25 September 2018

පිදූ රං ගල පිදුරන්ගල වීය

කාලෙකට උඩදි අපි සීගිරියෙයි පිදුරංගලයි ගියා. පිදුරංගල විහාරය වැඳලා කන්ද නගින කොට මැදකදී මගේ දනිහ පැන්න. ඒ නිසා මට ගල මුදුනටම යා ගන්න බැරි උනා.

පිදුරංගලින් පහලට බැස්සෙත් අපේ දෙන්නෙක්ගේ වාරුවෙන් වත්තම් වෙවී. ඒ නිසා මට හරියාකාරව පිදුරංගල බලාගන්ඩ බැරි උනා. ආයෙම දවසක නම් අනිවාර්යෙන්ම යන එක යනවාමයි.

පිදුරංගල වැඳලා සීගිරියට එනකොට සීගිරිය ගල නගින පඩිපෙල කිට්ටුවම වගේ ඉන්නවා අමරේ මාමා කියලා මැදි වයසත් පැනපු මනුස්සයෙක්. උන්දෑ එතැනින් යනෙන අයට සීගිරිය හා අවට වැදගත්කම ගැන හරි අපූරුවට කියලා දෙනවා.

උන්දෑ ගොඩාක් ලොකු විස්තරයක් කියලා දුන්නට මට මතක හිටියේ නෑ. මට මතක තිබ්බ ටික පහලින් කොටන්නම්.

ඒ කාලේ කාෂ්‍යප කුමාරයා සීගිරිය නිර්මාණය කරන්න එන කාලේදි මහානාම හාමුදුරුවෝ සීගිරිය ආරාමයක් කරගෙන ජීවත් උනා ලු. කාශ්‍යප කුමාරයා මුලින් මුලින් හාමුදුරුවන්ට පණිවුඩ යැව්වලු මෙතැන මම ආලකමන්දාවක් හදන්න යන්නේ ඒ නිසා ඉවත් වෙන්නෙයි කියලා.

නමුත් මේ පණිවුඩ සේරම මහනාම හාමුදුරුවෝ අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැම්මා ලු. බැරිම තැන කුමාරයා සීගිරියට ඇවිත් හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කිව්වා ,

"මගේ අණ පිළි නොපදින්න තරම් ඔය හාමුදුරුවෝ කවුරුන්ද ? දන්නවද මං කවුද කියලා ? මම මේ රටේ ඔටුන්න හිමි රජතුමාගේ පුත් කාෂ්‍යාප !" කියලා කිව්වා ලූ.

ඊට පස්සේ මහානාම හාමුදුරුවෝ ඉස්සරහට ඇවිත් කතා කරලා කිව්වා ලූ

"දන්නවද මං කවුද කියලා ? මම තමයි මහානාම හාමුදුරුවෝ" කියලා කිව්වා ලු.

ඊට පස්සේ කුමාරයාට තේරුණා ලූ තමන් වාද කරන්න යන්නේ නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් එක්ක ය කියලා. කුමාරයා හාමුදුරුවන්ට හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැඳ වැටිලා සමාව අරගත්තා. ඊට පස්සේ මේ කුමාරයා ඊට ටිකක් එහායින් ගල් පර්වතයක් ලඟ ලස්සන විහාරයක් කරවලා හාමුදුරුවන්ට පූජා කළා ලූ.

එදා හාමුදුරුවන්ට පිදූ රන් ගල පිහිටි විහාරය පිදුරංගල උනයි කියලා සදහන් වෙනවා ලූ.

මේ කතාව මම ඉතිහාස පොත් වලින් කියවලා නෑ. ඒ නිසා මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන්න.

කට්ටිය රැල්ලට පිදුරංගල යන නිසා මට මේ කතාව මතක් උනේ.

උඩ පින්තූරේ නැමිලා ඉන්නේ අමරේ මාමා.

5 comments:

  1. කතාව ගැන නම් මාත් දන්නේ නැහැ. ඒත් බලන්නට යා යුතුම තැනක්. සුන්දරයි, ප්‍රෞඩයි, නිසන්සලයි!

    ReplyDelete
  2. මම කවදාවත් ගිහිල්ල නෑනේ.. සිගිරි නම් දෙතුන් පාරක් ගිහින් තියෙනවා..

    ReplyDelete
  3. ඒ භක්තිය වැඩි කමටද කොහෙද අර කොල්ලෝ සැට් එකක් ගොහින් පුක පෙන්නලා තියෙන්නේ...
    --------------

    උඹේ විස්තර ටික නම් බොහොම වටිනවා..

    ReplyDelete
  4. ඒ සිද්ධිය නිසාම පිදුරන්ගල ගැන මිනිසුන්ගේ මතකය අලුත් වෙනවා. 'කොයි දේ සිදුවන්නෙත් හොඳටලු' !

    ReplyDelete
  5. ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි විවිධ විෂයන් හරහා අපි එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.