12 July 2018

සිත නිවන කළුගල ආරණ්‍යය සෙනසුන

මාකෙළි ඇල්ල බලන්න ගිහින් සතියකට දෙකකට විතර පස්සේ මම වැඩ කරන තැන යාළුවෝ කිහිප දෙනෙක් සෙට් කරගෙන කළුගල ආරණ්‍යය බලන්ඩ යමු කියලා කතා උනා. කළුගල ආරණ්‍යය විතරක්ම ගිහින් එන එක අපරාදේ නිසා මාකෙළි ඇල්ලත් බලාගෙනම යමුයි කියලා තමයි පස්සේ අපේ සැට් එක තීරණය කලේ.

මුලින් මුලින් අපේ කන්තෝරුවේ වැඩ කරපු අයගෙන් සීමිත කොටසක් තෝරා බේරාගෙන ආරාධනා කරන්නයි අපි හිතන් හිටියේ. මොකද අපි යන්න උන්නේ කාර් දෙකක නිසා වැඩි පිරිසක් ගෙනියන එක කරන්න බෑ. ඒ නිසා කාර් දෙකට හරියන පිරිසක් තෝරන්න මුලින් මුලින් අපහසු උනා. මොකද එකෙක්ට කියලා අනිත් එකාට නොකිය හිටියොත් ඌ තරහා වෙනවා.

ඌට කියලා තව එකෙක්ට නොකිව්වොත් අරූ තරහා වෙනවා. ඒ නිසා අපි සීමිත පිරිසක් තෝරාගත්තා.

ට්‍රිප් එක ලෑස්ති කරනකොට කාර් දෙකට වඩා වැඩි පිරිසක් හිටියා. පස්සේ පස්සේ එකා දෙන්නා හැලිලා ගිහින් අන්තිමේදි දෙන්නයි ඉතුරු උනේ. මමයි කාර් එකක් අයිති අපේ යාළුවෙකුයි.

මොනවා කරන්නද ?

අපි දෙන්නා මේ ගමන එන්ඩ තීරණය කලා.අපි දෙන්නා කතා කර ගත්තේ හොරණ හරහා ගිහින් පාහියංගල බලලා එතැනින් මාකෙලි ඇල්ල බලන්න්න කියලා. ඊට පස්සේ කළුගල ආරණ්‍යය බලන්න තමයි අදහස උනේ.

මගේ යාළුවා කොහිලවත්ත පැත්තේ එක්කෙනෙක්. ඒ නිසා එයා කොළඹ ඉදලා හයිවේ එකෙන් ගැලනිගමට ආවා. මම කාර් එකට ගොඩ උනේ ගැලනිගම හරියෙදි. එතන ඉදලා අපි දෙන්නා අනිත් සෙට් එකට බැන බැන හොරණට ආවා.


හොරණ ඉදලා මට හුරු පුරුදු පාරෙන් ඒ කියන්නේ හොරණ අඟුරුවාතොට පාරෙ බැල්ල පිටියට ආව. එතැන ඉදලා නාරගල කොබවක හරහා ඈගල් ඔයටත් ඈගල් ඔයේ ඉදලා බුලත්සිංහල ඔර්ලෝසු කණුව ගාවටත් ආවා.

බුලත්සිංහල ඔර්ලෝසු කණුව ගාවින් අපි පාහියංගල පාරට හරවලා පාහියංගල විහාරෙට ආවා. මම කලින් ලිපියක ලියලා තියෙන නිසා පාහියංගල ගැන වැඩි සදහනක් කරන්නේ නෑ.

පාහියංගලට ඇවිත් ටික වෙලාවකින් අනෝරා වැස්සක් කඩා වැටුනා. පාහියං ලෙන ඇතුලේ හිටපු නිසා අපි වැහි හිරිකඩෙන් ආරක්ෂා උනා.

වැස්ස ටිකක් තුරල් වෙනකන් ඉදලා අපි දෙන්නා ආයෙමත් ප්‍රධාන පාරට ආවා.

ප්‍රධාන පාර කිව්වේ බුලත්සිංහල මෝල්කාව පාරට.


ඒ පාරේ අපි මෝල්කාවට ඇවිත් එතනින් මාකෙළි ඇල්ල බලන්න ආවා. වැස්සත් එක්ක මාකෙළි ඇල්ල වෙනදා වගේම සරු සාරෙට කඩාගෙන හැළුනා. අපි ඒ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ආපහු මෝල්කාව හන්දියට ආවා.

මේ වෙනකොට උදේ 7-8ත් අතර වෙලාවක් නිසා අපි උදේ කෑම කළුගල ආරණ්‍යයට ගිහින් කමුයි කියලා හිතලා ගමනේ ඉතුරු ටිකත් ආවා.

මෝල්කාව හන්දියෙන් ලත්පඳුර පාරේ ලත්පඳුර හන්දිය වෙනකන් ආවා. ලත්පඳුර හන්දියේදි අපි වාහනය බදුරලිය දිහාවට හරවලා ටික දුරක් යනකොටම දකුණු අත පැත්තේ බෝඩ් එකක තිබ්බා කළුගල ආරණ්‍යයට යන පාර කියලා.

අපි ඒ පාරෙන් හරවලා කිලෝමීටර් පහ හයක් ආවා. ඒ ඇවිත් පාරේ උන්නු අයගෙන් අපි ආරණ්‍යයට යන පාර ගැන ඇහුවා. අපරාදේ කියන්ඩ බෑ ඒ මිනිස්සු අපිට හරියටම පාර කියලා දුන්නා.

ගූගල් සිතියම් වල තාම කළුගල ආරණ්‍යය ගැන සදහන් වෙලා නෑ. ගූගල් සිතියම් වල තියෙන්නේ කිතුල්ගල පැත්තේ තියෙන ආරණ්‍යයක් ගැන විස්තර. ඒකත් කළුගල කියලා නම තියෙන ආරණ්‍යයක්.

අපි ආ මග ගැන කෙටියෙන් සදහන් කරනවා නම්,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය හන්දිය > බුලත්සිංහල > පාහියංගල > මෝල්කාව > මාකෙළි ඇල්ල > ලත්පඳුර > කළුගල ආරණ්‍යය

කළුගල ආරණ්‍යය විතරක්ම බලලා එන්න යනවා නං දොඩන්ගොඩ පිවිසුමෙන් මතුගම අගලවත්ත හරහා කළුගලට එන්න පුලුවන්. හැබැයි මාකෙළි ඇල්ල පාහියංගල යන දෙකත් බලලාම එන්න යනවා නං තමා ගමන වඩාත්ම සාර්ථක වෙන්නේ. නැත්නම් දවසෙන් බාගයක් විතර අපරාදේ. අපි උදේ හයට පිටත් වෙලත් හවස තුන හතර වෙනකොට මේ සේරම බලලා ගෙදර එන්නත් පුලුවන් උනා.

හරි ඒවයින් කාරි නෑ.

කළුගල ආරණ්‍යය කිට්ටුවම තියෙන රථ ගාලක අපි වාහනය නැවැත්තුවා. එතැන ඉදලා කිලෝමීටරයකට වඩා දුරක් පයින් කැළේ ඇතුලේ ගමන් කරන්න ඕන.ගමන පටන් ගන්නේ මේ වගේ ලස්සනට ගල් අතුරපු පාරකින්.
මේ පාර කැළේ ඇතුලට යන අඩි පාරකින් අවසන් වෙනවා. එතැන ඉදලා අපි ඇතුල් වෙන්නේ කුරුල්ලන්ගේ කීචී බීචී නාදයෙනුයි ගලායන දිය පහරවල් වල නාදයෙනුත් පොහොසත් තෙත් කලාපීය වනාන්තරයකට.අඩියෙන් අඩිය වනය ඇතුලට ගමන් කරනකොට පුදුමාකාර නිස්කලංක බවකින් හිත පිරී යනවා.

අපි තව දුරටත් කැළේ ඇතුලට ගමන් කලා. මිනිස් පුලුටක් දකින්න හම්බ වෙන්නෙත් එහෙමත් වෙලාවක.
අපි ගියේ වැස්ස කාලෙක නිසා පොඩි පොඩි දිය පාරවල් එහෙම ගොඩක් දකින්න හම්බ උනා. ඒ වගේම තමා කුඩැල්ලන්ගෙන් අපිට සෑහෙන කරදර විඳින්නත් සිද්ද උනා. එකෙක් ගලවලා ඉවර වෙනකොට තව එකෙක් එල්ලිලා. ඌව ගලවනකොට තව එකෙක්. ඒ නිසා වහින කාලෙක යනවා නම් කුඩැල්ලන්ට එල්ලෙන්න බැරි වෙන්න සිද්ධාලේපයක් එහෙම අරගෙන යන්ඩ.
තව තවත් කැළේ ඇතුලට ගමන් කරනකොට මෙන්න මේ වගේ පොඩි පාලම් දෙකක් පහු වෙනවා. අපි ඒ පාළම් දෙකේ ටික වෙලාවක් ඉදලා යන්න අමතක කලේ නෑ.
ඒ පාළම් දෙක ඉවර උනාට පස්සේ පඩිපෙල් වගයක් නගින්න හම්බ වෙනවා. එතැන ඉදලා ගොඩක් දුරට යනකන්ම තියෙන්නේ පඩි පෙළ්.. මේ පඩිපෙල් ටික වැස්සෙන් තෙමිලා තිබ්බ නිසා කූඩැල්ලෝ හැම තැනකම වගේ හිටියා. මේ නිසා අපි පය ඉක්මන් කරලා ගමන් කරන්න පටන් ගත්තා.
පඩි පෙල් සේරම නැගගෙන ගියාට පස්සේ ආයෙමත් තැන්නක් අහු වෙනවා. ඒ හරියත් පහු කලාට පස්සේ තමා අපිට ආරණ්‍යය හම්බ වෙන්නේ. ආරණ්‍යය කිව්වට මේක ආරණ්‍යයම නෙමෙයි. ආරණ්‍යයේ භාවනා කරන හිමිවරුන්ට දානය පිළියෙල කරන දාන ශාලාව. අපි එතැන ටික වෙලාවක් ගිමන් ඇරලා ආරණ්‍යය පැත්තට ආවා.

මුලින්ම අපිට හම්බ වෙන්නේ ඉද්ද මල් වත්තක්. මේ මල් වත්තේ සෑහෙන ඉද්ද මල් පිපිලා තිබ්බා.
ඔය වම් පැත්තට වෙන්න තියෙන්නේ ඉද්ද මල් වත්තෙන් කොටසක්.

එතැන ඉදලා ඉදිරියට ගමන් කරනකොට නිස්සබ්දතාවය ඉතාම වැදගත්. මොකද මේ ආරණ්‍යයේ දැනට භාවනා කුටිවල ස්වාමින් වහන්සේලා භාවනා කරනවා. අපිට ඒ කුටි වලට යෑම තහනම් කරලා තියෙන්නේ.

අපි ඒ ස්වාමින් වහන්සේලාගේ ධ්‍යානයට බාදා නොවෙන විදිහට ආරණ්‍යය වැද පුදා ගත්තා. පහලින් තියෙන්නේ ලෙනක වැඩ හිටින බුදු පිලිම වහන්සේ නමක්. පිරිනිවන් වැඩි බුදු පිළිරුවක්.
 තව දුරටත් ඉදිරියට ගියහම අපිට කළුගල් වලින් නිම කරපු චෛත්‍යයක් දකින්න පුලුවන්. ඒක මෑත ඉතිහාසයේ නිමවෙච්ච හරි අපූරු නිර්මාණයක්.

මේ ආරණ්‍යය පිහිටල තියෙන පරිසරයේ ඉදන් අවට බැලුවහම හැම අතින්ම පේන්න තියෙන්නේ ගහ කොළවලින් වැහිච්ච කඳුවැටි. පින්තුර වලින් බලනවාට වඩා ඒ පරිසරය අතිශයින්ම සුන්දරයි.

මේ ආරණ්‍යය සේනාසනය ඉදි කරන්න මූලිකව කටයුතු කරලා තියෙන්නේ දොන් පිලිප් සමරදිවාකර කියලා මහත්මයෙක්. මෙතුමා බ්‍රහ්මචාරි දිවියක් ගත කරපු මහත්මයෙක් කියලයි අපිට දැනගන්න හම්බ උනේ.

අපි කළුගල ආරණ්‍යයේ ටික වෙලාවක් ගත කරලා ආපහු ගෙවල් බලා එන්න පිටත් උනා. ඇත්තටම මේක ඉතාම කෙටි සුන්දර ගමනක්.

ඒ වගේම තමා මේ ආරණ්‍යය සේනාසනයට දින තුන්සිය හැටපස් දවසෙම දාන මාන ලැබෙන නිසා පිට කෙනෙක්ට දානයක් බාර අරගෙන දෙන්න වෙන්නේ නෑයි කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඒ නිසා පිටින් දානයක් දෙන කෙනෙක්ට නම් මේ ආරණ්‍යයෙ හිමි වරුන්ට දානයක් දෙන්න ලැබෙන එකක් නෑ.

ඒ උනත් දවසක ගිහින් භාවනා කරලා එන්න නම් කියාපුම පරිසරයක් තමයි එහේ තියෙන්නේ.

මේක එච්චරම ජනප්‍රිය ආරණ්‍යයක් නෙමේ හින්දද කොහෙද පරිසරයට නම් ඒ තරම්ම හානියක් තවම වෙලා නෑ. හැබැයි දානය පිළියෙල කරන දාන ශාලව හරියේ නම් පරිසරය ආරක්ෂා වෙලා නෑ. තැන් තැන් වල ඉතුරු වෙච්ච දන් ගොඩ ගහලා තිබ්බා. ඒ විතරක් නං මදෑ. ඒ ඒ දායකයෝ ගෙනාපු පොලිතින් මලු වලින් එහෙම කුණු ගොඩ ගැහිලා තිබ්බා.

දානේ උයන්න එන අය පරිසරය ගැන එහෙම ටිකක් විතර හිතුවොත් හොඳයි කියලා තමා මට නම් හිතුනේ.

එහෙනං මම ගියාවේ.

පස්සේ දවසක තුඩුගල ඇල්ල ගැන ලියන්නම්. එතෙක් ජය හා සතුට !

ප.ලි. - මේ ගමනේදි මම ආස කරපු පින්තූරයක් තමා පහලින් තියෙන්නේ. මේක ඉද්ද මලක් !



11 comments:

  1. ස්තුතියි. මඩුවා. උඹ හෙමින් හෙමින් මට කළුතර ඇතුල බලන්න යන්න ආසාව වැඩි කරා.

    ReplyDelete
    Replies
    1. කළුතරදී විය නන්නත්තාර කියල පෝස්ට් එකක් අපිට බලාගන්න පුලුවන් වෙයි එහෙනං.

      Delete
    2. දේශකයා :
      ඔවු ගිහින් එන්න පට්ට ප්ලේස් එකක්.

      ප්‍රසන්න අයියා :
      මොකෝ කලින් එහෙම පෝස්ට් එකක් දාලා තිබ්බ ද ?

      Delete
  2. බොහොම ආසාවෙන් පොස්ටුව කියවූවා. ඔබ අළුබෝමුල්ල සිට කලුගල දක්වා සටහන් කල මාර්ගයේ හොරණ වසර හතළිහක් පමණ පදිංචි වී සිටි කෙනෙක් මම. (දැන්නම් විදේශයක) විස්තරයෙන් මට වසර හැටක් පමණ අතීතයට යන්නට හැකී උනා. මම වසර හැටකට පමණ ඉහතදී කළුගල ආරණ්‍යයට ගියා මීගහතැන්න පැලවත්ත පාරෙන්. ඒ කාලේ හෙවෙස්ස විද්‍යාලයේ විදුහල්පති හිටියේ අපේ බාප්පා කෙනෙක්.ඒ පවුලේ අය සමගයි ගියේ. පහල හෙවෙස්සේ සිට රනේපුරගොඩ හරහා කළුගල ආරණ්‍යයට ගියේ පයින්ම. සැතපුම් තුන හතරක් තිබුනා වගෙයි මතක. ඒ කාලේ රනේපුරගොඩ සිටම තිබුණේ අඩිපාර. අපි කූඞැල්ලන්ගෙන් බේරීම සඳහා පාවිච්චි කළේ සබන්. ඔබගේ විස්තරයේ තිබෙන ස්වභාව සෞන්දර්යය ඒ කාළේ තවත් වැඩියෙන් තිබුනා. අපට කැලේ සිටින දඬු ලේනුන්, වලි කුකුලන්, මීමින්නන් වගේ සතුනුත් දකින්නට ලැබුනා. ගලායන දියපාරවල් රාශියක් හරහා ඒ කාලයේ ගියේ වතුරට බැහැලා. පාලම් තිබුණේ නැහැ. පැරණි පඩිපෙළ සහ ඉද්ද මල් ගස් යාය ඒ කාලයේත් තිබුණා. විනාඩි කිහිපයකට හෝ අතීත මතකයකට ගෙනගියාට ඔබට ස්තුතියි.
    පොඩි වරදක් නිවරදි කරන්නම්. කළුගල යාමට මතුගම හරහා බදුරලියට එනවානම් අධි වේග මාර්ගයෙන් පිටවිය යුත්තේ දොඩන්දුවෙන් නොවෙයි දොඩන්ගොඩින්.
    /පස්සේ දවසක තුඩුගල ඇල්ල ගැන ලියන්නම්./
    මේකත් කියවීමට ආශාවෙන් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. අපූරු විස්තරයක්. ඒ කාලේ මේ පරිසරය හරි අපූරුවට තියෙන්න ඇති.

      Delete
  3. නියමයි මමත් ලඟදි මාකෙලි ඇල්ල බලන්ඩ ගියා

    ReplyDelete
    Replies
    1. එලනේ.
      අර කිව්වත් වගේ බිව්වා ද ?

      Delete
  4. වැලිගල්පොත්ත ආරණ්‍යයටත් ගිහිං එන්න දවසක.... යගිරල රක්ෂිතයෙ තියෙන්නෙ...

    ReplyDelete
  5. I wish I could take such a long trip! Your story is inspirational! It's a real chance to learn something new before the trip.

    ReplyDelete
  6. An ayurvedic donation room for a monk meditating, for some time we went there and came to this place which surprised everyone.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.