28 May 2014

2048

2048 කියලා කියන්නේ මේ දවස්වල අපේ යාළුවෝ ටික සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක්.  මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ දහනම වයසැති ඉතාලි ජාතික ගේබ්‍රියල් සිරුලී...!

ගේබ්‍රියෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක් !

මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.

සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ ඊ තල යතුරු වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.

එකම ඉලක්කම තියෙන කොටු දෙකක්  එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

ඔහොම ඊතල යතුරු වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

උඩ කියපු නීතිරිති තේරුනේ නැතිවට කමන් නෑ එක වතාවක් සෙල්ලම් කරලා බලමු.

සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්ඩ.

අපේ යාළුවෙක් සෙල්ලම් කරලා දිනුවා.පහල තියෙන්නේ ඔහුගේ ජයග්‍රහණයට පෙර අවස්ථාවක පින්තූරයක්. !
 සුබ රාත්‍රියක් වේවා !

27 May 2014

මම පානදුරේට ආවා

අද මම උදේවරුවේ වැඩට ගියේ නෑ.. වරු නිවාඩුවක් දැම්මා. ඒකට හේතුව උනේ මම ගන්ඩ යන ඉඩමට මූලික ගෙවීම සිද්ධ කලේ අද.

කට්ටියටම මතක ඇතිනේ මීට මාසෙකට දෙහෙකට උඩදි ඉඩම් කෑල්ලක් හොයන්ඩ එහේ මෙහේ දිව්වයි කියලා. ඔන්න ඔය දුවපු දිවිල්ලෙන් මට පානදුරේ පැත්තෙන් පොඩි ඉඩං කෑල්ලක් හම්බ උනා. අන්න ඒකට තමා අද මූලික ගෙවිම සිද්ධ කලේ.

මමයි අපේ එක්කෙනයි කලින් කතා කරගත්ත විදිහට නුගේගොඩට ඇවිදින් ඊට පස්සේ ලංකා බැංකුවට ගිහින් සල්ලි ටික අදාල කෙනාගේ ගිනුමට මාරු කලා. මගේ ගිනුම තියෙන්නේ පේරාදෙණිය ශාඛාවේ හන්දා එහේ අනුමැතිය එනකන් මට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්ඩත් සිද්ධ උනා.

මට සල්ලි ටික ගන්ඩ ඕන කරන අනුමැතිය පේරාදෙණිය ශාඛාවෙන්  හම්බ උනාට පස්සේ සල්ලි ටික අදාල ගිනුමට බැර කරලා ඒ රිසිට් එක අරගෙන ලියකියවිලි අත්සන් කරන්ඩ ගියා.

ඒ වගේම තමා ඉතුරු ටික කොටස් වශයෙන් ගෙවන්ඩ කතා කර ගත්තා.

ඔය සේරමත් කරලා එනකොට වෙලාව එකොලහාමාරයි.... !

මතක ඇති කාලෙක  ඉදන් එකතු කරපු සල්ලි සේරම ටික එකපාරම අඩු වෙච්ච එක මතක් වෙනකොට ටිකක් විතර දුක හිතුනත් මේ වියදම් කලේ අනාගත ආයෝජනයකට කියලා මතක් වෙනකොට ඒ දුක තුනී වෙනවා.

මදිපාඩුව ගෙවලා ඉඩම ලියා ගන්න දවසට මට මීට වඩා ලොකු සතුටක් දැනේවි. මං ඒ සතුට විඳින්ඩ ලොකු බලාපොරොත්තුවක් හිතේ පුරවගෙන මේ ටිකේ ජීවත් වෙනවා. :)

2014 මැයි 27 වෙනිදා... !

මගේ ජීවිතයේ ලොකු තීරණයක් ගත්තු දවසක් විදිහට මගේ හිතේ සටහන් වේවි. ඒ තීරණයත්තෙක්ක ජීවිතයේ ඉදිරි ගමන සැලසුම් කරගෙන කාටවත් කරදරයක් නැතුව හිතේ සතුටින් ඉන්ඩයි මගේ එකම පැතුම !

එහෙනං මං ගියාවේ.. ජය වේවා !

26 May 2014

ඔය ගෙදර කොප්පේ නේ !

අද කියන්ඩ යන කතාව සිද්ධ උනේ මම සිරිපා කරුණා කරපු දවස් වල. අපි උදේම්ම පරණ පාරේ යන මොණරාගල බස් එකක නැගලා රත්නපුරේට ඇවිදින් එතැනින් පලාබද්දල බස් එකක එල්ලිලා සිරිපා කරුණා කරන්ඩ පලාබද්දල ආවයි කියමු.

පලාබද්දලින් බැහැලා උදේ කෑම කන්න ලෑස්ති උනා.

අපි උදේ කෑමට ගෙදරින් එනකොට හදාගෙන ආපු සීනි සම්බෝලයත්තෙක්ක පාන් කෑවා. කාලා ඉවර වෙලා මම යෝජනා කළා ලඟ තිබ්බ කඩෙන් ප්ලේන්ටි බොමුයි කියල. ඒ යෝජනාව අපේ අප්පොච්චයි මලයයි ස්ථිර කරලා තුන්දෙනත්තෙක්ක ප්ලේන්ටි බොන්ඩ ගියා.

අපි ප්ලේන්ටි බිබී ඉන්නැද්දි තව කට්ටියක් ඒ කඩේට ආවා. ඒ ආවේ ප්ලාස්ටික් කෝප්පයක් ගන්ඩ. වතුර බොන ලොකු කෝප්පයක් ගන්ඩයි ඒ අයට ඕන උනේ. ප්ලාස්ටික් කෝප්ප ගොඩ එහාට්ට මෙහාට්ට කරලා බැලුවත් ඒ කට්ටියට ඕන කරන ප්‍රමාණයේ ලොකු කෝප්පයක් තිබුනේ නෑ.

ඒ කට්ටිය වෙන කඩයකට යන්ඩ හැරෙනකොටම,

"ආං අර කෝප්පේ කීයද ?"  කියලා ඒ අයගෙන් එක්කෙනෙක් ඇහුවා.

"මේ සයිස් එකේ කෝප්පයක් නම් හොදයි... කීයද ගාන ?" තව එක්කෙනෙක් කිව්වා.

"රුපියක් හැටක් දෙන්ඩකෝ.." කඩේ මනුස්සයා කිව්වා.

"කෝප්පේ නම් හොඳයි.. හැබැයි ඉතින් මේ කෝප්පේ තියෙන කහට ටික යවාගන්ඩ නං අමාරු වෙයි.." කෝප්පය දිහා බලාගෙන උන්නු තවත් එක්කෙනෙක් කිව්වා.

"නෑ මහත්තයා ඔය කහට ටික හෝදලා දාපුවහම යයි." කඩේ මනුස්සයා ආයෙම කිව්වා.

ඔය අල්ල පනල්ලේ මාත් ඉස්සිලා බැලුවා කෝප්පේ මොන කහටද තියෙන්නේ කියලා. ඒ කෝප්පේ නං කාලයක් තිස්සේ තේ වත් කරලා තියෙන පාටයි. තේ කහට වගේ තිබුනේ.

කඩේ මනුස්සයයි කෝප්පේ ගන්ඩ ආපු කට්ටියයි කතා වෙලා කෝප්පේ සල්ලි දීලා ගන්න තැනට ආවයි කියමු. ඔන්න මේ වෙලාවෙදි කඩේ මනුස්සයාගේ බිරින්දෑ කොහෙද මන්ද ඉදලා ආවේ නැතෑ..

ඇවිත් එක පාරටම,

"මේ මනුස්සයාට පිස්සුද මන්දා.. ඔය ගෙදර තේ හදන කෝප්පේ නේ. ඕක විකුණන්ඩ හදන්නේ !!!" කියලා කිව්වේ නැතෑ..

කඩේ මනුස්සයාට රෙදි නෑ.. කට්ටියම එක හඩින් හිනා.  මාත් හිනාව තදකරගෙන උන්නා. :)

23 May 2014

මිතුරාගේ හමුවීම

අද මට උදේ බස් එකේ එද්දි හිතුන දෙයක් තමයි අපේ ජීවිතේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි නේද කියන එක. ඒකට මූලිකවම හේතුව උනේ අපේ පංතියේ මට එහා පැත්ත ඩෙස්ක් එකේ අවුරුදු ගානක් මගෙත්තෙක්ක උන්නු යාළුවෙක්ගේ හමුවීම.

ඒ හමුවීම මෙහෙමයි සිද්ධ උනේ...

දිනය හරියටම කියනවා නං  මාර්තු 29 වෙනිදා. එදා තමයි මමයි අපේ කන්තෝරුවේ කිහිපදෙනෙකුයි එකතු වෙලා ආදර කන්ද නගින්ඩ ගියේත්.

එදා අපි කට්ටියම පාන්දර හතරට විතර නුගේගොඩින් 99 බදුල්ල- කොළඹ බස් එහෙක එල්ලුනා. කොහොමහරි ඔය බස් එක හය හයහාමාර වෙනකොට රත්නපුරේ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොලට ආවා.

මම හිටියේ බස් එකේ පිටිපස්සේ සීට් එකේ දොර පැත්තට වෙන්ඩ ජනේලය ගාව. මම ජනේලයෙන් ගුඩ් ෂෙඩ් නැවතුම්පොල දිහෑව බලාගෙන කල්පනාවක් දාගෙන උන්නා. එතකොටම ත්‍රී වීල් එකක් ඇවිත් ඒ හරියෙන් නැවැත්තුවා.

ඒ ත්‍රීවීල් එකෙන්  කොල්ලෙක් බැස්සා !

මම ඒ කොල්ලා දිහෑ ටිකක් බලාගෙන උන්නා. ගොඩක් හුරු පුරුදු පෙනුමක් තිබුනා.. ඒත් හරියටම නිච්චි නෑ කොහේදිද මූව දැකලා තිබුනේ කියලා.

ඒකා ත්‍රීවිල් එකෙන් බැහැලා බස් එක නවත්තලා තිබුන අයින දිගේ යන්න හදනකොටම,

"මචං උබ රුෂාන් නේද ?"  කියලා මම ඇහුවා.

එතකොට තමා ඌටත් ක්ලික් උනේ.. මගේ අතීජාත මිත්‍රයා !

අවුරුදු පහලොවකට විතර පස්සේ ඌව මට හම්බ උනේ. සෑහෙන්න වෙනස් වෙලා. ඒ දවස්වල ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සේ මට එකම එක සැරයක්කත් දකින්ඩ හම්බ උනේ නෑ.. ඒ නිසයි අදුනගන්ඩ අමාරු උනේ.

බස් එක නවත්තලා තිබ්බ විනාඩි ගානට මම ඌත්තෙක්ක කතාවක් දාගෙන උන්නා.

ඒකා රජයේ රස්සා වලට ගන්න කඩයිම් විභාග වලට ක්ලාස් කරනවාලු. ඒ වගේම තමා උතුරු නැගෙනහිර ඇරුනහම දිස්ත්‍රික්ක 18ක ක්ලාස් කරනවයි කියලා තමා කිව්වේ. 

ඇඹිලිපිටියේ ක්ලාස් එකකට යන ගමන් උගේ වාහනේ රත්නපුර ටවුම කිට්ටුවේදි කැඩුන නිසාලු එදා ත්‍රීවිල් එකෙන් ටවුමට ඇවිත් තියෙන්න. කැබ් සර්විස් එකකට කතා කරලා වෑන් එකක් අරගෙන යනවයි කියලා හිතලාලු එහෙම ආවේ.

අහඹු හමුවීමක් !

ඔහොම ටික වෙලාවක් කතා කරගෙන ඉදලා මම උගේ නම්බරේ ඉල්ල ගත්තා... ඒ වගේම කාලෙකට පස්සේ මගේ යාළුවා හම්බ වෙච්ච නිසා මට පුදුම සතුටක් තිබ්බේ.

හීනෙකින්වත් නොහිතන විදිහේ හමුවීමක් තමයි එදා සිද්ධ උනේ. ඔය හමුවීම නිසාම තමයි මම කියන්නේ සමහර හමුවීම් හරිම පුදුමාකාරයි කියලා !

20 May 2014

වතුර දඩුවම

අපිත්තෙක්ක කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් කියපු කතාවකින් තමා අද පෝස්ට් එකට ඕන කරන මාතෘකාව හැදුනේ.

උන්දෑ කිව්වේ මේකයි...

එකපාරක් සිරිපාදේ වඳින්ඩ බීලා ගියපු සෙට් එකක් කන්ද උඩදි වතුරෙන් නාවලා එවලා ලූ.සිරිපාදේ තියෙන සීතලත්තෙක්ක සීතලම සීතල වතුරෙන් නාවන එක කොච්චර වදයක් ද ? එකදිගට වතුර හලලා නාවනවා නං ටිකක් හරි ඉවසලා හිටියෑකි.ඒත් කඩින් කඩ නාවනකොට පුදුම අමාරුවක් දැනෙනවා ඇති.

ඔය ගැන එක එක මත ඉදිරිපත් උනහම අපේ කමල් අයියා තමා මතක් කලේ ඔය ජාතියේම චීන දඩුවමක් තියෙනවා ය කියලා.ඉංග්‍රීසියෙන් කියනවා නං "ස්ලෝ වෝටර් ටෝච(ර්)" කියලා හඳුන්වන්න පුලුවන් !

 ඔය දඩුවමේදි වෙන්නේ අදාල වරදකාරයාව හෙලවෙන්න බැරි වෙන්ඩ ගැට ගහලා ඒ මනුස්සයාගේ නළලට වතුර බිංදුව බිංදුව වෑස්සෙන්ඩ සලස්වන එක. එක දිගටම නෙමේ කඩින් කඩ වැටෙන්ඩ සලස්වන්නේ.ඒකත් අහඹු කාලාන්ර වලදි. අපි කියමුකෝ පළවෙනි බිංදුව වැටිලා තත්පර දහයකින් අනිත් බිංදුව වැටුනා කියලා.  ඊට පස්සේ බිංදුව වැටෙන්නේ තත්පර විස්සකින් හරි තත්පර පහකින් හරි.

ඔය වගේ අහඹු කාලාන්තර වලදි තමයි වතුර බිංදු වැටෙන්නේ.

අපි කල්පනා කලේ වතුර බිංදුවක් වැටෙන්ඩ සලස්වන එක කොහොමද දඩුවමක් වෙන්නේ කියලා.
එතනදි වෙන්නේ මේකයි.

නළල කියන්නේ මිනිස්සුන්ගේ සියුම් ස්ථාන වලින් එකක් ලූ. ඒකට වතුර බිංදුවක් වැටෙන එක හොඳටම දැනෙනවාලු. ඔහොම කඩින් කඩ වතුර බිංදුවක් වැටෙනකොට අදාල අපරාදකාරයාට හරිහැටි නිදියගන්ඩත් බෑ ලු. ඇයි ඉතිං නළලට වතුර වැටෙන එක හොඳටම දැනෙන නිසා ඇහැරෙනවාලු.

ඒ වගේම තමා වතුර වැටෙන එක අමතක කරලා වෙන දෙයක් ගැන හිතන්ඩත් අමාරුයි ලූ. මොකද ආවර්ථිකව වතුර වැටෙන නිසා එක දිගට වෙන දෙයක් ගැන හිත යොමු කරන්ඩ බාධා වෙනවා. අනික තමා ගැට ගහලා තියෙන නිසා නැගිටලා වෙන තැනකට යන්ඩත් බෑ..

ටික වෙලාවකට පස්සේ අදාල අපරාධකාරයාගේ ඔලුවට මිටියකින් ගහනවා වගේ අමාරුවක් දැනෙනවාලු. ඒ අමාරුව ඇති වෙන්නේ මොළය උත්සහ කරනවාලු වතුර බිංදු වැටෙන පැටර්න් එක අඳුර ගන්ඩ... ඒකට මොළය වෙහෙසන නිසයි ඔය අමාරුව ඇති වෙන්නේ.

මේ නිසාම අදාල අපරාධකාරයාට ලොකු මානසික වදයක් ඇති වෙනවා. ඒ නිසාලු මේ දඩුවම ඒ කාලේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ චීන දඩුවම් වලට ඇතුලත් වෙලා තියෙන්නේ.

පොඩ්ඩක් හිතමු වැස්ස දවසක බස් එකේ ජනේලයක් ගාව ඉන්නැද්දි කඩින් කඩ වතුර බිංදුව ගානෙ වැටෙනකොට අපිට කොච්චර නං කේන්ති යනවද කියලා. අන්න ඒ වගේ දවස් දෙක තුන ඉන්න ගියහම කොයිතරම් නම් මානසික වදයක් ද ? 

---------------------------------------------------------------------
ප.ලී. - වැඩිදුර විස්තර කියවනවා නම් මෙන්න විකිපීඩියා සබැඳිය.

ප.ලි. - වෙසක් වලින් පස්සේ අද තමා බ්ලොග් පැත්තේ එන්ඩ විවේකයක් ලැබුනේ. කියවන්ඩ බැරි වෙච්ච බ්ලොග් ටික කියවන්ඩත් ඕන.. :)

16 May 2014

සමන් දෙවි පිළිරුව

මම බ්ලොග් කලාවට ආපුම දවස්වල සමන් දේවාලය ඉදිවීම ගැන ජනප්‍රවාද කතාවක් ලිව්වා. ඒක කියවන්ඩ බැරි උනා නම් මෙතනින් දුවලා ගිහින් කියවන්ඩ.

අද උදේ මම පොත් රාක්කය අස්කරනකොට අපේ මල්ලි ඉස්කෝලෙන් ගියපු සබරගමු චාරිකාවට ඕන කරන විස්තර ලියපු කොළයක් හම්බ උනා. ඒ කොළයේ තිබ්බ විස්තර වලින් තෝරගත්තු ටිකක් පහලින් ලිව්වා.

තව විස්තර තියෙනවා. ඒවා පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම්.පහලින් තියෙන්නේ මලයාගේ ලිපියෙන් උපුටා ගත්තු කොටසක් (මේක පොතකින් ගත්තු කොටසක් වෙන්ඩ ඕන )

දැන් ඇත්තේ බලකොටුව මත අභිනවයෙන් ඉදි කරන ලද සමන් දෙවොලයි. ආර්යකාමගේ සමන් දෙවොල විනාශ කර ඇත.  (පසුකාලීනව පෘතුග්‍රීසින් විනාශ කර ඇත.) ආර්ය කාම එනවිට සමන් වෙහෙරේ පිළිමයක් තිබූ බව සඳහන් ය.

මේ පිළිබඳව අත්භූත ජනකතා පුවතක් ඇත. පසුබිම් වූ වර්ෂය ශක වර්ෂ 1158 හෙවත් ක්‍රි.ව. 1236යි.

සපරගමු විහාරයේ වැඩ සිටි සීලවංශ නැමති හිමියන් වන්දනා කරුවන් පිරිසක් සමග සමනොළ හිර නැග්ගාහ. ඒ පුර පසලොස්වක දිනයකි. සිරිපදලස (ශ්‍රී පාද ලාංඡනය) වැද පුදා ගත් සීලවංශ හිමි හා අනෙකුත් සංඝයා වහන්සේලා සමඟ සැතපුනෝ ය.

පාන්දර හීනයක් දුටුවේය.

දුටුවේ බමුණු වෙසක් මවාගත් සමන් දෙවියන් තමා අමතන බවය. ඒ සිහිනෙන් පෙනී ඔහු හිමියන්ට "සදහටම අපි තෙරිඳුන්ගේ වෙහෙරට වැඩ සිටියම්හ" කීහ.

පසුව සීලවංශ හිමියන් සමනොළ කන්ද වනය සිසාරා සෙනග යවා පරීක්ෂා කර බැලීය. එම වනයේ සරමින් සිටි අයට ගල්ලෙනක තිබු සමන් දෙවියන්ගේ රූපය දුටූහ.

මෙම සමන් දෙව් පිළිරුව යහනාවක තැන්පත් කර සබරගමු වෙහෙරට වැඩම වන ලදී.


-ඉතිරිය පසුවට-

14 May 2014

පාවෙන පහන් කූඩුව

වෙනදා නිවාඩු දවසක් නම් මම ටිකක් දවල් වෙනකන් නිදියා ගත්තත් අද නිවාඩු දවසේ එච්චර වෙලා නිදියෑවේ නෑ. උදෙම්ම ඇහැරුනා. ඒකට හේතු උනේ ඊයේ දවසේ අලවලා ඉවර කරන්ඩ බැරි වෙච්ච මගේ දහ අට පට්ටම අලවලා ඉවර කරන්ඩ.

මම ඔය දහ අට පට්ටම සතියක වෙලේ ඉදන් හැදුවත් තාම හදලා ඉවර උනේ නෑ.

උදෙම්ම ඒක ඇලෙව්වා. ඊට පස්සේ ආසාවක් ආවා ගුවන් ගත කරන්ඩ පුලුවන් වෙන විදිහේ වෙසක් කූඩුවක් හදන්ඩ. අර චීනේ මිනිස්සු හදන ජාතියේ කූඩුවක්. කූඩුවක් කිව්වට මේක නිකන් බකට් එකක් වගේ එකක් !

හරි එහෙනම් අහගම්මුකෝ ඕන කරන දේවල්. !

තෙල් සවුකොල
නූල්
පාප්ප
කොළ පාට බට කෑල්ලක් (මම නම් ගත්තේ පොල් පිත්තකින් කපා ගත්තු පට්ටයක්)
කම්බි කෑල්ලක් 
රෙදි පාංකඩ කෑල්ලක්
බූමිතෙක් ස්වල්පයක් 
ගිනි පෙට්ටියක්
ඔය ටික තමා මූලිකවම ඕන. මුලින්ම බට කෑල්ල රවුමට නවලා වලල්ලක හැඩයක් හදාගන්ඩ.වලල්ලේ තැන් දෙකක් හරකා කම්බියක් ගැට ගහන්ඩ. පල්ලෙහා රූපේ බලන්ඩකෝ.

ඊට පස්සේ ඒ බට වලල්ලේ පරිධියට හරියන්ඩ සවුකොලේ මැනගන්න. මැනගෙන ඒකට හරියන්ඩ සිලින්ඩරයක හැඩේට සවුකොල අලවගන්ඩ !
ඔය විදිහට හදාගත්තු බකට් එක අපේ බට වලල්ලට අලව ගන්න. ඔන්න එතකොට අපේ වෙසක් කූඩුව සම්පූර්ණයෙන්ම ඉවරයි !

දැන් තියෙන්නේ රෙදි පාංකඩ කෑල්ලට බූමිතෙල් පොඟවලා ඒ රෙදි පාංකඩේට ගිනි අවුලුවන්න.හොඳටම දුම් පිරුනහම හිමිහිට අත අරින්න. වෙසක් කූඩුව ඉබේටම පාවෙලා යාවි !

හැබැයි පරිස්සමට.. ගෙයකට එහෙම පාත් උනොත් ගිනි ගන්ඩ පුලුවන් !

එහෙනම් මම ගියාවේ !
හැමෝටම සිත දහමට යොමුවෙන පින්බර වෙසක් මංගල්ලයක් වේවා !


12 May 2014

සති අන්තයේ ක්‍රිකට් තරඟය

මේ සති අන්තය මට සුවිශේෂි සති අන්තයක්. ඒකට හේතුව උනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය විසින් පවත්වපු සය සාමාජික ක්‍රිකට් තරඟය. තරඟය තිබ්බේ පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී. ඔය ක්‍රිකට් තරඟය පවත්වනවයි කියපු දවසේ ඉදලා මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා කණ්ඩායමක සෙල්ලම් කරන්ඩ.

සෑහෙන කාලෙකින් ඔය වගේ මැච් එකක් ගහලා තිබුනේ නෑ. අනික දිනනවට වඩා ආස උනේ මැච් එකක් ගහලා ෆන් එකේ ඉදලා ඒ අත්දැකීම විඳගන්ඩ. දිනන්ඩ මැච් ගහනවා නම් මම කීයටවත් යන්නේ නෑ. මේ වාගේ මහත දෙහෙත ශරීරත් එක්ක දුවන පනින සෙල්ලම් කොහොම කරන්ඩ කියලද.

අනික මගේ දනිහත් පනිනවා නෙව.

ක්‍රිකට් තරඟය ගැන විස්තර අහන්ඩ ලැබුනු දවසේ ඉදලා අපේ කන්තෝරුවෙන් කණ්ඩායම් දෙකකට කට්ටිය තේරුවා. මාත් එක කණ්ඩායමකට තේරුනා. මැච් එක තියෙන්නේ මැයි 11 වෙනිදා. ඒ කියන්නේ ඊයේ දවසේ.

මැයි 11 වෙනිදාට කලින් අපි කට්ටියම මහරගම පිට්ටනියක පුහුණුවීම් වලට සහභාගි උනා. ඒකත් මරු අත්දැකීම පිති, බෝල, කෑම බීම හැමදේම කන්තෝරුව ගානේ වියදම් කරලා තිබ්බා.

එදා විතරක්ම පුහුණුවීම් කරලා අපි ඊයේ මැච් එකට සහභාගි උනා. අපේ තරඟය තිබුනේ උදේ 11ට විතර. ඒ වෙලාවේ අවුව සැරටම තිබ්බ වෙලාවක්. කට්ට අවුවේ අපි පිට්ටනියට ආවා.

මේ තරඟයේ නීති රීති ගැන කියනවා නම් ඕවරයකට බෝල් 4යි. එක පිලකට ඕවර 4යි. ඒ කියන්නේ බෝල් 16ක සෙල්ලමක් තියෙන්නේ. වයිඩ් බෝල් නෝ බෝල් වලට ලකුණු 6ක් දෙනවා. හැබැයි බෝලේ ඔට්ටුයි !
පිල් දෙකම සම උනොත්  විකට් කීපර් ඕවරයක් දාන්ඩ ඕන.

අනිත් කණ්ඩායමට කාසියේ වාසිය ලැබුන නිසා අපිට පන්දු රකින්ඩ සිද්ධ උනා.  මම තමා විකට් කීපර් !
අපේ පන්දු දහසයට ලකුණු හැට හතක් ගැහැව්වා. අපට ගහන්ඩ හම්බ උනේ ලකුණු හතලිහක් විතරයි. අපි මැච් එක පරාදයි. ඒ උනාට අපි පුලුවන් උපරිමේට සෙල්ලම් කලා.

ආහ්.. කියන්ඩම අමතක උනා. අපි සෙල්ලම් කරනවා බලන්ඩ මගේ සුදු නෝනත් ආවා. ඒයැයිත් ආස උනා මම සෙල්ලම් කරනවා බලන්ඩ.  මැච් එක ඉවර වෙලා අපට දවල් කෑමත් ලැබුනා.

හැබැයි ඔය පරාදවීම් අතරේ මම නම් දිනුවා. මොකද මට ඕන උනේ සෙල්ලම් කරන්ඩ.. ඒ විතරක් යෑ.. මට ටී ශර්ට් එකකුයි කැප් එකකුයි ලැබුනා නෙව.

ඔන්න ඔහොමයි මේ සතිය ගෙවුනේ. සතුටින් පිරුණ සති අන්තයක් !

09 May 2014

දුම්වැටි විරෝධය

අද මම පුරුදු විදිහට කන්තෝරුවට එන්ඩ නුගේගොඩ බස් එකට ආමර් වීදියෙන් ගොඩ උනා. සෙනග ගොඩක් පුරෝගෙන බස් එක මරදාන බොරැල්ල පහු කරගෙන රාජගිරිය ආයුර්වේදය කිට්ටුවට ආවා. ඔන්න එතනින් එහාට්ට බස් එක අඩියක්වත් යන්නේ නෑ.

සෑහෙන ට්‍රැෆික් එකක්... !

වෙනදා නැති තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙන්ඩ නං මොකක් නමුත් හේතුවක් තියෙන්ඩ ඕන කියලා මම පොඩ්ඩක් විපරම් කලා.ඒත් හේතුව හොයන්ඩ නෑ. පෑ කාලක් විතර යන්කොට රාජගිරිය බෝධිය පේන හරියට ආවා.

එතකොට තමා කාරණය තේරුනේ.

අද දුම්වැටි විරෝධී පාගමනක් ලෑස්ති කරලා.ඒ පාගමන හන්දයි මේ තරම් ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙලා තියෙන්නේ. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත් මේ කිට්ටුවෙන් තියෙන නිසා ඒ ආයතනයෙන් සංවිධානය කරපු පාගමනක් වෙන්ඩ ඕන.

මේ පාගමන දැක්කහම මට හිතුනේ මේක බොරු වැඩක් කියලා.... !

පාරවලුත් බ්ලොක් කරගෙන මෙහෙම පාගමනක් ගිහින් දුම්වැටි විරෝධය ඇති කරන්ඩ බෑ.. ඒක දවල් හීනයක් විතරයි. ඒකට රජයේ ප්‍රතිපත්තියක් ගේන්ඩ ඕන. දුම්වැටි ගෙන්වන එක හරි නිශ්පාදනය කරන එක හරි සීමා කරන්ඩ ඕන. එහෙම නැත්නම් නවත්තලා දාන්ඩ ඕන.

දැනට තියෙන රජයට තුනෙන් දෙකක බලතල තියෙන එකේ ඒ වගේ ලොකු තීරණයකට යන්ඩ ලේසියෙන්ම පුලුවන්. දුම්වැටි වාරණයක් දැම්මා නම් ඉක්මනින්ම මේක නවත්ත ගත්තෑකි.

ඒ නැතුව මෙහෙම එක දවසක් පාගමන් ගිහින් දුම්වැටි වලට තිත තියන්ඩ අමාරුයි.  අපි බලාගෙන ඉමු මේ පාගමන ගිහින් ඊලඟට ගන්න තීරණය මොකද්ද කියලා.

මේ මගේ අදහස... !
ඔයගොල්ලන්ගේ අදහසුත් ඇති. මම හරි හෝ වැරදි හෝ පහදලා පහලින් කමෙන්ට් කරන්ඩ. එකතු කරන්න තව අදහස් තියෙනවා නං පහලින් කමෙන්ට් කරන්ඩ.

07 May 2014

සිරගත උනෙමි

සෑහෙන කාලෙකින් කොහේහරි කන්දක් නගින්ඩ යන්ඩ උනේ නෑ. ඒකට හේතුව මේ තියෙන වැහිවර කාළගුණය. මේ කාළගුණය හන්දා සති අන්තයේ ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නේ. ඒ වගේම තමා බ්ලොග් එකෙත් මොකක් හරි ගමනක් ගැන වීස්තරයක් වැටුනේ නෑ....

ඔහොම හිත හිත ඉන්නකොට තමා මතක් උනේ මම නොලියපු චාරිකාවක් තියෙනවයි කියලා. ඒ තමා බෝගම්බර ගමන.

දවස හරියටම කිව්වොත්  මේ අවුරුද්දේ මාර්තු මාරේ විසි එක්වෙනිදා. සිකුරාද දවසක්. ඔය දවස්වල තමයි බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තිබ්බේ. ඉතින් මගෙත් ආසාවක් තිබ්බා ඒ හිරගේ දැක බලාගෙන එන්ඩ.

දෙපාරක් නොහිතා නිවාඩුවක් දාලා  උදෙම්ම නුවර බස් එකක නැගලා නුවර ආවා. ඒ එනකොට උදේ නමයට විතර ඇති. බෝගම්බර හිරගේ ලඟට ඇවිත් බලනකොට සෑහෙන පෝලිමක් තිබුනා. දවසම පෝලිමේ ලගින එක කාලේ කන වැඩක් නිසා මමයි මගේ ගමන් සගයා වෙච්ච සංඛ මල්ලියි ලංකාතිලක,ගඩලාදෙණි පන්සල් දෙක වැදපුදාගන්ඩ පිටත් උනා.

ඒ ගමන ගැන තවත් දවසක  විස්තර කියන්නම්.

පන්සල් දෙක බලාගෙන දවාලට සංඛ මල්ලිලෑ දිහෑවෙන් බත් කාලා නුවර බස් එකක එල්ලුනා බෝගම්බර එන්ඩ. ඒ එනකොට පෝලිමක් තිබුනේ නෑ.

අපි දෙන්නා ඇතුලට ඇවිත්  මුලින්ම ගියේ බන්ධනාගාරේ කුස්සියට. පහලින් තියෙන්නේ කුස්සියේ බත් දාපු තැටි ටික.

ඒ ටිකත් බලාගෙන එනකොට දිග පෝලිමක් තිබුනා. ඒ පෝලිම තිබුනේ එල්ලුම්ගහ බලන්ඩ. අපිත් පෝලිමේ පැයක් දෙකක් ඉදලා එල්ලුම්ගහ බලාගෙන ආවා.

එල්ලුම් ගහේ තුන්දෙනෙක්ව එක වතාවකට එල්ලන්ඩ පුලුවන් ලූ. ඒ වගේමයි ඒ කිට්ටුව තියෙන බුදු මැදුර ලඟ බෝධියේ කිසිම ශාඛාවක් එල්ලුම්ගහ පැත්තට එන්නේ නෑලූ. එල්ලුම් ගහ බලාගෙන එනකොට තමයි අපි ඇහැලේපොල කුමාරිහාමි ගොඩගහපු තැන දැක්කේ.

ඉහලින් තියෙන්නේ ඒ පින්තූරේ.

ඒ ටිකත් බලාගෙන අපි හිර මැදිරි බලන්ඩ ගොඩනැගිල්ලට ඇතුල් උනා. හිර මැදිරි ගොඩකට කියන්නේ වාට්ටුවක් කියලා. ඉංග්‍රීසි හෝඩියේ ඒ අකුරේ ඉදලා අකුරු හය හතක් යනකන්ම වාට්ටු තිබුනා.


ඔහොම හිර කූඩු බලාගෙන යනකොට අපිට හිර කාරයෙකුත් හම්බ උනා. පහලින් ඉන්නේ ඒ හිරකාරයා. :)
හිරගේ බලලා එනකොට වෙලාව හතරාමාරයි. ඒ වෙලාවේ පොලිසියේ අය නිවේදනයක් නිකුත් කලා ප්‍රදර්ශනේ ඉවර කරන්ඩ යන්නේ සියළුම දෙනා පිටවෙන්ඩ කියලා. ඉතිං මලයයි මායි දෙන්නා හිරගෙදරට සමු දීලා නුවර ටවුමට ආවා.

සංඛ මල්ලි දවුලගල බස් එකක එල්ලුනා. මම කොළඹ බස් එකක නැගලා ගෙදර ආවා. හිරගේ බැලුවට පස්සේ හිතුනේ ටිපිටිප් කෑවා වගේ කියලා. හිරගේ පිටතින් බලනකොට තියෙන ගාම්භීරත්වය ඇතුලෙදි දකින්ඩ ලැබෙන්නේ නෑ. මහ මූසල පෙනුමක් තමා ඇතුලේ තියෙන්නේ.

එහෙනම් මම ගියාවේ !

05 May 2014

රීලෝඩ් මැෂිම

දැනට මාසෙකට විතර උඩදි සෙනසුරාදා දවසක මට අපේ එක්කෙනාගෙන් කෝල් එකක් ආවා පානදුර පැත්තේ ඉඩමක් තියෙනවා ය ඒක බලන්ඩ ඉරිදට එන්ඩ පුලුවන්ද කියලා. මාත් ඉඩම් හොය හොයා ඉන්න හන්දා නෑ බෑ නොකියා හා කියලා කිව්වා.

මගෙත්තෙක්ක ඉඩම බලන්ඩ යන්ඩ අපේ මාමණ්ඩිව ලෑස්ති කරලා තිබුනා. අපි කතා කරගත්තු විදිහට ඉරිදා උදේ මම පානදුර අළුත් බස් ඩිපෝව ගාවට ආවා.

ඇවිත් මාමණ්ඩිට කෝල් එකක් දුන්නහම එයා තාම ඇවිදින් තිබුනේ නෑ.

මම පානදුර ඩිපෝවේ ටිකක් එහාට මෙහාට ඇවිද ඇවිද උන්නා. ඊට පස්සේ එතනම තිබුන පොඩි කඩයකින් බීම එකකුත් බීවා. ඒත් අපේ මාමණ්ඩි තාම ඇවිත් උන්නේ නෑ. මම තව ටිකක් වෙලා ඉදලා ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්ඩ කොමිනිකේශන් එකකට ගොඩ උනා.

කොමිනිකේශන් එකේ මල්ලිට කිව්වා පනහක රීලෝඩ් එකක් ඕනය කියලා.

එතකොටම ඒකා ගත් කටටම කිව්වේ නැතෑ "රීලෝඩ් කරන්ඩ ඕන අංකය ටයිප් කරන්ඩ." කියලා. ඔන්න එතකොට තමා මම රීලෝඩ් මැෂිම දැක්කේ. පහලින් තියෙන්නේ ඉක්මන් වෙබ් අඩවියේ විකුණන්න දාලා තිබුනු රිලෝඩ් මැශිමක්.

ඔය ජාතියේ එකක් තමා මම එදා දැක්කේ.... !

මැෂිම දැක්කට වඩා සතුටුයි ඒක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් කියලා දැනගන්න ලැබුනම.ඒ මැෂිමෙම ගහලත් තිබුනා මේක අපේ රටේ නිශ්පාදනයක් ය කියලා.

තාම මේ මැෂිම එච්චර ජනප්‍රියතාවයක් නැති හන්දද මන්දා ගොඩක් කමිනිකේශන් වලදි මම මේක දැකලා නෑ. මේ වගේ නිශ්පාදන හදන අයට රජයෙන් අත හිද දීලා දිරිමත් කරවන්න පුලුවන් නං කොච්චර වටිනවද කියලා මට එදා හිතුනා.

ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මාමණ්ඩි පානදුරට ඇවිත් තිබුනා. මමයි එයයි කතාවක් දාගෙන ඉඩමට ආවා.

01 May 2014

පහන්තිර

අද මැයි පළවෙනිදා.... කම්කරු දිනය අදයි !

කම්කරු දිනය හන්දා මට අද නිවාඩු. ඒ නිසාවෙනදා වගේ උදෙන්ම ඇහැරුනේ නෑ. ටිකක් දවල් වෙන්න නිදිය ගන්න පුලුවන් වෙච්ච දවසක්. ටිකක් එලි වෙනකන් නිදියගෙන දත් මැදලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා මම අපේ තාත්තලෑ මහ ගෙදර ආවා.

අපේ ගෙදර ඉදන් ආච්චිලෑ ගෙදරට මහ දුරක් නෑ.. 

මම ආච්චිලෑ දිහෑ යනකොට අපේ ආච්චි අම්මා උදෙන්ම වැඩ පටන් අරගෙන. වැඩ කියලා කිව්වේ එයාගේ ස්වයං රැකියාව පටන් අරගෙන. එයාගේ ස්වයං රැකියාව තමා පහන්තිර අඹරන එක.

අපිත් ඒ දවස්වල පහන්තිර ඇඹරුවා. පස්සේ පස්සේ අපේ අම්මා මැසිමක් අරගෙන ඇදුම් මහන්න ගත්ත නිසා පහන්තිර අඹරන එකට තිත තියන්ඩ උනා. පහන්තිර අඹරන එක ටිකක් කම්මැලි වැඩක්. එක දිගට වාඩි වෙලා මැසිම කරකව කරකව ඉන්න එපෑ.

එහෙනම් පින්තූර බලලම ඉමු.

පහන්තිර වලට ඕන කරන්නේ වෙලෝනා හෝක්‍රොකඩයිල් වගේ රෙදි. ඒ රෙදි කෑලි ගේන තැනක් අපේ ගෙවල් ගාව තියෙනවා. එහෙන් තමා අපි රෙදි ගේන්නේ. ඒ රෙදි ගෙනල්ලා හීනි තීරු වලට කපන්ඩ ඕන. එහෙම කපපු රෙදි ටිකක් තමා පහලින් තියෙන්නේ.

ඒ රෙදි කෑලි ගොඩෙන් එකක් තෝරගෙන පහන්තිර මැසිමේ කොක්කට අමුණන්ඩ ඕන. පහල රූපේ ඊතලයෙන් පේන්නේ පහන්තිර මැසිමේ කොක්ක.

පහන්තිර රෙදි පටිය කොක්කට දවට ගත්තට පස්සේ මැසිමේ හැඩල් එක කරකවන්න ඕන. රෙදි පටිය හිනි වෙනකන් වගේ අඹරන්න ඕන.
රෙදි පටිය හීනි වෙනකන් ඇඹරුවාට පස්සේ ඇඹරිච්ච රෙදි පටිය පහන්තිර මැසිමේ කොක්කෙන් ගලවලා අරගෙන දෙපොට දාලා ආයෙම අඹරන්න ඕන.පලවෙනි වතාවේ වමට කරකැව්වා නම් මේ වතාවේ දකුණට කරකවන්න ඕන.
ඔය විදිහට දෙපොටක් ඇඹරුවාට පස්සේ තමයි පහන්තිරය ගානට එන්නේ. පහලින් තියෙන්නේ අපේ ආච්චි අම්මා අඹරපු පහන්තිර ටික. උදෙම්ම වැඩ පටන් ගත්ත නිසා ටිකයි අඹරලා තිබුනේ.

ඔය විදිහට අඹරපු පහන්තිර ටික ගානට කපලා පැකට් කරන්ඩ ඕන. පැකට් එකකට පහන්තිර කෑලි දහයක් තියෙන්ඩ ඕන.ඒ වගේම පහන්තිර පැකට් වැලකට පහන්තිර පැකට් දොලහක් වෙන විදිහට හදන්ඩ ඕන. පැකට් දොළහේ පහන්තිර වැලකට රුපියල් පහක් ගෙවනවා...

ඔය රුපියල් පහ ගන්ඩ තමයි අපි ඒ කාලේ හිටන් පහන්තිර ඇබරුවේ. තාමත් ඒ ගාන විතරයි ලැබෙන්නේ. වැඩිම උනොත් පහන්තිර පැකට් වැලකට රුපියල් හයක් ලැබෙයි.

ඔන්න ඔහොමයි අපි බුදුන්ට තියන පහන්තිර පැකට්ටුව හැදෙන්නේ.

අපේ ආච්චි අම්මගේ පහන්තිර ඇඹරීම අන්තර්ජාලයට ගෙනාපු නිසා එයා මේ පෝස්ට් එකට ගොඩක් ආස වෙයි.

මම ගිහින් එන්නම්... ජය වේවා ! සුබ දවසක් !