09 June 2018

මගේ ගමන් සගයා පානදුරේට ආ හැටි

පහුගිය අවුරුදු කිහිපයම මම මහන්සි උනේ ගෙයි වැඩ කටයුතු ටික එකලාසයක් කරගන්න. ඒක යාන්තන් එකලාසයක් කර ගන්න පුලුවන් උනා. සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න නම් තාම හම්බ උනේ නෑ. ඒත් පදිංචි වෙලා ඉන්න පුලුවන් විදිහේ වැඩ ටිකක් ඉවර කරගන්න පුලුවන් උනා.

ඒ දවස්වල මට එක එක වැඩ වලට හාඩ්වෙයාර් එකට දුවන්නයි පානදුරේට ගිහින් එන්නයි සිද්ධ උනා. ඒ හැම දේටම බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් කාලේ කකා ඉන්න සිද්ධ වෙනවා. ලඟපාතක නං කකුල් දෙකට පිං දිදී පයින්ම බඩගානවා. මේ නිසාම මට මොකක් හරි වාහනයක් තිබ්බා නම් හොඳයි කියලා අනේක වාරයක් හිතිලා තියෙනවා.

එහෙම හිතුනට ඒකට වියදම් කරන්න වෙනම මුදලක් අතේ තිබ්බේ නෑ. ඒ නිසා එහෙට මෙහෙට දුවලා එන්න පොඩි වාහනයක් ගන්නවයි කියලා එන හීනය දවසෙන් දවසම ඈතට ගියා.

දැනට අවුරුද්දකට විතර උඩදී මම අපේ තාත්තගේ බයිසිකලයෙන් ට්‍රයල් පෙන්නලා ලයිසොම ගත්තා. ලයිසනුත් තියෙන එකේ බයිසිකලයක් ගන්න තිබ්බා නම් හොදයි කියලා වැඩි වැඩියෙන්ම මට පහුගිය අවුරුද්දේ හිතෙන්ඩ ගත්තා.
මොකද අපේ ගමේ ඉදලා පොලට යන්න ටවුමට යන්ඩ බස් එකක් එනකන් බලාගෙන ඉන්නවා කියන්නේ එපාම කරපු වැඩක්. මොකද බස් එකක් එන්නේ විනාඩි විස්සක් හරි තිහකින් හරි. සමහර වෙලාවට පැයකට විතර එක බස් එකක් එනවා.

ඕං ඔය හින්දම මම ඉතුරු කරගත්තු සල්ලි ටිකකුත් දාලා තව ණයකුත් අරගෙන බයිසිකලයක් ගන්න හිතා ගත්තේ. මේ අල්ල පනල්ලෙම අපේ අම්මා මට කිව්වා අපේ මලයා ගත්තු බයිසිකලය මට දීලා යනවයි කියලා. මුලදි නම් මම ඒ බයිසිකලය ගන්න ටිකක් අදිමදි කලා.

මොකද මට ඕන කලේ මගේම කියලා අළුත් බයිසිකලයක් ගන්ඩ. ඒ නිසා මම මල්ලිට කිව්වා ඕක විකුණහං කියලා. ඌ ඒකට කැමති උනේ නෑ. අයියේ උඹ මේක පැදහං කියලාමයි කිව්වේ. ඒ නිසා මම කැමැත්තයි අකමැත්තයි අතරේ හිරවෙච්ච හැඟීමකින් බයිසිකලය පාවිච්චි කරන්න ගත්තා.

මේක එච්චරම ලොකු බයික් එකක් නෙමේ. බජාජ් ඩිස්කවර් 100 එකක්.මේ හාදයාව මගේ අතට හම්බ වෙනකොට 47000ක් විතර දුර දුවලා තියෙනවා.  ලඟ පාතක යන්ඩ ඒකම මදෑ. බයික් එක ගත්තට පස්සේ මම ෆුල් සර්විස් පාරක් දැම්මා. ස්පොකට් සෙට් එක, ඔයිස් සීල්, බැටරිය එහෙම දැම්මා. මේ සේරටම දහ දාහක් විතර යන්න ඇති.

ඊට පස්සේ හා හා පුරා කියලා බයිසිකලය පානදුරේට ගෙනාවා. මේ හාදයා පානදුරේ ගම් වල පාරවල් වල දුවන පළමුවෙනි අවස්ථාව මේකයි.

ඊට පස්සේ එදා ඉදන් අද වෙනකන් ගත උනේ මාස කිහිපයක් විතරයි. මටයි අපේ උන්දටයි ගමනක් යන්න නැතිවම බැරි ගමන් සගයෙක් වෙලා ඉවරයි.

ඒ විතරක් යෑ. මම කළුතර දිස්ත්‍රික්කයේ මෝටර් බයිසිකල් චාරිකා යන්නෙත් මේ හාදයා එක්ක. ඉන්දියන් බයික් ගැන කතා කරනකොට තෙල් වැඩ කරන එක ගැන නං කියන්න දෙයක් නෑ නේ. තෙල් සුවඳටත් බයික් එක දුවනවා.

දැන් ඉතින් පොලේ යන්න විතරක් නෙමේ. ගෙයි පොඩි පොඩි වැඩ වලට සිමෙන්ති කොට්ටයක් උනත් ගේන්න යන්නේ මේ බයිසිකලයෙන්.

බයිසිකලයක් පැද්දට මම ගොඩක් වේගයෙන් නම් යන්නේ නෑ. ඒකට  ලොකුම හේතුව තමා මම වේයගෙන් යන්න බයයි. ඒ ඇරෙන්න හයියෙන් ගිහින් බ්‍රේක් ගහලා විසි වෙලා ගිහින් වැටෙන අවස්ථා මම වීඩියෝ වල දැකලා තියෙනවා. ඒ නිසා බොහොම ආරක්ෂාකාරීව 40-50 වගේ වේග වලින් තමයි ගමනක් උනත් යන්නේ. ඒකත් බොහොම පරිස්සමට. මොකද පාරේ තියෙන ලේසියෙන්ම අනතුරු සිදු වෙන්න පුලුවන් වාහනය බයිසිකලය කියලා කවුරුත් කියනවා නෙහ්.

රෝද දෙක, රෝද හතරක් වෙන දිනය වෙනකන් මේ හාදයා මා එක්ක ඉදලා මගේ ගමන් බිමන් වලට උදව් කරාවි.

6 comments:

  1. දැනට සිමෙන්ති කොට්ටෙනං පහුවෙනකොට කලුගල් කියුබ් එකකුත් පටවයිද දන්නෑ. හැක්..

    ReplyDelete
  2. මටත් තියෙන්නේ බයික් එකක් තමා බං. අපි හෙමින් ගියාට විතරක් හරි යන්නේ නෑ. බස් කාරයෝ ටිපර් කාරයෝ ත්‍රීවීල් කාරයෝ අනිත් බයික් කාරයො විතරක් නෙමෙයි මොන වාහනේ උනත් ගෑනු මනුස්සයෙක් එළවං එනවනං ටක් ගාලා බයික් එක අයින් කරලා නවත්තගෙන උන් යනකං ඉඳලා යන්න ඕනේ. නැත්තං ඉතිං සොරි තමා.

    ReplyDelete
  3. මම අවුරුදු ගානක් උදේ හවස වැඩට ගියා බයික් එකේ... හරි ආසාවෙන් බයික් පැද්දා... හැබැයි මේ සැරේ ලංකාවට ගිහින් යාලුවෙකුගේ බයික් එකක් ඉල්ලන් ටික දවසක් පැද්දා.. කලින් වගේ ආතල් නෑ දැන්.. පාරේ යන්න බය හිතෙනවා... හැබැයි ඉතින් ගමනක් ගිහින් ඉක්මනට වැඩක් පලක් කරගන්න නම් ඉතින් බයික් එක තරම් වාහනයක් තවත් නෑ...

    කොහොම වුනත් පරිස්සමින් යන්න...

    ReplyDelete
  4. ඕවා නෙමෙයි බං අපි වගේ ක්ලැසික් ස්කූටරයක් පැදලා ආතල් එක කොහොමද කියලා බලහං...එහෙම උනොත් ආයෙ ඕවා පදින එකක් නෑ.

    ReplyDelete
  5. මාත් දැන් අවුරුදු ගානක ඉඳල බයිසිකල් පදිනවා... කොයි එකටත් බෝම පරිස්සමෙන්...

    ReplyDelete
  6. මම බයිසිකල් පදින්න පට්ට බයයි දැන්.. ඒ උනාට කිව්වා වගේ අහලට පහලට හදිසියකට යන්න බයිසිකලයක් තරම් සූටබල් ගැජට් එකක් ලොවෙත් නෑ.. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.