පසුගිය සති අන්තයේ අපේ ගම් පලාතට කඩින් කඩ වැසි ඇද හැළුණි. විටෙක මල් වැහි සීතල මල් වැසිද තවත් විටෙක නා කපනා වැහි වැටෙන වෙලාවල් ද නැතුවාම නොවේ. මොන වැස්ස තිබුණත් අපේ උන්දෑට පශ්චාත් උපාධි දේශන වලට යාමට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ පුදුමාකාර උනන්දුවකි. නමුත් මේ උනන්දුව මට හෙන හිසරදයකි. කොටින්ම සති අන්තයේ දවස් දෙකම උදේට ගෙදර ඉදන් ස්ටේශමටත්, හවසට ඉස්ටේශමේ ඉදන් ගෙදරටත් මා ඈව ගෙනත් ඇරලිය යුතු ය.
පායනා කාළෙදී නම් විජය කුමාරතුංගයන් මාලනීයව මෝටර් බසියිකලයේ නංවාගෙන යන උජාරු ගමනට නොදෙවෙනි සිංහ සෙයියාවකින් මා ඈව ඉස්ටේශමට ගෙනත් ඇරලවයි. නමුත් පසුගිය සති අන්තයේ තිබූ කඩින් කඩ වැසි නිසා මේ උදාරතර කර්තව්‍යය දියාරූ කර හැරීමට මා මාන බැලිමි. එහෙත් බසයක නැග පානදුරෙන් බැසීමට ඈ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නිසාවෙන් කඩින් කඩ ඇද හැලෙන වර්ශාපතනයේ යම්කිසි විරාමයකදි මා බයිසිකලය ස්ටාර්ට් කල යුතුය. ඒ ස්ටාර්ට් කල ක්ෂණයේ සිට තත්පරයෙන් දහයෙන් පංගුවකදී ඈ බයිසිකළයට ගොඩවේ. එතැන් සිට මා වලවල් බේරමින්, අඩු වේගයකින්, ආරක්ෂාකාරීව අවම කාලයකදී පානදුරට ගෙනත් ඇරලවිය යුතු ය. වැසි දිනක මේ යන ගමන මට කොයිතරම් හිසරදයක් වූවත් ඈ මේ ගමනට බොහෝ සෙයින් ඇළුම් කරයි. බ්‍රිතාන්‍ය මහ රැජිණ ලංකාවේ වීදී සංචාරය කරන්නාක් මෙන් ඈ උජාරුවෙන් ගම්මු දෙස යටැසින් බලමින් ගමන රසවිඳින්නී ය. මා දුක් විඳින්නේය.
අසුරු සැනින් එක මොහොතකදී විරාමගතව තිබූ වර්ශාපතනය යළි ඇරඹුනහොත් මා අසල කඩ පිලක බයිසිකලය නතර කළ යුතුය. පෙනෙන තෙක් මානයක කඩ පිලක් නැති තැනක් වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේ නම් මා චිත්ත ශක්තියෙන් කඩපිලක් මැවිය යුතු ය. අපේ උන්දෑගේ ටකරමට බොරළු ගසන අඬෝවැඩියාව අසා සිටිනවාට වඩා කඩයක් මවන එක ලේසි පහසු වැඩක් යැයි මට කිහිප වාරයක් සිතී තිබුණි.
සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ වර්ෂාපතනයකට හසු වුවහොත් උන වෛරසයක් ඇද ගැනීමේ අපූරු ආකර්ශන හැකියාවක් අපේ උන්දෑ සතු වේ. ළඟ පාතක උන වෛරසයක් තිබුනේම නැත්නම් කැස්සක් හෝ හෙම්බිරිස්සවක් හෝ සාදා ගත යුතුම ය. වාසනාවකට මෙන් ඈට වෛරසයක් හමු වූ නිසා උන හදාගත්තා ය. මට ද බෝ කළේ ය. අපි දෙදෙනාම අපේ උන්දෑගේ මහ ගෙදර ගියෙමු.
මා ලෙඩ ඇඳට වැටුනි. ඈ ඒ ඇඳේම අනිත් පැත්තට වැටුනි !
හිසරදය, කැරකිල්ල, උන, හෙම්බිරිස්සාව, කැස්ස, ඇඟපත රුදාව මා වෙලා ගත්තෝය. මෙතැන් සිට මා ආදරණීය නැන්දම්මාගේ පුද සත්කාර වලට නතු වීමට සිදුවි ය. නැන්දම්මා ඈත වනයට ගොස් පළවැල නෙලා ගෙනවිත් මා ඇඳ අසල තබා, කන්න.. කන්න.. කාපන් යැයි පෙරැත්ත කරන්නී ය. කටේ තිත්ත ගතියට ඔය මොකවත් කන්නට බැරි බව මා කොතෙක් පැවසුවත් ඈ ඊට කන් නොදේ. හූ යන්නෙන්ම පද දෙකක් උගුරේ තිබූ සෙම තලියක පටලැවුන නිසාම මා ඇද අසල බාල්දියට සෙම පිඩක් හෙලීය. එම පද දෙක වචන ලෙස එලියට නො ආවේ මා පූර්ව ආත්මයක කළ පිනකට බව මට සිතුණි. කන්න බැරි නම් දිව්‍ය භෝජන උනත් වළදන්නේ කොහොමද දෙයියනේ !
නැන්දම්මා කාමරෙන් පිට වුනාය.
නැන්දම්මාගේ කරදරය එතනින් නිමා වූයේ නැත. ඈ තොල් ඇලවෙන තරමේ නෙස්ටොමෝල්ට් කෝප්ප දෙකක් අප දෙදෙනාට පිළිගැන්නුවෝය. මා අල්ප-සීනි භක්ෂකයෙක් බව කොතෙකුත් පවසා ඇතත් තේ හදන වෙලාවට මා කෙරෙහි ඈගේ මාතෘක ස්නේහය දෝරේ ගලයි. ඒ නිසාම ඈ ඒ පරම පවිත්‍ර නිමල නිර්මල සුරම්‍ය සුනිමල මධුර මනෝහර (වචන ඉවරයි.) දාරක ස්නේහය සීනි වලට හරවා කිරි වීදුරුවේ දියකර හරියි.
ඈ නැවතත් කාමරෙන් පිටවූ සැනින් මා නින්දට වැටුනි.නින්ද යන්නේ ද නැත. නැගිට ගන්නටද අමාරු ය. මොන කරුමයක්ද මන්දා !
ඉන්පසු ඈ කඩිමුඩියේ දවල් බත පිසින බව මා ඉවෙන් මෙන් තේරුම් ගතිමි. නැන්දම්මගේ කෑම නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අපූරු ය. ඕනෑම කෑමක පෝෂ්‍ය ගුණය නොමරා රස මරන්නට ඈ උපන් හපන්කම් දක්වන්නියකි. අප පංචේන්ද්‍රියයන් පිනවමින් මේ මනුස්ස ලෝකයේ දුක් විඳ විඳ ඊලඟ ආත්මයට උපාධාන සකස් කර ගන්නවාට ඈ තුල ඇති අකමැත්ත නිසාම ඈ හිතාමතාම හොදි වෑංජන වල රස මරන බව මට සිතේ.
අපේ අම්මා, අපේ තාත්තා හා දීග ආ දිනයේ පටන් ඈ පිසින බතට ලුණු ස්වල්පයක් එක් කරයි.. මේ නිසාමට වසර විසි ගණනක් අම්මගේ බත කා තිබූ මට බතට ලුණු දැමිය යුතුමය යන උදාරතර වාක්‍යය ජාන වලටම කා වැදී තිබේ. මේ නිසාම බතට ලුණු ඇති නැති අඩුව හොඳින්ම දැනේ. ලුණු නැති අඩුව බතේ මාලු පිණි වලින් නොමැකුණ විටදී බත් කන්නේද එහෙමත් දිනක ය. කෑවත් කන්නේ ආසාවකින් නොවේ.
නැන්දම්මා උයන බතට ලුණු දමන්නේ නැත. ඒ ඈට කොලෙස්ටරෝල් යන ධනවතුන්ගේ රෝගය ඇති නිසා ය.
මට මේ හැදුන උන ඇරෙන්නට ඉහෙන් බහින රෝගයක් නම් නැත. ඒ නිසා මට කෑමට ලුණු ඕනේ ම ය.
මෙවැනි කෑම වලින් මා සප්පායම් වී මදක් හිස ඔසවා ගන්නට හැකි වූ විගසම මම ගෙදර ආවෙමි. ඇවිත් අපේ අම්මා උයන බත ද හොද්ද ද රස වින්දෙමි.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.