13 May 2018

රයිගම් රාජධානියේ අසිරිය සොයා - 1

අද ඉරිදා දවසේ ගෙදර කම්මැලිකමේ ඉන්නැද්දි නිකමට වගේ හිතුනා ළඟපාත කොහේ හරි ගිහින් එන්න තිබ්බා නම් හොඳයි කියලා. ඉස්සර වගේ නෙමේ අපේ මලයට පින් සිද්ධ වෙන්ඩ උගේ බයිසිකලේ මට දීලා ගිය නිසා හිතෙන හිතෙන ඕනම තැනකට ගිහින් එන්න ලේසියි. නැත්නම් ඉතිං බස් එනකන් ඉන්නයි බස් හෝල්ට් ගානේ පයින් බඩගාන්නයි එපා වෙනවා.

කොහෙද යන්නේ කියලා හිත හිතා ඉන්නැද්දි මතක් උනා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා නේද කියලා. මගේ ලොකු ආසාවක් තියෙනවා බොල්ගොඩ ගඟේ තොටුපොලවල් සේරම වගේ බලලා එන්ඩ. අන්න ඒ ආසාවට එහේ යනවද කිය කියා හිතනකොට තමයි මම අන්තර්ජාලයෙන් යන්ඩ ඕන පැත්තක් ගැන කරුණු හෙව්වේ.

ඔන්න එතකොට තමා පතහාවත්ත රජමහා විහාරය ගැන විස්තර හම්බ උනේ.
අළුබෝමුල්ලේ ඉදලා වැඩි ඈතකුත් නැති පැත්තක තියෙන රජමහා විහාරයක් නිසා මම එහේ ගිහින් එන්ඩ හිතාගත්තා. අපේ උන්දෑ ඔය විහාර වන්දනාවට එච්චර මනාප නැති නිසා මං විතරයි මේ ගමන ආවේ.

මම බයිසිකලේට නැගලා පානදුර - හොරණ පාරට ආවා. ඊට පස්සේ බණ්ඩාරගම දිහෑවට හැරෙව්වා. යන ගමන් මට මතක් උනා වෑවිට වැව පැත්තෙත් පොඩි රවුමක් දාලා එන්ඩ තිබ්බා නම් මරු නේද කියලා. මෙදාපාර වෙසක් එකට බණ්ඩාරගම වෙසක් කලාපය තිබ්බේ වෑවිට වැව අයිනේ. ඒ දවස්වල මට අවාසනාවන්ත විදිහට අසනීප වෙච්ච නිසා වෙසක් කලාපය බලන්ඩ එන්ඩ උනේ නෑ.

කොහොමින් කොහොම හරි මම බණ්ඩාරගමට ආවයි කියමුකෝ. බණ්ඩාරගම වට රවුමෙන් කළුතර පාර පැත්තට හැරෙව්වා. කළුතර පාරේ කිලෝමීටර් එකක් එකහමාරක් විතර යනකොට වෑවිට වැව ගාවට එන්ඩ පුලුවන්. මේක ලොකු වැවක් නෙමේ. ඒත් හවස් වෙලාවක කෙල්ලෙක් එක්ක වාඩි වෙලා කතාවක් දාගෙන ඉන්න කියාපුම ප්ලේස් එකක්.

ඒ දවස්වල බයිසිකලයක් තිබ්බා නම් අපේ උන්දෑ එක්ක මේ පැත්තේ එන්ඩ තිබ්බා. :)

පහලින් තියෙන්නේ වෑවිට වැවේ පින්තූරයක්.

තව පින්තූරයකුත් බලලා ඉම්මුකෝ.
ටික වෙලාවක් වැව ළඟ නතර වෙලා ඉන්න ඕන කියලා හිතුන නිසා මම අතුරු පාරකට බයිසිකලේ හැරෙව්වා. ඒ හරියේ තිබ්බ මාර ගහක් යට මම ටික වෙලාවක් වාඩි වෙලා උන්නා. එතන ඉදන් වැව දිහෑ බලාගෙන වරුවක් උනත් හිටියෑකි. ඒ තරමට හෙවනයි. ඒ වගේම හුළං පාරට නින්ද යනවා.

වෑවිට වැව බැලුවට පස්සේ  මම ආයෙම බණ්ඩාරගම ටවුන් එක පැත්තට ආවා. මගේ ඊලඟ ගමනාන්තය තමයි පතහවත්ත රජමහා විහාරය වැදපුදා ගන්න එක. බණ්ඩාරගම ඉදලා ගැලනිගම අධිවේගි පිවිසුම පහු කරනවත් එක්කම දකුණු පැත්තට තියෙන අතුරු පාරක පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු පුවරුවක් තියෙනවා.

ඒ පාර දිගේ මීටර් 100ක් හෝ 200ක් විතර ගියහම ලොකු කබොක් බැම්මක් එක්කම පන්සලක් තියෙනවා ඒ පන්සල තමයි පතහවත්ත රජමහා විහාරය !!!

පන්සලේ පින්තූර ටිකක් දාන්න තියෙන නිසා ඒ විස්තර ටික ඊලඟ ලිපියෙන් බලමු. නැත්නම් මේ ලිපියත් ලෝඩ් වෙන්නේ නැති වෙයි.



No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.