02 July 2014

නැතිවුන රොබරෝසියා ගහ

අද උදේ මූනු පොතට ගොඩ වෙනකොට දැක්කේ අපේ පේරාදෙණිය තිප්පොලේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පිඨය මැද තිබ්බ රොබොරෝසියා ගහ කපලා දාපු (හෝ කඩා වැටුනු) පින්තූර ටික. මේ පින්තූර ටික ගොඩක් දෙනා අතරේ හුවමාරු වෙලා තිබ්බා.
පහලින් තියෙන්නේ ඒ පින්තූරේ... !

මහාචාර්ය එදිරිවීර සරත්චන‍්ද්‍ර එලිමහන් රංග පීඨය එහෙම නැත්නම් කෙටියන්ම කියනවා නම් "වල" මැද තිබුනු ඔය රොබරෝසියා ගහ නාට්ටි බලපු අපිට ඒ දවස්වල ලොකු කරදරයක් වෙලා තිබුන කාලයක් තිබ්බා.

මොකද ඔය ගහ නිසා වලේ පැත්තක උන්නු කට්ටියකට හරියාකාරව නාට්ටි බලාගන්ඩ බැරි උනා. ඒ නිසා ඒ හරියේ තිබ්බ ආසන ටිකේ කවුරුවත් වාඩි වෙන්ඩ හිතුවේ නෑ. කවුරු හරි වාඩිඋනත් වාඩි උනේ වෙන තැනක් ඇත්තෙම නැත්නම් විතරයි.

ඒ නිසා වල මැද්දේ තිබුනු ඔය ගහ ගැන අපි යම්තාක් නොසතුටකින් උන්නේ. සමහර දාට නාට්ටි බලන්ඩ ආපුවහම ඔය ගහ තිබ්බේ නැත්නම් හොඳයි කියලා හිතුන දවසුත් නැතුවම නෙමේ.

නාට්ටි පෙන්වන දවස්වලට ඔය ගහ සෑහෙන කරදරයක් උනාට පේරාදෙණි සරසවියට වසන්තය උදාවෙන කාලයට මේ ගහ නිසා වලට අමුතුම ලස්සනක් එකතු කරනවා. මේ ලස්සන නිසාම දම් පාට මල් වැටුනු පේරාදෙණි සරසවි වල ලඟ මොහොතක් ඉන්ඩ අපි අමතක කරන්නේ නෑ.. ඒක ඒ තරමටම ලස්සනයි !!

අර කතාවටත් කියන්නා වාගේ අපට ඕනම දේක අගේ දැන්නේ අපි ලඟ ඒ දේ නැත්නම් හරි අපෙන් ඒ දේ නැති උනහම කියලා කියනවා නෙහ්.

විශ්ව විද්‍යාලයේ ලස්සන කරන්ඩ කොච්චරවත් රොබරෝසියා ගස් තිබුනට අද කට්ටිය මේ ගහ ගැනම කතා කරන්නේ මේ ගහ අද අපිට නැති වෙච්ච නිසා.

මේ ගහෙන් අපිට එක දෙයක් ඉගෙන ගත්තෑකි... ඒ තමයි ලෝකේ තියෙන හැම සුන්දර දේකම පටන් ගැන්මක් වාගේම අවසානයකුත් තියෙනවයි කියන එක. අද මේ ගහේ අවසානය ගැන දුක්වෙන අපිට ටික දවසකින් මේ ගහ තිබුනද කියලාවත් මතක නැති වේවි...

උදේ ඔය පින්තූරේ දැක්කට පස්සේ මට හිතුන දේවල් ටික ඔහේ අපිලිවෙලට ලියා දැම්මා. අද ඉදලාවත් පරණ බ්ලොග් ලිපි ටික කියවන්ඩ ඕන. මේ ටිකේ වැඩ වලට එහාට්ට මෙහාට්ට දුව දුව ඉන්න්න නිසා බ්ලොග් ලිපි කියවන්න උනෙත් නෑ..

27 comments:

  1. මං පේරාදෙණියෙ නොවුණත් හරිම දුක හිතුණා... අපරාදෙ...

    වගවිභාගයක් නැතිව ගහකොල කපල දාන එකනෙ දැන් සංවර්ධනය කියල වැඩි හරියක් කරන්නෙ.. මේත් එවැනි වැඩක්ද?

    ReplyDelete
  2. ගහ කැපුවනම් දැන් මොරටුවට එවන්න කියපන්

    ReplyDelete
  3. දෙයියනේ කියවුණා එකපාරම.............................

    නාට්‍ය බලන්න ගිය හැම පාරක ම ගහ ළග කවුරුත් වාඩි නොවුණට ඕක වදයක් කියලා හිතුණෙම නෑ. ඒ මල් පිපෙන කාලේ ලස්සන මතක් වෙන හින්දා... දැන් ඉතින් වලට වසන්තය නොඑනවා ඇත්තමයි... නාට්‍ය තියේවි.. මල් නොපිපේවි

    ReplyDelete
  4. සිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.

    කවද කොතන ඔය පිංතූරෙ දැක්කත් මගෙ හිත කීරී ගැස්සෙනවා.

    අද ඒක තවත් වැඩිවුනා. ඒ කියන්නෙ වලේ ඒ ලස්සන ආයෙ නෑ?

    ReplyDelete
  5. හැමදේම ස්ථිර නැති නිසා මේ වෙනසත් හොඳයි කියලා පිළිගන්න එක තමයි හොඳ...

    ReplyDelete
  6. ඒ ගස වෙනුවට තව ගස් රාශියක් ඒ අවට සිටුවනු ඇතැයි සිතමි!

    ReplyDelete
  7. පුංචි දේකින් ලොකු අදහසක්... මම ආස ම ගහක් තමා රොබරෝසියා....

    ReplyDelete
  8. නෙදකින් ඒ ගහත් කපලද?? අනේ මන්දා ඔය ගහ ඔතන තියෙන්නේ මේ ගිය අවුරුදු දෙකේ තුනේ ඉඳල කියල හිතුවද දන්නේ නෑ කපපු එවුන්..

    ReplyDelete
  9. මම ඔය ගහ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උනත් අර රත්ගමය ෂෙයා කරල තිබුණ ඔය ෆොටෝ එක දැක්කම සෑහෙන්න දුකක් ඇතිඋනා. මේක ස්වාභාවික හේතුවක් මත වෙච්ච දෙයක්නං කරන්න දෙයක් නෑ. ඒත් උවමනාවෙන්ම කළානං හෙන අපරාදයක්.

    ReplyDelete
  10. ගහ ගැන නොදැන හිටියත් ෆොටෝ එක දකිත්දි දුකයි.

    ReplyDelete
  11. ලස්සන ගහක්.. කැපුව නම් අපරාදයක්... රොබරෝසියා ගස් ලංකාවේ ඕනෙම පලාතක හදන්න පුළුවන් ද?

    ReplyDelete
  12. මල් ටික දැක්කම ලෝබ හිතෙනවා

    ReplyDelete
  13. දැන් ඕක ඇත්ටටම කැපුවද? කඩන් වැටුනද??

    ReplyDelete
  14. පේරෙ ඉන්න එකෙක් හොයාගත්ත නං වෙච්ච දේ සහසුද්දෙන් දැනගත්ත හැකි...

    ReplyDelete
  15. ලස්සණ මල් ගහ. මම මේ ෆොටෝ එක මූනු පොතේ දැක්කා.:)

    ReplyDelete
  16. ඔය රොබෝසියා ගහ ගැන කොයිතරම් නම් පද වැල් ගෙතිලා ඇත්ද.. අපරාදේ...

    ReplyDelete
  17. ගහ දිරල තිබුනේ බං..

    ReplyDelete
  18. මේ ගහ කපලා දාපු එක ගැන දැක්ක වෙලේම ඇතිවුනේ ලොකු දුකක්, ඒ වෙලාවෙනම් මතක්වුනේ නෑ ගහ මග ඇරලා වලේ වාඩිවුණු හැටි

    ReplyDelete
  19. ගහ දිරලලු බං තිබුණේ.ළඟදි මොකක්ද ෆන්ක්ෂන් එකක් වලේ තියෙන හින්දා අතු කඩං වැටෙයි කියලා තමයි කපලා තියෙන්නේ.ආයෙත් ඒ වගේ ගහක් වවා ගන්න එක ලේසි නෑ හැබැයි.

    ReplyDelete
  20. මම හිතන්නේ ඕක දිරාපත් වෙච්ච නිසා කපලා හරි කඩාගෙන වැටි ලා හරි නේද? මොනවා උනත් ලස්සන මල් ගහක්. අපේ මොරටුවෙත් ඔව්වයින් ගස් කීපයක් තියනවා.

    ReplyDelete
  21. ගහට කතාකරන්න පුලුවන් නම් කියයි ඊතිහාසෙ ඉඳන් ඔතන වෙච්ච දේවල්. හමුවීම් වෙන්වීම් ගහේ මල් ගානටත් වැඩිය ඇති.

    ReplyDelete
  22. හරිම දුකයි මලේ!
    මේ ගැන මම පහත තිබෙන නිසදැස ලිව්වා,

    පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්‍රචලිත එළිමහන් රංගපීඨය මධ්‍යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරැ දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.

    වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්‍යයක් වනු ඇතැයි මට සිතිනි.........


    හන්තාන නිසසලයි
    මහවැලිය ඉකි බිඳියි
    හමන මද පවන් රොද
    මළගමේ ගීතයයි......

    වළේ ඇති පලේ කිම
    නොමැති දා නුඹේ වත....?
    රෝස පැහැ මලින් පිරි
    නුඹයි එහි පැහැසරය......

    මණමෙ හා සිහබාහු
    සමඟ දික්තල නැගූ,
    ඒ මහා විසල් ගොස
    ගොළුවෙලා වගෙයි අද......

    නුඹ තරම් රැඟුම් දුටු
    මෙපමණට දෙබස් ඇසු
    කෙනෙකු තව මේ ලොවේ
    සිටීදැයි සැක සිතේ.......

    මෙලොව අනියත බවත්,
    කිසිදු තිර නැති වගත්
    පසක් කර යළි නොඑන
    ගමන් යන නුඹට මම

    පතන්නෙමි නිවන් සුව...!
    දයාබර රොබරෝසියා.......

    -චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

    ReplyDelete
  23. සැහ් .. මලක් කඩාගෙන වහං වෙලා ඉන්න තිබ්බ ගහ

    ReplyDelete
  24. ගහක් කපන්න වෙන අවස්ථා තියනවා. හැම දේටම විරුද්ධ වීම මානසික රෝගයක්. ඒ ගහ දිරල ගිහින් තිබුනෙ. කාගෙ හරි ඔළුවට කඩාගෙන වැටුනනම්?

    ReplyDelete
  25. මේ ගහ බොහෝ සේ දිරාපත්ව තිබූ නිසා කැපූ බවක් තමයි මම පුවත් වලින් කියෙව්වෙ...මල් බරව තියෙන කාලෙට නම් පේරාදෙණියෙ වල පුදුමාකාර ලස්සනයි

    ReplyDelete
  26. පත්තරේ දැකපු විස්තරේට අනුව ගහ දිරාපත් වෙලා.. කට්ටිය ගොඩක් උත්සාහ කරලා තියෙනවා බේත් කරලා බේරාගන්න. අනතුරක් වෙයි කියලා හිතලා බැරිම තැන තමයි ගහ කපලා තියෙන්නෙ. අලුතෙන් රොබරෝසියා පැල දෙකකුත් එතන ඉන්දලාලු. ඒක නෙමෙයි මධුවො දවසක වලේ නාට්ටියක් බලන්න එක්ක පලයන්කූ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.