මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි. පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් නොවිනි.
අද දින මා විසින් නිම කළ යුතු කාර්‍යයන් කිහිපයක් තිබුණත් ඒ සියල්ල කිරීමට මා තුල වූ උද්‍යෝගය අදුරු අහස විසින් උදුරාගෙන ඇති බව මට හැඟුණි. මා ගෙයි ඉදිරිපස දොර හැරගෙන එකක් පසුව එකක් වැටෙන වැහි බිඳු දිහා බලාපොරොත්තු සුන් වූ හැඟීමකින් බලා සිටියෙමි. මගේ උද්‍යෝගය සුන් වූවත් මුළු පරිසරයම ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. ගහකොළ පවා ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. පහුගිය දිනවල එකා සීරුවට වැටුණ චණ්ඩ හිරු රැසින් කහ ගැහී වියැලී ගිය මිදුලේ තිබෙන තණ පලසත් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් සේ ලා දළු දමමින් නැගී සිටින්නේ මින් පෙර අත්විඳි නියඟය ගැන කිසිදු වග විභාගයක් නැති සේ ය.
වෙනදට මිදුලේ තිබෙන කුරුළු ලෑල්ලට එන ගිරවු, ලේනුන් අද නැත. උනුන් තම තමන්ගේ කූඩු වලට වී මේ වැස්සේ විපාක විඳිනවා වන්නට ඇත. කුසගින්නේ ම කූඩුවලට වී කල් ගත කරනවා වන්නට පුළුවන. මට මේ වෙලේ මතක් වන්නේ මා කුඩා කළ ඉගෙනගත් ගීයක පද කිහිපයකි.
පායනා කාළේදී රෑ
දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කූබියෝ….!
ගීයෙන් කියන්නා සේ කුහුඹියන්ට නම් මේ වැස්සෙන් එතරම් හානියක් නැතුවත් ඇති. උන් ඊට කලින් රැස් කර ගත් කෑම කමින් තම තමන්ගේ ගුල් වලට වී කම්මැලිකමේ කල් ගෙවනවා වන්නට පුළුවන.
"ඒයි… ඔය දොර වහලා ඇවිත් මේ තේක බොන්න…" යැයි කී බිරිඳගේ හඩින් මා පියවි සිහියට ආවෙමි. ඒ වනවිටත් මගේ උදෑසන තේ කෝප්පය දුම් දමමින් සාලයේ මේසය මත විය. තේක නිමෙනවාටත් වඩා පුතා මේසයට නැග තේක හලාවී යන සැකය මා තුළින් පැන නැඟුන නිසා වහා වහා මේසය වෙත ගොස් තේක අතට ගත්තෙමි.
බලමු… හවස් වෙද්දිවත් පායයි නේ.. !
හ්ම්... 💓
ReplyDeleteඅගෙයි සටහන.
ReplyDeleteජයවේවා