ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.
තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර පිනා යන සුවඳින් මා කුසගිනි අවුලවයි. මාත් මා ආදරණීය බිරින්දෑත් උපන් කතෝලිකයින් වූ නිසා ම සිංහල වුවත් අවුරුදු සමරන්නේ නැත. විටෙක අප උපන් සිංහලයින් වූවත් අනෙක් සිංහලයින් හා සමානවම අවුරුදු සමරන්නේ නැත්තේ ඇයි දැයි මගෙන්ම අසා ගනිමි.
එය මට ම උත්තර නැති ප්‍රශ්නයකි.කුඩා කළ මා අම්මාගෙන් මේ බව ඇසූ විට අම්මාගේ පිළිතුර වූයේ,
"අපි ඉතින් නත්තල් සමරනවනේ පුතේ" යන්නයි.
ඒ පිළිතුර මා ඉස් මුදුනින් ම පිළිගෙන සිටියා මිසක මා එතැනින් එහාට ප්‍රශ්න ඇසීමට නොගියෙමි. මේ නිසාම තවමත් ප්‍රශ්නය එලෙසම පවතී.
අවුරුදු සමරන්නේ නැති වුවත් මා උදේ සිටන ම ගෙවල් දොරවල් අස්පස් කිරිමේ කටයුතු වල නියැළී සිටියෙමි.
ගේ දොර අස්පස් කිරීමේ කටයුතු සියල්ලම මා සවස තුන වන විට හමාර කළෙමි. ඉන්පසු මා නානකාමරයට වැදී හොඳ හැටි නා ගතිමි. නෑමෙන් පසුව එන අධික කුසගින්න නිසාම මා ආදරනීය බිරිඳ බෙදා දුන් බත්පත කටට දෙකට ගිල දැමීමි.
දිවා ආහාරය නිම කර ටික වේලාවක් සාලයේ පුටුව මත දිග ඇදී සිටියෙමි. පුටුවකට බර වී ඔහේ කල්පනා කර සිටි මා හට කොහේ හෝ ළඟපාතකට ගොස් ඒමට දොළක් ඉපැදුනී. බොහෝ නිවාඩු දිනවල ගෙදරට වී කම්මැලිකමින් මා සිටින විට බයිසිකලයේ නැගී කොහේ හෝ ගඟක් වැවක් බලන්නට යාම මා කලක සිට හුරුවී ඇති පුරුද්දකි.
ඒ නිසාම බයිසිකලය දෙසත් බිරිඳ දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටි මා දුටු බිරිඳ,
"ඉතින් එහෙනං රෑ වෙන්න කලින් ගිහින් එන්ඩ" යැයි කීවේ මා සිතැඟි ඈ හඳුනා ගත් බව පළකිරීමට මෙනි.
මා ද මිටින් හල කුරුල්ලෙකු සේ බයිසිකළයේ නැග රුක්ගහ තොටුපොළ වෙතට ළඟා වුනෙමි. රුක්ගහ තොටුපලත් අප නිවසත් පිහිටියේ කිලෝමීටරයකට මදක් වැඩි දුරකිනි. රුක්ගහ තොටුපොළ වෙත යන මාර්ගය රබර් ඉඩමක් මැදින් හා වෙල් යායක් හරහා වැටී ඇති නිසා මේ ගමන මසැස ද මසිත ද එක සේ පිනවීමට හැකි ගමනකි.
බොහෝ සවස් කාළ වලදී අප දෙදෙනා රුක්ගහ තොටුපොළැ වෙත ගොස් සැන්දෑ කාළයේ පැයක් දෙකක් එහි ගතකර ගෙදර ඒම පුරුද්දකි. එහෙත් මේ දිනවල මා බිරිඳ ගැබ්බර බැවින් එවැනි ගමන් වලට ඈ දැන් උදාසීන කමක් දක්වයි.
ගර්භණී සමයේ අන්තිම මාස කිහිපය ගත කරන නිසාම ඈ මෙවැනි ගමන් පිලිකෙව් කරන්නී ය.
මා රුක්ගහ තොටුපොළ වෙතට පැමිණියේ අප කිහිප විටක් එහා මෙහා ගිය පාළම් පාරුව දකින අටියෙනි. අහෝ... මා ඇස් අදහා ගත නොහැකි විය.
පාළම් පාරුවට ගමන් කිරීමට ආධාර කළ ශක්තිමත් කඹය එහි නොවී ය. පාළම් පාරුවද ගං ඉවුරේ නොවී ය. පාළම් පාරුව ගඟේ එහා ඉවුරට මදක් ඈතින් ගොඩබිමට ගෙනවිත් තිබෙන බව මෙහා ඉවුරේ වූ මට දකින්නට ලැබුණි.
"පාළම් පාරුව නවත්තලා ටික කාළයක් වෙනවා මල්ලි." මා අසල සිටි අයියා කෙනෙක් මට පැවසී ය.
එදා අප සතුටින් එහා මෙහා ගිය පාළම් පාරුව අද එකතැන් වී ඇත. ඒ වෙනුවට මිනිසුන් එතෙර මෙතර කිරීමට බෝට්ටු දෙකක් ඉවුරු දෙකෙහි තිබෙන බව මා දුටුවෙමි.
මා ටික වේලාවක් මෙහා ඉවුරේ රැඳී සිටියෙමි. ඉන්පසුව නැවතත් මා ආපසු ඒමට හැරුණි.
එහෙත් මට එහා ඉවුරට ගිහින් පාළම් පාරුවට සිදු වූයේ කුමක්දැයි බැලීමට සිතක් පහල විය. ඒ නිසාම මා හොරණ පාරට විත් බණ්ඩාරගමට පැමිණියෙමි. බණ්ඩාරගම නගරය අවුරුදු සිරියෙන් ඇළලෙයි. යකඩ කටකින් එක් එක් කඩවල දැන්වීම් කියවනු අසන්නට ලැබේ. එසේම මාර්ගය දෙපස මිනිසුන් රැස් කමින් අවුරුදු කැවිලි පෙවිලි ද අළුත් ඇඳුම් ද ආහාර පානාදිය ද මිලදී ගැනීමෙහි යෙදී සිටියි.
මා බණ්ඩාරගම හතරමං හන්දියෙන් කැස්බෑව දෙසට හැරවීමි. ඉන් පසු කඹුරුගොඩ පසුකර ගල් කඩේ හන්දියෙන් ගඟ දෙසට ආවෙමි.
මා කලින් සිටියේ බොල්ගොඩ ගඟේ මෙහා ඉවුරේ ය. ඒ රුක්ගහ තොටුපොළ ය. දැන් සිටින්නේ එහා ඉවුරේ ය. ඒ අළුත්ගම තොටුපොළ ය. අළුත්ගම තොටුපොළ වෙත එන මාර්ගය අවසාන වන්නේ බොල්ගොඩ ගඟ අසලින් ය.
පාළම් පාරුව ද ගොඩ ගසා ඇත්තේ මේ පාර ඉවර වන හරියේ ය. දහස් ගණනක් මිනිසුන් එතෙර මෙතෙර කර පාළම් පාරුව ඉවුර අසලට වී ගිමන් නිවමින් සිටින බව මා දුටුවෙමි.
පාළම් පාරුවට ආධාර කල යෝද කඹය දිරා ගොසින් ය. පාළම් පාරුවේ තිබූ යකඩ දම් වැල ද ගැලවී ගොසින් ය.
පාලම් පාරුව වෙනුවට දැන් ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඔරුවකි. එයින් එක්වරකට මිනිසුන් කිහිප දෙනෙකු එතෙර කිරීම සිදු කළ ද පාළම් පාරුව මෙන් වාහන එතෙර කිරීම සිදුකළ නොහැකි ය.
මා කලක් තිස්සේම ආශ්වාදනය කළ රුක්ගහ තොටුපොළේ පාළම් පාරු ගමන අද නැවතී ඇත.
ඉතා ඉක්මනින් පාළම් පාරුව නවීකරණය කර නැවතත් ජනතා අයිතියට පත් කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය එතෙර මෙතෙර යන මගීන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
කෙමෙන් කෙමෙන් මලානික වන හිරු පානදුරා තොටමුණ දෙසින් මුහුදේ ගිලීමට නියමිත බැවින් මා කඩිනමින් නැවත නිවස කරා ආවෙමි.
අතීත ග්‍රාම්‍යය ලක්ශණ කෙමෙන් කෙමෙන් අප ගම්පියසින් ද අභාවයට යමින් පවතී. පැරණි දේ ට ප්‍රිය කරන මට මෙය දුක් මුසු දෙයක් වුවත් ලොව දියුණු වන විට අපද ඉදිරියට යා යුතු බැවින් කෙසේ හෝ මා සිත හදා ගත යුතු ය.
හිරණ තොටුපොලේ පාළම් පාරුවද දැන් නැත. ඒ වෙනුවට පාළමක් ඉදිවී ඇත. කවරදාක හෝ රුක්ගහ තොටුපොළත් මේ ඉරණමට මූණ දිය යුතු ය.
හිරණ තොටුපොළේ නව පාළම |
කවදා හෝ පාළම් පාරුවක් කියන්නේ මොකද්ද යැයි මගේ දරුවෙකු ඇසුවහොත් මට පෙන්වන්නට ඇත්තේ මා කලින් ගත් පින්තූර කිහිපයක් පමණක් විය හැකි ය. මා වින්ද ආශ්වාදනීය රසවින්දනය මගේ දරුවෙකුට හීනයක් විය හැකි ය.
ලොවෙහි වෙනස් නොවන එකම දේ වෙනස් වීම ය. වෙනස්වන ලොවත් සමඟ අප ද වෙනස් විය යුතු ය.
------------------------------------------------------------------------------
ප. ළි. - : එදා මා ගිය පාළම් පාරු ගමන.
ඔබගේ රසවත් විස්තරය කියවූවා. රුක්ගහ තොටුපලේ සහ හිරණ තොටුපලේ පාලම් පාරුවලින් කිහිප වරක් ගොස් අති මා ද හොරණ කිට්ටුව පදිංචිව සිටි කෙනෙකි. ඔය වගේ දෙයක් තමයි වෙලා තිබෙන්නේ කුඩා ගඟේ වෙරළුගස් තොටුපලේ සහ කලවැල්ලාව තොටු පලෙත්. මේ ස්ථාන දෙකේම පාලම් නිසා තොටුපල නැතිවී ගොස්. කළු ගඟේ අඟුරුවාතොට තොටුපලේ තවම අඟුලක් තිබෙනවා. නාර්තුපාන පාලම නිසා එතනටත් සෙනග අඩුයි.
ReplyDeleteසංවර්ධනය නිසා අභාවයට යන, මතකයේ පමණක් ඉතිරිවී තිබෙන සුන්දර දේවල් !!!
කාලයත් එක්ක නැති වෙලා යන, වෙනස් වෙන අපේ සුන්දර මතක රැදුනු දේවල් අද දකිනකොට සමහර වෙලාවට දුකකුත් දැනෙනවා.. ආය කවදා ඒ දේවල් විඳින්නද කියලා..
ReplyDeleteබයිසිකලේකින් එහා මෙහා යන්න පුලුවන්නම් පාලම් පාරුවක් මොකටද?
ReplyDelete