමේ උන්නට කොණ්ඩේ කපන්ඩ උනේ නෑ.. සෑහෙන දිග පෝලිමක්...

ඒ දන්සල ඇරුනහම අනිත් දන්සල තමයි යෝගට් දන්සැල... ඒ දන්සැල පටන් ගන්ඩත් කලින්ම නයා ගැහිච්ච ලොකු පෝලිමක් තිබුනා. මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව යෝගට් එකක් කන්ඩ කියලා පෝලිමේ උන්නා.

හවස හතරට විතර දන්සැල පටන් ගත්තා. එතන ඉදන් යෝගට් දෙන්ඩ ගත්තා. කොච්චර යෝගට් දුන්නත් පෝලිමෙ ඉස්සරහට යන පාටක් තිබුනේ නෑ..  යෝගට් නැතුව හිස් අතින්ම ගෙදර යන්ඩ වෙයිද කියලා දෙතුන් විඩක්ම හිතූනත්තෙක්ක. ඒත්තෙක්කම ඔන්න ඔහේ හිටපු එකේ තව ටිකක් ඉන්නවයි කියලා හිටියා. බොහොම අමාරුවෙන් යෝගට් එකක් අරගෙන ගෙදර යන්ඩ ආවා. 

එතකොට කලින් යෝගට් ගත්තු අය එතනදිම යෝගට් කාලා යෝගට් කෝප්ප ටික එතන දාලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ හැටි නෙව. මේ වගේ දේවල් කලහම ආයේ ඊලඟ වතාවේ දන්සැල් දෙයිද කියලත් හිතෙනවා.

යෝගට් අරගෙන එනක්කොට කඩල දන්සලක් තිබිලා ඒකෙන් කඩල මුලකුත් අරගෙන ගෙදර ආවා.

ඊයේ දවසේ මට මිස් උනේ බීම දන්සැලක් විතරයි. බීම දන්සල් දෙන්ඩ එපාය කියලා තිබුන හන්දමද මන්දා බීම දන්සැල් තිබුනේ නෑ.

උදේ ඉදලා මම කඩල, සවු, අයිස්ක්‍රීම්, බත්, සීනි සම්බෝල පාන්, යෝගට් වගේ නානාප්‍රකාර දන්සල් ගොඩක් වැඳලා තිබුනා.ඉතින් බ්ලොග් ලියන්ඩ වෙලා තියේවි යෑ..

පෝය දවසට ලියන්ඩ ආපු බණ කතාව මම වෙන දවසක ලියන්නම්. එහෙනං මං ගියාවේ !

04 June 2014

කොච්චර කාලයක් ගත වෙනවද ?

ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.

ඔයාලත් උත්සහ කරලා බලමු !

බැරි වෙන එකක් නෑ....

මේකයි ප්‍රශ්නේ.

එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක වතුර පුරවන්ඩයි වතුර පිටවෙන්ඩයි බට දෙකක් තියෙනවා නේ.

අපි ලේසියට ඒ බට දෙක A හා B කියලා නම් කරමු.

A නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකියට වතුර පුරවන එකලූ. A නළයෙන් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්ඩ මිනිත්තු හතලිස්පහක් ගත වෙනවාලු (මිනිත්තු 45ක්)

B නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකිය හිස් කරන එකලු. B නළයෙන් ටැංකිය සම්පූර්යෙන්ම හිස් කරන්ඩ පෑ බාගයක් යනවලු (මිනිත්තු 30ක්)

එක්තරා වෙලාවක ටැංකිය සම්පූර්ණ‍යෙන්ම වතුරෙන් පිරිලා තියෙනවාලු. මේ වෙලාවේ එක පාරම A හා B කියන නළ දෙකම විවෘත කරනවාලු. දන්නවනේ A නළයෙන් වතුර පුරවනවා B නළයෙන් වතුර හිස් කරනවා කියලා.

ප්‍රශ්නය තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා A හා B කියන නළ දෙකත් විවෘත කරලා තියෙන වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වෙන්ඩ කොච්චර කාළයක් ගත වෙනවද කියන එක.

දන්න ඈයෝ ගාන හදලා උත්තරේ කියමු බලන්ඩ !
උත්තරේ මිනිත්තු වලින්ම කියමු. හදපු විදිහත් කියන්ඩ පුලුවන් නම් පංකාදුයි !

03 June 2014

ජන කතාවක්

මට අපේ එක්කෙනාගේ ගෙදර පරණ පොත් ගොඩක තිබිලා ජන කතා පොතක් ලැබුනයි කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. අද මම වැඩ ඇරිලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන ප්ලේන්ටියක් එහෙම හදාගෙන ඇවිදින් පොත කියවන්ඩ ගත්තා..

ශා.... අගේ ඇති පොතක් !

දන්නවානේ මම ජනකතා, ජනප්‍රවාද වලට ගොඩක් මනාපයි කියලා.  මේකත් එහෙම කතාවක්.

ඔන්න එකමත් එක ගමක උන්නා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් උනා.නමුත් මේ අම්මගේ ලොකු කෑදර කමක් තියෙනවා මී මල් කන්ඩ.. ඔය මී මල් කනවයි කියන්නේ මී පැණිත්තෙක්ක අනාගෙන ලූ.

ලූ කියලා කිව්වේ මම උපන්තේකට මී මල් කාලා නැති හන්දා.

දවසක් මේ අම්මා මිදුලේ මාගලක මී මල් වේලෙන්ඩ ඇරලා කොහෙදෝ මන්දා ගමනක් ගියා ලු. ගිහින් එනකොට වෙලෙන්ඩ දාපු මී මල් වලින් බාගයක්කත් නෑ ලු.මේ අම්මා හිතුවලු තමන්ගේ පුතා මී මල් එකින් එක කන්ඩ ඇති ය කියලා.

අම්මට කේන්ති ගියා ලූ !

අම්මා කෝට්ටක් අරගෙන තමන්ගේ පුතාට හොඳටෝම තලන්ඩ ගත්තලු. මේ පුතාත් ගුටි කන ගමන් කියනවාලු "මම මී මල් කෑවේ නෑ" ය කියලා. අම්මා ඒත් අහන්නේ නෑ ලූ.

මී මල් කෑවා මදිවට බොරුත් කියන්ඩ එනවයි කියලා හිතපු මේ අම්මා, තමන්ගේ පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා පොලොවේ ගැහුවලූ. ඒ ගහපු පාරට කොලුවගේ ඔලු කට්ට පුපුරලා මැරුනලු.

තමන්ගේ දරුවාගේ මරණෙන් දවස් කීපයකට පස්සේ අම්මට හිතුනලු තමන්ගේ ළමයා මී මල් කෑවේ නෑයි කියලා අච්චරටම පරසක්වල ගැහුවා නං ඇත්තටම මී මල් වලට මොකද උනේ කියලා බලන්ඩ. එහෙම හිතපු මේ අම්මා දවසක් මී මල් වෙලෙන්ඩ දාලා එතනින් නැගිටින්නෙත් නැතුව මී මල් දිහා බලාගෙන හිටියලු.

මේ අම්මා දැක්කා ලු මී මල් වේලෙන්ඩ වෙලෙන්ඩ බර අඩුවෙනවා ය කියලා. එදත් මේකම වෙන්ඩ ඇති නේද කියලා අම්මට හිතුනාලු. මී මල් වලට තිබ්බ කෑදර කමටයි හදිසි කේන්තියයි හන්දා තමන්ගේ ආදර පුතාව මරා ගත්තා නේ කියලා හිතුන  අම්මට දුක වාවගන්ඩ බැරුව පපුව පැලිලා මැරුනා ලූ.

මේ අම්මා මලාට පස්සේ කොබෙයියෙක් වෙලා උපන්නාලු. ඒ කොබෙයියා තාමත් දුකෙන් නැති වෙච්ච තමන්ගේ පුතාව හොයනවාලූ.

ඒකලු කොබෙයියන්,

මි පුප් ලදිම්.
දරු නොලදීම්.
රන්කැටි පුතා.
කෝ...කෝ... කියලා අඬලන්නේ.. !

මේ කතාව දිගාමඩුලු ප්‍රදේශයේ අය අතර තියෙන ජනප්‍රවාදයක්.
ඒ වගේම මේ කතාව පොඩි පොඩි වෙනස්කම් එක්ක සංස්කරණ කිහිපයක් තියෙනවා.

මෙන්න උදාහරණ වලින් දෙකක්.

1. සුවඳ කැකුළු අඩවියේ තිබ්බ කතාව.
2.  ජැක්සන් ඇන්තනී කියන කතාව.