12 January 2015

මාලිගාවිල සහ දඹේගොඩ

මොණර ගල නැග්ගට පස්සේ අපි එහෙම්මම නේවාසිකාගාරේට ආවා. සෑහෙන මහන්සියක් දැනුනේ... ඔන්න ඊට පස්සේ හවස 6ට 7ට වගේ ලොකු වැස්සක් පටන් ගත්තා.ඒ වැස්ස එකා සීරුවටම පාන්දර වෙනකන්ම වැස්සා. මම හිතුවේ පහුවෙනිදට  අපිට එලියට බැහැ ගන්ඩවත් බැරි විදිහට වහීවි කියලා.

ඒත් එහෙම උනේ නෑ..

උදේ හොඳට පායලා තිබුනා. අපි නේවාසිකාගාරයෙන් එලියට ඇවිදින් මොණරාගල ටවුමට ආවා. එතනින් උදේ කෑම අරගෙන එහෙම්ම ම මොණරාගල - මාලිගාවිල (මාර්ග අංක 236) බස් එකකට ගොඩ උනා.

මොණරාගල > කුඹුක්කන > ඔක්කම්පිටිය > මාලිගාවිල

ඔය රූට් එකෙයි බස් එක යන්නේ. අපි උදේ දහය විතර වෙනකොට මාලිගාවිල බස් නැවතුමට ආවා. එතන ඉදලා මාලිගාවිල බුදු පිළිමය ගාවට පයින්ම ආවා.

මාලිගාවිල බුදු පිළිමය ගැන යමක් කියනවා නම් දැනට ලංකාවේ තියෙන හිටි පිළිම වලින් තුන්වෙනි තැනට උසම බුදු පිළිමයයි. එය උසින් අඩි 37ක් පමණ වෙනවා.

ක්‍රි.ව. 640ත් 700ත් අතර රජකම් කරපු දප්පුල රජතුමාගේ නිර්මාණයක් බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ. මේ පිළිමය හුණුගල් විශේෂයකින් නිර්මාණය කරන ලද්දකි. මාලිගාවිල පිළිමය 1951 වසරේදි සොයා ගන්නා විට බිමට පතිත වී තිබිලා තියෙන්නේ.  1974 අවුරුද්දෙදි මේ පිළිමය ඔසවන්න ගත්ත උත්සහය වැරදිලා කොටස් කිහිපයකට කැඩිලා තියෙනවා.


1991 අවුරුද්දේ ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුව කාලේ නැවත වතාවක් උත්සහයක යෙදිලා තියෙනවා. ඒ සාර්ථක වෙච්ච උත්සහයෙන් පසුවයි අද පේන තත්වයට මේ පිළිමය පවතින්නේ. මාලිගාවිල බුදු පිළිමය ඔසවපු ව්‍යාපෘතිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථා අඩවියේ ලිපියෙන්ම කියවගන්න මෙතන ක්ලික් කරන්න.

අපි මාලිගාවිලට ආපු දවස්වල මේ පිළිමය වටා වහලයක් ගහනවා. ඒ නිසා මේ දවස්වල පිළිමය වහලා තියෙන්නේ.


අපි මාලිගාවිලට ඇවිත් ටික වෙලාවක් යනකොට පොද වැස්සක් වැටුනා. අපි ඒත් කමන් නෑ කියලා පොද වැස්සෙම ගමන පිටත් උනා. කලින් දා වැස්ස නිසා පාරවල් සේරම මඩ වෙලා තිබ්බා. ඒ වගෙම තමා තැනින් තැන වතුර පිරිච්ච තැන් දකින්න ලැබුනා.
ටික දුරක් ඇවිදගෙන යනකොට පාර දෙකට බෙදෙන තැනක් හම්බ උනා. එක පැත්තක් මාලිගාවිලටත් අනෙක් පැත්ත දඹේගොඩ බෝසත් පිලිමෙටත් යන පාරවල් දෙක.

අපි මාලිගාවිල බුදු පිළිමය බලන්න ගියා. පහලින් තියෙන්නේ වහලය ගහන්න වහලා තියෙන පිලිම වහන්සේ.

අපි එතැන ටික වෙලාවක් ගත කරලා දඹේගොඩ බෝසත් පිළිමය ගාවට ආවා.  ඒ එන මග දැකපු නටබුන් වෙච්ච ස්ථානයක පින්තූරයක් තමා පහළින් තියෙන්නේ. පෙනෙන විදිහට මේ ස්ථානය ඒ දවස්වල සෑහෙන ලොකු විහාර සංකීර්ණයක් විදිහට තිබිලා තියෙනවා.

ඒක ලොකු ගොඩ නැගිල්ලක් මතයි ඉදි කරලා තියෙන්නේ.පේනවා නේද කට්ටිය කුඩත් හෙවිල්ලගෙන පඩිපෙල් බහින අපූරුව.. මේ පඩි පෙල්වල සුදු පාටට හිරිගල් වගේ ස්ථරයක් තියෙනවා. ඒ කාලේ මේ පඩිපෙල් ලස්සනට තියෙන්ඩ ඇති.

ඔය පහලින් තියෙන්නේ බෝසත් පිළිමය. අපි දෙන්නා ඒකත් බලාගියාගෙන පල්ලම් බැස්සා.. මේ පිළිමය අවලෝකිතේශ්වර බෝසත් පිලිමයක්. උසින් මීටර් 10ක් පමණ වෙනවා. වැඩි විස්තර ඕන නම් පුරාවිද්‍යා අඩවියෙන් බලන්න.

මාලිගාවිලයි දඹේගොඩයි වැදපුදාගෙන අපි දෙන්නා බස් නැවතුමට ආවා.එතනින් ආයෙම මාලිගාවිල - මොණරාගල බස් එකකට ගොඩ වෙලා ඔක්කම්පිටිය හන්දියට ආවා.අපේ ඊලඟ ඉලක්කය උනේ දෙමට මල් විහාරේ වැදපුදා ගන්න එක. මේ වෙනකොට දවල් වෙලා නිසා සෑහෙන බඩගින්නක් දැනුනා.

ඒ නිසා අපි දෙන්නා ඔක්කම්පිටිය හන්දියේම තිබ්බ කෑම කඩේකට ගොඩ වෙලා දවාලට බත් කෑවා.

තව දෙයක් කියන්න ඕන.  මාලිගාවිල යන අතරමග පාරේ හම්බ වෙනවා "දහ හතේ හන්දිය " කියලා හන්දියක්. එතන ඉදලා කිලෝමීටර් දෙකක් විතර ගියහම ගල්ටැම්මණ්ඩිය කියලා රජමහා විහාරයක් හම්බ වෙනවා. ඒකත් බලන්ඩ කියාපු තැනක් වගේ. වෙලාව මදි කම නිසා එහේ යන්ඩ උනේ නෑ...

ඔක්කම්පිටියේ ඉදලා දෙමට මල් විහාරේ වඳින්න ගිය ගමන ඊලඟ ලිපියෙන් ලියන්නම්....

15 comments:

  1. අපිනං ගියේ දෙමටමල් විහාරෙ වැඳල මාලිගාවිලට. වාහනේක යනවට වැඩිය ඔය වගේ කඩවල් වලින් කකා බස් එකේ යන එකෙන් තමයි නියම වින්දනයක් ලබන්න පුලුවන්.

    ප්‍රේමදාස මහත්තය නොහිටියනං තාමත් ඕව බිම සැතපිලාම තියෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. වින්දනයක් ලබන්න පුලුවන් බව ඇත්ත. ඒත් සමහර තැන් වලට යන්ඩ සෑහෙන කට්ටක් කන්ඩ ඕන. අපි ඔක්කම්පිටියෙන් දෙමට මල් විහාරෙට ගියේ පයින්. කිලෝමීටර් 2යි කාලක ගමනක් ඒක... !

      ප්‍රේමදාස මහත්මයාගේ පූජා භූමි සංවර්ධන වැඩපිලිවෙල නෙව :)

      Delete
  2. අගේ අැති ගමනක්... ගමනක්මත් නෙමෙයි වන්දනා ගමනක්... ස්තූතියි අපිත් ඒක්ක මේ අත්දැකීම් බෙදාගන්නවා....

    ReplyDelete
    Replies
    1. අගේ ඇති ගමනක් නේන්නම්.... මම ඉස්ස ඉස්සෙල්ලාම මාලිගාවිල ගිය ගමන නෙහ්... !

      Delete
  3. පරණ මතකයන් අලුත් උනා. . ප්‍රේමදාස මහත්තයාගේ පුජා නගර සංවර්දනය හින්ද තමයි මෙහෙම අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒක ඇත්ත.. ඒ නිසා ඒ පින ප්‍රේමදාස මහත්මයාට ලැබෙනවා...
      මාත් පොල්වත්ත පැත්තේ එන්නංකෝ !

      Delete
  4. යන්තම් ඇති උඹ අපිත් ගිය තැනක් විස්තරයක් දාලා තියෙනවා , හැබැයි මම ගියේ ගොඩක් කලින් ..

    ReplyDelete
    Replies
    1. කොයි කාලේ වගේද ගියේ ?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මාලිගාවිල සහ දෙමටමල් විහාරයේ පිළිම සහ ගල් කණු හදල තියෙන්නේ චන්ද්‍ර කාන්ත පාෂාණවලින්. මම අහල තියෙන විදියට ඒ පාෂාණ ඒ අහල පහල නැහැ. වෙන කොහෙන් හරි ගෙනා බවකුයි කියන්නේ. මේ තියෙන්නේ මම 2010 ගියවෙලාවෙ ගත්ත පින්තුර 3ක්.

    https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/t31.0-8/10931562_10152531988331767_4034141730863963362_o.jpg

    https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/t31.0-8/10904111_10152531988321767_3033560562986505222_o.jpg

    https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/10856596_10152531988316767_1665132741563934903_o.jpg

    ReplyDelete
    Replies
    1. විස්තරයටයි පින්තූර වලටයි ගොඩක් ස්තූතියි සහෝදරයා !

      Delete
  7. බුදුරුවගල බලන්න ගියේ නැතෙයි? ඒකත් ඔතන ඉඳන් පැයක විතර දුරකින් නේද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදුරුවගල යන්න උනේ නෑ අයියා. එහේ යන්න ප්ලෑන් කරගේ හිටියේ නෑනේ. ඊලඟ වතාවේ ගිහින් එන්ඩ ඕන.

      Delete
  8. මේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ පිළිමයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම අදහසකුත් තියෙනවා. ඒ බව බෝඩ් එකෙනුත් කියවන්ඩ ලැබුනා. නමුත් පුරාවිද්‍යා අඩවියේ තියෙන්නේ අවලෝකිතේස්වර බෝධිසත්වයෝ කියලා.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.