04 December 2016

මං කැමතිම ලේඛකයා

මීට අවුරුදු කිහිපයකට උඩදී හරියටම කියනවා නම් 2002 - 2003 අවුරුදු වල. එතකොට මම දහයේ පංතියේ හිටියේ. ඒ දවස්වල මායි අපේ මල්ලියි හරි හරියට පොත් කියෙව්වා.

කියවපු පොත් වලින් ගොඩක් පොත්, පරිවර්තන !

ඒ පරිවර්තන වලිනුත් වැඩි හරියක් පරිවර්තනය කරලා තිබුණේ කේ. ජී. කරුණාතිලක මහත්මයා. එතුමාගේ පරිවර්තන කාර්යය ගැන නම් කියලා වැඩක් නෑ.. !

හැම පොතකම වාගේ තියෙන්නේ "අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය" කියලා.

ඔය දවස්වල අපේ මල්ලිලෑ පංතියේ හිටියා චතුරිකා කියලා ගෑල්ලමේක්. එයත් අපි එක්කම වාගේ හරි හරියට පොත් කියෙව්වා. එය ළඟ තිබ්බා "බඹරවිලේ හොල්මන" කියලා පොතක්.

ඒක ලියලා තිබුණේ භද්‍රජී මහින්ද ජයතිලක කියලා මහත්මයෙක්.

පොතේ නමයි කතුවරයාගේ නමයි ටිකක් කටට හුරු මදී. ඒත් ඒ පොත කියවන්න මොකද්දෝ පෙළඹවීමක් මගේ හිතෑතුලෙන් ආපු නිසා මම චතුරිකාගෙන් පොත ඉල්ලගත්තා.

ගෙදර ආපු හැටියෙම වාගේ පොත කියවන්න ගත්තා. අම්මෝ පොත ඉවර වෙනකන් කියවලා මිසක් නතර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම ඒ පොතේ ගලා යෑම මරු.

අනික හැම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයටම මොකක් හරි කුතුහලයක් ඉතුරු වෙනවා. ඒ නිසා එක හුස්මටම පොත කියෙව්වා.

මම පොත කියවලා ඉවර වෙච්ච ගමන් මල්ලිත් ඒ පොත කියෙව්වා. ඔන්න ඔහොම තමා මගේ ජනප්‍රියතම ලේඛකයාව හම්බ උනේ.


එදා ඒ පොතෙන් ඉපදිච්ච ආසාව නිසා එතුමා ලියපු ඔක්කෝම භීෂණ නවකතා හොයාගෙන කියෙව්වා. හොල්මන් ගැන, බෝදිලිමෝ ගැන, අවතාර ගැන, වෘක මිනිස්සු ගැන එහෙම ලියවෙච්ච පොත් කිහිපයක් එතුමා ලියලා තිබ්බා.

ඔය සේරම වගේ මමයි මල්ලියි පුස්තකාලෙන් හොයාගෙන කියෙව්වා.

ඊට අමතරව අනෙකුත් පොත් ටික මම පේරාදෙණිය සරසවි පුස්තකාලෙන් කියෙව්වා. මේ වෙනකොට මම භද්‍රජී මහත්මයාගේ පොත් වලින් සෑහෙන පොත් ගොඩක් කියවලා තියෙනවා.

ඒ විතරක් යෑ... භද්‍රජී මහත්මයා ලියපු හැම පොතක්ම වගේ මගේ පොත් එකතුවේ තියෙනවා.

ඔය පල්ලෙහා පින්තූරේ ඉන්නේ භද්‍රජී මහත්මයා.

භද්‍රජී මහත්මයා ගන කියනවා නම් ක්ෂේත්‍ර ගණනාවක් තුල හසල දැනුමක් ඇති පුද්ගලයෙක්. ගීත රචනය, ගායනය, චිත්‍ර ශිල්පය, ලේඛන කළාව වගේ ලොකු පරාසයක් තුල විශේෂ දක්ශතාවයක් දක්වපු කෙනෙක්.

වෙලාවක් හම්බ උනොත් එතුමා ලියපු "බඹරවිලේ හොල්මන" පොත කියවලා බලන්න. එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි මම කිව්වේ බොරුද ඇත්තද කියල... :)

10 comments:

  1. සමිතා සමග " දෙවැට අයිනේ මල් පිපෙන්නේ " ගීතය ගායනා කරන්නෙත් එතුමා නේද?

    ජයවේවා!!!

    ReplyDelete
  2. කේ. ජී. කරුණාතිලක මහත්මයාගෙ මම කැමතිම පොත් ටික මොන්තක්‍රිස්තො සිටුවරයා පොත් 6. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්.

    භද්‍රජි මමත් කැමතිම ලේඛකයෙක්. දොඹගල නිධානය,සක්වල වහල්ලු වගේ පොත් පොඩි කාලෙ කියවල තියෙනව, දැන් නම් මතක නෑ කතාව වත්. පස්සෙ කාලෙක මම කියවපු ඔහු ලියපු, හිතට වැදුනු පළමු පොත ශ්‍රි රාවණ්ණා පුවත. ඉන්පස්සෙ පවුරු බැඳි රාජ්‍යය පොත කියෙව්වා මතකයි. සිංහලෙන් ලියන අනිත් අයට වඩා ඔහු වෙනස්ම තේමාවන් තමන්ගෙ පොත්වලට තෝරගන්නවා. ඒ කාලෙ කලින් කියවපු පොත් ඔක්කොම පුස්තකාලවලින් කියවපුව නිසා මටත් එයාගෙ පොත් ටිකක් ගන්න ඕන වෙලා තියෙනව. මට මතක හැටියට ඔහුගෙ ප්‍රකාශකයා දයාවංශ ජයකොඩි. මම මේ පාර බීඑම්අයිසීඑච් පොත් ප්‍රදර්ශනේදි එයාගෙ පොත් ටිකක් ගන්න හිතන් දයාවංශලගෙන් ඇහුවා. එක පොතක්වත් තිබුනෙ නෑ. මම හිතන්නෙ ඒ පරණ පොත් දැන් මුද්‍රණයෙ නැතිව ඇති.

    ReplyDelete
  3. පැන්සලෙන් , පැනෙන් ඉරි දෙක තුනක් පටස්ගාල ගහලා , ඉස්සරහ ඉන්න කෙනාව ඒ වාගෙම අදින්න පුලුවන් කෙනෙක් , ගොඩාක් ඉස්සර රූපවාහිනියේ වැඩසටහනකදි මං දැක්කා

    ReplyDelete
  4. භද්‍රජී දැන් ඉන්නේ ඇමරිකාවෙ. ලේඛකයෙක්, ගීත රචකයෙක්, ගායකයෙක්, ගිටාර් වාදකයෙක්, නළුවෙක්, චිත්‍ර ශිල්පියෙක්..ඒ සේරටම වඩා හොඳ මිනිහෙක්. මගේ හොඳම යාළුවෙක්.
    කතාවට වැටුනම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එයාගෙන්.

    ReplyDelete
  5. ඔහු හොඳ ලේඛකයෙක් බව මමත් අසා තිබෙනවා. හැබැයි එක පොතක් වත් කියවපු බවක් නම් මතක නෑ..

    ReplyDelete
  6. හොයා ගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ පොත කියවන්න...

    ReplyDelete
  7. භද්‍රජීගේ හන්තාන කඳුපෙළ හඳට ආවඩා ගීතයට මම කැමතියි මේ ගීතයේ පද, සංගීතය ඔහුගෙමයි.

    ඕන නම් අහන්න.

    ReplyDelete
    Replies
    1. ඔය ගීතයට මමත් කැමතියි අරූ. ඒත් ගායකයා ඔහු වග දැනන් හිටියේ නෑ. ස්තූතියි

      ජයවේවා!!!

      Delete
  8. භද්‍රජි ගේ අයියා සී එල් වී ජයතිලක. පොර දීර්ඝ කාලයක් පේරාදෙණියේ මිකැනිකල් ඉංජිනියරිං දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු විදියට වැඩ කළා. මධුරංගලා එහේ යන ඛොට ජයතිලක පැන්ෂන්.

    භද්‍රජී ඔහු ගේ බට්ටිච්චා සින්දුව ලිව්වේ අයියා ගේ නිවසට ගිය දවසක කියා අසා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. "අයියා පේරාදෙණියේ ඉන්ජිනේරු පීඨයේ පොඩි අක්කා වෛද්‍ය පීඨයේ. පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් පැවැත්වූ විභාගයක් සමත් වූ භද්‍රජීට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිපිකාර රැකියාවක් ලැබුණා. අයියත් සමඟ භද්‍රජී පේරාදෙණියේ නැවතුණා. පේරාදෙණියේ සුන්දර සුවදායි පරිසරය භද්‍රජිගේ කලාකාමී හදවත පුබුදුවාලන්නට සමත් වුණා.


      “හන්තාන කඳු පෙළ හඳට ආ වඩා
      සරසවියට පිනි පොදක් වැටෙනවා
      මගේ හද මැදුරට අඳුර ගලනවා
      බට්ටිච්චෙක් මගේ දුකට හඬනවා”

      භද්‍රජි අතින් ලියැවුණු අතිශය සොඳුරු මේ පදවැල බිහි වුණේ පේරාදෙණි සරසවි බිමේ සෞන්දර්යයෙන් සිත වසඟ වූ මොහොතක."

      http://www.silumina.lk/2011/10/23/_art.asp?fn=ay1110231

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.