24 March 2012

ස්ට්‍රෝබෙරි

මම් නුවරඑළි ගිහින් ලොකාට් ගෙනාපු දවසේ ස්ට්‍රෝබෙරිත් ගෙනාවා. ලොකාට් වගේ තමා ස්ටෝබෙරිත් ටිකක් විතර ඇබුල් ! අපේ ගෙදර කට්ටිය ඇඹුල් උනත් කාලා නැති නිසා ස්ටෝබෙරි ටික රහ කර කර කෑවා ! අපි නම් කාලා නිකා හිටියට අපේ අප්පච්චිට ස්ටෝබෙරි වගා කරන්ඩ ආසාවක් ඇති උනා. උන්දෑ අපේ වත්තෙත් එක එක එවුවා වගා කරන නිසා ස්ටෝබෙරිත් වගා කරලා බලන්ඩ ඕන කිය කිය හිටියේ.

අපි කිව්වා ස්ට්‍රෝබෙරි නම් මෙහේ වැවෙන්නේ නෑ ! ඒවා වලට සීත දේශගුණේ ඕනා කියලා.

ඒත් අපේ අප්පච්චි නෙමේ කනකටවත් ගත්තේ. ඒයැයි දවසක කෘෂිකර්මෙට ගිහින් ස්ට්‍රෝබෙරි වගා කරන හැටි අහගෙන ස්ට්‍රෝබෙරි ඇට ගෙනත් පැල කළා.

ස්ටෝබෙරි වලට දවල් කාලේ රස්නේ දේශගුණේ ඕනා. රෑට සීත දේශගුණයක් තියෙන්න ඕන. ටිකක් තෙත සහිත පසකුත් ඕන ලූ.

පස් නම් තෙත් කරන්න බැරි යෑ. ඒත් රෑට සීත දේශගුණයක් !!!!

ඒකට අපේ අප්පච්චිලෑ යාළුවෙක් කියලා තියෙනවා රෑට රෑට කූල් වතුර දාන්න කියලා. ඔන්න එදා ඉදන් අපි රෑට රෑට සීතල වතුර හොයන්ඩ උනා.

කොහොමින් කොහොමහරි අපේ අප්පච්චිගේ වැඩේ මල් ඵල ගැන්නුනා !! පහලින් තියෙන්නේ ඒවෑ පින්තූරු !

(මලුත් ඇවිත් ගෙඩිත් තියෙනවා)

මේ තියෙන්නේ මල්

මේ තියෙන්නේ ස්ටෝබෙරි පැළේ

22 March 2012

කාළය හරහා ගියෙමි

වැඩ ඇරිලා ගෙදර එන ගමන් අහම්බෙන් වගේ බෞද්ධයා ගුවන් විදුලිය සුසර කළාම වෙනදා වගේ යන ධර්ම දේශනාවක් විකාශනය උනා. ඒක ඉවර උනාම ඊලඟ වැඩසටහන පටන් ගන්න කලින් සිංදුවක් විකාශනය උනා.

සිංදුව තමයි,

සෙංකඩගලපුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නෑ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්ගේ

මේ සිංදුව අහනකොට මම් නොදැනුවත්ම වගේ අතීතයට ගියා. ඉස්සර හැම ගුවන් විදුලි නාළිකාවකම වගේ උදේට විකාශනය වෙන්නේ දේශාභිමානී ගීත ! ඒ දේශාභිමානී ගීත අතර ඔය සිංදුව හැමදාම වගේ යනවා. ඉතින් ඒ දවස්වල මට ඔය සිංදුව සෑහෙන වාර ගණනක් අහලා කට පාඩම් !

දේශාභිමානී ගීත වගේ තමා වෙළඳ සේවයේ ප්‍රවෘත්ති පටන් ගන්න කලින් යන පසුබිම් වාදනයත් මම් සෑහෙන වාර ගණනක් අහලා තියෙනවා.

ඒ දවස්වල අපේ අම්මා උයන්න නැගිට්ටාම ගෙදර තිබ්බ කෑලි හතරේ රේඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොටම මගේ නින්ද කැඩෙනවා. ඒ උනාට කම්මැලිකමට ඇඳෙන් නැගිටින්නේ නම් නෑ. ඇඳේ ඉදන්ම අකමැත්තෙන් උනත් ඒ සිංදු අහන්ඩ වෙනවා.

ඔය සිංදු ඇහිල්ල නතර උනේ මායි අපේ මලයයි
දවල් වෙලාවක ගෙදර තිබ්බ එකම රේඩියෝව මස් කලාට පස්සේ !

මේ සිංදු ඇහිල්ල නම් කමක් නෑ කියලා කියමුකෝ. අපේ අප්පච්චි කන ලඟට කරලා "සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියවු !" කියලා කියන එක තමා අහන් ඉන් අමාරුම !

ඔය එක එක සද්ද අතර තව එකම එක සද්දයක්
මතකයි.ඒ තමා අපේ ගේ ඉස්සරහා තියෙන ජම්බෝල ගහට හැමදාම එන කවුඩා කෑ ගහන සද්දේ ! ඌ හැමදාම කෑ ගහන්නේ "ඩොටී ඩොටී රොටී කොපී !!!" කියලා.

දැන් කාලේ වෙනස් වෙලා. ගේ ඉස්සරහා ජම්බෝල ගහට එන කවුඩත් නෑ ! උදේට දේශාභිමානී ගීත ඇහෙන්නෙත් නෑ ! අපේ අප්පච්චි සා දුකින් කිය කියා අපිව ඇහැරවන්නෙත් නෑ !

කොහොමින් කොහොම හරි සිංදුව ඉවර උනාට පස්සේ තමා ආයෙම පියවි ලෝකයට ආවේ.

එහෙම කාළයක් ආයෙම එනවා නම්......

--------------------------------------------------------
ප.ලි. - ගීතය බාගන්නවා නම් මෙතන ක්ලික් කරන්ඩ.

20 March 2012

ක්‍රෙඩිට් කාඩ්

මං කලින් පෝස්ට් එකකත් කිව්වා නේ ගිය සතියේ අපේ උපාධි උත්සවය තිබ්බා කියලා. ඒ උත්සවයේ වැඩ කටයුතු ඉවර වෙලා ශාලාවෙන් එලියට එන්න හදනකොටම කළු පාටට යුනිෆෝම් එකක් ඇඳගත්තු කට්ටියක් අපි ඉන්න පැත්තට ආවා.

"සර් ! අපි අහවල් බැංකුවෙන්. සර් ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලයි කරන්න කැමතිද ?" කියලා ඔහොම්ම ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා.ඊට පස්සේ කාඩ් එකක් ගැනීමෙන් ලැබෙන වාසි එහෙමත් කියාගෙන කියාගෙන කියාගෙන ගියා.

මාත් ඒ කියපු හැමදේම අහගෙන ඉදලා "මට නම් දැන්ම ක්‍රෙඩිට් කාඩ් ඕන නෑ." කියලා යන්න හැරුනා. මොන යෑමක්ද!!!

පුදුම ආදරේකින් කාඩ් එක ඇඟේම ගහන්න හදනවා.

එදා නම් යන්තන් කාඩ් එකක් ගත්තා කියලා ෂේප් වෙලා ආවා. ඊට පහුවෙනිදා අපේ ග්‍රැජුවේශන් ෆොටෝ එක ගන්න දවසෙත් මේ කට්ටිය ඇවිදින්!!

පයින් ගහලා එලෙව්වත් යන්නේ නැති ගානයි !!

බැරිම තැන ඕන මඟුලක් වෙන්ඩ කියලා නමයි ෆෝන් නම්බර් එකයි දුන්නා. (එච්චරමයි ඉල්ලලා තිබ්බේ.අනිත් එවුවා පස්සේ ලූ)

ෆෝන් නම්බර් එක දීපු එක මල වදයක් උනා. මේ ටිකේ දිගින් දිගටම කෝල් එනවා !!!! දැන් නම් 011 නම්බර් එකකින් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නේ නම් නෑ.ඔය ක්‍රෙඩිට් කඩ් එකක් ගත්තා කියලා මට නම් මේ ලෝකේ තේරුමක් නෑ. මට නම් ඔය කාඩ් ගැනිල්ල අතට ගන්න පඩියට කෙල වෙන පොටක් විතරයි !!
------------------------------------------------------------------
ප.ලි. - මේ ටිකේ මගේ සොෆ්ට්වෙයාර් කෑල්ලේ වැඩ ඉවර නිසා වැඩපොලේදිත් මට බ්ලොග් ලියන්ඩ පුලුවන් !! ඒ උනාට බ්ලොග් කියවන්න තමා බැරි. බ්ලොග්ස්පොට් ලෝඩ් වෙන්නේ නෑ. බ්ලොක් කරල. :(

19 March 2012

කාලෙකට පස්සේ

දිග නිවාඩුවකට පස්සේ මොනාහරි කොටලා දාන්න කියලා බ්ලොග් එකට ගොඩ වැදුනා. පහුගිය දවස් ටිකේ මගේ උපාධි උත්සවය තිබ්බ හන්දා මේ පැත්තේ එන්ඩ උනේ නෑ. මම් හද හදා හිටපු සොෆ්ට්වෙයාර් කෑල්ලේ වැඩ ටික ඉවර වෙච්ච හන්දා මේ ටිකේ වැඩ නම් අඩුයි.

අද හවස්වරුවම කලේ අන්තර්ජාලේ තියෙන සිංහල අඩවි ටික කියව කියව හිටිය එක !

ඔර්ලෝසුවේ පොඩි කට්ට පහ ගාවටයි ලොකු කට්ට දොලහා ගාවට ආව හැටියෙම වැඩපොලෙන් පැනලා 176ක එල්ලුනා ගෙදර යන්ඩ කියලා. නාවල කැම්පස් එක හරියට එනකොට වාඩි වෙන්ඩ සීට් එකකුත් ලැබුනා. මාත් වාඩි උනා. මට එහා පැත්තේ හිටිය කොල්ලා හෙන මලක් කඩනවා !!!

කොල්ලා මල කඩන්නේ කඩ්ඩෙන් ! කඩ්ඩෙන් කිව්වට අහුලගත්ත කඩ්ඩෙන් ! මමත් කම්මැලිකමෙන් යන එකේ ඒකාගේ කතාව කන්දීගෙන ආවා. මූ කඩ්ඩෙන් කෙටුවට මොකෝ මූගේ කඩ්ඩේ සෑහෙන අඩුපාඩු තිබ්බා.

මගෙත් කඩ්ඩ එච්චර හොද නෑ. අපි පස් දෙනා කියලා කඩ්ඩෙන් කියන්ඩ ගිහින් both five of us කියලා ඇනගත්ත ජාතියේ කඩ්ඩක් තියෙන්නේ.

කොහොමින් කොහොමහරි මූ සෑහෙන කඩු පාරවල් දාලා මල් කැඩුවා.එහා පැත්තෙන් කෝල් එකට ආන්සර් කරපු කෙල්ල "අපි සිංහලෙන් කතා කරමු !" කියලා කිව්වත් මූ අහන්නේ නෑ.දිගට හරහට කඩ්ඩෙන් කොටනවා. අන්තිමේදි ඒ කෙල්ල කෝල් එක කට් කරලා නා ගන්න ගියා.

මූ ටාර් ගාලා ඊලඟ නම්බර් එක ඩයල් කලා.ටික වෙලාවක් එකිත් එක්කත් මල් කඩලා කෙල්ලව ෂේප් කරල කෝල් එක කට් කලා !

බොරැල්ල කිට්ටු වෙනකොට මූ ඊලඟ කෙල්ලට කෝල් එකක් ගත්තා.කතාවෙන් තේරුනේ ඒ කෙල්ල නම් ගමක හැදිච්ච එකියක් වගේ. ඒ කෙල්ලත් එක්ක මරදාන කිට්ටු වෙනකන් කතා කර කර ආවා. මූ බහින තැන කිට්ටු උනා මිසක්කා කෝල් වලින් ඉවරයක් උනේ නෑ.

බහින්න හදනකොට මූ මගේ මූන දිහා බැලුවා. මාත් පොඩි හිනාවක් දාලා "එල ! එල !" කියලා කිව්වා.ආයේ ඉතින් වෙන මොනා කියන්නද !

ඒ කෙල්ලෝ තුන්දෙනා ගැන පොඩි දුකකුත් හිතේ තියාගෙනම ආමර් වීදියෙන් බැහැ ගත්තා.

කෙල්ලෝ ගොඩක් එක්ක යාළු වෙච්ච කොල්ලට පොරක් කියලා කියන්නවත් කොල්ලෝ ගොඩක් එක්ක යාළු වෙච්ච කෙල්ලට බඩුවක් කියලා කියන්නවත් මගේ හිත් දුන්නේ නෑ.

10 March 2012

එකමත් එක කාලෙක

ඔන්න එකෝමත් එක කාලෙක රජ කෙනෙක් ජීවත් උනා ලූ. මේ රජතුමාට පුත්තු දෙන්නෙක් හිටියාලු. ඉතින් මේ රජතුමා වයසට යනකොට තමන්ගේ රාජ්‍යයේ පාලනය වැඩිමහල් පුත් කුමාරයාට භාර දුන්නලු. මෙන්න මේ අයියා කුමාරයාත් දැහැමින් රට පාලනය කරගෙන ජීවත් උනා ලූ.

ඔහොම කාලයක් ගත වෙනකොට මේ අයිය කුමාරයා, රාජ කුමාරිකාවක් සරණ පාවාගත්තාලු. මේ අයියා කුමාරයයි එයා සරණ පාවාගත්ත රාජකුමාරියයි මල්ලි කුමාරයයි සතුටින් මාලිගාවේ ජීවත් උනාලු.

ඔහොම ජීවත් වෙනකොට අයියා කුමාරයාගේ බිසවට මල්ලි කුමාරයා ගැන ආසාවක් ඇති උනා ලු.ඉතින් මේ බිසව තමන්ගේ හිතේ තියෙන අදහස අර අහිංසක මල්ලි කුමාරයාත් එක්ක කියලා එයත් එක්ක යාළු වෙන්න හදනවලු. මල්ලි කුමාරයා ඕකට කැමති නෑ ලූ.

අර බිසවත් බැරිම අයියා කුමාරයා ගාවට ගිහින් බොරුවක් කිව්වා "මල්ලි කුමාරයා තමන් එක්ක යාළු වෙන්න හදනවා !!" කියලා

ඉතින් මේ අයියා කුමාරයාට කේන්ති ගිය පාර මල්ලි කියලවත් බලන්නේ නැතුව තමන්ගේ මලයගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනහිස් ගාවිනුයි කපා දැම්මලූ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මල්ලි කුමාරයාට ලස්සනට සිංදු කියන්ඩ පුලුවන් ලූ.මල්ලි කුමාරයා සිංදු කියනකොට අහල පහල කඳු පන්තිවලත් ඒ සිංදු ලස්සනට දෝංකාර දෙනවලු. දවසක් මෙහෙම සිංදු කිය කිය ඉන්නකොට දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ වගයකට ආස හිතුනලු මෙච්චර ලස්සනට සිංදු කියන කෙනා කවුද කියලා බලන්ඩ.

ඉතින් එයාලා යන්ඩ ගිය ගමන අතරමග නවත්තලා මේ කුමාරයා ඉන්න දිහාවට ආවලු.

"අපි ආවේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්න !" කියලා එක දිව්‍යංගනාවක් කිව්වා.

"ඔයාලා කවුද ? මට ඔයාලව පේන්නේ නෑනේ !" මල්ලි කුමරයා කිව්වා.

"අපි දිව්‍යලෝකේ ඉදලා ආපු දිව්‍යංගනාවෝ. ඒකයි ඔයාට අපිව පේන්නේ නැත්තේ !" කියලා තවත් දිව්‍යංගනාවක් කිව්වා.

"මට ඔයාලව බලන්ඩ ඕනා !" මල්ලි කුමාරයා පෙරැත්ත කලා.

ඉතින් මේ මල්ලි කුමාරයා පෙරැත්ත කරපු නිසාම අර දිව්‍යංගනාවෝ, තමන් ඇඳන් හිටපු උතුරු සළුව ගලවලා බිමට දැම්මා ලූ. (නෑ නෑ මල්ලි කුමාරයා ඇස් වහ ගත්තේ නෑ. !)

ඉතින් මේ කුමාරයා විජහට අර දිව්‍යංගනාවන්ගේ උතුරු සළු ටික එකතු කරගත්තාලු. එහෙම එකතු කරගත්තට පස්සේ දිව්‍යංගනාවෝ අර මල්ලි කුමාරයා ඉදිරියේ වැඳ වැටෙනවලු තමන්ගේ උතුරු සළුව දෙන්න කියලා. මොකද එයාලට ඒක නැතුව දිව්‍යලෝකයට ආපහු යන්ඩ බෑ ලූ.

ඉතින් මේ මල්ලි කුමාරයා කියනවලු "ඔයගොල්ලෝ යන්නේ කොහාටද කියලා කියනකන් මේ සළු ටීක දෙන්නේ නෑ !" කියලා.

"අපි මේ මල් කඩාගෙන සිරිපාදේ වඳින්න යනවා !" මේ දිව්‍යංගනාවෝ කිව්වා.

මල්ලි කුමාරයාටත් ආසාවක් හිතුනලු සිරිපදේ වඳින්න යන්න.

"අපි මේ මල් එකින් එක සිරිපාදෙට යන පාර දිගේ හලාගෙන යන්නම්. එතකොට ඔයාට ඒ මල් පාර දිගේ සිරිපාදේ වඳින්න එන්න පුලුවන් !" දිව්‍යංගනාවෝ ආයෙමත් කිව්වා.

ඔන්න ඔහොමලු කාලයක් කැලෑවෙන් වැහිලා තිබුන සිරිපාදෙට යන පාර හොයාගත්තේ.
-----------------------------------------------------------------
ප.ලි. - අපේ අම්මා අපට පොඩි කාලේ කියලා දීපු කතාවක්. පත්තරේක සිරිපාදේ ගැන තිබ්බ ලිපියක් දැකලා ආයෙම ඒ කතාව මතක් උනා. මේ කතාව කලින් අහලා තියෙන අය ඉන්නවනම් සමා වෙන සේක්වා !

ප.ලි. - කතාව දිග වැඩි නම් සොරි ඈ. දෙකට කඩලා ලිව්වම කට්ටිය මගේ බෙල්ල මිරිකන්න හදනවනේ කතාව කැඩුවා කියලා !!!

08 March 2012

හඳුන්වා දීම

මං විශ්ව විද්‍යාලයේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නකොට අතිරේක විෂයක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ විෂය සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ව්‍යාකරණ, නිපාත පද, වාක්‍යයක් හදන විදිහ එහෙම උගන්වන්නේ නෑ.

'සන්නිවේදනය සදහා ඉංග්‍රීසි' වගේ නමක් තමයි මේ විෂයට තිබ්බේ. තනිකරම කියන්නේ කතා කරන විදිහ, ව්‍යාපර වලදි භාවිතා කරන විදිහ වගේ දේවල් ගොඩක් උගන්වනවා.

මම ඔය සබ්ජෙක්ට් එකට රෙජිස්ටර් උනාට මොකෝ එක දේශනයකටවත් යන්ඩ උනේ නෑ. ඒ වෙලවට මට වෙන විෂයක් තියෙනවා. කොහොමින් කොහොමහරි සමාසිකය අන්තිමට විභාගෙත් ලං උනා. විභාගේ ලං වෙනකන් මේ විෂයට මොකෝ කරන්නේ කියලා හිතුනේවත් නෑ.

විභාගේ, ලියන්න තියෙන එකක් නෙමේ ලූ. තනිකරම ඉන්ටර්විවු එකක් ලූ තියෙන්නේ.යාළුවෙක්ගෙන් දැනගත්තා. මමත් විභාගෙට ගියා කියමුකෝ. මට මුලින්ම ලැබුනේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ගැන විනාඩි දෙකක් කතා කරන්න. ඊට පස්සේ සභාවක ප්‍රධාන ආරාධිත අමුත්තාට ප්‍රධාන දේශනයට ආරාධනා කරන්න. ඊටත් පස්සේ දෙන්නෙක්ට එකිනෙකා හදුන්නලා දෙන්න.

මුල් දෙක නම් බැරි බැරි ගාතේ කලා කියමු. අදුන්නලා දෙන එකත් යාන්තමට වගේ කරලා ෂේප් වෙන්න හැදුවා.

"අදුන්නලා දෙන එක එහෙම කරන්න බෑ ! ඒකට පිලිවෙලක් තියෙනවා." මිස් එහෙම කියද්දි මම් උඩ බිම බැලුවා. අන්තිමේදී මම් දේශන වලට ආවද කියලා අහලා. මාව චාටර් කරලා කියලා දුන්නා හරි විදිහට දෙන්නෙක් අදුන්නලා දෙන්නේ කෝමද කියලා.

1. යාළුවෝ දෙන්නෙක් නම් කොහොම අඳුන්නලා දුන්නත් එකයි. (මතක විදිහට)

2. වැඩපොලක බොසුයි බොස්ට පහලින් සේවකයෙකුයි ඉන්නකොට මුලින්ම බොස්ට, සේවකයාව අදුන්නලා දීලා පස්සේ තමා සේවකයාට බොස්ව අඳුන්නලා දෙන්නේ.

3. බොසුයි අනුග්‍රාහකයෙකුයි (Client) ඉන්නකොට මුලින්ම අනුග්‍රාහකයාට බොස්ව අඳුන්නලා දීලා පස්සේ බොස්ට අනුග්‍රාහකයාව අදුන්නලා දෙන්න ඕනා.


ඔන්න ඕකලු දෙන්නෙක් අදුන්නලා දෙන හරි ක්‍රමේ.බලාගෙන ගියහම දන්න දෙයක් නෙව :)

05 March 2012

සිටු කුමාරිය - 2 කොටස (අවසන් කොටස)

කට්ටියට මතකනේ අර සිටු කුමාරිය මස් වැද්දා කෙරෙහි උපන් ආදරය නිසා මස් වැද්දා පස්සෙන් වැටිලා දිව්වා කියලා. අද කතාව එතැන් සිට...

කුමාරිය මෙහෙම මස් වැද්දා පස්සෙන් එනකොට මස් වැද්දා "මගේ පස්සෙන් එන්නේ මොකටද ?" කියලා ඇහුවා.

"මම් ඔහේගේ පස්සෙන් එන්නේ නෑ. මම් යන්නේ පාර දිගේ !" කුමාරියත් උත්තර බැන්දා.

මස් වැද්දාත් ආයෙත් තව ටික දුරක් ඇවිත් පිටිපස්ස හැරිලා බලනකොට අර කුමාරිය පස්සෙන් එකනවා දැක්කා. ඊට පස්සේ අර පුරුදු ප්‍රශ්නෙම ඇහුවා. කුමාරියත් පුරුදු උත්තරේම දුන්නා.

ඔහොම ආයේ ටික දුරක් ගියාට පස්සේ මස් වැද්දා හැරිලා බලනකොට සිටු කුමාරිය පස්සෙන් එනවා දැක්කා.මෙදාපාර නම් වැද්දා ගමන නවත්තලා සිටු කුමාරියක් මෙහෙම මස් වැද්දෙක් පස්සෙන් වැටිලා එන්නේ මොකද කියලා ඇහුවා.

මස් වැද්දා කෙරෙහි තමන්ගේ හිතේ ආදරයක් හටගෙන තියෙනවා. තමන්ට මස් වැද්දගේ බිරින්දෑ වෙන්ඩ ඕනෙ ය කියලා කුමාරිය අර මස් වැද්දට කිව්වා. කුමාරියගේ පෙරැත්තය නිසාම මස් වැද්දා මේ කුමාරියව තමන්ගේ බිරින්දෑ විදිහට බාර ගන්නවා.

ඊට පස්සේ දෙන්නම මස් වැද්දා හිටපු පැලට යනවා. එදා ඉදන් මේ කුමාරියයි මස් වැද්දයි එකට ජීවත් වෙනවා. කුමාරිය මේ මස් වැද්දට කෑම බීම උයලා දෙනවා. දඩයම් ආයුධ ලෑස්ති කරලා දෙනවා. තව වැද්දගේ ඕනෑ එපාකමුත් ඉස්ට කරනවා.

කුමාරිය මෙහෙම මස් වැද්දෙක් එක්ක ජීවත් වෙන සිද්ධිය හාමුදුරුවන්ට ආරංචි වෙනවා.මොකද මේ කුමාරිය මාර්ග ඵලයකට පත් වෙලා හිටපු කුමාරියක් ! ඊට පස්සේ හාමුදුරුවරු මේ ප්‍රශ්නය බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා.

"බුදු හාමුදුරුවනේ, මාර්ගඵලයකට පත් වෙච්ච කුමාරියක් මෙහෙම මස් වැද්දට දඩයම් කරන්න අවි ආයුධ සකස් කරලා දෙන එක පවු සිද්ධ වෙන කාරණාවක් නේ ද ?" කියලා හාමුදුරුවරු විමසනවා.

"මහණෙනි, මෙතනදි සිටු කුමාරිය ආයුධ සූදානම් කර දීමෙන් පවක් සිද්ධ වෙන්නේ නෑ. ආයුධ වලට කවදාවත් බෑ පනක් නසන්න ! කුමාරිය මෙතනදී සිද්ධ කලේ තමන්ගේ ස්වාමියාට බිරිඳකගෙන් සිද්ධ වෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ කිරීමක් !" කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
---------------------------------------------------------------------
ප.ලි. - මේක කතාව මම් ලඟදි අහපු බණ කතාවක තිබ්බේ. මේ කතාවෙන් ගන්ඩ පුලුවන් ආදර්ශ ටික නම් මතක නෑ. මේ දවස්වල මගේ රැම් එකේ ලෝඩ් එක වැඩි නිසා මතක් කලාට මතක් වෙන්නෙත් නෑ.

04 March 2012

සිටු කුමාරිය - 1 කොටස

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක නුවරක ලස්සන සිටු කුමාරියක් හිටියා. මේ සිටු කුමාරිය, තමන්ගේ වයසක අම්මවයි අප්පච්චිවයි බලාකියා ගෙන ගේ දොර වැඩ කටයුතුත් කරගෙන ජීවත් උනා.

ඔන්න ඔහොම ජීවත් වෙනකොට දවසක් මේ සිටු කුමාරි සඳළු තලයේ අවට සිරි නරඹ නරඹ ඉන්නැද්දි පාරේ එහා කොනේ ඉදලා මුව මස් විකුණන මනුස්සයෙක් එනවලු. ඉතින් මේ කුමාරියට මේ මස් වැද්දා එක්ක යාළු වෙන්ඩ ආලවන්ත හිතක් පහල උනාලු.

ඉතින් මේ සිටු කුමාරි තමන්ගේ සේවිකාවට කිව්වා ඒ මස් වැද්දා මස් විකුනගෙන ආයෙමත් ඒ පාරෙන් එනකොට සිටු මැදුරට ගොඩ වෙලා යන්න එන්න කියන්න කියලා.

ගොඩක් වෙලාවට මේ මස් වැද්දා මස් ටික විකුනගෙන මේ පාරෙන්ම ආයේ යන්න එනවලු. මස් ටික විකුණගන්න බැරි වෙච්ච දාට විතරක් එහා පාරෙන් යනවලු.

ඉතින් මේ සේවිකාව, තමන්ගේ සිටු දියණිය කියපු විදිහට මස් වැද්දා මස් ටික විකුන ගෙන ඒ පාරෙන් එනකන් බලාගෙන ඉන්නවලු. ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු. ඒත් මස් වැද්දා ආවේ නෑ ලු.

සේවිකාව දුවගෙන ඇවිත් සිටු කුමාරියට කිව්වලු මස් වැද්දා මස් ටික විකුනගෙන එහා පාරෙන් ගියාද දන්නේ නෑ කියලා. ඉතින් මේ කුමාරිත් මස් වැද්දා එයා පාරෙන් යන්ඩ ඇති කියලා හිතලා එහා පාරට වෙලා මඟ රැකගෙන හිටියලු මස් වැද්දා එනකන්.

ඔන්න මේ මස් වැද්දා මස් ටිකත් විකුනගෙන ඒ පාරෙන් ආවලු. කුමාරිත් මස් වැද්දා පිටිපස්සෙන් දුවගෙන එනවලු !!!!

මස් වැද්දා පස්සෙන් ගියපු කුමාරියට මොකද උනේ කියලා දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඊලඟ කොටස ලියනකන් ඉන්ඩ වෙනවා.
---------------------------------------------------------------------
ප.ලි. - කතාව දන්න කෙනෙක් ඉන්නවා නම් මම් ඊලඟ කොටස ලියනකන් සද්ද නොකර ඉන්ඩ හොඳේ !