24 September 2017

මගේ පොත් පිස්සුව

භද්‍රජී මහින්ද ජයතිලක කියලා කියන්නේ මම කැමතිම ලේඛකයා කියලා මම කලින් ලිපියකත් සදහන් කලා මතක ඇතිනේ. මම භද්‍රජී මහත්මයාගේ රසිකයෙක් උනේ බඹරවිලේ හොල්මන පොත කියෙව්වට පස්සේ.

ඒක එක හුස්මටම කියවගෙන යන්ඩ පුලුවන් පොතක්.

පොතේ එන කතාව ඉතාම කෙටියෙන් කියනවානම් මෙහෙමයි.

රූපට් හීන්දෙනිය ජීවත් උනේ බඹරවිල ප්‍රදේශයේ ඔහුගේ තුන් මාසේ පින්කමෙන් පස්සේ ගෙදර එක එක අත්භූත දේවල් සිද්ධ වෙන්න ගත්තා. ඒ ගෙදර හිටපු අය මේ අත්භූත සිදුවීම් නවත්තන්න එක එක දේවල් කලා. මේ එකක්වත් හරි ගියේ නෑ.

මේ නිසා රූපට් හීන්දෙනියගේ යහළුවෙක් වෙලා හිටපු කෙනෙක්ට එන්න කියනවා. ඔහු ගෙදර ඇවිත් මේ සිදුවීම් වල ඇත්ත නැත්ත හොයා ගන්නවා. මේක නිකන්ම නිකන් බය හිතෙන කතාවක් නෙමේ.

මේක මනෝකාය, විශ්ව ශක්තීන්, චක්‍ර ගැන මතුපිටින් පාඨකායට කියාදෙන පොතක්. මම කලිනුත් කිව්වා වගේ පොත කියවන්න පටන් ගත්තට පස්සේ එක දිගටම නවත්වන්නේ නැතුවම කියවගෙන යන්න පුලුවන් විදිහට මේ පොත ලියලා තියෙනවා.

ඉස්කෝලේ කාලෙදි මේ පොත කියෙව්වට පස්සේ මට ආසාවක් ආවා මේ පොත ආයේ කියවන්න. මම හැම පොත් සාප්පුවකම හොයලා බැලුවා මේ පොත ගන්න තියේද කියලා.

ම්හු... !

මේ පොත එක පොත් සාප්පුවකවත් තිබ්බේ නෑ. මගේ හිතේ තිබ්බ ආසාව එහෙම්මම යටපත් උනා. ඒත් මම උත්සහය අතෑරියේ නෑ. මම අන්තර්ජාලය පුරාම හොයලා බැලුවා.

අන්තිමේ දී මට මේ පොත   මුද්‍රණය කරපු සරස්වතී ප්‍රකාශකයන්ගේ දුරකතන අංකය හම්බ උනා. මම ඒගොල්ලන්ට  කතා කරලා ඇහැව්වා මේ පොත ගන්න තියේ ද කියලා.

ඒ දුරකතන ඇමතුමෙන් පස්සේ මගේ හිතේ මේ වෙනකොට මලානික වෙලා තිබ්බ මේ පොත කියවීමේ ආසාව ආයේ දළු ලා වැඩෙන්න ගත්තා. ඒකට හේතු උනේ ඒ අය ගාව මේ පොත තාමත් තියෙනවයි කියලා කියපු හන්දා.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය ඉන්නේ දිවුලපිටියේ !


මට එහෙට යන්න වෙනවා මේ පොත ගන්ඩ. මම සෙනසුරාදා දවසක උදෙම්ම දිවුලපිටි ආවා මේ පොත ගන්ඩ. අපේ අම්මා මට බැන්නත්තෙක්ක මොහොකට පොතක් ගන්ඩ ඔච්චර දුර යනවද කියලා. ඒත් මගේ හිතේ තිබ්බ ආසාව සුළුපටු නෑ.

මම දිවුලපිටිය ටවුමෙන් බැහැලා සරස්වතී පොත් සාප්පුව හොයා ගත්තා. මම ඒකෙන් මේ පොත ගත්තා. පොතේ ගාන රු. 120යි.

පරණම මුද්‍රණයේ පොතක්. ඒකට ඩිස්කවුන්ට් එක එකතු උනහම පොතේ ගාන රුපියල් 90ක් විතර උනා. මට යන්ඩයි එන්ඩයි බස් ගාස්තුවම රුපියල් තුන්සීයයකට කිට්ටු වෙන්ඩ ආවා.

මම ඇහුවා භද්‍රජී මහත්මයාගේ වෙන පොත් නැද්ද කියලා. ඒ ගොල්ලෝ මුද්‍රණය කරපු තීර්ථය කියලා පොතකුයි යෞවන පුරෝගාමියෝ කියලා පොතකුයි බොඳ දිය සායම් කියලා තවත් පොතකුයි තිබ්බා. මම ඒ පොත් තුනමත් ගත්තා.



ඊටපස්සේ ලොකු ආසාවකින් මම ආයෙම ගෙදර එන්ඩ හැරුනා. ගෙදර ආපු ගමන්ම වගේ මම කලේ බඹරවිලේ හොල්මන පොත කියවපු එක. තාමත් එදා කියෙව්වා වගේම රසයෙන් බිදක්වත් අඩුවෙන්නේ නැතුව ආසාවෙන් කියෙව්වා.

මේක තමයි මම මගේ ජීවිතයේදී පොතක් හොයාගෙන ගියපු වැඩිම දුර. නැත්නම් මම පොත් ගන්නේ මරදානෙන් එහෙම නැත්නම් පානදුරේ පොත් සාප්පු වලින්.

2 comments:

  1. මමත් භද්‍රජිගෙ පොත්වලට හුඟක් කැමතියි. මම මුලින්ම කියෙව්වෙ භද්‍රජිගෙ සක්වල වහල්ලු කියල ළමා කතාවක්. අවුරුදු 25 කටත් කලින් මම හිතන්නෙ. දැන් නම් කතාවවත් මතක නෑ. ඊට පස්සෙ කාලෙක කියෙව්ව ශ්‍රි රාවණ්ණා පුවත පොත. ඒ පොත නිසා තමයි මම එයාගෙ පොත්වලට කැමති උනේ. ඉන්පස්සෙ 97-98 වගේ කාලෙ සිළුමිණ පත්තරේ ගියා සැන්දරසං ඇත්තො කියල භද්‍රජිගෙ කතාවක්. මම පත්තරේක කොටස් වශයෙන් නොකඩවා කියවපු එකම කතාව ඒක වෙන්න ඕන. ඒ පිටු ටික මම එකතු කළා, 2004 සුනාමියෙන් පස්සෙ ඒව විසිකරන්න උනා. පහුගිය කාලෙ භද්‍රජිගෙ පොත් මුද්‍රණයෙ තිබුනෙ නෑ. මේ පාර මම පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා කලින් කියවලත් තිබුණු පවුරු බැඳි රාජ්‍යය පොතයි, ප්‍රෙසනජිත් කියල පොතකි. මධුරංග ගතිපු පොත් ටික මටත් ගන්න තිබුන නම් හොඳයි. දුර ටිකක් වැඩි එක තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකනේ.
      ඔන්ලයින් ගෙන්න ගන්න ක්‍රමයක් තිබ්බා නම් මරේ මරු.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.