25 February 2014

කාලෙකට පස්සේ අහපු ලස්සන සිංදුවක්

අපේ මලයයි මමයි එකතු වෙලා සිරිපා ගමනේ ජනප්‍රවාද කතා ටික එකතු කරලා ලිපි 4ක් ලිව්වා. ඒවට කට්ටියගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර තිබ්බා. අපේ මලයත් මේ ලිපි ටික එක කියවලා අඩුපාඩු තිබ්බ තැන්, තව එකතු වෙන්ඩ ඕන දේවල් ටික මට පැහැදිලි කලා.

ඔය ලිපි සෙට් එකෙන් පස්සේ මේ මාසෙට කිසිම ලිපියක් ලියන්නේ නෑයි කියලා හිත හදාගෙන උන්නත්  අද කරන්න වැඩක් නැති කම්මැලිකම නිසා මොනාහරි ලියන්න ඕන කියලා හිතුනා. එතකොට තමා ලස්සන සිංදුවක් අහන්ඩ ලැබුනේ.. මේ සිංදුව අද දවසට මම දහ දොලොස් වතාවකට වඩා ඇහුවා.

මේ ගීතය තමා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගයන "ශාන්තිනි තෙමා වැටී..." ගීතය. මේ ගීය රත්න ශ්‍රි විජේසිංහයන්ගේ ගේය පද රචනයක්.. ගුණදාස කපුගේ මහත්මයා තමයි සංගීතය එකතු කරලා තියෙන්නේ.

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම් 
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් 
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං.... 

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන් 
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
 නිවී සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම් 
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්...... 

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න 
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න 
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න 
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න 


දකුණේ ඉදලා උතුරට ගිය තරුණයෙක්ට ශාන්තිනි කියලා දමිල තරුණියක් හමු වෙනවා. ටික කාලයක් ගතවෙනකොට ඒ දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙනවා. මේ දෙන්නගේ ආදරේට ජනවාර්ගික අර්බුදය ප්‍රශ්නයක් වෙලා නැවතීමේ තිත තියන්ඩ වෙන සිද්ධිය තමා ගීයෙන් කියැවෙන්නේ.

ගීතයේ සම්පූර්ණ කතාව මෙතනින් කියවන්ඩ...

තමන්ගේ ආදරවන්තියගෙන් තමන්ව වෙන් කරන්න එන අයගෙන් ඉල්ලන්නේ.. මේ හැම කුළ සිරිතක්ම ඔය අය අතරේ තියාගෙන ශාන්තිනීව විතරක් තමන්ට දෙන්ඩ කියලා.

ඒ විතරක් නෙමේ. තිරුක්කුරල් පොත කියවන්ඩ කලින් ඇස් පියා ගන්ඩ කියලත් ඉල්ලීමක් කරනවා. තිරුක්කුරල් පොත කියන්නේ කසාද බඳින්ඩ ඉන්න අයට කියවන්ඩ දෙන නීති ඇතුලත් පොතක්. ඒ නිතී සිංහල දෙමල ඕනම ජන වර්ගයකට පොදුයි. ඇස් ඇරගෙන හිටියොත් පොත දෙමල බව පෙනෙන නිසයි පොත කියවනකොට ඇස් පියාගන්ඩ කියලා ඉල්ලීමක් කරන්නේ.

අන්තීම වශයෙන් ඔහු ඉල්ලන්නෙ තමා ආදරේ කරපු ශාන්තිනීව තමන්ට අයිති කරගන්ඩ ඉඩ දෙන්ඩ කියලා... !
ඒ ඉල්ලිම තමයි මෙන්න මේ පේලියේ තියෙන්නේ "මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න "

මේ ගීයේ මම ආසම  "ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..."  කියන පද පේලියට.. ඒ නිසා අද දවසෙම මගේ කටේ තිබ්බෙම ඔය පද පේලිය... :)

ලස්සන ගීයක් අහලා බලන්ඩ..

දෙමල අයටම ආවේණික මෘදංග නාද මාලවක් නිසා ගීයේ අලංකාරය තවත් වැඩි වෙලා කියලයි මට හිතෙන්නේ... මේ ගීය ගැන විචාර ඉදිරිපත් කරන්ඩ මට දැනුමක් නෑ.. ගීය ලස්සන නිසයි සෑහෙන වාර ගණනාවක්ම ඇහුවේ.

----------------------------------------------------------------------
ප.ලි. - ගීතය අහනවා නම් මෙතනින් අහන්ඩ.

21 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 4වන කොටස(අවසානය)

තේ බීලා ගිමන් හැරියා පස්සේ ආයෙම ගමන පටන් ගත්තා. හැරමිටිපානෙන් පස්සේ පොඩි බෑවුමක් හම්බ වෙනවා. ඒ බෑවුම බැස්සහම ගල්වංගෙඩිය මංසංධිය හම්බ වෙනවා. මේ හරියෙදි තමා රත්නපුරාව පාරයි කුරුවිට-එරත්න පාරයි හම්බ වෙන්නේ.
                                                                              කුරුවිට පාරයි රත්නපුරාව පාරයි
                                                                                        ගල්වංගෙඩිය හන්දියේ දී..
ගල්වංගෙඩිය හන්දියේ හම්බ වෙච්ච ගල්වංගෙඩියට කට්ටිය සල්ලි දාලාත් තිබුණා.

                                                                                                  ගල්වංගෙඩිය
මේ හරියෙදි අපිට ඉදිරියේදි නගින්ඩ තියෙන මහගිරිදඹේ ලස්සනට පේනවා. අපි මහගිරිදඹත් ඈත තියාම බලාගෙන තව ඉදිරියට ආවා.තවට් පඩි ගණනාවක් නැග්ගහම අපිට පන්සලකුත්තෙක්ක මකර තොරණක් හම්බ උනා.
                                                                                                 මකර තොරණ
මේ හරියේ ඉදන් නැග්ම ටිකක් අමාරුයි. සීග්‍ර නැග්මක් තියෙන්නේ.අපි ගල් පඩි ගණනාවක් නැගලා ආඬියාමල තැන්නට ආවා.
                                                                                           ආඩියාමලතැන්න
මෙතැනට ආඩියාමලතැන්න කියලා කියන්නේ සීතාවක රාජධානි කාළයේදි  පළවෙනි රාජසිංහ රජතුමා අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් කියන ඉන්දියාවෙන් ආපු ආඬියාගේ කතාවට රැවටිලා සිරිපාදේ පරවේණි අයිතිය මේ ආඬින්ට ලියලා දීලා තියෙනවා. මේ නිසාම ඒ කාළයේ සිරිපා වඳින්ඩ යන වන්දනාකරුවෝ මේ ආඬින්ට බදු ගෙවන්ඩ සිද්ධ වෙලා තියෙනවා.

ආඬියෙක් කියන්නේ ගුරෙක් වගේ කෙනෙක්... 
රාජසිංහ රජතුමා  ආඬින් එක්ක එකතු වෙලා මේ කරපු දේට සිංහලයෝ සෑහෙන්න උරණ වෙලා තියෙනවා.. ඒ නිසාම මේ දෙගොල්ලන්ගේ යාළුකම සරදම් කරලා තියෙනවා.

"අතුරු මිතුරු දඹදිව තුරු
රාජ කපුරු සෙට්ටියා..."

මේ කියන ජන ක්‍රීඩාවත් ඔය  සදරම් කිරීමේ එක ආකාරයක්... !

පස්සේ කාළයේදි  මහනුවර යුගයෙදි අසරණ සරණ සරණංකර හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිංහලයෝ එකතු වෙලා මේ ආඬින්ව එලවන්ඩ සූදානම් වෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ දුන්නට පස්සේ මේ කැරැල්ල දියත් කරලා තියෙනවා.

ආඬින්ව එලවන්ඩ සිංහලයෝ එකතු වෙලා එනබව දැනගන්න ලැබුන නිසා ඇතිවෙච්ච ලැජ්ජාවට ආඬින් හෙලෙන් පහලට පැනලා මැරිලා තියෙනවා. එදා ඉදන් ඒ හරිය ආඬියාමලතැන්න කියලා කියනවාලු. ආඬින් එලෙව්වට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සිරිපාදේ භාරකාරත්වය වේහැල්ලේ ධම්මදින්න නායක හාමුදුරුවන්ට පවරනවා.

ඔය කතාවත් මතක් කරගෙන අපි කරුණා කරන්න පටන් ගත්තා.  ඊට පස්සේ අපිට හම්බ උනේ මැල්ලමලකඳුර...මේ හරියේ වයසක ගෑනු කෙනෙක් නැති වෙලා තියෙන හන්දද මන්දා මේ නම ලැබිලා තියෙන්නේ...
                                                                                              මැල්ලමලකඳුර
හැන්දෑවේගෙන එන නිසා පලාතම මීදුමේන් වැහීගෙන යනවා. හරිම ලස්සනයි. අපි පහුකරපු හැරමිටිපාන අම්බලමත් කුඩාවට ඈතින් පේනවා. සීග්‍ර නැග්මකින් පස්සේ අපි ආවේ ඇහැල කණුව ලඟට.

සීතල හන්දම බඩගින්නකුත් දැනුනා.. බඩඩගින්නට වඩා හීතල යන්නත්තෙක්ක කෝපි එකක් බොන්න ඕන කියලා හිතුනා. ඇහැල කණුව තමා අපේ ගමන් මගේ අපිට හම්බවෙන අන්තිම නැවතුම්පොල.. ඒ නිසා අපි ඇහැල කණුව ආපන ශාලාවෙන්  කෝපි බිව්වා.

ඒත්තෙක්කම රෑට කන්න රෝස්පානුයි වඩේයි ගත්තා.

කෑම අරගෙන අපි ගෙනාපු සුදු ඇඳුම් ඇඳගත්තා. ගොඩක් වන්දන නඩ ඇහැල කණුව හරියෙදි තමා පේ වෙන්නේ... ඒ බව නන්දා මාලනී නෝනගේ "මුණි නන්දන සිරිපාද වඳිමු " ගීයෙනුත් කියැවෙනවා.

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

ගොඩක් නඩ මේ හරියෙදි පන්සිල් ගත්තා.

ඇහැල කණුව කියලා කියන්නේ අඩියක් විතර උස කණුවකට. කෝඩුකාරයෝ  ඇහැල කණුවේ හුණු තවරනවා.අපි හුණු ගෙනාවේ නැති නිසා ඒක කරන්න උනේ නෑ. ඒ වගේම තමා කෝඩුකාරයන්ට ඇහැල කණුවේ ඔලුව ගහලා වඳින්න කියලාත් කියනවා. ඒ කියන්නේ විහිලුවට වාගේ.

                                                                                                  ඇහැල කණුව
නොදන්න කෝඩුකාරයෝ හිස ගහලා වඳිනවත්තෙක්ක.. අපේ කවුරුවත් ඕක දැනන් උන්නු නැති නිසා මට හිස ගහන්ඩ උනේ නෑ.. මම බේරුණා... ! :)

මෙතැන ඉදං හුළංකපොල්ලත්තෙක්ක සීග්‍ර නැග්මක් තියෙන්නේ.. හිමේ නඟිනවා කියල තමා පැරැන්නෝ කීවේ. ඒක නං සීයයට සියයක් වාගේ හරි.. වටෙන්ම හිමෙන් වැහිච්ච කඳු මුදුන් පේනවා... ඒක හරිම ලස්සන දර්ශනයක් !

මේ හරියේ නැග්ම වැඩි වාගේම සුළංකපොල්ලත් තියෙන නිසා ගොඩක් අය තුන්සරණේ කවි කියන්න ගත්තා.

අපේ බුදුන් - අපි වඳින්ඩ
පෙරළි පෙරළි - අපි වඳින්ඩ
වම් සිරි පා - අපි වඳින්ඩ
එරන් පතුල - අපි වඳින්ඩ
මැණික් පතුල - අපි වඳින්ඩ
දෙදණ නමා - අපි වඳින්ඩ
නළල තබා - අපි වඳින්ඩ

මහගිරිදඹේ අමාරුම හරිය වෙනකොට ඒ කාලේ  වන්දනාකරුවෝ මහගිරිදඹ තරණය කරන්න පාවිච්චි කරපු දම්වැල් හම්බ උනා. දම්වැල් අල්ලගෙන මහගිරිදඹ තරණය කරන්න කොච්චර නම් අමාරු වෙන්න ඇද්ද කියලත් වෙලාවකට හිතෙනවා. මේ යකඩ දම්වැල් මහා ඇලෙක්සැන්ඩර් රජතුමා දැම්මයි කියලත් සඳහන් වෙනවා.
                                                                                         මහගිරිදඹේ දම්වැල්
මේ හරියට එනකොට ඈතින් පේනවා අපි ආපු රජමාවත... සුරංගනාවියෝ හලාගෙන ආපු මල් පාරක් වාගේ ලස්සනට රජ මාවත පේනවා. අපට ඇස් වලින් පෙනෙන සුන්දර දර්ශනයම කැමරාවට ගන්නත් සෑහෙන උත්සහයක් ගත්තා.. මේ එහෙම ගත්තු පින්තූරයක්.
                                                                                                     රජ මාවත
මහගිරිදඹ තරණය කරලා අපි ඒ වෙලාවෙම වාගේ සිරිපතුලේ තුන්වරක්  නලල තියලා වැඳගත්තා... හිතට පුදූ..ම සතුටක් දැනුනේ.. සිරිපතුල වැඳලා මම එක වතාවකුයි මලයයි තාත්තයි තුන්වතාව ගානේ ඝාණ්ඨාරය ගැහුවා.... !

ඊට පස්සේ  විශ්‍රාම ශාලාවේ ඉදන් ගිමන් හැරියා...පෑ දෙක තුනක් ඉන්නකොට පහුවෙනිදා පෝය නිසා සෙනග වැඩිවෙන බව හමුදාවේ කෙනෙක් කිව්වා. ඒ නිසා අපට බහින්න වෙන බවත් කිව්වා.

දෙවනි වතාවටත් දුර තියාගෙන සිරිපා වැඳලා ආයේ වතාවක කෝඩුකාරිත්තෙක්ක සිරිපා වඳින්ඩ එනවා කියලා හිතාගෙන අපි රෑ 11ට විතර බහින්න පටන් ගත්තා.....

අපේ බුදුන් අපි වැඳගෙන
හිතේ තියන පව් ඇරගෙන
සංසාරේ කෙටි කරගෙන 
ගමට යන්ඩ යනෝ
එන මත්තෙත් කෝඩු එක්ක
බුදු පුදයට එනෝ

සෙනග වැඩි නිසා විශ්‍රාම ශාලාවල් වල ඉඩ තිබුනේ නෑ.. ඒ නිසා මගක් බැහැලා මකර තොරණ ගාව තිබ්බ පන්සලේ ශාලාවේ කොණක උදේ වෙනකන් නිදාගෙන පහුවෙනිදා අපි ගෙවල් බලා පිටත් උනා.

ඔන්න ඔහොමයි මගේ කෝඩුකාර සිරිපා ගමන කෙළවර උනේ...

19 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 3වන කොටස

කටුකිතුල වංගුවේ දන්සැලෙන් බත් කාලා අපි ආයෙම ගමන පටන් ගත්තා. කඳු අතරින් සෑහෙන පඩි ගොඩක් නැග්ගහම ගැටනෙතුල හරියට එන්න පුලුවන් උනා. මෙතැනට ඒ නම කියන්නේ ඇයි කියලා නං කිසිම කතාවක් හම්බ උනේ නෑ....

ගැටනෙතුලත් පහු කරගෙන එනකොට අපිට හම්බ උනේ කොඩිය කියලා තැනක්.කොඩියත් පහු කරගෙන තව දුරටත් එනකොට කළු ගඟ පටන් ගන්න තැන හම්බ උනා. මේ හරියෙදි කළු ගඟේ පළල අඩියයි... :)

                                                                                                         කොඩිය
                                                                                         කළු ගඟේ ආරම්භය...
තවත් පඩි ගොඩක් නැගගෙන ආවට පස්සේ  අපි ආවේ දියබෙත්ම එහෙමත් නැත්නම් ගජමන්සැල කියන හරියට. මෙතනට ගජමන්සැල කියලා කියන්නේ වන්දනාකරුවන්ට නැවතිලා ගිමන් හැරලා ගමන් කරන්න පහසු වෙන්න ගජමන් නෝනා අම්බලමක් හදලා තියෙනවා.

                                                                                      දියබෙත්ම (ගජමන්සැල)

මේ හරිය  තැනිතලා ප්‍රදේශයක් නිසා ශ්‍රී පාද රක්ෂිතයේ සත්තු එහෙම වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක්.ඒ නිසා රෑට මේ අම්බලමේ නිදා ගන්න සමහරුන්ට සත්තුන්ගෙන් කරදර ඇති වෙලා තියෙනවා. මේ අම්බලමේ රෑක් නිදා ගන්න නඩයකින් එක්කෙනෙක් දෙන්නෙක් උදේ වෙද්දි මැරිලා ඉදලා තියෙනවා.

මේ නිසා මිනිස්සු ගජමන්සැලේ ගිමන් හරින්න බය වෙලා තියෙනවා. ඒ හින්දම ගජමන්සැල පාලුවට ගිහින්. දැන් නං ගරාවැටිලා.... ! අපි ප්‍රධාන පාරෙන් හැරිලා අඩි පාර දිගේ ටික දුරක් ගියා ගජමන්සැල බලන්ඩ.. අපරාදේ කියන්ඩ බෑ... ආත්ම ගානකට හරියන්ඩ පින් ලබාගන්ඩ පුලුවන් අම්බලමක් ඒක. .. ඩබල් බැම්මෙන් හදපු සෑහෙන ප්‍රදේශයක් පුරා විහිදී දිය අම්බලමක නටබුන් දැක ගත්තා.
                                                                                          ගජමන්සැලේ නටබුන්...

ගජමන්සැල ගැන කියනකොට  මම කලින් කියවපු කතාවකුත් මේකට අමුණන්නම්.. දැරණියගල පැත්තේ නඩයක් පලාබද්දලින් සිරිපා කරුණා කරලා තියෙනවා. ඒ අය එක්ක උන්නු ගෑනු දැරිවියක් මේ ගමනෙදි වැඩිවියට පත් වෙලා තියෙනවා. ගෑනු ළමයව තවත් බවලත්තු කීපදෙනෙක් එක්ක මේ අම්බලමේ නවත්තලා අනෙත් අය කරුණා කරලා තියෙනවා.

කැලෙන් මතු වෙච්ච කොටියෙක්  අර බවලත්තු බලාගෙන ඉන්නැද්දිම මේ ගෑල්ලමයව ඩැහැගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය නිසාම රත්නපුරේ පැත්තේ අය වැඩිවියට පත්වෙන වයසේ ඉන්න ගෑල්ලමයින්ව සිරිපා වන්දනාවේ එක්ක යන්නේ නෑලූ.

ගජමන්සැලත් බලාගෙන  තවත් ගල්පඩි සෑහෙන ගානක් නැග්ගට  පස්සේ අපි ආවේ ගෙත්තම් පානට එහෙම නැත්තං ඉදිකටුපාන කියන හරියට. කැලේ මැද්දෙන් වැඩිය බුදුහාමුදුරුවන්ගේ සිවුර කටු අත්තකට පටලැවිලා ඉරී ගිහින් තියෙනවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ සිවුර මහගත්තු හරිය තමා ගෙත්තම් + පහණ (ගල) කියන්නේ.
                                                                                              ගෙත්තම්පාන

ගොඩක් වන්දනා නඩ ගෙත්තම් කරන ගමන්  මැරෙනකන් ම ඉදිකටුවට නූල අමුණන්ඩ පුලුවන් පුලුවන් වෙන විදිහට දෑස් පෙනිම ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.

අපේ කට්ටියගෙන් කිරිකෝඩු මම නිසා පලාබද්දලින් ගත්තු  ඉදිකටුවට නූල අමුණලා ගෙත්තම් පානෙන් ගෙත්තම් කලා. ගෙත්තම් කරන ගමන් මාත් අනිත් අය වගේම ඒ ප්‍රාර්ථනාවම කලා. :)

ඊට පස්සේ අපි ආවේ  ධර්මරාජගලට... ඉන්දියාවෙන් ආපු ධර්මරාජ කියන බ්‍රාහ්මණයා මේ හරියෙදි භාවනායෝගීව ඉදලා තියෙනවා. ඒ නිසයි මේ ගලට ධර්මරාජ ගල කියන්නේ. ධර්මරාජ බ්‍රාහ්මණයා භාවනායෝගීව උන්නු ලෙන ධර්මරාජ ලෙන විදිහටයි හඳුන්වන්නේ.

පස්සේ කාලෙක මේ බ්‍රාහ්මණයා වන්දනාකරුවන්ට පහසු වෙන්ඩ ධර්මරාජ ගලේ පඩිපෙලක් කොටලා තියෙනවා.
                                                                                                ධර්මරාජගල

කතාවක් තියෙනවා ධර්මරාජ ගලේ පඩි ගනින්ඩ බෑ කියලා. මායි අපේ මලයයි පඩි ගැන්නා. දෙන්නට ආවේ අගයන් දෙකක්.. එක මාමා කෙනෙක් නං ගනලා පඩි ගාන 120යි කියලා කියාගෙන ගියා !

ධර්මරාජගලේ සමහර පඩි, පඩියක් කියලා හිතන්ඩ බැරි තරමටම ගෙවිලා..ඒ නිසාම වෙන්න ඕන පඩි ගාන ගනින්න බැරි. මොනවා උනත් ගමන් මහන්සිය අමතක වෙන්නත්තෙක්ක මේ වගේ සම්ප්‍රදායයන් තියෙන එකත් හොඳයි... !

ධර්මරාජගලේ ඉන්නකොට අපට ඈතින් තවත් කන්දක් පෙනුනා.. ඒක කුණුදිය කන්ද ලූ. ඔය පහල පින්තූරයේ ඈතින් පේන්නේ ඒ කුණුදිය කන්ද.... බුදු හාමුදුරුවෝ සිරිපාද කන්දේ සිරිපතුල තිබ්බට පස්සේ දෙව්දත් තෙරුන් මේ කන්දේ තමන්ගේ පා සටහන තියන්න උත්සහ කරලා තියෙනවා. ඒ වෙලාවෙදි කුණු දිය උල්පත් මතු උන නිසාලු මේ කන්දට ඒ නම ලැබිලා තියෙන්නේ.

අනිත් මතය තමා  ගැරඩි මල කුණකින් ඕජස් ගලපු නිසා මේ කන්දට කුණුදිය කන්ද කියලා කියනවාලු.
                                                                       සීගිරිය වාගේ ඈතින් පේන්නේ කුණුදිය කන්ද

ධර්මරාජගල නැගලා තව දුරට ගියාට පස්සේ අපට වතුර වැටෙන සද්දයක් ලඟ ලඟම වාගේ ඇහෙන්න ගත්තා.ඒ සීත ගඟුල වෙන්ඩ ඕන..අපි පය ඉක්මන් කලා. මායි අපේ මලයයි ඇඳුම් මාරු කරගෙන සීත ගඟුලෙන් නාගන්න ලෑස්ති උනා. අපේ තාත්තා නම් නාන්න ආවේ නෑ...
                                                                                                  සීත ගඟුල

වතුරට පැන්නා විතරයි කෑ ගැස්සෙන තරමේ හීතලක් තියෙන්නේ.. වතුර නිකං අයිස් කැටේ වාගේ... මම පස් හය පාරක් වතුරේ එබිලා ගොඩට ආවා. මහන්සිය කොහෙන් ගියාද නෑ.. අපි ආයෙම ලෑස්ති වෙලා සිරිපා කරුණා කලා.

සීත ගඟුල පහු කරලා ටික දුරක් යනකොට ඈතින් සිරිපාදේ මහගිරිදඹේ පේනවා...

                                                                                         සිරිපාදේ මහගිරිදඹ

අපි ඊලඟට ආවේ හැරමිටිපානට.... හැරමිටි+පහණ හරියෙදි බුදු හාමුදුරුවන්ට අහස් ගව්ව තරණය කරන්ඩ පහසු වෙන්ඩ මනුස්සයෙක් හැරමිටියක් පූජ කරලා තියෙන නිසාලු හැරමිටිපාන කියන්නේ. ඒ වගේම තමා සිරිපා කරුණා කරන අය මැරෙනකන්ම හැරමිටියකට වාරු වෙන්නේ නැතුව ඇවිදින්න පුලුවන් වෙන්න කියලාත් ප්‍රාර්තනා කරන්නෙත් හැරමිටිපාන හරියෙදි.
      හැරමිටිපාන ආපන ශාලාව

හැරමිටිපානට එනකොට වෙලාව තුනත් පහුවෙලා. ටිකක් වෙලා ගිමන් හැරියා ඊට පස්සේ අපි හැරමිටිපානෙදි බිස්කට් කාලා තේ වතුර බිව්වා.

මෙතනින් එහාට ගමන  මහ මළුව වෙනකන් ගමන ඊලඟ ලිපියෙන් දෙන්නම්... හිතුවට වඩා ලිපිය දිගින් වැඩිඋනා... ඊලඟ කොටස විතරමයි තියෙන්නේ.... සත්තයි... ! :)

සුබ රාත්‍රියක් !

18 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 2වන කොටස

අම්මා හදලා දීපු සීනි සම්බලයත් එක්ක අපි තුන් දෙනා පාන් කෑවට පස්සේ ලඟ පාත තිබුණු කඩේකින් තේත් බීලා ගමන පිටත් උනා. අතරමගදි සිරිපාද මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවත් හම්බ උනා. මං ඒ කිට්ටුව කඩේකින් නූලුයි ඉඳිකට්ටකුයි ගත්තා. මමනේ කිරිකෝඩුකාරයා :)

ඒ කඩෙන්ම අපේ තාත්තා මගින් මඟට කන්ඩ කියලා බුලත් විටකුත් ගත්තා.... මේ සේරම දේවල් කරගෙන හිමි හිමිහිට ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයට ආවා. මෙතන ඉදන් තමා අපේ වන්දනා ගමන පටං ගන්නේ.
                                                                       පලාබද්දල කීර්ති ශ්‍රි රාජසිංහ රජමහා විහාරය

පලාබද්දල කිට්ටුවේදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පලා මැල්ලුමත්තෙක්ක බත් කන්ඩ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ ආසාව එහෙමත් නැත්තං දොල ඉශ්ඨ කරපු ගමට ගැමියෝ පලා+බත්+දොල කියලා කියන්ඩ ගත්තාලු.. පලාබද්දොල පස්සේ කාලෙක පලාබද්දල උනා කියලා තමයි සඳහන් වෙන්නේ.

අද වෙනකොට පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නමින් විහාරෙකුත් තියෙනවා.අපි ඒ විහාරේ වැඳපුදා ගත්තා. විහාරෙත් වැඳපුදාගෙන කිසිම කරදරයක් නොවී සිරිපා කරුණා කරගෙන එන්ඩ ලැබෙන්ඩ කියලා විහාරෙට පඬුරුත් දාලා අපි විහාරෙන් එලියට ආවා.

මීලඟට තියෙන්නේ කඩ කීපයක් මැද්දෙන් අපේ ගමන පටන් ගන්ඩ. මේ හරියේ තමා ගෙවල් වලට ගෙනියන්ඩ ඕන කරන කළු දොදොල්,මස්කට්, බූන්දි වගේ නානාප්‍රකාර කෑම ජාති විකුණන්ඩ තියෙන්නේ. ඒ හරියත් පහු කරගෙන අපි පඩිපේලි දිගේ කන්ද ඉහලට කරුණා කලා.

සිරිපා කරුණා කරනකොට අපේ ගමන් මලු වලට කියන්නේ සැහැල්ලුව කියලාලූ. ඒක අපේ මලයා මට මතක් කලා. ඒ විතරක් නෙමේ අපි ගෙනාපු සැහැල්ලු වලින් සැහැල්ලුම සැහැල්ලුව මට දෙන්ඩත් ඌ හරිම කාරුණික උනා. (ඔය සැහැල්ලුව නිසා පඩි විස්සක් නැග්ගත් මට හති)

පඩි දිගේ ටික දුරක් යනකොට  කළු ගඟට වතුර ගෙනියන අතු ගංඟාවක් පහලට ගලන සද්දේ ඇහෙන්ඩ ගත්තා.අපිත් කාන්දමකට ඇදෙන්නා වාගේ ඒ පැත්තට ගිහින් ටික වේලාවක් ඒ හරියෙත් ගත කලා.
                                                                                              කළු ගඟේ අතු ගංගාවක්

කළු ගඟේ අතු ගංගාව කිට්ටුව ටික වෙලාවක් ගත කරලා අපි ආයෙම ඉහලට කරුණා කරන්ඩ ගත්තා. තව පඩි පෙල් සීයයක් දෙසීයක් විතර ගියතැන අපිට හම්බ උනා පවනැල්ල ගම්මානේ.. මේක තමා සිරිපාද වන්දනාවෙදි අපිට හම්බවෙන අන්තිම ගම්මානේ...
                                                                                             පවනැල්ල ගම්මානේ

ගම්මානෙත් පහු කරගෙන ටික දුරක් එනකොට පවනැල්ල විශ්‍රාම ශාලාවේ බත් දන්සලකුත් තිබුනා.අපි කට්ටිය යන ගමන නවත්තලා බත් ටිකක් කෑවා.බත් ටිකකුත් කාලා දන්සල දෙන්ඩ උදව් වෙච්ච කට්ටියට හිතින් පින් දෙන ගමන් ආයෙම ගමන පටං ගත්තා.
                                                                                           පවනැල්ල විශ්‍රාම ශාලාව

පවනැල්ල ගම ගැන කියනවා නම් ලිහිණිහෙලෙන් පැනලා මැරුන ලිහිණි අක්කගේ ගම. ඒ ඇරෙන්න වෙන කියන්ඩ නං දෙයක් නෑ..

පඩි පෙල් නගින ගමන් අපේ තාත්තා ගත්තු බුලත් විට ඉල්ලගෙන මාත් විටක් කෑවා. ඒක හප හපා අපි කට්ටිය කොකටියකන්ද පහු කලා. කොකටිය කන්ද පහු කරලා තවත් ගල් පඩි ගණනාවක් පහුකරපුවාම අපි ලිහිණි හෙලට ආවා.
                                                                                                          කොකටියකන්ද

ලිහිණිහෙලේදි අපට තිබ්බ ප්‍රශ්නයක් තමා ලිහිණි අක්කා සිරිපාදේ වඳින්ඩ යනකොට හෙලට වැටුනද කියන එක... ඒ ප්‍රශ්නෙට උත්තරේ තමා ලිහිණි අක්කා හෙලට වැටුනේ නෑයි කියන එක. තමන්ගේ මනුස්සයාගෙන් සිද්ධ උන හිරිහැර කරදර ඉවසගන්ඩ බැරුව පවනැල්ලේ ඉදලා ලිහිණි හෙලට ඇවිත් ලිහිණිහෙලින් පැනලා ලිහිණි අක්කගේ අන්තිම පනකෙන්ද සිරිපාද රක්ෂිතයට මුදා හැරපු එකයි සිද්ධ උනේ...

 එදා ලිහිණිහෙලින් පැනලා දිවි නසාගත්තු ලිහිණි අක්කා අමරණීය උනා. අපිත් ලිහිණිහෙල ලඟට ගිහින් "ලිහිණි අක්කේ... අපි යනෝ...!" කියලා යන්න අමතක කලේ නෑ.. ලිහිණි අක්කට අපි එක වතාවක් කතා කලහම ලිහිණි අක්කා දෙතුන් විඩක් උත්තර දුන්නා.
                                                                        ලිහිණිහෙල... ලිහිණි අක්කේ අපි යනෝ... !

ලිහිණිහෙලින් ලිහිණි අක්කට කතා කරලා අපි ආයෙම ගල් පඩි නැගලා සිරිපා කරුණා කරන්ඩ ආවා.ලිහිණිහෙලේදි ඇත්තටම වෙන්නේ අපේ සද්දේ අහල පහල කඳු වලල්ලේ හැප්පිලා දෝංකාරේ දෙන එක.. මේ දෝංකාරය අපේ මලයාගේ වීඩියෝ එකටත් ඇහෙනවා. :)

"මල්ලි, උඩහා බත් දන්සලක් දෙනවා... !" සිරිපා කරුණා කරගෙන එන අයියා කෙනෙක් අපිට ඔත්තුවක් දුන්නා. අපිත් පය ඉක්මන් කලා දන්සල වඳින්ඩ. දන්සල තිබ්බේ කටුකිතුලවංගුවේ. දන්සල දුන්නේ පානදුර දිබ්බැද්ද ගමේ ශ්‍රී සුමණ වන්දනෝපකාර සමිතියේ දායකයෝ පිරිසක්.

මේ අයටත් නම් සෑහෙන පිනක් අත්වෙනවා. මොකද මේ හරියට හාල් මිටි, ගෑස් සිලින්ඩර් උස්සගෙන එන එක ලේසි නෑ. සෑහෙන පඩි තොගයක් නගින්ඩ ඕන කටුකිතුල වංගුවට එන්ඩ. අපි මේ අයට පින් දිදී බත් කෑවා.. මේ දන්සල 13,14,15 කියන දවස් තුනේම දෙනවා.
                                                                                    කටුකිතුලවංගුවේ දාන ශාලාව

කටුකිතුල වංගුවේ දන්සැල නිසා අපේ දවල් බත සම්පූර්ණ උනා..

මේ වංගුවට කටුකිතුලවංගුව කියන්නේ කටු කිතුල් ගස්  තියෙන හන්දා වෙන්ඩ ඕන. කටු කිතුල් ගස් වල කඳේ ඉදලා අතු වලට යනකං එකාසීරුවට කටු තියෙනවා.රජකාලේ කටු ඉඹුලේ යවන දඩුවමටත් පාවිච්චි කරලා තියෙන්නේ කටු කිතුල් ගස්ලූ..
                                                                                                         කටුකිතුල්



කටු කිතුල වංගුවේ ඉදලා සිරිපා කරුණාව ඉතුරු ලිපියෙන් කියවමු...
සුබ රාත්‍රියක් !

---------------------------------------------------------------------
ප.ලි. - තව එකම එක ලිපියක් ලියන්ඩ තියෙනවා.. :)

17 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු

සෑහෙන කාළෙක ඉදලා හිතේ තිබ්බ අදහසක් තමයි සිරිපාදේ කරුණා කරන්ඩ ඕන කියන එක. අවුරුදු දෙකක් තිස්සෙම මේ අදහස හිතේ තිබ්බා. තනියම යන්ඩ අමාරු ගමනක් කියලා කට්ටිය කියන නිසා යන්ඩ උනේම නෑ..

මේ අවුරුද්දේ නම් කොහොමහරි සිරිපා වඳිනවාමයි කියලා හිත හදාගෙන උන්නා.. ඒකට කට්ටියකුත් එකතු කරන්ඩ ලෑස්ති කර ගත්තා. නමුත් එක එකා හැලිලා හැලිලා ගිහින් අන්තිමේදි ඉතුරු උනේ අපේ මලයයි මායි විතරයි. කවදත් මගේ තනි නොතනියට ඉන්න මලයවත්තෙක්ක සිරිපාදේ කරුණා කරන්ඩ ලෑස්ති උනා.

අන්තිම මොහොතේ අපේ තාත්තත් මේ ගමනට එකතු උනා...

මමයි මලයයි කතා කරගත්තු විදිහට අපි සිරිපාදේ වඳින්ඩ තෝරගත්තේ රත්නපුර-පලාබද්දල පාර ! ඒක තමා සිරිපාදේ වඳින්ඩ යන්ඩ තියෙන දිගම පාර ! ඒ වගේම ලස්සනම පාර !

සිරිපාදේ වඳිනවා නම් පාරවල් හතරක් තියෙනවා... ප්‍රසිද්ධම පාර තමා හැටන්- නල්ලතන්නිය පාර.. ඊළඟට රත්නපුර-පලාබද්දල පාර... අනෙත් එක තමා කුරුවිට-එරත්න පාර.. කුරුවිට එරත්න පාර ගල්වංගෙඩිය හන්දියේදි රත්නපුරාව පාරට එකතු වෙනවා. අන්තිම පාර තමයි දැරණියගල උඩමාලිබොඩ පාර. ඒ පාර කුරුවිට එරත්න පාරට මගදි සම්බන්ධ වෙනවා. ටිකක් විතර අප්‍රසිද්ධ පාරක් !

ගොඩක් අය සිරිපාදේ වඳින්ඩ තෝර ගන්නේ හවස් වෙලාව උනත් පරිසරයේ ලස්සන විඳින්ඩ ඕන නිසා අපි තීරණය කළා එළිය තියෙන වෙලාවෙම කරුණා කරන්ඩ. ඒ නිසා අපි තුන්දෙනා බ්‍රහස්පතින්දා (13 වෙනිදා) උදෙම්ම පිටකොටුවට ආවා. පිටකොටුවට එනකොට වෙලාව පාන්දර හතරයි.

උදෙම්ම ආපු නිසා අපිට හතරාමාරේ බස් එක අල්ලගන්ඩ ලැබුනා. ඒක පරණ පාරෙන් මොනරාගල යන මාර්ග අංක 98 බස් එකක්. අපිට පෑ තුනක් යනකොට රත්නපුරෙන් බැහැගන්ඩ පුලුවන් උනා. ඊට පස්සේ අපි හෙව්වේ පලාබද්දල බස් එක නවත්තන තැන කොහේද කියලා.

රත්නපුර බස් නැවතුමේ එක තැනක සෑහෙන දිග පෝලිමක් තිබ්බා. ටිකක් විතර විපරම් කරලා බලනකොට එතන තමා පලාබද්දල බස් නවත්තන නැවතුම්පොල !

පලාබද්දල... නිකන්ම නිකන් පලාබද්දල නෙමේ... ශ්‍රී පලාබද්දල.... !

කියන්ඩත් අමතක උනා.. අපි මේ සිරිපා කරුණා කරන්නේ රජ මාවතෙන්.. එහෙම නැත්තං සුරංගනාවියෝ සිරිපා කරුණා කරපු පාරෙන් !

රත්නපුරේ ඉදලා පලාබද්දලට කිලෝමීටර් 23ක් විතර එන්ඩ ඕන..

රත්නපුරය > කුඩුගල්වත්ත > මීහිටිය > මල්වල > ඉලුක්වත්ත > ගිලීමලේ > ඉඳුරුව > ගුරුළුවාන > ශ්‍රි පලාබද්දලට

ඔන්න ඔය ගම් ටික තමා රත්නපුරේ ඉදලා පලාබද්දල වෙනකන් පහු වෙන්නේ.. රත්නපුර-පලාබද්දල පාර ගැන කිව්වොත් කළු ගං මිටියාවත එක්කම වාගේ තියෙන පාරක් ඒ වගේම සෑහෙන වංගු සහිත දුර්ග මාර්ගයක්. අපට විටින් විට කළු ගඟත් මුන ගැහුනා.

ඔය පාරේ ටික දුරක්  යනකොට අපි මල්වල හන්දියට ආවා. මල්වල හන්දියෙන් පාර දෙකට බෙදෙනවා. අපි ශ්‍රී පාදේ පාර පැත්තට හැරුනා. මල්වල කියලා කියන්නේ නිශ්ශංකමල්ල රජතුමාගේ මල් වත්ත තිබුනු ඉසව්ව. ඔය මල් වත්තෙන් තමයි සුරංගනාවියෝ මල් අරගෙන ගියේ...

මල් වත්තේ මල් අඩුවෙන එක හොයන්ඩ දවසක් රාජ සේනාව හැංගිලා ඉන්නවා... හැංගිලා උන්නු රාජ සේනාව දැක්කා සුරංගනාවියෝ මල්වල මල්වත්තෙන් මල් අරගෙන යනවා කියලා. සුරංගනාවියෝ අල්ලන්ඩ මේ කට්ටිය එනකොට ඒ සුරංගනාවියෝ සමනල්ලු වෙලා ඉගිල්ලිලා ගියාලු. ඔන්න ඔහොමලු සිරීපාදේට සමනල්ලු යන කතාව ආවේ.

එදා සුරංගනාවියන්ව අල්ල ගන්න බැරි උන නිසා රට පුරාම අඬබෙරයක් යැවුවලු මල් අරගෙන යන සුරංගනාවියෝ අල්ලලා දෙන කෙනෙක්ට ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා. ඒ අඬබෙරය නැවැත්තුවාලු කොට මනුස්සයෙක්. නවත්තලා "මම සුරංගනාවියෝ අල්ලලා දෙන්නම්" කියලා මේ කොට මනුස්සයා කිව්වා.

මේ කොට මනුස්සයා සුරංගනාවියන්ට ඇහෙන්න ලස්සනට සිංදු කියනවලු.. ඒ සිංදු අහල පහල කඳුවැටි වලටත් දෝංකාර දිදී ඇහෙනවලු. මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්ඩ සුරංගනාවියෝ ආවාලු.

ඒ ඇවිදින්,

"අපි ආවේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්න !" කියලා එක සුරංගනාවියක් කිව්වා. මේ මනුස්සයාට සද්දේ විතරයිලු ඇහෙන්නේ සුරංගනාවියෝ පේන්නේ නෑලූ

"ඔයාලා කවුද ? මට ඔයාලව පේන්නේ නෑනේ !" කොට මනුස්සයා කිව්වා.

"අපි දිව්‍යලෝකේ ඉදලා ආපු සුරංගනාවියෝ. ඒකයි ඔයාට අපිව පේන්නේ නැත්තේ !" කියලා තවත් සුරංගනාවියක් කිව්වා.

"මට ඔයාලව බලන්ඩ ඕනා !" ඒ මනුස්සයා පෙරැත්ත කලා.


 ඉතින් මේ මනුස්සයා පෙරැත්ත කරපු නිසාම අර සුරංගනාවියෝ, තමන් ඇඳන් හිටපු උතුරු සළුව ගලවලා බිමට දැම්මා ලූ. උතුරු සළු ගලවලා දාපු නිසා මේ මනුස්සයාට සුරංගනාවියෝ පේන්ඩ ගත්තාලු.

ඒ මනුස්සයා ඉක්මනින්ම සුරංගනාවියන්ගේ උතුරු සළු ටික එකතු කර ගත්තාලු. උතුරු සළු නැති නිසා සුරංගනාවියන්ට නොපෙනී යන්න බෑලු. තමන්ගේ උතුරු සළු ආයෙම ලබා දෙන්න කියලා සුරංගනාවියෝ පෙරැත්ත කලා ලූ.

මල් අරගෙන යන්නේ කොහේද කියලා කියනවා නං විතරක් උතුරු සළු ටික දෙනවයි කියලා ඒ කොට මනුස්සයා කිව්වා.. එතකොට සුරංගනාවියෝ කිව්වලු අපි යන්නේ සිරිපාදෙටයි කියලා.

 ඔහොම කියපුවාම ඒ මනුස්සයාටත් ආසාවක් ඇතිවෙනවා සිරිපාදේ වඳින්ඩ.. ඒ මනුස්සයා කියනවා මටත් සිරිපාදෙට යන පාර පෙන්වන්ඩ කියලා. එතකොට සුරංගනාවියෝ කරන්නේ තමන් කඩාගෙන ආපු මල් ටික සිරිපාදෙට යන පාර දිගේ හලාගෙන යනවා.

මල් හලාගෙන යනකොට සමහර තැන්වල මල් පොලොව ඇතුලට ගිලා බැස්සාලු. එහෙම මල් පොලොවට ගිලා බැස්ස තැන පස්සේ කාලෙක ගිලීමලේ උනා කියලා තමා සඳහන් වෙන්නේ !

සුරංගනාවියක් එක්ක මනුස්සයෙක් රමණය කලොත් එයාලට නොපෙනී ඉන්න පුළුවන් හැකියාව නැතුව යනවලු. සිරිපාදේ කරුණා කරන්ඩ යන ගමනෙදි මේ වගේ දේවල් කියන්ඩ හොඳ නැති හන්දා ඒ කතාව පස්සේ දවසක කියන්නම්.

අපි ඉඳුරුව හන්දියත් පහු කරගෙන තවත් ඉස්සරහට ගියා.. ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපි තුන්මං හන්දියකට ආවා. එතකොටම වාගේ කඩ වගයකුයි කට්ටියකුයි දැක්ක නිසා මං හිතුවා අපේ බස් ගමන හමාර වෙන්ඩයි යන්නේ කියලා.

බස් එක පලාබද්දල නැවතුම් පොලේ නැවැත්තුවා..

                                                                                     පලාබද්දල බස්නැවතුම්පොල

ලස්සන පරිසරයක්. ඈතින් කඳු පේනවා. ඒ වගේම ඉස්කෝලයක් ලඟ නිසා ළමයින්ගේ කෑ ගැහිලිත් ඇහෙනවා. අපි ඒ ළඟම වාගේ ඉදන් උදේ කෑම ගත්තා.


උදේ කෑමෙන් පස්සේ අපි සිරිපාදේ කරුණා කරන්ඩ පටන් ගත්තා. උඩහට්ට තිබුනු පාර දිගේ ටික දුරක් ගියාට පස්සේ අපි පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයට ලඟට ආවා.

එතන ඉදලා සිරිපාදේ වන්දනා කරපු හැටි ඊලඟ ලිපියෙන්ම ලියන්නම්...
සුබ රාත්‍රියක් ! 

----------------------------------------------------------------------
ප.ලි. - අවුරුදු දෙකක් සැලසුම් කරලා යන්ඩ හම්බ උන ගමනක් නිසා පෝස්ට් දෙක තුනකින් ගමන විස්තර කරනවට උරණ වෙන්ඩ එපාලා. :) 

15 February 2014

නාගසේන වස්තුව

කාෂ්‍යප බුදු හාමුදුරුවන්ගේ කාළයේ ගඟක් ළඟ තිබ්බ විහාරෙක හාමුදුරු කෙනෙක් වැඩ උන්නා. ඒ හාමුදුරුවෝ දවසක් වෙහෙර මළුව අතුගාලා කුණු ටික ගොඩ ගහලා තිබ්බා. ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ ගෝල හාමුදුරු නමට කිව්වා "මම වෙහෙර මළුව අතුගාලා තියෙන්නේ. ඒ කුණු ටික අරන් දාන්ඩ" කියලා.

එහෙම කියලා ලොකු හාමුදුරුවෝ විහාරගෙට වඩිනවා. උන්නාන්සේ ටික වෙලාවකින් එනකොටත් කුණු ගොඩවල් එහෙම්ම තියෙනවා දැක්කා. උන්නාන්සේ කියලා ගිය දේ කරලා තිබුනේ නැති නිසා උන්නාන්සේට තරහවක් ඇවිදින් මේ පොඩි නමට පාරක් ගහනවා.

පහර කාපු පොඩි හාමුදුරුවෝ  ආයෙම ලොකු හාමුදුරුවන්ගෙන් ගුටි කන්න වෙයි කියන බයට කුණු ටික අරන් දානවා. කුණු ටික අරන් දැම්මට පස්සේ පොඩි හාමුදුරුවෝ පිරිසිඳු වෙන්න ගඟට යනවා. ගඟේ ගලා යන වතුර දැකපු පොඩි හාමුදුරුවෝ ප්‍රාර්තනවක් කරනවා "කාටවත් විසද ගන්න බැරි තරමේ වාදයන් ගේන්න පුළුවන් විදිහේ නුවණක් ලැබෙන්ඩ " කියලා.

පොඩි හාමුදුරුවෝ කරපු ප්‍රාර්ථනාව ගං ඉවුරේ ඉදපු  ලොකු හාමුදුරුවන්ට ඇහුනා. උන්නාන්සේ කල්පනා කරනවා මම අතුගාපු කසල ටික අස් කරලා පොඩි හාමුදුරුවෝ එහෙම ප්‍රාර්ථනාවක් කරනවා නම් මළුව අතුගාපු මම ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක් කරන්ඩ ඕන කියලා.

ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ප්‍රාර්ථනා කරනවා "පොඩි හාමුදුරුවෝ ගේන ඕනෑම වාදයක් මට විසඳන්ඩ පුලුවන් විදිහේ නුවණක් ලැබෙන්ඩ " කියලා.

ඔහොම කාලයක් ගත වෙනවා... ගත වෙලා ගෞතම බුදුන්ගේ කාලේ උදා වෙනවා. ගෞතම බුදුන්ගේ කාලය උදා වෙලා උන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 500ක් ගත වෙනවා. මේ අවුරුදු පන්සියය ගිය තැන දඹදිව සාගල කියන නගරයේ මිලින්ද කියලා රජ කෙනෙක් වෙලා පොඩි හාමුදුරුවෝ උපදිනවා.

මේ මිලින්ද රජතුමා නුවණින් බලයෙන් රූපයෙන් අග තැන්පත් රජ කෙනෙක් විදිහටයි මුලු සාගල නුවරම ජනප්‍රිය වෙන්නේ... එදා වෙහෙර මළුවේ කුණු අරන් දාලා කරපු ප්‍රාර්ථනාව නිසයි මිලින්ද රජතුමාට හොඳ නුවණක් ලැබෙන්නේ...

මේ රජතුමා ධර්මයේ එන සියුම් තැන් එකතු කරලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්නය විසඳගන්න ගොඩක් අය උත්සහ කරනවා.. නමුත් හැකි වෙන්නේ නෑ... කොටින්ම ඒ කාලේ උන්නු රහතන්නාන්සේලාට පවා මේ ප්‍රශ්නය විසදගන්න උත්සහ කලාට හැකි වෙන්නේ නෑ.
 
 උන්නාන්සෙලාත් එකතු වෙලා කතා වෙනවා මේ ප්‍රශ්නයට පිලිතුරක් හොයන්ඩ..රහතන්නාන්සේලා ඔක්කෝම වගේ  මේ ගැන සාකච්ඡා කරනකොට එක රහතන්නාන්සේ කෙනෙක් මේ ගැන සාකඡ්චා කරන්න ආවේ නෑ. ඒ උන්නාන්සේ නිරෝධ සමාපත්තියට වැදිලා උන්නු නිසා.නිරෝධ සමාපත්තිය කියන්නේ චිත්ත චෛතිසිකය ඇති වීම නතර කිරීම.

රහතන්නාන්සේලාට මේ ප්‍රශ්නය විසඳගන්ඩ උදව්වට ශක්‍ර දෙවියොත් මනුස්ස ලෝකයට වඩිනවා. ශක්‍ර දෙවියෝ පැහිදිලි කරනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න එකම එක්කෙනයි ඉන්නේ ඒ කෙනා මේ මනුස්ස ලෝකයේ නෑ ය ඒ කෙනා ඉන්නේ තව්තිසාවේ ය කියලා.
 
ඊට පස්සේ රහතන්නාන්සේලා තව්තිසාවට වැඩම කරලා උන්නාන්සේට ප්‍රශ්නය පැහැදිලි කරලා ආරාධනා කරනවා මනුෂ්‍ය ලෝකයේ උපදින්ඩ කියලා. උන්නාන්සේ තව්තිසාවෙන් චුත වෙලා මනුස්ස ලෝකයේ බ්‍රාහ්මණ කුළයේ උපදිනවා.

බ්‍රාහ්මණ කුළයේ කෙනෙක්ව ලේසියෙන් සම්බුද්ධ ශාසනයේ මහණ කරවන්නේ නැති නිසා අර නිරෝධ සමාපත්තියට වැදිලා උන්නු රහතන්නාන්සේට දඩුවමක් හැටියට දුන්නා මේ දරුවව කොහොමහරි මහණ කරවන්න කියලා.....

කාළයක් ගත වෙනවා. මේ බ්‍රාහ්මණ දරුවා මහණ වීමට සුදුසු වයසට එලබෙනවා....

මේ රහතන්නාන්සේ  අර දරුවව මහණ කරගන්න අරමුණෙන් බ්‍රහ්මණයන්ගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. පලවෙනි දවසේ මුකුත්ම ලැබුනේ නෑ..දෙවෙනි දවසෙත් මුකූත්ම ලැබුනේ නෑ..ඔය විදිහට අවුරුදු හතක් යනකන් කිසිම දෙයක් ලැබුණේ නෑ...

නමුත් එකම දවසක් මේ ගෙදර බැමිණිය "දෙන්න දෙයක් නෑ.." කියලා කියනවා.

උන්නාන්සේ එදත් සතුටින් ආපහු විහාරයට එන්න හැරුනා... ටික දුරක් වඩිනකොට මේ ගෙදර බමුණව හමු වෙනවා. හමු උනාට පස්සේ මේ බමුණා උන්නාන්සේගෙන් අහනවා "අපේ ගෙදරින් මොනවා හරි ලැබුණ ද ?" කියලා.

උන්නාන්සේ "ඔවු" කියලා කියනවා.

මේ බමුණා වහාම ගෙදර ගිහින් බැමිණියගෙන් අහනවා මොනාද අර ශ්‍රමණයාට දුන්නේ කියලා. බැමිණිය කියනවා මුකුත් නෑයි කියලා. මේ ශ්‍රමණයා බොරු කියන්නේ කියලා හිතපු බමුණා ඊලඟ දවසෙදි උන්නාන්සේ එනකන් බලාගෙන ඉන්නවා.

උන්නාන්සේ වැඩියම ".. අපේ ගෙදරින් ඔබට මුකුත් දීලා නෑ.. ඒත් ඔබ කියනවා ලැබුනයි කියලා. ඔබ බොරු කියන්නේ ඇයි ?" කියලා අහනවා.

"මෙතුවක් කලක් මට ඔබේ නිවසින් මුකුත් ලැබුනේ නෑ නමුත් ඔබේ ගෙදරින් ඊයේ දවසේ මට වචනයක් ලැබුනා." කියලා උන්නාන්සේ කියනවා. මේ බමුණා උන්නාන්සේ ගැන ටිකක් පැහැදෙනවා.

ඒ නිසාම උන්නාන්සේ ආයේ පිණ්ඩපාතේ වැඩියොත් බත් හැන්දක් දෙන්ඩෙයි කියලා බැමිණියට කියනවා.. ඔහොම කාලයක් ගත වෙනකොට උන්නාන්සේට ගෙට ඇතුල් වෙලා බණ දේශනා කරන්ඩත් අවසර ලැබෙනවා.

ඊට ටික කාලෙකට පස්සේ මේ දරුවගේ හිත ධර්මය කෙරෙහි පහදවලා මහණ කරවනවා....

මේ දරුවා නාගසේන හාමුදුරුවෝ නමින් මහණ වෙනවා.මේ හාමුදුරුවෝ මිලින්ද රජතුමා අහපු ප්‍රශ්නයට තර්කානුකූලව උත්තර දෙනවා. පසු කාලීනව මිලින්ද ප්‍රශ්නය නමින් අපි හඳුනා ගන්නේ එදා මිලින්ද රජතුමා අහපු මේ ප්‍රශ්නයයි..

 ---------------------------------------------------------------------
ප.ලි. - මේ කතාව මතක් කලේ අපේ අම්මා. එයාලට ඒ දවස්වල සිංහල සාහිත්‍යට නාගසේන වස්තුව තිබුනාලු. මේ කතාව සද්ධර්මරත්නාවලියේ එන කතාවක්.. මම බොහොම කෙටියෙන් ඉදිරිපත් කලේ.

අපි සිරිපා වන්දනාවේ ගිය නිසා ඊයේ පෝය දවසේ පල කරන්න තිබ්බ ලිපිය අද තමයි පල කරන්න උනේ..

11 February 2014

මේ සීත දවස්

මේ දවස්වල සෑහෙන්න පායනවා.දවාලට ඉන්ඩ හිටින්ඩ අමාරුයි.. ඒ තරමට රස්නෙයි.කොළඹ නම් ඉර අවුවයි පාරෙන් එන රස්නෙයි දෙකම එකතු වෙලා සෑහෙන රස්නයක් දැනෙන්නේ..

ඔය දවාලට නෙහ්...

උදේට ඒකේ අනෙක් පැත්ත...පලාතම මීදුමෙන් වැහෙන්නම පින්න...ඒ මදිවට කට කට කට ගාලා වෙව්ලන තරමට සීතලයි. වැඩට යන්ඩ උදේ ඇහැරෙන එකත් මරන්නා වාගේ.. අපට මේ තරමට සීතල නං කන්ද උඩරට පැති වලට කොච්චර සීතල ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා.

සීතල කිව්වහම මට මතක් වෙන්නේ පේරාදෙණියේ තිබ්බ සීත දේශගුණය... උදේට හන්තාන කඳුවැටියම වැහෙන්න තිර රෙද්දක් ඇද්දා වගේ මීදුමක් තියෙන්නේ.

 ගොඩක් වෙලාවට අපේ විභාග තියෙන්නේ මේ සීත කාළයේදි. ඒ නිසා සීතලයි සීතලයි කියලා බෑ.. කොහොමහරි පාඩම් කරන්ඩ ඕන. ඒ නිසා අකමැත්තෙන් හරි පාඩම් කරන්ඩ හිත හදාගන්නවා. හිත හදාගෙන මේසේ ගාවින් වාඩි වෙලා ටික වෙලාවක් පාඩම් කරගෙන යනකොට ඉබේටම වාගේ නිදි කිරා වැටෙනවා.

ආයෙම ටික වෙලාවකින් පාඩම් කරගෙන එනවා... ටික වෙලාවකින් නින්ද යනවා.

ඔන්න ඔහොම තමා පාඩම් කලේ.

ඔය නින්ද යන ලෙඩේට අපේ එකේ නියම වැඩක් කලා.

ඊට කලින් කියන්ඩ ඕන අපේ හොස්ටල් එක වටේට ලස්සන බැල්කනියක් තියෙනවා. ඒ බැල්කනියේ යකඩ බම්බු වලින් හදපු අත්වැටක් තියෙනවා. මම කියපු යාළුවා ටික වෙලාවක් පාඩම් කරගෙන යනවා.නින්ද යාගෙන එනකොට මේ අත් වැට ගාවට එනවා.

ඇවිත් කවුරුවක්කත් ලඟපාතක ඉන්නවද කියලා සැක හැර දැන ගන්නවා. කවුරුවක්කත් ලඟ පාතක නැත්තං සරම උස්සලා පස්ස පැත්ත එකපාරම යකඩ අත්වැටේ ගාවනවා. උදේ පින්නට අහු වෙච්ච නිසා යකඩ අත්වැට සෑහෙන සීතලයි.

අරූගේ නින්ද කොහෙන් ගියාද නෑලු..ඊට පස්සේ මු පාඩම් කරන්ඩ යනවා.ආයෙම නින්ද යාගෙන වගේ එනකොට මූ අර වැඩේ කරන්ඩ යකඩ අත්වැට ගාවට එනවා.

ඔන්න අත්හදා බලනවා නං නියම වැඩක් ! හික්ස්
ඔය සිද්ධිය මතක් වෙන මතක් වෙන වෙලාවට අපි අතරත් මේ වගේ එවුන් උන්නා නේද කියලා හිතෙනවා. :)

10 February 2014

මොකද උනේ ?

මේක මේ පහුගිය ටිකේ මමයි මගේ යාළුවෙකුයි මතක් කරලා හිනා උන කතාවක්. අපි දෙන්නා හිනා උනාට එක අතකට පවු කියලත් හිතෙනවා.

මේ සිද්ධිය උනේ මමයි මගේ යාළුවායි පේරාදෙණියේ ඉන්න දවස්වල.

මමයි යාළුවායි හවස 4ට විතර දේශනයක් ඉවර වෙලා  පොතට දාපු මහපොල වාරිකයෙන් කොටසක් ගන්ඩ බැංකුවට යන්ඩ ආවා. බැංකුවට යන්ඩ නං මහවැලි ගඟෙන් එහා පැත්තට යන්ඩ ඕන. මායි ඌයි කතාවක් දාගෙන ගම්පොල පේරාදෙණිය පාර කිට්ටුවටම ආවා.

ඔන්න එක පාරට පාර එහා පැත්තේ බස් හෝල්ට් එක ගාව කට්ටිය වටවෙලා.. !

තව කට්ටියක් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්ඩ බස් හෝල්ට් එකට දුවගෙන ආවා. අපි දෙන්නත් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට දිව්වා මොකෑ මේ කියලා බලන්ඩ. කට්ටිය සද්දයක් නැතුව වට වෙලා බලාගෙන ඉන්නවා.

කට්ටියගේ උරහිස් වලට ඉහලින් බැලුවම පෙනුනේ ගෑල්ලමයෙක් තුම්මුනින් දාඩිය වගුරගෙන කලන්තේ දාලා ඉන්නවා...

ගෑල්ලමයෙක් එයාට පවන් සලනවා. තව එක්කෙනෙක් මූනට වතුර ඉහිනවා.  තවත් එක්කෙනෙක් "පොඩ්ඩක් එහාට්ට වෙන්ඩකෝ මෙයාට හුස්මක් කටක් ගන්ඩ.." කියලා කෑ ගහනවා.

ඒ අතර කට්ටියගේ මූනු වල තිබ්බේ,

"මොකද වෙලා තියෙන්නේ... ?? " කියන ප්‍රශ්නේ !

ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ ඒ ගෑල්ලමයා ගාව. ඒ නිසා අපි ඒ ගෑල්ලමයට සිහිය එනකන් කට පියාගෙන බලාගෙන උන්නා. ඔන්න  ටික වෙලාවකින් ඒ ගෑල්ලමයාට  පියවි සිහිය ලැබුනා.

"මං බස් එකක් එනකන් බලාගෙන ඉන්නකොට එකපාරම කකුලේ මොකෙක් හරි ඉන්නවා කියලා දැනුනා. බලනකොට කූඩැල්ලෙක් එල්ලිලා. ඌව දැක්කට පස්සේ තමා මට කලන්තේ හැදුනේ..." ඒ නංගි උත්තර දුන්නා.

අපිට හිනා වෙන්ඩත් බෑ.. ඒත් හිනා නොවීත් බෑ.. එක අතකට පවු කියලත් හිතෙනවා.
ඒ නංගි ගියාට පස්සේ එක එකා,

"මොකද්ද බං කූඩැල්ලන්ට ඔහොම බය වෙනවද ? "

"ඒක තමා බං.. තව පොඩ්ඩෙන් අපි ආපු වේගේට වාහනේකටවත් යට වෙනවා."  වගේ කතා කියව කියව තම තමන්ගේ වැඩ වලට යන්ඩ ගියා.

අපි දෙන්නත් බැංකුවට ආවා....

----------------------------------------------------------------------
ප.ලි. - බස් හෝල්ට් එක අයිනේ තිබ්බ තණකොළ ගොල්ලේ ඉන්නැද්දි තමා ඔය කූඩැල්ලව එල්ලගෙන තිබ්බේ...

08 February 2014

බල්ලා කරපු වැඩේ

සෙනසුරාදා ඉරිදා දවස් කියන්නේ මම ටිකක් විතර වැඩිපුර නිදාගන්න දවස් දෙක.. ටිකක් කිව්වේ අටහමාර වෙනකන්වත්... ඒකත් ඉරිදට එච්චර උදේ වෙනකන් නිදියන්ඩ වෙන්නේ නෑ මොකද ඉරිදා උදේ පංතියක් තියෙන හන්දා.

ඒත් අද මගේ සැප නින්ද නිදියන්න උනේ නෑ. ඒකට මූලිකම හේතුව උනේ අල්ලපු ගෙදර අක්කාගේ කෑ ගැහිල්ල.. !

උන්දෑ උදේ කියලා බලන්නේ නැතුව කාටද මන්දා දෙස් දෙවොල් තියනවා. අපේ අම්මත් හනි හනිකට ගිහින් බැලුවා මොකෑ මේ වෙලා තියෙන්නේ කියලා. මාත් නිදි ගැට කඩ කඩා ගෙයි දොරකඩ ඇන තියාගෙන අම්මගෙයි ඒ අක්කගෙයි කතාව අහගෙන උන්නා.

මේකයි වෙලා තියෙන්නේ...

 ඒ අක්කා අමතර ආදායමක් ගන්න ගෙදර ඉදන් ලියුම් කවර අලවන වැඩේ කරන්නේ.කලින් දා රෑ අලවපු ලියුම් කවර ටික මිදුලේ පැදුරක් එළලා ඒ උඩට දාලා වේලෙන්ඩ. ඔය අල්ල පනල්ලේ අක්කා එහාට්ට මෙහාට්ට වෙනකන් ඉදලා කොහෙදෝ යන බල්ලෙක් ඇවිත් පැදුරේ තිබ්බ ලියුම් කවර තෙමෙන්ඩ චූ කරලා !!!

අක්කගේ මල අතේ... !

උන්දෑ එවෙලේ ඉදන් බලු සංහතියටම දෙස් දෙවොල් තියෙනවා. අපේ අම්මට ඒක ඇහිලා මොකද්ද කියලා බලන්ඩයි දුවලා තියෙන්නේ. මට ඔය කතාව ඇහුනට පස්සේ ඒ අක්කා ගැන දුකත් හිතුනා. තමගේ අතට කීයක් හරි ලැබෙන රස්සාවක් නෙ.

අපේ පැත්තේ ගොඩක් ගෑනු අය අමතර ආදායමකට කියලා කරන්නේ ගෙදර ඉදන් ලියුම් කවර අලවන එක. කවර සීයක් ඇලෙව්වොත් රුපියක් 25ක් හම්බ වෙනවා ! ගෙදර ඉදලම කරන්ඩ පුලුවන් ලේසි වැඩක් හන්දා තමා ගොඩක් අය කවර අලවන්නෙ.

ඔන්න ඊට පස්සේ තමා වැඩේ කියන්නේ.. අක්කා ටික වෙලාවකින් දුක් ගැනවිල්ල කියවලා ඉවර උනා. එතනින් එහාට්ට දෙන්නත්තෙක්ක ඕප දූප කතා කරනවා.

උදේ පාන්දර එක එක අයගේ ඕප දූප අහගන්ඩ ඕන නැති හන්දා මං ගෙයි දොරකොඩින් නැගිටලා කුස්සියට ආවා තේකක් හදාගන්ඩ... බල්ලෙක් හන්දා උදේ තේක නැති කරගන්ඩ පුලුවන් යෑ.. !

හැබැයි අර "මචං" චිත්‍රපටියේ ස්ටැන්ලි කියන විදිහට නං බලු චූ වාසනාවයිලු නෙහ්.. ! අල්ලපු ගෙදර අක්කගේ වාසනාව... !

06 February 2014

කටුසු කොන්දෙන් පූජාගලට (අලගල්ල ගමන -2 වන කොටස )

මතකනේ කලින් ලිපියෙදි මම කිව්වා අපි තුන් දෙනා සිංහ කටින්ම අලගල්ල කන්දේ අමාරුම හරිය තරණය කලා කියලා. ඒ හරිය නගිනකොට ටිකක් විතර අවදානම්.. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන.

අලගල්ල නැගලා ජාතික කොඩියක් කන්ද මුදුනේ ගැහැව්වට පස්සේ අපි ඊලඟට කන්ද බැහැලා පූජා ගලට යන්ඩ සූදානම් උනා. ඒකට අලගල්ල කන්දේ තිබුන කටුසු කොන්ද කියන බෑවුම තරණය කරන්ඩ වෙනවා. ඒක ටිකක් සීග්‍ර බෑවුමක්.. පොඩ්ඩ මිස් උනොත් ගල පල්ලේ !!
                                                                 ඔය පේන කඳුවැටිය දිගේ යන්ඩ වෙනවා පූජාගලට...

ඔන්න ඕකට තමා කඹයක් ඕන උනේ.. මට කඹයක් හොයාගන්ඩ බැරි උන නිසා ඒ හරිය මඟ ඇරලා ආපහු ගෙදර එන්ඩයි උන්නේ. අපේ වෙලාව හොඳකමට ගමේ අය කඹයක් දාලා තිබුනා. අපි කඹේ අල්ලගෙන ගල දිගේ පහලට ගියා.

පහලට ගියා නෙමේ පහලට බඩ ගෑවා කිව්වොත් හරි. මේ පේනවා නේද කොළු නඩේම ගල දිගේ පස්ස උල උල යන ලස්සන..
                                                                       කටුසු කොන්ද දිගේ පස්ස උල උලා යෑම

ඕං කඹය දිගේ මගක් එනකොට එකෙක් ගෑ ගහනවා කඹේ ඉවරායි කියලා...එතකොට තමා බොක්ක කූල් උනේ..ආයේ උඩට යන්ඩ කියලා යෑ.. මේ ලියන වෙලේත් හී ගඩු පිපෙනවා ඒක මතක් වෙලා. දෙයියෝ බුදුන් සිහි කරගෙන හිමි හිමිහිට පහලට යාත්‍රා කරන්න ගත්තා. ටිකක් ඈත ඉදන් බැලුවහම තමා අමාරුකම තේරෙන්නේ.
                                                                                                           සීග්‍ර බෑවුමක්...

හිතට පුදුම බයක් දැනෙන්නේ... අඩියෙන් අඩියට පපුව ගැහෙන සද්දේ ටික ටික වැඩි වෙනවා...

කිසිම අතුරු අන්තරාවක් නං උනේ නෑ.. අපේ අනිත් සගයට සෑහෙන වෙලාවක් ගියා කඹේ තිබුනේ නැති හරිය බැහැගන්ඩ. ඒ වාගෙම උන්දෑ සෑහෙන්ඩ බය වෙලා.

ඔන්න ඔතනින් එහාට්ට කන්ද අඩුයි.  අඩි පාර දිගේ කිලෝ මීටර් 2කට කිට්ටු දුරක් යන්ඩ ඕන පූජා ගල නගින්ඩ. එතන සිරිපතුලක් තියෙනවාලූ. ඒක බලා කියා ගන්ඩයි අපේ බලාපොරොත්තුව.... !

අපි කැලේ මැද්දේ තිබුනු අඩි පාර දිගේ  දිගටම ගියා.. එක එක බේත් ජාති විවිධ ගස් වල් වලින් වැහිච්ච තුරු වියනක් වාගේ කැලයක් මැද්දෙන් යන්ඩ තියෙන්නේ. ඒ නිසා ගමන සුන්දරයි. මහන්සියක් දැනෙන්නේ නැති තරම්...

කන්ද දිගේ තිබ්බ අඩි පාරෙන් සෑහෙන දුරක් ගියාට පස්සේ එලිමහන් තැනක් හම්බ වෙනවා. ඒ හරියෙදි අපට ඈතින් පෙනුනා අපේ ඉලක්කය.. ඒ පූජාගල !  කට්ටියක් කලින්ම පූජාගලට ගිහින් තිබුනු විත්තියත් දැකගන්ඩ ලැබුනා. අපි ඉතුරු ටිකත් අමාරුවෙන්ම ආවා.
                                                                                   පූජාගල ඈතින් දිස්වෙන අපූරුව...

මේ වෙනකොට අපේ වතුර බෝතලේ ඉවර වෙලා තිබුනේ. ඒ නිසා දිව ගිලෙන්ඩ වාගේ තිබහයි.ඒත් ගේම අතෑරියේ නෑ.. අඩිය අඩිය ඉස්සරහටම ගිහින් සිරිපතුල දැකගත්තා.. පහලින් තියෙන්නේ මම කිව්ව පූජාගලේ තිබ්බ සිරිපතුල. මේ සිරිපතුල හන්දම වෙන්න ඕන මේ ගලට පූජාගල කියලා කියන්නේ.
                                                                                           පූජාගලේ සිරිපතුල

සිරි පතුල දැකබලා ගත්තට පස්සේ අපි විනාඩි විස්සක් විතර පූජාගල උඩ ඇවිදලා ගිමන් හැරියා.  මේ වෙනකොට කට්ටිය බොන්ගෝ ගගහා සිංදු කිව්වා. තවත් සමහරු නැටුවා.. කෑම ගත්තා. බොන කට්ටිය බිව්වා. එක එක අය එක එක විදිහට තමන්ගේ නිදහස විනෝදයෙන් ගත කලා.
                                                       පූජාගලට ආපු සෙනග... අයිස් කිරිං මාමා කෙනෙකුත් උන්නා.

හැබැයි ඉතිං එක දෙයක් කියන්ඩ ඕන.. බොන කට්ටිය බොන්ඩ කලින් හිතන්ඩෝන බීවට පස්සේ තමන්ට අවුලක් නැතුව කන්ද බැහැගන්ඩ පුලුවන් ද කියලා. ඒ වගේම බීවට පස්සේ හිස් බෝතල් කන්දේ තැන තැන දාලා යන එකත් ගල් වල ගහලා කුඩු කරලා යන එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමේ..පරිසරය ගැනත් හිතන්ඩ ඕන.
                                                                              ගී ගයමින් විනෝද වෙන තාරුණ්‍යය

අපි ඒ අයගේ විනෝදය දිහා බලාගෙන කන්ද බැස්සා. අර ආපු දුරම එන්ඩ ඕන. ඒ එනකොට මඟක් දුරදි කටුසු කොන්ද හරිය පේනවා. ඔය හරියට කටුසු කොන්ද කිව්වට මම දන්න තවත් කටුසු කොන්ද කන්දකුත් තියෙනවා.. ඒ හන්තාන කන්දේ... !

හන්තාන සම්පූර්ණයෙන්ම නැගලා ගවේශණය කරනවා නං නගින්ඩ ඕන හොඳම තැන තමා කටුසු කොන්ද කියන්නේ. ඒකට නුවර ඉදන් මහකන්ද බස් එකක එන්ඩ වෙනවා :)

ඔය වගේ බෑවුම් වලට කටුසු කොන්ද කියලා කියන්නේ ඒවා තරණය කරන්න කටුස්සෙක් වාගේ ඇවිදින්ඩ ඕන හන්දද මන්දා.

ඔය කටුසු කොන්ද හරියෙදි අපේ අනිත් සගයා ඇහැව්වා "ආපහු කටුසු කොන්දට නැගලමද බහින්ඩ ඕන පාර තියෙන්නේ" කියලා. මම නිකමට ඔවු කියලා කිව්වා. මුගේ මූනත්තෙක්කම වාගේ මැල උනා.. :)

ඊට පස්සේ පවු කියලා මම කිව්වා නෑ තව පාරක් තියෙනවා කටුසු කොන්ද මගෑරලා යන්ඩ. අපි ඒ පාරේ යන් කියලා කිව්වා. කටුසු කොන්ද මගෑරලා කන්ද බැහැගෙන එනකොට ඈතින් පෙනුනා අපි නැගපු අලගල්ලේ අමාරුම හරිය... !
                                                                                 කොඩිය ගහපු අලගල්ල කන්ද

අපි යන්නං කියාගෙන පල්ලම් බැස්සා... !

නගිනවා වාගේ තමා පල්ලම් බහින එකත් ලේසි නෑ. ඒ මදිවට දිව ගිලෙන්ඩ යන පිපාසේ.. අලගල්ලේ යනවා නං සෑහෙන වතුර අරගෙන යන්ඩ.. උඩදි දිය පාරක්වත් නෑ වතුර ටිකක් බීගන්ඩ. පෑ දෙකක් විතර යනකොට කන්දේ අමාරු හරිය බැහැගෙන ඉවර උනා. එතකොටම වාගේ තැඹිලි ලොරියක් නවත්තලා...

අපේ සතුට ඉහවහා ගියා.... තිබහා නිවෙන්ඩ අපි තැඹිලි වතුර බීවා. තැඹිලි බීලා තව ටිකක් කන්ද බහිනකොට බඩ ඉරිඟු තම්බන කට්ටියක් උන්නා. කට්ටියම බඩ ඉරිඟුත් ගත්තා. ඒක කන ගමන් කන්දේ ඉතුරු හරිය බැස්සා. ඊට ටික වේලාවකට විතර පස්සේ අපි ඉහල කෝට්ටේ පාරට ආවා.

එතනින් එහාට්ට ගමන ටිකක් ඉක්මන් කලා.. ඒ... මීයන්ගල්ල බිංගේ බලන්ඩ යන්ඩ.. ලංකාවේ දෙවෙනියට දිගම බිංගේ ලු නේ. ඒක නොබලා කොහොමද.

මේ බිංගෙය දිගින් මීටර් 300ක් වෙනවා... !

ගමට යන පාර ඉවර වෙලා ආපහු පඩි පෙල් තිබ්බ හරියට කිට්ටු උනා. අම්මෝ උදේ ආසාවෙන් නැගපු  පඩි පෙලවල් දැං දකිනකොට එපා වෙනවා.ඒත් එහෙම කියලා කෝමෙයි.. අපි ඒ ටිකත් බැහැලා මීයන්ගල්ල බිංගේ ගාවට කිට්ටු කලා.
                                                                                           බිංගෙය පටං ගන්න තැන

ජීවිතේ පලවෙනි වතාවටයි බිංගෙයක් ඇතුලින් යන්නේ.. ආසාවයි බයකුයි මිශ්‍ර වෙච්ච අමුතු හැඟීමක් හිතට දැනෙමින් තිබ්බේ.

මුලදි මුලදි එලිය තිබුනට පස්සේ පස්සේ ලඟ ඉන්න එකාවත් පේන්නේ නැති තරමට කලුවරයි. ෆෝන් එකේ තිබ්බ ටෝච් එක කිට්ටු කරන්ඩ බෑ. ඒ එලියෙන් අපේ කකුල් දෙකවත් හරියට පේන්නේ නෑ. කෝච්චියක් එනකොට රිංගලා ඉන්න පුලුවන් තරමේ මෑන් හෝල් නම් තිබ්බා.

                                                                          අපි බිංගෙට ඇතුල් වෙන්නයි හදන්නේ...


මෑන් හෝල් නම් පෙනුනේ නෑ.. බිත්තිය අල්ල අල්ල යනකොට දැනුනා. ටික ටික අපේ ඇස් කළුවරට හුරු උනා. එතකොට හීනියට වාගේ ඇතුල පේනවා.
                                                   බිංගෙය ඇතුලත දී. මේ එලිය ලැබුනේ කැමරාවේ ෆ්ලෑශ් ලයිට් එකෙන්

                                                                                            බිංගෙයි කෙලවර




බිංගේ ඇතුලින් ගියපු අපි ඊලඟට බිංගේ වටෙන් ස්ටේෂන් එකට ආවා. එතකොට තමයි අම්මා බැඳලා දීපු බත්මුල ලිහා ගත්තේ. ඒ වෙනකොට වෙලාව හතරාමාරයි. අපේ වාසනාවට බත් ටික නරක් වෙලා තිබ්බේ නෑ

බඩිගින්න වැඩිකමට බත්මුල සට සට ගාලා කෑවා.

කාලා ඉවර වෙලා අපි ටික වෙලාවකින් ටිකට් ගත්තා කෝච්චියේ එන්ඩ. අපි ගෙවල් වලට ආවේ ඉහල කෝට්ටෙන් හවස 4.56ට තිබුනු පොඩිමැණිකේ කෝච්චියෙන්.

ඒකෙන් ඇවිත් රාගමින් බහිනකොට වෙලාව හත හමාර විතර ඇති. මලයයි මායි රාගම ඉදලා බයිසිකලෙන් ගෙදර ආවා. අපේ අනිත් සගයා කොළඹටම කෝච්චියේ ගිහින් බෝඩිමට යා ගත්තා.

කඳු නැගපු බිංගෙවල් බලපු  ලස්සන දවසක් ගෙවුනේ ඔන්න ඔහොමයි... මේ දවසේ අපූරත්වය මේ මාසේ පුරාම මගේ හිතේ තියේවි.. අනිත් අයටත් එහෙම වේවි.

අන්තිමේදි එක දෙයක් කියන්ඩ ඕන... අලගල්ල  කන්දේ සුන්දරත්වයට හානි වෙන විදිහට පොලිතින් ප්ලාස්ටික් තැන තැන දමන්නෙපා. ඒ සුන්දරත්වය මතු පරපුරටත් විඳගන්න ඉඩ ලබා දෙන්න.. !

එහෙනං මං ගියාවේ...ජය වේවා.. !

----------------------------------------------------------------------

ප.ලි. -  ගමනට ඕන කරන මූලික විස්තර ලබා දුන් අපේ කෝච්චියා අයියා.. එහෙමත් නැත්නම් ගිහාන් චන්දික අයියට බොහොම ස්තූතියි.. !

05 February 2014

නිදහස් දවසේ අලගල්ලට ගිය ගමන

මං පහුගිය සතියක් තිස්සේ ලාහෙට කොල්ලෝ (ගෙම්බෝ නෙමේ) එකතු කලා... ඒ වෙන මොහොකටවත් නෙමේ අලගල්ල කන්ද නගින්ඩ යන්ඩ. අහන අහන එකා හා කියලා දින ලං උනාම බෑයි කිව්වා. මොනා උනත් කමන් නෑ කියලා අපේ මලයත් ගමනට එකතු උනා.

යාන්තං තව එකෙක් ආවා. දැන් තුන් දෙනයි !

අපි තුන් දෙනා කතා කරගත්තේ උදේ 5.55ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් යන්ඩ. මමයි අපේ මලයයි රාගමින් කෝච්චියේ එල්ලුනා. අනිත් කෙනා කොටුවේ ඉදන්ම කෝච්චියේ ආවා.

අලගල්ලට යනවා නං නුවර, බදුල්ල වගේ කෝච්චියකින් ඇවිත් ඉහලකෝට්ටේ ස්ටේශමෙන් බහින්ඩ ඕන. එහෙම නැත්තං පිලිමතලාවට ඇවිත් පිලිමතලාවෙන් පොත්තපිටිය-මහනුවර බස් එකක ඇවිත් පොත්තපිටිය හන්දියෙන් බැහැලා ඉතුරු ටික ත්‍රීවීල් එකකින් එන්ඩ ඕන.

අපි කට්ටිය කෝච්චියෙන් ආව නිසා ලේසියි. ස්ටේශන් එක ගාවින්ම පාර තියෙනවා කන්ද තියෙන තැනට යන්ඩ. කොයිකටත් කියලා අපි ස්ටේශන් එකේ වැඩ කරපු අයියා කෙනෙක්ගෙන් ඇහුවා. එතකොට උන්දැම අපට පාර පෙන්නුවා.
                                                                අපේ ගමනාරම්භය... ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට අලගල්ල කන්ද පේන්නේ මෙන්න මෙහෙම. අලගල්ල දකින කොට හිතේ තිබ්බ ආසාව දෙගුණ තෙගුණ උනා.
                                                                ඉහල කෝට්ටේ ස්ටේෂමට අලගල්ල පෙනෙන හැටි..

අපි කෝච්චියෙන් ඇවිත් බහිනකොට 8.30ට කිට්ටු කරලා. ඒ නිසා උදේ කෑම ස්ටේශන් එකේදිම ගත්තා. උදේ කෑමෙන් පස්සේ කන්ද නඟින්ඩ පටන් ගත්තා. කන්ද නගින්ඩ ඉහල කෝට්ටේ ස්ටේශන් එකේ ඉදලා සෑහෙන දුරක් පයින් යන්ඩ තියෙනවා..

                                                                            ස්ටේශන් එකේ ඉදලා කන්දට යන පාර

ඒක මරු ගමනක්.. ගල් උඩින් පැන පැන දිය පාරවල් පහු කරගෙන යන්ඩ තියෙන අපූරු ගමනක්. ඔය ගමන කෙලවර වෙන්නේ ගමට එන පාරකින්.
                                                                                               අත්වැටකුත් තිබ්බා...

                                                                                        පඩිපෙල් නගිමින්...

එතනින් එහාට්ට ගමන ලේසියි.පාර දිගේ කන්ද පාමුලට යන්ඩ තියෙන්නේ. ඒ යන ගමනෙන් ටික දුරක් යනකොට පහලින් වතුර කඳක් ගලාගෙන යන සද්දයක් ඇහෙනවා. ඒ තමා දෙකින්ද ඇල්ල පහලට කඩා හැලෙන සද්දේ !!
                                                                     වතුර ගලන සද්දේ ඇහුනේ මේ හරියෙදි...

ඔය හරියෙන් ටික දුරක් යනකොට දෙකින්ඳ ඇල්ලට වතුර ගෙනියට ඇල පාර හම්බ උනා.පහල පින්තූරේ තියෙන්නේ ඒ ඇල පාර.
                                   දෙකින්ඳ ඇල්ලට වතුර ගෙනියන ඇල පාරෙන් කොටසක්.

අපි වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා දෙකින්ද ඇල්ල දිහාට්ට ගියේ නෑ..   නමුත් දෙකින්ද ඇල්ලට වතුර ගෙනියන වතුර පාරේ ටික වෙලාවක් ගත කරන්න අමතක කලේ නෑ.
අපිට විඳින්න බැරි වෙච්ච දෙකින්ද ඇල්ලේ සුන්දරත්වය නඩේ ගුරා දැකලා තියෙනවා. මෙන්න නඩේ ගුරා කණ්ඩායමේ අය විඳගත්තු දෙකින්ද ඇල්ලේ සුන්දරත්වය. !
දෙකින්ද ඇල්ල පහු කරගෙන එනකොට තුම්මං හන්දියක් හම්බ උනා. බෝධීන් වහන්සේ කෙනෙක් මැදි කරගත් තුම්මං හන්දියක්. !
                                                                බෝධීන් වහන්සේ නමක් මැදි කරගත් තුම්මං හන්දිය...

ඒ කිට්ටුව උන්න මාමලා දෙන්නෙක්ගෙන් අපි පාර අහගෙන තවත් ඉස්සරහට ගියා. එතකොට තමයි අපට පොත්තපිටිය ඉදලා එන්ඩ තියෙන පාරයි ඉහල කෝට්ටේ ඉදලා අපි ආපු පාරයි එකතු වෙන්නේ. ඒ හරියේම තේ පැක්ටරියක් තියෙනවා !

 ගමේ මිනිස්සු නං ඒකට කියන්නේ තේ ඉස්ටෝරුව කියලා... !

ඔන්න එතන ඉදන් තමා කන්ද නගින්ඩ තියෙන්නේ. ස්ටේශමේ ඉදලා කිලෝමීටර් 2ක් විතර එන්ඩ ඕන කන්ද නගින හරියටම... :)
                                                                             දැනුයි කන්ද නගින්ඩ පටං ගන්නේ...

මේ හරියෙදි තමා පාරවල් දෙකෙන්ම ආපු කඳු නගින නඩ ටික එකතු උනේ.. ඒ වගේම අපිත් තෙක්ක කෝච්චියෙ ඇවිත් පිලිමතලාව පාරෙන් ආපු කට්ටියකුත් හම්බ උනා.

මෙහතින් එහාට්ට කන්ද නගින එක ටිකක් අමාරුයි. කන්දේ ආනතිය සෑහෙන වැඩියි. ඒ නිසා මහන්සි ඇර ඇර තමයි යන්ඩ තියෙන්නේ.
                                                                                කන්ද නගින්ඩ තියෙන පාරක්...

තව පොඩ්ඩෙං කියන්ඩ අමතක වෙනවා..

1948 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදාට නිදහස හම්බ වෙනවයි කියන ආරංචිය හම්බ උන මේ ගමේ මිනිස්සු තමන්ට ලැබෙන්ඩ යන නිදහස පේනවද කියලා බලන්ඩ අලගල්ල කඳු මුදුනට නැගලා තියෙනවා. එදා ඒ අලගල්ල නැගීම තාමත් චාරිත්තරයක් විදිහට කරගෙන යන හන්දා ගමේ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අපට මේ කඳු නැග්මෙදි මුන ගැහුනා. !

ඉතිං අලගල්ල නගින්ඩ අදට වඩා හොඳ දවසක් තියේ යෑ.. ! 

ඒ අතර කන්ද අමාරුවෙන් නගින කෙස්ස පැහුණු අම්මලා තාත්තලා කිහිපපොලකුත් දකින්ඩ හම්බ උනා.. !
කන්දේ උස ගැන කතා කලොත් මුහුදු මට්ටමේ ඉදලා මිටර් 1148 විතර උසයිලූ.

කන්දේ ගස් තිබුනු හරිය පහු කරගෙන අපි ඊලඟට ආවේ  මානා තිබුනු පැත්තකට. ඒ හරියේ තැනින් තැන හතරලියැද්ද මහජන බැංකුවෙන් ගහපු බෝඩ් ලෑලිත් තිබුනා. ඒ බෝඩ් ලෑලි වලින් අපි හිතාගත්තා අපි යන පාර හරියි කියලා.
                                                                           මානා තීරුව මැදින් කන්ද මුදුනට....

ඔය හතරලියැද්ද කියන ගම ඒ කාලේ හැඳින්නුවේ තුම්පනේ කියලා..   තුම් + පනහා පස්සේ කාලෙක තුම්පනේ වෙලා.. !

පලවෙනි මානා තීරුව පහු කරගෙන එනකොට  ගිමන් හරින්න ලොකු ගල් තලාවක් තියෙනවා. ඒ ගල් තලාවේ ඉදලා බලනකොට අලගල්ලේ අමාරුම හරිය මේ වගේ පේනවා.
                                                                      ඔය තියෙන්නේ කන්දේ අමාරුම කොටස...

ගමේ අය ඔතනට කියන්නේ සිංහ කට කියලා ලූ. අලගල්ල නගිනවා නං සිංහ කටින්ම නගින්ඩ ඕන ය නැත්නං වැඩක් නෑ කියලයි අපිට හම්බ උනු ගමේ උන්දැලා කිව්වේ. අපිත් ඉතිං අමාරුවෙන්ම සිංහ කටින් එල්ලුනා. ටිකක් විතර අමරු ගමනක්... !

සිංහ කටින් නැග්ගට පස්සේ අවට බැලුවහම පේන්නේ කඳු වලින් වටවෙච්ච ලස්සන දර්ශනයක්... ඕං ඔය වෙලාවෙදි නුවර ඉදලා ආපු කෝච්චියක් ඉහල කෝට්ටේ ස්ටේශන් එකට එනවා පෙනුනා. කෝච්චිය බොහොම පුංචියටයි පෙනුනේ.. මෙන්න මෙහෙම...
                                                              අලගල්ලට පෙනෙන ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය

ඔය වෙලාවෙම නුවරින් කෝච්චියකුත් අලගල්ල ස්ටේශමට ආවා. පහල පින්තූරේ බොහොම පුංචියට පේන්නේ නුවර ඉදලා ආපු කෝච්චිය.
                                                                                     නුවර ඉදලා ආපු කෝච්චිය...

සිංහ කටෙන් අලගල්ල නැගපු අපි නිදහස සැමරුවේ මෙහෙමයි. ඔය පහල පින්තූරේ ජාතික කොඩිය අල්ලගෙන ඉන්නේ අපේ මලයා.
                                                                         ජාතික කොඩියත්තෙක්ක අපේ මලයා..

එතනින්  අලගල්ල තරණය හමාර වෙනවා. අපි ඊලඟට කටුසු කොන්ද දිගේ පල්ලම් බැස්සා පූජාගල නගින්ඩ. ඒක ඊලඟ ලිපියෙන් කියවමු. !

ජය වේවා !

------------------------------------------------------------
ප.ලි. - අලගල්ල කන්ද ගැන වැඩි දුර විස්තර දැනගන්ඩ මෙතන ක්ලික් කරන්ඩ.