30 July 2012

ශාන්ත එල්මෝගේ ගින්න

ඉස්සර නාවිකයෝ රට රටවල් වල සංචාරය කලේ රුවල් නැවු ආධාර කරගෙන කියලා කවුරුත් දන්නවා නේ. දැන් වගේ අධිතාක්ෂණයෙන් යුක්ත කන්ටේනර් පටවපු නැව් ඒ කාලේ තිබ්බේ නෑ.රුවල් නැවු වල බඩු පටවගෙන සුළඟ ආධාර කරගෙන තමයි ඒ කාළයේ නවිකයෝ රට රටවල සංචාරය කරන්නේ. ඔන්න ඔය රුවල් නැවු වල තියෙනවා කුඹ ගස් ! ඒවගේ කුඹ ගස් වල තමයි රුවල් එල්ලලා තියෙන්නේ.

අන්න ඒ කුඹ ගස් කෙලවර යකඩ වලින් හදපු තුඩක් (විල්ලක්) තියෙනවා.

දවසක් දීර්ග මුහුදු සංචාරයක යෙදෙන නාවිකයෝ වගයකට අහම්බෙන් වගේ මේ කුඹගහේ තුඩෙන් විදුලි කෙටීමක් දකින්න හම්බ වෙනවා. ඒක හරියට වහින්න යනකොට ගහන අකුණක් වගේ ලූ. පස්සේ පස්සේ ඒක ගින්දර පාටින් දිලිසෙන්න ගත්තාලු.

නමුත් ගිනි ගන්නවා වගේ පෙනුනට පිච්චිලා යන්නේ නෑ ලූ.ඉතින් මේ ආශ්චර්යය දැකපු නාවිකයෝ හිතුවලූ මේ දේවතා එළියක් ය කියලා. කොටින්ම එයාලා හිතුවලූ නාවිකයන්ට කැපවෙච්ච නාවිකයන්ට සරණය වෙන සාන්තුවර එල්මෝ තුමාගේ ගින්නක් ය කියලා. (St. Elmo's Fire)
ඉතින් මේ ගින්නට ඒ අය ශාන්ත එල්මෝ ගින්න කියලා නම් කලා ලූ.
(සාන්තුවරයෙක් කියන්නේ කතෝලික ආගමේ ආගමික නායකයෙක් වගේ කෙනෙක්.)

පහල තියෙන්නේ ශාන්ත එල්මෝ ගින්න (St. Elmo's Fire) දැක්වෙන සිතුවමක්!


(සාන්තුවර එල්මෝ කියලා කියන්නේ එවකට රෝමයේ කෲර අධිරා‍ජ්‍යයෙක් වෙච්ච දියොක්ලේසියානුගේ කාළයේ රෝමයේ Formiae කියන නගරයේ හිටපු බිෂොප් වරයෙක්. කතෝලික ආගම දේශනා කිරීමේ වරදට පසුකාලිනව මෙතුමාට දස වද දීලා අන්තිමේදි හිස ගසා දමනවා.)


මුහුදු ගමනෙන් හෙම්බත් වෙලා මුහුදු රළත් එක්ක ඔට්ටු වෙන නාවිකයන්ට පිළිසරණ වෙන්න සාන්තුවර එල්මෝ තුමා එයාලත් එක්ක ඉන්නවා කියලා මේ ගින්න දකින නාවිකයන්ට හිතුන ලු.ඒක ඒ අයගේ හෙම්බත් වෙච්ච හිත් වලට ලොකු සහනයක් උනා ලු. මේ සිද්ධියෙන් නාවිකයෝ තව තවත් ධෛර්යමත් උනා ලූ.

ඇත්තටම  විද්‍යාත්මක සිද්ධ වෙන සංසිද්ධිය වෙන්නේ අර නැව් වල තියෙන කුඹ ගස් වල ලෝහ තුඩු හමන සුළඟත් එක්ක වරින් වර ගැටිලා ආරෝපණය වෙනවා. එහෙම ආරෝපණය වෙච්ච ලෝඩ තුඩු වලින් ආරෝපණ පිටවෙන එකලූ වෙන්නේ. එහෙම ආරෝපණ පිටවෙනකොට පෙනෙන ආළෝක ධාරාවලූ නාවිකයෝ සාන්තුවර එල්මෝ ගින්න කියලා අඳුනා ගන්නේ.

මේ ආරෝපණ පිටවීම කොරානා විසර්ජනය කියලත් හඳුන්වනවා.
(අකුණු ගහනකොටත් වෙන්නේ මේ වගේම ආරෝපණ පිටවීමක්. ඒ වෙලාවෙදිත් අපට ආලෝකයක් දිස් වෙනවා දැකලා ඇති නේ.)

ඔන්න ඕකයි සාන්තුවර එල්මෝ ගින්නේ කතාව. එහෙනම් මං ගිහින් එන්නම්.
සියළුදෙනාට සුබ දවසක් !!

28 July 2012

බර වැඩි වෙයි ද ?

"අයියේ... ?"

"මොකෝ බං ?" පාඩම් කර කර හිටපු මම් පොතෙන් යාන්තමට ඔළුව උස්සලා මලයා දිහා බැලුවා.

"තේරවිල්ලක් අහන්නම් උත්තර දෙනවද ?"

"හා... කියහන්කෝ බලන්ඩ "

"ගෑම් 5ක සුදු පාට නෙළුම් මලකට ග්‍රෑම් 10ක පිණිබිඳුවක් වැටෙනවා.."

"ඉතින්... මට මොකෝ කරන්ඩ කියන්නේ ?"

"එතකොට දැන් ඒ මලේ බර කොච්චර ද ?"

ටික වෙලාවක් මලයගේ මූන දිහා බලන් හිටියා මූ එක පාරට මොකටද මේ නෙළුමක් ගැන අහන්නේ කියලා.ෂුවර් එකටම මුගේ ගැටයක් ද කොහෙද... ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා,

"බරේ වෙනසක් වෙන්නේ නෑ..."

"උත්තරේ නම් හරි... ඒත් හේතුවත් එක්ක කියහන් අයියේ !!"

"ඔච්චර ලොකු පිණිබිංඳුවක් මලේ හිටින්නේ නෑ... ඒකයි."

"වැරදියි ... !!!"

දැන් මේ ලිපිය කියවන කට්ටිය මවුස් එකේ රෝදේ අතෑරලා හේතුව හිතන්න... ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඊතල යතුරු ටිකත් අතාරින්න..

විනාඩියක් ගිහිල්ලත් උත්තරේ මතක් වෙන්නේ නැත්නම් පහල බලන්න.
 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇයි අයියේ අහලා නැද්ද මෙහෙම නියමයක්."

"කොහොම එකක් ද ?"

"පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන් නෑ
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ "

-----------------------------------------------------------------
ප.ලි. - එහෙනම් මං ගිහින් එන්නම්..සියළු දෙනාට විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!

26 July 2012

පත්තර කියවීම

 ඉස්කෝලේ යන දවස්වල ඉදන් මගේ විනෝදාංශ අතර පත්තර කියවීම අංක එකටම වගේ තිබ්බා. මුලින්ම පත්තරේකට කියලා කියවන්න ලැබුනේ අපේ අම්මා හැම සතියකම වැඩ ඇරිලා එනකොට අරගෙන එන චූටි තරු පත්තරේ. ඊට පස්සේ කැකුළු පත්තරේ. ඊටත් පස්සේ බිංදු, හපනා, විජය වගේ පත්තර කිහිපයක් කියවන්ඩ ලැබුනා.

පස්සේ පස්සේ ලංකාදීප, දිවයින වගේ පත්තරත් කියෙව්වා. ඒත් දැන් නම් ඔය එක පත්තරයක්වත් කියවෙන්නේ නැති තරම්. පත්තර පිටුවක් කියවන්න ලැබුනොත් ඒක අනිවාර්යෙන්ම අම්මා බත් එක ඔතලා දීපු පත්තර පිටුව !

ඒ උනත් ඒ පිටුව කියලා බලන්නේ නෑ. ඒකත් කියවලා දානවා.

ඔන්න ඔය පත්තර පිටුවක ලිපියක් තිබ්බා. ඒක ඔය ධනාත්මක චින්තනය වගේ මාතෘකාවක් යටතේ ලියපු ලිපියක්. මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ. ඒ උනත් කන ගමන් යන්තන් උඩින් පල්ලෙන් කියෙව්වා.

ඒ ලිපියේ එක තැනක තිබ්බා මෙහෙම දෙයක්.

ගොඩක් වෙලාවට අපි ලස්සනට ඇඳ පැලදගෙන ගමනක් බිමනක් යනකොට හරි එහෙම නැත්නම් පාර්ටියකට යනකොට අපේ යාළුවෙක්ව මඟදි හම්බ උනා කියමු. එතකොට ඒ යාළුවා,

"මචං ලස්සන ෂර්ට් එකක් නේ. ! මේ ෂර්ට් එක උබට මාර මැචින් !" වගේ දෙයක් කිව්වා කියමු.

එතකොට කවදාවත් "මේක මගේ නෙමේ බං යාළුවෙක් ගෙන් ඉල්ල ගත්තේ ..." වගේ දේවල් කියන්ඩ එපා ලු.  තමන් ඇඳන් ඉන්න කමිසය අනුන්ගේ උනාට එහෙම කිව්වම කවදා හරි ඔයිට වඩා ලස්සන, තමන්ගේ සල්ලි වලින් ගත්ත ඇඳුමක් ඇදගෙන යනවා ඒ යාළුවා දැක්කම හිතන්නේ ඒකත් කාගෙන් හරි ඉල්ල ගත්ත ඇඳුමක් කියලා ලූ.

ඒ නිසා යාළුවා අරම දෙයක් කිව්වම "ස්තුතියි" කියලා විතරක් කියන්ඩ ලූ.

24 July 2012

බටර් ගෑම

බටර් යනු මේදය සහිත ආහාරයකි. මාජරින් යනු බටර් හා පෙනුමෙන් සමාන තවත් ආහාරයකි. බටර් වල මාජරීන් වලට වඩා මේද අම්ල වැඩිපුර ප්‍රමාණයක් ඇත. තවද බටර් වලට වඩා මාජරීන් වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රතිශතය ද වැඩි ය.

 සියළුම කරුණු සලකා බලන කල මාජරීන් වලට වඩා බටර් ගුණදායක වේ. එසේ උවත් ලංකාවේ ජනගහනයෙන් වැඩිපුර කොටසක් ආහරයට ගන්නේ බටර් නොව මාජරීන් ය.එහෙත් බටර් ද සුලභවම භාවිතා කරනු දක්නට ලැබේ. එසේ භාවිතා කරනුගේ කෑම සදහා නොව ගෑම සදහා ය.

බටර් ගෑම සියල්ලන්ටම එක හා සමානවම සිදු කල නොහැක්කකි. ඒ සදහා මනා පුහුණුවක් හා පල පුරුද්දක් අවශ්‍ය වේ. තවද එම පුහුණුව ලක් වැසියන්ට සහජයෙන් උරුම වේ.  මේ නිසා ඔවුන් ඉදිරියේ ඇති එකම අභියෝගය වන්නේ තම සහජ කුසලතාව වැඩිදියුණු කර ගැනීම පමණෙකි.

තවද කෙනෙක් ලවා කර ගත යුතු කාර්යය අනුව ගෑ යුතු අවම බටර් ප්‍රමාණය වෙනස් වේ. කාර්යයේ බරපතලකම හා කාර්යය නිම කිරීමට වැය වන කාලය හා ශ්‍රමය වැඩි නම් ගෑ යුතු බටර් ප්‍රමාණය ද වැඩිය. කාර්යය සුළු එකක් නම් කුඩා බටර් ප්‍රමාණයකින් වැඩේ කරවා ගත හැකිය... 

නමුත් කුඩා බටර් ප්‍රමාණයක් භාවිතා කර ලොකු කාර්යයක් ඉටු කරගන්නට දක්ෂතාව ඇති අයවළුන්ද අතරින් පතර දැකිය හැකි වන අතර වැඩිමනත් දක්නට ඇත්තේ නොසෑහෙන්න බටර් උලන ජනතාව වේ. මෙවැනි නොසෑහෙන්න බටර් තවරා රාජකාරි කර ගන්නා අයවළුන්ව ඉතාම පහසුවෙන් හඳුන ගත හැකි ය.

අවසන් වශයෙන් කිවයුත්තේ යමෙක් ඔබේ ලඟට පැමිණ හෝ දුරකතනයෙන් නොසෑහෙන්න බටර් තවරන්න උත්සහ කරන්නේ හෝ බටර් තවරන්නේ නම්, ඔහු හෝ ඇය ඔබෙන් යම් රාජකාරියක් ඉටු කර ගැනීම සදහා පැමිණි අයෙක් බව සිහි තබා ගන්න....

22 July 2012

ජෑම් ගොරකා

අපේ අප්පච්චිට ඒ කාලේ ඉදන් ආසාවක් තිබ්බා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති එලවළුවක් පලතුරක් එහෙම දැක්කොත් ඒක ගෙදරත් පැලකරලා බලන්න. ඉතින් ඒ ආසාව නිසා ගොඩක් වෙලාවට සුලභව දකින්න ලැබෙන්නේ නැති එළවලු පලතුරු එහෙම අපේ වත්තේ පැල කරලා තියෙනවා.

මතකනේ එක වතාවක් අපේ අප්පච්චි ස්ටෝබෙරි වැවුවා. අන්න ඒ වගේ උන්දෑ එක වතාවක් බූල් ලොවේ ගහක් ගෙනත් පැල කලා. බූල් ලොවි අනිත් ලොවි වලින් වෙන් වෙන්නේ මේවායේ පොත්තේ බුල් ගතියක් තියෙන එකයි මදේ කහපාට ගතියක් තියෙන එක විතරයි. ඇඹුල් ගතිය නම් කියලා වැඩක් නෑ. මේ මතක් වෙනකොටත් මුළු ඇඟම හිරි වැටෙනවා !!!

අද කියන්න යන්නේ බූල් ලොවි ගැන නෙමෙයි. ඒ වගේ පලතුරක් ! ඒ තමා ජෑම් ගොරකා !

ජෑම් ගොරකා ???

ඔවු. ජෑම් ගොරකා තමා. ජෑම් ගොරකා ගෙඩි හරියට අපි අර හොද්දට දාන ගොරකා වගේ හැඩයක් ගන්නවා. නමුත් ඒ ගොරකා වලට වඩා ගෙඩි පොඩියි. ගෙඩි ඉදුනම තැඹිලි පාටත් රතු පාටත් අතර පාටක් ගන්නවා. ටිකක් විතර ඇඹුලයි !

ඔය ඇඹුල් ගතිය නිසා මම නම් ජෑම් ගොරකා කන්න ආස නෑ. එක ගෙඩියක් කෑවම ඊලඟ ගෙඩිය කන්න එපා වෙනවා.  නමුත් අපි ඇඹුලයි කියලා අහක දැම්මට බබාල හම්බෙන්න ඉන්න බවලත් උදවිය ජෑම් ගොරකා ගැට හිටන් හූරගෙන ගිහින් කනවා.

උන්දලා ජෑම් ගොරකා කනවා බලන් හිටියත් ඇඟ හිරි වැටෙනවා. ඒ කාලෙට කට්ටියට ඇඹුලක් දැනෙන්නේ නැතුවැති. ඒවා ඉතින් බබාලා හම්බ උන කට්ටියගෙන්ම තමා අහන්න ඕනා. :)

කට්ටියම දැන් අහයි කෝ ජෑම් ගොරකා වල ෆොටෝ එකක් නැද්ද කියලා. ඔන්න මම් පහලින් පින්තූර කෑලි දෙකක් දැම්මා බලන්ඩ !


 අපි මේවට ජෑම් ගොරකා කියලා කිව්වට එක එක පැතිවල එක එක නම් පාවිච්චි කරනවා ඇති. මේ කාලෙට ජෑම් ගොරකා අවාරේ. සමහර කාල වලට ගහ වටේට බලුප් පත්තු කලා වගේ ලස්සනේ බෑ.

------------------------------------------------------

ප.ලි.- අන්තර්ජාලය පීරලා බැළුවත් මේවෑ විස්තර ටිකක් හොයාගන්ඩ බැරි උනා.

20 July 2012

සති අන්තයේ ප්‍රශ්නය

අද ටිකක් විතර වැඩ අඩු දවසක්.ඒත් එක්කම කම්මැලි දවසක්. ගොඩක්ම කම්මැලියි කියලා හිතෙන්නේ සිකුරාදා දවසක් නිසා වෙන්ටෑ. කම්මැලි කම යන්නත් එක්ක අන්තර්ජාලය පීරලා එක එක කතා කියවන්න ගත්තා.

බ්ලොග් අඩවි බ්ලොක් කරලා නිසා ඒවට නම් යන්ඩ වෙන්නේ නෑ. ඔන්න බොස්ගේ නෙට්වර්ක් එකට වයර් එකක් අමුණ ගත්තා නම් බ්ලොග් කියවන්නත් ඇහැකි. 

කතා ටික කියවලා ඉවර වෙලා මේල් එකවුන්ට් එක පැත්තටත් ලොග් උනා. අපේ ඉන්දුල මලයා මට එවපු මේල් එකකුත් තිබ්බා.පහලින් තියෙන්නේ ඒ මේල් එක. සමහරු නම් මේක කියවලත් ඇති.
 
 මේක එක්තරා විදිහක තේරවිල්ලක් ! ඔය පහල තියෙන පින්තූරේ බලන්න. ඒ පින්තුරෙන් සිංදුවක් කියවෙනවා. ඒ සිංදුව මොකද්ද කියලා තමයි අහන්නේ ! පුලුවන් කට්ටිය තොරන්ඩ බලන්න.



ඔන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයාලට සති අන්තයක්ම තියෙනවා.

සියළුදෙනාටම  විනෝදයෙන් පිරුණ සති අන්තයක් වේවා !!!

18 July 2012

ඔබේ පෙම

දිය පොදක් නොමැති කතරක
                            දිය පොදක් සේ....
මගේ දිවියම ඔබෙන්
                            ආලෝකමත් උනා.....
කෙළවරක් නැති දිවි කතරේ
                            අතරමං වූ මා හට....
ඔබේ පෙම
                පහන්තරුවක් උනා.............

-------------------------------------------------------------------
ප.ලි. -  ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්....

15 July 2012

කොළඹ නටපු දහ අට සන්නිය

මීට සති දෙහෙකට විතර උඩදි අපේ ජනියා මලයා එයාලෑ විශ්ව විද්‍යාලයේ පවත්වන්න යන දහ අට සන්නි ශාන්තිකර්මයක් ගැන ලියලා තිබ්බා. ඉතින් මේ ලිපිය කියවපු වෙලේ ඉදන් ඒ ශාන්තිකර්මය බලන්ඩ යන්න මට මාර ආසාවක් තිබ්බේ. ඒ නිසාම ජනියා මලයට බුකියෙන් පණිවිඩේකුත් තිබ්බා අපට එන්න බෑ ද කියලා අහලා.

අවුලක් නෑ එන්ඩ පුලුවන් කියලා ප්‍රතිචාරයක් දාලා තිබ්බ නිසා ගිය සිකුරාදා සන්නි බලන්ඩ යන්න ලක ලෑස්ති වෙලා හිටියා. පොඩිම කාලේ අපේ අප්පච්චිත්තෙක්ක සන්නි බලන්ඩ ගිහින් තිබ්බට කවදාවත් ඉවර වෙනකන්ම බලලා තිබ්බේ නෑ. රෑ මැදක් වෙනකොට "දැන් ඉතින් ඔය මදෑ. යං !" කියලා එක්ක යනවා.

සිකුරාදා හවස වැඩ ඇරිලා එහෙම්ම ගියා නුගේගොඩ යාළුවෙක්ගේ බෝඩිමකට. ගිහින් ඇඟපත හෝදගෙන රෑ කෑමත් කාලා  සන්නි භූමියට ආවා. හොද වෙලාවට මම් එනකොට සන්නි පටන් අරන් නෑ.

 ටික වෙලාවකට පස්සේ මුලාසනයේ හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආරියරත්න කළුආරච්චි මහත්තයා ආරාධිත කතාවෙන් සන්නි යකුම ශාන්තිකර්මයේ උත්පත්ති කතාව කිව්වා.

කතාව කෙටියෙන්ම මෙහෙමයි,

ලිච්චවි නුවර රජකම් කරපු සංඛපාල රජතුමාගේ බිරින්දෑ වෙච්චි අසූපාල කුමාරියට මී ඇඹ කන්න දොලදුකක් ඇති වෙනවා. සංඛපාල රජතුමා මේ දොළදුක තියා කුමරිය දරුවෙක් පිළිසිඳගෙන ඉන්න වගක්වත් දන්නෑ නෑ. ඔය අල්ල පනල්ලේ රජතුමාටත් යුද්ධයකට යන්ඩ වෙනවා. යුද්ධය ඉවර වෙන්ඩ දින සති ගෙවෙනවා.

කුමරිය දරුවා පිළිසිඳගත්ත කාලයේම කුමරියගේ මෙහෙකාරියත් දරුවෙක් පිළිසිඳගන්නවා.ඉතින් මේ දාසියටත් ඔය කියන දොළදුකම හැදෙනවා ලූ. ඉතින් මේ කුමරියගේ දොළ සංසිදවන්න රාජපුරුෂයෝ යවනවා මි අඹ ගේන්න. වැඩේ කියන්නේ ඒ කාලේ මී අඹ අවාරෙලු. තිබ්බෙත් එකම එක මී අඹයක් ලූ. රාජපුරුෂයෝ මේ මී අඹය කුමරියට ගෙනල්ලා දුන්නලු.කුමරිය මී අඹ කනවා දැකලා දාසියත් කෑල්ලක් ඉල්ලුවා ලු.

නමුත් කුමරිය කමති උනේ නෑ දාසියට අඹ කෑල්ලක් දෙන්න. මේ දාසිය, කුමරිය කෙරෙහි උපන් තරහව ඇති කරගෙන රජතුමාට කේලම් කිව්වා 'කුමරියට ලැබෙන්න ඉන්න දරුවා මහ ඇමතිට දාව උපදින දරුවෙක් !' ය කියලා. මේ කතාව විශ්වාස කරපු රජතුමා, කුමරියව අමු සොහොනක තිබ්බ කැබැල්ල ගහක එල්ලලා දෙකඩ කලා ලු.

කුමරියව දෙකඩ කලාට කුමරියගේ කුසේ හිටපු කුමාරයාට මුකුත් උනේ නෑලූ. දෙකඩ වෙච්ච කුමාරියගේ කුසෙන් කුමාරයෙක් බිහි උනා ලූ. තම මවගේ සිරුරේ ඕජස් බීලා මේ කුමාරයා හැදුනා ලු. පහලොස් වියට පැමිණිච්ච මේ කුමාරයා තම මව් මරපු පලිය ගන්න සියළු වස විස එකතු කරලා ගුලි දහ අටක් ඇඹරුවා ලු. ශක්‍රයා මේ ගුලි 18, යක්කු 18 දෙනෙක් කලා ලු.

පහු කාලිනව අර කුමාරයා මහ කෝල සන්නි යකා උනා ලූ. අර ගුලි දහ අටෙන් ඉපදුන කට්ටිය මහකෝල සන්නි යකාගේ පිරිවර උනා ලූ.ඉතින් මේ යක්ෂ සේනාව විශාලා මහනුවර තුන් බිය ඇති කරන්න සමත් උනාලූ. අප ගෞතම බුදුරජානන් වහන්සේ මේ තුන් බිය දුරු කරන්න රතන සූත්‍රය දේශනා කර වදාල බව කවුරුත් දන්නවා නේ ?

ඔන්න ඕකයි කතාව. නමුත් අපේ කළුආරච්චි මහත්තයා තව මතයක් ඉදිරිපත් කලා. මට මතක විදිහට ඔය සන්නි ටික සේරම ඉපදුනේ මහා කෝල සන්නි යකා 'හඃ' කියලා හෙලපු හුස්මකින් ඇති වෙච්ච දුර්ගන්ධවත් වායුවකින් කියලා.

කොහොමින් කොහොමහරි සන්නි යක්කු එනකොට යක්කු ගස් නගින වෙලාවත් පහු වෙලා. රෑ දොලහා උනා. යකෙක් ආවට පස්සේ උගේ නම ගම අහනවා අහලා ආතුරයාට සෙත් පදලා දොළපිදේනි අරන් යකා යන්ඩ යනවා. යක්කුත් එක්ක කතාව නම් මරු. හිනා වෙලාම පන යනවා.

(කතා බහෙන් නම් මුන් හෙන වලත්ත යක්කු ! දෙපැත්ත කැපෙන කතාමයි කියන්නේ. !)

පාන්දර දෙක විතර වෙනකොට මහාසෝන් සමයමත් පෙන්නුවා. ඒකට නම් පැයක් විතර ගියා.හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මලයෙක් තමා නැටුවේ. මුන්දෑ කුකුලා අල්ලපු විදිහට මට හිතුනේ කුකුලෑ කකුල් දෙකෙන් ඉරලා දාවි ය කියලා. උදේ හතරට විතර කෝපි පොල් කට්ටක් එහෙමත් ආවා. ඒ වෙනකොටත් මට එන්ඩ කියපු ජනියා මලයා පැත්ත වැටිලා නිදියෑවා.

සම්පූර්ණ වැඩේ ඉවර වෙනකොට උදේ හය විතර උනා.මුලු රෑක් ඇහැරන් හිටිය නිසා උදේ වෙනකොට මඥ්ඥං වෙලා වගේ. නොසෑහෙන්න වැනෙන්න ගත්තා.
(තාමත් මඥ්ඥංද මන්දා)

ගෙදර ඇවිත් වරු තුනක් නිදියෑවා. මේක ටයිප් කරන වෙලාවෙත් නිදිමතයි.අපේ අම්මා කියන විදිහට මට සිකුරිටි ජොබ් එකක් එහෙම ලැබුනොත් නිදියලා ඉවරයක් නැති වෙයි ලූ.

මොනා උනත් වැඩේ නම් පංකාදුයි !!

----------------------------------------------------------------

ප.ලි. - සන්නි ගැන වැඩිදුර කියවන්න ලංකාදීප පත්තරේ ලිපිය කියවන්න.

12 July 2012

ඊයේ කීයටද ගියේ ?

"මචං උබ ඊයේ කීයටද ඔෆිස් එකෙන් ගියේ ?"

"අටට විතර බං! "

"ඇයි උබ ඊයේ දහය විතර වෙනකන් පාඩම් කරනවා කිව්වා නේ. මොකෝ අටට ගියේ ?"

"මේකයි මචං උනේ. මම ඊයේ දහය වෙනකන් පාඩම් කරන්නම් කියලා හිටියා. හය විතර වෙනකොට කට්ටිය තම තමන්ගේ සෙක්ශන් වල ලයිට් ඕෆ් කරලා ගෙවල් වලට ගිහින්. අන්තිමේදි මම් හිටපු සෙක්ෂන් එකේ ලයිට් එක විතරයි දාලා තිබ්බේ.

ඔහොම පාඩම් කර කර ඉන්නකොට එකපාර සීතල හුළඟක් හමාගෙන ගියා.ඒක පුදුම හීතල හුළඟක් !  මම් මොනිටරයෙන් ඔළුව උස්සලා බැළුවා ඒ.සී එක ඔන් කරලද කියලා. ම්හූ.... ඒ.සී. ඔක්කෝම ඕෆ් කරලා දාලා.ඊට පස්සේ මම් ආයෙම පාඩම් කරන්න ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ වොෂ් රූම් එකේ දොර ඩාං ඩාං ගාලා දෙපාරක් උළුවස්සේ හැප්පුනා.

කවුරුහරි වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා එන්න ඇති කියලා හිතලා කළුවරේම අතපත ගාගෙන ලයිට් ටික දාලා වොෂ් රූම් එක ගාවට ගියා.  එතකොට දැක්කා වොෂ් රූම් එකේ ජනේලේ ඇරලා දාලා කියලා.මම් වොෂ් රූම් එක ඇතුලට ගියා !

ඊට පස්සේ කොමඩ් එක උඩට නැගලා ජනේලේ අගුල දැම්මා.අගුල දාලා ඉවර වෙලා කොමඩ් එකෙන් බහින්න හදනකොටම මගේ මේසේ උඩ තිබ්බ ඇළුමිනියම් බෝතලේ සලාං ගාලා බිමට වැටිලා මේසේ යටට රෝල් වෙලා ගියපු සද්දේ ඇහුනා.මම දාපු ලයිටුත් ඕෆ් කරගෙනම එන්න හදනකොට One Missed Call ෆිල්ම් එකේ මහා ම මහා මූසල ටෝන් එක ඇහෙන්න ගත්තා.

උබ බලලත් ඇති One Missed Call කියන හොල්මන් ෆිල්ම් එක.අර කට්ටිය එකා එකා මැරෙන්න කලින් ඇහෙන ටෝන් එක !! අන්න ඒක ඇහුනා. ඒ මගේ ෆෝන් එක ! කවුද කෝල් කරන්නේ කියලා බලන්න යනකොට කෝල් එක කට් උනා. ගොඩ වෙලාවක් රින්ග් වෙච්ච නිසා වෙන්ටෑ.

ඊට පස්සේ බෝතලේ අහුලන් මේසේ උඩින් තිබ්බා.අදට පාඩම් කලා ඇති කියලා හිතුන නිසා කොම්පියුටරේ ඕෆ් කලා. ඕෆ් කරලා පඩිපෙල දිගේ පහලට එනකොටම පල්ලෙහා තට්ටුවේ ලයිට් දාලා තියෙනවා දැක්කා. ඒත් කවුරුවත්ම පේන්න හිටියේ නැති නිසා පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවා.

වෙනදට රෑ වැඩමුරයට ඉන්න කට්ටිය පේන්න හිටියේ නෑ. කට්ටියම රෑ කෑමට යන්න ඇති කියලා හිතුනා....උබ දන්නවනේ පල්ලෙහා තට්ටු වල තියෙන ඔෆිස් ටික පහ විතර වෙනකොට වහලා දාලා යනවා කියලා. තට්ටු පහක බිල්ඩිම ඇතුලේ ඉන්න එකම එකා මම විතරයි කියලා මතක් වෙනකොටම ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා....මම පුලුවන් තරම් ඉක්මනින් පඩිපෙල බැහැගෙන බැහැගෙන ආවා.ආපු පළවෙනිම බස් එකේ එල්ලිලා කොළඹට ආවා."

"උබ බය උනාද මචං ??"

"පිස්සුද යකෝ !! බය වෙන්න ? මේ මම ? බය කියන වචනෙවත් මම දන් නෑ !"


ප.ලි. - මෙහි එන නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණය හා නිර්මාණකරු එකිනෙකට ස්වායත්ත (වෙනස්) පුද්ගලයක් දෙදෙනෙකු බව සලකන්න.

11 July 2012

කරන කලට පවු....

දවසක් හවස්වරුවක අපි කට්ටිය යාළුවෙක්ගේ කාමරේකට සෙට් වෙලා ඔහේ වල්පල් කියව කියව හිටියා.එහෙම හිටපු වෙලාවක අපේ එකෙක් පොඩි කතාවක් කිව්වා. මේකයි ඒ කතාව !

එක කැම්පස් එකක වෛද්‍ය පීඨයේ රැග් සීසන් එකේදි සින්නෝ එකතු වෙලා ජූනියර් බැච් එකේ කට්ටියට රැග් දෙනවා. ඔන්න එක වතාවකදි ගෑල්ලමයි සෙට් එකක් එකතු කරලා එක වරකට එකා බැගින් මෝචරිය ඇතුලට යවනවාලූ. ඒ යවන හැම ගෑල්ලමයෙක්ටම ටොපි පහ ගානේ දෙනවලු.

ටොපි දෙන්නේ ඒ ගෑල්ලමයට කන්න නෙමේ.මෝචරියේ ඇතුලට ගිහින් ට්‍රොලි වල දාලා තියෙන මිනියක කට ඇරලා උගේ කට ඇතුලට එක ටොපියක් දාන්න ඕන ලූ. ඔහොම මිනි පහක කට ඇතුලට ටොපි දැම්මට පස්සේ හය වෙනි මිනියට ඉන්නේ ෆැකල්ටියේම සින්නෙක් ලූ.

 අර කෙල්ල හයවෙනි මිනිය ගාවට ආවම "කෝ මට ටොපි !!! " කියලා අර සින්නා ගැඹුරු කටහඬින් අහනවලු. එතකොට ඒ ගෑල්ලමයා හිතන්නේ මෝචරියේ තිබ්බ මල මිනිය කතා කලා කියලා ලු.ඊට පස්සේ ලතෝනි තියාගෙන මෝචරියෙන් එලියට දුවනවා ලූ.

 ඔය වගේ ඇත්තද බොරුද කියලා හිතන්න අමාරු කතා කියව කියව ඉන්නකොට තවෙකෙක් ඔය වගේ මෝචරි කතාවක් පටන් ගත්තා. ඒ කතාව තමා,

ඔන්න එක අවුරුද්දක වෛද්‍ය පීඨයේ සින්නෙක් රැග් සීසන් එකේදි  එක ගෑල්ලමයෙක්ව බය කරන්න හිතාගෙන ටික වෙලාවකට මෝචරියට දාලා වැහුවලු. මේ ගෑල්ලමයා හොදටම බය වෙලා බය වැඩිකමටම මෝචරිය ඇතුලෙදිම මලා ලු.

කොහොමහරි කාලයත් එක්ක මේ සිද්ධිය අකා මකා වෙලා ගියාලු.අර ගෑල්ලමයව මෝචරියට දාලා දොර වහපු සින්නා හොදට විභාගේ පාස් වෙලා ඒ කැම්පස් එකේම දේශකවරයෙක් උනා ලූ. ඔහොම කාලයක් ගත උනාට පස්සේ මේ දේශකවරයාගේ දුවෙක්ව මේ කැම්පස් එකටම සිලෙක්ට් උනා ලූ.

තමන්ගේ දුව කැම්පස් එකට ගියපු පළවෙනි දවසෙම මේ දේශකවරයට කලකට ඉහතදි තමන් ගෑල්ලමයෙක්ව මෝචරියට දාලා වහපු කතාව මතක් උනා ලු. තමන්ගේ දුවටත් මේ ඉරණමම අත්වේවි ය කියලා හිතිලා ඒ දේශකවරයා, දුව ගෙදර එන්නත් කලියෙන්ම ගෙදර බාල්කයේ ලණුවක් දාගෙන එල්ලිලා සිය දිවි හානි කරගත්තා ලූ !!

මේ කතා දෙකම ඇත්තට සිද්ධ උන ඒවද නැති ඒවද කියලා මම නම් දන්නේ නෑ. යාළුවෝ කට්ටිය සෙට් උන වෙලාවක ඔහේ කියවපු කතා ටිකක් විතරයි. මේ කතා ඇත්තටම සිද්ධ උන ඒවා කියලා කැම්පස් යන්න ඉන්න දුවලා පුතාලා බය වෙන්ඩ කාරි නෑ. ඒ වගේම ලංකාවේ කැම්පස් වල මෙහෙම දේවල් වෙනවා කියලා රෙදි උස්සන් වලියට එන්න ඕනත් නෑ. :)

මට අද මේ කතා දෙකම මතක් උනේ ගොසිප් අඩවියක තිබ්බ තංගල්ලේ ප්‍රදේශයේ මංත්‍රීවරයෙක් අවුරුදු 14ක දැරියක්ව දූෂණය කලාය කියන ප්‍රවෘත්තියක් දැක්කට පස්සේ. දේශපාලන බලය නිසා මේ මන්ත්‍රීතුමා බේරේවි ඒ බේරුනත් කවදාවත් එයාට කර්මයෙන් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නෑ...

කවමදාකහරි ඒ මන්ත්‍රීවරයට මේ කරපු පාපකර්මයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවාමයි !!
හරියට අර මම් කියපු දෙවෙනි කතාවේ හිටපු දේශකවරයට උනා වගේ සිද්ධියකින් හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා !  එදාට ඒ මන්ත්‍රීවරයාව බේරගන්න දේශපාලනයට තියා මොන ජගතාටවත් බැරි වේවි !

කරන කලට පවු මිහිරිය මී සේ...
විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...


09 July 2012

පුදුම බයක් නේ.

මේ ලඟදි දවසක මගේ යාළුවෙක් අපේ ගෙදර ආවා. උන්දෑව මට හම්බ උනේ මම් විශ්ව විද්‍යාලයේ ඉන්නැද්දි. මේකා අපේ ම බැච් එකෙක් එකෙක්. මේකාගේ නම විජිත ! හැබෑම දක්ශයෙක් ! කොටින්ම ඉගෙන ගන්න සෑහෙන පෙරේතකමක් තියෙන කොල්ලෙක් ! තමන් නොදන්න දෙයක් කවුරුහරි කියනවා ඇහුනොත් මූ එතෙන්ට වෙලා කටත් ඇරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා විතරක් නම් මදෑ. මූ නොසෑහෙන්ඩ ප්‍රශ්නත් අහනවා.

විජිතව දැක්කම මට ඊලඟට මතක් වෙන්නේ මූ උඩ නඟින්න සෑහෙන්න බය කොල්ලෙක්. කොටින්ම අත්වැටක් නැති පඩිපෙලකවත් යන්නේ නෑ. ඒ තරමටම බය කොල්ලෙක්.

මට තාම මතකයි අපේ බැච් එකේ යාළුවෙක් නැති වෙලා අපි ඒ මලගෙදර ගියා. යාළුවාගේ ගෙවල් තිබ්බේ උලපනේ. උලපනේ කිව්වම මට ඊලඟට මතක් වෙන්නේ මෝඩයාගේ පාලම. උලපනේ මෝඩයාගේ පාලම ට මෙහා පැත්තෙන් තියෙන පරණ පාලම සෑහෙන්ඩ අබලන්. ඒකෙන් තමා වාහන එහා මෙහා යන්නේ.

වාහනයක් ගියහම පාලම දඩං බඩං ගාලා ගැස්සෙනවා. ඒ මදිවට පාලමේ කැඩිච්ච තැන් වලින් පහල මහවැලි ගඟත් පේනවා. එදා අපට මලගෙදර යන්ඩ තිබ්බෙත් ඔය පාලමෙන් එගොඩ වෙලා. කට්ටියම පාලම ගාවට ආවා විතරයි මේන් මේකෑ දනිස් දෙක සටපට ගාලා ගැහෙනවා. ඌ යන්ඩ බෑම කියලා කෑ ගහලා අන්තිමේදි එතනින් ගියපු දළු ලොරියක මූව පටෝලා පාලමෙන් එහා පැත්තට යැවුවා.එහෙම යැවුවේ නැත්නම් පාලම ගාව දාලා එන්ඩ වෙන්නේ. 

 අපේ කැම්පස් එකේ සමහර නේවාසිකාගාර වලට යන්න පාරවල් තිබ්බට පඩිපෙල් තියෙන කෙටි පාරවල් තියෙනවා. ඒවයින් ගියහම සෑහෙන ඉක්මනට හොස්ටල් එකට යතෑකි. ඒත් මේකා කොච්චර කෙටි පාරවල් තිබ්බත් පඩිපෙල් නගින්න තියෙන බයටම මලාට ඒ පාරවල් වල එන් නෑ.

 ඔය කොයිකෙන් ගැලවෙලා හිටියත් මූට බැච් ෆොටෝ එක ගහන අට්ටාලේ නගින්න සිද්ද උනා.මරන්න ගෙනියන එකෙක් වගේ පණ ගැහි ගැහි අට්ටාලේ උඩට නැගලා ෆොටෝ එක ගහනකන් බයේ හිටියා. ෆොටෝ එක ගහලා ඉවර උනාට පස්සේ ඔක්කොම බහිනකන් මේකා අට්ටාලේ ලෑල්ලක් බදාගෙන හිටියේ නැතෑ.

අපි කැම්පස් එකේ ඉන්නැද්දි සෑහෙන්ඩ කතා කලා මුගේ මේ බය නැති කරන්නේ කොහොමද කියලා. ඒත් ඒවයින් තාම වැඩක් උනේ නෑ. මේකා කියන විදිහට මූට තාමත් ඒ බය ඒ විදිහටම තියෙනවා ලු.

08 July 2012

ඔබේ හඬ ඇසෙනවිට ....

නිල් අහසේ මන්දාරම්
ගිනි අව්වේ මද පවනක්

අහස් ගැබ සිනාසෙයි
හිරු කිරණ ඉඟිමරයි
මිහිකත සිනාසෙයි
පිණිමුතු දිදුලවයි

මගේ හද පිනා යයි
හසරැල් ගලායයි
ඔබේ හඬ ඇසෙනවිට
ඔබේ රුව දකින විට
අසිරිමත් ජීවිතය,
සුන්දරයි... පියකරුයි...



..........................................................
ප.ලි. -ධනූගේ කවි සිතුවිල්ලක්..

02 July 2012

අද හරි සතුටු දවසක්

අපෝ.. ගිය මාසේ තිබ්බේ එකම එක නිවාඩුවයි. ඒකත් පෝය නිවාඩුවක් ! මේ මාසෙවත් නිවාඩු දෙක තුනක් තිබ්බා නම් පාඩම් කරන්ඩ තිබ්බා. මොකද මේ මාසේ විභාගේ කරන්ඩ එපැයි. ඔහොම හිත හිත සතියකට උඩදි කැලැන්ඩරේ ජූලි මාසයට තියෙන කොළේ පෙරලුවා.

ජූලි තුන්වෙනිදා නිවාඩුවක් තියෙනවා. ඒකත් අඟහරුවාදා දවසක්. දෙවෙනිදා බඩේගායක් හදාගත්තොත් දවස් හතරක නිවාඩුවක් තියෙනවා.

"ජූලි දෙවෙනිදා ! ජූලි දෙවෙනිදා !! ජූලි දෙක !! ජූලි දෙක !!!"

ඔහොම හිත හිත ඇඟිල්ලෙන් දෙකේ ඉලක්කමට තට්ටු කර කර ඉන්නකොට මට අතීතයේ එක දවසක් මතක් උනා.  ඒ තමා මගේ පරණ ගෑල්ලමයාගේ උපන්දිනේත් ජුලි දෙවෙනිදා. මට ඒ උපන්දිනේ හොදටම මතක තියෙන්නේ මම් ඒ ගෑල්ලමයට පණ වගේ ආදරේ කරපු නිසා වෙන්ටෑ.

එයාගේ උපන්දිනේට මොනාහරි පිස්සු වැඩක් කරන්ඩ ඕන..
ම්ම්ම්ම්... කාඩ් එකක්වත් ගෙදෙට්ට යවනවද ? මාත් එක්ක තියෙන තරහට කාඩ් එක ඉරලා දායි. දැනටමත් ඒයැයි පිරිමි ලමේක් එක්ක යාළුවෙලා ඉන්න නිසා එහෙම කරන එකත් හරි නෑ. අයියෝ සල්ලි !! ඒ වැඩේ හරි යන් නෑ.

එහෙනම් ඇඳුමක් පැළදුමක් අරන් දෙනවද ? මොකද එයා මාත්තෙක්ක හිටපු අවුරුදු තුනටම මම් වැඩිමනත් අරගෙන දීලා තියෙන්නේ ඇඳුම් පැළදුම්. මොකද ඒයැයි ලස්සන අඳින්න ආසයි. ඇඳුම් අරන් දෙන එක හරියන එකකුත් නෑ. මොකද කාලෙකින් දැක්කේ නැති නිසා මහත් වෙලාද කෙට්ටු වෙලාද කියලා දන්නේ නෑ.

 ම්ම්ම්ම්... එහෙනම් වෙන මොනාහරි අරන් දෙනවා !

මට තාමත් අද වගේ මතකයි මීට අවුරුද්දකට උඩදි ඒයැයිගේ උපන්දිනේ දවසේ කිසිම දෙයක් අරන් දෙන්න අතේ සතේ නැතුව හිගන්නෙක් වගේ හිටියා. මට මතක විදිහට කාගෙන්වත් ණයක් ඉල්ලගන්නවත් විදිහක් තිබ්බේ නැති මහ ජරා කාළයක්.

කොටින්ම ඒයැයිගේ උපන්දිනේට කැළණි පන්සල් ගියේ අපේ මලයගෙන් ඉල්ලගත්තු සල්ලි වලින්. මුකුත් ම අරන් දෙන්න උනේ නැති එකට මට මාර අප්සට් !!!

ඉතින් මම් එදා හිතා ගත්තා ඊලඟ උපන්දිනේට උපන්දින දෙකම අල්ලලා තෑග්ග ඩබල් කරලා ලොකු තෑග්ගක් අරන් දෙනවා කියලා.

ඒ මතකයත් හිතේ තියාගෙන පහුගිය සෙනසුරාදා උදෙන්ම කිරිබත්ගොඩ ටවුමට දිව්වා ලොකු තෑග්ගක් ගන්න කියලා හිතාගෙන. එදා මම් වියදම් කරන්න හිතන් උන්න ගාන ඩබල් කරලා ඒ ගානට හරියන්න කොපි පොත් ගත්තා. පොත් ගානටම හරියන්න පෑනුත් ගත්තා !!!

 කිරිබත්ගොඩ ටවුමේ අඩුවටම පොත් තිබ්බ තැනින් පොත් ගත්ත නිසා සෑහෙන පොත් ගොඩක් ගන්න පුලුවන් උනා.ඒ පොත් ටිකත් අරගෙන ගෙදර ආවා. ආපු හැටියෙම පොත් ටික ගොඩවල් දෙකකට වෙන් කරලා පාර්සල් දෙකක් හැදුවා.

පාර්සල් හදලා ඉවර වෙලා  ...

 "මලයෝ.... මට දුප්පත් ළමයි දෙන්නෙක් හොයලා දීපං !!"

" ඒ මොකටද උබට ළමයි දෙන්නෙක් !! " මං දිහා නෝක්කාඩු බැල්මක් හෙලන ගමන් මල්ලි ඇහුවා.

 "නෑ බං ! මට ළමයි දෙන්නෙක්ට පොත් ටිකක් දෙන්ඩ හිතුනා... ඒකයි !! හැබැයි සඳුදා වෙනකොට පොත් ටික දෙන්ඩ ඕනා !"

"එහෙම හදිස්සියේ හොයාගන්න නම් නෑ.. අපි එහෙනම් ළමා නිවාසෙකට ගිහින් දෙමු." මලයා යෝජනා කලා.

ඒකත් හොද අදහස නිසා මාත් ඒ වැඩේ අනුමත කලා. මේ වෙනකොට නම් අපේ මලයා පොත් ටික ගිහින් දීලත් ඇති. ඉතින් අද ඒ ගෑල්ලමයගේ උපන්දිනේට මම් ලොකු පිනක් කරගත්තා. ඒ පිනෙන් ඒයැයිගේ ජීවිතය සතුටින් පිරවෙන්ඩ කියලත් පැතුවා.

ඒ නිසා මාර සතුටු දවසක් අද !!!

 ඔන්න ඔය විදිහට තමා හදිස්සියේම මගේ හිතට ආපු පිස්සු අදහසක් ක්‍රියාත්මක කලේ.

අවසන් වශයෙන් ජීවනේ ගමනේ තවත් එක් කඩඉමක් පසු කරන ඔයාට, කරන කියන රැකි රක්ෂා සාර්ථක වෙලා ඔයාගේ ජීවිතය සතුටින් පිරුන වාසනාවන්ත එකක් වෙන්ඩ කියලා පතනවා. සුබ අනාගතයක් !
-------------------------------------------------------------------

 ප.ලි. - ඒයැයි ගැන බ්ලොග් එකේ ලියන්ඩ එපාම කියපු නිසා මම් මීට කලින් එයා ගැන ලියලම නෑ. ඒක නිසයි කවුරුත් ඒ ගැන දන්නේ නැත්තේ. දැන් ඉතින් ලිව්වට අවුලක් නෑ. :)