29 April 2014

අවසන් තීරණය

පහුගිය සති අන්තය අපේ ගෙදර අයට ගොඩක් කාර්ය බහුල සති අන්තයක්. ඒකට මූලිකම හේතුව උනේ මගේ නැන්දම්මයි මාමණ්ඩියයි අපේ දිහෑවේ එන නිසා. ඒ වෙන මොහොකටවත් නෙමේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ.

ඒ දෙන්නා එනවයි කිව්ව සතියට කලින් සතියේ ඉදන් අපි ගේ අස්පස් කෙරුවා. මකුළු දැල් එහෙමත් කඩලා ගෙයි බිම පොලිෂ් කලා.ඒ විතරක් යෑ අපිලිවෙලට තිබුනු ගෙයි බඩු මුට්ටු ටික ගානට පිලිවෙලට හදලා කාමර හිටන් අස්පස් කලා.

ඔය සේරම ටික කරනකොට අපේ අම්මා සති පොලට ගිහින් උයන්ඩ ඕන කලමනා ටික ගෙනාවා. ඒ විතරක් යෑ.. අපේ මාමණ්ඩිට බොන්ඩ ගල් බාගෙකුත් ගේන්ඩ කියලා අපේ තාත්තට සල්ලිත් දුන්නා. ඒ දේවල් ටික කරලා ඔන්න නැන්දම්මලා එන දවස ආවයි කියමුකෝ.

එදා උදේ ඉදන් මගේ ෆෝන් එකට නිවනක් නෑ.. සුදු නෝනා විඩින් විඩේ මැසේජ් කරනවා අම්මලා ආවද ආවද කියලා අහලා. මම ඊට පස්සේ ඒයැයිගේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් අරගෙන කිව්වා පෑලියගොඩ දිහෑවෙදි මට කෝල් කරලා කියන්ඩ මම කිරිබත්ගොඩට එන්නං කියල.

මොකද ඉතින් ඒ දෙන්නා අපේ ගෙවල් වලට එන පාර හරියට දන්න එකක් යෑ..

ඒගොල්ලෝ බොරැල්ල පහු කරලා පෑලියගොඩට ඇවිත් මට කෝල් එකක් දුන්නා. මම විජහට්ට ලෑස්ති වෙලා කිරිබත්ගොඩ ටවුමට දිව්වා. මම කිරිබත්ගොඩට එනකොටත් ඒ ගොල්ලො ඇවිදින් තිඋනේ නෑ. ඊට ටික වෙලාවකට පස්සේ තමා ආවේ.

ඒගොල්ලෝ ආවට පස්සේ මාත් ඒගොල්ලන්ගේ වෑන් එකට ගොඩ වෙලා අපේ ගෙදරට ආවා.

නැන්දම්මගේ අතේ කේක් ගෙඩියක් තිබුනා. මාමණ්ඩිගේ අතේ මොකද්ද මන්දා පාර්සල් කරපු දොන්ත පතන් පෙට්ටියක් තිබුනා. මට ඒක බලනකන් ඉවසුමක් තිබුනේ නෑ.

ඒ දෙන්නට අපේ ගෙදර අය උපරිමයෙන් සැලකුවාට පස්සේ ගෙදර කට්ටිය කතාවට වැටුනා. දෙගොල්ලොම කතා වෙලා මගෙයි සුදු නෝනගේ කසාදේ මේ අවුරුද්දේම ගන්ඩ තීරණය කර ගත්තා... කසාදෙට කලින් දිනේ කියන්ඩ හොඳ නැති නිසා දැන්ම කියන්නේ නෑ.... :)

ඔය දේවල් කතා උනාට පස්සේ අපි අපේ වත්තෙන් මඥ්ඥොක්කා ගහකුත් ගලවලා දීලා ගස්ලබු ගෙඩි ටිකකුත් කඩා දුන්නා. ආහ්.. කෙහෙල් ඇවරියකුත් දුන්නා. ඔය සේරම ටිකත්තෙක්ක අපේ උන්දැටයි නෑනා පොඩ්ඩටයි කන්ඩ බත් මුල් බෙදලා දුන්නා.

උන්දැත් ගෙදර ඉදන් බලන් ඉන්නවා නෙව මම මොනවද එව්වේ කියලා..

ඔය සේරමත් කරලා  ටිකක් හවස් වෙනකන් ඉදලා ඒ දෙන්න ගෙදර යන්ඩ හැරුනා. මම ඒ අයට වැන්දත්තෙක්ක..!

ඒ දෙන්නව වෑන් එකට ඇරලවලා මම විජහට්ට දුවගෙන ආවේ තෑග්ග මොකද්ද කියලා බලන්ඩ...

තෑග්ගට මොකද්ද දන්නවද තිබුනේ...???

ගෑස් කුකර් එකක් !

අපි දෙන්නට උයා පිහාගන්ඩ කියලා වෙන්ටෑ.. දුරදිග හිතන නැන්දම්මෙකුයි මාමණ්ඩියකුයි !
මම ඒකේ පැකින් එක පිටින්ම අරන් තිබ්බා. තව ටික කාලෙකින් ඕන වෙයි නෙහ්. :)

(අපේ එක්කෙනාත් කිව්වේ ඕක අපි දෙන්නට ගෙනත් දීපු එකක් ය කියලා)

ඔන්න ඕකයි පහුගිය සති අන්තයේ සිද්ධ උනේ... සතුට වැඩිකමට සති අන්තයේ තිබ්බ මහන්සියත් අමතක උනා. ඒ වගේම ලොකු සතුටක් හිත පුරාම රැඳිලා තිබුන සති අන්තයක් :)

ඉදිරි දවස් මගේ තනිකඩ ජීවිතයේ ලොකු වෙනසක් වෙන කාළයක් වේවි...

24 April 2014

නිට්ටෑහෙළ

මතකනේ මම පෙරේදා (22 වෙනිදා) ගොඩගේ සාප්පුවට ගිහින්  ගිනි අවි සහ ගිනි කෙළි කියන පොතත් අරගෙන නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඉගෙන ගත්තා කියලා. මේ පොතත්තෙක්ක මම තව පොඩි පොතක් ගත්තා.

ඒ පොතේ නම තමයි පෝස්ට් එකේ ටයිටලේ... !

ඒ පොත ලියලා තියෙන්නේ ගුණසේකර ගුණසෝම කියන මහත්තයා. ගුණසෝම මහත්මයාගේ ගොඩක් පොත් ලියවිලා තියෙන්නේ පානම්පත්තුව ආශ්‍රිතව. මීට කලින් පානම් පත්තුවේ හේන් ගොවිතැන් ගැන ලියවෙච්ච රතුගල යායේ පොඩ්ඩා කියන පොතත් මම ඉස්කෝලේ පුස්තකාලෙදි කියවලා තියෙනවා.

මම එදා ගත්තු නිට්ටෑහෙළ කියන පොත ලියවිලා තියෙන්නේ ලංකාවේ ඒ දවස්වල හිටියයි කියලා විස්වාස කරන නිට්ටෑවෝ එහෙම නැත්තං නිත්තෑවෝ කියන මනුස්ස කොඨ්ඨාශයක් ගැන.

මේ මනුස්ස කොට්ඨාශය එච්චර උස නැති කට්ටියක් ලූ. උපරිම අඩි හතරක් විතර උස වානරයෝ වාගේ මිනිස්සු කොඨ්ඨාශයක් ලූ. මම ලූ කියලා කියන්නේ ඒ මිනිස්සුන්ව මම දැකලා නැති නිසා.

ඒ වගේම නිට්ටෑවෝ  හරි දරුණු මිනිස්සු ජාතියක් ලු. හරි ශක්තිවන්තයි ලූ.

ඒ වගේමයි නිට්ටෑවන්ට ගෑනු උදවිය අඩුයි ලූ. ඒ නිසා නිට්ටෑවෝ ගම් වැදිලා ගෑනු දැරිවියෝ උස්සන් යනවලු තමන්ගේ අඹුකමට ගන්ඩ. මේ නිසා ගම් වල ගෑනු දැරිවියන්ට නිට්ටෑවන්ගෙන් හරි කරදර සිද්ධ උනාලු.

නමුත් එකම එක ගෑනු දැරිවියක්  නිට්ටෑවෙක්ගේ බිරිඳ වෙන්ඩ කැමති වෙලා උන්නලු. නිට්ටෑවට අඹුව වෙන්ඩ කැමති ගෑනු දැරිවියයි නිට්ටෑවයි පඳිංචි වෙලා උන්නු හරිය පස්සේ කාලෙක නිට්ටෑ අඹුව වෙලා නිට්ටඹුව උනාලූ.

නිට්ටෑවෝ ගැන වැඩි දුරට කියවනවා නං  පහල සබැඳි වලට දුවලා යන්ඩ.

1. ලක්‌දිව විසූ නිට්‌ටෑවන් හෝ නිත්තෑවන් මානව වංශයක්‌ ද?
2.  නිට්ටෑවෝ ගැන එලකිරි ලිපිය
3. නිට්ටෑවෝ ගැන හිස් අහස ලියන සඳරු ලක්බිමට ලියූ ලිපිය
4. ජැක්සන් ඇන්තනීගේ නිට්ටෑවෝ ගැන ලිපිය


නිට්ටෑවෝ ගැන රසකතා ගොඩක් තියෙන පාටක් පෙනෙන්ඩ තියෙන නිසා මේ ටිකේ ඒ ගැන ටිකක් හොයලා බලන්ඩ ඕන.
නිට්ටෑවෝ කිව්වහමයි මතක් උනේ. මේ දවස්වල වරිග පොජ්ජ කියලා නිට්ටෑවෝ ගැන කියවෙන චිත්‍රපටියකුත් තිරගත වෙනවා. මේ සති අන්තයේදි අපේ උන්දැත් එක්ක ගිහින් බලලා එන්ඩ කැමති කරව ගන්ඩ ඕන.

වරිග පොජ්ජ චිත්‍රපටියේ මේ සිංදුව නං ලස්සනයි (විසුවල් එකේ ඉන්න ගෑනු දැරිවිත් ලස්සනයි.).. අහලා බලන්ඩකෝ... !

එහෙනං පොත් කතා ඉවරයි.. :)
-------------------------------------------------------------------
ප.ලි. - අදත් පෝස්ටුවක් ලියා ගත්තා. :)

23 April 2014

ගිනි අවි සහ ගිනි කෙළි

මතකනේ මම ඊයේ පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගියා කියලා. එතකොට තමයි මට නුගේගොඩ කියන නම හැදුන හැටි කියවන්ඩ ලැබුනේ.

මම පොත් රාක්ක අතර ඇවිදලා පොඩි පොත් දෙකක් ගත්තා.

ඊට පස්සේ නිකමට වගේ නව කතා පොත් ටිකකුත් අතගාලා බලන්ඩ ආසාවක් ආවා. කාලෙකින් පොතක් ගන්ඩත් බැරි උනා නෙව.ඔහොම පොත් ගොඩවල් අතරේ ඉන්නකොට තමා මට ගිනි අවි සහ ගිනි කෙළි පොත දකින්ඩ හම්බ උනේ.

ඔය පොත මම මුලින්ම කියෙව්වේ  ඉස්කෝලේ පුස්තකාලෙන්. ඒ අනූ ගනන් වලදී. පොත ආපුම කාලේ වගේ. ඒ කාලේ නං පොඩි පොතක් විදිහට තිබුනේ.දැන් නං රුපියල්ම තුන්සිය පනහක් වෙන තරමේ ලොකු පොතක්. පොත ලියලා තියෙන්නේ අනුර හොරේෂස් මහත්මයා..

ආසාවටත්තෙක්ක පොත ටිකක් උඩින් පල්ලෙන් කියවලා  රාක්කෙන් තියන්ඩ යනකොට ඊට ටිකක් එහායින් ගිනි අවි සහ ගිනි කෙළි පොතේ පලවෙනි කොටස දකින්ඩ ලැබුනා.ඒක නං රුපියල් හැටක් විතරයි වෙන්නේ. පරණම මුද්‍රණයේ පොතක්.

එතකොට තමයි දන්නේ ගිනි අවි සහ ගිනි කෙලි කියන පොතේ කොටස් තුනක් තිබිලා තියෙනවා කියලා. මම ඒ කාලේ කියවලා තියෙන්නේ පළවෙනි කොටස විතරයි.

දෙවෙනි තුන්වෙනි කොටස් කියවන්ඩ ලැබුනේ නෑ.. ඒ නිසා මම දෙපාරක් නොහිතා ලොකු පොත ගත්තා. මේ දවස්වලත් හිරු ටීවී නාලිකාවේ මේ කතාවේ නාට්ටියත් යනවා නෙව.

ඒක නං මෙගා නාට්ටියක් ! ඒක බලලා ඉවර කරන්ඩ සෑහෙන කාළයක් ගත වෙයි.

මේ පොතේ එන කතාව අනූ අට අවුරුද්දේ චිත්‍රපටියකටත් නැගුනා. ඒ චිත්‍රපටිය බැලුවා නං නාට්ටිය බලන්ඩ යන කාළය ඉතුරු කර ගත්තෑකි. ඒ කාලේ මට දහ අට සම්පූර්ණ වෙලා තිඋනේ නැති නිසා චිත්‍රපටිය බලන්ඩ ගෙදරින් අවසර තිබුනේ නෑ.

දැනට අවුරුදු දෙහෙකට උඩදි අන්තර්ජාලෙන් බලාගත්තා. පස්සේ කාලෙක ටොරානා ආයතනය මූලික වෙලා මේ යූ ටියුබ් සබැඳි සියල්ලම ඉවත් කරලා. ඒ නිසා අන්තර්ජාලයෙන් නං දැන් බලාගන්ඩ වෙන්නේ නෑ..

මේ චිත්‍රපටියේ අමරසිරි පීරිස් කළාකරුවා ගායනා කරපු ලස්සන සිංදුවක් තියෙනවා. ඒ වගේමයි මම ආසම කරන ලේඛකයා වෙච්ච භද්‍රජි මහින්ද මහත්මයාත් චිත්‍රපටියේ  කොටසකට ඉන්නවා. තුම්මුල්ලේ පද්මේ කියන ප්‍රධාන චරිතයට රඟපෑවේ ජැක්සන් ඇන්තනී.

මම අර කියපු ගීය තමයි නොසැලෙයි දිවි මකුළු ඇස කියන එක.. ඒක මෙතනින් අහන්ඩ. මේ පොත කියවලා නැත්නම් කියවලා බලන්ඩ. ලංකාවේ පාතාල ලෝකයේ එක පැතිකඩක් ගැනයි විස්තර වෙන්නේ.


මල් පූජ කරන්ඩත් වෙලාව හරි.. මම එහෙනං ගියාවේ.. ජය වේවා !

22 April 2014

නුගේගොඩ

මම අද පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා.

අපේ ගෙදරට ලැබුනු අවුරුදු කෑම පිගානත් එක්ක යවන්ඩ ඕන නිසයි මම පොතක් ගන්ඩ ගියේ. ඔය අවුරුදු කෑම පිඟාන ලැබුනේ අපේ ඉස්සරහා ගෙදර මල්කාන්ති අක්කලෑ දිහෑවෙන්. ඉස්සර නං කෑම පිඟන් වලට සබන් කෑල්ලක් දෙකක් දාලා යවනවා. ඒවා ඉතිං ගාලා ඉවර වෙන නිසා වටින කියන යමක් යවන්ඩ ඕන කියන අදහස නිසාමයි පොතක් ගත්තේ.

පොත් සාප්පුවේ එක එක පොත් අතරේ පීරලා ළමා කතා පොතක් ගත්තා. ඒ පොත මල්කාන්ති අක්කලෑ ලොකු කෙලීට.. !

ඒ පොත අරගෙන තව ටිකක් වෙලා පොත් සාප්පුවේ ඉන්නකොට මට අපූරු පොතක් හම්බ උනා. ඒ පොතේ නම "මේ ගමට නම හැදුනු හැටි" කියලා. ලියලා තියෙන්නේ මහින්ද කුමාර දළුපොත මහත්මයා.. !

ඒ පොත ටිකක් පෙරල පෙරල ඉදලා එහෙන් මෙහෙන් කොළ දෙක තුනක් කියෙව්වා.ටිකක් හිතට අල්ලපු නිසා මම පිටු 20ක් විතර ඉක්මනින් කියව ගත්තා.

එක එක ගම් වලට නම් හැදිච්ච හැටි පොතේ තිබුනා. ඒත්තෙක්කම නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඒ පොතේ තිබුනා...

මේකයි ඒ කතාව කෙටියෙන්.

කවුරුත් දන්නවානෙ නුගේගොඩ තියෙන්නේ කෝට්ටේ කිට්ටුව කියලා.කෝට්ටේ කියන්නේ ජලයෙන් ආරක්ෂා වෙලා තියෙන රාජධානියක්. වඟුරුබිම් වලින් එහෙම වට වෙලා තියෙන නිසා මේ රාජධානියට ස්වභාවික ආරක්ෂාවක් ලැබිලා තියෙනවා.

දැනටත් නුගේගොඩ, දියවන්නාව පැත්තේ එහෙම තියෙන වගුරුබිම් මේ අතීතයේ ජීවමාන සාක්ෂි... !

දැනට නුගේගොඩ කියලා අපි අඳුන ගන්න තැනත් ඒ කාලේ වගුරුබිමක්.. දොළ පාරකුත් ඒ හරියෙන් ගලාගෙන ගිහින් තියෙනවා.මේ දියපාර කිට්ටුව බොහොම සරුවට හැදුන නුග ගහක් තිබිලා තියෙනවා.

මේ හරියෙන් යන මිනිස්සු මේ මහ නුග ගහේ පහලට එල්ලිලා වැටෙන නුග මුල් වල එල්ලිලා ඔය දොළ පාරේ තරණය කරලා තියෙනවා. ටාර්සන් වගේ වැලේ එල්ලිලා දොළපාරේ එහාට්ට පැන්නා කියලා හිතමුකෝ.

නුගෙන් එල්ලිලා එගොඩ වෙච්ච තැන පස්සේ කාලෙක නුගෙන් එගොඩ වෙලා තියෙනවා... නුගෙන් එගොඩ පස්සේ කාලෙක නුගේගොඩ වෙලා කියලා තමයි ඒ පොතේ තිබුනේ..

නුගේගොඩ කියන්නේ මගේ පළවෙනි රස්සාව පටන් ගත්ත ටවුම නිසයි මම මේ කතාව මතක තියාගෙන බ්ලොග් එකේ අතෑරියෙ...

ඒ වගේම තමයි,

මේ ටවුමෙදි තමයි මට මගේ වෙන්ඩ භාරියාවත් හම්බ උනේ...ඉතින් එහෙව් ටවුමක් ගැන නොලියා කොහොමද... හික්ස් :)

බඩගිනියි වාගේ... කාලා එන්නං !

18 April 2014

ඉඩම් හෙවිල්ල

අවුරුදුත් ගෙවිලා දවස් හතරකුත් ගෙවුනා. දැං ඉතින් ආයෙම පරණ විදිහට නවත්තපු වැඩේ පටං ගන්ඩ ඕන. නවත්තපු වැඩේ කියන්නේ ඉඩං හෙවිල්ල. අවුරුද්ද මුලදි නං හිතුවේ රෝද හතරකට ගොඩ වෙනවයි කියලා. ඒත් අපේ උන්දෑ කියනවා වාහනේකට කලින් ගේ පොඩ්ඩක් හදාගම්මුයි කියලා.

ඒ නිසා වාහන ගැනිල්ලට කොමාවක් දාලා ඉඩං කෑල්ලක් පස්සේ දුවන්ඩ තියාගත්තා... !

ඔය ඉඩං හෙවිල්ල නිසා මමයි අපේ සුදු නෝනයි පහුගිය දවස් ටිකේම එහේ මෙහේ දිව්වා. ඒත් තාම හිතට සැට් වෙච්ච ඉඩං කෑල්ලක් හම්බ උනේ නෑ. කොච්චරවත් ඉඩං තිබ්බට අපි හොයන පහසුකමුත් තියෙන්ඩ එපෑ..

මම නං මුලින්ම බලන්නේ අපේ එක්කෙනාට ඉස්කෝලෙට යාගන්ඩයි  මට රස්සාවට කොළඹ එන්ඩයි ලේසි පාසු තැනක්.. ඊට පස්සේ බලන්නේ වතුර, ලයිට් වගේ පහසුකම් තියෙනවද කියලා. ඔය අතරේ ඉන්ටර්නෙට් සිග්නල් එහෙමත් තියෙනවද කියලා හීනියට හොයා බලනවා. ඒක පස්සේ නං ඒ හැටි දුවන්නේ නෑ..

ඔය මූලික දේවල් ටික බැලුවට පස්සේ මං බලන්නේ වටේ පිටේ ඉන්න කට්ටිය කොයි වගේද කියලා. මොකද කචල් කාරයෝ ඉන්න වලි දාගන්න පැත්තක ඉන්ඩ බෑ නෙහ්.

තව ඉතිං ඉඩම ගන්ඩ කලිං හොයනවා නං හොයන්ඩ ඕන දේවල් අටෝරාසියක් තියෙනවා. ඔප්පු තිරප්පු පිරිසිදු ද, මායිම් එහෙම ගානට තියෙනවද, කියලත් බලන්ඩ ඕන කාරණා.

ඔය සේරම දේවල් හිතේ තියාගෙන ඉඩං කීපයක්ම බැලුවා.

මුලින්ම බලපු ඉඩම කොස්ගම තියෙන්නේ. කොළඹට කිලෝමීටර් 45ක් තියෙනවා. ඒත් එක බස් එකයි. ඈතින් කඳු පේන හරියක්. ඒ වගේම රබර් වත්තක් මැදින් තමා ඉඩමට යන පාර තියෙන්නේ. ලස්සනයි. ඒක ඉඩමක් විතරක් නෙමේ ගෙයකුත් තියෙනවා.

අපේ එක්කෙනාව එහේ එක්ක ගියාම ගත් කටටම කිව්වේ නැතෑ අපෝ බස් එකෙන් බැහැලා සෑහෙන දුරක් යන්ඩ ඕනෙ නෙහ් අනික මං කොහොමද දවල් දවසේ ගෙදර තනියෙං ඉන්නේ කියලා. ඇත්ත ඉතිං කිලෝමීටරයක් විතර පයින් යන්ඩ ඕන. අනික ඒ හරියේ ගෙවල් ටිකක් අඩුයි. ටිකක් විතර පාළුයි.

ඔය සීන් එක නිසා ඒ ඉඩම අයින් කලා !

ඊට පස්සේ බැලුවේ  පනාගොඩ හරියේ ඉඩමක්. ඒකත් මරු. පනාගොඩ ඇඹුල්ගම පාරේ කිලෝමීටර් 3ක් විතර ගියහම ඉඩමට යාගන්ඩ පුලුවන්. ඒත් ඒකේ තියෙන අඩුපාඩුව තමා වතුර නෑ.. කළු ගලක් තියෙන නිසා ලිදක් කපාගන්ඩත් බෑ..

ප්‍රජා ජල යෝජනා ක්‍රමයකින් ලූ වතුර ලැබෙන්නේ. ඒ නිසා ඒකටත් තිත තිබ්බා.

ඕං ඔහොම මේ වෙනකොට ඉඩං කීපයකටම ගියා.

දෙයියනේ කියලා හිතට අල්ලන ඉඩමක් ලැබුනොත්....... එතන මගේම කියලා පැලක් අටෝනවා... :)

14 April 2014

මම හදපු උණ වෙඩිල්ල

මම කලින් ලිපියකදී කිව්වා නේ අපේ කන්තෝරුවේ උන්නු කෙනෙක් කියපු නිසා උණ වෙඩිල්ලක් හදන්ඩ ආසාවක් උපන්නා කියලා. ඉතින් ඒ ආසාවටම මමයි අපේ මල්ලිලා කට්ටියත්තෙක්ක උණ ගහක් හොයාගෙන ගියා. එතකොට අපට ගෙදරකින් කපලා දාපු ලොකු උණ ගහක් හම්බ උනා.

අපි ඒකත් කර තියාන ගෙදර ගෙනල්ලා  අඩි හතරක විතර කෑල්ලක් කැපුවා.

මෙහෙමයි උණ වෙඩිල්ල හදන්නේ... ඒක හදන හැටි විචාරක මහත්මයාගේ වචන වලින්ම දැන ගනිමු !

අපේ පැරණි භාණ්ඩයක් මෙසේ නැවත හඳුන්වාදීම ගැන ස්තුතියි. නමුත් මම දැඩි අවධාරණයෙන් කියනවා මෙය වීඩියෝවකින් බලා කළහැකි දෙයක් නොවේ. උණ ගහ තෝරා ගැනීමේදී එය වියලී නොගිය එහෙත් ඉතා හොඳින් මේරූ එකක් විය යුතුයි. අවම විෂ්කම්භය අඟල් 4ක් වත් විය යුතු තර උපරිම විෂ්කම්භය අඟල් 6 නොඉක්මවිය යුතුයි. 

උණ බටයේ මැද පුරුක් හිල් කිරීමේදී හඬ පිටවන පැත්තේ පුරුක විශාලවත් එතැන් සිට අනෙක් පුරුක් ක්‍රමයෙන් කුඩා වන ආකාරයටත් හිල් කල යුතුයි. වෙඩි හිල ඩ්‍රිල් කටුවකින් විදින්න එපා පතුරු ගැලවී උණ ලීයට හානි වෙනවා. ඒ නිසා සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භය ඇති යකඩයක් රක්ත තප්ත මට්ටමට රත්කර විදින්න. එම වෙඩි හිල උණ බටයේ මුල පැත්තේ කෙලවර ඇති ගැටයේ සිට අඟල් 5ක් පමණ ඈතින් විදිය යුතුයි. උණ බටයේ අග සහ වෙඩි හිල දෙපැත්තේ ශක්තිමත් කම්බි වෙළුම් යොදන්න. 

පොටවල් 10 බැගින් පමණ. වෙඩි තැබීමේදී බටය පුපුරා ගියොත් වන හානිය අවම කරගැනීම සඳහා. උණ වෙඩිල්ලේ මුල පැත්ත පොළොවට ආසන්නව කතිර හැඩයේ රැඳවුමකත්, අග පැත්ත පොළොවේ සිට අඩියක් පමණ ඉහලින් සිටිනසේ කහිර හැඩයේ රැඳවුමකත් තබන්න. වෙඩි පත්තු කිරීමට උණ බටයට භූමිතෙල් දමා රත් කිරීමේදී උණුසුම පාලනය ඉතා වැදගත්. නැත්නම් බටය පිච්චෙනවා විතරයි. 

-අසමි දකිමි සොයමි ලියන විචාරක -

ඔය උපදෙස් ටික නම් තිතටම හරි.. ඒ නිසා ඒ උපදෙස් පිලිපදින්න.

අපි උන වෙඩිල්ල හැදුවේ මෙහෙමයි.
ඔය පහලින් තියෙන්නේ අපට ලැබුනු කපලා දාලා තිඋන උණ ගහ.
ඔය උන ගහ ගෙනල්ලා මම අඩි හතරක කෑල්ලක් කැපුවා. ඔය උණ ගහ අල්ලගෙන ඉන්නේ අපේ බන්ටි...
 උණ ගහේ අඩි හතරේ කෑල්ලක් කැපුවට පස්සේ මම ගෙදර අරගෙන ගියා නියනෙන් හිලක් විදින්ඩ.. මම නියන අරගෙන හරබ කරන එක දැක්ක අපේ තාත්තා "ඔහොම ඉදින් උබලා ඔය බටේ පලාගන්ඩ යන්නේ.. මම විදලා දෙන්නං !" කියලා රුපියලක සයිස් එකේ හිලක් විදලා දුන්නා.

ඒ වෙලාවේ අපේ තාත්තා උන්නේ ගෙදර තීන්ත ගාන්ඩ වැලි කඩදාසියෙන් බිත්ති කප කපා.ඒ නිසයි අපේ තාත්තා සුදුවට වාගේ ඉන්නේ. :)
නියනකින් හිලක් විදගත්තට පස්සේ මම අලවංගුව අරගෙන එක පුරුකක් ඉතුරු වෙන්ඩ අනිත් පුරුක් ටික සිදුරු කලා. ඒක කලේ අපේ විචාරක මහත්මයා කියපු විදිහටයි !

ඊට පස්සේ  කතිරයක් ගහලා බටේ රැඳෙව්වා. රඳවලා ඉවර වෙලා තද වෙන්ඩ ගැට ගැහැව්වා. ඔය පහල පින්තූරේ ඉන්නේ බන්ටියි සුදු පුතායි.
ඔය පහලින් තියෙන්නේ හදලා සූදානම් කරගත්තු උණ වෙඩිලි ආධාරකයත්තෙක්ක උණ බටේ..
ඊට පස්සේ අපු හවස් වෙනකන් බෝල ගැහුව්වා. හවස් වෙලා ඇඟපත එහෙම හෝදගෙන කාරිය පොඩි සම්මාදමක් යැවුවා බූමිතෙල් බාගයක් විතර ගෙන්න ගන්ඩ. යාන්තන් පනහක් එකතු කරගත්තට පස්සේ බූමිතෙල් බාගයක් ගෙනාවා.පුනීලයකුත් තියලා බූමිතෙල් ටික හිමිහිට බටේ ඇතුලට වක්කරා !
බූමිතෙල් ටික වක්කරාට පස්සේ හුලු අත්ත අරගෙන ආවා.ආහ්... කියන්ඩත් අමතක උනා. මේ වෙනකොට අපේ ගෙදරයි අපේ නැන්දලා ගෙවල් වල අයයි ඔක්කොම අපේ මිදුලට ආවා මගේ හරඹ බලන්ඩ..

මම හුලු අත්ත පත්තු කරලා  බටේට අල්ලලා බටේ රත් කලා. අර කිව්වත් වගේ සීරුවට කරන්ඩ ඕන. නැත්නම් නිස්කාරනේ බටේ ගිනි ගන්නවා. බටේ රත් කලාට පස්සේ ලීයක් පත්තු කරලා කුහරේ ඇතුලට දාලා ඇල්ලුවා. එච්චර පත්තු උනේ නෑ.

ඒ වෙනකොට අපේ බවලත්තු මට එක එක එව්වා කියලා හිනා උනා.. ගානක් නෑ.. ඒ අය දන්නේ පොඩ්ඩ ඇත්නම් හිනා වෙන්ඩ නෙව. මම සැලුනේ නෑ. දිගින් දිගටම පිඹ හිඹ පත්තු කලා. ඔන්න එතකොට වැඩේ යාන්තන් හරි යාගෙන ගියා.

මට ආසාවේ බෑ.. ඒත්තෙක්කම පිඹලා පනත් නෑ.. අපි පිඹින්ඩ පාවිච්චි කලේ පොඩි බට කෑල්ලක්..
බට කෑල්ලක් පාවිච්චි කලේ. විචාරක මහත්තයා කියපු විදිහට ගින්දර විසි වෙනවයි කියපු නිසා.
ශා.. මාර ජොලි වැඩක්... !
හොඳට පිඹලා දුං එලියට ගියොත් ලොකු සද්දයක් එන වෙඩිල්ලක් පත්තු කරගත්තෑකි.. ඔය විදිහට සෑහෙන වෙඩිලි ගානක් පත්තු කර ගත්තා. අපි අදත් වෙඩි පත්තු කරන්න ඉන්නේ..

 අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු වෙලාවේ බ්ලොගය පාළුවට යන එක වලක්වන්ඩ මේ පෝස්ට් එක පල කරනවා... :)

සියළුමදෙනාට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!!

13 April 2014

සුබ අළුත් අවුරුද්දක් වේවා !

අද නම් බ්ලොග් එක පැත්තට ගොඩ උනේ කතාවක් ලියන්ඩ කියලා නං නෙමේ.. අවුරුද්දක් පුරාමා කතා ලිව්වා නෙහ්. ඒ ලියපු කතා අවුරුද්දක් පුරාම කියවපු මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට සුබ පතන්ඩ කියලයි අද බ්ලොගයට ගොඩ උනේ..

ඔන්න එහෙනම් මගේ අළුත් අවුරුදු ප්‍රාර්ථනාව...

ලබන්නාවු සිංහල හින්දු නව වසර බ්ලොග් පාඨක සියළු දෙනාටත් ලෝ වැසි සියළුම සිංහල ජනතාවටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවායි පතමි... !!!

12 April 2014

අවුරුද්දට උණ වෙඩිල්ලක්

ඊයේ අපේ කන්තෝරුවේ ගොඩක් කට්ටිය අඩු දවසක්. ඔක්කොම වාගේ අවුරුදු නිවාඩු ගිහින්. ගොඩක් කට්ටිය අඩු නිසා අපිත් එච්චර වැඩක් කලේ නෑ. දවසෙන් වැඩි හරියක්ම කලේ ඔහේ කියව කියව හිටපු එක.

ඒ කියවපු දේවල් වලින් වැඩි හරියක් තිබ්බේ අවුරුදු නිවාඩුවට කරන්න හිතන් ඉන්න වැඩ ගැන..

අවුරුදු නිවාඩුවට කරන්න ඕන වැඩ ගැන එක එක්කෙනා එක එක දේවල් කිව්වා. ඒ අතරින් මගේ හිත නැවතුනේ අපේ පරණම ඩිවෙලොපර් කියපු වැඩක් ගැන..

ඒ තමා අවුරුද්දට උණ වෙඩිල්ලක් හදන එක !

හැමදාම අවුරුද්දට රතිඥ්ඥා ගෙනත් පත්තු කරන එකේ මෙදාපාර අවුරුද්දට උණ වෙඩිල්ලක් හදන්ඩ මටත් ආස හිතුනා.

ඔය ආසාව නිසාම ගෙදර ආපු හැටියෙම අපේ තාත්තට කිව්වා කොහොමහරි අඩි හතරක උණ බම්බුවක් හොයලා තියන්ඩ කියලා. අපේ තාත්තා උණ බම්බුවක් හොයලා ගෙනාවට පස්සේ උණ වෙඩිල්ල හදපු විදිහේ පින්තූරු දාන්නම්.

උන වෙඩිල්ල හදන හැටි කවුරුහරි දන්නේ නැත්තං මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ..... !




රතිඥ්ඥා වලට වඩා උන වෙඩිල්ලක් හදන එක ලාබදායි නිසා මාත් උණ වෙඩිල්ලක් හදනවා.

එහෙනං ඕගොල්ලොත් බට කෑල්ලක් හොයලා උණ වෙඩිල්ලක් හදලා බලන්ඩ... මම එහෙනං ගිහින් එන්නම්. අද නිවාඩු දවසේ කරන්ඩ ඕන වැඩ ගොඩක් තියෙනවා.

ජය වේවා !!!
------------------------------------------------------------------
ප.ලි. - වීඩියෝ එක බලනවා නං මෙගාබයිට් 5ක් විතර යනවා. අපොයි සුපියල් පහ කියලා හිතෙනවා නං බලන්ඩ එපා..

11 April 2014

ඇඳුම් ටැග් එක

ඊයේ මං කිරිබත්ගොඩ ටවුම පැත්තේ කරක් ගැහුවා අවුරුද්දට ඇදුම් ගන්ඩ. මම කවදත් ඇඳුම් ගන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් නිසා ඒ බිල්ඩින් එකට ගොඩ උනා. අප්පේ... සෙනග...!

සෙනඟ අස්සේ තෙරපිලා තෙරපිලා කොහොමහරි ටී ෂර්ට් කෑල්ලකුයි කලිසමකුයි ගත්තා...

ඒක ගත්තට පස්සේ බිල දාගන්න යන තෑන මාර පෝලිමක්.. බිල් කවුන්ටර්ම පහලොවක් දාලා තියෙනවා. ඒත් සෙනග.. තිලකවර්ධන මුදලාලිට අවුරුදු ජයයි වාගේ !

ඉතිං ඒ ගැන නෙමෙයි කියන්ඩ ආවේ.

බිල දාගන්න හිටපු තැන කොල්ලා මොකද්ද මන්දා යකඩ ගැජට් එකකට අල්ලලා ඇඳුමේ ටැග් ගැලෙව්වා. මටත් නිකමට වාගේ හිතුනා ඇඳුම් වල ටැග් එකෙන් මොකද්ද කෙරෙන සීන් එක කියලා බලන්ඩ. ඇඳුමේ ටැග් එකක් සම්පූර්ණයෙන්ම ගැලෙව්වහම තියෙන්නේ පල්ලෙහා තියෙන ගැජට් ටික..
ඔය ගැජට් ටික සෙට් වෙලා ආවහම ටැග් එක වැඩ කරන්නේ මෙහෙමයි. ඊට කලින් ටැග් එකේ හරස්කඩක් බලලා ඉමුකෝ.
ඔය පින්තූරේ නිල් පාටින් පේන පින් එක තමයි ඇඳුමට සෙට් වෙන්නේ.ඇඳුමට සෙට් වෙලා රෝස පාට බෝල හරහා ගිහින් පින් එක ටැග් එකට හයි වෙනවා. තේරුනානේ ?

කවුරුහරි පින් එකෙන් ඇදලා පින් එක ගලවන්ඩ හැදුවහම අර රෝස පාට බෝල ටික පහලට ඇවිත් පින් එක තවත් හිරකරවනවා.  ඒකට උදව් වෙන්නේ ස්ප්‍රීන් එක.ස්ප්‍රීන් එකෙන් තමා රෝස පාටට පේන බෝල ටික පහලට කරවලා තද කරලා අල්ලගෙන ඉන්නේ.

පින් එක චුට්ටක් හරි බුරුල් උනහම  ස්ප්‍රීන් එක ටිකක් දිගෑරිලා බෝල ටික පල්ලෙහාට තල්ලු කරනවා. බෝල පල්ලෙහාට තල්ලු කලහම ආයෙම බෝල ටික පින් එකට හිර වෙනවා.

ඔය අයිටම් සේරම තියෙන්නේ රතුපාට බාල්දියක් වගේ එකේ නිසා රෝස පාට බෝල ටිකට ඉහල පහල යනවා ඇරෙන්ඩ වෙන දිහාවල් වලට හෙල්ලෙන්ඩ බෑ..

එතකොට ටැග් ගලවන කෙනා කරන්නේ ඔය ටැග් එකට ඉහලින් කාන්දමක් අල්ලනවා.. කාන්දම අල්ලපුවහම රෝස පාටින් පේන බෝල ටික යකඩ නිසා ඉහලට යනවා.එතකොට පින් එක ලේසියෙන්ම ගලවලා ගත්තෑකි.....

ඔන්න ඕකයි ගැජට් එකෙන් වෙන්නේ...!

මෙන්න මේ වීඩියෝ එක බැලුවා නං වැඩේ මීටර් වෙනවා.

ඊළඟට තමා වැදගත්ම ප්‍රශ්නේ... කොහොමද ටැග් එකත්තෙක්ක ඇඳුමක් හොරෙන් අරගෙන ගියහම මාට්ටු වෙන්නේ ?

මෙහෙමයි.. අපි රෙදි සාප්පුවෙන් එලියට යන දොර දෙපැත්තේ අපිට නොපෙන්නෙන්න.. කණු දෙකක් තියෙනවා.ඒ කණු දෙක හැමතිස්සෙම කිරණ වගයක් නිකුත් කරනවා.මනුස්සයෙක් කණු අතරින් ගිහයම ඒ කිරණ ගමන් කරන්න බාධාවක් වෙන්නේ නෑ.

නමුත් මේ කිරණ වල ගමන් මාර්ගය මැද්දෙන් ටැග් එකක් තිබ්බහම බාධාවක් හට ගන්නවා.එතකොට රෙදි සාප්පුවේ එලාර්ම් එක වදිනවා.

එතකොට තමා රෙදි සාප්පුවේ උන් දුවගෙන ඇවිත් අල්ලගන්නේ !

ක්ලෝත් සිකියුරිටි ටැග් කියලා සර්ච් කලහම නෙට් එක පුරාම තියෙන්නේ හොරෙන් ටැග් ගලවන ක්‍රම. ඕන කෙනෙක් ඉන්නවා නං එහෙම ක්‍රමයක් අත්හදා බලන්ඩ.. හැබැයි මම නම් ඒකේ වගකීම බාරගන්නේ නෑ..

10 April 2014

දෙල් ද ? මඤ්ඤොක්කාද ?

ඔය දෙල් මඤ්ඤොක්කා කතාව පටන් ගන්නේ මෙහෙමයි.
අපේ ගෙදර කට්ටියට  සුදු නෝනලාගේ ගෙදරින් ආරාධනාවක් ආවා. ඒ ආරාධනාව ආවේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ ගෙදරට එන්ඩෙයි කියලා. ඉස්ස ඉස්සෙල්ලම ඒයැයිලෑ ගෙදර යන දවස නෙ. ඒ නිසා තෑගි බෝග එහෙමත් අරන් යන්ඩ එපෑ.

අපට උදේ කෑමටයි දවල් කෑමටයි එන්ඩ කිව්ව නිසා කේක් එකක් විතරක් හරි යන්නේ නෑ කියලා හිතුන නිසා මම කල්පනා කර කර හිටියා මොනවද තව ගෙනියන්නේ කියලා.

එතකොටම අපේ තාත්තා කිව්වා "අපි එහෙනං මංඤ්ඤොක්කා ගහක් ගලවගෙන යමු" කියලා.

මමත් ඒ යෝජනාව ස්ථිර කරගෙන වත්තේ වවලා තිබුනු මඤ්ඤොක්කා පදුරක් උගුල්ලගෙන මල්ලකට දාගත්තා.ඒක එසේ මෙසේ මඤ්ඤොක්කා වර්ගයක් නෙමේ. ඒක කිරිකවඩි කියන මඤ්ඤොක්කා ජාතිය ! මී ඉටි ටික වාගේ තැම්බෙනවා !

මඤ්ඤොක්කා මල්ලයි කේක් එකයි ඉස්සර කරගෙන අපි වෑන් එකේ ඒයැයිලෑ ගෙදර ගියා.කේක් එක මේසෙන් තියලා මඤ්ඤොක්කා මල්ල එයාලෑ අම්මා අතට දුන්නා.

අපේ එක්කෙනා ඒ මල්ල ඇතුල බලලා ඇස් නළලේ තියාගත්තා.

මටත් ඒක ඒ හැටි ගානක් උනේ නෑ.. පස්සේ ගෙදර ආවහම තමා ඇයි උඩගිය කතාව තේරුනේ... !

"මොකද්ද අනේ ඔයාලා මඤ්ඤොක්කා ගොඩක් අරගෙන ආවේ ???"

"ඇයි මොකද්ද ඒකේ තියෙන වැරැද්ද ?" මම ඇහුවා.

"වැරැද්දක් නෑ.. ඒ උනාට මට ගෙදර ඉදලා හමාරයි."

"ඒ මොකෝ ඒ...???" මම ආයෙම ඇහුවා.

"ඒක ටිකක් දිග කතාවක් !"

"දිග උනාට කමන් නෑ. කෙටියෙන් කියන්ඩකෝ !" මම පෙරැත්ත කලා.

"මෙහෙමයි.... අපේ තාත්තා අම්මව බලන්ඩ ආපු පලවෙනි දවසේ ගෙනල්ලා තිබුනේ දෙල් ගෙඩි දහයක්... අපේ තාත්තා දෙල් ගෙනාපු එක අල්ලගෙන අපේ අම්මා සෑහෙන කාළයක් තාත්තට විහිලු කරලා තියෙනවා. අපිත් තාත්තට විහිලු කළා ගෑල්ලමයෙක් බලන්ඩ යනකොට දෙල් ගෙනියනවද කියලා. අද ඔයා මාව බලන්ඩ එද්දි මඤ්ඤොක්කා ගෙනාවහම තාත්තා කියනවා 'එදා මම දෙල් ගෙනාවට මොකෝ අද ඒ පුතා මඤ්ඤොක්කා ගෙනත් තියෙන්නේ... !!' කියලා. මට ඉතිං ගෙදර ඉදලා හමරයි. ! "

ඔන්න එහෙමයි ඒ දුරකතන ඇමතුම කෙලවර උනේ... !

 ආයේ ඉතිං අපි ඔය කතාවක් දන්නවා යෑ.. කටවහරෙටත් කියන්නේ තෑගිබෝග කියලනේ.. තෑගියි බෝග ජාතියි ! අපි තෑග්ගට කේක් එකක් අරගෙන බෝගයට මඤ්ඤොක්කා ගෙනිච්චා !

හැබැයි අපරාදේ කියන්ඩ බෑ ගෙදර කට්ටිය විහිලු කර කර උන්නට වේල් දෙකක්ම මඤ්ඤොක්කා තම්බගෙන කාලා තිබුනා.

මම ඉතින් මේ කතාව අමතක නොවෙන්ඩ බ්ලොග් එකේ කොටලා දැම්මා... කවදාහරි දවසක  මේ කතාව මතක් කරගත්තෑකි නෙහ්. :)

09 April 2014

මාර්කටින් බුවෙක් සමග කුඩේ යටින් ගියෙමි

මේ දවස්වල අපට හවසට හවසට වහින හන්දා මගේ ගමන් මල්ලේ අනිවාර්ය දේවල් ගොඩට කුඩයකුත් එකතු කරගෙන ඉන්නවා. නැත්නම් මේ වහින වැහි වලට තෙමුනොත් හෙම්බිරිස්සා හැදෙන එක නවතින එකක් නෑ..

හෙම්බිරිස්සාව තමා මට තියෙන සුළභම අමාරුම ලෙඩේ... !

අද කියන්ඩ ආවේ හෙම්බිරිස්සාව ගැන නෙමේ. ඔහොම වහින දවසක මම් වැඩ ඇරිලා අපේ පාරේ බස් එකකට ගොඩ උනා ගෙදර යන්ඩ. කොහොමින් කොහොමහරි පෑ එකහමාරකට විතර පස්සේ කනත්ත හන්දියට බස් එක ආවා.

බස් එක  කනත්ත හන්දියෙන් නැවැත්තුවාට පස්සේ මම බැහැගත්තා.ඒත්තෙක්කම තව කීපදෙනෙකුත් බස් එකෙන් බැස්සා. මම බැහැපු හැටියෙම වාගේ කුඩේ දිගෑරගත්තා. ඒ වෙලාවෙම මං දැක්කා මට ටිකක් ඈතින් කොල්ලෙක් වැස්සේ තෙමීගෙන පාර පනින්ඩ බලාගෙන ඉන්නවා.

මම ඌ ගාවට ඇවිත්,

"තේවත්ත පැත්තට ද යන්නේ ?" කියලා ඇහුවා.

"ඔවු.." ඒකාත් උත්තර දුන්නා.

"එහෙනං තෙමෙන්ඩ ඕන නෑ... මේ කුඩේ යටිං යං. මාත් යන්නේ ඒ පැත්තට." මම කිව්වා.

ඔහොම ටික දුරක් පාර දිගේ ආවා. ඕං ඊට පස්සේ මූ දිගටම මාර්කටින් කතා ගොඩක් කියපි. මූ ක්‍රෙඩිට් කාඩ් මාර්කටින් කරන බුවෙක්. දැන් මේකා සෑහෙන ට්‍රයි එකක් දානවා ක්‍රෙඩිට් කාඩ් වල වාසි ගැන කියලා මාව නම්ම ගන්ඩ.

මම කලිනුත් කියලා තියෙනවා නෙහ්.. මට ක්‍රෙඩිට් කාඩ් වැඩක් නෑ කියලා.

මම කෙලින්ම කිව්වා මම නම් ඔය ක්‍රෙඩිට් කාඩ් සීන් වලට කැමති නෑ කියලා. මූ ඒත් අහන්නේ නෑ දිගටම දේශනාව. ගැලවීමක් නෑ.. මූව තෙමෙන්ඩ ඇරලා මං අහක බලාගෙන ආවා නං හරි කියලත් හිතුන වාර අනන්තයි.

ටික දුරක් ඇවිදගෙන එනකොට මට පොඩ්ඩක් ඉන්ඩ කියලා මේකා ෆෝන් එකට කාඩ් එකක් දාගන්ඩ කොමිනිකේශන් එකකට ගියා.

මම ඒක වෙලාව කරගෙන මූව එතන දාලා අඩිය ඉක්මන් කරලා ගෙදර ආවා.

ඊට පස්සෙත් කීප දවසක් මූව හම්බ උනත්  මම නෙමේ ඇහැක් ඇරලා මුගේ දිහෑ බැලුවේ. මේකාටත් වැඩේ තේරිලාද කොහෙද මගෙත්තෙක්ක කතාවට ආවේ නෑ.

 මේ වාගේ මිනිස්සුන්ට නං උදව්වක් කරන්ඩත් එපා වෙනවා. වෙලාවකට හිතෙනවා මමත් නිකන් අහක ඉන්න නයි ඇඟේ දාගත්තද කියලා.

07 April 2014

කොම්පියුටරේ ලෙඩේ

මතකනේ මම කලින් පෝස්ට් එකකදී කිව්වා මට කොම්පීතරයක් හදන්ඩ ලැබුනයි කියලා. එදා ඒ කොම්පීතරේ රැම් එක ගලවලා පිහිදාලා හයි කලාට පස්සේ ටීක් ටීක් සද්දේ නැවතුනා. ඒ උනාට කළු පාට තිරයෙන් එහාට්ට ඇවිත් වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ...

මම දහ අතේ කල්පනා කලා මොකද මේ කොම්පීතරේ අවුල කියලා.

මම කල්පනා කරන වාරයක් පාසා නෑනන්ඩි ඇවිත් ඇවිත් හිනා වෙනවා.උන්දෑට ඕන කෝමහරි මට විහිලු කරන්ඩ..

"අපෝ කොම්පියිටර් ඉංජිනියර් කෙනෙක් නේද ? ඕක හදාගන්ඩ බෑ ද" කිය කියා කොච්චරවත් මාව චාටර් කරනවා.

මම තුම්මුනින් දාඩිය දාගෙන කල්පනා කරනවා මොකෑ මේකට කරන්නේ කියලා. ඇයි ඉතිං ලැජ්ජ වෙන්ඩත් බෑ නේ. ඕං ටික වෙලාවකට පස්සේ නැන්දම්මත් ඇවිදින් ඇඳේ වාඩි උනා මොකද්ද කොම්පීතරේ ලෙඩේ කියලා බලන්ඩ..

දැං හදාගන්ඩ බැරි උනෝතින් චාටරේ උපරිමේ... !

කෝක වෙතත් කමන් නෑ කියලා කොම්පීතරේ කරන්ට් එකට ගහලා ඔන් කලා. ඔන් කලාට පස්සේ ආපු තිරයේ තිබ්බ අකුරු ටික හීන් සැරේම කියව ගත්තා. එතකොට තමා ගැටේ ලිහාගන්ඩ පුලුවන් උනේ...

තිරයේ තිබ්බේ ප්‍රී මාස්ටර් නොට් ඩිටෙක්ටඩ් (Pre master : Not Detected) කියලා. ඒ වගේම ප්‍රී ස්ලේව් නොට් ඩිටෙක්ටඩ් (Pre slave : Not detected) කියලාත් තිබුනා.ඔන්න ඕකයි ලෙඩේ... මාස්ටරුයි ස්ලේවුයි (Master & Slave) හොයාගන්ඩ බැරුව කොම්පීතරේ ලත වෙනවා.

ඔය පහල පින්තූරේ ප්‍රී මාස්ටර් කියන තැනටයි ප්‍රී ස්ලේව් කියන තැනයි නොට් ඩිටෙක්ටඩ් කියලා තිබුනේ... පින්තූරයක් තිබුනේ නැති නිසා නෙට් එක පීරලා ඕක හොයාගත්තේ.
එකම ජාතියේ කේබල් වලින් හාඩ් ඩිස්ක්, සීඩි රොම් වගේ ඒවා ප්‍රධාන පුවරුවට සම්බන්ධ කරලා තිබ්බහම කොම්පීතරේට පැහැදිලි කරලා කියන්ඩ ඕන කවුද මාස්ටර් කවුද ස්ලේව් කියලා.  මාස්ටරුයි එයාගේ ස්ලේවුයි අදුරගන්න අමාරුම නම් ඒකට කරන්ඩ තියෙන්නේ ජම්පර් සෙට් කරලා මාස්ටර්/ස්ලේව් වෙන් කරලා පෙන්වන එක.

ජම්පර් කියන්නේ පොඩි සර්කීට් කෑලි වගේකට... !

ජම්පර් කියලා කියන්නේ පහල තියෙන ජාතියේ පොඩි සර්කීට් කෑලි වලට. ඕක සෙට් කරන්ඩ ඕන විදිහ හාඩ් එකේ ඇඳලම පැහැදිලි කරලා තියෙනවා.

මම වයින් කරලා අතෑරියා වාගේ කොම්පීතරේ ගලවලා හාඩ් එකේ ජම්පර් සර්කීට් සෙට් කලා... සෙට් කරලා ඉවර වෙලා කොම්පීතරේට කරන්ට් එක දීලා ඔන් කලා...ඕන් දැං බබා වාගේ ඔන් උනා. කාටත් සතුටුයි...ඔක්කෝටම වඩා අපේ එක්කෙනාගේ මූන බලන්ඩ එපෑ... ඇස් වලිනුත් හිනා උනා.

යාන්තන් ජාමේ බේරගෙන කොම්පීතරේ ගොඩ දැම්මා... බැරි වෙලාවකවත් හදාගන්ඩ බැරි උනා නං නෑනන්ඩිගෙන් චාටර් කන්ඩ එපෑ... !

අපෝ ඒයැයි චාටරේ උපත.... !

දැන් නං නිදිමතයි වාගේ.. ගිහින් එන්නම්... හැමෝටම සුබ රාත්‍රියක්.. !

---------------------------------------------------------------------
ප.ලි. - නොතේරුන තැනක් තියෙනවා නං අහන්ඩ..තේරුනේම නැත්නම් කමන් නෑ.. හීනයක් දැක්කයි කියලා හිත හදාගන්ඩ.. :)

04 April 2014

ආදර කඳු තරණය

අපි උදෙම්ම සුරතලී ඇල්ල බලාගෙන එතනින් නාලා ප්‍රධාන පාරට ආවා. ඒ ආවේ පඹහින්න බස් එකක නගින්ඩ.සුරතලී ඇල්ල හරියේ පාරේ විනාඩි විස්සක් විතර ඉන්නකොට බස් එකක් ආවා. ඒක කොළඹ බදුල්ල බස් එකක්.. අපි එකේ නැගලා පඹහින්න හන්දියට ටිකට් ගත්තා.

පෑ කාලක් විතර යනකොට අපිට පඹහින්න ඔර්ලෝසු කණුව ගාවින් බැහැගන්ඩ පුලුවන් උනා. ආදර කඳු නගින්ඩ එනවා නං කොළඹ-බදුල්ල බස් එකේ ඇවිත් පඹහින්න හන්දියෙන් බහින්ඩ ඕන.
මේ එනකොට වෙලාව 1.28යි කියලා තිබ්බත් ඇත්තටම වෙලාව දහයට විතර ඇති. පඹහින්නේ ඉදලා සබරගමුව විශ්ව විද්‍යාලයට ගොඩක් ලඟයි. මීටර් 500ක් විතර තියෙනවා කියලා තමා බෝඩ් එකේ තිඋනේ.

අපි පඹහින්නට ඇවිත් අපේ ගමන් සඟයට කෝල් එකක් දුන්නා.  අපේ ගමන් සගයා සබරගමු විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ කළමණාකරන පීඨ සිසුවෙක්... ! කාඩ් එක කියනවා නං ඌ 'හිට්ටා' !

අපි කට්ටිය හිට්ටා මල්ලි එනකන් බලාගෙන උන්නා. ඒ වෙනකොට පානුයි කෙහෙල්ගෙඩිත් ගත්තා.කන්ද නගිනකොට දවාලට කන්ඩ මොනාහරි තියෙන්ඩ එපෑ.. ආහ් කියන්ඩ අමතක උනා ග්ලූකෝස් පැකැට් දෙක තුනකුත් ගත්තා.

කෑම බීම ටිකත් අරගෙන අපි ප්‍රධාන පාරට ආවා. එතකොට තමා අපි නගින කන්ද පෙනුනේ.ඔය පහල පින්තූරේ  ඈතින්ම පේන කන්ද තමා ආදර කඳුවැටිය... !
ඔය සේරම කරගෙන වික වෙලාවට පස්සේ අපි පඹහින්නෙන් පිටත් උනා. පඹහින්නේ ඉදලා මීටර් 100ක් විතර බදුල්ල පැත්තට ගිහින් වම් අත පැත්තට තියෙන අතුරු පාරට හැරුනා.
අතුරු පාර දිගේ ගමක් මැද්දෙන් සෑහෙන දුරක් යන්ඩ ඕන. ඒ ගියහම තමා කන්ද නගින තැනට එන්ඩ තියෙන්නේ. එතන ඉදලා කැලෑවක් මැද්දෙන් ගමන් කරන්ඩ තියෙන්නේ. කුරුල්ලන්ගේ කෑ ගැහිලියි දිය පාරවල් වල වතුර ගලන සද්දෙයි ඇරුනම වෙන කෘතිම සද්ද කිසිම දෙයක් නෑ..

හරිම සුන්දර ගමනක් ඒක. මේ පාරෙන් ටික දුරන් ගියහම පන්සලක් හම්බ වෙනවා. පන්සලක් කිව්වට මේක ආරණ්‍යයක්..වනගත හාමුදුරුවරු භාවනායෝගීව වැඩ වාසය කරන තැනක්..

ආරණ්‍යය පහු කරගෙනම අපි ගමන පිටත් උනා.අපේ අඩිපාර වැටිලා තියෙන්නේ ආරණ්‍යය තියෙන ගල අයිනෙන්.. අපි උන්නාන්සේලාගේ දැහැන් බිඳින්නේ නැතුව හීන් සැරේ පඩිපෙල් නැග්ගා. මේ පඩිපෙල් වලින් පස්සේ වගුරු බිමක් වාගේ තැනකට එන්ඩ තියෙන්නේ.

කූඩැලු විමානේ...!

ඉක්මනින්ම යන්ඩ ඕන. නැත්නම් කූඩැල්ලෝ ගලවලා ඉවරයක් නැති වෙයි. මේ නිසා සිද්ධාලේප, දෙහි වගේ ඒවා ගේන්ඩ අමතක කරන්ඩෙපා... කූඩැල්ලෝ කොච්චර කෑවද කියනවා නං මයේ කකුල් දෙක ඉදිමිලා තිබුනා. අපේ තාත්තා ලාක්ෂාදි ගාලා තමා ඉදිමුව අඩු කර ගත්තේ.

අපි මේ ආදර කන්දයි කියලා කිව්වට මේක පඹහින්නේ පරවියන්ගල කඳු මුදුන ! එක කන්දක් නෙමේ කඳු මුදුන් හතක් තියෙනවා. අපි අඩුම තරමේ කඳු මුදුන් පහක්වත් ඒගන්ඩ කියලා තමයි කල්පනා කලේ.

මොකද ඉර එලිය නැතිවෙන්ඩ කලින් බැහැගන්ඩ එපෑ.. ආදර කඳු නගිනවා නං අඩුම තරමේ උදේ අටටවත් නගින්ඩ පටන් ගන්ඩ ඕන. නැත්නම් කළුවරේ පාර හොයාගන්ඩවත් බැරි වෙනවා.

වගුරුබ්ම පහු කලට පස්සේ ටිකක් විතර සීග්‍ර නැග්මක් තිබුනා.නැග්ම සීග්‍ර උනාට ගමන සුන්දරයි. හැබැයි කූඩැල්ලෝත් අඩු නෑ..
  

මේ හරිය නැග්ගට පස්සේ තියෙන්නේ පයිනස් කැලයක්.ඒ හරියේ නැග්ම ඒ තරම්ම සීග්‍ර නැති උනාට පයිනස් කොළ වැටිලා නිසා ලිස්සන ගතියක් තියෙනවා.ඒ වාගේම පොළොව සෑහෙන වියළියි. අතරින් පතර ලස්සන හීන් බෝවිටියා මලුත් පිපිලා තිබුනා...

මේ හරිය යාගත්තට පස්සේ අපිට තැන්නක් හම්බ වෙනවා. තැන්නේ නං කිසි ගේමක් නැතිව යාගන්ඩ පුලුවන්. කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ.. ඒකත් සුන්දර පරිසර පද්ධතියක්. අපි මහන්සිය නිවෙන්ඩ ටික වෙලවක් එහේ නැවතිලාත් උන්නා.

 මහන්සිය නිවාගත්තට පස්සේ අපි ආයේ අපේ ගමන පිටත් උනා.මෙච්චර දුරක් ආවත් අපි අපේ ඉලක්කයට ඇවිල්ලත් තිබුනේ නෑ. අපිට එච්චර වෙලා තැන්නේ ඇවිදින්ඩ වාසනාව තිබුනේ නෑ..ආයෙම කඳු නැගිල්ලක් තිබුනේ. ඒ හරිය නැග්ගට පස්සේ අපිට වතුර ගන්ඩ පුලුවන් දියපාරක් හම්බ උනා.

මෙතනින් අපි අපේ වතුර බෝතල් ටික පුරව ගත්තා... ශීතකරණයෙන් ගත්තා වාගේ සීතල වතුර ටිකක් බොන්ඩ ලැබුනා නිසා අපේ මහන්සිය ගොඩක් අඩු උනා. අපි මේ හරියට එනකොට දවල් කෑම වෙලාවට කිට්ටු වෙලා හන්දා අපි ගෙනාපු පානුයි කෙහෙල් ගෙඩියි කන්න ගත්තා.

තව එකෙක් බිස්කට් එහෙමත් ගෙනත් තිබ්බ හන්දා අපි ඒවත් කාලා කූල් වතුර බීවා.

දැන් ආයෙමත් ගමනේ... පි කොහොමහරි දෙකහමාර වෙනකොට එක කඳු මුදුනකට යාගත්තා. එතනින් එහාට්ට ගමන අමාරු නෑ..
තව ටිකක් අපි කන්දේ ඇවිද්දා...මේ හරියේ ලස්සන කියලා නිම කරන්න බෑ..අපේ ඇස් පින් කරලා මදි මේ සුන්දරත්වය විඳින්ඩ.ඇත්තටම ලස්සන කඳු මුදුනක්.. !
ඔය ඉහලින් පේන්නේ අපි ආපු පාර. ඒ පාරේ ඇවිල්ලා අපි කඳු මුදුනේ වාඩි වෙලා උන්නා. මේ හරියට සමනළ වැවයි සබරගමු සරසවියයි ලස්සනට පේනවා මෙන්න මේ වාගේ.
ඔය ඈතින්ම පේන්නේ සමනළ වැව... ඊට ටිකක් මෙහායින් පිට්ටනියක් වාගේ පේන්නේ සබරගමු සරසවියේ පිට්ටනිය. ඒත්තෙක්කම සබරගමු සරසවියේ ගොඩනැගිලිත් පේනවා. ඒවා නං ඇස් වලින්ම දකින්ඩ ඕන.. පින්තූර වලට ඒ හැටි ලස්සන නෑ..

මේ වෙලාවෙදි තමා මට අර සිංදුව මතක් උනේ... !

සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා 

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා


සමනළ වැව බලාගාරයක් හන්දා ඒක බලන්ඩ යන්ඩ දෙන්නේ නෑ.. නමුත් අපි ඈතින් ඒ සුන්දරත්වය විඳ ගත්තා. සමනළ වැවේ සුන්දරත්වය වින්දායින් පස්සේ අපි අපේ ගමනේ ඉතුරු ටික පටන් ගත්තා. ඒ ටිකත් ගිහින් අපි කොඩිය ගහලා තිබ්බ තැනට ආවා.
කොඩිය ගහපු තැනටත් ඇවිත් ටික වෙලාවක් ගිමන් හැරියා. මේ වෙනකොට අපි මුදුන් පහක් නැගලා ඉවරයි..ඒත් කඳු වැටිය ඉවර නෑ.. වෙලාව හතරට විතර ඇති. තව හිටියොත් රෑ වෙන නිසා අපි ආදර කන්දට සමු දෙන්න පටන් ගත්තා.

හතරාමාර වෙනකොට බහින්ඩ පටන් ගත්තට අපි පහලට බැහැලා ඉවර වෙනකොට හතහමාර උනා. වටින්ගොඩින් කළුවරත් වැටිලා.. තව රෑ උනා නං අපට කන්ද උඩ නවතින්ඩ වෙනවා.මොකද අපි කා ළඟවත් ටෝච් එකක් තිබුනේ නෑ..

කන්ද බැහැලා ඇවිත් අපි පඹහින්න කඩේකින් රෑ කෑම කෑවා. රෑ කෑම කෑවට පස්සේ  අපි කොළඹ-බදුල්ල බස් එහෙක එල්ලුනා. බස් එකේ ඇවිත් නුගේගොඩින් බහිනකොට රෑ 11.45යි. සෑහෙන අමාරුයි. අඩි දහයක්කත් පයින් යාගන්ඩ බෑ..

එදා අමාරුයි කියලා හිතුනට පස්සේ මතක් වෙනකොට ඒ ගමන කොච්චර සුන්දරද කියලා හිතුනා. ඒ සුන්දරත්වය මේ මාසේ පුරාවටම වාගේ අපේ හිත් වල රැදිලා තියේවි...

ඔයාලත් දවසක පඹහින්නට එන්ඩ ආදර කන්ද නගින්ඩ... !

01 April 2014

සබරගමු සුරතලිය සොයා

පහුගිය ලිපියකදි මම කිව්වා මතක ඇති නෙහ් ආදර කන්ද නගින්ඩ යනවා ය කියලා. දවස හරියටම කියනවා නං මාර්තු 29 වෙනිදා... බස්නාහිර/දකුණු පලාත් සභා ඡන්දේ දවසේ.... !

අපි කට්ටිය කලින් දවසේ.. ඒ කියන්නේ සිකුරාදා සමීර අයියලෑ බෝඩිමට සෙට් උනා. බෝඩිමේ රෑ ඉදලා පාන්දර තුනට විතර ඇහැරිලා නුගේගොඩ බස් හෝල්ටෙකට ආවා.ඒ එනකොට පාන්දර හතරයි... !

බස් හෝල්ටෙකට ආව හැටියෙම මාර්ග අංක 99 බදුල්ල- කොළඹ බස් එකක් හම්බ උනා.අපි ඒකේ නැගලා පඹහින්න හන්දියට ටිකට් ගත්තා.ආදර කන්ද නගිනවා නං පඹහින්න හන්දියට එන්ඩෝන. එතන ඉදලා තමා කන්ද නැගීම පටන් ගන්නේ.

අපි ආපු බස් එක සෑහෙන වේගෙන් ආව හන්දා හයාමාර වෙනකොට පඹහින්න හන්දියට ආවා. මේ එනකොටත් අපිත්තෙක්ක කඳු නගින්ඩ එනවයි කිව්ව පරාක්‍රම පැය දෙකක් විතර ප්‍රමාදයි කිව්ව නිසා අපි පඹහින්න හන්දියෙන් බැස්සේ නෑ.

අපි ආයෙම ටිකට් ගත්තා සුරතලී ඇල්ල ගාවට..!

පඹහින්න හන්දියේ ඉදලා සුරතලී ඇල්ල ගාවට කිලෝමීටර් 7ක් තියෙනවා.167 වෙනි කිලෝමිටර් කණුව පහුවෙනවත්තෙක්කම තියෙන පාලම ගාවින් බැස්සම සුරතලී ඇල්ල බලන්ඩ යන තැනට එන්ඩ පුලුවන්.

පඹහින්න > මරන්ගහවිල > හල්පේ > ඌවතැන්න

ඔය ගම් ටිකේ හල්පේ ගමට තමා සුරතලී අයිති වෙන්නේ. ඒත් බස් එකක එනවා නං ඔය ගම් හොයාගන්න බෑ.. පොඩි ගම් නේ. ඒ නිසා කොන්දොස්තරට කියන්ඩ සුරතලී ඇල්ල ගාව නවත්වන්ඩ කියලා. අපිත් එහෙම කියලයි ඇල්ල ගාවින් බැහැගත්තේ.. !

 බස් එකෙන් බැස්ස හැටියේ ඇල්ලට යන තැන මේ වාගේ බෝඩ් තිබුනා.
ඔය බෝඩ් එකට වඩා ලොකු බෝඩ් එහෙකුත් තිබ්බා. පහලින් තියෙන්නේ ඒ බෝඩ් එක.
ඔතන ඉදලා පොඩි අඩිපාරක මීටර් 50ක් ආවහම ඇල්ල ගාවට එතෑකි.
අපි ගිය කාලේ බෙලිහුල්ඔය පැත්තට වැස්ස අඩු නිසා ඇල්ලේ වතුර ඒ තරමටම තිබුනේ නෑ.. නමුත් සුරතලී ඇල්ලේ සුන්දරත්වය නම් අඩුවක් නැතුවම වාගේ තිබුනා. සුරතලී ඇල්ල උසින් මීටර් 60ක් විතර වෙන ඇල්ලක්.

එහෙනං ඇල්ල බලලම ඉමුකෝ...


දිය ඇල්ල වටේ ඇවිදලා අපි දිය ඇල්ලේ වතුර වැටෙන තැනටත් ගියා. ඒ හරිය ගලින් හදපු වේදිකාවක් වගේ.පීල්ලකින් වතුර වැටෙනවා වාගේ ලස්සනයි. ඔය පහල පින්තූරේ ඉන්නේ සමීර අයියයි හර්ෂණ මලයයි..
ඇල්ල වටේ ඇවිදලා ඇල්ල ගාවටත් ගිහින් අපි උදෙම්ම නාගත්තා.අම්බෝ වතුර ටික අයිස් කැටේ වාගේ.. නාලා ටික වෙලාවක් ගල් තලාවේ වාඩිවෙලා ඉන්නැද්දි අපේ පරාක්‍රමයාගෙන් කෝල් එකක් ආවා. ඒ නිසා අපි ඇල්ලට සමුදීලා පඹහින්නට එන්ඩ බස් එහෙකට නැග්ගා.

නිවාඩුවක් ගත කරන්ඩ බදුලු යනවා නං සුරතලී ඇල්ල ගාව ටික වෙලාවක් නතර වෙලා ගිමන් හැරලා යන්ඩ අමතක කරන්ඩෙපා. ඒ වගේම තමා ඇල්ල බලන්ඩ ආවට කමන් නෑ පරිසරයේ සුන්දරත්වයට හානි වෙන දේවල් පරිසරයට මුදා හරින්න එපා. ගොඩක් අය ප්ලාස්ටික්, පොලිතින්, බියර් කෑන් එහෙමත් දාලා ගිහින් තිබුනා.

මේ පරිසර පද්ධතිය රැකගෙන ඉදිරි පරම්පරාවටත් සුරතලීගේ සුන්දරත්වය විඳින්ඩ ඉඩ ලබා දෙන්ඩ...

අපි එහෙනං පඹහින්න හන්දියේ දි හම්බවෙමු ඈ... ! ජය වේවා !