03 October 2017

භීෂණ ත්‍රිත්වය

සිංහල සාහිත්‍යයේ භීෂණ නවකතා චක්‍රවර්ති විදිහට හදුන්වන්නේ ඩීමන් ආනන්ද මහත්මයා. මේ මහත්මයාගේ පොත් අපේ පරම්පරාව වෙනකොට කියවන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් අපේ අම්මලාගේ පරම්පරාවේ අය නම් මේ පොත් සෑහෙන්න කියවලා තියෙනවා.

අපේ අම්මා නම් කියන්නේ මේ පොත්, ප්‍රමාණයෙන් ගොඩක්ම පුංචි ඒවා ලූ. ඒ වගේම මේ පොත් රෑට කියවන්න එපා කියලා පොතේම සදහන් කරලා තියෙනවාලු. නමුත් අපේ අම්මාගේ වයසේ අය ඒවා අහන්නේ නෑලු. කුප්පි ලාම්පු එලියෙන් රෑ පුරාම මේ පොත් කියවනවා ලු.

මම කියන්න යන්නේ ඩීමන් ආනන්ද මහත්මයා ගැන නෙමේ. එතුමා අපේ පරම්පරාවට අයිති කෙනෙක් නෙමේ. එතුමාගෙන් පස්සේ අපට භීෂණ නවකතා කියවන්න හම්බ උනා නම් හම්බ වෙන්නේ භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාගේ කෘති වල.

එතුමාත් අපි ආස කරන විදිහේ භීෂණ නවකතා කිහිපයක් ලියලා තියෙනවා.


මේ පොත් ලියවිලා තියෙන්නේ කාලානුරූපී ව. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ සමාජයේ තිබ්බ දේවල් පදනම් කරගෙන. කොටින්ම ඒ කාලේ ගෙවල්වල එලිය කරන්න තිබ්බේ කුප්පි ලාම්පු. ඒ වගේම ඒ කාලේ අඳුරු පරිසරය. කැලෑ බද පාරවල් වගේ දේවල් මත තමයි මේ නවකතා ලියවිලා තියෙන්නේ.

ඒ නිසා මේ පොත් කියවන කාට උනත් මේ කතාව සිද්ධ වෙච්ච පරිසරයේම ඉදලා කතාව කියවනවා වගේ හැඟීමක් දැනෙනවා. මේ නිසාම මේ පොත් වලත් රෑට කියවීමෙන් වලකින්න කියන වාක්කිය ලියවිලා තියෙනවා. අනිත් එක තමයි භද්‍රජී මහත්මයා ලියන හැම අකුරකම කුතුහලය නොඅඩුවම තියෙනවා.

මේ නිසාම අපිට පොත අතට ගත්තහම එක හුස්මටම කියවලා ඉවර කරන්න ආස හිතෙනවා. කොච්චර පාඩම් වැඩ තිබ්බත් හොරෙන් හොරෙන් හිත යන්නෙම ඒ පොතේ ඊලඟට මොනවා වේද කියලා දැනගන්න කුතුහලයට. මේ නිසාම අපි තියෙන අටෝරාසියක් වැඩ පැත්තක දාලා මේ පොත් කියවලා ඉවර කලා.

එතුමා ලියපු භීෂණ කතා පොත් තුනක් තියෙනවා. (පස්සේ කාලෙක ලියපු සමහර පොතුත් භීෂණ ගණයට වැටෙනවා )

1. සඳ වියරුව -
මේ පොතෙන් කියවෙන්නේ වෘක මිනිස්සු ගැන. වෘක මිනිස්සු හඳ එළියට වෘකයින් බවට පත් වෙන එක. මේ මිනිස්සුන්ව මරන්ඩ ඊයම් උණ්ඩයකින් හදවත පසාරු කරගෙන යන විදිහට වෙඩි තියන්ඩ ඕන ය වගේ නොයෙකුත් කතා රාශියක් මේ පොතෙ එන කතාවේ තියෙනවා.

2. බෝදිලිමාගේ සාපය -
මේ පොතේ එන කතාවේ තියෙන්නේ බදුල්ල පැත්තේ රස්සාව කරන බැංකු සේවකයෙක්ට මුහුණ පාන්න සිද්ද වෙන අත්භූත සිදුවීම් පෙලක්. ඒ කාලේ මිනිස්සු විශ්වාස කරපු බෝදිලිමාගේ සාපයක් ගැනත් මේ පොතේ කියවෙනවා. බෝදිලිමා කියන්නේ ලමේක් හම්බ වෙන්ඩ ගිහින් මැරිච්ච ගෑනු කෙනෙක්ගේ ආත්මයක් ය මේ ආත්මය මිනිස්සුන්ට වින කරනවා ය වගේ දේවල් කිහිපයක් මේ පොතෙන් කියවෙනවා.

3. දුර කඳු මත අකුණු -
මේ පොතෙන් කියවෙන්නේ පිටසක්වල ජීවින් ගැන. පිට සක්වලින් ආපු ජීවින් කොටසක් පෘතුවියේ ජීවීන්ගේ ජීවිත පාලනය කිරීමක් ගැන මේ පොතේ කියවෙනව. ඊට අමතරව මේ පොතේ මල-නොමල ආත්මයක් ගැනත් කියවෙනවා.

ඔය පොත් තුනම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සර්වෝදය විශ්ව ලේඛා ප්‍රකාශකයෝ.

මම කාලයක් තිස්සේ ඔය පොත් තුනම හෙව්වා. පස්සේ පස්සේ තමයි ඔය පොත් තුනම හම්බ උනේ. මේ පොත් සෙට් එකම දැන් මුද්‍රණය වෙන්නේ නෑ. ඒ නිසා පොත් ටික හොයාගන්ඩ ටිකක් අමාරුයි.

නමුත් තව ටික කාලෙකින් මේ පොත් ටික ජයශංඛ මහත්මයා නැවත මුද්‍රණය කරන්ඩ බාර අරගෙන තියෙන නිසා ආයේම පාඨකයින්ට කියවන්ඩ අවස්ථාවක් ලැබේවි.

නමුත් ඒ කාලේ අපි පොත් කියවපු තරම් රසයක් විඳින්න ලැබේද කියලා නම් කියන්න අමාරුයි. මොකද ඒ පරිසරය ඒ රූපරාමු දැන් ඉන්න අයට එච්චරම අත් විඳින්න ලැබෙන්නේ නැති එක මේකට හේතුවක් වේවි. ඒත් මේ පොත් සෙට් එකම එක හුස්මටම කියවගෙන යන්න පුලුවන් ලස්සන කතා තුනක්. ඒ නිසා ඕනම කෙනෙක් මේ පොත් සෙට් එකම ආසාවෙන් කියවා වි.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.