29 September 2013

වතුර රොකට්ටුව

මම පහුගිය ටිකේ දනිස්සක් පන්නගෙන ගෙදර හිටියා කියලා මතකයි නේ. ඔන්න මේ සති අන්තය වෙනකොට යාන්තන් කෙලින් කටින් හිටගන්ඩ පුලුවන් උනා. ඒ සංතෝශයටත් එක්ක අපේ පොඩි රෑන මාවත් එක්කං වෝකිං පාක් යන්ඩයි කල්පනාව !

අම්මෝ එහේ ඇවිදින්ඩ ගියොත් ආයෙම බෙහෙත් බඳින්න වෙනවා සිකුරුයි ! ඒ නිසාම මේ අයත් එක්ක අපි පොඩි සෙල්ලමක් දැම්මා. මේක වතුර රොකට්ටුවක් !

මුලින්ම කියලා හිටින්නංකෝ ඕන කරන දේවල් ටික. ඔන්න එහෙනං ප්ලාස්ටික් මෙගා බෝතලයකුයි පරණ පුට් සයිකල් ටියුබ් එකකින් ගලවගත්ත වෑල් එකකුයි. සුපර් ග්ලූ හෝ මල්ටිබෝන්ඩ් වගේ තදින්ම ඇලවෙන ගම් ජාතියකුයි හොයා ගන්ඩ ! තව ඕන බයිසිකල් වලට හුලං ගහන පොම්පයක් !

ආ... තව ඕන විස්වාසවන්ත සහයකයෙක්ව ! සහයක ඩැනියෙක් !

මේකයි හදන විදිහ. මුලින්ම බයිසිකල් ටියුබ් එකෙන් වෑල් එක පරිස්සමට ගලව ගන්ඩ. ඊට පස්සේ මෙගා බෝතලේ මූඩිය හිල් කරලා වෑල් එක ඒ හිල ඇතුලින් පරිස්සමට රිංගවා ගන්න. වෑල් එක එහා මෙහා නොයන විදිහට නට් වලින් වෑල් එක සවි කරගන්න.

තේරුනේ නැත්නං පහල පින්තූරේ බලන්ඩ.



දැන් වෑල් එක මූඩියට සවි වෙලා ඉවරයි.ඊට පස්සේ සුපර් ග්ලූ ගම් ටිකක් අරගෙන වෑල් එක මූඩියට හයි වෙලා තියෙන හරියේ ගාන්න. එහෙම කරන්නේ වෑල් එක හයි වෙලා තියෙන හරියෙං හුලං ලීක් වෙන එක වලක්වා ගන්ඩ.

ඔන්න දැන් වැඩේ සෑහෙන දුරට ඉවරයි !

ඊට පස්සේ බෝතලේ බාගයකටම වෙනකන් වතුර පුරවන්න වෑල් එක හයි කරාගත්ත මූඩියෙන් බෝතලේ කට හොඳින් වහන්න. පල්ලෙහා පින්තූරෙන් තියෙන්නේ හුලං ගහන්ඩ ලෑස්ති වෙච්ච රොකට්ටුව !


ඊට පස්සේ තමන් හුලං ගහනකන් තමන්ගේ සහයකයාට කියන්න බෝතලේ අල්ලගෙන ඉන්ඩ කියලා. මම සහයකයට ගත්තේ සුදු පුතාව ! පෙනේද හැඟීමෙන්ම බෝතලේ අල්ලං ඉන්න අපූරුව !


ඊට පස්සේ තද වෙනකන් හුලං ගහපු බෝතලය අරගෙන ගිහින් කට පහලට වෙන විදිහට අල්ලගෙන මූඩිය එක පාරට ගලවන්න. පල්ලෙහා පින්තූරේ බලන්ඩ. මේ ක්ෂණයෙම බෝතලය ගුවන් ගත වෙන නිසා බෝතලය පරිස්සමට අතාරින්න.


පල්ලෙහා පින්තූරෙන් පේන්නේ ගුවන් ගත වෙච්ච වතුර රොකට්ටුවේ වතුර පාර !
කොහොමද වැඩේ !


ඔය ගොල්ලොත් වතුර රොකට්ටුවක් හදලා ඊලඟ සති අන්තේ යාලුවොත් විනෝදෙන් ගත කරන්ඩ.
එහෙනම් මං ගිහින් එන්නම් !

15 comments:

  1. උඹ මේ ලඟකදී ඉඳලා සෑහෙන්න තාක්සනෙට සම්බන්ද දේවල් ලියන්න අරන් හොඳා හොඳා පව් බොල පොඩි එකා (සුදු පුතා)

    ReplyDelete
  2. අඩේ මේකනම් කරන්නම ඕන ලබන සෙනසුරාදට.

    ReplyDelete
  3. 01. බෝතලේට පෙට්‍රෝල් පුරවන්න
    02. බෝතලේ මූඩියේ හොඳට ගිණි පෙට්ටියක විතර වෙඩි බෙහෙත් ගාන්න.
    03. තව කොළ ගුලියක් අරන් ඒ වෙඩි බෙහෙත් ටික ආවරණය කරන්න
    04. කොළ ගුලියට ගිනි තියන්න . ( ගිනි තියන්න කලින් නියමිත අයුරින් ස්ථානගත කරන්න )

    05. මුකුත් උනේ නැහැ වගේ නාඩියට මාරු වෙන්න.

    ReplyDelete
  4. බිග් මැච් ,සංදර්ශන , Xban, හිත් අමනාප අයගේ නිවෙස් අසළ භාවිතා කිරීමෙන් වළකින්න. ( මන්ද ඔවුන් තවත් අමනාප විය හැකිය . ඉතුරු උනොත් )

    මෙළෙසම ඉතා පහසුවෙන් LP ගෑස් ද බෝතලයට පිරවිය හැකිය. පිරවීමට ප්‍රථම හිස් කිරිපිටි පැකට් 8 ක් පමණ ගෙන මල්ටිබෝන්ඩ් සමග වට 5 ක තට්ටු කීපයක් ලැබෙන පරිදි අලවා ගන්න.

    ReplyDelete
  5. සුදු පුතාට අත් තුනක් ?

    ReplyDelete
  6. වැඩේ නම් අත්හදා බලන්න හිතයි.. ඒත් මෙහේ ඕවා කරන එක තමයි අවුල.. බලමුකෝ

    ReplyDelete
  7. ලංකාවෙ හිටියා නම් මමත් මේක අනිවාර්යෙන්ම කරලා බලනවා...අත්හදා බලන්න ආසයි...පොඩි උන් ඉන්න තාත්තලා මේ සටහන දකිත්වා...

    ReplyDelete
  8. ඇ සහන් උඹට පිස්සුද

    ReplyDelete
  9. ත්‍රෙඩ් තියන මුඩිය එක පාරට ගලවන්නේ කොහොමෙයි

    ReplyDelete
  10. පැතුම් (රයිටර් )
    මගෙත් පුරස්නෙ ඒකයි!

    ReplyDelete
  11. @කෝරලේ මහත්තයා :
    උට වෙච්ච සන්තෑසියක් නෑ. වතුර නෑවයි කියලා අම්මගෙන් පාරවල් දෙක තුනක් කාපු එක විතරයි උනේ.

    @Naleen Dilruksha :
    අනිවාර්යෙන්ම කරලා බලන්න.

    @SilentSahan :
    අම්බෝ මේවා අත්හදා බලන එක භයානකයි වගේ !

    @ Anonymous :
    නෑ නෑ.. ඒ ගමේ කොල්ලෙක් !

    ReplyDelete
  12. @Dinesh :
    හදිස්සි වෙන්ඩ ඕනැන්නේ නෑ. නිවාඩු වෙලාවක කරලා බලන්ඩෝ !

    @සිරාගෙ කාමරේ :
    අනිවාර්යෙන්ම එවුන් දකිත්වා !
    ඒක නෙමේ සිරා කොහේද ඉන්නේ ? කවද්ද නැව් නැග්ගේ ?

    @අටම්පහුර :
    ආයෙත් අහලා !

    @ පැතුම් (රයිටර් ) :
    එකපාරටම නෙමේ. එකපාර ගලවන්ඩ අමාරුයි නේ. ඉක්මනින්ම මූඩිය ගලවන්ඩ කිය්යා නම් තමා හරි !

    @රාජ් :
    ඔන්න රයිටර්ට උත්තරේ දුන්නා. එකපාර නෙමේ... ඉක්මනින්ම !

    ReplyDelete
  13. වතුර ටික පාට කරලම ගත්ත නම් නියමෙට තියෙයි.. :D

    ReplyDelete
  14. කරලා බලන්න වටින වැඩක් නොවෙන්නම්... තැන්කූ කිව්වට!

    ReplyDelete
  15. බොහොම ස්තුති...බලන්න බ්ලොග් ලිපි ඕනි වෙන්නෙ මොන වෙලාවෙද කියල කියන්න බැරි හැටි. මාත් ඉස්කෝලේ මගෙ අටේ ග්‍රහයො ටික එක්ක මේක කරල බලල ඔයාට කියන්නම් කෝ හොදේ...බොහොම ස්තුති

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.