අපි සෑහෙන සීතල වතුරකින් නාලා ආපහු ගමන පටන් ගත්තා. නාලා ඉවර උනහම බඩගින්නකුත් ආපු නිස අපි ඉතුරු වෙලා තිබ්බ පානුයි බිස්කටුයි කෑවා. මේ වලාවට උනුවෙන් බත් ටිකක් කන්න තියෙනවා නං කියලා වැඩක් නෑ. නමුත් දුශ්කර ගමනක් යනකොට ඔය වගේ පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි ගෙනාපු දෙයින් සෑහීමට පත් උනා.
මේ වෙනකොට වෙලාව දවල් දොලහා විතර කිට්ටු වෙලා.
දවල් දොළහා කියන්නේ රටේ ඕනම පැත්තකට අවු රශ්මිය වැඩියෙන් දැනෙන වෙලාවක් කියලා දන්නවා නෙහ්. අපි හිටපු කළුපහන හරියටත් එහෙමයි. චණ්ඩ හිරු රශ්මියක් තියෙන වෙලාවක ඇවිදින එකත් ටිකක් විතර එපා වෙන වැඩක්. විටින් විට හමන සුළං ධාරාව නිසා ඒ අවුවේ තිබ්බ රළු බව ටිකක් විතර අඩු කරන්න සමර්ථ උනා කියලා කිව්වොත් හරි.
අපි යකාගේ පඩි පෙළ පාරේ ටික දුරක් ඇවිදිනකොට ඈතින් කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් කඩා හැලෙන හැටි දැක්කා. ඒ තමා අපේ ඊළඟ ගමනාන්තය. ඒ ලංකා ඇල්ල !!
පල්ලෙහා පින්තූරේ ඊ හිසකින් පෙන්නලා තියෙන්නේ ලංකා ඇල්ල. එතැනට යන ගමන ටිකක් දුශ්කරයි. නිශ්චිත පාරක් හදලා නෑ. අඩි පාරක් හොයාගෙන යන්න ඕන.මම ඔය පින්තූරේ අරන් තියෙන්නේ යකාගේ පඩිපෙළ පාරේ ඉදලා. එතැන ඉදලා කැමරා කාචයට දිය ඇල්ල පෙනෙන විදිහ තමා පහල පින්තූරයෙන් දිස් වෙන්නේ.
මිනිස්සුන්ගේ නෙත් මානයට හොරෙන් වන වදුලක සැඟවී තිබෙන නිසාම මේ දිය ඇල්ලට මිනිස්සුන්ගෙන් අකටයුතුකම් වෙලා නෑ. කොටින්ම මේ දිය ඇල්ලට යන පාර තරමක් දුශ්කරයි. ඒ නිසාම ගොඩක් සංචාරකයෝ මේ දිය ඇල්ලට එන්නේ නෑ.
මේ ලිපිය කියවන කෙනෙක් ඉන්නවා නම් ලංකා ඇල්ල බලන්න යන්න ආසාවක් ඉපදෙන්න පුලුවන්. ලංකා ඇල්ල බලන්න යන්න. නමුත් ඒ පරිසරයට ඒ සුන්දරත්වයට හානියක් කරලා එන්න නම් හිතන්න එපා. කොටින්ම ටොපි කොළයක්වත් දාලා එන්න නම් හිතන්න එපා. ඒක අනාගත පරපුරට අපි කරන වැරැද්දක් !
යකාගේ පඩිපෙළේ ඉදලා පාර අයිනෙන් වැටුනු අඩි පාරකින් අපි පහලට බහින්න ගත්තා.ඊට පස්සේ අපි තව දුරටත් දිය ඇල්ල කිට්ටුවෙන් දැක්කා.
අපි තවත් ඒ අඩි පාර දිගේම ඉදිරියට ගමන් කලා. එතකොටම දිය ඇල්ල කන්දකින් වැහිලා නොපෙනී ගියා. අපි ඒත් ඒ අඩි පාරේ දිගටම ගමන් කලා. අඩි පාර ඉදිරියේදී තුන් මං හන්දියක් බවට පත් උනා. අපි වම් පැත්තට තියෙන පාර හරියි කියලා හිතාගෙන ඉදිරියටම ගියත් දිය ඇල්ලට ලං වෙන බවක් නම් පෙනුනේ නෑ.
ඒ හින්දම අපිටම හිතුනා මේ අපි යන්නේ වැරදි පාරකයි කියලා. ඒ හින්දම වහාම හැරිලා අපි අර තුම්මං හන්දියේ දකුණට තිබ්බ පාරට ආවා. එතකොට තමා අපිට ආයෙම දිය ඇල්ල දකින්න හම්බ උනේ.
දිය ඇල්ල ඉලක්ක කරලා කෙලින්ම පාරක් නැති නිසයි අපට පාර වැරදුනේ.
ඒ පාර ඉවර උනේ දිය ඇල්ල පාමුලෙන්. අපි හිතුවටත් වඩා ලස්සන දිය ඇල්ලක් තමයි ලංකා ඇල්ල කියන්නේ. සුදු පාට ක්‍රීම් එකක් වගේ ජළ කඳක් පහලට කඩා හැලෙනවා. බලාගෙන ඉන්න ලස්සනයි.
මම පල්ලෙහායින් පින්තූර දෙක තුනක් දාන්නම්.
මේ දිය ඇල්ලට ලංකා ඇල්ල කියලා නම යෙදෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දිය ඇල්ල පාමුල තටාකය (බේස් පොන්ඩ් එක ) ලංකා සිතියමේ හැඩයට ආසන්න හැඩයකින් පිහිටලා තියෙන නිසා. ඒ කතාවේ ඇත්තකුත් නැතුවම නෙමේ. පල්ලෙහා පින්තූරෙන් ඒක හිතාගන්න පුලුවන්.
අපිත් එක්ක ගියපු යාළුවෙක් දිය ඇල්ල පහලට කඩා හැලෙන අයුරු වීඩියෝ කලා. මම ඒ වීඩියෝ එකත් පහලින් දාන්නම්.
මීළඟට අපිට යන්න ඕන උනේ ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල වෙච්ච බඹරකන්ද ඇල්ල බලන්න. එ හින්දම අපි ඉක්මනින් අඩි පාර දිගේ ඉදිරියටම ගියා.
ඊලඟ ලිපියෙන් බඹරකන්ද දිය ඇල්ල බලමු.
හරිම ලස්සන දිය ඇල්ලක්. ආසා හිතුන යන්න.
ReplyDelete