23 April 2017

මම සහ මගේ නැකත

අද 2017 වසරේ අප්‍රේල් 23 වෙනිදා !

මගේ ජීවිත කතා පොතේ අලුත්ම පිටුවක් පෙරලපු දවසක්.

තවත් සරලවම කියනවා නම් මගේම මහන්සියෙන් මගේ වියදමෙන්ම ඉදිකරපු මගේම ගෙයි පදිංචියට ගිය දවස අද.

අද උදේ තමයි අළුත් ගෙයි පදිංචියට ගියේ.

මම ගේ හදන්න පටන් ගත්තේ 2016 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා. ගොඩක් අය සුබ වෙලාවල් බලලා, බහිරව පූජා තියලා ගෙපැල කපන්න පටන් ගත්තත් මම ඒ කිසිම දෙයක් කලේ නෑ..

මගේ ආදරණීය රූමා (දනා) ඇඳලා දීපු ප්ලෑනට තමා මං ගේ හැදුවේ. ගෙයි වාස්තු දෝස එහෙම බලලා නෑ මේ වෙනකන්. බලන්න අදහසකුත් නෑ. මම දනාට කිව්වේ "මචං මට කාමර තුනකුයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි තියෙන තනි තට්ටුවේ ගෙයක ප්ලෑනක් ඇඳලා දීපං" කියලා විතරයි.

මම හිතුවටත් වඩා ලස්සනට ඒකා මට ඒ වැඩේ කරලා දුන්නා.

ඔය සුබ වෙලාවක් කියන්නේ මගේ මතයට අනුව මිනිස්සු හදාගත්තු මනස්ගාත !

මගේ ජීවිතේ කිසිම දෙයක් නැකතක් අනුව සිද්ධ වෙලා නෑ. ඒ නිසා මම ඔය කිසිම දේකට නැකැත් පස්සේ දුවන්නේ නෑ.. අනිත් දේ තමා උපදින එකයි මැරෙන එකයි සිද්ධ වෙන්නේ නැකතක් නැතුව නම් ජීවත් වෙලා ඉන්න ටිකේ මොන නැකත් ද ?

මම ආගමික වතාවත් ඉෂ්ඨ කරලා ගේ පැල කපන්න මුල්ම පස් පිඩැල්ල කැපුවා. ඔන්න ඔච්චරයි මම නම් කලේ.

ඒ විතරක් නෙමේ ගෙයි ප්‍රධාන උළුවස්ස තියන්නවත් මම නැකතක් බලලා නෑ. ප්‍රධාන උළුවස්සෙන් කුකුලෙක් පන්නලා යන්න ඕන කියලා කට්ටිය එකේක කතා කිව්වා.

මම නම් ඒ කිසිම දෙයක් කලේ නෑ.. මගේ ගෙයි ප්‍රධාන උළුවස්සෙන් මම මිසක් කුකුල්ලු පන්නන්න ඕන යෑ. ඒ නිසා මමම පලවෙනි වතාවට ආවා. :)

මම ගෙයක් හදනවා කියලා දැනගත්තහම මගේ ගොඩක් යාළුවෝ ඇහැව්වෙම "උඹ ලෝන් එකක් දැම්මද ?" කියලා. මගේ උත්තරේ "නෑ" කියලා දැනගත්තහම උන් කිව්වේ අනිවා ලෝන් එකක් දාලාම වැඩෙට බැහැපන් නැත්තං වැඩේ වෙන්නේ නෑ කියලා.

සමහරු මගේ මූනටම කිව්වේ ඔය ගේ නං හැදෙන එකක් නෑ මල්ලි කියලා.

මම ඔය කතා ගණනකට ගත්තේ නෑ. මගේ හිත කිව්වේම ලෝන් දාලා අවුරුදු ගණන් ගෙවනවට වඩා උබට තියෙන විදිහට හිමින් ගේ හදපන් කියලා. සමහරු නිවාස ණය අරන් අවුරුදු 10-15 ගෙවනවා මම දැකලා තියෙනවා. 

මට මේ වෙනකොට සතයක්වත් බැංකු ණයක් අරන් නෑ.. ජීවිතේ කවදාවත් අරගන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ පැත්තෙන් බැලුවත් මම මේ වෙනකන් ආ මඟ ගැන සතුටක් මිසක් දුකක් නෑ..

අද මම මේ පෝස්ට් එක ලියන්නෙත් ඒ ගෙයි ඉදලා. මගේ මහන්සියෙන් උපයපු මුදලෙන් ඉදි කරපු මේ ගෙයි බිත්ති හතර ඇතුලේ ඉන්නකොට මගේ හිතට සෑහෙන සතුටක් දැනෙනවා. ඒ සතුට මාව සෑහෙන කාලයක් ජීවත් කරාවි. එච්චරයි මගේ හිතට මේ වෙලාවේ එන සිතුවිල්ල.

එහෙනම් මම ගියාවේ... ජය වේවා !

3 comments:

  1. සුභ පැතුම් මධුරංග. තමන්ගෙම කියලා ගෙයක් තියෙනව කියන එක හිතට කොච්චර සැනසීමක්ද. අපිත් ගේ හදන්න පටන් ගත්තා.

    ReplyDelete
  2. සුබ පැතුම් මධූ. කුකුලෙක් පන්නන කතාව නම් මම මේ ඇහුවමයි.

    ReplyDelete
  3. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.