04 April 2014

ආදර කඳු තරණය

අපි උදෙම්ම සුරතලී ඇල්ල බලාගෙන එතනින් නාලා ප්‍රධාන පාරට ආවා. ඒ ආවේ පඹහින්න බස් එකක නගින්ඩ.සුරතලී ඇල්ල හරියේ පාරේ විනාඩි විස්සක් විතර ඉන්නකොට බස් එකක් ආවා. ඒක කොළඹ බදුල්ල බස් එකක්.. අපි එකේ නැගලා පඹහින්න හන්දියට ටිකට් ගත්තා.

පෑ කාලක් විතර යනකොට අපිට පඹහින්න ඔර්ලෝසු කණුව ගාවින් බැහැගන්ඩ පුලුවන් උනා. ආදර කඳු නගින්ඩ එනවා නං කොළඹ-බදුල්ල බස් එකේ ඇවිත් පඹහින්න හන්දියෙන් බහින්ඩ ඕන.


මේ එනකොට වෙලාව 1.28යි කියලා තිබ්බත් ඇත්තටම වෙලාව දහයට විතර ඇති. පඹහින්නේ ඉදලා සබරගමුව විශ්ව විද්‍යාලයට ගොඩක් ලඟයි. මීටර් 500ක් විතර තියෙනවා කියලා තමා බෝඩ් එකේ තිඋනේ.

අපි පඹහින්නට ඇවිත් අපේ ගමන් සඟයට කෝල් එකක් දුන්නා.  අපේ ගමන් සගයා සබරගමු විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ කළමණාකරන පීඨ සිසුවෙක්... ! කාඩ් එක කියනවා නං ඌ 'හිට්ටා' !

අපි කට්ටිය හිට්ටා මල්ලි එනකන් බලාගෙන උන්නා. ඒ වෙනකොට පානුයි කෙහෙල්ගෙඩිත් ගත්තා.කන්ද නගිනකොට දවාලට කන්ඩ මොනාහරි තියෙන්ඩ එපෑ.. ආහ් කියන්ඩ අමතක උනා ග්ලූකෝස් පැකැට් දෙක තුනකුත් ගත්තා.

කෑම බීම ටිකත් අරගෙන අපි ප්‍රධාන පාරට ආවා. එතකොට තමා අපි නගින කන්ද පෙනුනේ.ඔය පහල පින්තූරේ  ඈතින්ම පේන කන්ද තමා ආදර කඳුවැටිය... !



ඔය සේරම කරගෙන වික වෙලාවට පස්සේ අපි පඹහින්නෙන් පිටත් උනා. පඹහින්නේ ඉදලා මීටර් 100ක් විතර බදුල්ල පැත්තට ගිහින් වම් අත පැත්තට තියෙන අතුරු පාරට හැරුනා.



අතුරු පාර දිගේ ගමක් මැද්දෙන් සෑහෙන දුරක් යන්ඩ ඕන. ඒ ගියහම තමා කන්ද නගින තැනට එන්ඩ තියෙන්නේ. එතන ඉදලා කැලෑවක් මැද්දෙන් ගමන් කරන්ඩ තියෙන්නේ. කුරුල්ලන්ගේ කෑ ගැහිලියි දිය පාරවල් වල වතුර ගලන සද්දෙයි ඇරුනම වෙන කෘතිම සද්ද කිසිම දෙයක් නෑ..

හරිම සුන්දර ගමනක් ඒක. මේ පාරෙන් ටික දුරන් ගියහම පන්සලක් හම්බ වෙනවා. පන්සලක් කිව්වට මේක ආරණ්‍යයක්..වනගත හාමුදුරුවරු භාවනායෝගීව වැඩ වාසය කරන තැනක්..



ආරණ්‍යය පහු කරගෙනම අපි ගමන පිටත් උනා.අපේ අඩිපාර වැටිලා තියෙන්නේ ආරණ්‍යය තියෙන ගල අයිනෙන්.. අපි උන්නාන්සේලාගේ දැහැන් බිඳින්නේ නැතුව හීන් සැරේ පඩිපෙල් නැග්ගා. මේ පඩිපෙල් වලින් පස්සේ වගුරු බිමක් වාගේ තැනකට එන්ඩ තියෙන්නේ.

කූඩැලු විමානේ...!

ඉක්මනින්ම යන්ඩ ඕන. නැත්නම් කූඩැල්ලෝ ගලවලා ඉවරයක් නැති වෙයි. මේ නිසා සිද්ධාලේප, දෙහි වගේ ඒවා ගේන්ඩ අමතක කරන්ඩෙපා... කූඩැල්ලෝ කොච්චර කෑවද කියනවා නං මයේ කකුල් දෙක ඉදිමිලා තිබුනා. අපේ තාත්තා ලාක්ෂාදි ගාලා තමා ඉදිමුව අඩු කර ගත්තේ.

අපි මේ ආදර කන්දයි කියලා කිව්වට මේක පඹහින්නේ පරවියන්ගල කඳු මුදුන ! එක කන්දක් නෙමේ කඳු මුදුන් හතක් තියෙනවා. අපි අඩුම තරමේ කඳු මුදුන් පහක්වත් ඒගන්ඩ කියලා තමයි කල්පනා කලේ.

මොකද ඉර එලිය නැතිවෙන්ඩ කලින් බැහැගන්ඩ එපෑ.. ආදර කඳු නගිනවා නං අඩුම තරමේ උදේ අටටවත් නගින්ඩ පටන් ගන්ඩ ඕන. නැත්නම් කළුවරේ පාර හොයාගන්ඩවත් බැරි වෙනවා.

වගුරුබ්ම පහු කලට පස්සේ ටිකක් විතර සීග්‍ර නැග්මක් තිබුනා.නැග්ම සීග්‍ර උනාට ගමන සුන්දරයි. හැබැයි කූඩැල්ලෝත් අඩු නෑ..



මේ හරිය නැග්ගට පස්සේ තියෙන්නේ පයිනස් කැලයක්.ඒ හරියේ නැග්ම ඒ තරම්ම සීග්‍ර නැති උනාට පයිනස් කොළ වැටිලා නිසා ලිස්සන ගතියක් තියෙනවා.ඒ වාගේම පොළොව සෑහෙන වියළියි. අතරින් පතර ලස්සන හීන් බෝවිටියා මලුත් පිපිලා තිබුනා...


 මේ හරිය යාගත්තට පස්සේ අපිට තැන්නක් හම්බ වෙනවා. තැන්නේ නං කිසි ගේමක් නැතිව යාගන්ඩ පුලුවන්. කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ.. ඒකත් සුන්දර පරිසර පද්ධතියක්. අපි මහන්සිය නිවෙන්ඩ ටික වෙලවක් එහේ නැවතිලාත් උන්නා.


 මහන්සිය නිවාගත්තට පස්සේ අපි ආයේ අපේ ගමන පිටත් උනා.මෙච්චර දුරක් ආවත් අපි අපේ ඉලක්කයට ඇවිල්ලත් තිබුනේ නෑ. අපිට එච්චර වෙලා තැන්නේ ඇවිදින්ඩ වාසනාව තිබුනේ නෑ..ආයෙම කඳු නැගිල්ලක් තිබුනේ. ඒ හරිය නැග්ගට පස්සේ අපිට වතුර ගන්ඩ පුලුවන් දියපාරක් හම්බ උනා.

මෙතනින් අපි අපේ වතුර බෝතල් ටික පුරව ගත්තා... ශීතකරණයෙන් ගත්තා වාගේ සීතල වතුර ටිකක් බොන්ඩ ලැබුනා නිසා අපේ මහන්සිය ගොඩක් අඩු උනා. අපි මේ හරියට එනකොට දවල් කෑම වෙලාවට කිට්ටු වෙලා හන්දා අපි ගෙනාපු පානුයි කෙහෙල් ගෙඩියි කන්න ගත්තා.

තව එකෙක් බිස්කට් එහෙමත් ගෙනත් තිබ්බ හන්දා අපි ඒවත් කාලා කූල් වතුර බීවා.

දැන් ආයෙමත් ගමනේ... පි කොහොමහරි දෙකහමාර වෙනකොට එක කඳු මුදුනකට යාගත්තා. එතනින් එහාට්ට ගමන අමාරු නෑ..



තව ටිකක් අපි කන්දේ ඇවිද්දා...මේ හරියේ ලස්සන කියලා නිම කරන්න බෑ..අපේ ඇස් පින් කරලා මදි මේ සුන්දරත්වය විඳින්ඩ.ඇත්තටම ලස්සන කඳු මුදුනක්.. !


ඔය ඉහලින් පේන්නේ අපි ආපු පාර. ඒ පාරේ ඇවිල්ලා අපි කඳු මුදුනේ වාඩි වෙලා උන්නා. මේ හරියට සමනළ වැවයි සබරගමු සරසවියයි ලස්සනට පේනවා මෙන්න මේ වාගේ.


ඔය ඈතින්ම පේන්නේ සමනළ වැව... ඊට ටිකක් මෙහායින් පිට්ටනියක් වාගේ පේන්නේ සබරගමු සරසවියේ පිට්ටනිය. ඒත්තෙක්කම සබරගමු සරසවියේ ගොඩනැගිලිත් පේනවා. ඒවා නං ඇස් වලින්ම දකින්ඩ ඕන.. පින්තූර වලට ඒ හැටි ලස්සන නෑ..

මේ වෙලාවෙදි තමා මට අර සිංදුව මතක් උනේ... !

සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා 

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා

පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා


සමනළ වැව බලාගාරයක් හන්දා ඒක බලන්ඩ යන්ඩ දෙන්නේ නෑ.. නමුත් අපි ඈතින් ඒ සුන්දරත්වය විඳ ගත්තා. සමනළ වැවේ සුන්දරත්වය වින්දායින් පස්සේ අපි අපේ ගමනේ ඉතුරු ටික පටන් ගත්තා. ඒ ටිකත් ගිහින් අපි කොඩිය ගහලා තිබ්බ තැනට ආවා.


කොඩිය ගහපු තැනටත් ඇවිත් ටික වෙලාවක් ගිමන් හැරියා. මේ වෙනකොට අපි මුදුන් පහක් නැගලා ඉවරයි..ඒත් කඳු වැටිය ඉවර නෑ.. වෙලාව හතරට විතර ඇති. තව හිටියොත් රෑ වෙන නිසා අපි ආදර කන්දට සමු දෙන්න පටන් ගත්තා.


හතරාමාර වෙනකොට බහින්ඩ පටන් ගත්තට අපි පහලට බැහැලා ඉවර වෙනකොට හතහමාර උනා. වටින්ගොඩින් කළුවරත් වැටිලා.. තව රෑ උනා නං අපට කන්ද උඩ නවතින්ඩ වෙනවා.මොකද අපි කා ළඟවත් ටෝච් එකක් තිබුනේ නෑ..

කන්ද බැහැලා ඇවිත් අපි පඹහින්න කඩේකින් රෑ කෑම කෑවා. රෑ කෑම කෑවට පස්සේ  අපි කොළඹ-බදුල්ල බස් එහෙක එල්ලුනා. බස් එකේ ඇවිත් නුගේගොඩින් බහිනකොට රෑ 11.45යි. සෑහෙන අමාරුයි. අඩි දහයක්කත් පයින් යාගන්ඩ බෑ..

එදා අමාරුයි කියලා හිතුනට පස්සේ මතක් වෙනකොට ඒ ගමන කොච්චර සුන්දරද කියලා හිතුනා. ඒ සුන්දරත්වය මේ මාසේ පුරාවටම වාගේ අපේ හිත් වල රැදිලා තියේවි...

ඔයාලත් දවසක පඹහින්නට එන්ඩ ආදර කන්ද නගින්ඩ... !



18 comments:

  1. අපි ඉතින් ආදර කඳු තරණය කරලා ඉවරයි. දැන් ඉන්නේ මුදුනේ. කොයි වෙලේ ඇදගෙන වැටෙයිද දන්නේ නෑ. :D

    ReplyDelete
  2. පින්තූරත් එක්ක දීපු තොරතුරු වලට ස්තූතියි.. යන්න ඕනේ දවසක පඹහින්නට ආදර කන්ද නගින්ඩ...

    ReplyDelete
  3. සිරාවටම මට එන්න බැරි උන එක ගැන දුක හිතුනා… :(

    කොහෙද කරුමක්කාර ස්ටොක් එක නිසා ඔක්කොම වතුරෙ.……

    ෆොටෝ ටිකයි විස්තරෙනුයි වත් සැනසෙමු.

    ReplyDelete
  4. කූඩැල්ල නම් ඉතින් අවුරුදු හතරක් තිස්සෙ පුරුදු එකා! කෝච්චියෙ ගියොත් බලන්ට පුළුවන් තැන් ටිකක් කියන්ඩෝ!!!

    ReplyDelete
  5. ඔය කිට්ටුව තියන හාගල කන්දෙ නම් ගිහින් තියනව ඉස්කෝලෙ ගිය කාලෙ.. ඔය කන්ද නැගල නෑ. ලස්සන වට පිටාව. ආස හිතුන යන්න.

    ReplyDelete
  6. ඔය සිංදුව මීට කලින් දැම්මද මධු. මට නිකන් මතකයි මතකයි වගේ උඹ මේ සින්දුව මීට කලින් දැම්මා කියලා

    ReplyDelete
  7. ළඟ පාතම තියෙන නිසා උත්සාහයක් දීල බලන්න ඕන. ස්තුතියි විස්තරයට.

    ReplyDelete
  8. දැං ඉතිං කියවල බලන එක විතරයි නේ අපට ඉතිරි.. බණ කතාවක් වත් දාහං බං වෙනසකට.. කෝ තාම ටෙප්මලේට් එක වෙනස් කරල නැහැාන්...

    ReplyDelete
  9. අපිත් ආදර කන්ද නඟිනවා.. මධුරංග අයිලනම් දැන් මුදුනට ලගයි කියලා ආරංචි උනේ..

    අපිට ඉතින් ඇවිදින්න වෙලාවක් තියෙන එකක් කියලයැ..

    ReplyDelete
  10. හපොයි එන්නෙන් එන්න මෙයා අපිව ලංකාවට ගෙන්න ගන්න එක ලං කරන්න යන්නේ

    ReplyDelete
  11. Podi Kumarihami :
    බහින්ඩ හදන්ඩෙපා... උඩ පැලක් අටවගෙන ඉන්ඩ.. :)

    තුශානි :
    කට්ටියක් සෙට් කරගෙනම යන්ඩකෝ.. මරු ගමනක් වේවි... !

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒකනේ... අපරාදේ... ඊලඟ ට්‍රිප් එකවත් සෙට් වෙමු.. !

    ReplyDelete
  12. කුරුටු ගෑ ගී පොත :
    කෝච්චියේ ට්‍රිප් යනවා නං...
    1. රබුක්කනෙන් බැහැලා බස් එහෙක ගිහින් පින්නවල යන්ඩ පුලුවන්.
    2. ඉහල කෝට්ටෙන් බැහැලා අලගල්ල නගින්ඩ පුලුවන්.
    3. පේරාදෙණිය ඉතින් දන්නවා නෙහ්..
    4.ගම්පොලින් බැහැලා අම්බුළුවාව බලන්ඩ පුලුවන්.
    5. නාවලපිටියෙන් බැහැලා කඩියන්ලෙන ඇල්ල බලන්ඩත් පුලුවන්.
    6. ගලබොඩ දුම්රිය ස්ථානයෙන් බැහැලා ගලබොඩ ඇල්ල බලන්ඩත් පුලුවන්.
    7. හැටන් වලින් බැහැලා සිරිපාදේ යන්ඩ...
    8. ග්‍රේට් වෙස්ටර්න් වලින් ග්‍රේට් වෙස්ටර්න් කන්ද නගින්ඩත් පුලුවන්.
    9. බණ්ඩාර වෙලින් බැස්සොත් ඇඩිෂම් බංගලාවත් බලන්ඩ පුලුවන්.
    10. බදුල්ලෙන් බැස්සොත් පීස්සේ ඇල්ල, මුතියංගනය, දුන්හිඳ ඇල්ල එහෙම බලන්ඩ පුලුවන්.


    Chandana :
    හාගල කන්ද ??? ඒක නම් නැගලා නෑ.. විස්තර ටිකක් දෙන්න පුලුවන් නම්....

    ඉවාන් පවුලූශා :
    ඔවු.. සිංදුව කලින් දැම්මා... මතකය හරි. කන්ද නගින්ඩ කලින් තමයි මේ සිංදුව දැම්මේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඔච්චර කලින් බහින්ඩ බෑ ටිකට් ගන්න විඳපු වදේ හැටියට. දහ වැනි එකට ගොඩක් ස්තුති යි!!!

      Delete
  13. Anonymous :
    ළඟ පාත කෙනෙක් නම් උත්සහයක් දීලා බලන්ඩ... ලස්සන ගමනක් වේවි !

    දේශක යා :
    මේක පාරම්පරික ටෙම්ප්ලේට් එකක් නෙහ්.. !
    ආයේ කට්ටියක් සෙට් උනොත් දේශකයත් එන්ඩ.. !


    Dinesh :
    ඔවු ඔවු ඔවු... මුදුනට ලඟයි.... බයේත් බෑ ඉතින්.. :)

    ReplyDelete
  14. මැලේ රාළ :
    ලංකාවට ආපු දවසක යං ඈ... :)

    ReplyDelete
  15. ආසාවෙ බැහැ බං ෆොටෝ ටික දකිනකොට..

    ReplyDelete
  16. කොළඹ බදුල්ල පාරෙ යනකොට ඉඹුල්පෙ හරියෙදි වම් පැත්තෙන් පේන්නෙ ඒ කන්ද තමයි. අපි ඒ දවස් වල නැග්ගෙ හරි පාරක් දැනගෙන නෙවෙයි. ඉතින් ඒ ගිය පාර කියන්න තරම් මතක නෑ දැන්. හැබැයි, බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක ලඟින් උඩට තියන ඉහලගලගම පාරෙ ගියාම වම් පැත්තට ගිහින් ඔය කන්දට යන්න පුලුවන් වෙන්න ඕන. පඹහින්නෙ පැත්තෙ අය නම් දන්නව ඇති. කන්ද උඩ නම් වැඩිය බලන්න දෙයක් නැ. 'මා එලිය' පැත්තෙන් බෙලිහුල් ඔය පහලට වැටෙනව නම් පේනව ලස්සනට.

    ගුගල් මැප් වල බෙලිහුල් ඔය කියල ගිහින් බලන්න ගලගම කිට්ටුවෙන් වමට තියන පාර. ඒකෙ අමුනුමුල්ල කියන හරියට පහලින් තියන්නෙ ඒ කන්ද තමයි. බෙලිහුල් ඔයේ උඩ කොටසත් පේන්න තියනව.

    ReplyDelete
  17. හප්පේ කොච්චර ලස්සන කන්දක් උනත් කූඩෑල්ලෝ ඉන්නවනම් මම නෙමෙයි පැත්ත පළාතේ එන්නේ. අනිත් එක මේ වගේ ලස්සනට විස්තර විස්තර කියන්න කට්ටිය ඉද්දි නොගියා කියලා පාඩුවකුත් නෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.