14 April 2020

නිකවැව නාගල රජමහා විහාර වන්දනාව

ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පළවෙනි බ්ලොග් ලිපිය තමයි මේ. මේක මම අපේ කන්තෝරුවේ කිහිපදෙනෙක් එක්ක හදිසියේ ගියපු වන්දනා චාරිකාවක්. මේ  චාරිකාව ගියේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදා.

මේ චාරිකාව යන්නට මූලිකම හේතුව උනේ ඒ දවස්වල මුහුණු පොතේ හුවමාරු වෙච්ච පින්තූර කිහිපයක් නිසා. ඒ පින්තූර සෙට් එකෙන් එක පින්තූරයක් පහලින් දාන්නම්.
මහාමේරූ පර්වතය වාගේ තියෙන සද්දන්ත ගිරි කුළක් මැද්දේ මුද්දක මැණිකක් ඔබ්බවලා වාගේ තියෙන විහාරයක් වැදපුදා ගන්න අකමැති වෙන්නේ කවුරුද ? මේ පින්තූර සෙට් එක දැක්ක දා ඉදලා අපි සෙට් එක මෙහේ එන්න කතා කර ගත්තා.


අවුරුද්දේ අන්තීම දවස් නිසාමද මන්දා මේ ගමනට අපිට කට්ටිය හොයාගන්ඩ හම්බ උනේ නෑ. යාන්තන් ලාහෙට ගෙම්බෝ හොයන්නා වාගේ තුන් දෙනෙක් සෙට් උනා.

මේ විහාරය පිහිටලා තියෙන්නේ මොරගොල්ලාගම කිට්ටුව නිසා දුම්රියෙන් යන එක ගොඩක්ම ලෙහෙසියි. දුම්රිය කියන්නේ මඩකලපු හෝ ත්‍රිකුණාමල දුම්රියකින් තමා මේ ගමන යන්න ඕන. මොකද මහව හන්දියේ ඉදලා දුම්රිය නැවතුම් දෙක තුනකට පස්සේ තියෙන පොඩි දුම්රිය නැවතුමක් තමයි මොරගොල්ලාගම කියලා කියන්නේ.

මමයි තව යහළුවෙකුයි වෙලාවට කොටුව දුම් රිය ස්ථානයට ආවා. අපි දෙන්නා ආවට මොකෝ අපේ අනිත් යාළුවා ටිකක් පරක්කු උනා. ඒකා එනකන් කෝච්චිය නවත්තන් හිටියෑකි යෑ. අපි දෙන්නා හිටපු කෝච්චිය පිටත් උනා. ඒත්තෙක්කම අපේ අනිත් යාළුවාට දුරකතන ඇමතුමක් දුන්නා ඊට පස්සේ පිටත්වෙන යාල් දේවියෙන් මහවට එන්ඩ කියලා.

කියපු විදිහට ඒකා යාල් දේවියට නැගලා මහව කිට්ටුවට ආවා. මහවෙදි අපි ආපු උදය දේවි දුම් රිය ටිකක් පරක්කු උනා. ඒ පරක්කි වෙච්ච කාළය අතරතුරදී අපේ යාළුවා හිටපු යාල්දේවියත් මහවට ආවා. මම ටාර් ගාලා ඌට කිව්වා අපි ඉන්න කෝච්චියට නගින්ඩ ය කියලා. ඔන්න දැන් තුන් දෙනාම සෙට් උනා.

මොරගොල්ලාගමට කිට්ටු වේගෙන එනකොට අපිට ඈතින් පෙනුනා නාගල විහාරය පිහිටලා තියෙන කඳු පන්තිය. ඔය පල්ලෙහා පින්තූරෙන් පෙනෙන්නේ අන්න ඒ කඳු පන්තිය තමයි.

මහවෙන් දුම් රිය පිටත් වෙලා අපි මොරගොල්ලාගමට ආවා.
එතන ඉදලා බස් එහෙක ටික දුරක් එන්ඩ ඕන. බස් එකේ කොන්දොස්තර තැනට කිව්වා නම් නාගල විහාරය ගාවින් බස්සන්ඩ කියලා ගානට පන්සල ගාවින්ම බැහැගන්ඩ පුලුවන්. හැබැයි මේ පාරවල් වල බස් අඩුයි. වෙලාවෙන් වෙලාවට තමා බස් යන්නේ. අපි ගිය වෙලාවේ නම් බස් එකක් තිබුනේ නෑ.  ඒ නිසා ඒ වෙලාව නාස්ති කරගන්නේ නැතුව උදේ කෑම කෑවා.
ඔය උඩ පින්තූරෙන් පේනවනේ. ටිකක් විතර පාළුවට ගිය හන්දියක්.

මොරගොල්ලාගම කියන්නේ පොඩි කඩ මණ්ඩියක් නිසා ගොඩක්ම කඩ නෑ. ඒ නිසා ශේප් එකේ පොඩි මොනාහරි දෙයක් බඩට දාගන්න විතරක් පුලුවන්.

කාලා ඉවර වෙලා ටික වෙලාවක් බස් හෝල්ට් එකේ ඉන්නැද්දි බස් එකක් ආවා. අපි ඒ බස් එකෙන් නිකවැව නාගල විහාරය ළගට ආවා.
නාගල විහාරයේ තොරණ යටින් තියෙන පාරේ ටික දුරක් ගියහම විහාරයට එන්ඩ පුලුවන්. එතැන ඉදලා ඉතින් පොඩි කඳු නැගිල්ලක් තමයි තියෙන්නේ. එහෙනං පින්තූර බලළා ඉම්මුකෝ.

ඊට කලින් කියන්ඩෝන... නාගල විහාරය කරවලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා කියලයි අපිට දැනගන්ඩ හම්බ උනේ.




ඊට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගත්තා.


කන්දේ මැද්දේම වගේ පිළිම ගෙයක් තනවලා තියෙනවා. එතැනට ආවහම අවර භූමි දර්ශනය අපූරුවට පෙනෙනවා. ඒ වගේම ඒ හරිය සුළං කපොල්ලක් වගේ. ඒ නිසා ගමන් විඩාම බොහෝම ඉක්මනටම නිවී යනවා.
අපි ටික වෙලාවක් කන්දේ ඉදලා ආපහු ගම්බිම් බලා එන්ඩ පිටත් උනා. ඒ වෙනකොට ටිකක් පරක්කු වෙච්ච නිසා හැන්දෑවේ 1ට මහවෙන් තියෙන කෝච්චිය අල්ල ගන්න හම්බ උනේ නෑ.

අපි තුන්දෙනා බස් එකකින් මඩගල්ලට ගියා. එතැනින් දලදාගමට ඇවිත් කොළඹ බස් එකකට ගොඩ උනා. බස් එකේදිම හොද නින්දක් දාගෙනම කොළඹ ආවා.

බස් එකකින් නාගල විහාරයට එනවා නම් කුරුණෑගලින් මොරගොල්ලාගම බස් එහෙක එන්ඩ පුලුවන්. එහෙම නැත්නම් මහවෙන් බස් එකක නැගලා මඩගල්ලෙන් බහින්ඩ ඕන. එතැන ඉදලා මොරගොල්ලාගම යන බස් එකකට ගොඩ වෙන්ඩත් පුලුවන්.

එහෙනං මම ගියාවේ. ජය වේවා !!

3 comments:

  1. කොරෝනා සංසිදුනම ගිහිං බලන්ඩ ඕනේ. මාර තැනක් වගේ පේන්නෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.