03 February 2023

කදුරුපිටිය බංගලාව

 වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල ප්‍රධාන සංචාරක නැවතුම් ස්ථාන දෙකක් වෙයි. එකක් අප ගිය කඳුරුපිටිය වන නිවහන හා වවුල් ඇඹේ වන නිවහන වේ. මෙයින් කඳුරුපිටිය බංගලාව වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානය ආසන්නයේම පිහිටා ඇති අතර වවුල් ඇබේ නැවතුම් ස්ථානය, වනෝද්‍යානය ඇතුලට වන්නට මහවැලි ගඟ ආසන්නයේම පිහිටා ඇත.


මේ සංචාරක බංගලා දෙකෙන් කදුරුපිටිය බංගලාවේ පමණක් විදුලි ආලෝක පහසුකම් ඇති අතර අනෙක් සංචාරක බංගලාවේ විදුලි ආලෝකය නොමැත. මේ නිසා සංචාරය කරන ඔබ මේ ගනත් සැලකිලිමත් වීම වැදගත් වනු ඇතැයි මට සිතේ.

එහෙත් පරිසරය රස විඳින්නෙකුට නම් වවුල් ඇඹේ සංචාරක බංගලාව බෙහෙවින්ම යෝග්‍යය වේ. මේ බංගලාව ආසන්නයේම කඳවුරු ගැසීමේ පහසුකම් ද පවතී. කඳවුරු බිමක රැයක් ගත කරන්නෙකුට නම් වවුල් ඇඹේ බංගලා පරිශ්‍රය ඉතාමත් යෝග්‍යය වේ.

මෙම විදුලි කතාන්දරය අප මෙයට කලින් දැන සිටිය දෙයක් නොවේ. අපි අහම්බෙන් වෙන්කරවා ගත්තේ කදුරුපිටිය සංචාරක බංගලාව වේ. මෙම බංගලා වෙන් කරවා ගැනීම කලින්ම කළ යුතු වන අතර ඒ සදහා වන ජීවි අධිකාරියේ වෙබ් අඩවිය හරහා ඔන්ලයින් ක්‍රමයට සිදු කර ගත හැක. එලෙස වෙන් කරවාගත් පසු අපට අදාල දිනයේ බංගලාවේ ඉවුම් පිහුම් කටයුතු වලට කෝකිවරයෙක් හා සහයකයෙක් ලැබෙන අතර සියළුම ඉවුම් පිහුම් කලමනා (හාල්, පොල්, එලවළු වැනි දෑ) අප විසින් සපයා දිය යුතු ය. ගෑස් හෝ දර අප විසින් සැපයිය යුතු නොවේ.

 කදුරුපිටිය බංගලාවේ කාමර තුනක් හෝ හතරක් තිබේ. (හරියටම මතක නැත.) ඒ හැම කාමරයකටම විදුලි පංකාවක් ඇත. වායු සමනය කළ කාමර නම් නැත. කදුරුපිටිය වන නිවහන 'බංගලාව' යැයි හැදින්වුවද එය සාමාන්‍යය ගෙයකි. මා බලාපොරොත්තු වූයේ අප අහන දකින බංගලාවක අංගෝපාංග වලින් සමන්විත වේ කියායි.

එය එසේ නොවේ..

මේ බංගලාව අසලින් ඇළ මාර්ගයක් ගලා බසී. අප ගිය දවස්වල නම් වර්ෂාව නිසා ඇළ මාර්ගය, කුඩා බැම්ම හරහා පිටාර මට්ටමේ පැවතුණි.


 

සංචාරකයන් රැගත් සෆාරි ජීප් රථ ගමන් කරන්නේ කදුරුපිටිය බංගලාව ඉදිරිපිට වන පාරේ නිසා ඉදහිට ගමන් කරන වාහනයක හඬ අසන්නට ලැබේ. ඒ ඇරෙන්නට වෙන බාහිර ශබ්ධයක් අහන්නට නොලැබේ. වනෝද්‍යානය මදක් ඇතුලට වන්නට මෙය පිහිටි නිසා වන සතුන්ගේ කෑ ගැසීම් නිරන්තරයෙන්ම අහන්නට ලැබේ. 


සෆාරි ජීප් රථ කදුරුපිටිය බංගලාව ඉදිරිපිට මාර්ගයේ ගමන් කරන බව මා ඉහතදී කීවත් අප මෙහි රැඳී සිටි දවස් තුන ඇතුලත වාහන ඉතාම අල්ප ප්‍රමාණයක් (දහයකටත් අඩු ගණනක්) මේ මාර්ගයේ ගමන් කළ බව කිව යුතු ය.

බංගලාවේ ඉස්තෝප්පුවේ තබා ඇති පුටුවල වාඩි වී සතුන්ගේ කෑ ගැසීම් අසමින් හමන සුළඟේ සිසිලසද විඳිමින්  ඔබේ විවේක කාළය ගත කළ හැකි බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකි ය.


නිස්කලංකව නිදහසින් යුතු වදින තුනක් ගත කර වන නිවහනින් අප පිටවී ආවෙමු. වනය තුල දින තුනක් ගත කර අප ගෙවූ කාළය අපූරු අත්දැකීම් සමුදායක් අප ජීවිත වලට එකතු කරගත හැකි විය. එසේම මෙවැනි අත්දැකීමක් මා මීට පෙර විඳ නොමැත. මෙය මා වනය තුල රැයක් ගත කළ ප්‍රථම අත්දැකීම විය.

ඔබටත් දිනෙක මෙවැනි අත්දැකීමක් විඳින්නට අවස්ථාව ලැබේවායි පතමි. ජය වේවා !



1 comment:

  1. ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා . වස්ගමුව වනෝද්‍යානය හරිම හොද සංචාරක සම්පතක් . වවුල් ඇබේ වන නිවහනේ දින කිහිපයක් ඉදල තියෙනවා. වන අලින් ඒ වන නිවහනට ඇවිත් යනවා
    . ඒ වගේම අපි ගිය දවසේ හවස අපි දිය නෑ මහවැලි ගගේ අතු ගංගාව රෑ මහ වැස්සට පස්සෙ වන නිවහන අද්දරටම පිරිලා තිබුණු හැටිත් , අපේ වාහනේ එරිලා වනජීවී නිලධාරීන්ගෙ උදව්වෙන් ඒක ඇද ගත්ත හැටිත් තාමත් මතකයි .

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.