ගිය අවුරුද්දේ අපේ කන්තෝරුවේ කට්ටිය ගියපු චාරිකාවක් ගැනයි අද ලියන්න යන්නේ. ගිය අවුරුද්දේම මේ ලිපිය ලියලා දානවා කියලා හිතාගෙන හිටියට ලියන්න උනේ නෑ. ඒකටත් එක්ක හරියන්න කියලා මේ නොරෝධායන කාළය ඇතුලේම ලියලා දානවා.
අපේ කන්තෝරුවේ වාර්ශික චාරිකාව යන්න මටත් පොට්ට චෑන්ස් එකක් වැදුනා. "පොට්ට චෑන්ස්" එකක් ය කියලා කිව්වේ. යන්න පුලුවන් වේද ? බැරිවේ ද ? කියලා දෙගිඩියාවෙන් හිටපු කාළයක් ඒක.
ඒ මොකෑ ඒ ? ගෙදරින් කේස් එකක් ද ?
නෑ. එහෙම එකක් නෙමේ. ඒකට හේතුව වෙලා තිබ්බේ කන්තෝරුවේ ව්‍යාපෘතියක වැඩ වගයකට හිරවෙලා හිටිය කාළයක් ඒක.හදිසි ව්‍යාපෘතියක් නිසා ඒ වැඩ නවත්තලා යන්ඩත් බෑ.
චාරිකාව නොගිහින් ඉන්ඩ හිත් දෙන්නෙත් නෑ. ඔහොම දෙපැත්තට ඇද ඇද ඉන්නකොටම අපේ කන්තෝරුවේ ලොක්කා කියපි "ප්‍රොජෙක්ට් එක තිඋනට කමක් නෑ. අපිත්තෙක්ක ට්‍රිප් එක යන්ඩ එන්න. එහෙම ආවේ නැත්නම් ට්‍රිප් එක කැන්සල් කරලා දානවා" ය කියලා.
ආයේ ඉතිං මොනාද ? අපේ හිස් මුදුන් වල ගිණිකූරු මල් පිපුනා හා සමාන උනා.
ඔන්න ඒක තමා මටයි අපේ සෙට් එකේ හිටපු දෙතුන් දෙනෙකුටයි මම මේ කියාපු පොට්ට චෑන්ස් එක වැදුනේ.
එදා සිකුරාදා දවසක්. අපි හවස 2ට විතර කන්තෝරුවෙන් පිටත් උනා. අපිට ගමන යන්ඩ සුපිරි බස් එකක් ලෑස්ති කරලා දුන්නා. අපි ඒකේ නැගලා ගමන අරඹලා ටික දුරක් විතරයි යන්න පුලුවන් උනේ. ඔන්න මගදිම කට්ටිය බෝතල් ටිකේ මූඩි ගලවලා එහෙම ගත්තේ නැතෑ.
ඒකෙන් මේකෙන් කියන්ඩ බැරි උනානේ අපි යන්නේ කොහේටද කියලා. අපි යන්නෙ ඇල්ලට. දවස් දෙහෙක ඇල්ල චාරිකාවක් තමයි අපි යන්නේ.
අපි රෑ 10 හෝ 11 වෙනකොට යාන්තම් අපි නවතින්ඩ වෙන්ඩ කරගෙන උන්නු "ද විව් - ඇල්ල" හෝටලයට ආවා. ඇවිල්ල ටික වෙලාවකින් ඇඟපත හෝදගෙන රෑ කෑම කෑවා.කාලා ටික වෙලාවකට පස්සේ අපි හෝටලයේ පොඩ්ඩක් එහේ මෙහේ ඇවිදලා බැළුවා. ඊට පස්සේ කෙලින්ම නින්දට වැටුනා.
නිදා ගත්තා නෙමේ සිහි නැති උනාද මන්දා. උදේ වෙනකන් දැනුනේම නෑ.
ඔන්න උදේ උනාට පස්සේ අපි උදේ තේ එකවත් බොන්න ඉන්නේ නැතුව එහෙම්මම පල්ලම් බැස්ස. ඒ ඇල්ලටම ප්‍රසිද්ධ ආරුක්කු නමයේ පාළම බලන්ඩ.
ඇල්ලේ ඇවිත් ආරුක්කු නමයේ පාළම බැළුවේ නැත්තං වැඩක් තියේ යෑ.අපි රේල් පාරට බැහැලා ඇල්ල ස්ටේශම පැත්තට ඇවිදගෙන ගියා. ඇල්ල ස්ටේශම පහු කරලා ටිලෝමීටරයක් හෝ දෙකක් යන්න ඇති. අපි ආරුක්කු නමයේ පාළම ගාවට ආවා.
ඒ ඇවිල්ලා පින්තූර කිහිපයකුත් ගත්තා.
ආරුක්කු නමයේ පාළමේ කෝච්චියක් යනවා පින්තූරයක් ගත්තේ නැත්තන් වැඩක් තියේ යෑ. ඔන්න අපි ටික වෙලාවක් පාළම ගාව කල් මරලා කෝච්චියක් එනකන්ම ඉදන් පින්තූරයකුත් ගත්තා.
ඒක නම් හෙන ජාති පින්තූරේ.
ඔය යන්නේ උඩරට දුම්රිය මාර්ගයට අළුතෙන්ම එක් වෙච්ච හිතවතිය. ඒ "දෙනුවර මැණිකේ" දුම්රිය. ඒ ඇත්තේ ඔත්තේ දිනවල කොළඹ ඉදන් බදුල්ලටත් ඉරට්ටේ දිනවල බදුල්ලේ ඉදන් කොළඹටත් එනවාය කියලා කියනවනේ.
ආරුක්කු නමයේ පාළම බලන්ඩ සෑහෙන සංචාරකයෝ එනවා. අපි උදෙම්ම ආපු නිසා නිදහසේ පාළම දැකබලා ගන්ඩ පුලුවන් උනා. පාළම ගාව ටික වෙලාවක් ඉදලා පින්තූර එහෙම අරගෙන ආපහු හෝටලයට එන්න පිටත් උනා.
හිමිදිරි උදේම පින්න කපාගෙනම ආපු හන්දද මන්දා යකෙක් කන්න බඩගින්නක් ආවා. ගියපු ගමන් කෑම මේසයට ගිහින් හිතේ හැටියට පානුයි ඇඹුල්තියල් මාළුයි පොල් සම්බෝලයි බෙදාගෙන කෑවා. තව නූඩ්ලස්, කිරිබත් එහෙමත් තිබ්බා. නූඩ්ලස් දිහා නම් බළුවෙම නෑ. කිරිබත් නම් කෑලි දෙහෙකට වඩා කෑවේ නෑ.
කාළා ඉවර වෙලා ටික වෙලාවක් කට්ටිය එක්ක කතා කරගත්තා ඊට පස්සේ යන්නේ කොහේටද කියලා. අපි හිතන් හිටියේ ඇල්ල රොක් බලන්ඩ ගියා නම් හොදයි කියලා. ඒත් ඒ වෙනකොට වැස්සක් වගේ තිබ්බ නිසා ඇල්ල රොක් බලන්ඩ යන එක පහුවෙනිදට කල් දාගත්තා.
මේ වෙනකොට අපේ කට්ටිය රාවනා ඇල්ල බලන්ඩ යමුයි කියලා ලැහැස්ති වෙච්ච නිසා අපි බස් එකෙන්ම රාවණා ඇල්ල බලන්ඩ ගියා. මේ ටිකේම වැහැපු නිසාද මන්දා රාවණ ඇල්ල හරි හැඩකාරයි.
අපූරුවට සුදු පෙණ නංවමින් ගලාගෙන හැලෙනව. බලං ඉන්ඩ ආසාවේ බෑ.
රාවණා ඇල්ලේ සුන්දරත්වය වශී වෙලා අපි පැයක් විතර හිටියා. ඊට පස්සේ අපි ආපු බස් එක පුංචි සිරිපාදේ පැත්තට හැරෙව්වා.
පුංචි සිරිපාදේට හැරෙව්වා විතරයි මේං ධාරාණිපාත වැස්සක් වැටුනේ නැතෑ. මහා වැස්සේ එළියට බහින්ඩ අකමැති වෙච්ච කන්තෝරුවේ අනිත් අය හන්දා අපිට ආපහු බස් එක හරවගෙන හෝටලය පැත්තට එන්ඩ සිද්ධ උනා.
ඒත් අපිට හෝටලයට වෙලා ඉන්ඩ හිත් දුන්නෙම නෑ. ඇවිදින්ඩ තියෙන ආසාවයි පරිසරයේ තියෙන සුන්දරත්වයයි නිසාම අපි දෙපාරක් නොහිතා ආපහු පුංචි සිරීපාදය පැත්තට හැරුනා.
ඒ ටික එහෙනං ඊළඟ ලිපියෙන් කියවමු.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.