09 December 2014

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

මට කාලෙකට පස්සේ ලස්සන ගීතයක් අහන්ඩ ලැබුනා. මීට කලින් මේ ගීය අහලා තිබ්බට හිතට වදින විදිහට මේ ගීතය ඇහුවේ අද. මේ ගීය අහන්ඩ මූලික පසුබිම හැදුනේ අපේ අම්මා මට දවසක් දීපු දුරකතන ඇමතුමක් නිසා. අපේ මලයා මීට සති දෙහෙකට විතර උඩදි පත්වීමක් ලැබිලා මොණරාගල ගිහින්. ඒ නිසා ගෙදර හිටියේ මායි අපේ නෝනයි අම්මයි තාත්තයි විතරයි.

මායි අපේ නෝනයි  සතියකට අපේ ගෙද‍රින් පිටවෙලා එයාලගේ ගෙදර ආවා. එතකොට ගෙදර ඉතිරි උනේ අපේ අම්මයි තාත්තයි විතරයි. තාත්තාටත් දවසක් වැඩපොලේ නයිට් එකක් කරන්ඩ ලැබිලා අම්මා විතරක් ගෙයි තනියම ඉන්ඩ සිද්ධ වෙච්ච දවසක අපේ අම්මා මට කෝල් එකක් දුන්නා.

එතකොට තමා අපේ අම්මා මේ ගීය මතක් කලේ... ! ගීයේ පද මාලාව කියවලාම ඉමුකෝ.. !

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී.

ගායනය / සංගීතය - නන්දා මාලනී
පද මාලාව  - මහාචාර්ය සුනිල් ආරියරත්න.

අපේ අම්මා කෝල් කරලා කිව්වේ "අද ගෙදර කවුරුත් නෑ පුතේ.. කම්මැලිකම නිසා කෝල් කලේ. මටත් දැන් ඉතින් සුදු හාමිනේට වෙච්ච දේ වෙලා තියෙන්නේ. මාත් දරුවෝ එනකන් බලාගෙන ඉන්නවා පුතේ " කියලා දුකෙන් වගේ කිව්වා.

එතකොට තමා මටත් හිතුනේ මේ සිංදුව ආයෙම වතාවක් අහලා බලන්ඩ ඕන කියලා. දරුවෝ දීග ගියාට පස්සේ දෙමව්පියන්ගේ හිත්වල ඇතිවෙන තනිකමේ දුක ගැනයි මේ ගීයෙන් කියවෙන්නේ. ගොඩක් දෙමව්පියන්ගේ හිත්වල මේ දුක ඇතිවෙනවා ඇති.

මේ ගීයේ මගේ හිතට දැනුන පද පේලි දෙක තමා පහලින් තියෙන්නේ.

ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

ඒ පේලි දෙක ඇහෙනකොට හිත ඇතුලෙන් දුකක් ඇති නොවුනා කිව්වොත් මම බොරුවක් කිව්වා වෙනවා. කවදාහරි මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්ඩ සිද්ධ වේවි. මේ ගීයේ සුදු හාමිනේ කියන්නේ දුවට ආදරේට කියන නම වෙන්ඩෝන. දුවත් කසාද බැඳලා දරුවෝ එක්ක  එයාලගේ ගෙදර. පුතාත් ලේලි එක්ක ගෙදරින් පිට වෙලා ගිහින්. ඒ දුකට දෙමව්පියෝ දරුවෝ ගෙදර එනකන් බලාගෙන ඉන්නවා.

හිතෑතුලෙන් අපූර්ව චිත්‍රයක් මවපු දුක්  ගොඩක් ගැන කියැවෙන ගීයක් !

17 comments:

  1. අම්මලා පව් අප්පා...:(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔවු. ඒක හරි !

      Delete
  2. මේ ගීතය මීට කලින් සෑහෙන පාරක් අහලා තිබුනත් ඒ හැම සැරේකටම වඩා අද සංවේදීව දැනුනා කිව්වොත් හරි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ඒ අවස්ථාවේ හැටියට සෑහෙන දුකක් හිතුනා.

      Delete
  3. ඉතිං මධුරංග අය්ය ආපහු ගෙදර ගියැයි

    ReplyDelete
    Replies
    1. ඔවු.. අපි දෙන්නම ගිහින් ආවා.

      Delete
  4. \\ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
    මං විතරයි තනියම දැන් මගෙ නිවසේ..\\

    ඔන්න ඔය කොටසෙ ලොකු කතාවක් තියෙනවා මචෝ.. මේ කියන විදියට මේ ගෙදර මේ අම්මා තනියම ඉන්නවම කියල නෙවෙයි මේ කියන්නේ. තාත්තාත් ඉන්නවා. ඒත් ඒ තාත්තත් හිටියත් නෑ වගේ. ඒ කියන්නෙ මේ තාත්තා අම්මටත් වඩා වියැකිලා. තාත්තා එදා හිටපු ශක්තිමත් මනුස්සයා නෙවෙයි. සුදු හාමිනේ පරීසම් කරපු, සුදු හාමිනේ බලාගත්ත තනිය මකපු කෙනා නෙවෙයි. තාත්තටත් අද කාගෙ හරි පිහිටක් අවශ්‍ය මනුස්සයෙක්. ඒ නිසයි මේ තනිකම. මං ගොඩක්ම කැමති ගීයක් මචෝ...

    ඒ වගේම කදිම ගී සංවේදනාවක්. ගීයක් ජීවිතයට බද්ධ උනාම එතන තියෙන්නෙ අමුතුම මිහිරියාවක්.

    ReplyDelete
    Replies
    1. ගීයේ කතාව සැකවින් හරි පැහැදිලි කලාට ස්තූතියි. මම මේ ගීයේ මතුපිට තේරුම විතරයි තේරුනේ. ඔය කියපු කතාව මනෝශ් කිව්වහමයි තේරුනේ.

      Delete
  5. අපේ අම්මත් ඔය සිද්දියට මුහුණ දුන්නා . අවුරුදු 1.5 විතර තනියම ගෙදරට වෙලා හිටියා ... මම බැඳලා වෙනම පදිංචි වුනාට පස්සේ .. හැබැයි කොයි වෙලාවකදිවත් ඒ ගැන දුක් වුණේ නෑ ... ගෙදරට වෙලා තනියම හිටියා. අපි හැම සතියේම දවස් 1-2ක් ගිහින් ඉඳල ආවා . අක්කල සති අන්තේ ගෙදර ගිහින් ඉඳල ආවා .. අම්ම කොහොමත සතියට දවස් 3-4ක් තනියම ගෙදරට වෙලා උයාගෙන කාල හිටියා . අම්ම කියන්නේ එයා එහෙම ඉන්න කැමතියි ලු ... අපේ අම්ම කියන්නේ ඔය වගේ දේවල් වලට දුක් වුණා කියල වැඩක් වෙන්නේ නෑ ... හැමෝටම තම තමන් ගැන බලා ගන්න සිද්ද වෙන කාලයක් එනවා .. මට තාම තනියම මගේ වැඩ කරගන්න පුළුවන් නිසා මම ඒක කරගෙන ඉන්නවා. දරුවන් ටත් එයාලගේ ජිවිත ගෙනියන්න ඉඩ දෙන්න ඕනේ කියල ..

    පස්සේ අම්ම අක්කලාගේ ගෙදරට ආවා . හැබැයි තාමත් වැඩි පුර ඉන්න කැමති තනියම ..

    මේ සිංදුව ගැන මේ විදියට ගැඹුරින් හිතල තිබුනේ නෑ ... ස්තුතියි මේ සටහනට .

    ReplyDelete
    Replies
    1. අයියගේ කමෙන්ට් එක මට හිතන්ඩ දෙයක් ඉතුරු කලා. අර කිව්වත් වගේ මේක වෙන්න ඇති ජිවිතයේ ස්වබාවය...

      Delete
    2. අපෙ අම්මත් කියන්නෙම ඒක.... ඇති අප්ප අවුරදු ගානක් ළමයි පස්සෙ දුවල දුක් වින්ද.. දැං වත් නිදහසේ ඉන්න ඕනෙ කියල... ඒ උනාට එයාට බයිල කියව කියව ඉන්න මං නැතුව බෑ... හි හි

      හැබැයි දැනටත් මං ගෙයින් පිට... මල්ලිටත් වෙනම ගෙයක් හදන්නෙ අම්මටයි තාත්තටයි නිදහසේ ගෙදර ඉන්න ඕනෙ නිසා... ඒ දෙන්න තාම තරුණයිනෙ අප්ප... හි හි

      Delete
  6. ඈ බං අපේ උන්දැගේ ගෙදරයැ දැන් ඉන්නේ... ඒක හොදයැ.. යන තැනක ලොකු පුතන්ඩියා විදියට අම්මව ගෙනිච්ච නං නරකයැ..

    ReplyDelete
    Replies
    1. ටික දවසකට විතරයි ගියේ.
      ආයේ යද්දි එක්කං යන්ඩ ඕන.

      Delete
  7. මේක වැරදිලාවත් අපේ ගෙදර උන්දැට දකින්න තියන්න නරකයි.. මං පවුල ගෙනියලා අපේ මහ ගෙයි නැවැත්තුවා.. නෝනගේ මහ ගෙදර දැන් ඒ අම්මයි තාත්තයි තනියෙම.. හ්ම්ම්.. මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ප්‍රශ්නේ තමා... !

      Delete
  8. මමත් යනවා බං මේ සති අන්තේ අම්මා බලන්න..
    මගේ හිත කඩාගෙන වැටුනා

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ගිහිං එන්න.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.