10 May 2019

හෙරලි

එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක් තියෙන එක හොදයි කියලා. නමුත් කොස් ගහකට වඩා ගේ ඉස්සරහා බෙලි ගහක් තියෙන එක ගොඩක් හොඳයි ලූ. බෙලි ගහක් තියෙනකොට ගෙට සිරියාකාන්තාව වඩිනවා ලූ. (එක ගෑනු කෙනෙක් ඇති. තව කෙනෙක් නං ඕන නෑ.)

ඒත් බෙලි ගහක් ගේ ඉස්සරහා තියෙන එක හෙන අවදානම් වාහනයක් එහෙම නවත්තල තිබ්බොත් බෙලි ගැට වැටෙන්ඩ පුලුවන්. එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම්.

කතාවට කියනවා නෙව යන යකා කොස් අත්තත් බිදගෙන යනවයි කියලා. අන්න ඒ වගේ අපේ ගෙදර යකා ගේ ඉසරහා කොස් අත්තක් කඩාගෙන යයි. :)

පානදුරේ ජීවත් වෙන අපිට වත්තේ කොස් ගහක් නෑ කියලා කියන්නේ ඒක අඩුවක් වගේ. මොකද කොස් මාමා කියලා විරුදාවලිය ලබපු ආතර් වී. දියෙස් මහහ්මයාත් පානදුරේ කෙනෙක් නෙව.
හරි ඒවයින් කාරි නෑ. !!

කොස් වලටම හෙරලි කියලත් කියනවා නෙව. මෙන්න මේකයි අද කතාව.

ඔන්න එකෝමත් එක කාලෙක එක ගම් පළාතකට ආහාර අහේනියක් ආවා. කුඹුරු පාළු වෙලා ගිහින් ගමේ මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙල ගියා. ගමේ මිනිස්සු එක එක කෑම ජාති හොයාගෙන ගියාට හරි හමන් දෙයක් බඩට දාගන්න ලැබුණේ නෑ.

මේ ගමේ මිනිස්සු කන්න නැතුව දුක් විඳින බව සක් දෙවියන්ට දැනගන්ඩ හම්බ උනා. උන්නාන්සේගේ පඩුපුල් ආසනයත් මේ හන්දම රත් වෙන්ඩ ගත්තා. ඉතින් සක් දෙවියෝ මොකද දන්නවද කළේ, උන්නාන්සේ හිඟන්නෙක්ගේ වේශයක් මවාගෙන මේ ගමට වැඩියා.

මේ ගමට ඇවිත් එක ගම ගේකට ආවා. මේ ගම ගෙයි ගේ ඉස්සරහා තියෙනවා සද්දන්ත ගහක්. ගහක් කිවට කොස් ගහක්. නමුත් මිනිස්සු මේ ගහේ ගෙඩි කන්නේ නෑ. මේ ගහේ ගෙඩි කෑවොත් මැරෙයි කියලා බයක් ගමේ මිනිස්සුන්ට තිබ්බා.

සක් දෙවියෝ මේ ගෙදරට ඇවිත් කන්න දෙයක් ඉල්ලුවා. ගෙදර ගම හාමිනේ ඇවිත් "අපටත් කන්න හරිහැටි දෙයක් නෑ.." කියලා කිව්වා.

හිගන්නාගේ වේශය මවාගෙන හිටපු සක් දෙවියෝ කියනවා,

"එහෙනං ආං අර ගහෙන්වත් ගෙඩියක් කඩලා තම්බලා දෙන්න." කියලා.

ගම මහගේ හිඟන්නට කියනවා "අපි ඔය ගහේ ගෙඩි කන්නේ නෑ. ඒවා කෑවොත් මැරෙනවා" කියලා කිව්වා.

ඒත් හිගන්නාගේ වේශය ගත්තු සක් දෙවියන්ගේ බලවත් පෙරැත්තය නිසාම මේ ගෑනු කෙනා ගහෙන් ගෙඩියක් කඩලා මදුළු ගලවලා හට්ටියක දලා තැම්බෙන්න තිබ්බ.

තැම්බෙන්න ලිපේ තිබ්බට මොකෝ මේ ගෙඩිය තැම්බීගෙන එනකොට හරි සුවදක් එන්න්නේ. මේ හින්දම ගෑනු කෙනාගේ බඩගින්නත් වැඩි වේගෙන ආවා.

මේ ගෑනු කෙනා මුට්ටිය ඇරලා කොස් කෑල්ලක් රහ බැළුවා. රහ නිසාම තව කෑල්ලක් කෑවා. ඒත් මේ ගෑනු කෙනාට ඉවසිල්ලක් නෑ. ටික ටික කන්න ගත්තා.

කොස් ගෙඩිය තම්බගෙන එන්න මෙච්චර වෙලාවක් යන්නේ මොකෝ කියලා බලන්න හිඟන්නාත් කුස්සියට ආවා. එනකොට අර ගෑනු කෙනා කොස් හට්ටියෙන්ම බාගයක් කාලා ඉවරයි ලූ.

මේක දැකපු සක් දෙවියෝ "තී නම් හෙර ලියක් ම තමයි !" කියලා කිව්වා ලු.

හෙර ලිය පස්සේ කාලෙක වෙනස් වෙලා හෙරලි කියලා වර නැගුණා ලූ. එහෙමලු කොස් වලට හෙරලි කියලා කියන්නේ.

එහෙනං මං ගියාවේ.

4 comments:

  1. යන යකා කොස් අතු කඩාගෙන යන සිද්දිය මම දැකල තියෙනවා. ඉස්සර අපේ ගෙදර ලොකු තොවිලයක් කළා, එකේ පාන්දර යාමේ ඔය යකා එලවනවා කියන වෙලාවේදී ඇත්තටම අපේ වත්ත පහලට වෙන්න තිබ්බ කොස් ගහක අත්තක් කඩාගෙන වැටුන. ඒ කතාවල මොකක් හරි දෙයක් තියෙනවා.

    ReplyDelete
  2. අපේ ගම් වල පැරන්ණෝ තවමත් හෙරලි යන නම ව්‍යවහාර කරනවා. අනාදිමත් කාලයක් සිට ආහාරය සඳහා කොස් භාවිත කර තිබෙනවා. පානදුරේ කොස් මාමාගේ උත්සාහය නිසා කොස් ගසට 'බත්ගස' කියා නමකුත් වැටුනා. කොස් හා සම්බන්ධ විශේෂ වචන මාලාවකුත් තිබෙනවා. කොස් ගසේ බාහිරව පෙනෙන මල් නොමැතියි. ඒ උනත් ඉතා කුඩා මල් රාශියක් සහිත පුෂ්ප මංජරියට කියන්නේ 'පනාපතුරු' (පනා යනු කොස් වලට තවත් නමක්). මල් පරගණය වූ පසු තරමක් වැඩුණු සංයුක්ත ඵලය 'ගැට පොලොස්'. නොමේරූ කොස් ගෙඩිය 'පොලොස්'. පැසුණු කොස් ගෙඩිය ඇතුලේ ඇති, ඵල ඒකකයේ නම 'කොස්මදුල'. බීජය 'කොස් ඇටය' බීජය සහ මදුල අතර ඇති බීජාවරණය (aril) 'සිවිඩ්ඩ 'ආදී වශයෙනි. ඉදුණු කොස් වැල හෝ වරකා වේ. කොස් මදුලු සහ ඇට දුම්ගසා වේලා ගත්විට 'අටුකොස්' වේ. කොස් ඇට සුළං නොවදින සේ ව්යළි පස් යට කලක් තැබූවිට 'වැලිකොස් ඇට' ලැබේ. කොස් ගෙඩිය් මධ්‍ය අක්ෂය වහල්ලයි. ගෙඩියේ නටුවෙන් සහ වහල්ලෙන් වැගිරෙන ලාටුව 'කොහොල්ලෑ' වේ. අවසාන වශයෙන් පුෂ්ප මන්ජරියේ පරාගණය නොවූ පුෂ්ප වල ශේෂය 'කොස් ඉරි' ලෙස හැඳින්වේ.මේවා ගැනත් තොරතුරු සොයා ලියන්න.

    ReplyDelete
  3. වැදගත් තොරතුරු ටිකක් ස්තුතියි .

    ReplyDelete
  4. Strange "water hack" burns 2lbs overnight

    Well over 160k women and men are hacking their diet with a easy and secret "liquid hack" to burn 1-2lbs each and every night as they sleep.

    It is painless and works every time.

    Here are the easy steps for this hack:

    1) Go grab a glass and fill it with water half the way

    2) Then use this awesome hack

    you'll be 1-2lbs thinner the very next day!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.