04 March 2018

සඳගලතැන්නෙන් සිරිපා කරුණා කළෙමු.

සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තියෙනවා කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. මේ වෙනකොට මම රත්නපුර පලාබද්දල  පාරයි හැටන් නල්ලතන්නිය පාරෙයි සිරිපා කරුණා කරලා තියෙනවා. තාම නම් එරත්න පාරෙන් යන්න බැරි උනා. ඒකත් මතු දවසක යන්න හිතාගෙන ඉන්නවා.

මේ අවුරුද්දේ සිරිපා වාරේට අපි සිරිපා කරුණා කරන්න තෝරගෙන තිබුනේ ඉතාම කෙටි පාරක්. ඒ පාරේ නම තමයි සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය. මේ පාරෙන් සිරිපා කරුණා කරන්න ගොඩක්ම ලේසියි. පෑ තුනකින් සිරිපා මළුවට යාගන්ඩ පුලුවන්.

සඳගලතැන්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අය මුලින්ම කරන්න ඕන හැටන් නල්ලතන්නිය පාරේ නල්ලතන්නිය සිරිපා පිවිසුම් මාර්ගය වෙනකන් වගේ එන්න ඕන.නල්ලතන්නියට කිලෝමීටර් 1කක් වගේ දුරක් කිට්ටු කරලා තුම්මං හන්දියක් හමු වෙනවා. ඒ හන්දියෙන් එක පාරක් වෙන් වෙන්නේ නල්ලතන්නිය සිරිපා පිවිසුම් මාර්ගයට. අනිත් පාර මරේ වතු යාය ෆිෂිං හට් මාර්ගය.


ෆිෂිං හට් කියලා කියන්නේ හෝටලයකට යන පාරක්. මේ පාරෙන් කිලෝමීටර් 12ක් විතර දුරක් එනකොට රාජමලේ කියලා දමිල ගම්මානයක් හම්බු වෙනවා. මේ දමිල ගම්මානය මැදින් ටික දුරක් ගියහම කැලෑවකින් පාර අවසන් වෙනවා.

පාර අවසන් වෙනවත්තෙක්කම වගේ පොඩි අඩි පාරක් තියෙනවා කැලෑව ඇතුලට යන්ඩ. ඔන්න ඕක තමා සිරිපා කරුණා කරන මාර්ගය.

එහෙනම් පින්තූරයක් දෙකක් බලලා ඉම්මු.

හැටන් - නල්ලතන්නිය පාරෙන් මරේ වත්ත පාරට වාහනේ හැරෙව්වහම අපිට මුලින් මුලින් තාර පාරක් හමු වෙනවා. තේ වත්ත මැද්දෙන් තාර පාරේ සුන්දරව යන්න පුලුවන්. පස්සේ පස්සේ තාර පාර ඉවර වෙලා සීග්‍ර බෑවුමකුත්තෙක්ක බොරලු පාරක් තමයි තියෙන්නේ.

අපි ගියපු වෑන් එක මගින් මගට නවත්තලා අපිට බහින්න සිද්ධ උනා. මොකද අපේ සෙට් එකේ බරට වෑන් එක අදින්නේ නෑ.  යන්ඩ එන්ඩ අමාරු උනාට පරිසරය හරිම සුන්දරයි. ඔය පහල පින්තූරෙන් පේන්නේ අපි ආපු පාර.
අපි ගියපු දවස්වල සිරිපාදෙට වැහැලා තිබුනේ නෑ. ඒ නිසා මේ පාරේ තට්ටු ගනන් දූවිල්ලෙන් වැහිලා වෑන් එක ගියාට පස්සේ මීදුම වාගේ පාරම දූවිල්ලෙන් වැහිලා යනවා. මෙච්චර අමාරු උනත් මේ පාරේ උදේ හවස බස් එකක් ධාවනය වෙනවා.

තව තවත් ඉස්සරහට ගමන් කලහම ජලාශයකට වැටෙන දිය ඇල්ලක් ඈතින් බලාගන්න පුලුවන්. ඒකත් අපූරු දර්ශනයක් !
දිය ඇල්ලත් බලාගෙන තේ වතු මැදින් කිලෝමීටර් 12ක අසීරු ගමනකට පස්සේ අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. අපිට මුලින්ම හම්බ උනේ ලස්සන විව් පොයින්ට් එකක තිබ්බ හට් එකක්. අපි එතැන ටික වෙලාවක් ඉන්න අමතක කලේ නෑ. එතන වාඩිවෙලා ඉන්නකොට මුලු යායක්ම අපූරුවට පේනවා.

අපි එතැන එච්චර වෙලාවක් රැදිලා හිටියේ නෑ. මොකද ඒ වෙනකොටත් වැහි බීරමේ වගේ තිබ්බ හින්දා පරිසරය පොඩ්ඩක් අඳුරු වෙලා තිබ්බේ. ඒක කන්දේ පරිසරයේ හැටි වෙන්ඩ ඇති. අපි අඳුරු වැටෙන්ඩ කලින් මේ ගමන ගිහින් ඉවර කරන්න ඕන. මොකද මේ පාරේ ලයිට් නෑ. කැලෑ පාරක්. දිවියෝ එහෙමත් ඉන්නවයි කියලා කට්ටිය කියනවා. නමුත් අපිට නම් දිවියෙක් හම්බ උනේ නෑ.

මේ පාර අන්තීමේදි හැටන් නල්ලතන්නිය පාරට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ මහගිරි දඹේ මැද හරියකට වගේ.ඊට කලින් මේ පාරේ තව පින්තූරු දෙක තුනක් බලලා ඉම්මු.

මේ පාරේ මුල කිලෝමීටරය වගේ ටිකක් විතර නැග්මක් තියෙනවා. ඒ නිසා ගමන පොඩ්ඩක් අමාරුයි. ඒත් ඒක දැනෙන්නේ නෑ. ඒ තරමටම අපූරු පරිසර පද්ධතියක අපි ගමන් කරන්නේ. මුල් කිලෝමීටරයෙන් පස්සේ ගමන ලේසියි.  මේ පාර අන්තිමේදි මහගිරි දඹේ මැදකට සෙට් වෙන තැන පින්තූරයක් තමා පහලින් තියෙන්නේ.
මෙතනින් එහාට්ට හැටන් පාරෙන් සිරිපා කරුණා කලා වගේ තමා. මම නම් 2 වෙද්දි සිරිපා කරුණා කරන්න පටන් අරගෙන රෑ එකොලහ වෙනකොට හැටන් පාරෙන් බැහැගත්තා. මුළු ගමනටම ගිහින් තියෙන්නේ පෑ 9ක් වගේ කාලයක්. මේ කාළයට අපි සිරිපා මළුවේ ගත කරපු වෙලාවත් ඇතුලත් කරලා තියෙන්නේ. :)
 ඔන්න ඔහොම තමයි අපේ සිරිපා කරුණා කිරීම අවසන් උනේ. යන්න හම්බ උනොත් මේ පාරෙනුත් සිරිපා කරුණා කරලා බලන්න. ඔයාලා හිතනවටත් වඩා අඩු කාලෙකින් සිරිපා කරුණා කරලා ඉවර කරන්න පුලුවන්.

10 comments:

  1. මම මාර්තු 2 ගියේ නල්ලතන්නිය පාරෙන්. ඔය කියන හොටෙල් එකේ නාම පුවරුවක් දැක්කත් ඒ අලුත් පාර දැනන් හිටියෙ නැහැ. ඊළඟ වතාවෙ බලමු.
    ස්තූතියි හෝඩුවාවට.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මේ පාරෙන් වන්දනා අවාර කාලේ යන්න දෙනවද කාගෙන් හරි අවසර ගන්න ඕනෙද

    ReplyDelete
    Replies
    1. අවසර ගන්න ඕනෙ නෑ , මරේ වත්තෙ සුපිරින්ටන්ඩන්ට කතා කරල යන්ඩ . හැබැයි අපි අවාරෙ ඔය පාරෙ යන එක හරි අමාරුයි වැස්සොත් නම් යන්න බෑ. වත්තෙ ලයිමකින් කවුරු හරි කතාකරගන්න , අවාරෙ පාර කැලෙන් වැහෙනව.

      Delete
  3. ඉස්සර නාට්ටියක් තිබ්බ නේද සඳගල තැන්න කියල.. එකේ ලස්සන සිංදුවක් තිබුනා..

    මම නම් සිරිපාදේ ගිහින් තියෙන්නේ නල්ලතන්නිය පාරෙන් විතරයි... මේක නම් හොඳ ගමනක්.

    ReplyDelete
  4. අතිශයින් සුන්දර වැදගත් ලිපියක්!

    ReplyDelete
  5. මේ පාර ගැන දැනං හිටියෙ නෑ. වැදගත් තොරතුරක්.

    ReplyDelete
  6. අද තමයි මේ පාර ගැන දැනගත්තේ . බොහොම ස්තුති ඔබට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.