අද ලෝක කම්කරු දිනය සමරන මැයි පළවෙනිදාවක්. ලංකාවේ අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්නට අනෙකුත් ආයතන වල නිවාඩු දිනයක් විදිහට අනුමත වෙච්ච දිනයක් අද. අපේ ආයතනයටත් අද නිවාඩු දිනයක් උනත් මම වැඩ කරන සේවාදායකයා අද ලංකාවට එන නිසා මට අද නිවාඩුව ගන්ඩ උනේ නෑ.
ඒ නිසා මම අද වැඩට එන්ඩ උදෙම්ම ගෙදරින් පිටත් වෙලා පොඩි පන්සල ලඟ බස් නැවතුමට ආවා. ඇවිදින් පෑ කාලක් යනකොටත් බස් එක ආවේ නෑ..
"අද මැයි පළවෙනිදා හින්දා බස් අඩු ඇති. අපි ඉස්කෝලේ හන්දියට පයින් ගිහිං එතනින් නිවුඩාව බස් එහෙකවත් යං" අපේ තාත්තා යෝජනා කලා.
වරු ගනං මෙතන බලං ඉන්නෙකේ තේරුමක් නැති හන්දා මං තාත්තගේ යෝජනාවට කැමැත්ත පළ කරලා ඉස්කෝලේ හන්දියට ආවා.
ඉස්කෝලේ හන්දියට ඇවිල්ලත් ටික වෙලාවක් යනකන්ම බස් එකක් ආවේ නෑ. ඒ වෙනකොටත් බස් එකක් ආවේ නැති හන්දා බඩට මොනාහරි දාගෙනම එනවයි කියලා හිතලා මම ඒ ලඟ කඩේකට ගොඩ උනා.
ඒ කඩේ තිබ්බේ බනිස් ජාතිම විතරයි. මායි අපේ තාත්තයි මාලු බනිස් දෙකක් ගත්තා. කඩේ මුදලාලි ඒ බනිස් දෙක සිලි සිලි බෑග් එහෙක දාලා දෙන්න හැදුවා.
මම ඔය පොලිතින් වලට අකමැති හන්දා "බෑග් ඕන නෑ... අපට පත්තර කොලේක ඔතලා දෙන්න කියලා" ඉල්ලීමක් කලා.
මුදලාලිත් අතට ගත්තු සිලි සිලි බෑග් එක මේසේ උඩින් තියලා බනිස් දෙකක් ෂෝකේස් එකෙන් අරන් කොලේක ඔතලා දුන්නා. මම බනිස් වල ගාන ගෙවලා බෑග් එකට දාගත්තා.
ඉන් ටික වෙලාවකට පස්සේ නිවුඩාව බස් එකක් ආවා. අපි දෙන්නා ඒ බස් එකට ගොඩවෙලා පානදුරේට එන්ඩ පිටත් උනා. ඒ එන අතරමග බනිස් කෑවා.
ඊට පස්සේ මාලු බනිස් ඔතලා තිබ්බ කෝලේ ඒ පැත්ත මේ පැත්ත පෙරරලා බලනකොට අපූරු ජනප්‍රවාද කතාවක් තිබ්බා. මාත් ඔය ජනප්‍රවාද කතා ජන කතාවලට ආස කෙනෙක් නිසා මට ඒ පත්තර කෑල්ල රන් පතක් වාගේ වටිනවා කියලා ආයේ කියන්ඩ ඕනෑ නෑ නෙහ්.
මේ කතාව ලියලා තියෙන්නේ සඳරුවන් ලොකුහේවා කියලා මහත්තයෙක්.
ඒ කතාව තමා අද ලිපියේ මාතෘකාව. මං මෙච්චර වෙලාවක් පඳුර වටේ තල තලා උන්නෙත් ඔය කතාව කියන්ඩ. එහෙනං කතාව අහගම්මු.
ඒ දවස්වල ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ පවුල් තිහක් විතර යැපුනේ හේන් ගොවිතැනෙන් ලූ. ඒ අයට වෙල් ගොවිතැන් කරන්ඩ හරිහමන් විදිහට වතුර හොයාගන්ඩ ක්‍රමයක් තිබ්බේ නෑලු. මේ ප්‍රශ්නයට විසදුමක් හොයාගන්නෙක බාර වෙලා තිබ්බේ ගමේ ගමරාලට ලූ. මේ නිසා ගමේ ගමරාල හොඳ විසදුමක් කල්පනා කලා.
උන්දෑ ගමේ හිටපු තරුණයෝ එකතු කරලා දිය පහරක් හරස් කරලා අමුණක් බැන්දා ලු. අමුණ බඳින්ඩ තරුණයෝ වැඩට ආපු නිසා එයාලගේ හේන් වල වැඩ කරන්ඩ, හේන් රකින්ඩ කවුරුවක්කත් නැති උනාලු. මේ නිසාම හේන්, ටිකෙන් ටික පාලු වෙන්ඩ ගත්තා ලු. මොකද තරුණයෝ අමුණේ වැඩ කරනකොට එවුන්ගේ ගෑනු උන්දැලා කෑම උයන් එන නිසා හේන පැත්තේ යවන්ඩ මෙලෝ එකෙක් උන්නේ නෑ ලු.
තම තමන්ගේ හේන් පාලුවෙන එක දැකපු තරුණයෝ ටිකෙන් ටික අමුණේ ඉවර වෙනකොට කුඹුරු අස්වද්දන්න එන්නේ නැතුව මගෑරියා ලු. තරුණයෝ මෙහෙම මග අරින එක දැකපු ගමරාල කුඹුරු අස්වද්දන්න උපායක් කල්පනා කලා ලු.
තමන්ට පරම්පරාවෙන් ලැබිලා තියෙන මන්තර සාස්තර ප්‍රයෝජනයට ගන්ඩ හොඳ වෙලාවක් මේක කියලා හිතපු ගමරාල, පුස්කොල පොත අතට අරගෙන බැලුවාලු. ඒ පුස්කොල පොතෙන් යක්කු බැඳගෙන වැඩ ගන්න විදිහ කියවලා හොඳ බන්ධනයකින් යකෙක්ව බැදගත්තා ලු.
යකාත් ඉතිං හාවක් හූවක් නැතුව එක දිගටම වැඩ ලූ.
යකා කොච්චර වැඩ කලත් පෝය දෙකක් විතර ගෙවෙනකොටත් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ලියැදි තුන හතරයි ලූ. ඇයි ඉතිං කැලේ කපලා ලියැදි හදලා කුඹුරක් කරන එක ස්වල්ප කාරියක් යෑ.
ඊට පස්සේ ගමරාල,
"යකෝ, උඹ යකෙක් වෙලත් තාම ඉවර කලේ ලියැදි දෙකද ?" කිය කියා බනින්ඩ ගත්තාලු.
යකාට ලැජ්ජා හිතුනා ලු. (නෝන්ඩි කරනකොට යකෙක්ට උනත් ලැජ්ජා හිතෙන එක සාධාරණයි නෙහ්.)
යකා ඊට පස්සේ තමන්ගේ සේනාවම එකතු කරගෙන ඇවිත් එක රෑකින් මුළු යායම අස්වද්දලා දුන්නලු. ගමරාලට සෑහෙන සතුටුයි ලූ. ඊට පස්සේ ගමරාල තමන්ගේ බන්ධනය කපලා යකාව නිදහස් කරලා යැවුවා ලූ.
ඒ විතරක් නෙමේ,
ගමරාල තමන්ගේ ගමේ උන්නු සේරම පවුල් ටික එකතු කරලා " ඕං යායම බෝ වෙලා තියෙන්නේ. තමන් කැමති කොටස වෙන් කරගෙන වපුර ගන්න එකයි ඇත්තේ" කියලා කිව්වා ලු.
කට්ටිය තම තමන්ගේ කොටස වපුරගෙන මුළු යායම නිලට නිලේ දිලෙන කුඹුරු යායක් බවට පත් කලා ලු.
පස්සේ කාලෙක ගමේ ගමරාල මියෑදුනාලු. උන්දෑ මියෑදිලා දෙවි කෙනෙක් බවට පත් උනාලු. එදා බෝ කරපු කුඹුරු අයිති වෙලා තිබ්බ ගම පස්සේ කාලෙක බෝවෙල කියලා හැදින්නුවා ලු.
බෝවෙල කුඹුරු අස්වද්දන්න මුල් වෙලා වැඩ කරපු ගමරාල "බෝවෙල දෙවියෝ" විදිහට හැදින්නුවා ලු.
ඔන්න ඕකයි ඒ පත්තර කෑල්ලේ තිබ්බ කතාව.
එහෙනං මම ගියාවේ.
මෙන්න ඒ ලිපිය
ReplyDeletehttp://www.lankadeepa.lk/sunday/rasawitha/%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%96-%E0%B6%9C%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD-%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%BD-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92/57-510771
ජනප්‍රවාදවලට මාත් කැමතියි. ඒ හින්දම මේකත් කැමැත්තෙන්ම කියෙව්වා.
ReplyDeleteජයවේවා!!!