05 December 2017

තාත්තගේ ලයිසොං ගැනිල්ල - 2 කොටස

තාත්තා පිට පිටම තුන් පාරක් රියදුරු ලිඛිත විභාගය ඇණගත්තු නිසා ලයිසං ගැනිල්ල ගැන සෑහෙන්ඩ කලකිරිලා උන්නේ. මේ දවස්වල තාත්තගේ මූහුණ කරත්ත රෝදයකට අහු වෙච්ච කජු ලෙල්ලක් වාගේ ඥාළු වෙලා තිබ්බේ. අපිටත් සෑහෙන දුකයි මේ වෙච්ච දේට. ඒත් අපි තාත්තව තව තවත් දිරිමත් කලා.

ආයෙම ඇප්ලිකේශන් දාන්න වෙනදට වඩා ටිකක් වැඩි කාලයක් ගත්තා. මොකද මානසිකව වැටිච්ච කෙනාගේ හිත හරියන්ඩත් ටික කාලයක් ඕන කරනවා නෙව.

හතරවෙනි වතාවට විභාගය ලියන දිනය ආවයි කියමු. මෙදා සැරේ කලින්ම කණ්ණාඩි දෙක බෑග් එකට දාලා තිබ්බා. ඒ නිසා දෙවෙනි හේතුව නැති කළා.

අළුතින් ඇප්ලිකේශන් දාපු නිසා අළුතින් අවස්ථා තුනක් හම්බ වෙනවා. මේ නිසා තුන්වෙනි හේතුවත් නැති වෙලා තියෙනවා.

මෙදාපාර අපි බයිසිකළයේ කඩවතට යන්ඩ දුන්නේ නෑ. ඒ නිසා හතරවෙනි හේතුවත් ඉබේම නිශේධනය වෙලා තිබ්බා.

හැබැයි අපිට පළවෙනි හේතුව නැති කරන්ඩ අමතක වෙලා තිබුනා. මමවත් මගේ ඉහේ ඉන්න උකුණාවත් හිතුවේ නෑ හතරවෙනි වතාවට ඇණගන්ඩ හේතුව කොටු පටලැවීම වේවි කියලා.

කරුමෙක මහත !

මෙදාපාරත් තාත්තා කොටු පටලවගෙන. ඒ නිසා ආයෙම විභාගය ඇණගන්න සිද්ධ උනා කියලා මම තාත්තට අපහාස කරන්ඩ කැමති නෑ.ඒත් අකමැත්තකින් උනත් එහෙම කියන්ඩ සිද්ධ උනා.

දැං ඉතිං මොනා කරන්ඩද ආයෙම වතාවක් විභාගයට සල්ලි ගෙවන්න සිද්ධ උනා. මෙදාපාර මම වෙනදට වඩා මහන්සි උනා. මම දවස් දෙක තුනක්ම පිට පිට පාඩම් කෙරෙව්වා. දැන් තාත්තට උනත් ප්‍රශ්න ටික කට පාඩම් වෙලා තියෙනවා.

විභාගය ෆේල් වෙන්නේ පාඩම් නොකරපු නිසා නෙමේ කියලා අනන්ත වාර ගණනක් මට හිතිලා තියෙනවා. මොකද ගෙදරදි අපි අහන අහන හැම ප්‍රශ්නයකටම තාත්තා සාර්ථකව උත්තර දෙනවා. ඒ නිසා විභාගය ෆේල් වෙන්නේ මම අර කියපු හේතූන් එකක් හෝ කිහිපයක් මුල් වෙලා කියලා අපි හැමෝගෙම හිතෑතුලෙන් හිතුවා.

පළවෙනි හේතුව නැති කරන්ඩ මම හොඳ උපායක් කියලා දුන්නා. ඒ තමයි ප්‍රශ්ණ පත්තරේ ගාවටම උත්තර පත්තරේ තියාගන්න එක. ප්‍රශ්ණය යටින් උත්තර පත්තරේ අදාල කොටුව හිටින විදිහට උත්තර පත්තරේ නවලා තිබ්බහම වරදින්ඩ හේතුවක් නෑ. ඒ නිසා මම ඒ උපාය තාත්තට කියලා දුන්නා.

ඒ නිසා මෙදාපාර වරදින්න කිසිම හේතුවක් නෑ !!!

ඒ හින්දම මෙදාපාර තාත්තා පාස් වෙලා අවහම අපිට මික්ස් රයිස් එකක් ගෙනල්ලා දෙන්ඩ කියලා මම යෝජනා කළා. තාත්තත් ඒකට කැමති උනා.

ඔන්න පස්වෙනි වතාවට විභාගයට තාත්තා ගියා. හොදට ලියලා වෙනදා වගේම සතුටින් ගෙදර ආවා. ඒත් වෙනදට වඩා සතුටක් තාත්තගේ හිතේ තිබුණා කියලා කිව්වොත් තමා හරියටම හරි යන්නේ. ඒ බව තාත්තා දිහා බලන ඕන කෙනෙක්ට හිතාගන්ඩ පුලුවං.

අපේ තාත්තට ලයිසං ගන්ඩ ඕන කරන්නේ සැහැල්ලු වාහන පදින්ඩ නෙමේ. ත්‍රීවීල් පදින්ඩත් නෙමේ. වෑනුත් නෙමේ... කාරුත් නෙමේ... උන්දෑ රුපියලෙන් රුපියල එකතු කරලා ගත්තු මදුරුවා පදින්ඩ. ඒක 100 cc බයිසිකලයක්.

ඒක අරගෙන හරියටම අවුරුද්දක් ගත උනත් ලයිසොම ගන්ඩ හම්බ උනේ නෑ.

විභාගය ලියලා දවස් තුන හතරක් ගත උනා. පහ හයකුත් ගත උනා. බලා ඉන්ඩ බැරිම තැන මම ලර්නර්ස් එකේ නොම්බරේ හොයාගෙන කෝල් එකක් දුන්නා. ඒත් ප්‍රථිපල ඇවිත් තිබුණේ නෑ. හත්වෙනි දවසටත් කතා කලා. එදා හවස ප්‍රථිපල එනවයි කියලා කියපු නිසා මම හවසත් කතා කලා...

ම්හූ.... ප්‍රථිපල ඇවිත් තිබුණේ නෑ. මට අද වාගේම මතකයි ඒ දවස... ඒ 2017 අවුරුද්දේ ඔක්තෝම්බර් 27 වෙනි සිකුරාදා..

උදේ දහයට විතර මම නිකමට ලර්නර්ස් එකට කෝල් එකක් දුන්නා.

"හෙලෝ... මට අහවල් පුද්ගලයාගේ ප්‍රථිපල දැනගන්ඩ පුලුවන් ද ? මම එයාගේ පුතා" කියලා කිව්වා.

"විනාඩියක් දෙන්න මම බලලා කියන්නම්" කියලා ඇමතුමේ එහා කෙළවරේ හිටපු කෙනා කිව්වා.

ඒ මිනිත්තුව ඇතුලත මගේ හද ගැස්ම වැඩි උනා. කොටින්ම මේ ලෝකේ කිසිම සද්දයක් නෑහෙන ගානට මගේ කන් දෙක තිව්‍ර කරගෙන මම හිටියා. මගේම හර්දය වස්තුව ගැහෙන හඬ මටම ඇහෙන ගානයි. එක තත්පරයක් ගත වෙන්ඩත් සෑහෙන වෙලාවක් ගත වෙනවයි කියලා මටම හිතෙන්ඩ ගත්තා. මට ඉබේටම වාගේ දෙයියෝ සිහි වෙන්ඩත් ගත්තා. අනේ දෙයියනේ මෙදාපාරවත් සතුටුදායක ආරංචියක් අහන්ඩ ලැබෙනවා නම්.... මම මටම මුමුණ ගත්තා.

"හෙලෝ..." ඇමතුමේ එහා කෙළවරේ හිටපු කෙනා හඬ අවදි කළා.

මට ඒ හඬ ඈත සිහින ලෝකයක ඉදලා ඇහෙන හඬක් වාගේ දැනෙන්ඩ ගත්තා.

"ඔවු මිස් අහගෙන ඉන්නේ...! " මම උත්තර දුන්නා නෙමේ. උත්තරේ මගේ කටින් එළියට පැන්නා.

"ඇති යාන්තං මෙදාපාර තාත්තා පාස් වෙලා තියෙනවා... !!"

මගේ සතුට නින්නාද දෙන්ඩ ගත්තා. පුදූ...ම සතුටකින් හිත පිරෙන්ඩ ගත්තා. මට ඉබේටම වාගේ කෑගැස්සුනා...

මම ඒත්තෙක්කම අපේ තාත්තට කෝල් කරලා මේ සතුටුදායක ආරංචිය දැන්නුවා. ඒ විතරක් නෙමේ... ඊට පස්සේ අම්මටත් කිව්වා. මල්ලිටත් කිව්වා.

ඔන්න එදා හවස අපේ ගෙදර පුංචි පහේ මඟුල් ගෙයක් වාගේ. අපි කියපු විදිහට තාත්තා මික්ස් රයිස් ගෙනල්ලා කොකා කෝළා ගෙනල්ලා. අතුරුපසට යෝගටුත් ගෙනල්ලා පුංචි පහේ සාදයකින් මේ සතුට සැමරුවා. මම උසස් පෙළ පාස් වෙච්ච දවසටත් වඩා වැඩි සතුටකින් මේ දිනය අපි සැමරුවා.

ඒ දවස... ඔවු ඔක්තෝම්බර් 27 කියන දවස මට කවමදාකවත් අමතක නොවන දවසක් විදිහට මගේ ජීවිත අත්දැකීම් ගොන්නේ සටහන් වෙලා තියේවි.


10 comments:

  1. හෙක්.. හෙක්..
    ජයවේවා !

    ReplyDelete
  2. අට ගහන්ඩ පුරුදු කරලා ඇරහං , මතක් කරලා හෙල්මට් එකේ ක්ලිප් එක දාන්ඩ කියලත් කියහං

    ReplyDelete
  3. හෙක්..හෙක් දැන් ට්‍රයල් දවසටත් මික්ස් රයිස් කන්ඩ ඕනෙනම් අටම කියනව වගේ අට ගහන්නයි අනෙක් උපදෙස් ටිකයි ප්‍රැක්ටිස් කරවන්න.

    ReplyDelete
  4. හෙක්..හෙක් දැන් ට්‍රයල් දවසටත් මික්ස් රයිස් කන්ඩ ඕනෙනම් අටම කියනව වගේ අට ගහන්නයි අනෙක් උපදෙස් ටිකයි ප්‍රැක්ටිස් කරවන්න.

    ReplyDelete
  5. දැන් තාත්තට පුස් සයිකලේ ඩබල් දාලා පදින්න පුරුදු කරන්න ඉස්සරහට් පුස් සයිකලේ ඩබල් දාලා යන්න ලයිසොන් ගන්න ඕනනේ

    ReplyDelete
  6. ඔහුට සුභ පැතුම්.

    ReplyDelete
  7. අපුරුයි. උත්සාහය ඉතාම විශිෂ්ඨයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.